වෙබ් ලිපිනය:

Sunday, April 30, 2017

අවුරුදු, පාස්කු, වෙසක් හා වසන්තය

අද අප්‍රේල් මාසයේ අවසාන දිනයයි. අප්‍රේල් මාසය වත්මන් සිවිල් දිනදර්ශනය වන ග්‍රෙගෝරියන් දින දර්ශනයේ හතරවන මාසයයි. අප්‍රේල් මාසය ලංකාවේ උත්සව මාසයකි. අප්‍රේල් 14 දින සිදුවූ මේෂ සංක්‍රාන්තියට සමගාමීව සිංහල හා දෙමළ නව අවුරුදු ඇරඹුණු අතර කිතුණුවන්ගේ මහ සිකුරාදා දිනයද එදිනටම යෙදී තිබුණේය. මහ සිකුරාදා දිනය කිතුණුවන් සතුටු වන දවසක් නොවූවත්, ඉන් අනතුරුව එළැඹෙන පාස්කුව කිතුණුවන්ගේ උත්සව දිනයකි. සිංහල අවුරුදු උත්සවය අවසන් වී සති කිහිපයකින් බොදුනුවන්ගේ මහා මංගල්‍යය වන වෙසක් පොහොය එළැඹේ.

පාස්කු දිනය ඇතැම් වසර වල සිංහල අවුරුද්දට පෙරද, ඇතැම් වසර වල එයින් පසුවද එළැඹේ. ඒ එම දිනය ගණනය කිරීම්දී යොදාගන්නා තරමක් සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙනි. දැන් ලෝකයේ බොහෝ දෙනෙකු පාස්කු දිනය සමරන්නේ  උත්තරාර්ධගෝලයේ වසන්ත විෂුවය සිදුවීමෙන් පසුව පැමිණෙන පුර පෝය දිනයෙන් පසුව පැමිණෙන ඉරිදා දිනයේය. 


වසන්ත විෂුවය මාර්තු 21 හෝ ආසන්න දිනයක සිදුවන නිසා එදිනම හෝ දින 29ක් ඇතුළත කිසියම් දිනක (අප්‍රේල් 19 දක්වා) පුර පෝය දිනයක් එළැඹෙන්නට පුළුවන. ඒ නිසා, මාර්තු 22 දිනය ඉරිදා දිනයක්නම් එදින පාස්කු දිනය විය හැකිය. එමෙන්ම පෝය දිනය අප්‍රේල් 19 දිනට යෙදී එදින ඉරිදා දිනයක්ද වුවහොත්, පාස්කුව ඊළඟ ඉරිදා දිනය වන අප්‍රේල් 26 දිනය දක්වා කල් යාමටද පුළුවන. පාස්කුවේ ඉතිහාසය හා එය වත්මන් සිවිල් කැලැන්ඩරය වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරය නිර්මාණය වීමට පාදක වූ ආකාරය ගැන කතා කිරීම ඉදිරියට තබමු.

ලෝකයේ විවිධ රටවල හා සංස්කෘතික කණ්ඩායම් අතර පාස්කු උත්සව දිනය සම්බන්ධව වෙනස් මත තිබේ. මේ ආකාරයෙන්ම වෙසක් පොහොය දිනය සම්බන්ධවද ථෙරවාද බෞද්ධ රටවල පවා පූර්ණ එකඟත්වයක් නැත. 


වෙසක් යන වචනය හැදෙන්නේ විශාඛ යන සංස්කෘත වචනයෙනි. මේ විශාඛ යන නමින් හඳුනාගන්නේ අහසේ ඇති බෙදුණු අතු රිකිල්ලක් වැනි තරු පන්තියකි. දැනට ලංකාවේ ජ්‍යෝතිෂයේ භාවිතා වන නැකැත් විසිහතෙන් දහසය වැන්න වන විසා නැකැත එසේ හඳුන්වන්නේද මේ විශාඛ තාරකා මණ්ඩලය පාදක කරගෙන ඒ නම සිංහලෙන් වහරමිනි. වෙනත් අයුරකින් කිවහොත් වෙසක් හා විසා යන වචන දෙකේම මූලය එකකි.

වෙසක් පොහොය යනු හඳ විසා නැකතට අයත් තරු පන්තියට ආසන්නව තිබියදී උදාවන පුන් පොහොයයි. මෙතැනදී නැකතක් කියා කියන්නේ අහස කොටස් 27කට බෙදූ විට එක් කොටසකි. අංශක 360 ලග්න 12ක් ලෙස බෙදූ විට එක් ලග්නයකට අංශක 30ක් වැටෙන්නාක් මෙන් එයම කොටස් 27කට බෙදූ විට නැකතකට අංශක 13කුත් කලා 20ක් වැටේ. මීන රාශිය හා මේෂ රාශිය වෙන් කෙරෙන උපකල්පිත ඉරෙන් පළමු නැකත ලෙස දැන් සැලකෙන අස්විද නැකත හා අවසන් නැකත ලෙස සැලකෙන රේවතී නැකතද වෙන් කෙරේ. ලග්න හා නැකැත් වෙන් කරන බෙදුම් ඉරි අංශක 0දී හැරුණු විට අංශක 120 දී හා 240දී පමණක් නැවතත් සමපාත වේ.

විසා නැකැත 16 වන නැකත නිසා එයට අයත් වන්නේ අංශක 200 හා අංශක 213 කුත් කලා 20 අතර කොටසයි. පසළොස්වක දවසට ඉර තිබෙන්නේ හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ නිසා හඳ විසා නැකතේ ඇති විට ඉර එයට අංශක 180ක් දුරින් අංශක 20 හා අංශක 33 කුත් කලා 20 අතර තිබිය යුතුය. මෙය සිදුවන්නේ සිංහල අවුරුද්දේ සිට ආසන්න වශයෙන් දින 20-33 අතරය. 


කෙසේ වුවද, පොහොය දෙකක් අතර පරතරය දින 29ක් පමණ වන නිසා මේ දින ගණන් අතර පොහොයක් නොවැටෙන්නට පුළුවන. ඒ නිසා මේ දින 13ක පමණ කාල පරාසයට තවත් දින 16ක් පමණ එකතු කර විශාඛ හෙවත් වෙසක් මාසය දින 29ක් පමණ දක්වා පුළුල් කළ යුතුය.

වෙසක් මාසය ඇතුළු ලංකාවේ බෞද්ධ චන්ද්‍ර මාස තීරණය කෙරෙන්නේද සූර්ය චලිතය පදනම් කරමිනි. ඒ අනුව, සුර්යයා මේෂ රාශියේ ගමන් කරන මාසයක පමණ කාලය අතරතුර උදාවන අමාවක පෝය දිනයකින් වෙසක් මාසය ඇරඹේ. වෙසක් මාසය උදාවන විට සූර්යයා (අංශක) 0º-30º අතර දැකිය හැකි නිසා, දින පහළොවකට පමණ පසු වෙසක් පෝය එළැඹෙන විට සූර්යයා දැකිය හැක්කේ 15º-45º පමණ අතරය. ඒ අනුව, එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ පිහිටන හඳ 195º-225º අතර පිහිටයි. විසා නැකත මේ පරාසය තුල 200º-213º20' අතර අසමමිතිකව පිහිටා තිබේ. ඒ නිසා ලංකාවේ ක්‍රමයට හඳ විසා නැකතට පැමිණෙන්නට අංශක පහකට පමණ පෙර වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. එසේ නැත්නම් විසා නැකත පසුකර අංශක 12කට පමණ පසුව වෙසක් පෝය එළැඹෙන්නට පුළුවන. මේ දිනය අප්‍රේල් 28-මැයි 29 පමණ අතර දිනයකි.
 

වෙසක් උත්සවය සමරන සෑම රටකම එය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තය වෙසක් මාසය තීරණය කරන ක්‍රමය අනුව වෙසක් පසළොස්වක දිනය වන විට හඳ විසා නැකතට පැමිණ අවසන්ය. ඒ නිසා ඇතැම් වසර වල තායි වෙසක් මාසය ලංකාවේ වෙසක් මාසයම නොවේ.  බෞද්ධ චන්ද්‍රමාස සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ පසළොස්වක පොහොයෙන් නොවන අතර පසළොස්වක දිනය වෙසක් මාසයේ පහළොස්වන දිනයයි. තායිලන්ත ක්‍රමය අනුව මාසය ඇරඹෙන විට හඳ විසා නැකතට පැමිණ තිබුණත් ලංකාවේ (වත්මන්) ක්‍රමයට එසේ නොවන්නටද පුළුවන. එයට හේතුව අමාවක දිනක විසා නැකතේ ආරම්භයට හඳ පැමිණෙන විට ඉර අංශක 20ට පැමිණ තිබිය යුතු වුවත්, මේෂ සංක්‍රාන්තියෙන් දින 14.5කට (හඳේ පක්ෂයකට) පසුව ඉර ඊට වඩා අංශක 5ක් පමණ පසුපසින් තිබීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේදීය. ලංකාවේ වෙසක් පොහොය දිනය අප්‍රේල් අග සිට මැයි අග දක්වා යෙදෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමරන වෙසක් දිනය මැයි මුල සිට ජූනි මුල දක්වා දිනයක් වන්නේ ඉහත අංශක පහක පමණ එනම් දින පහක පමණ වෙනස නිසාය. බොහෝ වසර වල මේ දින සමපාත වුවත් වසර හයකට පමණ වරක් එය වෙනස් වේ.

දැන් බැලූ බැල්මටම පෙනෙන්නට නැතත් අවුරුදු හා වෙසක් උත්සව වලටද පාස්කු උත්සවයට මෙන්ම වසන්ත විෂුවය සමඟ සම්බන්ධයක් තිබේ. කලකට පෙර වසන්ත විෂුවයෙන් ඇරඹුණු මේෂරවිය සිංහල සූර්ය අවුරුද්දේ පළමු මාසය වන්නාක් මෙන්ම, ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර මාර්තු මාසය අවුරුද්දේ පළමු මාසය විය. මාර්තු මාසය එසේ නම් කර ඇත්තේ අඟහරු හෙවත් මාර්ස් නමිනි. සිංහල ජ්‍යෝතිෂ්‍යයේ අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වන්නාක් මෙන්ම, මාර්ස් යනු යුද්ධයට අධිපති රෝමන් දෙවියාය. රෝමන් මාර්ස් හැදෙන්නේ ග්‍රීක ඒරීස්ගෙනි. මේෂ රාශියට භාවිතා කරන බටහිර නමද ඒරීස්ය. එමෙන්ම, මේෂ රාශියට අධිපති ග්‍රහයා ලෙස සැලකෙන්නේද අහසේ රතු පැහැයෙන් දැකිය හැකි අඟහරු ග්‍රහයාය.

මේ ලිපියේ කරුණු අතර අන්තර් සම්බන්ධතා පැහැදිලි කිරීම ඉදිරි ලිපි වලට ඉතිරි කරමු. මේ දිනවල තරමක් කාර්ය බහුල බැවින් පිළිතුරු පමා විය හැකිය.

10 comments:

  1. දැන් බලන් යනකොට හැම දේකටම තරු හා තරු පංතීන් සම්බන්ධයි වගේනේ !

    වෙසක් උත්සව මැයි මාසයේම රඳවගෙන ඉන්න එක බලහත්කාර කමක් නේද ? දවස් 28/29 කට සැරයක් චන්ද්‍ර මාසයක් එළබෙන කොට අනිවාර්යයෙන් ඒක ඉස්සරහට යන්න එපැයි. සමහර මාස වල පෝය දෙකක වැ‍ටුනම එකක් අධි පෝයක් කියලා පොඩි වංචාවක් කරලා බැල්න්ස් පරක් දානවා නේද.. ? ඒවත් හරියට ගණන් ගත්තනම් වෙසක් උත්සව මේ වෙනකොට වෙන මාසෙකට වැටිලා තියෙන්න ඕනා කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ භාවිතා වන බෞද්ධ දිනදර්ශනය චන්ද්‍ර-සූර්ය කේන්ද්‍රයක්. එය ඉස්ලාම් දිනදර්ශනය මෙන් තනිකරම චන්ද්‍ර දිනදර්ශනයක් නෙමෙයි. ඒ නිසා සූර්ය වර්ෂය සමඟ සමපාත වන පරිදි අධික මාස එකතු කිරීමත් එහි මූලික කරුණක්.

      Delete
  2. ඉකොනොමැට්ටා

    මැයි දිනය / කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන පක්ෂ හා වෘත්තීය සමිතිවල විකාරවලට ඵලදායී වැඩ කරන කම්කරුවන් දැන්වත් විරුද්ධ විය යුතු ය.

    කම්කරුවන්ට (ඵලදායී වැඩ කරන) පන්ති විඥානයක් නැහැ. අඩු ගණනේ වෙනම අනන්‍යතාවක්වත් නැහැ. ඔවුන් තමන්ගේ වටිනාකම, ශක්තිය ගැන දන්නෙවත් නැහැ.

    වාමාංශිකයන් විසින් ඔවුන්ට ගිල්වා තිබෙන ව්‍යාජ විඥානය තුළ තියෙන්නේ තනිකර ම මධ්‍යම පන්තික ආකල්ප. ඒවා කොයි තරම් විකෘති ද හානිකර ද කියනවා නම් එහි ශ්‍රම විරෝධයකුත් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් ම කය වෙහෙසා වැඩ කිරීම බාල පීචං වැඩක් ය කියන ආකල්පය තිබෙනවා.

    කම්කරුවන්ගේ විමුක්තිය කියලා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා තිබෙන්නේ වැඩ නො කර පඩි ගන්නට හැකියාව ලබා ගැනීමයි. ලංකාවේ නම් ඒකට ලේසිම ක්‍රමය රජයේ රස්සාවක්. ගුරුවරුන් වුණත් කම්කරුවන්ගේ දරුවන්ට පාසල්වලදි උගන්වන්නේ හොඳින් ඉගෙනගෙන රජයේ සේවකයකු වුණොත් අම්මලා තාත්තලා වගේ දුක් විඳින්නට ඕනැ නැහැ ය කියලායි.

    මෙ ශ්‍රම විරෝධී ආකල්ප නිසා පුහුණු කම්කරුවන් වීමේ විභවය ඇති විශාල පිරිසක් ත්‍රීවීල් පාක්වල ඈනුම් අරිමින් කාලකණ්ණි වෙනවා.

    ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්වයක් හදන්නට ඕනැ. අපි වැඩ කරන්නෙ, ලියන්න ඕනැ ඒකට. වැඩ නො කරන මධ්‍යම පන්තික රජයේ සේවකයන්ට අපේ ලේඛනවලින් දරුණු ලෙස පහර දෙන්න ඕන. ඵලදායී වැඩ කරන මිනිසුන් ශක්තිමත් කරන දේශපාලනයක් ගැන කතා කරන්න ඕන.

    සමහර විට, මේ පන්ති දේශපාලනයේ තිබෙන එකම තේරුම ඒක විතරක් වෙන්නටත් පුළුවන්. මේ ගැන ඔබට පැහැදිළිකල හැකිද?

    ReplyDelete
    Replies
    1. //ලංකාව වෙනස් කරන්නට නම් මුලින් ම ශ්‍රමය අගයන තත්වයක් හදන්නට ඕනැ. අපි වැඩ කරන්නෙ, ලියන්න ඕනැ ඒකට. වැඩ නො කරන මධ්‍යම පන්තික රජයේ සේවකයන්ට අපේ ලේඛනවලින් දරුණු ලෙස පහර දෙන්න ඕන. ඵලදායී වැඩ කරන මිනිසුන් ශක්තිමත් කරන දේශපාලනයක් ගැන කතා කරන්න ඕන. //
      මටනම් ඔය තරම් බරසාර අරමුණු නැහැ, ඇනෝ.

      Delete
  3. ඉකොනො,
    මේ ලිපි පෙල එකින් එක හොඳින් කියැවීමෙන් ලොකු දැනුමක් ලබන්න පුළුවන්. මම ඒක කරන්න හිතන් ඉන්නේ. වෙලාව වෙන් කරගෙන මේ ලිපි පෙල හැදෑරිය යුතුයි.
    කිසි ලෙසකින් මේ ලිපි ඔබේ බ්ලොගයෙන් ඉවත් කරන්න එපා. ඒවා ඒ තරම් වටිනවා.

    රාහු කේතු ගැනත් යමක් අපිව දැනුවත් කරන්න. රාහු කාලය නොවෙයි මේ ඡායා ග්‍රහයින් මොනවාද ඔවුන් පිහිටියේ කොතැනද මෙවන් වූ සංකල්පයක විද්‍යාත්මක පසුබිම.


    ReplyDelete
    Replies
    1. එය මට විස්තර කළ හැකියි. ඊට පෙර තව මූලික කරුණු කිහිපයක් විස්තර කරන්න වෙනවා.

      Delete
  4. ඉකොනො,
    ඔබ ජෝතිෂය හදාරනලද කෙනෙක්ද?
    - E.S.

    ReplyDelete
    Replies
    1. මූලික කරුණු ටිකක් දන්නවා. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. අනෙක් බොහෝ දේවල් නාසා වෙබ් අඩවිය වැනි තැන්වලත් තිබෙන තාරකා විද්‍යාවට හෝ එහි ඉතිහාසයට අදාළ දේවල්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: