වෙබ් ලිපිනය:

Thursday, April 4, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (පළමු කොටස)


අද මැදින් අමාවක පෝය. ඉන්පසුව බක් මාසය ආරම්භ වෙනවා. බක් මාසය කියන්නේ ලංකාවට සංස්කෘතිකව ගොඩක් වැදගත් මාසයක්.

වංශකතා අනුව, ගෞතම බුදුන් තෙවරක් ලක්බිමට වැඩම කර තිබෙනවා. බුදුන්ගේ පළමු ලංකාගමනය සිදුව තිබෙන්නේ බුද්ධත්වය සිදුව වසරක් ඇතුළත දුරුතු පුර පසළොස්වක් පෝ දිනක මහියංගනයටයි. දෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් පස් වන වසරේ බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි සිදුව තිබෙනවා. පැමිණ තිබෙන්නේ නාගදීපයටයි. වසර පහක කාලයක් ඇතුළත සිදුව තිබෙන මේ ඓතිහාසික සිදුවීම් දෙක මහා වංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙන්නේ පහත ආකාරයටයි.

"ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙත් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්ත නම් විල සමිපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයිද දන්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ  තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නොම දෙන්නහුද?” “නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින්  මෙහි ලඟා කළ සේක. උන් එහි වන් කළ තිබුන තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයින්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය."

"පස්මරුන් දිනූ මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝ වැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයින් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගය එසේම චූළෝදර නාගය යන පිරිස්  සහිත වූ න‍ාගයන්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වු යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි ම උතුම් වූ පා සිවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක. එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙම චූළෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා  කෙළේ ය. එසේ හෙයින් මයිල් නාරජු හා බැණනුවන්ගේ යුද්ධය තෙම එළඹ සිටියේය. පර්වත වාසී වූ ද ඒ නාගයෝ මහත් සෘද්ධිමත් වූහ. සමිද්ධි සුමන නම් දෙවි තෙමේද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලුරුක බුද්ධානුමතියෙන්ම  ගෙන ඡත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේ ය. ඒ දෙවි තෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය..."

"...මෝහාන්ධකාර නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසේ වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය එලවන්නා වූ  අන්ධකාරයක් මවා පෑ සේක. (සර්වඥයන් වහන්සේ) බියෙන් ‍පෙළුන ඒ (නයින්) අස්වසන්නේ ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් දැක සතුටු වූ ඒ නාගයෝ සර්වඥයන් වහන්සේගේ පා වැන්දෝය. පස්මරුන් දිනූ සර්වඥ තෙම සමඟි කරන්නා වූ  ධර්මයන් ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ දෙදෙන ම මිණිපළඟ ‍ සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ. ලෝකනායක වූ ශාස්තෘ තෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාග රාජයන් විසින් දිව්‍යාහාරපානයෙන් සතපන ලත් සේක්,  දිය වැසි වූද ගොඩ වැසි වූද අසූ කෙළක් නයින් තුන් සරණයෙහි ද සීලයෙහි ද පිහිට වූ සේක."

අද මේ ලිපිය ලියන මා මෙන්ම මහාවංශ කතුවරයාද මේ සිදුවීම් සිදුවන කාලයේ ජීවත් වී නැහැ. සියවස් ගණනාවකට පසුව ඔහු විසින් කර තිබෙන්නේ, දැන් මා කරන්නාක් මෙන්ම, තමන්ට පරිශීලනය කරන්නට ලැබී තිබෙන මූලාශ්‍ර ඇසුරු කර ගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. දැනටත් අපට පරිශීලනය කළ හැකි දීපවංශය සැලකෙන්නේ මේ සිදුවීම් පිළිබඳව මහාවංශයට වඩා පැරණි ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි. එහෙත්, දීපවංශ කතුවරයා හෝ කතුවරුන් විසින් කර තිබෙන්නේත් එවකට ඔවුන් දැන සිටි දේ ඇසුරු කරගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා, මේ ඓතිහාසික වාර්තා වල තිබෙන්නේ සැබෑවටම සිදු වූ දෙයක් ගැන විස්තරයක් බව අපට සහතිකවම කියන්න බැහැ. නමුත්, මෙවැනි ප්‍රවාද හැදෙන්න කවර හෝ පදනමක් තිබිය යුතුයි.

මහාවංශයට හා දීපවංශයට පදනම් වී තිබෙන්නේ මුඛපරම්පරාවෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසයයි. එය විධිමත් ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැක්කේ මහින්දාගමනයෙන් පසුවයි. ඊට පෙර කොටස ඒ කාලයේදී වත්මන් ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බෞද්ධ භික්ෂූන් විසින් ප්‍රතිනිර්මාණය කළ ඉතිහාසයක්. එහිදී ඔවුන් එවකට ලංකාවේ වූ ජනශ්‍රැති වලින් තොරතුරු ලබාගන්න ඇති.

දෙවනපෑතිස් කියන්නේ ඉහත කී සංක්‍රමණික බෞද්ධ භික්ෂූන්ට ලංකාවේදී සම්මුඛ වූ චරිතයක්. දැක නොතිබුණත් ඔහුගේ පියා වූ මුටසීව ගැනත් ඔවුන් ලංකාවට පැමිණෙන්න පෙර සිටම අසා තිබෙනවා. ලංකාවේදී ඔවුන්ට දෙවනපෑතිස්ගේ පියා මුටසීවව මෙන්ම දෙවනපෑතිස්ගේ පියාගේ පියා වූ පණ්ඩුකාභය ගැනත් හොඳින් දැන සිටි ඔවුන්ගේ කාලයේ ජීවත් වූ වයස්ගත පුද්ගලයින් හමු වෙන්න ඇති. එහෙත්, පණ්ඩුකාභයගේ පරම්පරාවට පෙර පරම්පරා වල අය ඒ වන විට ජීවත්ව ඉන්න ඉඩක් නැහැ.

කොහොම වුවත්, දෙවනපෑතිස් රජුගේ පරම්පරාවේ අක්මුල් හොයා යන සංක්‍රමණික භික්ෂූන්ට පණ්ඩුකාභයගේ මවගේ පියා වූ පඬුවස්දෙව් ගැනත්, පඬුවස්දෙව්ට ලංකාවට සංක්‍රමණය වීමට ඉඩකඩ සපයා දුන් ඔහුගේ පියාගේ සොහොයුරෙකු වූ විජය ගැනත් තොරතුරු හමුවුණා කියා හිතන්න පුළුවන්. බුදුන්ගේ ලංකා ගමන් වංශ කතා වල විස්තර කෙරෙන්නේ විජය ලංකාවට සංක්‍රමණය වන්නට පෙර කලෙක සිදු වූ සිදුවීම් ලෙසයි. නාගයින් හා යක්ෂයින් විජයගේ කාලයට පෙර සිටම ලංකාවේ ජීවත්ව සිට ඇති ජනකොටස් බව වංශ කතා කතුවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

බුදුන්ගේ දෙවන ලංකාගමනය ලෙස වාර්තා වී තිබෙන සිදුවීම ඉහත කී දේශීය ජනකොටසක් වූ නාගයින්ගේ කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නට ගිය සටනක් පිළිබඳව අවිධිමත් ලෙස කටින් කට සම්ප්‍රේෂණය වූ වාර්තා මත පදනම් වී ඇති බව සිතිය හැකියි. මෙය බක් අමාවක් පොහෝ දිනක උදය වරුවේ සිදුවන්නට ගොස්, යුද්ධයේ පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා නොකළ හේතුවක් නිසා වැලකී තිබෙන සටනක්. ඒ ආකාරයට, යුද්ධයක් වැළැකී දෙපාර්ශ්වය සමඟි වීමට හේතු විය හැකි, ඒ හේතුව නිසාම කාලයක් කිසියම් ජන කොට්ඨාශයකගේ සාමූහික මතකයේ රැඳී තිබිය හැකි, ස්වභාවික සංසිද්ධි තිබිය නොහැකිද?

5 comments:

  1. A solar eclipse? An earth quake? A tsunami assuming 'Naga' was a community living in maritime provinces?

    ReplyDelete
  2. නාග යුද්ධය, රෝහිණී නදියේ දිය වෙනුවෙන් කෙරෙන්නට ගිය යුද්ධය මෙරටට ආදේශ කර ප්‍රතිනිර්මාණය කෙරුණක් වෙන්නට බැරිද? උදාහරණයක් විදිහට පණ්ඩුකාභය කුමාරයාගේ ළමා කාලය කෘෂ්ණගේ ළමාකාලයට බොහෝ සේ සමාන වීම දක්වන්න පුළුවන්. වළාහස්ස ජාතකය, ජේසන් සහ රන් බැටළු ලොම් කතාව ආදිය විජයාවතරණ කතාවට ගොඩක් දුරට සමානයි... කටකතා, ජනකතා ඉතිහාසය යැයි ප්‍රතිනිර්මාණය විමක්.

    මට තේරෙන විදිහට ලංකාවෙ ස්වදේශිකයන්ගෙන් භාණ්ඩ හුවමාරු කරගත් වෙළෙන්දන් තම ඒකාධිකාරය පවත්වාගැනීමට, තරගය වැළැක්වීමට මේ දිවයින අමනුෂ්‍යයන් වාසය කරන තැනක් බව පතුරුවා හැරියා වෙන්න පුළුවන්. ආර්ය ජනාවාසකරණය සමග මෙරටට ආ දාමරිකයන් හෝ වෙළෙන්දන් මෙහි ස්වදේශිකයන් මර්ධනය කරමින් හෝ ඔවුන් හා කළවම් වෙමින් මෙහි පැළපදියම් වීම "විජය" ගේ ආගමනය ලෙස සංකේතනය කෙරෙනවා.සැබෑ ඉතිහාස දින වකවානු ගැමුණු රජුගේ කතාවෙන් ආරම්භ වන අතර, ඔහුට බුදුන්ගේ ඥාතිත්වය ලබා දිමට අස්වාභාවික ලෙස ඊට පෙර සිටි රජවරුන්ගේ ආයුකාලයන් දීර්ඝ කර දක්වා ඇත. දේවානම්පියතිස්ස රජුට පසු ඔහුගේ සොහොයුරන් හතර දෙනෙක් අවුරුදු හතළිහ බැගින් රජකම් කිරීම එසේ දීර්ඝ කරන ලද අවස්ථාවකි. පණ්ඩුකාභය රජු ද හැත්තෑ වසරක් රජකම් කරනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඔබගේ අදහසට එකඟ වෙන්න පුළුවන් ඩ්‍රැකී

      Delete
  3. නිල්පාට ටික කියවද්දි මට ඇතිවුනේ, බයිබලේ උත්පත්ති කතාව කියවද්දි ඇතිවුන හැඟීමමයි...

    ReplyDelete
  4. උනන්දුව වඩවන පෝස්ටුවක්. ස්තුතියි ඩ්රැකී.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: