වෙබ් ලිපිනය:

Friday, September 2, 2022

පෞද්ගලීකරණය හා නියාමනය (පළමු කොටස)


"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ.

අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට ම පාඩු ලබන වැඩක්. ඔවුන් හිතන විදියට ලංගම සේරම නවත්තල දාල ප්‍රවාහනය පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි හිතමු එහෙම දුන්න කියල. ඊට පස්සෙ මොකද වෙන්නෙ? ඊට පස්සෙ මේ රටේ බස් දුවන්නෙ ලාභ ලබන රූට්වල විතරයි. කොළඹට කිලෝමීටර් 15කට මෙහා තියෙන ගෝනමඩිත්ත කියන ගමට දවසකට බස් හයකට වඩා දුවන්නෙ නෑ. උදේට දෙකයි දවල්ට දෙකයි රෑට දෙකයි. ඔච්චරයි. ඇයි, ඊට වඩා දුවන එක පාඩුයි. ලංගම නැත්නම් දවල්ට ගමනක් ගිහිල්ල හමාරයි.

අන්න ඒ ගැප් එක පුරවන්න තමයි රාජ්‍ය ව්‍යවසාය මැදිහත් වෙන්න ඕන. ඒ නිසා ම තමයි ලංගම වගේ රාජ්‍ය ආයතන පාඩු ලැබුවට හෝ ඉතා සුළු ලාභයක් ලැබුවට කමක් නෑ කියල මම කියන්නෙ.

හැබැයි පත්තරවල මේක යන්නෙ වෙන විදියකට. පත්තර ඇතුළු මාධ්‍ය වාර්තා කරන්නෙ "ලංගම ගිය වසරේ අච්චරක් පාඩු ලැබුවා / මෙච්චරක් ලාභ ලැබුවා" කියලයි. ඔය මාධ්‍ය ම කවදාවත් කියනව ද "යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන මෙච්‍චරක් පාඩු ලැබුවා" කියල? නෑ. ඇයි? අපි හැමෝ ම දන්නව රජය හමුදාවක් නඩත්තු කරන්නෙ ලාභ ලබන අරමුණින් නෙමෙයි කියල.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනයට එනකොට අපට මේක අමතක වෙනව. ඒකයි ප්‍රශ්නෙ."

ඉහතින් තියෙන්නේ අපේ වියුණුවේ දමා තිබුණු ප්‍රතිචාරයක කොටසක්. කොහේ හෝ තැනකින් කොපි කරගෙන අලවපු එකක් වෙන්නත් පුළුවන්. අපි ඉහත උපුටනයේ අගින් සාකච්ඡාව පටන් ගනිමු. 

ලෝකයේ බොහෝ රටවල රජයයන් විසින් හමුදා නඩත්තු කරනවා. ඇත්තටම මේ වැඩේ කරන්නේ ලාබයක් බලාගෙන තමයි. හමුදාව නඩත්තු කරන එකේ ලාබයක් නැත්නම් හමුදා විසුරුවා හරින්න පුළුවන්නේ. රජයක් විසින් සලසන වෙනත් සේවයක් ගත්තත් එය කරන්නේ කුමක් හෝ ලාබයක් බලාගෙන. වෙනසකට තියෙන්නේ පෞද්ගලික සමාගමක මෙන් මේ සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැති එක පමණයි. 

ගණන් හැදුවත් නැතත් රජයක් විසින් සලසන සේවාවන් වල පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් ඒ පිරිවැය දරන අයට ලැබෙන්න ඕනෑ. රජයක් ලාබ ලැබිය යුතුයි කියන එකෙන් අදහස් කළ හැක්කේ එයයි. රජයකින් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා රජය නඩත්තු කිරීමේ පිරිවැය වැඩිනම් රජයක් තිබීමෙන් ඒ රටේ ජනතාවට අයහපතක් මිස යහපතක් වෙන්නේ නැහැ.

වත්මන් ලෝකය දේශපාලනික ලෙස සංවිධානය වී තිබෙන්නේ ස්වාධීන රටවල් විදිහට. ඒ හැම රටකම රජයක් තිබෙනවා. එයින් අදහස් වෙන්නේ රජයක් කියා කියන්නේ හැම රටකම වගේ බහුතර මිනිසුන්ගේ තේරීම කියන එකයි. එහෙමනම්, රජයක් නඩත්තු කිරීමේ පිරිවැයට වඩා දෙයක් රජයක් පැවතීම නිසා මිනිස්සුන්ට ලැබෙනවා විය යුතුයි. අඩු වශයෙන් බොහෝ දෙනෙක් එසේ විශ්වාස කරනවා විය යුතුයි. 

ලෝකයේ බොහෝ රටවල සාමාන්‍යයෙන් රජය විසින් කරන, පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ටිකක් තියෙනවා. ආරක්ෂක හමුදා නඩත්තු කිරීම, නීතිය හා සාමය රැකීම, නියාමනය වගේ දේවල් වැටෙන්නේ ඔය ගොඩට. ඒ වගේ දේවල් සම්බන්ධව රජයට ඒකාධිකාරයක් තියෙනවා.

කිසියම් ආයතනයකට ඒකාධිකාරයක් තියෙනවා කියන්නේ මිල තීරණය කිරීමේ හා එමගින් ලාබ තීරණය කිරීමේ හැකියාවක් තියෙනවා කියන එකයි. තරඟකාරී වෙළඳපොළක මෙන් ස්වභාවික ලෙස ලාබ නියාමනය වීමේ යාන්ත්‍රණයක් ඒකාධිකාරයක් තුළ නැහැ. එහෙමනම්, ඒ වගේ ආයතනයක් ලාබ ලබනවද කියලා හොයන එකේ ලොකු තේරුමක් නැහැ. ඒකාධිකාරයකට පහසුවෙන්ම ලාබ ලැබිය හැකියි.

හැබැයි ඒකාධිකාරයක් තිබූ පමණින් ස්වභාවික ලෙසම ලාබ ලැබෙන්නේ නැහැ. පහසුවෙන් ලාබ ලැබීමේ හැකියාවක් තිබෙනවා කියන එකෙන්ම ලාබ ලබන බව අදහස් වෙන්නේ නැහැ. කළමනාකරුවන්ගේ අකාර්යක්ෂමතාවය නිසා (දූෂණ, හොරකම්, නාස්තිය, අදක්ෂතාව ඇතුළුව) ඒකාධිකාරී ව්‍යාපාරයක් පාඩු ලබන්න පුළුවන්. එසේ නොවන බවට වග බලා ගන්න එක කොටස් හිමියන්ගේ වැඩක්. රජය කියන ඒකාධිකාරය සැලකුවොත් මේ කොටස්හිමියෝ කියන්නේ රටේ මහජනතාව. තමන්ට අයිති සමාගම පාලනය කරන කළමනාකරුවෝ අකාර්යක්ෂමද කියලා හොයලා බලන එක ඒ අයගේ වැඩක්. හරියට හොයා බැලුවේ නැත්නම් පාඩුව වෙන්නේ කොටස් හිමියන්ට.

සාමාන්‍යයෙන් ලෝකයේ හැම රටකම වගේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ සිදුවෙන දේවල් හැරුණු විට වෙනත් දේවල්ද ඇතැම් රටවල රජයයන් විසින් කරනවා. සමහර රටවල මේ වගේ වෙනත් දේවල් වලටත් රාජ්‍ය ඒකාධිකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් රජයක් විසින් සලසන සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැහැ. මම මේ කතා කරන්නේ රාජ්‍ය ව්‍යවසාය ගැන නෙමෙයි. කෙළින්ම රජය විසින් සලසන සේවාවන් ගැන. ලංකාවේ සන්දර්භය ගත්තොත් ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් ගැන. ඉන්ධන, විදුලිබලය, ප්‍රවාහනය වගේ දේවල් මේ ගොඩට වැටෙන්නේ නැහැ. 

රජය විසින් සලසන සේවාවන් වන ජාතික ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ දේවල් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් හදන්නේ නැත්තේ එවැන්නක් කළ නොහැකි නිසා. ලාබ ගණන් හදන්න ආදායමක් තිබිය යුතුයි. මේ සේවාවන් වෙළඳපොළක විකුණන්නේ නැති නිසා ලැබෙන ආදායමක් පැහැදිලිව පේන්න නැහැ. ආදායම් පේන්න නැතත්, මේ සේවා සපයන්න වියදම් යනවා. ඒ වියදම් පහසුවෙන්ම ගණන් බැලිය හැකියි. 

පේන්න තිබුණත් නැතත් ආදායමක් නැත්නම් වියදම් කරන්න බැහැ. ඒ නිසා, රජයක් විසින් කරන වියදම් එන විදිහකුත් තියෙන්න ඕනෑ. රජයක් විසින් සිදු කරන වියදම් පියවා ගන්නේ අය කරන බදු වලින්. 

යුද්ධ හමුදාව ගිය වසරේ බිලියන කීයක් ලාබ ලැබුවාද වගේ ප්‍රශ්නයකට තේරුමක් නැත්තේ මේ සන්දර්භය ඇතුළේ. හමුදාවට බඳවා ගන්නා ප්‍රමාණය තීරණය කරන්න රජයට පුළුවන්. ගෙවන වැටුප් තීරණය කරන්නත් පුළුවන්. බදු අය කරලා යන වියදම පියවා ගන්නත් පුළුවන්. යුද්ධ හමුදාවේ ලාබ පාඩු ගණන් හදනවානම් හදන්න වෙන්නේ රජය විසින් යුද්ධ හමුදාවේ වියදම් වෙනුවෙන් වෙන් කළ බදු මුදල යුද්ධ හමුදාවේ ආදායමක් ලෙස සලකලා. ඒ අනුව, යුද්ධ හමුදාව ලාබ ලබා තිබුණත්, පාඩු ලබා තිබුණත් එයින් කළමනාකරණයේ කාර්යක්ෂමතාව හෝ අකාර්යක්ෂමතාව පිළිබිඹු වන්නේ නැහැ. ඒ නිසා, ලාබ පාඩු ගණන් බලන එකේ තේරුමක් නැහැ. රජය විසින් සපයන වෙනත් සේවාවක් ගත්තත් එහෙමයි.

රජයක් විසින් සපයන සියලුම සේවාවන් වල පිරිවැය ආවරණය කරගත හැකි තරමේ බදු ආදායමක් රජයට ලැබෙනවානම්, රටේ ජනතාව කැමැත්තෙන්ම ඒ බදු මුදල ගෙවනවානම් එයින් අදහස් වෙන්නේ රජය පාඩු නොලබන බවයි. රජයේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සාධාරණය ඉටු කරන බවයි.

එහෙත් එපමණකින් රජයට "ලාබ" වැඩි කරගත නොහැකි බවක් කියැවෙන්නේ නැහැ. රජයකට වුවත් පෞද්ගලික ආයතනයකට මෙන්ම දිගින් දිගටම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකියි. එසේ සිදු වේනම්, එක්කෝ බදු ආදායම් (හා රජයේ වියදම්) නොවෙනස්ව තිබියදී ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ යා යුතුයි. එසේ නැත්නම්, ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා යන වියදම ක්‍රමක්‍රමයෙන් පහළ යා යුතුයි.

ආරක්ෂාව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි සේවාවන් වල ලාබ පාඩු වෙන වෙනම ගණන් බැලුවේ නැතත් සමස්තයක් ලෙස රජය කියන ආයතනයේ ලාබ පාඩු ගණන් බැලීමක් කෙරෙනවා. රජයක අයවැය කියන්නේ ඒකට. අයවැය හිඟයක් තියෙනවා කියා කියන්නේ රජය පාඩු ලබනවා කියන එකයි. රජය ලාබ ලබනවානම් අයවැය අතිරික්තයක් තිබිය යුතුයි. 

ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා කියා කියන්නේ ආයතනය පවත්වා ගෙන යාම සඳහා ප්‍රාග්ධනය එළියෙන් පොම්ප කළ යුතුයි කියන එකයි. එක්කෝ ණය ගන්න වෙනවා. නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දාන්න වෙනවා. 

මේ කතාව රජයකටත් එක සේ වලංගුයි. රජයක් දිගින් දිගට පාඩු ලබනවානම් ණය ගන්න වෙනවා. ඒ විදිහට ගන්න ණය ආපසු ගෙවීමේ වගකීම තියෙන්නේ කොටස්හිමියන්ට. එහෙම නැත්නම් කොටස්හිමියන්ට සල්ලි දමන්න වෙනවා. ණය ගත්තොත් ඒ සල්ලි ආපසු ගෙවන්නත් කවදා හෝ කොටස්හිමියන්ටම සල්ලි දමන්න වෙනවා. බදු වැඩි කරනවා කියා කියන්නේ රජය කියන සමාගමේ කළමනාකරුවන් විසින් කොටස්හිමියන්ට සල්ලි දාන්න කියන එක. 

රජය විසින් සල්ලි දමා රජයේම කොටසක් නොවන (රජයට අයිති හෝ අයිති නැති) ආයතනයක් සුබසාධනය කළ හැකියි. මෙහිදී වෙන්නේ රජයේ ආදායම් (බදු) වලින් කොටසක් රජයෙන් පිටතට ගලා යාමක්. නමුත්, රජය කියන ආයතනය සුබසාධනය යටතේ පවත්වා ගෙන යන්න බැහැ. ඒ සල්ලි කොහෙන් හෝ එකතු විය යුතුයි. 

රජයක් විසින් සලසන නිශ්චිත සේවාවක ලාබ පාඩු ගණන් බලන්න අසීරු වුවත්, රජයට අයිති ව්‍යවසායයක ලාබ පාඩු පහසුවෙන් ගණන් බලන්න පුළුවන්. අවශ්‍යනම් රජයකට එවැනි ආයතනයක් බදු මුදලින් සුබසාධනය කරමින් පාඩුවටම පවත්වාගෙන යන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඒ වගේ වැඩක් වුනත් කරන ආකෘතියක් තිබෙනවා. එහිදී වෙන්නේ රජය විසින් අදාළ ආයතනයට ලබා දෙන බදු මුදල් ප්‍රමාණය කලින්ම දෙන එක. එම මුදල අදාළ ආයතනයේ ආදායම් වලට එකතු වෙනවා. ඒ කොටස ඉවත් කළොත් ආයතනය පාඩු ලබනවා පුළුවන්. නමුත්, ලබා දුන් බදු මුදල ආදායමක් සේ සැලකීමෙන් පසුව අදාළ ආයතනය විසින් තරඟකාරී ආයතනයක් තරමටම ලාබ ලබා තිබිය යුතුයි.

කෙටියෙන් කිවුවොත් රජය විසින් රජයට අයිති හෝ අයිති නැති ආයතන සුබසාධනය කරමින් නඩත්තු කළ යුතුයි කියා කාට හෝ යෝජනා කළ හැකියි. හැබැයි ඒ එක්කම එසේ සුබසාධනය කිරීම සඳහා සල්ලි හොයා ගත යුතු ක්‍රමයක්ද යෝජනා කරන්න වෙනවා. 

10 comments:

  1. කැමැත්තෙන් යවන උන් එලවන්න බැටේ
    දෙන්නට ඉඩක් නැති ක්‍රමයක් තියෙන රටේ
    උන් රඟපාති- දියවන්නා අඩවි වටේ
    අපේ බදු මුදල් යවමින් මකර කටේ!

    ReplyDelete
  2. 'ඉහතින් තියෙන්නේ අපේ වියුණුවේ දමා තිබුණු ප්‍රතිචාරයක කොටසක්. කොහේ හෝ තැනකින් කොපි කරගෙන අලවපු එකක් වෙන්නත් පුළුවන්. අපි ඉහත උපුටනයේ අගින් සාකච්ඡාව පටන් ගනිමු. '

    ඕක මම මේකේ දැම්මේ.අරගලයේ ඉන්න කෙනෙක්ගේ ෆේස්බුක් ගිනුමක දාලා තිබුන සටහනක් ඕක. මම ඕක මෙතන උස්සලා දැම්මේ හරියට කියවලා වත් නෙමෙයි. මුල් ටික යන්තන් කියවලා උඩින් පල්ලෙන්.

    මම ඕක දැම්මේ මොකද ඊට පස්සේ ඉකොනෝමැට්ටා ඕක අල්ලං පත හෑල්ලක්‌ ලියන බව දන්නා නිසා. ඉකොනෝගේ කාලය වැය කරලා විනෝද වෙන්න.

    ReplyDelete
  3. බොන් වොයෙශ් ගෙරෝයි සෝවියට්කෝගෝ සොයුසා..!!

    පැරණි කොමියුනිස්ට් සිරිතට අනුව මිහායෙල් ගොර්බචොව් සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය...!!!

    ReplyDelete
  4. ඉකොනො,

    රුපියල පා කලොත් උද්දමනය තවත් වැඩි වෙන්න පුලුවන් නෙද? එක කොහොමද නවත්තන්නෙ?

    අවුරුදු 5ක් නය සහන කාලයක් ඉල්ලල තියනවා කියලා මහ බැන්කු අදිපති තුමා කිව්වා. අවුරුදු 5ක් ඇති වේද අපෙ අපනයන අදායම අවශ්ය පරිදි වැඩි කරගන්න. නැතිනම් ආයිමත් අපෙ අය්යලා නය අරන් නය ගෙවන්න හදයි ද?

    ReplyDelete
  5. මේ දවස්වල රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා වෙනවා. මේ ඒ ගැන විශේෂඥ අදහසක් නෙමෙයි. සාමාන්‍ය පුරවැසි මාධ්‍ය නිරීක්ෂණයක් මත පදනම් වූ විචාරශීලී අදහසක්.

    මා නිරීක්ෂණය කර තිබෙන ආකාරයට ප්‍රතිව්‍යූහගත කිරීම ක්‍රම ගණනාවකට කරන්නට පුළුවන්. ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය අනිවාර්ය නැහැ. ආයතන ලාභ ලබන හෝ පාඩු නොලබන හෝ අවම පාඩුවක් ලබන හෝ පාඩු ලැබුවත් ඉහළ කාර්යක්ෂමතාවකින් පවතින විදියට වෙනස් කිරීම තමයි ප්‍රතිව්‍යූහගත කිරීම කියන්නෙ.

    හැම රාජ්‍ය සේවාවක්ම ලාභ ලැබිය යුතු නැහැ. ඇතැම් රාජ්‍ය සේවාවන්ට ලාභය අදාළම නැහැ. පාසල් අධ්‍යාපනය හා මහජන සෞඛ්‍යය එවැනි සේවා දෙකක්. එහෙත්, ඒ සඳහා භාවිතා කරන මහජන මුදල්වලින් උපරිම ඵලදායීතාවක් ලබාගැනීමට නම් ඉහළ කාර්යක්ෂමතාවක් තිබිය යුතුයි. උදාහරණයක් විදියට ජාතික පාසල්වල වැඩක් නොමැතිව නිකම් වැටුප් ගන්නා ගුරුවරුන් ගුරු හිඟය පවතින දුෂ්කර පාසල්වලට මාරු කර තුලනය කිරීමත් ප්‍රතිව්‍යූහගත කිරීමක්ම තමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය විතරක් නෙමෙයි දිළිඳු සහනාධාර සම්පාදනය පවා ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. උදාහරණයක් ලෙස සමෘද්ධි අධිකාරිය සලකා බලන්න. දිළිඳු ජනයාට සහනාධාර බෙදාදීම හැර වෙනත් වැදගත් කාර්යයක් ඉටු නොකරන මෙම ආයතනයේ සේවක පඩිනඩි වෙනුවෙන් එහි සමස්ත වියදමින් 25%ක් වැයවන බව අධ්‍යයන මගින් සොයාගෙන තිබෙනවා. මෙය ප්‍රතිව්‍යූහගත කළ යුතුයි. සහනාධාර අවශ්‍ය අය හඳුනාගැනීමේ ක්‍රමය විධිමත් කළ යුතුයි. ඔවුන්ට ගිනුම් විවෘත කරදී කෙළින්ම ගිනුමට මුදල් බැරකළ හැකියි. ඒ සමගම ඔවුන් බැංකු සමග ගනුදෙනු කරන්නට පටන්ගත්තොත් ඔවුන්ගේ ජීවිතත් ප්‍රතිව්‍යූහගත වෙලා බැංකුත් ප්‍රතිව්‍යූහගත වෙනවා.

    අභ්‍යන්තර වෙනස්කම් සිදුකිරීමත් ප්‍රතිව්‍යූහගත කිරීම සිදුකරන ආකාරයක්. පරිපාලනය, කළමනාකරණය ශක්තිමත් කරන්නට පුළුවන්. නවීන තාක්ෂණයට පරිවර්තනය කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඒ මේසෙන් මේ මේසෙට ලියුම් යැවීම වෙනුවට ඊමේල් භාවිතයට රාජ්‍ය සේවකයන් යොමුකරන්නට පුළුවන්. අභ්‍යන්තර ප්‍රතිව්‍යූහගත කිරීම් සඳහා කාර්යසාධන දර්ශක සැකසීම, අධීක්ෂණය ආදිය විධිමත් කිරීමත් අවශ්‍ය වෙනවා.

    සමහර අතිවිශාල ආයතන ස්වාධීන ආයතන කීපයක් වෙන් කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට විදුලිබල මණ්ඩලය ජනනය, සම්ප්‍රේෂණය ආදී වශයෙන් වෙන වෙනම ආයතන බවට පත් කරන්නට සැලසුම් අවුරුදු 20කට විතර කලින් හැදුවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහන ණයකුත් පිරිනමන්නට එකඟවී තිබුණා. ඒත් වෘත්තීය සමිති විරෝධය හා දේශපාලකයන්ගේ උනන්දුවක් නැතිකම නිසා සිදුවුණේ නැහැ.

    රාජ්‍ය දෙපාර්තමේන්තු රජයට අයත් සමාගම්, සංස්ථා, අධිකාරි, මණ්ඩල වැනි ස්වාධීන ආයතන බවට පත්කරන්නට පුළුවන්. රජයේ ආධාර නොමැතිව පවත්වාගෙන යාම අනිවාර්ය කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට බදු එකතුකිරීම සඳහා එවැනි අධිකාරියක් පිහිටුවීමේ යෝජනා තිබෙනවා.

    රජයේ සමාගම්වලට ප්‍රාග්ධනය ලබාගැනීම සඳහා හා අයිතිය පුළුල් කිරීම සඳහා ඒවා කොටස් වෙළඳපොළට විවෘත කරන්නට පුළුවන්. අයිතිය පුළුල් කිරීම නරක දෙයක් නෙමෙයි. උදාහරණයක් ලෙස ටෙලිකොම් සමාගමේ රජයේ අයිතිය අවභාවිතාවට ලක්වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විදුලි සංදේශ කර්මාන්තය ගැන කිසිදු පළපුරුද්දක් නොමැති තම සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන අති විශාල වැටුපකට ටෙලිකොම් සභාපති ලෙස පත්කිරීම වැනි නීත්‍යානුකූල දූෂණයකට මගපෑදුණේ රාජ්‍ය අයිතිය පිළිබඳ ගැටලු නිසායි.

    විශාල ප්‍රාග්ධනයන් ලබාගැනීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් ලබාගන්නට පුළුවන්. දුම්රිය වැනි අංශ සංවර්ධනය කරන්නට එවැනි ප්‍රතිව්‍යූහගත කිරීම් යොදාගත හැකියි.

    රටට විදේශ විනිමය ගෙනඒම සඳහා විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ගොඩනගාගන්නට පුළුවන්. ත්‍රිකුණාමලය තෙල් ටැංකි, මත්තල ගුවන් තොටුපළ, වරාය ජැටි ආදිය මේ සඳහා උදාහරණ.

    කළමනාකරණය පෞද්ගලික අංශයට පවරන්නට පුළුවන්. රාජ්‍ය වතුවල කළමනාකරණය මේ අන්දමින් පෞද්ගලික අංශයට පවරා තිබුණා. ඒත්, එය සාර්ථක වුණේ නැහැ.

    සමහර ආයතන පෞද්ගලික අංශයට විකුණාදැමීමත් කළ හැකියි. උදාහරණයක් ලෙස ශ්‍රීලන්කන් වැනි අධික විදියට පාඩු ලබන ආයතන එසේ අලෙවි කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. රජය බිස්නස් නොකර යථාර්ථවාදී නියාමනයට අවධානය යොමුකළ යුතුයි. යථාර්ථවාදී නියාමනයක් කියන්නෙ බිත්තර මිල නියම කිරීම වගේ දෙයක් නෙමෙයි. බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු වගාවේ සිට සියලු දේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන එක. බිත්තර නිෂ්පාදකයන් හා බඩඉරිඟු ගොවියා අතර ඍජු සම්බන්ධතා නැහැ. එවැනි අවස්ථාවලදි තමයි රාජ්‍ය මැදිහත්වීම වැදගත් වෙන්නෙ.

      රාජ්‍ය ඒකාධිකාරයන් අවසන් කිරීමත් ප්‍රතිව්‍යූහගතකරණයේ එක් ආකාරයක්. ඛනිජ තෙල් සංස්ථාවේ අර්ධ ඒකාධිකාරය වෙනස් කිරීම සඳහා තවත් සමාගම් කීපයකට තෙල් ආනයනයට හා අලෙවියට අවස්ථාව ලබාදීම එවැනි ප්‍රතිව්‍යූහගත කිරීමක්. එහෙම කළාම ඛනිජතෙල් සංස්ථාවට සිදුවෙනවා අලුත් තත්වයට හැඩගැසෙන්නට.

      පොදුවේ ලබාදෙන සහනාධාර ඉවත්කර, සහනාධාර අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම්වලට පමණක් සීමාකර, මිල සූත්‍ර හඳුන්වාදීමත් ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේදී යොදාගත හැකියි. උදාහරණයක් ලෙස, ජල සම්පාදන මණ්ඩලය ජලය අලෙවියෙන් යැපෙන ආයතනයක් බවට පත්කිරීමෙන් එම ආයතනය ප්‍රතිව්‍යූහගත වීමක් සිදුවෙනවා.

      ප්‍රතිව්‍යූහගත කිරීම පාඩු ලබන ආයතනවලට පමණක් සීමාකළ යුතු නැහැ. ලාභ ලබන ආයතනවල ලාභ ප්‍රශස්ත කිරීමටත්, සමස්තයක් ලෙස ආර්ථිකය හැඩගැස්වීමටත් ප්‍රතිව්‍යූහගතකරණය යොදාගත හැකියි.

      ඒ වගේම ප්‍රතිව්‍යූහගතකරණය අඛණ්ඩව කළයුතු ක්‍රියාවලියක්. වෙනස් වෙන වෙළඳපොළ, සමාජය, සංස්කෘතිය, තාක්ෂණය එක්ක අනිවාර්යයෙන්ම එය කරන්නට වෙනවා. උදාහරණයක් විදියට රෝහල්වල ඊසීජී ගැනීම තාක්ෂණය එක්ක සරල වෙනවා. එතකොට ඊසීජී ටෙක්නීෂියන් කියලා රාජ්‍ය සේවයේ තනතුරක් අවශ්‍යද කියා නැවත සලකා බැලිය යුතුයි. ඒ වෘත්තියේ යෙදෙන අය වෙනත් කාර්යයන් කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා ගොඩනැගිය යුතුයි.

      රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත වෙනකොට, පෞද්ගලික අංශයත් ප්‍රතිව්‍යූහගත වෙනවා. අපේ ජීවිතත් අපි අනිවාර්යයෙන් ප්‍රතිව්‍යූහගත කරගත යුතුයි. සහනාධාර මත ලැබෙන ඉන්ධන, විදුලිය, ජලය නොමැති, අපට සහනාධාර ලබාදීමෙන් පැවැත්ම තහවුරු කරගන්නා විශාල රාජ්‍ය යාන්ත්‍රයක් නැති, ඒ රාජ්‍ය යන්ත්‍රය පාවිච්චි කරමින් බලවත් වන දේශපාලකයන් නැති අලුත් ලෝකයක, අලුත් ජීවිතයක් ප්‍රතිව්‍යූහගත කරගන්නටත් අපට පුළුවන්. අපි වෙළඳපොළ, ලාභය, රැකියා, සේවායෝජකයන්, වෘත්තීය අයිතිවාසිකම්, සහනාධාර, බදු, රාජ්‍ය සේවා, පුරවැසි වගකීම් ආදිය ගැන සිතන ආකාරය වෙනස් කරගැනීමත් දැවැන්ත ප්‍රතිව්‍යූහගත වීමක්.

      අවසානයේදී සමාජ විප්ලවය කියන්නෙත් ප්‍රතිව්‍යූහගත කිරීමක්.

      -තරිඳු උඩුවගෙදර- රාවය පුවත්පත-

      Delete
    2. ලිපියට පෙර තරිඳුව කියවිය යුතුයි.

      Delete
  6. වැලැක්විය නොහැකි වූ කරුණු කිහිපයක් නිසා "ගිනි සිසිල" මාසික වැඩිහිටි සඟරාවේ සැප්තැම්බර් 2022 කලාපය අද උදෑසන නිකුත් නොවෙන බව කරුණාවෙන් දැනුම් දෙමි.

    -රසික සූරියාරච්චි, සංස්කාරක, "ගිනිසිසිල" වැඩිහිටි සඟරාව
    සිංහල සංස්කෘතික හමුවේ සමලිංගික ලේඛක සංසදය,
    නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය, ඕස්ට්‍රේලියාව

    ReplyDelete
  7. මුල්‍ය බලතල ඇති පාර්ලිමේන්තුවට නොදන්වා ණය නොගෙවන බව නිවේදනය කිරීම ගෝඨාභය, අලි සබ්‍රි සහ නන්දලාල් යන අයත්, එය දිරිගැන්වූ හර්ෂ ද සිල්වා වැනි ආර්ථික පඬිවරුනුත් කළ බරපතල වරදකි.
    ණය ගෙවන්නට මුදල් නැතිවුණා නම් මුලින්ම කළ යුතුව තිබුණේ ඒ බව ණය හිමියන් සමග සාකච්ඡා කර කල් ඉල්ලාගැනීමට උත්සාහ කිරීම මිස නිවේදන නිකුත් කර බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නොවේ.
    එහෙත්, ඒ මොහොතේ් පැවතියේ අරාජිකත්වයකි. සබ්‍රි හා නන්දලාල් භාරගත්තේ කිසිවෙකු කරගසන්නට අකැමැති වූ බරකි.
    වැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම ද අවසානයේ මිනිස් ගතියකි. ඕනෑම වරදකට සමාව දියයුත්තේ නැවත සිදු නොවන බවට පාඩමක් ඉගෙනගන්නා පසුබිමක් තුළය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: