Tuesday, May 31, 2016

දැල්වී, දැවී යන රුපියල් හා ජීවිත


පසුගිය 2015 වසර සඳහා වූ ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව අනුව එම වසර තුළ සමාගම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 106.5 කි. මෙය පෙර වසරේ ආදායම වූ රුපියල් බිලියන 87.9 ට සාපේක්ෂව 21.2% ක සැලකිය යුතු වර්ධනයකි. දුම්කොළ සමාගම විසින් සිය ආදායම මෙසේ ඉහළ නංවාගෙන ඇත්තේ සමාගමේ නිෂ්පාදන මත රජය විසින් පනවන බදු පසුගිය වසර තුළදීද විශාල ලෙස වැඩි කර තිබියදීය.

දුම්කොළ සමාගම විසින් පසුගිය වසර තුළ රජයට බදු ලෙස ගෙවා ඇති මුදල රුපියල් බිලියන 91.6 කි. මේ අනුව, සිය ආදායමෙන් 86%ක්ම එම සමාගම විසින් රජයට බදු ලෙස ගෙවා තිබේ. දුම්කොළ මත පනවන බදු වලින් රජය විසින් ලබන ආදායම පෙර වසරට (රුපියල් බිලියන 73.6) සාපේක්ෂව 24.5%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව, රුපියල් බිලියන 12.6 ක ඉහළ ගිය ආදායමෙන් රුපියල් බිලියන 12.0 ක්ම ලබාගෙන ඇත්තේ රජය විසිනි.
රජයට බදු මුදල් එකතු කර දීම වසර ගණනාවකම සිට දුම්කොළ සමාගම හරහා සිදුවන ප්‍රමුඛ කාර්යයක් බව කිව හැකිය. කෙසේවුවද, දුම්කොළ සමාගමේ ලාභ පෙර වසරේ වූ රුපියල් බිලියන 8.6 ට සාපේක්ෂව රුපියල් බිලියන 10.6 ක් දක්වා 23.3%කින් වර්ධනය වී තිබේ.

දුම්කොළ සමාගමේ ආයෝජකයෙකුට වසර මුලදී රුපියල් 1060.10 කට මිල දී ගත හැකිව තිබුණු කොටසක් සඳහා රුපියල් 45.15 ක ලාභාංශ හිමි වී ඇතත් වසර අවසානය වන විට කොටස් මිල රුපියල් රුපියල් 992.50 දක්වා අඩු වී ඇති බැවින් අවසාන වශයෙන් කොටසකට රුපියල් 22.45 ක, එනම් 2.1%ක ශුද්ධ අලාභයක් සිදු වී තිබේ. ඒකාධිකාර පවත්වා ගන්නා ව්‍යාපාර වල හිමිකරුවන්ට පවා හැමවිටම ලාභ නොලැබේ. එමෙන්ම, සමාගමක් ලබන ලාභ හා එහි හිමිකරුන්ට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ අතර හැමවිටම සෘජු සම්බන්ධතාවයක් නැත.


මේ වන විට (2015 ජූලි) ලංකාවේ වැඩිහිටියන්ගෙන් (මෙහිදී අදහස් කෙරෙන්නේ වයස 15ට වැඩි අයයි) 31%ක් පමණ දුම්වැටි උරති. ඔවුන්ගෙන් 91%ක්ම සිගරැට්ද 8% ක් බීඩිද ඉතිරි 1% ප්‍රධාන වශයෙන් සුරුට්ටුද උරති. ඔවුන්ගෙන් 70.7%ක් පමණම දිනපතා පුරුද්දක් ලෙස දුම්වැටි උරන්නෝය.

නාගරික ප්‍රදේශ වලට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශ වල දුම්වැටි භාවිතය විශාල ලෙස වැඩිවීමෙන් පෙනෙන්නේ මේ පුරුද්දේ ඇති හානි පිළිබඳ දැනුම නගරයේ සිට ගමට යන්නේ ඉතා සෙමින් බවයි. මොණරාගල වැසියන්ගෙන් 50%ක් දුම්වැටි උරද්දී (2014 දෙසැම්බර් දත්ත) කොළඹ මේ ප්‍රතිශතය මේ වන විට 23% දක්වා අඩු වී තිබේ.

දුම්වැටි උරන්නන්ගෙන් 30.8%ක් ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද, 26.7%ක් කිසිදු විශේෂ හේතුවක් නැතිවද, 16.3%ක් එයින් සතුටක් ලැබේයැයි සිතන බැවින්ද, 15.9ක් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද, 5.8%ක් ප්‍රශ්න අමතක කිරීමටද, 4.2%ක් තනිකම මකා ගැනීම සඳහාද දුම්වැටියෙකින් සැනසෙති. වයස 24ට අඩු අය ප්‍රධාන වශයෙන් යහළුවන් සමඟ සමාජගත වීම සඳහාද 40ට වැඩි අය ආහාර ගැනීමෙන් පසු පුරුද්දක් ලෙසද දුම්වැටි උරති. මේ අයගෙන් 73.5%ක්ම වයස 20 එළැඹීමට පෙර දුම්වැටි භාවිතය ඇරැඹු අයයි.


දුම්වැටියක මිලෙන් 86%ක් බදු ලෙස අය කිරීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක් බව පෙනේ. කෙසේ වුවද, ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල දුම්වැටි සඳහා අයකරන බදු ප්‍රමාණය මේ වන විට විකුණුම් මිලෙන් 75-80% පමණ මට්ටමක පවතී. එවැනි, ඉහළ බදු අනුපාතයක් පවතිද්දීද දුම්කොළ සමාගම් සාමාන්‍යයෙන් ලාභ ලබයි. ලංකා දුම්කොළ සමාගමට අනුව මේ තරම් දැඩි නියාමනයක් යටතේ වුවද ඉහළ ගිය ඒක පුද්ගල ආදායම හා අඩු උද්ධමනය ලංකාවේ දුම්වැටි සඳහා වන ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති බැවින් ඔවුන්ට සිය ලාභ වැඩි කරගැනීමට හැකි වී තිබේ.

දුම්වැටි පාරිභෝගිකයින් බහුතරය අඩු ආදායම්ලාභීන්ය. ඒ නිසා දුම්වැටි මත අය කරන බදු වලින් සිදුවන්නේ රටේ අඩු ආදායම් ලබන කොටස් අත ඇති සීමිත සම්පත් රජය වෙත අවශෝෂණය කර ගැනීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව රජයයන් විසින් මෙසේ බදු ලෙස අයකරගන්නා මුදල දුම්වැටි නිවාරණය සඳහා වැය කරන මුදල මෙන් 269 ගුණයකි. මේ අනුව, පෙනෙන්නේ බදු වැඩි කිරීමේදී බොහෝ විට රජයයන්හි සැබෑ අභිප්‍රාය දුම්වැටි නිවරණයම නොවන බවයි. කෙසේවුවද, මේ ඉහළ බදු හේතුවෙන් දුම්වැටි භාවිතය අධෛර්යමත් වීම හෙමින් වුවත් සිදු වෙමින් පවතී.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්වැටි භාවිතය ජගත් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස කලක සිටම හඳුනාගෙන ඇත. එම සංවිධානයට අනුව වසරකට ලොව පුරා මරණ මිලියන හයකට පමණ වගකියන්නේ දුම්වැටි භාවිතයයි. මේ මරණ වලින් 600,000ක් පමණ දුම්වැටි නොඋරන වෙනත් අය උරණ දුම් ආශ්වාස කරන්නෝය. දුම්කොළ සමාගම් විසින් නිර්දේශ කරන පරිදි දුම්වැටි භාවිතා කළහොත් දුම් උරන්නන්ගෙන් අඩක් පමණ පිරිසක් ඒ හේතුවෙන් මිය යාමට ඉඩ තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්වැටි යනු මෙවැනි මට්ටමේ සෞඛ්‍ය හානියක් සිදුකරන එකම නීත්‍යානුකූල පාරිභෝගික භාණ්ඩයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ දුම්වැටි මිලෙන් අවම වශයෙන් 70%ක් බදු ලෙස අය කරගත යුතු බවයි. ඔවුන්ගේ අධ්‍යයනයන් අනුව, දුම්වැටි මිල 10%කින් වැඩි කළ විට මැදි ආදායම් රටක දුම්වැටි භාවිතය 5%කින් පමණ අඩුවේ. එමෙන්ම, රටේ ආදායම හා උද්ධමනය සලකා බලමින් දුම්වැටි භාවිතය වැඩි නොවන පරිදි දිගින් දිගටම බදු ඉහළ නැංවිය යුතුබවද නිර්දේශයකි. ඒ අතරම, මිල අඩු බීඩි වැනි ආදේශක වෙත පාරිභෝගිකයින් යොමු වීම වැළැක්වීම සඳහා එවැනි නිෂ්පාදන මතද සමාන්තරව බදු නොපැනවුවහොත් අපේක්ෂිත අවසන් ප්‍රතිඵලය නොලැබෙන්නට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේම තවත් නිර්දේශයක් වන්නේ දුම්වැටි අසුරනයක මතුපිට වර්ග ප්‍රමාණයෙන් අඩු වශයෙන් 50%ක්වත් ආවරණය වන පරිදි දුම්වැටි භාවිතයේ ආදීනව පෙන්වන රූපමය දැනුවත් කිරීම් මුද්‍රණය කර තිබිය යුතු බවයි. ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියෙන්ම සිටින රටකි.

කෙසේවුවද, අසුරණයේ රූප දැන්වීම් මුද්‍රණය කිරීම ලංකාවේදී එතරම්ම ඵලදායී කටයුත්තක් බව නොපෙනේ. පවතින ඉහළ මිල යටතේ බහුතරය අඩු ආදායම්ලාභීන් වන ලංකාවේ දුම් උරන්නන් 95%කට පමණ දුම්වැටි පැකට්ටුවක් එකවර මිලදී ගැනීමේ හැකියාව නැත. ඔවුන් දුම්වැටි මිලදී ගන්නේ වරකට එකක් හෝ කිහිපයක් බැගින් නිසා දුම්වැටි අසුරන වල ඇති රූප අවවාද කිසිවිටෙකත් ඔවුන්ගේ ඇස නොගැටේ. සිගරැට් පැකට්ටුවක් වරකට මිලදී ගැනීමේ හැකියාව ඇති බොහෝ දෙනෙකු දුම්පානයේ ආදීනව කොහොමටත් හොඳින්ම දන්නා "හාඩ් කස්ටමර්ස්ලා"ය.

දුම්වැටි නිවාරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ මේ සඳහා අළුතින් එකතු වන අඩුවයස් පාරිභෝගිකයින් අධෛර්යමත් කිරීම කෙරෙහිය. ලංකාව සඳහා වඩා සුදුසු ක්‍රමවේදයක් ලෙස මා සිතන්නේ සිගරැට් විකුණන සෑම ස්ථානයකම දැනට සිගරැට් අසුරණයේ මුද්‍රණය කරන ආකාරයේ රූපමය අවවාද සහිත විශාල පෝස්ටර් හෝ කටවුට් ප්‍රදර්ශනය කිරීමට නියම කිරීමයි. මෙයද දුම්කොළ සමාගම හරහාම ක්‍රියාත්මක කරවිය හැකිය.

අද (මැයි 31) ලෝක දුම්වැටි නිවාරණ දිනයයි!


(Image: synergyy.com)

36 comments:

  1. 'ඔබගේ වයස තහවුරු කරගැනීමට වෙළෙඳමහතාට සහය දෙන්න' වගේ බෝඩ් ගහන්නෙත් කොම්පැණියෙන්ම.ඒකත් උත්තේජකයක් වෙනවා ලු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙය ඇත්තටම මගේ ඔළුවටත් ක්ෂණිකව ආ අදහසක්. කෙසේ වුවත්, අධ්‍යයනයන් මඟින් පෙනී ගොස් ඇත්තේ මේ රූප අවවාද වලින් දුම්පානය අඩුවීමට බලපෑමක් වන බවයි.

      Delete
  2. මමත් හිතන් හිටියේ ලංකාවේ දුම්පානය අඩු වෙලා කියලා. ඒත් එහෙම නෑ...අපේ ඔ‍ෆිස් එක ගාව තියනවා පොඩි ඩීමෝ බට්ටෙක් තියාගෙන ස්නැක් අයිටම් විකුණන ජොඉන්ට් එකක්. මම ඔතන ඉඳන් තේ එකක් බොන ගමන් දවසක් නිකමන බලන් හිටියා සිගරට් ඉල්ලන ප්‍රමාණය ගැන.. ලංකවේ දුම්පානය දැහෙන් අඩුයි කියන මිත්‍යාවේ හිටපු මගේ ඇස් උඩ ගියා ඒ ටික වෙලාවට විකිනිච්ච දුම්වැටි ගාන දැකලා.. ඒ කඩේ කරණ කෙනාට අනුව දවසට ( උදේ හතේ ඉඳන් තුන විතර වෙනකම් ) සිගරට් කාට්න් එකහාමාරක් විතර යනවලු...

    පින්තූර ගහලනම් ඕක අඩු කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නෑ...මට නොතේරෙන මානසික බලපෑමක් ඒකෙන් ක්‍රියාත්මක වෙනවද කියලනම් දන්නෑ...

    රජය ලබන ආදායමට වඩා ඒ හෙතුවෙන් ඇතිවෙන සෞඛ්‍ය ප්‍රශ්ණ වලට වියදම් කෙරෙන්නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පසුගිය වසර තුළ දුම්කොළ සමාගම විසින් පමණක් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 91.6 කි. නීති විරෝධී ලෙස ආනයනය කරන දුම්වැටි අසුවූ විට අය කරගන්නා දඩ මුදල්, බීඩි හා සුරුට්ටු වලින් අය කර ගන්නා බදු, සිගරැට් විකුණන සුපිරි වෙළඳසැල් ඇතුළු සිල්ලර කඩ වල සිගරැට් හේතුවෙන් වැඩි වූ ආදායම මත අයකරන ආදායම් බදු ආදියද මේ කර්මාන්තය හා අදාළ ලාභයි.

      2015 වසර තුළදී මුළු සෞඛ්‍ය අමාත්‍යංශයේම පිරිවැය රුපියල් බිලියන 148.2 ක් පමණි. රජය කුඩා කිරීම ගැන කතා කරනවිට බොහෝ දෙනෙක් සිතන්නේ මේ කියන්නේ නොමිලේ දෙන සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් කපන්නට බවයි. මේ දෙක බොහෝ විට රජයේ නාස්තිකාර වියදම් වසා ගන්නා ආවරණයක් පමණි (මා කියන්නේ මේ රජය හෝ පසුගිය රජය ගැන නොවේ.) කෙසේවුවද, දුම්වැටි භාවිතය ආර්ථික වශයෙන් සමස්තයක් ලෙස රජයට වාසිදායක වුවත් රටට අවාසිදායක බව මගේ අදහසයි.

      Delete
  3. ඕස්ට්‍රේලියාවේ දුම්වැටි මිල ඉතා වැඩි නිසාත් දුම් බොනවිට නිවසෙන් පිටතට යෑමට සිදුවෙන නිසාත් තමා ගේ දුම් පානය සෑහෙන්න අඩුවූ බව මිතුරෙකු කලෙකට පෙර මට කීවා.

    මෙවර අයවැය යෝජනා අනුව නුදුරේදී මෙහේ දුම්වැටියක මිල ඩොලරයක් පමණ වේවි ලු.

    ReplyDelete
    Replies
    1. වෙනත් බොහෝ භාණ්ඩ හා සේවා මෙන්ම දුම්වැටි සඳහා වන ඉල්ලුමත් මිල වෙනස්කම් වලට 'සාමාන්‍ය පරිදි' ප්‍රතිචාර දක්වනවා.

      Delete
  4. ඕස්ට්‍රේලියාවේ දුම්වැටි විකුණන්නේ අඩුම 20 පෙට්ටි ලෙසයි. ඒවායේ නම් 100% ම අනතුරු හැඟවීම් තමයි.
    rasikalogy.blogspot.com.au/2015/11/kiss-only-non-smokers.html

    පින්තූර එහි ඇත.


    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලූස් විකිණීම තහනම් කළොත් ලංකාවේ දුම්වැටි භාවිතය සෑහෙන්න අඩුවෙයි.

      Delete
  5. දුම්බීම දැන් උගතුන් අතර අඩුබවයි මගේ හැඟීම. මගේ කාර්යාලයේ දුම්බොන අය ඉන්නේ එක්කෙනයි. ඔහුත් කාර්යාලයේ දුම්බොන්නේ නෑ. එහෙත් මෙහේ වැඩ කරන විධායක නොවන සේවකයන් අතර නම් සෑහෙන පිරිසක් තවම දුම්බොනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දුම්වැටි භාවිතය සහ අධ්‍යාපන මට්ටම අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා.

      Delete
  6. දුම්බීම දැන් උගතුන් අතර අඩුබවයි මගේ හැඟීම. මගේ කාර්යාලයේ දුම්බොන අය ඉන්නේ එක්කෙනයි. ඔහුත් කාර්යාලයේ දුම්බොන්නේ නෑ. එහෙත් මෙහේ වැඩ කරන විධායක නොවන සේවකයන් අතර නම් සෑහෙන පිරිසක් තවම දුම්බොනවා.

    ReplyDelete
  7. මම නම් දුම් බීමට විරුද්ධ අයෙක්මි. ඒ දුම යන්තමින් හෝ ඉවසාගනීමට මට අසීරුය. දුම්බීම ගැන කතා කරන විට, මා හට 1974 වසරේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් ලියූ පොතක කොටසක් මතක් වේ. එය මා මෙහි උපුටා දක්වන්නෙමි.

    මෙම පොතේ කර්තෘ ට වෙනත් දුම්රිය නිලධාරියෙකුගෙන් ලැබුණු උපදෙස සහ ඊට ඔහු ලබාදුන් පිළිතුර මා උපුටා දක්වන්නෙමි. මෙම දිස්ත්‍රික් පරීක්ෂකවරයා, 94 වන විහිදීත්, තවමත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් යුතුව පසුවන බවට මා ඇසින් දුටු සාක්ෂි අනුව පවසමි.

    "Before we depart, I like to give you a word of advice, drink and smoke even occasionally. You will find yourself in fine fettle."

    පිළිතුර-
    " Mr. ........., I have smoked enough throughout. I am sure you have not smoked as much. For 22 years I smoked coal burnt gases and smoke. For 5 years I smoked furnace oil burnt black smoke in and outside tunnels and another 7 years diesel oil burnt fumes and smoke out of exhaust. I don't think you can break that record."

    මෙම බ්ලොග් අඩවිය ලියන ඉකොනොමැට්ටා මහතා 1960-70 දශක වල උඩරට මාර්ගයේ ගමන් කර ඇත්නම්, මෙම අධික කළු දුමාරය ගැන අමුතුවෙන් කිවයුතු නොවනු ඇත.

    එමෙන්ම, සිගරට් දුමෙහි රොකට් ඉන්ධන ආදිය සඳහා යෙදෙන සංයෝගද, තාරද ඇති පදම් තිබෙන බව මා දැක ඇත්තෙමි. ශ්වසන මාර්ග කාපට් කිරීම අවශ්‍ය නැත. ඒ නිසා හැකි ඉක්මනින් සිගරට් බීම නතර කිරීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපති.

    ReplyDelete
    Replies
    1. ඔබේ විස්තරය රසවත්. හැටේ දශකයේදී මෙවැනි දේ මතක තබාගත හැකි වයසක මා සිටියේ නැහැ. හැත්තෑව දශකයනම් මතකයි. මම හිතන්නේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය නවත්වන තුරුම භාවිතා කළේ මෙවැනි දුම්රිය බවයි. දැන් අප දන්නා කරුණු අනුව දුම්කොළ වල අහිතකර සංයෝග විශාල ගණනක් තිබෙනවා. වෙනත් ක්‍රම වලින් සිදුවන වායු දූෂණයනුත් සෞඛ්‍යයට ඉතා අහිතකරයි. මෙයට අදාළ නිවැරදි තොරතුරු සහිත හොඳ ලිපියක් කෙන්කියුෂා විසින් පළ කර තියෙනවා.

      https://nesciencetoscience.blogspot.com/2016/05/indoor-air-quality.html

      Delete

  8. ගොඩක් වැදගත් ලිපියක්.. මාත් හිතුවේ මේ වෙනකොට අඩුයි කියලා.. කියන්නේ එහෙමනේ...
    දුම්වැටි, මත්ද්‍රව්‍ය වල මිල කොයි තරම් වැඩි කළත් මිනිස්සුන්ගේ පාවිච්චිය වෙනවා කියන්නේ හොඳ තත්ත්වයක් නෙවෙයි.. බොන්න ඕන කෙනා කොහෙම උනත් බොනවා..

    මමත් අද දැම්මේ මීට සම්බන්ධ නිර්මාණයක්.... මේක දැක්කම සතුටුයි..

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා පල කළ දිනදර්ශන පොස්ටු මට විභාග කටයුත්තකට ගොඩක් වැදගත් උනා.. ඒ නිසා ඔබට මගෙ ස්තුතිය.

      Delete
    2. විභාග කටයුත්තක් වැනි දේ සඳහා බ්ලොග් වල ඇති දේවල් ගන්නවනම් ඒ දේවල් නැවත තහවුරු කරගන්න. මා ඇතුළු ඕනෑම කෙනෙකුට තමන්ට කැමති දෙයක් ලිවිය හැකි නිසා ඒවා විශ්වාස කිරීමේ අවදානමක් තියෙනවා. මම ගොඩක් වෙලාවට ලින්ක් දමනවා. එසේ නැති අවස්ථා වල ඊමේල් කළොත් මුල් ප්‍රභව ගැන තොරතුරු ලබා දෙන්න පුළුවන්.

      Delete
  9. good one

    බදු වැඩි කල පලියට රාජ්‍ය ආදායම වැඩි නොවන බව කියලා දුන්නේ ඉකෝන්ය......

    දුම්වැටි බදු රජයට ශුවර් ආදායම් ය.....එසේ උවත් මේ වෙනුවෙන් සෞඛ්‍යට වියදම් කල යුතු මුදලත් එකතු කලාම නෙට් අදායම ධන ද සෘණ ද

    ReplyDelete
    Replies
    1. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මැදි ආදායම් රටක සිගරැට් මිල 10%කින් වැඩි කළ විට ඉල්ලුම 5%කින් අඩුවේ. ඒ අනුව ප්‍රත්‍යස්ථතාවය 0.5කි. එනම්, එකට අඩුය. මේ නිසා බදු වැඩි කර ආදායම වැඩි කර ගත හැකිය. මිල 10%කින් වැඩි කළ විට බදු ආදායම 5%කින් වැඩි වේ. රජයේ ශුද්ධ ආදායම පැහැදිලිවම ධන. උඩ සෙන්නාට දැමූ කමෙන්ට් එක බලන්න.

      Delete
    2. thanks for yr time

      Delete
  10. දුම්වැටී භාවිතය, කර්මාන්තය ගැන වැදගත් කරුණු එකතුවකි. ලේඛකයාට ස්තුතිවන්ත විය යුතුය.
    කෙසේ වෙතත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරමි.

    1.ලංකාවේ දුම්කොළ සමාගම ඉහල ලාභයක් ලබන සමාගමක් ලෙස පවතින්නේ ඇයි ? මෙයට ප්රධානම හේතුව ලංකාව තුල දුම්කොළ සමාගමේ ඒකාධිකාරයයි( Mnopoly) ලෝකය පුරාමත් දුම්වැටි නිෂ්පාදනය බෙදාහැරිම වෙළදාම පවත්නේ සමාගම් කිහිපයක ඒකාධිකාරයක ලෙසයි. මෙම සමාගම් අතිවිශාල (super profit) ලාභ ලබති. මෙම web අඩවිය තුල ඉකොනොමැට් නිතර නිතර ප්රවර්ධනය කරන ,ව්‍යවසායකත්වය නිදහස් වෙළඳපල , තරඟකාරීත්වය යන සංකල්ප සමග මෙම යතාර්ථය ගලපන්නේ කෙසේද ?

    2.ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්දේශ කිහිපයක්ද මෙහි විස්තර කර ඇත. මෙම නිර්දේශ ක්රියාත්ම කිරීම අත්යාවශ්යය ද? ලෝක සෞඛ්ය සංවිධානයට සමාගම්වලට නීති පැනවීමට බලයක් නොමැත. එසේ නම් කලයුතු වන්නේ ඒ ඒ රටවල රජයන් හරහාය. රජයන් හරහා සමාගම් වලට නීති පැනවීම ,රෙගුලාසි පැනවීම බලපෑම් කිරීම , නිදහස් වෙළදපල ක්‍රමයට සම්පුර්ණයෙන් පටහැනි නොවේද ?

    ReplyDelete
    Replies
    1. නිහාල්,

      1. ඔබ සඳහන් කර ඇති කරුණු නිවැරදිය. දුම්කොළ සමාගම සතුව ලංකාව තුළ ඒකාධිකාරයක් තිබේ. ලෝකයේ වෙනත් රටවලද තත්ත්වය බොහෝ දුරට එසේය. ඒකාධිකාර ඇති තැන තරඟකාරිත්වයක් නැත. ඒකාධිකාරයක් පවත්වා ගන්නා සමාගමකට සුපිරි ලාභ ලැබිය හැකිය. පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් ඇති රටක් ලෝකයේ කොහේවත් දැනට නැත. මගේ අත්දැකීම් අනුව ඇමරිකාව වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව සෛද්ධාන්තික නිදහස් වෙළඳපොළකට කිට්ටුවෙන් ඇති රටක් ලෙස සැලකිය හැකිය. එහෙත්, ඇමරිකාවේද හැමදෙයක්ම සිදුවන්නේ නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව නොවේ. නිදහස් වෙළඳපොල ගැන කතා කරන විට ඇෆ්ගනිස්ථානයේ බෝම්බ මතක් වන්නේ නිදහස් වෙළඳපොළ හා තරඟකාරිත්වය යන සංකල්ප නිවැරදිව තේරුම් නොගැනීම නිසාය. නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව ඇතැම් භාණ්ඩ හා සේවා වෙළඳපොළවල් බාහිර බාධාවක් නැත්නම් තරඟකාරී වෙළඳපොළක් ලෙස පහසුවෙන් සකස් වේ. එහෙත්, වෙනත් ඇතැම් කර්මාන්ත වල නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව එය එසේ සිදුවිය නොහැකිය. කිසියම් අයුරකින් ඒකාධිකාර ඇතිවනවානම් එයින් පෙනෙන්නේ කවර හෝ වෙළදපොළ දුර්වලතාවයක් (බාධාවක්) පවතින බවයි. දුම්වැටි නිෂ්පාදන කර්මාන්තයේ පවතින ඒකාධිකාර වලට හේතුව ඓතිහාසික හේතුවක් මිස තාක්ෂනික හේතුවක් නොවන බව මගේ අදහසයි. කෙසේවුවද, ඓතිහාසික හෝ තාක්ෂනික හේතු මත සමාගමකට සුපිරි ලාභ ලැබිය හැකි වූ පමණින් එහි (ප්‍රාග්ධනයේ) හිමිකරුවන්ට සුපිරි ලාභ ලැබිය නොහැකිය. මෙය පැහැදිලි කිරීම සඳහා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 1000ක් ලෙසත් වාර්ෂික ලාභය වෙළඳපොළ ප්‍රග්ධනීකරණයේ ප්‍රතිශතයක් ලෙස 20%ක් ලෙසත් සලකමු. දැන් මෙහි ආයෝජකයෙකුට රුපියල් 1000ක් ආයෝජනය කර වසරකින් රුපියල් 200ක් උපයාගත හැකිය. (තාවකාලිකව කොටස් මිලේ සිදුවන උච්චාවචවනයන් දෙපැත්තටම සිදුවිය හැකි බැවින් අමතක කරමු.) යමෙකුට තමාගේ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු සාමාන්‍ය ලාභය රුපියල් 1000 කට වසරකට රුපියල් 100ක් පමණක්නම් දුම්කොළ සමාගමේ කොටස් අතේ රුපියල් 1000ක් ඇති සියල්ලන්ටම ආකර්ශනීය විය හැකිය. (ඔබට ඔබේ රුපියල් 1000 වැය කර දුම්කොළ සමාගමේ එක් කොටසක් පමණක් පහසුවෙන් ක්ෂණිකව මිලදී ගැනීමේ හැකියාව නැති බව ඇත්තකි. ලංකාවේත් ඇමරිකාවේත් වෙනස මෙයයි.) ත්‍රිරෝද රථ රියදුරෙකුට වුවත් රුපියල් 1000ක් ආයෝජනය කිරීම කවදාවත් කළ නොහැකි දෙයක්යැයි මා සිතන්නේ නැත. ලංකාවේ බොහෝ දෙනෙකුට රුපියල් 1000ක් කිසියම් අමතර කටයුත්තක් වෙනුවෙන් වෙන් කිරීමට බැරිකමක් නැත. (ඒකත් වැඩිනම් රුපියල් 100කට කොටසකින්
      1/10ක් මිලදී ගත හැකිය. මා දන්නා තරමින් ලංකාවේ මෙයට ඉඩක් නැත.) මෙසේ "සුපිරි ලාභ" ඇති තැන් වලට ප්‍රාග්ධනය ආකර්ශනය වීම නිසා නිශ්චිත සැපයුමක් ඇති කොටස් ගණනට ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යන්නට පටන් ගනී. අවසානයේදී මෙය නවතින්නේ කොටසක මිල රුපියල් 2000ක් වූ විටය. දැන් ඔබට ලාභාංශ ලෙස ලැබෙන රුපියල් 200 ලබාගැනීමට කළ යුතු ආයෝජනය දෙගුණ වී ඇති නිසා ආයෝජකයාගේ ලාභය 10% පමණි. මෙය වෙනත් ඕනෑම තැනක ආයෝජනය කර ලබාගත හැකි සාමාන්‍ය ලාභයයි. ඒකාධිකාරයක් ඇති නිසා සමාගමේ සුපිරි ලාභ තවදුරටත් තිබේ. එහෙත්, ආයෝජකයන්ට ලැබෙන්නේ සමාන අවදානමක් ඇති තරඟකාරී සමාගමක ආයෝජනය කළ විට ලැබෙන ලාභයමය.

      Delete
    2. 2. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇත්තේ නිර්දේශ ඉදිරිපත් කිරීමක් පමණි. ඒවා යම් රටක් තුළ ක්‍රියාත්මක කළ යුතුද යන්න ඒ රටේ ජනතාවගේ තීරණයක් විය යුතුය. කිසියම් මාර්ගෝපදේශයක් ඇති විට තීරණ ගැනීම පහසු වේ. මෙය වෙනත් බොහෝ දේ වලටද අදාලය. ඇමරිකාවේ, කියුබාවේ හෝ වෙනත් රටක කටයුතු සිදු වන ආකාරය දෙස බැලිය යුත්තේද ඒ පදනමිනි. කළ යුතු හෝ නොකළ යුතු දේවල් තීරණය කිරීමේදී පෙර ඒ දේවල් කළ වෙනත් අයගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකිය. නිදහස් වෙළඳපොළක් පරිපූර්ණ වන්නේ යමෙක් මිලදී ගන්නා භාණ්ඩයේ ස්වභාවය පිලිබඳ පරිපූර්ණ දැනුමක් දෙපාර්ශ්වයටම ඇත්නම් පමණි. සාමාන්‍යයෙන් එවැනි තත්ත්වයක් දැනට නැති භාණ්ඩ හා සේවාවන් රැසක් තිබේ. ඉතා අඩු වයසකදී දුම්වැටි භාවිතය අරඹන බොහෝ දෙනෙකුට එහි හානි පිලිබඳ පූර්ණ අවබෝධයක් නොමැති බව සංඛ්‍යාලේඛණ පෙන්වා දෙයි. පසුව පුරුද්දෙන් මිදෙන්නට උත්සාහ කරන්නේ ඒ නිසාය. එහෙත් ඇබ්බැහි වීම හේතුවෙන් පසුකාලීනව පුරුද්දෙන් අත්මිදීම අපහසුය. දුම්වැටි නියාමනයට පදනම් සපයන්නේ මේ කරුණයි. රූපමය අවවාද මඟින් කෙරෙන්නේ අයෙකුට වඩා හොඳ තේරීමක් කිරීමට බාධා පමුණුවන දැනුම පිලිබඳ බාධාව අවම කිරීමට උත්සාහ කිරීමක් බැවින් එය නිදහස් වෙළඳපොළ මූලධර්ම උල්ලංඝනය කිරීමක් නොවේ. එහෙත්, බදු ඉහළ නංවා මිල වැඩි කිරීම නිදහස් වෙළඳපොළ මූලධර්ම සමඟ නොගැලපේ. ප්‍රායෝගික පුද්ගලයෙකු වන මට ප්‍රශස්ත තත්ත්ව යටතේ සිදු නොවිය යුතු දේවල් පවතින ප්‍රායෝගික තත්ත්වයන් යටතේ කරන්නට සිදුවීම තේරුම්ගත හැකි අතර ඒ පිළිබද ගැටළුවක් නැත. එමෙන්ම, අක්‍රිය දුම්පානය නිසා කෙනෙකුට ආයුෂ කෙටිකරගන්නට සිදුවීම පෞද්ගලික නිදහසේ අතේ දුර පිලිබඳ ප්‍රශ්නයකි. දුම්පානය කරන වෙනත් අයෙකුට ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් මගේ ජීවිත කාලය කොට කරන්නට අයිතියක් නැත. මෙහි අතරින් පතර සඳහන් "විය යුතු" දේවල් මගේ පෞද්ගලික අදහස් පමණි. වෙනත් අයෙකුගේ අදහස් එසේම වන්නට අවශ්‍ය නැත.

      Delete
    3. \\ මගේ අත්දැකීම් අනුව ඇමරිකාව වෙනත් බොහෝ රටවලට සාපේක්ෂව සෛද්ධාන්තික නිදහස් වෙළඳපොළකට කිට්ටුවෙන් ඇති රටක් ලෙස සැලකිය හැකිය. එහෙත්, ඇමරිකාවේද හැමදෙයක්ම සිදුවන්නේ නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුව නොවේ. නිදහස් වෙළඳපොල ගැන කතා කරන විට ඇෆ්ගනිස්ථානයේ බෝම්බ මතක් වන්නේ නිදහස් වෙළඳපොළ හා තරඟකාරිත්වය යන සංකල්ප නිවැරදිව තේරුම් නොගැනීම නිසාය.//

      1 නිදහස් වෙළදපලක් ලෙස ඔබ සලකන ඇමෙරිකාවේ, මෙම ආර්ථික ක්‍රමය සෑහෙන කාලයක සිට ( අවුරුදු 200 කටවත් එහා සිට) ක්රියාත්මක වන්නේ යයි සැලකිය හැකිය. මෙම ආර්ථික ක්රිමය සහ එයින් මෙහෙයවෙන දේශපාලන ක්‍රමය මගින් මේ වන විට ජනිත කර ඇති සමාජ ආර්ථික දේශපාලනික ප්‍රතිඵල කිහිපයක් මිට කලින් අවස්තාවක සඳහන් කලෙමි. උපුටා දක්වමි
      මෙම ප්ර්තිපල උදා වී ඇත්තේ, ප්‍රධානවම ඇමෙරිකාවේ ක්රිියාත්මක ආර්ථික ක්‍රමයේ "ආනුභාවයෙන්" බවට ඔබ එකඟ නොවන්නේද ?

      # ලෝකයේ රටවල් අතුරින්, සන්ක්යාවෙන් මෙන්ම ජනගහනයට සාපේක්ෂව ගණන් බැලූ විටත් වැඩිම ජනතාවක් හිර ගෙවල් වල තපින්නේ ඇමෙරිකාවේය.
      # ලෝකයේ රටවල් අතුරින්, ජනගහනයට සාපෙක්ෂවත් සන්ක්යාවෙනුත් වැඩිම මිනිසුන් සංක්යාිවක් පොලිසියේ වෙඩි තැබීම පහර දීම මගින් මරා දමන්නේ ඇමෙරිකා වේය.
      # බටහිර දියුණු රටවල් අතුරින් නඩු අසා මරණ දණ්ඩනය ක්රි යාත්මක කරන එකම රට ඇමෙරිකාවය.
      # මේ කාලයේ තමන්ගේ රටට කිසිදු තර්ජනයක් නොවන ලෝකයේ තවත් රටවල් 10ක පමන යුද්ධ ඇති කලේ මෙහෙයවන්නේ අවි ආයුධ සපයන්නේ ඇමෙරිකාවයි.
      # විනාශකාරී මනුෂ්ය් ඝාතන අවි ආයුධ නිපදවීම , අනෙක් රටවලට අපනයනය කිරීම අතින් නොම්බර එක ඇමෙරිකාවය. නොම්බර 2 3 වන රුසීයාව චීනය ඇතුළු ඊ ලඟ රටවල් 10 එකතුවටත් වඩා වැඩිය
      # ලෝකයේ සියලුම රටවල් ඇතුළුව කරන ලද ජනමත විමසුවකට අනුව, මේ වන විට ලෝක සාමයට ප්රාධාන හතුරා ඇමෙරිකාව යි. .
      # ලෝක ජනගහනයට සතා සීපාවාට ගහකොළට මෙන්ම පෘථිවියේ සමස්ත පැවත්මටම තර්ජනයක් වි ඇති , දේශගුණික විපර්යාසයන් , උෂ්ණත්වය ඉහල යාම ,පාලනය කිරීමට විද්යාමත්මක ක්රිියා මාර්ගයන් ගැනීමට ප්රරධානව විරෝධය පාන්නේ, බාධා කරන්නේ ඇමෙරිකාවේ සද් ගුණවත් දානපති මයිකල්ලාගේ... පන්තියයි.


      2. නිදහස් වෙළඳපල ආර්ථික ක්‍රමයක නම්, එක් වර්ගයක භාණ්ඩ/සේවාවන් සඳහා නිෂ්පාදකයන් / සැපයුම්කරුවන් විශාල සංක්යාවක් සිටිය යුතුය. එක් නිෂ්පාදකයෙකුට , භාණ්ඩයේ වෙළදපල සැපයුමට හෝ මිලට බලපෑම් කිරීමට නොහැකි විය යුතුය. ඇමෙරිකාවේ දැනට ක්‍රියාත්මක “නිදහස් වෙළඳපල” හි තත්වය මෙය ද ?
      අපට පෙනන ආකාරයට නම් , බොහෝ නිෂ්පාදන /සැපයුම් ක්ෂේත්‍රවල (industrial sectors) වෙළඳපලෙන් 50% කට වඩා (සමහර විට 80% ක් පමණ ) පාලනය කරන්නේ ඒකාධිකාරී කොම්පැනි 2-3ක් හෝ 3-4ක් ය. (බොහෝ විට 5 ට අඩු ගණනකි). උදාහරණ ලෙස ( Weapons , Cars , communication, energy, Computer hardware/ software , cigarettes, liquor, fast food, beverages,....)

      3. නිදහස් වෙළඳපල ආර්ථික ක්‍රමයක ක ක්රියාකාරිත්වයට , රජයේ මැදිහත්වීම අවම යයි ද කියනු ලැබේ. නමුත් විශ්මයජනක කාරණයක් වන්නේ , ඇමෙරිකාවේ ඒකාධිකාරී කොම්පැනි බොහෝ විට තම වෙළඳපල ඒකාධිකාරිත්වය තහවුරු කර ගෙන ඇත්තේ, පවත්වා ගැන යනු ලබන්නේ අමෙරිකානු රජයේ ද ආධාරයෙන් අනුග්රහයෙන් වීමයි. වැඩිදුර සාකච්චාවකට ප්‍රථම, මේ කරුණ ගැන ඔබේ අදහස් දැන දන ගැනීමට කැමතිය.

      \\. ලෝක සෞඛ්ය සංවිධානය විසින් සිදු කර ඇත්තේ නිර්දේශ ඉදිරිපත් කිරීමක් පමණි. ඒවා යම් රටක් තුළ ක්රිණයාත්මක කළ යුතුද යන්න ඒ රටේ ජනතාවගේ තීරණයක් විය යුතුය.//

      4. ලෝක සෞඛ්ය සංවිධානය නිර්දේශ ක්රි/යාත්මක කිරීමට, දුම්වැටි නිෂ්පාදන සමාගම්වල ක්රි.යාකාරිත්වය පාලනය කිරීමට රජය මැදිහත් වීම ගැන , ඔබගේ පෞද්ගලික අදහස කුමක්ද ?
      රජය එසේ කලයුතු ද, නැද්ද ?

      Delete
    4. 1. නැත. එමෙන්ම, ඔබ කියන ඇතැම් කරුණු නිවැරදි බව දන්නා නමුත් හැම කරුණක්ම නිවැරදිදැයි මා දන්නේත් නැත.
      2. නැත. පළමුව, ඒකාධිකාරයක් කියන්නේ එක් සමාගමක් විසින් යම් වෙළඳපොළක් සම්පූර්ණයෙන් පාලනය කිරීමයි. අඩු වශයෙන් සමාගම් දෙකක් ඇත්නම් අවසන් ප්‍රතිඵලය පරිපූර්ණ තරඟකාරී වෙළඳපොළක ප්‍රතිඵලයට සමාන වීමේ (හෝ නොවීමේ) හැකියාවක් පවතී. ඇමරිකාවේ බොහෝ භාණ්ඩ හා සේවා වෙළඳපොළවල් අතිශයින්ම තරඟකාරීය. ඒ හේතුවෙන්, බොහෝ භාණ්ඩ හා සේවාවන් ලංකාවේ, යුරෝපයේ හෝ කැනඩාවේ මිලටද වඩා අඩුවෙන් ලබාගත හැකි බව මා අත්දැකීමෙන්ම දන්නා කරුණකි. මේ ඇතැම් වෙළඳපොළවල් පිළිබඳව මා පෞද්ගලිකවම හදාරා තිබේ. කෙසේවුවද, ඔබ සඳහන් කර ඇති බොහෝ වෙළඳපොළවල් වල ඇත්තේ කතිපයාධිකාරයකි. ඒ නිසා ඔවුන්ට කාටල ලෙස ක්‍රියාකර ඒකාධිකාරයක් පවත්වාගැනීමේ හැකියාව තිබේ. මෙවැනි තත්ත්වයන්ට එරෙහිව පාරිභෝගිකයින්ට නීතිමය රැකවරණ ඇති අතර එවැනි තත්ත්වයන් පිළිබඳව කෙරෙන පාරිභෝගික පැමිණිළි පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලේ. [මෙය මට කාලවේලා ප්‍රශ්න නැත්නම් තව සෑහෙන දුරකට විස්තර කළ හැකි මා හදාරා ඇති හා තොරතුරු දන්නා ක්ෂේත්‍රයකි.] එමෙන්ම, ප්‍රාග්ධන වෙළදපොල තරඟකාරීව පවතින තාක් කල් ඒකාධිකාර වලින් වුවද 'අසාධාරණයක්' සිදු නොවේ. වෙනත් අයුරකින් කිවහොත් මා උඩින් පැහැදිලි කර ඇති පරිදි සමාගම් වලට සුපිරි ලාභ ලැබිය හැකි වුවත් මෙවැනි සමාගම් වල කොටස් හිමිකරුවන්ට සුපිරි ලාභ ලබාගත නොහැක. සමාගම් යනු මිනිසුන්ගේ සාමූහික ක්‍රියාකාරීත්වය විස්තර කරන සංකල්පයක් මිස භෞතිකව පවතින දෙයක් නොවේ. ඒකාධිකාර වල ප්‍රශ්නය සමාගම් සුපිරි ලාභ ලැබීම නොවේ. එම ආකෘතිය අකාර්යක්ෂම වෙළඳපොල ආකෘතියක් වීමයි.
      3. ඇමරිකාව ඒකාධිකාර වලට මුල සිටම 'බය වූ' තරඟකාරිත්වය නැති කරන ක්‍රියාවන්ට එරෙහිව දැනටත් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටකි.
      4. මා හිතන්නේ මෙහිදී සිදුවන්නේ රජය විසින් ක්‍රියාත්මක කරන නීති, රෙගුලාසි ආදිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සමඟ ගැලපීම මිස රජය විසින් එම සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් නොවන බවයි. එමෙන්ම, නියාමනයේදී දුම්කොළ සමාගම් වල ක්‍රියාකාරීත්වය යම් තරමකින් පාලනය වුවත් බොහෝ දුරට වෙන්නේ රටේ පුරවැසියන්ගේ ඉල්ලුම පාලනය කිරීමයි. දැනුවත් කිරීම හරහා ඉල්ලුම පාලනය කිරීමේ කිසිම වරදක් නැත. වෙනත් ක්‍රම වලින් පාලනය කිරීම සුදුසුද යන්න හරියටම තීරණය කළ හැක්කේ පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුවය. ලංකාව හා අදාළ එවැනි අධ්‍යයනයන් ගැන මා වැඩි යමක් නොදන්නා නමුත් ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල නියාමනය සිදුවන්නේ පුළුල් අධ්‍යයනයන්ගේ ප්‍රතිඵල අනුව බව පැහැදිලිවම කිව හැකිය. නියාමනය පිළිබඳව මට ඇත්තටම ගැටළුවක් නැත. මා හරියටම නොදන්නේ නියාමනයේ ප්‍රශස්ත සීමාවයි.

      Delete
  11. \\දුම්කොළ සමාගමේ ආයෝජකයෙකුට වසර මුලදී රුපියල් 1060.10 කට මිල දී ගත හැකිව තිබුණු කොටසක් සඳහා රුපියල් 45.15 ක ලාභාංශ හිමි වී ඇතත් වසර අවසානය වන විට කොටස් මිල රුපියල් රුපියල් 992.50 දක්වා අඩු වී ඇති බැවින් අවසාන වශයෙන් කොටසකට රුපියල් 22.45 ක, එනම් 2.1%ක ශුද්ධ අලාභයක් සිදු වී තිබේ. //
    වසර මුල දී මිලදී ගත් කොටසක් වසර අවසානය දක්වා තබා ගත්තේ නම් ඉහත ශුද්ධ අලාභය ගණනය නිවැරදි වන්නට පුළුවන. නමුත් 2015 වසර තුල කොටස් මිල රු .1124.00 දක්වා ඉහල ගොස් ඇත. වසර මුල රු 1060/- කට කොටසක් මිලදී ගත කෙනෙකුට රු 64 /-ක ලාභයක් ( ලාභාංශ නොමැතිව) උපයා ගැනීමේ අවස්තාව තිබී ඇත.

    එසේම කොටසක මිල රු 992/- ක් පමණ වන මේ කාලය සමස්ත කොටස් වෙළදපල පසු බෑමකට ( සමස්ත දර්ශකය 6500 ) ලක්ව ඇති සමයකි. මෙය 2015 වෙළදපලේ උපරිමයේ ( දර්ශකය 7500 ) සිට 15% ක පමණ පසුබෑමකි. නැවත වෙලදාළ ඉහල යාමේ සම්භාවිතාව වැඩි හෙයින්, සමාගමේ කොටස් අගය ඉදිරියේදී ඉහල යාමේ , ලාභ ලබා ගැනීමේ ඉඩකඩ වැඩිය.

    \\ඒකාධිකාර පවත්වා ගන්නා ව්යා0පාර වල හිමිකරුවන්ට පවා හැමවිටම ලාභ නොලැබේ.//
    “හැමවිටම” යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි නැත. නමුත් ලංකාවේ දුම්කොළ සමාගමෙන් 85% ක පමණ කොටස් හිමි ( Britsh American Company) BAT සමාගමට නම් මෙය අති විශාල ලාභදායි ව්යාපාරයකි.
    ලාභාංශ ලෙස හැම කාර්තුවකම ලබා හ්ගනා මුදලට අමතරව උපරිම ලාභය ලැබෙන්නේ ඔවුන් 85% ක කොටස් එකවර විකුණන මොහොතකදීය. එම මිල තීරණය වන්නේ, කොටස් වෙළඳපලේ එදිනෙදා මිල මත නොව, මිලදී ගන්නා සමග කරන ගනුදෙනු සාක්ච්චාවෙදිය.(independant valuation / Negotiation).

    \\එමෙන්ම, සමාගමක් ලබන ලාභ හා එහි හිමිකරුන්ට සිය ආයෝජනය වෙනුවෙන් ලැබෙන ප්රතිලාභ අතර හැමවිටම සෘජු සම්බන්ධතාවයක් නැත. //
    “හැමවිටම” යන්න අපැහැදිලිය. නමුත් පුළුල් කාල පරාසයක් සලකා බැලීමේදී , සමාගමක කරන ලද ආයෝජනයේ අගය වර්ධනය වන්නේ සමාගම ලබන ලාභයට කෙලින්ම සමානුපාතිකවය. ( සෘජු සම්බන්ධතාවයක් පවති).
    කොටස් වෙළදපලක , සමාගමක කොටසක මිල එදිනෙදා ඉහල පහලයාමට නම් වෙනත් නොයෙකුත් කාරනා ද හේතු වේ.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ මා කිව යුතු කරුණු උඩ ප්‍රතිචාර තුළ සටහන් වී ඇති බවයි.

      Delete
  12. I m non smoker. but if i meet an ADIC guy i l surely hit him.

    ReplyDelete
  13. මා ඉන්නා රටේ දුම්පානය නවත්වාගන්න උදව්කරනා සේවා සහ උපදේශන ආයතනවලටත් ප්‍රතිකාර සඳහාත් විශාල මුදලක් වියදම් කරනවා කියා පේනවා. දුම්පානය නවත්වාගන්න ඕන අයට Champix tablets සාර්තක ක්‍රමයක්. ඒක වෛද්‍ය අධීක්ෂනයක් යටතේ සිදුවිය යුතු ප්‍රතිකර්මයක්. නිකොටින් රිප්ලේස්මන්ට් ක්‍රමයක් නොවේ. ඔය මුකුත් ඕන නැහැ නවත්තන්න පුලුවන් තමන්ට ඕන නම්. අත්දැකීම් සහිතයි.

    ReplyDelete
    Replies
    1. දවසකට සිගරට් 42 ක් බිව්ව මම එක දවසෙන් නැවැත්තුවා. හමුදා සේවයේ යෙදී ඉන්න ගමන්.

      Delete
    2. මම හිතන්නේ අධිෂ්ඨානයක් ඇත්නම් මෙය කළ හැකි බවයි. කෙසේවුවත්, මට පෞද්ගලික අත්දැකීම්නම් නැත.

      Delete
  14. ඉකොනො,

    අපේ ගෙවල් ගාව ඉන්නවා රංජිත් නොහොත් "පොල් රංජි" කියල මනුස්සයෙක්. මිනිහා පොල් ලී පරාල අහින එක කරන්නේ. මිනිහා ගස් කපන්න රුසියා (Skilled Lumberjack). ගස් වල අතු බාලා, ගස් කොටස් වශයෙන් කපලා, අවට ගෙවල් වලට, ලයිට් කම්බි වලට කිසිම හානියක් නොවෙන්න රංජියා ගස්බිම දමනවා බලන්න ලස්සනයි.

    මිනිහා ගාව ගෝලයෝ 3ක් විතර වැඩ. හවස 2-3 වෙනකොට වැඩ ඉවරයි. හම්බවෙන ගතමනාව ගෝලයොන්ට බෙදලා මිනිහා ගෝලයොත් එක්ක හැමදාම අඩියක් ගහනවා, ගෙදර setup එක full volume දාලා. මිනිහට තියෙන්නෙ පුෂ් බයිසිකලයක්, මිනිහා ඕකෙ කඹ ටිකයි, chain saw එකයි පොරෝ ටිකයි බැඳගෙන හැමදාම උදේ වැඩට යනවා.

    ඇත්තටම Vehicle Permit දෙන්න ඕන මෙන්න මේ වගේ රටට බරක් නැති, තවත් පවුල් 2-3කට රැකියා මාර්ග සපයන, හැමදාම අඩියක් ගහල තව රජයට බදුත් ගෙවන රංජියලා වගේ මිනිස්සුන්ට. පොල් රංජි ගස් කපනකොට ගන්න decisions, rational thinking සහ calculated risks ජීවිතේට ඔය so called professionals ල ගන්නෙ නෑ.

    තව පුංචි කතාවක්, ඒකත් පොල් රංජි ගැන. අපි අපේ scheme එකේ අවුරුදු උත්සවයට හැම පාරකම කඹ ඇදීමේ තරගෙට කඹේ ගන්නෙ රංජිගෙන්. මමත් එක්ක රංජි හිතවත් නිසා මම තමයි කඹේ ඉල්ලගන්නෙ. පහුගිය දවසක මගේ අසල්වාසී දොස්තර කෙනෙක් ඇහුවා එයාගේ ළමයට scouting වලට කඹයක් ඕනය, ඒක රංජිගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්ද කියලා. මම කිවුවා අවුරුදු උත්සවයට නිවාඩු දිනවල කඹේ ගත්තට මේ වැහි දවස්වල තියෙන වැඩත් එක්ක ඉල්ලගන්න එක පොඩ්ඩක් අවුල් නේද කියලා. එතකොට මගේ දොස්තර යාලුවා කිව්වා එක දවසකටනේ, කමක් නෑනේ කියලා. මම මගේ යාලුවගෙන් ඇහුවේ එක දවසකට ඔයාට ඔයාගේ stethoscope එක වෙන කෙනෙකුට දෙන්න පුලුවන්ද කියලා. :D

    Anyway our friend Ranji truly deserves a vehicle permit. Isn't it?

    ReplyDelete
    Replies
    1. මේ තරම් අමාරු තත්ත්වයන් පවතිද්දීත් පොල් රන්ජිලා වැනි ව්‍යවසායකයන් ටික දෙනෙක් හෝ සිටින නිසා වෙනත් බොහෝ අයට වඩා සුවපහසු ජීවිතයක් ගතකිරීමට ඉඩකඩ ලැබී තිබේ. අප උත්සාහ කළ යුත්තේ පොල් රන්ජිලා වැඩිපුර බිහි කර ගැනීමටය. ලංකාවේ වෛද්‍යවරුද ව්‍යවසායකයන් ලෙස තවත් බොහෝ දෙනෙකුට රැකියා ලබා දීම ඇතුළු ඵලදායී ආර්ථික කාර්යයන් කරති. වැරැද්ද ඇත්තේ ඔවුන් කාර්ටලයක් ලෙස සිය ඒකාධිකාරය පවත්වා ගනිමින් විශේෂ වරප්‍රසාද ලබාගැනීම තුළය.

      Delete
    2. ( පළමුවෙන් මෙම වැදගත් සංවාදයට .... හොට දැමීම ගැන සමාවන්න )
      මෙම වෙබ් අඩවියේ සාරගර්භ ආර්ථික ලිපි කියවීමෙන් ලබා ගත දැනුම ආශ්‍රයෙන් අදහසක්/ ප්‍රශ්නයක් දක්වන්නම්.
      # පොල් රන්ජි ව්‍යවසායකයෙක් නම්, ඔහුට රජයෙන් vehicle permit /ආනයන බදු සහනයක් දීම, ව්‍යාපාරයන්ට රජයේ ඇගිලි ගැසීමක් නොවේද ? එය ව්‍යවසායකත්වය/ නිදහස් වෙළදපල වර්ධනයට බාධාවක් නොවේද ?
      # මට නම් , පොල් රන්ජි ගේ කාර්යය ව්‍යවසායකත්වයක් / බිස්නස් එකක ලෙස පෙනෙන්නේ නැහැ. ඔහු ශ්‍රමිකයෙක්, කය වෙහෙසා වැඩ කරන්නෙක් පමණයි. ඇනෝ කියා ඇති decisions, rational thinking සහ calculated risks වැනි දේවල් මමත් නිරීක්ෂණය කර තිබෙනවා, ඒ හැකියාවන් ගැන පුදුමයට පත් වී තිබෙනවා. යම් අවදානමක් තිබුනත් මේවා සැලකෙන්නේ skills ලෙසයි. business risk නොවෙයි. බර වාහන ර්යදුරෙක් , krane ක්රියාකරවන්නෙක් , ඩයිනමයිට් දමන්නෙක් දුම්රිය රියදුරෙක් වැනි අයත් තම ශ්‍රමික රැකියාවේදී මේ risk ගන්නවා. ආර්ථික මර්මස්තානයක් වන ක්‍රියාවලියක /ආයතනයක නම් මෙම විශේෂතා skills සහිත ශ්‍රමිකයින්ට සංවිධානාත්මකව ඉහල කේවල් කිරීමේ, වැටුප් වරප්‍රසාද දිනාගැනීමේ ශක්තියක් හැකියාවක් තිබෙනවා.

      # ඔහු 2-3 දෙනෙක් ගෝලයෝ ලෙස, වැඩ ඇති දවසට හවුල් කර ගැනීමත් රැකියා ප්‍රවර්ධනයක් නොවෙයි. ශ්‍රමික කාර්යයේම දිගුවක් පමණයි.. ව්‍යාපාරයක රැකියාවක මුලික ලක්ෂණ ,මේ කාර්යයේ අඩංගු වන්නේ නැහැ.

      # මට තේරෙන විදියට ඇනෝ යෝජනා කරන්නේ රජය විසින් (so called) professionals ලාට vehicle permit දෙනවා නම් පොල් රන්ජි වැනි අයත් deserve බවයි. මෙය සදාචාරාත්මක හොඳ හිතින් ,අගයකිරීමක් ලෙස කරන ප්‍රකාශයක්. නමුත් නිදහස් වෙළඳපල ක්‍රමයක ආර්ථික තීරණ ගැනෙන්නේ , ඉල්ලුම/ සැපයුම, තරඟකාරීත්වය වැනි කාරනා මතයි. සදාචාරය මත නොවෙයි.

      # දැන් පෞද්ගලිකව හිතෙන දේකුත් කියන්නම්. මේ වැඩෙන්, (මුලින් ම බලපත්‍රය විකුණා ගතමනාවක් අතට ගත්තොත් මිස ,නැතිනම්) පොල් රන්ජි අමාරුවේ වැටෙන බවයි. මෙම permit එකේ මහිමයෙන් මහත් උජාරුවෙන් brand new කාර් එකක් මිල දී ගෙන, නිතර් දෙවේලේ හුල්ලන මිත්‍රයන් කිහිප දෙනෙක් ගැනම දන්නවා.


      Delete
    3. මා හිතන්නේ වෙහිකල් පර්මිට් කතාව මඟින් ඇනෝ විසින් මතු කරන අදහස මිස එය වචනාර්ථයෙන් ගතයුතු නැති බවයි.

      පොල් රන්ජි විසින් තනිවම නිෂ්පාදන කාර්යයයක යෙදීමේ හැකියාවක් නැති තවත් දෙදෙනෙකු වෙනුවෙන් රැකියා අවස්ථාවන් ජනනය කිරීම තුළින් ඔහුගේ ව්‍යවසායකත්වය පැහැදිලිවම පෙන්වා ඇත. මේ දෙදෙනා මීට පෙරද රැකියා කළේනම් දැන් පොල් රන්ජි ළඟ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ වැඩි වැටුපක් (හෝ වෙනත් වාසි) ඇති බැවිනි. මේ වැඩි වූ දෙය පොල් රන්ජි විසින් අළුතින් නිර්මාණය කළ දෙයකි.

      //ආර්ථික මර්මස්තානයක් වන ක්‍රියාවලියක /ආයතනයක නම් මෙම විශේෂතා skills සහිත ශ්‍රමිකයින්ට සංවිධානාත්මකව ඉහල කේවල් කිරීමේ, වැටුප් වරප්‍රසාද දිනාගැනීමේ ශක්තියක් හැකියාවක් තිබෙනවා.// එසේ කේවල් කර (සාමාන්‍යයෙන්) ලබාගත හැක්කේ පොල් රන්ජිගේ ශ්‍රමයේ වටිනාකමයි. ඔහු වෙනත් ආයතනයක සේවය කළේනම් එසේ තමන්ගේ ශ්‍රමයේ ආන්තික වටිනාකම ලබාගැනීම නිවැරදිය. එහිදී ඔහු ශ්‍රමිකයෙක් මිස ව්‍යව්සායකයෙක් වන්නේ නැත. දැන් ඔහු එසේ නොකර තමාගේම ව්‍යාපාරයක යෙදෙන්නේ එසේ කිරීමෙන් ඔහුට තමාගේ ශ්‍රමයේ වටිනාකමට වඩා වැඩියමක් ලබාගත හැකි බව ඔහු විශ්වාස කරන නිසාය. ඔහු ව්‍යවසායකයෙක් ලෙස ලබන ප්‍රතිලාභය ඔහු විසින් සේවක වැටුප් ඇතුළු සියලු වියදම් ගෙවීමෙන් පසුව ඉතිරි වන මුදලින් ඔබ පෙර කී ලෙස වෙනත් ආයතනයක පුහුණු ශ්‍රමිකයෙකු ලෙස වැඩ කර උපයාගත හැකි උපරිම වේතනයද අඩුකිරීමෙන් පසු ඉතිරි වන මුදලයි. ඔහුගේ ශ්‍රමයේ වටිනාකම ඔහුට කොහොමටත් ලබා ගත හැකිව තිබුණු දෙයකි. ඔහු විසින් අළුතින් නිර්මාණය කළ දෙය ඉතිරි මුදලයි. ඔහු දිගටම ව්‍යාපාරය ගෙන යාමෙන් පෙනෙන්නේ මෙවැනි වැඩි යමක් ඔහුට ලැබෙන බවයි. එසේ නැත්නම් ඔහු වෙනත් තැනක පුහුණු ශ්‍රමිකයෙකු ලෙස රැකියාවට යනු ඇත. මේ අයුරින්ම ඔහුගේ සේවකයින් දෙදෙනා හා අදාළවද පොල් රන්ජිගේ ව්‍යවසායකත්වය නිසා ඔවුන්ට ලැබුණු දෙය වන්නේ ඔවුන් පෙර කළ රැකියාවකට වඩා වැඩිපුර ලැබෙන මුදලයි. මෙතැනදී එය තවදුරටත් ඔවුන්ගේ ශ්‍රමයේ වටිනාකමම වුවත් පොල් රන්ජි විසින් එම ශ්‍රමයේ වටිනාකම වැඩිකර තිබේ. පොල් රන්ජි නොසිටින්නට ඔවුන්ට ඒ වැඩි මුදල නොලැබේ. ව්‍යවසායකයින් සමාජයට සේවයක් කරන්නේ මේ ආකාරයෙන් වෙනත් අයගේ ශ්‍රමයේ වටිනාකම, ප්‍රාග්ධනයේ වටිනාකම හා පාරිභෝගික අතිරික්තය වැඩි කරන බැවිනි.

      Delete
  15. \\ව්‍යවසායකයින් සමාජයට සේවයක් කරන්නේ මේ ආකාරයෙන් වෙනත් අයගේ ශ්‍රමයේ වටිනාකම, ප්‍රාග්ධනයේ වටිනාකම හා පාරිභෝගික අතිරික්තය වැඩි කරන බැවිනි //

    ව්‍යාපාරිකයන් සමාජයට විශේෂ සේවයක් , අනෙකුත් අය නොකරන ජාතියේ සේවයක්... කරනවාද ? සේවයක වටිනාකම තීරණය කරන්නේ, සංසන්දනය කරන්නේ කෙසේද ? කුමන මිනුම් දඬු අනුසාරයෙන්ද?
    මේ ගැන මිට කලින් අවස්තාවක ද, වෙනත් වුර්තින් සමග සසඳා අදහස් දැක් වූ නමුත්, පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැත.

    ව්‍යාපාරයක් කරන්නේ මුලිකවම ලාභ ලබා ගැනීමේ අරමුණිනි. තවත් අය සේවයට යොදා ගන්නේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාය. හුදෙක්ම අනෙකුත් ශ්‍රමිකයන්ට රැකියා සැපයීමේ අරමුණින් නොවේ. ව්‍යාපාරිකයා , වෙනත්ශ්‍ අයගේ ශ්‍රමයේ වටිනාකම වැඩි කරන බව ද ප්‍රශ්නකාරිය.වෙනත් ව්‍යාපාරයක රැකියාවක් සිටින කෙනෙක් මිලදී ගැනීමේදී වැඩි වැටුපක් ගෙවියයුතු වේ යයි එක උදාහරණයක් මගින් මෙවැනි අදහසක් මතු කල හැකිය. එසේ නම් සෑම රැකියාවකම වැටුප් මට්ටම ( උද්ධමනය නොසලකා ) නිරතුරුවම ඉහල යා යුතුය. නමුත් සමස්ත රැකියා වෙළඳපල සලකා බැලීමේදී මෙවැනි දෙයක් සිදු වේද ?
    විශේෂිත රැකියාවන්ස කිහිපයක හැරෙන්නට, සාමාන්යයෙන් සිදු වන බව පෙනෙන්නේ , ශ්‍රමිකයන් ගේ වැටුප් ලබන්නන් ගේ තත්වය පහල යාමයි.

    # ව්‍යවසායකයෙක් විසින්, ප්‍රාග්ධනයේ වටිනාකම හා පාරිභෝගික අතිරික්තය වැඩි කිරීම යන්න ..පැහැදිලි නැත. කාල වෙලා ගැටළුවක් ඇතිනම්, මෙම බ්ලොග් ලිපිවල /වෙනත් internet ලිපියක මේ ගැන සඳහන් නම්,කරුණාකර මග පෙන්වන්න.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.