Saturday, October 17, 2020

ට්‍රොලි ප්‍රශ්නය


ට්‍රොලි ප්‍රශ්නය ආචාර ධාර්මික ගැටළු පිළිබඳව සාකච්ඡා කරන විට විශේෂයෙනුත්, මනෝ විද්‍යාවේදී පොදු වශයෙනුත් යොදා ගැනෙන චිත්ත පරීක්ෂණයක්. මෙහි වර්ෂන් ගණනාවක් තිබෙනවා. සරලම වර්ෂන් එක මේ වගේ එකක්.

දුම්රිය මාර්ගයක් දිගේ බඩු පැටවූ ට්‍රොලියක් අනපේක්ෂිත වෙලාවක පාලනයෙන් තොරව වේගයෙන් එනවා. පාරේ පුද්ගලයින් පස් දෙනෙක් ඉන්නවා. ට්‍රොලිය දිගටම ගමන් කළොත් අනිවාර්යයෙන්ම මේ පස් දෙනාම මැරෙනවා. ලීවරයක් ඇදලා ට්‍රොලිය ගමන් කරන මාර්ගය වෙනස් කරන්න පුළුවන්. එවිට මේ පස් දෙනාගේ ජීවිත බේරෙනවා. 

ඔබ ඉන්නේ ලීවරය තිබෙන තැන. ලීවරය අදිනවාද නැද්ද කියන ඔබේ තීරණය මත මේ ජීවිත පහ බේරෙන්න හෝ නැති වෙන්න පුළුවන්. ලීවරය ඇදලා ට්‍රොලියේ ගමන් මාර්ගය සයිඩ් ට්‍රැක් එකකට මාරු කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය ඒ සයිඩ් ට්‍රැක් එකේත් එක් පුද්ගලයෙක් ඉන්නවා. පස් දෙනෙක්ගේ ජීවිත බේරන්න ඔබ ලීවරය ඇද්දොත් සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයා මැරෙනවා. 

මේ හය දෙනාගෙන් එක් අයෙකුටවත් අනතුර ගැන දැනුම් දීමේ හැකියාවක් ඔබට නැහැ. කරන්න පුළුවන් ලීවරය අදින එක හෝ නොඇද බලාගෙන ඉන්න එක පමණයි. [නිකම් බලාගෙන නොඉඳ කැමතිනම් ෆේස්බුක් ලයිව් දමන්නත් පුළුවන්.] ඔබ ලීවරය අදිනවාද නැද්ද?

මේ ප්‍රශ්නයට වැඩි දෙනෙක් දෙන පිළිතුර ලීවරය අදිනවා කියන එකයි. ලීවරය අදින එකේ සදාචාරාත්මක පදනම ජීවිත පහක් එක ජීවිතයකට වඩා වටිනවා කියන එකයි. හැබැයි ලීවරය අදින එකෙන් ඔබ කරන්නේ හිතාමතාම අහිංසක මිනිහෙක්ව මරණයට පත් කරන එකයි. [චක්‍රලේඛ වලටම වැඩ කරන කෙනෙක්නම් චක්‍රලේඛයේ කියල නැත්නම් ලීවරය අදින එකක් නැහැ.]

ඔබ ලීවරය අදින ගොඩේ ඉන්න කෙනෙක් කියා කියමු. මැරෙන්න යන පස් දෙනා ඔබ නොහඳුනන අයනම්, අර සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ඔබේ පෙම්වතිය, සැමියා, මව වගේ කෙනෙක්නම් ඔබ ඒත් ලීවරය අදිනවද? සයිඩ් ට්‍රැක් එකේ ඉන්න පුද්ගලයා නොදන්නා කෙනෙක් වී මැරෙන්න යන පස් දෙනා කුඩුකාරයින් හෝ පාතාල සාමාජිකයින් පස් දෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද?

මැරෙන්න යන පස් දෙනා ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ අයනම් (සිංහල කියා කියමු) සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ වෙනත් ජනවර්ගයක අයෙක්නම් (මුස්ලිම් කියා කියමු) ඔබ ලීවරය අදිනවාද? 

මැරෙන්න යන පස් දෙනා ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ නොවේනම් (මුස්ලිම් කියා කියමු) හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ඔබේ ජාතියේ හෝ ජනවර්ගයේ අයෙක්නම් (සිංහල කියා කියමු) ඔබේ තීරණය වෙනස් වෙනවාද?

මැරෙන්න යන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක්නම් හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ අනුර කුමාර හරි කුමාර් ගුණරත්නම් හරි වගේ කෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද? 

මැරෙන්න යන්නේ ජවිපෙ හෝ පෙසපෙ මධ්‍යම කාරක සභා සාමාජිකයෝ පස් දෙනෙක්නම් හා සයිඩ් ට්‍රැක් එකේ ඉන්නේ ගෝඨාභය හරි බැසිල් හරි වගේ කෙනෙක්නම් ඔබ ලීවරය අදිනවාද? 

අනුභූතික දත්ත අනුව පෙනෙන්නේ දෙපැත්තෙන් එක පැත්තක කවුරු හෝ දන්නා කෙනෙක් ඉන්න කොට මිනිස්සු ගන්න තීරණය නොදන්නා හය දෙනෙක් ඉන්න වෙලාවක ගන්න තීරණයම නොවන බවයි.

මේ ප්‍රශ්නය උපකල්පිත තත්ත්වයක් හා අදාළ එකක් වුවත් සැබෑ ජීවිතයේදී මිනිස්සුන්ට මේ ආකාරයේ තීරණ ගන්න සිදු වෙන එක දුලබ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට තරමක් ලොකු වාහනයක් එළවද්දී (කැබ් එකක් වගේ කියමු) ඔබ ඉදිරියට පාරේ වැරදි පැත්තෙන් ත්‍රිරෝද රථයක් එනවා. එහි හතර පස් දෙනෙක්ම ඉන්න බව පැහැදිලිව පෙනෙනවා. අනතුර වලක්වා ගන්න පුළුවන් වෙන්නේ ඔබේ වාහනය පැත්තකට කපලා. එහෙත් එහෙම කළොත් පාරේ යන අහිංසක මනුස්සයෙක්ව යට වෙනවා. ඔබ කරන්නේ කුමක්ද? පාරේ යන්නේ ඔබේ පවුලේ සාමාජිකයෙක්නම් ඔබ ඒත් කරන්නේ ඒකමද?

ඉහත කී පළමු ට්‍රොලි ප්‍රශ්නය ඇසීමෙන් පසුව අහන දෙවන ට්‍රොලි ප්‍රශ්නයක්ද තිබෙනවා. එහිදී ඔබ ඉන්නේ ලීවරයක් ළඟ නෙමෙයි. දුම්රිය මාර්ගය උඩින් තිබෙන පාලමක් උඩ. ඔබ ඉදිරියේ මහත මිනිහෙක් ඉන්නවා. ඔහුව පාලමෙන් තල්ලු කළොත් ඔහුගේ සිරුරේ හැපී ට්‍රොලිය නවතිනවා. ජීවිත පහක් බේරෙනවා. ඔබ ඔහුව දුම්රිය පාරට තල්ලු කරනවාද?

පළමු අවස්ථාවේදී ලීවරය අදින බොහෝ දෙනෙක් දෙවන අවස්ථාවේදී මහත මිනිහාව තල්ලු කරන්නේ නැහැ. ලීවරය අදින එකෙන් වෙන්නේ ජීවිත පහක් බේරී එක මිනිහෙක් මැරෙන එකයි. මහත මිනිහාව තල්ලු කළ විට වෙන්නේත් එයමයි. මේ දෙකෙන් එකක් සදාචාරාත්මක වැරැද්දක් වෙන්නේත්, අනිත් එක එසේ නොවන්නේත් කොහොමද?

මේ තත්ත්වයන් මනඃකල්පිත තත්ත්වයන් නෙමෙයි. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් වෙන්ටිලේටරයක දමා තිබෙනවා. ඔහුව සුව වෙන්නනම් සති තුන හතරක් එක දිගටම වෙන්ටිලේටරයේ තියන්න වෙනවා. ඔය අතරේ අලුත් රෝගීන් පස් දෙනෙක් රෝහලට ගේනවා. ඒ අයව සාපේක්ෂව කෙටි කාලයක් බැගින් එකිනෙකා වෙන්ටිලේටරයේ දමා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන්. එසේ නොකළොත් තත්ත්වය නරක අතට හැරී මේ පස් දෙනාම මැරෙනවා. හැබැයි වෙන්ටිලේටරයෙන් ගැලෙවුවොත් දැන් එහි ඉන්න පුද්ගලයා මැරෙනවා. තියෙන්නේ එකම වෙන්ටිලේටරයයි. 

අපි කියමු ජීවිත පහක් බේරගන්න එක පුද්ගලයෙක්ව මැරෙන්න අරින එක සදාචාරත්මකව නිවැරදියි කියලා.

දෙවන අවස්ථාවේදී වෙනස් අවයව නරක් වූ පුද්ගලයින් පස් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙන්නේ එම අවයව ඉතා ඉක්මණින් හොයාගෙන බද්ධ කළොත් පමණයි. කෝමා තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක් ජීවිත ආධාරක වල උදවුවෙන් ජීවත් වෙනවා. ජීවිත ආධාරක ඉවත් කළොත් ඔහු මැරෙනවා. ඔහු මැරුණොත් ඔහුගේ අවයව අරගෙන පස් දෙනෙක්ට බද්ධ කර ජීවිත පහක් බේරා ගන්න පුළුවන්. ඔහුට මැරෙන්න හැර අවයව ගන්න එක සාධාරණද? ඒකත් සාධාරණනම්, පැත්තක ඉන්න නිරෝගී පුද්ගලයෙක්ව මරලා ඔහුගේ අවයව අරගෙන ජීවිත පහක් බේරා ගන්න එකත් සාධාරණද?



9 comments:

  1. දෙවෙනි උදාහරනේ ගැන කියනකොට මට අපේ අයියව මතක් වුනා. එයා මස්හොදි එක්ක බත් කන්නේ නෑ. ඒත් හොට්ඩෝග් කනවා.

    ReplyDelete
  2. මේ ඉකොනොමැට්ටා කියන පොර ගහන බයිලා දැක්කම මට නම් මතක් වෙන්නේ ගොන් දුල බණවර්ධන කියලා කියන ලංකාවේ කුජීත මොංගල් දේසපාලූවාව තමයි. පොර කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ඩෝබි ලෙස ඉඳලා දැන් මැදමුලන රෙදි හෝදනවා කුජීත ලෙසින්.

    ඔය වගේ හදිසි ආපදා අවස්ථා වලදී කලින් පුරෝකථනය කළ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් & මෙෂර්ස් ඉතාම වැදගත්. උදාහරණයක් විදියට මෑතකදී කොවිඩ ආපදා තත්ත්වය ගැන නිශ්චිතම පුරෝකථනය සිදු කර තිබුනේ ඇමරිකානු එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය (National Intelligence Council-NIC ) මගින් 2008 වසරේ, ඒ ඔවුන් නිකුත් කළ Global Trends 2025: A Transformed World නම් සවිස්තර වාර්තාවක මේ පුරෝකථනය දැක් වේ [මෙය දැන් ප්‍රසිද්ධ ප්‍රකාශනයකි]. NIC වරින් වර මේ ආකාරයේ වාර්තා සකස් කරයි. එමගින් මූලිකව ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉදිරි වසර 15-20 ලෝකය තුළ ඇතිවන ප්‍රවණතා, ප්‍රශ්න, ඇ.එ. ජනපදයට සහ බටහිර ලෝකයට එල්ල වන අභියෝග සහ ඒවා ජයගෙන තව දුරටත් ලෝක බලවතා ලෙස ඇ.එ. ජනපදය රැදී සිටින්නේ කෙලෙසද යන්න සාකච්ජා කිරීමයි [ලංකාවේ ඇතැම්හු බටහිර ලෝකයක් ඇත්තේ කොහේදැයි ප්‍රශ්න කළ ද western world, traditional Western alliances, western liberal model, western order වැනි යෙදුම් මේ වාර්තාව පුරා දක්නට ලැබේ].

    ඒ වගේම දැන් මේවන විට Global Trends 2030 සහ Global Trends 2035 පුරෝකතනද NIC සකස් කර හමාරය. මෙවැනි පුරෝකථන සකස් කිරීම සිදුවන්නේ බුද්ධි මණ්ඩලයකින් බව පැවසුවද එහි සාමාජිකත්වය කුමක්දැයි NIC හෙළි නොකරයි. ඔවුන් පවසන ඇතැම් පුරෝකථන පවතින දැනුමකින්, සාක්ෂි, දත්ත, තොරතුරු මත ඉදිරිපත් කළ නොහැකි ඒවාය. නමුත් ඒ පුරෝකථනය ලැබුනේ කෙලෙසද යන්න ඔවුන් හෙළි නොකරයි. 2008 වසරේ සකස් කළ Global Trends 2025 පරිච්ජේද 7 කින් සමන්විතය. එහි 5 වන පරිච්ජේදය යටතේ 75 වන පිටුවේ මාතෘකාව Potential Emergence of a Global Pandemic යනුවෙනි. එනම් “ගෝලීය වසංගතයක් ඇති වීමේ විභවතාව” යනුවෙනි. එහි දැක්වෙන්නේ 2025 වසර වනවිට ඇතිවිය හැකි ගෝලීය වසංගතයක් ගැනයි. එවැන්නක් ගැන අනාවැකි පළ කිරීම අරුමයක් දැයි යමකුට සිතෙන්නට පුළුවන. එහෙත් වසර 12 කට පෙර ඉදිරිපත් කළ මේ පුරෝකතනයේ දැක්වෙන්නේ මෙහෙමයි;

    01. අභිනව ඉතා පහසුවෙන්ම වැසියන් එකිනෙකා අතර පැතිරෙන ශ්වසන පද්ධතියේ රෝගයක් නිසා මේ ගෝලීය වසංගතය ඇති වේ.

    02. ප්‍රධාන වශයෙන් කුප්‍රසිද්ධ H5N1 වගේම වෛරසයක් ජාන වෙනස්කමකට භාජනය වී මෙම තත්වය ඇතිවිය හැකි අතර කොරෝනා හෝ වෙනත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් ද මේ සඳහා මුලික විය හැක.

    03. එමෙන්ම එවන් වසංගතයක් අධික ජන ඝනත්වයක් ඇති, මිනිසුන් සහ සතුන් අතර සමීප සබදතා පවතින චීනය හෝ අග්නිදිග ආසියාතික රටකින් මතුවිය හැක.

    04. අදාළ වෛද්‍ය අංශවල ප්‍රමාදය, අසාර්ථකත්වය නිසා නිසි හදුනා ගැනීමකින් තොරව සති ගණනක් ගතවිය හැකි අතර එම කාලය ගෝලීය වසංගතයක් ඇති වීමට ප්‍රමාණවත්ය.

    05. ඇමරිකන් එක්සත් ජනපද රට තුළ මිලියන සිය ගණනක් මේ වෛරසයට ගොදුරු විය හැකි අතර මිලියන් කීපයක සිට කෝටි ගණනක් දක්වා ඇමරිකන් එක්සත් ජනපදයේ මිනිසුන් මිය යා හැකිය.

    ඉතින් එම Global Trends 2025 කියලා කියන වාර්තාව සකස් කිරීමේ මුලිකත්වය ගෙන ඇත්තේ මැතිව් බරෝව් කියන යුරෝපීය ඉතිහාසය ගැන කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය උපාධිධාරියෙක් ; බරෝව් අනාගත පුරෝකථනය පිලිබඳ ඇ.එ. ජනපද බුද්ධි අංශ සතු දක්ෂම පුද්ගලයා සහ ඉහලම උපක්‍රම විශේෂඥයකු ලෙස සැලකෙන නිසා මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම සකස් කළ Global Trends 2025 වාර්තාවේ දැක්වෙන ගෝලීය වසංගතයක අවදානම පිලිබඳ පුරෝකථනය වත්මන් පාලකයන් නොසලකා හැරීම ගැන ඇ.එ. ජනපද ජනධිපති ඩොනල්ඩ් ටම්ෆ් විවේචනයට ලක්වී ඇත. මේ ආකාරයටම 2017 වසරේ ඇමරිකානු වසංගත රෝග විශේෂඥයකු වන මයිකල් ඔස්ටර්හෝම් සහ මාක් ඔල්ෂකර් රචනා කළ “Deadliest Enemy: Our War Against Killer Germs” කෘතියේද මෙවන් ගෝලීය වසංගතයක අවදානම ගැන සාකච්ජා කර ඇත.

    ඉතින් මේ අනුව අපට ඇති ප්‍රශ්නය මැතිව් බරෝව් ඇතුළු කණ්ඩායම 2008 වසරේදී මෙවන් ගෝලීය වසංගතයක් ගැන ඉතා නිවැරදිව අනාවැකි පැවසුවේ කෙලෙසද යන්න සහ එම අනාවැකි වත්මන් ඇ.එ. ජනපද පාලකයන් නොසලකා හැරියේ මන්ද යන්නයි. Global Trends 2025 වාර්තාවේ දැක්වෙන දේශපාලන, ආර්ථික සහ යුදමය පුරෝකථන බොහොමයක් මේ වනවිට එලෙසම සිදුව ඇත. ඒවා දේශපාලනය, ආර්ථිකය සහ යුද විශේෂඥයන්ගේ බුද්ධිමත් අනුමාන කිරීම් බව කෙනකුට තර්ක කළ හැක. එහෙත් ඉතා දුර්ලභ මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ගැන ඔවුන්ගේ [නිවැරදි] පුරෝකථනය අභිරහසකි. මේ ගැන ඉකොනොමැට්ටාටද කටඋත්තර නැත.

    ReplyDelete
  3. පලමු අවස්ථාවෙදි පව් අඩුයි දෙවෙනි අවස්ථාවේ පව් වැඩියි.

    ReplyDelete
  4. එකොනමැට්ස් ඉඳල හිටලා කොමඩිත් දානවනේ. මම ඒ චාන්ස් එක දෙන්නේ සයිඩ් ට්‍රැක් එකේ ඉන්න කෙනාට. එයාට අවස්ථව දෙනවා "මානව වර්ගයා වෙනුවෙන් ජීවිතය පුදන්න.". ඔය ඇමෙරිකාවේ වුනා කියල කතාවක් යන්නේ , අර පාලමක් බේරා ගන්න පුතාව මරන්න හැරිය මනුස්සය ගැන . මෙම්පිස් එක්ස්ප්‍රෙස් එක එන වෙලාවේ ජෝන් ග්‍රිෆිත් පුතාව මැරෙන්න ඇරිය එක. - ඒක කෙටි කටහ්වක්. නමුත් ඒ වගේ කතා තියනවා. මමනම් මගේ පුත්ව බේරා ගන්නවා අර 200 මැරෙන්න ඇරලා.මොකද අර 200 මට වුන දේ ගැන කවදාවත් හොයන්නේ නැහැ. ජවිපෙ පෙසප කට්ටියගේඅන් මම හැමදාම අහපු ප්‍රශ්නයක් තමයි "උඹල ත්‍රිමා විතානගේ අම්ම තාත්ත ගැන බැලුවද ", ඒ අම්මට තාත්තට අසනීප වුනහම රෝහලට ගෙනියන්නේ කවුද, අපේ කොලේජ් එකේ හිටපු වෙනුර එදිරිසිංහ ගේ අම්ම තාත්ත ගැන, බේරැගත් රජයේ වෛද්‍ය විද්‍යාලයේ දොස්තරලවත් දන්නවද

    ReplyDelete
  5. විස්ස පටවා ගෙන
    ට්‍රොලිය එනවා පිඹගෙන
    ලීවරය ළඟ හිටගෙන
    සිටිති
    දෙසිය විසි පහම
    උඩ බලාගෙන!

    ReplyDelete
  6. Ritigalaya mekata honda uththrayak denawa mahithe. Tharkika bawatath wadaa thamnge sathuta wedima theerane neda ganna ona.

    ReplyDelete
  7. ඉකොනො, බ්‍රිතාන්‍ය ධනවාදයේ නැඟී සිටීම ගැන යම් විශ්වාසයනීය කරුණුත් සමඟ Netfilx හි සි හැරෙන Peeky Blinders ඔබ බැලුවාද? නොබැලුවේ නම්ක තා මාලා 7 පමණ දිග ඒ නාට්‍ය බලන ලෙසට ඔබට ආරාධනා කරමි. එය කාලය නාස්තියක් නොවෙි.

    අද උත්කර්ෂවත් ලෙස ජය කෙහෙලි නංවන ධනවාදය යනු පාරිභෝජනය සඳහාම නිමැවුන පාරිශුද්ධ දෙයක් නොවන බව ඉන් කියැවෙනවා. කතා මාලාවේ දිග හැරෙන ලෙසට මහාද්වීප පුරා බෙදාහැරෙන හොර මත්පැන්, අශ්ව රේස්, පාපන්දු ක්‍රීඩා fix කිරීම, ආයුධ ජාවාරම, චීනය ඔස්සේ එන ඕපියම් යුරෝපය පුරා බෙදා හැරීම ආදිය ගැන එහි විස්තර වන්නේ Shelby පවුල වටා ගෙතුන කතාවක් ලෙසටයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසට මහජන ඡන්දයෙන් පත් වන Thomas Shelby තම මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මේ ජාවාරම් කරගෙන යනවා. මෙය බ්‍රිතාන්‍ය ධනවාදයේ හරස් කැපුමක් දැයි මම නොදන්නේ වුවද ධනවදය යනු අපිට කිිියා දෙන තරමේ යහපත් දෙයක් නොවෙය යන්නයි මගේ අවබෝධය.(මෙහි කතා නායකයා අවසානයෙදී ධනවාදයේ ආරක්ෂාව පිණිස ෆැසිස්ට්වවාදයට විරුද්ධව මහ පොලොවේ සටනක යෙදුනත් ධනවාදය විසින් ඇති කරන ලද ප්‍රශ්නවලට ඔහුටවත් පිලිතුරක් නැහැ.)

    ධනවාදයේ නිසඟ ලක්ෂණයක් ලෙසට ෆැසිස්ට්වවාදය එන බවට එහි ඉඟි කරනවා.ඔබ මෙයට එකඟද?
    මේ නාට්‍ය මාලාව මඟින් මතු කරන ධනවාදයේ නැඟීම/rise of capitalism ගැන ලිපියක් ලියන්න යැයි ආරාධනා කරනවා.

    ස්තුතියි.
    CP-C

    ReplyDelete
    Replies
    1. ඔත්තුවට ස්තුතියි! දෙසැම්බර් නිවාඩු ලැයිස්තුවට දා ගන්නම්.

      Delete
    2. //ධනවාදයේ නිසඟ ලක්ෂණයක් ලෙසට ෆැසිස්ට්වවාදය එන බවට..//

      Putin's Russia : Hold my Vodka
      Xi Jinping's China: Hold my..Err..Belt & Road
      ඉකොනොමැට්ටා : " මැක්කා වනාහී.."
      CP-C : Capitalism ගැන ලිපියක් ලියන්න යැයි ආරාධනා කරනවා

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.