Friday, May 20, 2016

ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන ලෙමනේඩ් දිනය අදයි!

අද (2016 මැයි 21) උතුරු ඇමරිකාවේ ජාතික ලෙමනේඩ් දිනයයි. ඇමරිකාවේ සහ කැනඩාවේ මිලියනයක් පමණ දරුවෝ අද තමන්ගේම ව්‍යාපාරයක් අරඹා ප්‍රායෝගිකව ව්‍යවසායකත්වයේ පළමු පාඩම් ඉගෙන ගනිති. මේ පාඩම අනාගත ව්‍යවසායකයින් වීමට ඔවුන් බොහෝ දෙනෙකුට උත්තේජනයක් සපයනු ඇත.

ලෙමනේඩ් දිනය සඳහා සහභාගී වන දරුවෝ සුළු පරිමාණයෙන් වුවත් ලොකු සමාගමක් කරන සියළු කටයුතු කරන්නට උගනිති. මෙදින තමන්ගේම ලෙමනේඩ් අලෙවිසැලක් ඇරඹීමේ පළමු පියවර වන්නේ ව්‍යාපාර සැලසුමක් පිළියෙළ කිරීමයි. ලෙමනේඩ් දිනය සඳහා ලියාපදිංචි වී ව්‍යාපාරික ස්ථානයක් තෝරාගැනීමෙන් අනතුරුව ලෙමනේඩ් රෙසිපියක් සොයා ගැනීම, විකිණීමට හැකියැයි සිතන ලෙමනේඩ් කෝප්ප ග
ණන ඇස්තමේන්තු කිරීම, ස්ථිර හා විචල්‍ය පිරිවැය ගණනය කිරීම, මිල තීරණය කිරීම හා අවශ්‍ය මූලික ආයෝජනය ඇස්තමේන්තු කිරීම සිදු කළ යුතුය. අවශ්‍යනම්, මේ ව්‍යාපාරය සඳහා හවුල්කරුවෙකු හෝ සේවකයෙකු සොයා ගැනීමටද පුළුවන. ඉන්පසුව ආයෝජකයෙකු සොයාගත යුතුය. මේ ආයෝජකයා සිය දෙමවුපියන්ගෙන් කෙනෙකු හෝ වැඩ සටහනට සහයෝගය දක්වන වෙනත් බාහිර පුද්ගලයෙකු විය හැකිය.

මෙසේ අද දින මල්වර වන කුළුඳුල් ව්‍යවසායකයෙකුට දිනය අවසානයේ ලැබෙන ආදායමෙන් ආයෝජකයාගෙන් ලබාගත් මූලික ප්‍රාග්ධනය හා එයට අදාළ පොලියත්, සේවක වියදම් ඇත්නම් ඒවාත් ගෙවා දැමීමෙන් අනතුරුව ඉතිරි වන ලාභය තමන්ට කැමති පරිදි ඉතිරි කිරීමට, වියදම් කිරීමට හා/හෝ කිසියම් අරමුදලකට ප්‍රදානය කිරීමට පුළුවන. මේ සියළු කටයුතු සිදුවූ ආකාරය පිලිබඳ වාර්තාවක් ලෙමනේඩ් දින සංවිධායකයින්ට ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් ඇති අතර ඒ වාර්තා අනුව  තෝරාගන්නා ව්‍යවසායකයින්ට ත්‍යාග මුදල් හිමි වේ.

ලෙමනේඩ් දිනය මයිකල් හෝල්ට්හවුස්ගේ සංකල්පයකි.



මයිකල් ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු විසින් ආරම්භ කළ පරිගණක ජාල සේවාවන් සපයන සමාගම වසර හයක් වැනි කෙටි කලක් තුළ සේවකයන් 1600කට රැකියා සපයන, ඩොලර් මිලියන 100ක ආදායමක් උපයන ව්‍යාපාරයක් ලෙස දියුණු කළ ඔහු 1997දී මෙම ව්‍යාපාරය ස්ප්‍රින්ට් සමාගමට විකුණා දැමීමෙන් පසු වැඩි වශයෙන් පුණ්‍ය කටයුතු වල නිරතව සිටී. ව්‍යවසායකයින් සමාජ ද්‍රෝහීන් ලෙස නොව වීරයන් ලෙස සලකන ඇමරිකාවේ මයිකල්ලා වැනි සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නංවමින් රටේ ආර්ථිකයට අගයක් එකතු කිරීමට, තවත් බොහෝ දෙනෙකුට රැකියා ලබා දී ආදායම් උපයා ගැනීමට උදවු වීමට, රජයට ගෙවන ආදායම් බදු හරහා පොදු කටයුතු වලට හා සුබසාධනයට දායක වීමට, ආර්ථිකයට තමන් විසින් එකතු කළ අගයෙන් වෙනත් අයගේ හා රජයේ කොටස් වෙන් කර ඉතිරිය ලබාගෙන ධනවත් වීමට මෙන්ම ඒ ධනයෙන් නැවත සමාජයට මෙහෙවරක් කිරීමටද කාලයක් තිස්සේම ඉඩකඩ සැලසී තිබුණේය. රටවල් ඉදිරියට යන්නේ මයිකල් වැනි ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලීත්වය නිසා මිස ප්‍රාග්ධනය නිසා නොවේ. නිර්මාණශීලීත්වය ඇති තැන ප්‍රාග්ධනය නිර්මාණය වේ. දැන් ඔහුගේ උත්සාහය ඇමරිකාවට තවත් ඉදිරියට යන්නට දිරි දෙන්නට තවත් අනාගත ව්‍යවසායකයින් රැසක් බිහි කිරීම සඳහා කිසියම් මෙහෙවරක් කිරීමයි. 

නිර්මාණශීලී අදහස් ඇත්තේ ඇමරිකානුවන්ට පමණක් නොවේ. කොයි රටේත් නිර්මාණශීලී මිනිස්සු සිටිති. එහෙත්, ඇතැම් රටවල මේ අදහස් වලට ප්‍රමාණවත් ඉඩක් නොලැබේ. කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව නිසා දැන් බොහෝ දෙනෙකුගේ නිර්මාණශීලීත්වයට මතුවන්නට තිබුණු බාධා ඉවත් වී තිබේ.

දුම්රිය මිතුරන්ගේ දිවා ආහාර පැකට් ගංවතුරින් විපතට පත් වූවන්ට බෙදාදීම වැනි සරල එහෙත් ඉතා සාර්ථක අදහසක් ක්‍රියාවට නංවමින් නලීන් දිල්රුක්ෂ විසින් පෙන්වා දී ඇත්තේ එයයි. පසුගිය සියවසේදී පරිප්පු මහත්තුරුන් වෙන්නට හැමෝටම බැරි වුණත්, සමාජජාල වල උදවුවෙන් ලන්ච්පැකට් මහත්තුරු වෙන්නට නලින්ලාට හැකි වී ඇති අතර ඔහුගේ සංකල්පය වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ක්‍රියාත්මක කිරීම මඟින් පෙනෙන්නේ එම සංකල්පයේ ඵලදායීත්වයයි. ලන්ච්පැකට් සංකල්පය හරහා මේ ලන්ච්පැකට් මහත්තයා විසින් ප්‍රදර්ශනය කර ඇති නිර්මාණශීලිත්වය හා ඉටුකර ඇති මෙහෙවර පසුගිය සියවසේ මුල එවැනි දේ කළ පරිප්පු මහත්තුරුන්ගේ මෙහෙවරට වඩා අඩුවෙන් තක්සේරු කළ යුතු නැත.  


(මෙම ලිපිය දිනක් කලින් පළවේ.)

(Image: bizkidsrochester.wordpress.com)

32 comments:

  1. උදය හවස කෝච්චීයේ යන නලින්ගේ මේ සිතුවිල්ල අගය කල යුතුයි!!!!!! එය ඉතා සාර්ථක වැඩක් වගේම සාමුහිකත්වය පිලිබඳ ගෙදරටම ඇතුල්වූ සංකල්පයක්. නියමයි නලින්!!!!!!

    ලෙමනේඩ් දිනය ඇමරිකාවට සීමාවු දිනයක්ද? මම ඔය වගේ දෙයක් මේ රටේ අහලා නැහැ. කුඩා දරුවන්ට මේ තුලින් යමක් හිතන්න පුරුදු කරන දෙයත් හරි වටිනවා.

    ReplyDelete
    Replies
    1. මෙය තවමත් ඇමරිකාවට සහ කැනඩාවේ ඇතැම් නගර වලට සීමා වූවක්. උතුරු ඇමරිකාවෙන් පිටතට ව්‍යාප්ත වී නැහැ.

      Delete
  2. ඇත්තටම නලින් අයිය ක්ෂනිකව සංවිධානය වෙලා කරපු වැඩේ මෙච්චර දුර යන තත්වෙට පත්වෙච්ච එක ගැන අවංකවම සතුටුයි.

    පොතේ අධ්‍යාපනේම ඇලිල ඉන්න ලංකාවෙ ළමයින්ටත් මේ වගේ අලුත් සංකල්ප ක්‍රියාත්මක කරනවනං ඒක සෑහෙන වැදගත් දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙවැනි දේ කාට හෝ මුල් වී කළ හැකියි. රජය විසින්ම කළ යුතු නැහැ. ඇත්තටම රජය මුල් වී ව්‍යවසායකත්වය පුරුදු කරන තුරු බලා ඉන්නවනම් ව්‍යවසායකත්ව සංකල්පය එතැනම ප්‍රශ්න කෙරෙනවා.

      Delete
  3. අවුරුදු 6කට කලින් මාත් මගේ කාර්ය සගයෙකුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීමම මත Enterprise Education නියමු ව්‍යාපෘතියක් සකස් කරලා ලංකාවේ පාසැල් 50 කගුරුවරුන් පූහුණු කරලා ක්‍රියාත්මක කළා.පටන්ගන්නකොට වැඩේ හොඳට ගියා. නමුත් ඇමති සහ ලේකම් මාරු උනාට පස්සේ වැඩේ ෆුල් ස්ටොප්.ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ.

    ReplyDelete
    Replies
    1. රජය මත යැපෙන්නේ නැතුව ඔබේ අදහස පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න අමාරුද? මට හිතෙන්නේ සැලකිය යුතු ඉල්ලුමක් තියෙයි කියා.

      Delete
    2. අමාරුයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය සහ සම්බන්ධීකරණය නැතුව පාසැල්වල කිසිම ව්‍යාපෘතියක් කරන්ට බෑ.

      Delete
  4. ඒ වුනාට නලීන් මහත්තයා වෙන කතාවක් කිව්වා.
    http://www1.kalaya.org/2015/11/2015-29.html
    මේකෙන් කියවෙන්නෙ ඒකීය සීන් එකේ සීමාවක් පවතින බවයි.
    මේ ගැන අදහස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ ඔබ කියන්නේ තනියම නව නිර්මාණයක් කරන එක එන්න එන්නම වඩා අමාරු වෙනවා කියන එක වෙන්න ඇති. ව්‍යවසායකයින් බිහිවෙන එක අඩුවෙන්න එයත් හේතු වෙනවා විය හැකියි.

      Delete
  5. I see two important sectors in Sri Lanka that are lagging due to the fact that none of the knowledgeable people come forward. They are the most important sectors for a developing country.

    1. Entrepreneurs
    2. Engineers ( good ones)

    Since there are no good think tanks like in developed countries, we cannot expect a development in SL.

    Entire social media and mainstream media are flooded with people who bash each other and gossip creators.

    Your attempt to bring knowledge is highly commendable.

    I would like to invite you to join in hands to improve these two sectors. What's required in SL is not describe the problems but provide solutions as you have described above.

    I work as a consultant overseas for more than 20 years now and work closely with IESL ( since recently). Would like to invite you to a major event in August. Please let me know your contact details. - Ernest Kithsiri

    www.theindependents.org


    https://youtu.be/wsyUmz56dSg

    https://youtu.be/caQYZBU8LQ0

    https://youtu.be/x96aX4Xj4VY

    ReplyDelete
    Replies
    1. Thank you for the invitation. Unfortunately, there's no way I can attend the event in SL in August. I will be in SL soon and will be back before August. I can be reached at economatta@gmail.com.

      Delete
  6. ලංකාවේ ඉගෙන ගනිද්දී අපට මෙහෙම දෙයක් කියල දුන්න නම් කියා මට හිතෙනවා. මම ලන්ඩනයේදී සමාගමක් පිහිටෙව්වා තවත් නෙට්වර්ක් ඉංජිනේරුවරියක සමග. ඒකෙ නමත් හොඳ එකක්. ( ඒ කියන්නේ ප්‍රසිද්ධ එකක්. එක වෙන එකෙක් මිලට ගත්ත මම නිකන් දුන්නට පස්සේ) මම පොඩි කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකකුත් ලිව්වා. අපට ක්ලයන්ට් ල 3 යි හිටියේ අවුරුද්දටම. මට මේක විකුණා ගන්න තේරෙන්නේ නැහැ. සමාගම දියුණු කරන්න තේරෙන්නේ නැහැ. පස්සේ කෙල්ලට කිව්වා වෙන රස්සාවක් හොයා ගන්න කියල. මම ලියපු පැකේජ් එකත් එක්ක ඒ වගේම දේවල් කරන වෙන සමාගමක රැකියාවට ගියා . අදත් ඉන්නේ එතන. දැන් මතක් වෙනකොට දුකයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ වුණත් ව්‍යාවසායකත්වය දිරිමත් කරන නමුත් පුහුණු කිරීම සිදුවන්නේ අඩුවෙන්. මේ ව්‍යාපෘතියේ අරමුණත් ඒ රික්තකය පිරවීම. මේ හා අදාළ මගේ පෞද්ගලික අත්දැකීම් ගැන මුලින් ලියන්න හිතාගෙන හිටියත් දැනට අදහස අත ඇරියා.

      Delete
  7. ගස්ලබ්බ ඉන්නෙ මුස්ලිම් ගමක් සිංහල ගමක් අතර සීමාවෙ.ඉතින් ඒ සංස්කෘතිය ටිකක් වැඩිපුර දකිනවා.අපි කවුරුත් දන්න නෝම්බි උපවාස කාලෙ තියනවානෙ.ඒ කාලෙ මුස්ලිම් ළමයින්ට නිවාඩු.ඔවුන් කරන්නෙ සෙල්ලම් කඩ දා ගන්න එක.සෙල්ලමට උනත් සිදු කරන්නෙ වලංගු මුදල් ගණුදෙනු.පොල් ගෙඩියක්,දෙල් ගෙඩියක් හරි කමක් නෑ බිස්නස් එක කරනවා..ඉතින් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම ඔවුන් සාර්ථක ව්‍යාපාර සඳහා යොමු වෙනවා.
    නලින් අයියගෙ වැඩේ නම් ඉස්තරම්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අය මෙවැනි දෙයක් කරන බව දැනගෙන හිටියේ නැහැ. එය හොඳ දෙයක්. වෙනත් අයටත් එය අනුගමනය කළ හැකියි.

      Delete
  8. රටක සමාජයක පැවැත්මට හැමෝම ව්‍යවසායකයෝ වෙන්න අවශ්‍ය නැහැ. කුණු එකතු කරන්නෝ ,දොස්තරවරු, පාර අතු ගාන්නෝ,ඉංජිනේරුවෝ, ගුරුවරු, හෙද හෙදියෝ,පිරිසිදු කරන්නෝ, ගිනි භටයෝ, ලිපිකරුවෝ,කාර්මිකයෝ ..වැනි වුර්ත්තින් කරන අයත් අත්‍යාවශ්‍යයි. ඉතින් ඇයි හැමෝම ව්‍යවසායකයන් වෙන්න ව්‍යාපාර කරන්න ට්‍රයි කලයුත්තේ ?
    අනෙක් අතට, කොයි තරම් උත්සාහ කලත් හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න බැරි බවත් පැහැදිලියි. හැමෝම ව්‍යාපාර කරලා භාණ්ඩ /සේවා සපයන්න පටන්ගත්තොත්, ඉල්ලුමක් එන්නේ කොහෙන්ද ?
    මේ ව්‍යවසායකත්වය විතරක් මේ තරම් ගිනි කන වැටෙන ව්‍යායාමයක් වෙන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔබ අසන ප්‍රශ්නයට පිළිතුරත් ඔබේ කමෙන්ටුව ඇතුලෙම තියෙනවා. "කොයි තරම් උත්සාහ කලත් හැමෝටම ව්‍යවසායකයෝ වෙන්න බැරි බවත් පැහැදිලියි." ඒ නිසා තමයි එවැනි හැකියාවක් ඇති අය සුවිශේෂී පුද්ගලයෝ වෙන්නේ. සමාජයක් ඉදිරියට ගෙනයන්නේ නිර්මාණශීලිතත්වයක් ඇති මේ සුළු පිරිසයි. එවැනි අය වැඩි ප්‍රතිශතයක් සිටින සමාජයක් වෙනත් සමාජයකට වඩා වේගයෙන් ඉදිරියට යනවා. එවැනි පිරිස් වැඩිපුර බිහිකර ගැනීමට උත්සාහ කළ යුත්තේ ඒ නිසයි.

      //රටක සමාජයක පැවැත්මට හැමෝම ව්‍යවසායකයෝ වෙන්න අවශ්‍ය නැහැ. කුණු එකතු කරන්නෝ ,දොස්තරවරු, පාර අතු ගාන්නෝ,ඉංජිනේරුවෝ, ගුරුවරු, හෙද හෙදියෝ,පිරිසිදු කරන්නෝ, ගිනි භටයෝ, ලිපිකරුවෝ,කාර්මිකයෝ ..වැනි වුර්ත්තින් කරන අයත් අත්‍යාවශ්‍යයි.// හැමෝම උත්සාහ කළත් හැමෝටම ව්‍යවසායකයින් වෙන්නත් බැහැ. එය ඔබ විසින්ම ලියා තිබෙනවා. එමෙන්ම දොස්තර කෙනෙකු හෝ පිරිසිදු කරන්නන්නෙකු වීම ව්‍යවසායකයෙකු වීමට බාධාවක් නෙමෙයි. මේ දෙවන ප්‍රශ්නයට පිළිතුරත් මෙහිම තිබෙනවා. ඔබ කියන බොහෝ වෘත්තිකයින් විසින් කරන්නේ වැටුපක් සඳහා වෙනත් අයෙකු යටතේ සේවය කිරීම. ව්‍යවසායකයන් නොසිටීනම් ඔවුන්ට රැකියා දෙන්නේ කවුද? ලංකාවේ ගොඩක් අයට ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනතුරු බලා ඉන්න සිදු වී තිබෙන්නේ ඔබ සඳහන් කර ඇති වෙනත් රැකියා කිරීමට කැමති අය වෙනුවෙන් රැකියා ජනනය කිරීමට තරම් ප්‍රමාණවත් ව්‍යවසායකයින් පිරිසක් රටේ නැති නිසයි.

      //හැමෝම ව්‍යාපාර කරලා භාණ්ඩ /සේවා සපයන්න පටන්ගත්තොත්, ඉල්ලුමක් එන්නේ කොහෙන්ද ?// කෙනෙක් ඉල්ලුමක් නැති දෙයක් සපයනවානම් එතැන ඇති ව්‍යවසායකත්වයක් නැහැ. ව්‍යවසායකත්වය කියන්නේම නිර්මාණශීලී ලෙස සිතා ඉල්ලුමක් ඇති තැන්, මිනිසුන්ට ප්‍රශ්න ඇති තැන් හඳුනාගෙන එවැනි අවශ්‍යතා සපුරන එකයි. නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති තැනක ලාභ ලැබීමේ ඉඩකඩක් තිබෙනවා. මේ ලාභය හැමවිටම මුදල් ලාභයක් වීම අවශ්‍යත් නැහැ. එය වෙනත් අරමුණක් වෙන්නත් පුළුවන්. සමාජ ව්‍යවසායකත්වය (social entrepreneurship) කියන්නේ එයයි. ගංවතුර අවස්ථාවේ නලින් විසින් කළ දෙය උදාහරණයක්.

      //මේ ව්‍යවසායකත්වය විතරක් මේ තරම් ගිනි කන වැටෙන ව්‍යායාමයක් වෙන්නේ කොහොමද ?//
      ඔබ උඩින් සඳහන් කළ රැකියා කරන හැම දෙනෙක්ම කරන්නේ සමාජයක දැනට තිබෙන දැනුම ප්‍රයෝජනයට ගෙන කිසියම් නිෂ්පාදන කාර්යයකට හවුල් වීමයි. එවැනි දේ සඳහා පුද්ගලයින් පුහුණු කිරීම සාපේක්ෂව අමාරු දෙයක් නොවෙයි. එහෙත්, ව්‍යවසායකයෙකුට යන්න වෙන්නේ එවැනි කාපට් පාරක නෙමෙයි. එවැන්නෙකු වෙනත් කිසිවකු පය නොතැබූ තැන් සොයාගෙන යා යුතුයි. එවැනි තැන් සොයා ගැනීම එන්න එන්නම අමාරු වන කාර්යයක්. ව්‍යවසායකයින් වෛද්‍යවරුන් හෝ ගිණි භටයින් මෙන් පුහුණු කිරීම මඟින් හදන්න අමාරුයි.

      Delete
  9. Can you tell about the american dream. is it only a daydream.

    ReplyDelete
    Replies
    1. මෙහි සරල අදහස වන්නේත් බාධාවකින් තොරව කෙනෙකුගේ දක්ෂතා හා මහන්සිය අනුව තමන් කැමති ක්ෂේත්‍රයක ඉහළට යාමට අවස්ථාවන් තිබීම. මගේ පෞද්ගලික අත්දැකීම අනුව, මේ කරුණෙන් ඇමරිකාව ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.

      Delete
  10. මේ කතාවේ විදියට නම් ඇමෙරිකාවේ මයිකල්ලා සද් භාවයෙන් ක්‍රියාකරන පුදුමාකාර ගුණවත් "දානපතියෝය." බොහෝ දෙනෙකුට.. ආදායම් උපයා ගැනීමට උදව් කරති...පොදු කටයුතුවලට හා සුබ සාධනයට දායක වෙති. ..වෙනත් අයගේ හා රජයේ කොටස් වෙන් කර දෙති. තමන් ලබා ගන්නේ ඉතුරු බිතිරිය. ඒ ඉතිරි බිතිරියෙනුත් කරන්නේ නැවත සමාජයට මෙහෙවරක් කිරීමය. මයිකල්ලා මේ ඉතිරි බිතිරි අහුලා ගැනීමේදී අනෙකුත් කිසිම මනුස්සයෙකුට , මනුස්ස කොටසකට ජාතියකට රටකට කිසිම ආකාරයක කරදරයක් අකටයුත්තක් හානියක්, මේ සම්මජ්ජාතියේ නම් කරන්නේ නැති බවද සිතා ගත හැකිය.

    සාමාන්‍යයෙන් ඇමෙරිකානු ආණ්ඩුව , කොයි පක්ෂය බලයට පැමිණියත් සමන්විත වන්නේ, මේ මයිකල්ලාගේ පන්තියේ ඒජන්තවරුන්ගෙනි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීරණය වන්නේ මයිකල්ලාගේ චින්තනයෙනි. ෆ්රිඩ්රිච් හයෙක් , අයන් රෑන්ඩ්, මිල්ටන් ෆ්රිඩිමාන් වැනි මයිකල්ලාගේ ( එකොනොමැට්ටාගේ..!) එකොනමික් ගුරුවරු මේ චින්තනය හොඳට ඔප දමා පදම් කර මට්ටම් කර දී ඇති නිසා වරදින්නට නම් බැරිය.
    එහෙම නම් එහෙව් සද් ගුණවත් දානපතියන් ප්‍රධාන භූමිකාවක් රංගන ඇමෙරිකාව මිහිබට සුරපුරයක් බඳු විය යුතුය. එහි වෙසෙන කිසිදු ජනකොටසකට අසාධාරණයක් ,අවනඩුවක් නම් තිබිය නොහැක්කේමය. දියුණු වීමට කැමති ලෝකයේ අනික් රටවල් සියල්ලෝම අනිවාර්යයෙන්ම අනුගමනය කලයුත්තේ ද දානපති , සාධාරණ ඇමෙරිකානු මොඩලය ය.
    හැබැයි, පොඩි පරහකට තියෙන්නේ මේ ඇමෙරිකානු මයිකල්ලාගේ ආර්ථික මොඩලයේ ප්‍රතිපල ගැන ගැන ඉඳහිට...... මෙවැනි "කතන්දර" ද අහන්නට ලැබීමයි.
    # ලෝකයේ රටවල් අතුරින්, සන්ක්යාවෙන් මෙන්ම ජනගහනයට සාපේක්ෂව ගණන් බැලූ විටත් වැඩිම ජනතාවක් හිර ගෙවල් වල තපින්නේ ඇමෙරිකාවේය.
    # ලෝකයේ රටවල් අතුරින්, ජනගහනයට සාපෙක්ෂවත් සන්ක්යාවෙනුත් වැඩිම මිනිසුන් සංක්‍යාවක් පොලිසියේ වෙඩි තැබීම පහර දීම මගින් මරා දමන්නේ ඇමෙරිකා වේය.
    # බටහිර දියුණු රටවල් අතුරින් නඩු අසා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන එකම රට ඇමෙරිකාවය.
    # මේ කාලයේ තමන්ගේ රටට කිසිදු තර්ජනයක් නොවන ලෝකයේ තවත් රටවල් 10ක පමන යුද්ධ ඇති කලේ මෙහෙයවන්නේ අවි ආයුධ සපයන්නේ ඇමෙරිකාවයි.
    # විනාශකාරී මනුෂ්‍ය ඝාතන අවි ආයුධ නිපදවීම , අනෙක් රටවලට අපනයනය කිරීම අතින් නොම්බර එක ඇමෙරිකාවය. නොම්බර 2 3 වන රුසීයාව චීනය ඇතුළු ඊ ලඟ රටවල් 10 එකතුවටත් වඩා වැඩිය
    # ලෝකයේ සියලුම රටවල් ඇතුළුව කරන ලද ජනමත විමසුවකට අනුව, මේ වන විට ලෝක සාමයට ප්‍රධාන හතුරා ඇමෙරිකාව යි. .
    # ලෝක ජනගහනයට සතා සීපාවාට ගහකොළට මෙන්ම පෘථිවියේ සමස්ත පැවත්මටම තර්ජනයක් වි ඇති , දේශගුණික විපර්යාසයන් , උෂ්ණත්වය ඉහල යාම ,පාලනය කිරීමට විද්‍යාත්මක ක්‍රියා මාර්ගයන් ගැනීමට ප්‍රධානව විරෝධය පාන්නේ, බාධා කරන්නේ ඇමෙරිකාවේ සද් ගුණවත් දානපති මයිකල්ලාගේ... පන්තියයි.

    ඉතින්,එහෙව් මයිකල්ලාගේ ව්‍යවසායකත්වය ද, දෙහි ගෙඩි විකුණා අපිටත් ප්‍රවර්ධනය කරන්නට කියන්නේ ...?

    ReplyDelete
    Replies
    1. //ඇමෙරිකානු මයිකල්ලාගේ ආර්ථික මොඩලයේ ප්‍රතිපල ගැන//
      කරුණාකර ඔබ විශ්වාස කරන, ලංකාව මිහිබට සුරපුරයක් කළ හැකි විකල්ප ආර්ථික ආකෘතිය කුමක්ද කියා කියන්න පුළුවන්ද? එවිට, වඩා විස්තරාත්මක පිළිතුරක් දිය හැකියි.

      ඇමරිකාවනම් මිහිබට සුරපුරයක් නෙමෙයි. එහි මහන්සියක් නොවී, කැමති කැමති වේලාවට තමන්ට අවශ්‍ය දේ කඩා ගෙන පරිභෝජනය කළ හැකි, හැම දේම නිකම්ම පහළවන කල්ප වෘක්ෂ නැහැ. තමන්ගේ කල්ප වෘක්ෂය තමන් විසින් පැල කර ගත යුතුයි. එසේ තමන් විසින් පැල කර, දුක් මහන්සියෙන් හදා ගන්නා කල්ප වෘක්ෂයක හැදෙන ගෙඩි කෙනෙකුට අඩු අවහිර සහිතව පරිභෝජනය කිරීමටත්, තමන් කැමතිනම් වෙනත් අයෙක් සමඟ බෙදා හදා ගන්නත් ඉඩකඩ තිබෙනවා. මහන්සියක් නැතුව රජය නම් වූ මනඃකල්පිත පුද්ගලයෙකු විසින් හිටවන 'කල්ප වෘක්ෂයක' ගෙඩි කිසි මහන්සියක් නැතුව කඩාගෙන කන්න බලා සිටින අයට මේ ආර්ථික ආකෘතිය ගැලපෙන්නේ නැහැ.

      Delete
    2. // ලංකාව මිහිබට සුරපුරක් කළහැකි විකල්ප ආර්ථික ආකෘතිය..\\ සමා වන්න, මේ ආර්ථික ආකෘතින් ගැන මගේ නම් ඒ තරම් විශ්වාසයක් භක්තියක් නැත. ( දෙයියන්/ බුදුන් ගැන ද එසේමය! )

      \\ ඇමෙරිකාව, මිහිබට සුරපුරක් නොවන බව...// (පසුව) සඳහන් කිරීම ගැන නම් තරමක් විමතියට පත් වීමි.

      ඇමෙරිකාවේ මයිකල් ලා සම්බන්දයෙන් මුල් blog සටහනෙහි කරුණු නැවතත් සලකා බලමු.

      \\ මයිකල් ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකි. ඔහු විසින් ආරම්භ කළ පරිගණක ජාල සේවාවන් සපයන සමාගම වසර හයක් වැනි කෙටි කලක් තුළ සේවකයන් 1600කට රැකියා සපයන, ඩොලර් මිලියන 100ක ආදායමක් උපයන ව්‍යාපාරයක් ලෙස දියුණු කළ ඔහු 1997දී මෙම ව්‍යාපාරය ස්ප්‍රින්ට් සමාගමට විකුණා දැමීමෙන් පසු වැඩි වශයෙන් පුණ්‍ය කටයුතු වල නිරතව සිටී. ව්‍යවසායකයින් සමාජ ද්‍රෝහීන් ලෙස නොව වීරයන් ලෙස සලකන ඇමරිකාවේ මයිකල්ලා වැනි සාමාන්‍ය මිනිසුන්ට තමන්ගේ නිර්මාණශීලී අදහස් ක්‍රියාවට නංවමින් රටේ ආර්ථිකයට අගයක් එකතු කිරීමට, තවත් බොහෝ දෙනෙකුට රැකියා ලබා දී ආදායම් උපයා ගැනීමට උදවු වීමට, රජයට ගෙවන ආදායම් බදු හරහා පොදු කටයුතු වලට හා සුබසාධනයට දායක වීමට, ආර්ථිකයට තමන් විසින් එකතු කළ අගයෙන් වෙනත් අයගේ හා රජයේ කොටස් වෙන් කර ඉතිරිය ලබාගෙන ධනවත් වීමට මෙන්ම ඒ ධනයෙන් නැවත සමාජයට මෙහෙවරක් කිරීමටද කාලයක් තිස්සේම ඉඩකඩ සැලසී තිබුණේය //

      මයිකල් විසින් ආරම්භ කර ඇති ලෙමනේඩ් දිනයේ අරමුණත් මෙවැනි ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමයි. 1997 පමණ අතීතයේ ආරම්භ කර ඇති බව පෙනෙන මෙම සංකල්පය අත්හදා බැලීමට වර්ෂයකට මිලියනයක් පමණ දරුවන් සහභාගී වන බව ද සඳහන්.
      එසේම ඇමෙරිකාවේ ව්‍යවසායකයන් ගැන කතා කිරීමේදී සාමාන්‍යයෙන් අපට අහන්නට ලැබෙන්නේ .... බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් , මාක් සකර්බර්ග්, ජෙෆ් බෙසෝ, වොරන් බුෆේ වැනි, තමන්ගේ ව්‍යාපාර තුලින්ම, තමන්ගේ ජිවිත කාලය තුලම බිලියනවරුන් බවට පත් වූ අය ගැන. .
      ඉතින් මෙවැනි ව්‍යවසායකයන් ගෙන් සමන්විත , එවැනි ව්‍යවසායකත්වයට ඉහලින්ම ඉඩකඩ පහසුකම් සපයන ඇමෙරිකාව මිහිබට සුරපුරක් දෝ ..කියා මෙය කියවන පාටකයෙකුට( අප වැනි, නිකම්ම නිකං මැට්ටන් ට !) හැඟී යාම අරුමයක් ද ?

      එසේ වුවත් , ඇමෙරිකාව ගැන මවිසින් ඉහත ඉදිරිපත් කර ඇති කරුණු ගැන සලකා බැලීමේදී ( ඒවා සත්‍ය නම් ..), ඇමෙරිකාවේ දැන් ක්‍රියත්මක ආර්ථික සමාජ දේශපාලනික ක්‍රියාදාමයන් මගින් තමන්ගේ රටේ ජනතාව පමණක් නොව ලෝකයේ නෙකුත් රටවල ජනතාව ද මහත් වූ විනාශයකට ඇදගෙන යන බවට ද විචිකිච්චාවක් සැකයක් පහල වේ.

      ඉතින්, ඇමෙරිකාවේ ආර්ථික මොඩලය ව්‍යවසායාක්ත්ව ප්‍රවර්ධනය, උත්කර්ෂයට නංවන විට , ලංකාව වැනි රටකටත් යෝජනා කරන විට, ශතවර්ෂ දෙකක පමණ සිට මේ දක්වා ක්රියාත්ම වී ඇති එම ආර්ථික මොඩලයේ ප්‍රතිපල, ඵල විපාක ද ...සලකා බැලිය යුතු නොවේද ?

      Delete
  11. මුලින්ම නලින්ට හා ඔහු ගැන ලියු ඉකෝන්ට මගේ ප්‍රණාමය !!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.