වෙබ් ලිපිනය:

Friday, October 30, 2026

උද්ධමනය 8.3% දක්වා ඉහළට!


ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික නිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය අර්බුදයෙන් පසුව ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු වාර්තා වන ඉහළම අගයයි. 

අපගේ පෙර සටහන් වලද සඳහන් කර ඇති පරිදි, නොවැම්බර් මාසයේදී මෙම අගය තව දුරටත් ඉහළ යා හැකි නමුත් දෙසැම්බර් මාසයේදී යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකියි. කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් අර්ධය තුළද උද්ධමනය පවතිනු ඇත්තේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම වන 5% ඉක්මවන ඉහළ තනි අංකයේ අගයකයි. 

නිල උද්ධමනය ලෙස මනිනු ලබන්නේ පසුගිය වසරක කාලය තුළ කොළඹ පාරිභෝගික නිල දර්ශකයේ අගය වෙනස් වීමයි. එය ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා. මේ සඳහා වසරක කාලයක සාමාන්‍ය මිල වැඩි වීම සලකා බලන බැවින් කිසියම් බාහිර කම්පනයක් නිසා මිල මට්ටම ඉහළ ගිය විට එම බලපෑම ඉවත් වීම සඳහාද වසරක පමණ කාලයක් ගත වෙනවා. 

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය දෙවසරක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමයි. මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වී ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, මෙම වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලය තුළ, මුදල් සැපයුම වැඩි කිරීම හේතුවෙන් සිදුවෙන මිල මට්ටමෙහි සිදු වන සාමාන්‍ය වැඩිවීම ඉක්මවා යන, එකවර සිදු වන විශාල ඉහළ යාමක් සිදු වුනා. එහෙත් පසුගිය ජූනි මාසයේ සිටම මිල මට්ටම ඉහළ යමින් තිබෙන්නේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම හා සැසඳෙන වේගයකිනුයි. එබැවින් වසරක කාලයකින් පසුව සැපයුම් කම්පනයේ තාවකාලික බලපෑම ඉවත් වූ පසුව උද්ධමනය නැවතත් මහ බැංකුවේ ඉලක්ක මට්ටමට පැමිණීමට නියමිතයි.

මහ බැංකුව විසින් ඉදිරි තෙවසරක කාලය තුළද උද්ධමන ඉලක්කය 5% ලෙස පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. එහෙත්, සැපයුම් කම්පන තත්ත්වයකදී උද්ධමනය එම මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි. 

8 comments:

  1. 2026 පෙබරවාරි ඉඳන් මැයි වෙනකම් මාස තුනක් ඇතුළත පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගිහින් තියෙන විදිය බලන්න. වාර්ෂික උද්ධමනයත් පෙබරවාරි මාසයේ 1.6% ඉඳන් මැයි මාසයේ 5.5% දක්වා ඉහළ ගිහින්.

    ආණ්ඩුවට හැමදාම ජාත්‍යන්තර අර්බුදවලට ඇඟිල්ල දික් කරලා මේකෙන් ගැලවෙන්න බැහැ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීම ඇත්ත. හැබැයි ඒ බර කොපමණ ප්‍රමාණයකින් සාමාන්‍ය ජනතාව මත පටවනවාද, ඒ බලපෑම අවම කරන්න මොනවද කරන්නේ කියන එක ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ වගකීමක්.

    මාස තුනක් ඇතුළත මේ තරම් වේගයෙන් ජීවන වියදම ඉහළ යද්දී ජනතාවගේ ආදායම ඒ වේගයෙන් වැඩිවෙලා නැත්නම් සිදුවෙන්නේ ඔවුන්ගේ සැබෑ මිලදී ගැනීමේ හැකියාව කඩා වැටීමයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටක ජනතාවගේ ජීවන තත්ත්වය පහළ වැටෙන්නේ නැහැ. එය ජනප්‍රිය මිථ්‍යාවක්. කාගේ හෝ වියදමක් කියන්නේ හැම විටකම තවත් කාගේ හෝ ආදායමක් නිසා උද්ධමනය හේතුවෙන් කෙනෙකුගේ වියදම් වැඩි වෙද්දී තවත් කෙනෙකුගේ ආදායම්ද වැඩි වෙනවා. නමුත් යම් නිශ්චිත පුද්ගලයෙකුගේ වියදම් වැඩි වෙන තරමට ආදායම් වැඩි නොවීම නිසා ජීවන තත්ත්වය පහත වැටෙන්න පුළුවන්. ඒ වෙනුවට වෙනත් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. එසේ වුවත්, ඉන්ධන මිල වැඩි වීම වැනි අවස්ථාවකදී ආදායම් වැඩි වෙන්නේ රටින් පිටත ඉන්න කෙනෙකුගේ නිසා පොදුවේ රටේ හැමෝගෙම වගේ ජීවන තත්ත්වය පහළ වැටෙනවා. ඉන්ධන මිල වැඩි වීමට අනුරූපව රටේ කාගෙවත් ආදායම් වැඩි වෙන්නේ නැහැ. ලෝක වෙළඳපොළේ තේ වගේ දෙයක මිල ඉහළ ගියොත් වෙන්නේ එහි අනෙක් පැත්ත. පොදුවේ ගත්තහම ලංකාවේ අපනයන වලට වඩා ආනයන වැඩි නිසා මෙහි අවාසි පැත්තට බර වැඩියි. ඉන්ධන මිල වැඩි වෙද්දී එය ලංකාවේ ගොඩක් අයට දැනෙන්නේ මේ හේතුව නිසා.

      Delete
    2. ඔබ කියන කාරණයේ ඇත්තක් තියෙනවා. රටක යම් මට්ටමක උද්ධමනයක් පැවතීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම කෙනෙකුගේ වියදමක් තවත් කෙනෙකුගේ ආදායමක් වෙනවා කියන එකත් ඇත්ත.

      හැබැයි එතැනදී මට හිතෙන්නේ තවත් වැදගත් කාරණයක් සලකා බලන්න ඕන කියලා. ඒ තමයි උද්ධමනය නිසා ඇතිවෙන පීඩනය බාහිර සාධක නිසාම ඇතිවෙන දෙයක්ද, නැත්නම් රට ඇතුළේ සිදුවෙන අකාර්යක්ෂම කළමනාකරණය නිසාත් වැඩිවෙනවාද කියන එක.

      උදාහරණයකට දැන් තියෙන ඉන්ධන ප්‍රශ්නය ගනිමු. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම අපට පාලනය කරන්න බැරි බාහිර කම්පනයක්. ඔබ කියන විදියටම ඒ වැඩිවන වියදමේ ප්‍රතිලාභය අපේ රටේ ජනතාවට ලැබෙන්නේ නැහැ.

      හැබැයි මේ පාර ඒ බාහිර කම්පනයට අමතරව අපේම කළමනාකරණ දුර්වලතා නිසා ඇතිවුණු පීඩනයකුත් තියෙනවා.

      බාල ගල්අඟුරු ආනයනය නිසා නොරොච්චෝලේ අපේක්ෂිත විදුලි නිෂ්පාදනය ලබාගන්න බැරිවුණා. ඒ අඩුව පුරවන්න වැඩි පිරිවැයකින් වෙනත් ප්‍රභවවලින් විදුලිය ලබාගන්න සිදුවුණා. ඒ අතර ඩීසල් සහ දැවිතෙල් මත පදනම් වූ විදුලි නිෂ්පාදනයත් තිබුණා.

      ඒ කියන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය වෙලාවකම, අපේම අකාර්යක්ෂමතාව නිසා වැඩි පිරිවැයක් දරන්නත් සිදුවුණා කියන එකයි.

      මෙතැනදී මතුවෙන ප්‍රශ්නය තමයි මේ අමතර වියදමට වගකියන්නේ කවුද කියන එක.

      ඒ නිසා අද ජනතාවට දැනෙන ජීවන වියදම් පීඩනය සම්පූර්ණයෙන්ම ලෝක ආර්ථිකයේ බාහිර කම්පනවලට බැර කරන්න බැහැ. අපේම ප්‍රතිපත්ති තීරණ සහ කළමනාකරණ දුර්වලතාත් ඒ පීඩනය වැඩි කරන්න හේතු වෙලා තියෙනවා.

      අනෙක් කාරණය, කෙනෙකුගේ වියදමක් තවත් කෙනෙකුගේ ආදායමක් වුණා කියලා රටේ සමස්ත ජීවන තත්ත්වය නොවෙනස්ව තියෙනවා කියන්නත් බැහැ. නිෂ්පාදන පිරිවැය වැඩිවීම, සැබෑ වැටුප් අඩුවීම, ඉතුරුම්වල වටිනාකම පහළ යෑම වගේ දේවල්වලින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට සැබෑ හානියක් වෙන්න පුළුවන්.

      ඒ නිසා මම නම් හිතන්නේ මේ උද්ධමනය ගැන සාකච්ඡා කරනකොට බාහිර කම්පන වගේම ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ කාර්යක්ෂමතාවත් සලකා බලන්න ඕන කියලා.

      ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩිවීම අපට නවත්වන්න බැහැ. හැබැයි බාල ගල්අඟුරු ගෙනැල්ලා ඒ පීඩනය තවත් වැඩි කරගැනීම නම් වළක්වාගත යුතුව තිබුණු දෙයක්.

      Delete
    3. @ මයියා

      Well said. Agree with you 100%

      Delete
    4. ආදායම් වැඩි වන්නේ නිෂ්පාදකයන් සේවා සපයන්නන් හෝ අතරමැදි කන්ඩායම් වෙත පමණයි. ස්ථාවර අදායම් වැටුප හෝ දීමනා ලබන කන්ඩායම් හෝ අදායමක් උපයන නොහැකි අය විශාල ප්‍රතිශතයක් නිසා උද්ධමනයේ සුළු වැඩිවීමක් උවත් සමස්ථ පීඩනය වැඩි නොවන් නේද? අනේ මන්දා මේ අතන මෙතන ආර්ථික විද්‍යාව නම්

      Delete
    5. ඔබ කියන දෙයට ආර්ථික විද්‍යාවේදී කියන්නේ Sticky wages කියලා. සාර්ව ආර්ථික මැදිහත්වීම් කරන්නේ ඔය පදනම මත. දිගුකාලීනව බැලුවොත් "ස්ථාවර ආදායම් වැටුප හෝ දීමනා" කියා දෙයක් නැහැ. හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් කෙටිකාලීනව වියදම් වැඩි වන අවස්ථාවේදීම හැමෝගෙම ආදායම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා උද්ධමනය ඇති විට නිෂ්පාදකයන් සේවා සපයන්නන් හා අතරමැදි කන්ඩායම් වලට තාවකාලිකව වාසියක් වෙනවා. ශ්‍රමිකයින්ට තාවකාලිකව අවාසියක් වෙනවා. රටේ පැත්තෙන් බැලුවොත් මේ හරහා නිෂ්පාදනය දිරි ගැන්වී ආර්ථිකය ප්‍රසාරණය වීමක් වෙනවා. ඒ මගින් දිගුකාලීනව හැමෝටම යහපතක් වෙනවා. රටේ භාණ්ඩ හා ඉල්ලුම අඩු වූ විට මෙහි අනෙක් පැත්තත් වෙනවා. නිෂ්පාදකයන්ගේ හා සේවා සපයන්නන්ගේ ආදායම් පහත වැටෙනවා. නමුත් ශ්‍රමිකයින්ට කලින් ලැබුණු ස්ථාවර වැටුප ඒ විදිහටම ලැබෙනවා. මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයෝ නිෂ්පාදනය සීමා කරනවා. ආර්ථිකය හැකිලෙනවා. පීඩනය ගන්න වෙන්නේ නිෂ්පාදකයින්ට. ශ්‍රමිකයින්ට පීඩනයක් නැහැ. නමුත් ආයතන වැහිලා ගිහින් රැකියා නැති වුනොත් පීඩනය ශ්‍රමිකයින්ට එනවා.

      Delete
  2. සොබාවික විපත් අඩු නොවෙනා සමයේ
    විහින්ම දා ගන්නා ලෙඩ වැඩි සමයේ
    උද්ධමනෙත් ඉහළ යනවිට තකහනියේ
    පුංචි සිඤ්ඤොලා වැටිලා ඇත නිරයේ!

    ReplyDelete
  3. මං ගෙවපු බදු වලට මොකද කෙරුවෙ කියල SMS එක ආවා...
    ආසියාවම අපුල්ලන්න සිරසට දුන්නා කියලා..බදු ගෙවූ ඔබට ස්තූතියි..🤣🤣

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: