වෙබ් ලිපිනය:

Monday, November 11, 2019

පාස්පෝට් එක ඇත්ත එකක්ද?


ජනාධිපතිවරණ ප්‍රචාරන ව්‍යාපාරයේ සනීපාරක්ෂක තුවා වටයෙන් හා එම්සීසී වටයෙන් ගෝඨාභය කඳවුරේ අය සජිත්ගේ පැත්තට බර දැම්මා. දැන් පේන ආකාරයට රාජිත සේනාරත්න විසින් සුදු වෑන් නාට්‍යයක් පෙන්වලා තත්ත්වය බැලන්ස් කරන්න උත්සාහ කරලා වගේ. රාජපක්ෂ කඳවුරේ තිබෙන වැරදි අදහසක් වන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන දිනුවේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ බොරු ප්‍රචාර නිසා බවයි. රාජිතලා වගේ අයත් හිතන්නේ ඒ විදිහටම බව පෙනෙනවා.

මෙවර ජනාපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක ලෙස බලපාන නිර්පාක්ෂික පාවෙන ඡන්ද ටික ආකර්ශනය කර ගන්න අවශ්‍ය කවර පාර්ශ්වයකට වුවත් එය කළ හැකි වන්නේ ඇත්තට මුහුණ දී ඇත්ත කතා කර පමණයි. මේ කණ්ඩායම අන්දන එක හිතන තරම් පහසු නැහැ. පහසුවෙන් අන්දන්න පුළුවන් පිරිස කොහොමටත් තම තමන්ගේ පක්ෂ වලට ඡන්ද දෙනවා.

අලි සබ්රි විසින් පෙන්වා තිබෙන ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රය බොරු එකක් කියා පෙන්වන්න ප්‍රතිවිරුද්ධ පක්ෂය උත්සාහ කරනවා. එහිදී ඉදිරිපත් කරන තර්ක බොහොමයක් පහසුවෙන් පරීක්ෂා කර ඇත්ත තහවුරු කරගත හැකි දේවල්.

පළමු තර්කය කණ්ණාඩි තර්කය. ගෝඨාභයගේ ඇමරිකන් ගමන් බලපත්‍රයේ ඔහු උපැස් යුවලක් පැළඳ සිටිනවා. ඇමරිකන් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා අයෙක් අදාළ ඡායාරූපය ගත යුත්තේ උපැස් ගලවලයි. උපැස් පැළඳ සිටිය හැක්කේ සුවිශේෂී සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇත්නම් පමණයි. එහෙත්, මේ නීතිය අනිවාර්ය කෙරුණේ 2016 නොවැම්බර් සිටයි. ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ඇමරිකන් ගමන් බලපත්‍රය ලබා ගෙන තිබෙන්නේ 2012 ඔක්තෝබර් මාසයේදී. ඒ වන විට උපැස් පැළඳ ගමන් බලපත් ඡායාරූපයක් ලබා ගැනීම ප්‍රශ්නයක් වුනේ ඒ හේතුව නිසා පුද්ගලයාව හඳුනා ගැනීම ප්‍රශ්නයක් වේනම් පමණයි. එමෙන්ම, 2016 නොවැම්බර් නීතිය ක්‍රියාත්මක කරන විට උපැස් සහිත ඡායාරූප තිබුණු ගමන් බලපත් වෙනුවට අලුත් ගමන් බලපත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව විශේෂයෙන් දැනුම් දී තිබුණා.

දෙවැනි තර්කය දිනය සටහන් කර ඇති ආකාරය සම්බන්ධවයි. ඇමරිකාවේ දිනය ලියන්නේ මාසය-දිනය-අවුරුද්ද ලෙසයි. එහෙත්, ලෝකයේ බොහෝ රටවල පිළිවෙළ වන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙස ලිවීමයි. ගමන් බලපත් අවශ්‍ය වන්නේ ඇමරිකාවෙන් පිටතදී වීම හෝ ගමන් බලපත් වලට ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබීම නිසා ඇමරිකාවේ ගමන් බලපත් වලත් දිනය තිබෙන්නේ දිනය-මාසය-අවුරුද්ද ලෙසයි. මේ තර්කයත් ඕනෑම ඇමරිකන් ගමන් බලපත්‍රයක් පරීක්ෂා කර තහවුරු කරගත හැකි වැරදි එකක්.

තෙවන තර්කය වන්නේ "CANCEL" යනුවෙන් සඳහන් මුද්‍රාව "CANCELLED" විය යුතු බවයි. ඇමරිකානු ගමන් බලපත්‍රයක් අවලංගු කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ එහි ජීවදත්ත පිටුවද ඇතුළත් දෙවන කොළයේ සිදුරු දෙකක් විදීමයි. බොහෝ විට මේ සිදුරු කිරීම කරන්නේ ගමන් බලපත් කවරය හා දෙවන පිටුව යන දෙකම සිදුරු වන ලෙසයි. ඊට අමතරව "CANCEL" හෝ "CANCELED/CANCELLED" ලෙස මුද්‍රාවක් තැබීම අවශ්‍ය කරුණක් නෙමෙයි. "CANCELLED" ලෙස සඳහන් මුද්‍රාවක් තැබීම කලකට පෙර කර ඇතත් දැන් කරන්නේ නැහැ. අලි සබ්‍රි පෙන්වන ගමන් බලපත්‍රයේ මුල් පිටුව (කවරය) සිදුරු කර නැතත්, දෙවන පිටුව නියමිත ක්‍රමයට සිදුරු කර තිබෙනවා. ඒ නිසා, මේ පෙන්වන්නේ දැනට අවලංගු ඇමරිකානු ගමන් බලපත්‍රයක් කියන එක ඉතා පැහැදිලියි.

යමෙක් තානාපති කාර්යාලයකදී ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව අදාළ ඉල්ලීම රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමත වන තුරු ගමන් බලපත්‍රය අදාළ තානාපති කාර්යාලයේ රඳවා ගන්නවා. ඉල්ලීම අනුමත වූ වහාම කිසිවක් නොකළත් ඇමරිකන් ගමන් බලපත්‍රය අවලංගු වෙනවා. ඉන් පසුව පුරවැසිකම අහෝසි වීමේ සහතිකය  අදාළ පුද්ගලයාට ලබා දෙන විට ඒ සමඟ අවලංගු කළ ගමන් බලපත්‍රයද (ඉල්ලා සිටියහොත්) ආපසු දෙනවා. මේ හා අදාළව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තානාපති කාර්යාල වලට ලබා දී තිබෙන උපදෙස් පහත තිබෙනවා.

"When the post receives the approved CLN, the post should promptly cancel all unexpired passports (books and cards).  Do not damage the entry-exit or visa stamp or foreign visas if possible.  The canceled passport(s) may be returned to the expatriate upon request."

මෙහි ගමන් බලපත් අවලංගු කළ යුතු බව මිස එය කළ යුතු ආකාරය නිශ්චිතව සඳහන් කර නැහැ. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකන් ගමන් බලපතක් අවලංගු කළ පළමු අවස්ථාව මෙය විය හැකියි. ඒ නිසා, සිදුරු කරනවාට අමතරව "CANCEL" ලෙස මුද්‍රාවක් තබන්න තිබෙන ඉඩකඩ එකවර බැහැර කළ නොහැකියි. මේ ගැන සැකයක් ඇති අයෙක් කළ යුත්තේ ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් විමසීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂට අදාළ පෞද්ගලික කරුණක් නොවන නිසා, ඇමරිකන් තානාපති කාර්යාලය පිළිතුරක් නොදී ඉන්න හේතුවක් නැහැ. අහන්න තියෙන්නේ ඔවුන් ගමන් බලපත්‍රයක් අවලංගු කරන විට "CANCEL" යනුවෙන් මුද්‍රාවක් තබනවාද කියන එක පමණයි. මෙය ලංකාවේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් අසනු මිස වෙනත් තැන් වලින් විමසා හෝ සොයා බලා තේරුමක් නැහැ.

කෙසේ වුවත්, අවලංගු කළ ගමන් බලපත හා පුරවැසිකම අහෝසි වීමේ සහතිකය ගෝඨාභයට ලැබී ඇත්නම් ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිකම අහෝසි වීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් අධිකාරිය සැප්තැම්බර් අවසානය වන විට දැනුවත්ව සිටිය යුතුයි. අවසන් බදු වාරිකය නිසි පරිදි ගෙවා ඇත්නම්, නම ෆෙඩරල් රෙජිස්ට්‍රියේ නැත්තේ දේශීය ආදායම් අධිකාරියට දැනුම් දී ඇති විස්තර අනුව ගෝඨාභය රාජපක්ෂගේ වත්කම් හා ආදායම් අවශ්‍ය මට්ටමට නැති නිසා විය හැකියි.

10 comments:

  1. //ඇමරිකාවේ දිනය ලියන්නේ මාසය-දිනය-අවුරුද්ද ලෙසයි.//

    මේ සමර් එකේ ලංකාවට ගිය වෙලාවක දවසක් ට්ට්‍රැපික් රාළහාමි කෙනෙක් ඇල්ලුවා. ලංකාවේ ලයිසන් එක හොයාගන්න නැති නිසා මෙහෙ එක දුන්නා. එකේ එක්ස්පයරි ඩෙට් එක 10-03-2019. රාළහාමි මැරෙන්න හදනවා මේක එක්ස්පයර් වෙච්චි ලයිසමක් කියල.

    මම රාළහාමිට කිව්වා "සර්, ඇමරිකාවේ දිනේ ලියන්නේ මුලින් මාසේ, ඊ ගාවට දිනේ" කියල.

    රාළහාමි මට කිව්වා, "ඔයා මට උගන්නන්න එනවද, ලෝකේ කොහෙත් දිනේ ලියන්නේ එක විදිහට" කියල.

    ReplyDelete
  2. /* කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඇමරිකන් ගමන් බලපතක් අවලංගු කළ පළමු අවස්ථාව මෙය විය හැකියි. */

    ඒක නම් ඇත්ත. American පුරවැසිකම අතහැරිය පළමුවෙනි ශ්‍රීලාංකිකයා ගෝටස විය යුතුයි.

    ඇමරිකාවට ගොස් අමාරුවෙන් පුරවැසිභාවය ලබාගත් වෙන කවුද මව්බිම වෙනුවෙන් එවැනි කැප කිරීමක් කරන්නේ?

    නමුත් වැරදිලා හෝ ගෝටස දිනුවොත් නම් කට්ටිය පෝලිමේ එයි පාස්පෝර්ට් කැන්සල් කරගෙන මව්බිම වෙනුවෙන් සේවය කරන්න.

    😀

    ReplyDelete
    Replies
    1. ඒ උනාට 10%ට එහෙම එන්න බැරිලු.

      Delete
    2. ඇයි මිලින්ද මොරගොඩ ඇමරිකානු පුරවැසිකම අත් හැරියලු නේද?

      Delete
  3. මහත්තයා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සුළු සේවකයෙක්ද?

    ReplyDelete
  4. දැන්නම් බුදු ෂුවර් සජිත් පරාජයි කියලා UNP කට්ටිය පිළිඅරන් ඉවරයි.. එක පිට එක මඩ එන්නේ ඒකයි.. දැන් යන්නෙ මරාගෙන මැරෙන ගේම...

    ReplyDelete
  5. මම ඇමරිකාවේ නීති ගැන හෙව්වේ නෑ.
    ඒත් මම හිතනවා ඝෝඨාට ඔ්නෙනම් පහසුවෙන්ම නැවත ඇමරිකා රටවැසිකම ගන්න පුළුවන් මොකද එයාගේ පවුලේ අයට ඇමරිකා රටවැසිකම තියෙනවා.

    ඔය කතා වැඩක් නෑ

    සිංහලයන්ට කියන්නේ ඝෝඨා ගැන කරදරවෙන්නේ නැතුව උඹලාගේ වාසිය ගැන හිතලා,
    ඝෝඨාට කතිරේ ගහපල්ල.

    ද්විත්ව රටවැසියන්ට චන්දේ ඉල්ලීම තහනම්කලේ තනිකරම ඝෝටා වෙනුවෙන්.
    ද්විත්ව රටවැසියන්ට චන්දේ ඉල්ලන්න තහනම් ඒත් චන්දේ දෙන්න පුළුවන්. රටට වැඩියෙන්ම හානියක් වෙන්නේ ඔය දෙකෙන් කෝකෙන්ද? ද්විත්ව රටවැසියන්ට කියන්න ඔ්නේ චන්දේ දෙනවානම් අවුරුදු 5ක් අපිත් එක්ක ඉඳපියව් කියලා.

    ReplyDelete
  6. ඔය දෙන්නටම හුරේ දාන වැඩි හරියක්ම ඇමෙරිකාවේ ඉඳියි වීසා දෙනවා නං!

    නොදන්නකමට අහන්නේ, ගෝටා මහත්තයාගේ පවුලේ සාමාජිකයන්ට යහපතක් වෙන එකක් නැහැනේ එතුමා මව්බිම ගොඩ දැමුවාට. එයාලා අමෙරිකාවෙමනේ ඉන්නේ, පුරවැසිකමත් තියාගෙන?

    ReplyDelete
  7. නාග ලොවින් නාගයෙක් ගෙනල්ලා
    ධාතු තිබුණි ගං පතුලෙ සැඟවිලා
    පේන කියන උන් දිවැසින් දැකලා
    කැලණි විහාරෙට ධාතුන් වැඩලා

    ධාතු වඳින්නට එන්න පෝලිමේ
    නෙළුම් පොහොට්ටුව ගන්න හාමිනේ

    මහින්දරක්ඛිත මේ කොයි යන්නේ
    සම්බුදු මගමය මගහැර යන්නේ
    එහෙම ගිහිං කොතැනද නවතින්නේ
    බුද්ධරක්ඛිතයි නුඹව දකින්නේ

    ReplyDelete
  8. අමරසේකරට
    අනූව ලබලලු
    ගෝටට ඒ ගැන
    කැසිල්ල හැදිලලු

    කොල්ලුපිටියෙ පන්සලකට එනවලු
    එතන පින්කමක් ජයට කරනවලු

    "කරුමක්කාරයො"
    පොත කියවනකොට
    අමරසේකරගෙ
    කියමන එයි සිහියට
    "ලිඟුව පිරිමැද පිට හලනු විනා සුකුරු"
    පින්කම් කුමට
    ගුණදාස
    අනුව සමරන්නට!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: