Saturday, February 1, 2020

මුහුණු වැසුම් වලින් ගසා කෑම


මුහුණු වැසුම් කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙත්, කොරෝනා භීතිය පැතිරීමත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා. මුහුණු වැසුම් ඉල්ලුම ඉහළ යද්දී මිලත් ඉහළ ගොස්, අන්තිමේදී රජය විසින් පාලන මිලක් පැනවීමෙන් පසුව මුහුණු වැසුම් හිඟයක් ඇති වී තිබෙන බව පෙනෙනවා.

ඇමරිකානුවෙකු මුහුණු වැසුමක් භාවිතා කර සිටිනු දැකීම දුලබ දෙයක් නෙමෙයි. කෙනෙක් මුහුණු වැසුමක් භාවිතා කරන්නේ කිඹුහුම්, කෙළ, හොටු, ප්‍රශ්වාස වාතය ආදී ක්‍රමයකින් වෙනත් අයට බෝවිය හැකි රෝගයක් වැළඳුනු විට හෝ එවැනි රෝගයක් තමන්ට ඇති බවට සැකයක් ඇති වූ විටයි. මේ මුහුණු වැස්ම අනෙක් අයට අදාළ පුද්ගලයාට කිට්ටු වී රෝගය බෝ කර නොගැනීමට සංඥාවක්ද ලබා දෙනවා. වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ඇමරිකානු ඩොලර් ශත දහයකට පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ.

මම හිතන්නේ කොරෝනා භීතිය එන්න කලින් මෙවැනි වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැස්මක් ලංකාවේ විකිණෙන්න ඇත්තේ රුපියල් දහයකට හෝ පහළොවකට වෙන්න ඇති. සමහර විට ඊටත් අඩුවෙන් වෙන්න ඇති. එය ඉල්ලුම හා සැපයුම මත තීරණය වුනු මිලක්. මෙවැනි මුහුණු වැස්මක නිෂ්පාදන පිරිවැය එතරම් විශාල නැති නිසා මේ වගේ මුදලකට විකුණා ලාබගන්න නිෂ්පාදකයෙකුට බැරිකමක් නැහැ. ඒ වගේම පාරිභෝගිකයෙකුට මෙවැනි මුහුණු වැස්මක මීට වඩා මහා ලොකු වටිනාකමක් නොතිබුණු නිසා මුහුණු වැස්මක් රුපියල් දෙතුන් සීයකට මිල දී ගන්න කැමති අය එතරම් සිටියා වෙන්න බැහැ.

මේ විදිහට සරලව විස්තර කළත් ලංකාවේ පාරිභෝගිකයෙකු මුහුණු වැස්මක් මිල දී ගන්නේ එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. ළඟම තිබෙන ෆාමසිය වැනි අතරමැදියෙකුගෙන්. ෆාමසිය හිමිකරු  මුහුණු වැස්ම විකුණන්නේ එය ඔහුට ලැබෙන මිලටම නෙමෙයි. මුහුණු වැසුම් තොග මිලට මිල දී ගෙන ගබඩා කරගෙන සිටීම සඳහා ඔහුට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම හා වෙනත් වියදම් ඔහු විසින් ආවරණය කරගත යුතුයි. අනවශ්‍ය තොග ගොඩ ගසාගෙන සිටීම තේරුමක් නැති වියදමක්. ඒ නිසා ෆාමසි කරුවෙකු විසින් ගබඩා කර තබා ගන්නේ කිසියම් නිශ්චිත කාලයක් තුළ විකිණී අවසන් වේයැයි අපේක්ෂිත මුහුණු වැසුම් ප්‍රමාණයක් පමණයි.

ලංකාවේ ෆාමසි හිමිකරුවෙකු  මුහුණු වැසුම් මිලදී ගන්නේත් සෘජුවම එහි නිෂ්පාදකයාගෙන් නෙමෙයි. නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර අතරමැදියන් ගණනාවක් සිටිනවා. ලංකාවේ බොහෝ පරිභෝජන භාණ්ඩ වල වගේම මේ මුහුණු වැසුම් වල නිෂ්පාදකයින්ද සිටින්නේ ඉන්දියාවේ හෝ චීනයේ වෙන්න පුළුවන්. එය එසේනම් එයින් අදහස් වෙන්නේ ඉන්දියානුවෙකුට හෝ චීනෙකුට ලාංකිකයෙකුට වඩා කාර්යක්ෂමව මුහුණු වැසුම් නිපදවිය හැකි බවයි. එයට හේතු අපි මෙහි කතා නොකර සිටිමු.

කොරෝනා භීතිය පැතිරීමත් සමඟ ලංකාවේ බොහෝ දෙනෙකුට මුහුණු වැස්මක තිබෙන පෞද්ගලික වටිනාකම එක වර විශාල ලෙස ඉහළ ගියා. ඒ එක්කම ඔවුන් මුහුණු වැස්මක් සඳහා ස්වේච්ඡාවෙන් ගෙවන්න කැමතිව සිටි උපරිම මිලත් විශාල ලෙස ඉහළ ගියා. මෙය ආර්ථික විද්‍යාවේ කියන ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමක්.

මේ ආකාරයට මුහුණු වැසුම් සඳහා වන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගියේ දින කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සැපයුම් වක්‍රය වෙනස් වෙන්නේ නැහැ. කෙටිකාලීනව මුහුණු වැසුම් සැපයුම් වක්‍රය තීරණය වන්නේ ෆාමසි වල ගබඩා කරගෙන තිබෙන තොග ප්‍රමාණ මතයි. නමුත්, වැඩි වූ ඉල්ලුම අනුව, වෙනදා මාස හත අටකින් විකිණෙන මුහුණු වැසුම් ප්‍රමාණයක් දවසකින් දෙකකින් විකිණෙන්න පුළුවන්කමක් ඇති වුනා. ඒ තරම් ඉක්මණින් මුහුණු වැසුම් ආනයනය කරන්න බැහැ.

මුහුණු වැසුම් ඉල්ලුම වැඩි වුනේ ලංකාවේ පමණක් නොවෙයි. කොරෝනා නිජ භූමිය වූ චීනයේ මේ සිද්ධියම මීට වඩා ලොකුවට සිදු වුනා. චීනය ඇතුළේ මුහුණු වැසුම් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමත්, චීනය සමඟ කෙරෙන ජාත්‍යන්තර වෙළඳ කටයුතු සීමා වීමත් නිසා මුහුණු වැසුම් සැපයුම් වක්‍රයටත් බලපෑමක් ඇති වුනා. එය ආර්ථික විද්‍යා භාෂාවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වීමක්.

සැපයුම් වක්‍රය නොවෙනස්ව තිබියදී ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වීමේ ප්‍රතිඵලය මිල ඉහළ යාමයි. ඉල්ලුම් වක්‍රය නොවෙනස්ව තිබියදී සැපයුම් වක්‍රය වමට විතැන් වීමේ ප්‍රතිඵලයත් මිල ඉහළ යාමයි. ඔය දෙකම එකවර වෙනවා කියන්නේ ඩබල් බෝනස්!

පහුගිය දවස් වල ලංකාවේ ෆාමසි වල මුහුණු වැසුම් මිල ඉහළ ගියේ ඔය මූලධර්මය අනුවයි. නමුත්, මේ වෙලාවේ සිදු වුනේ ෆාමසි කාරයින් විසින් ඉතා අසාධාරණ ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයින් ගසා කෑමක් කියා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක ඇත්තද?

මගේ එක් වත්පොත් මිතුරෙක් මේ "අමානුෂික වැඩේ" ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් වහාම මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් නියම කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ වෙද්දී ඔහුගේ ඉල්ලීම ඉටු වී තිබෙනවා. දැන් වරක් භාවිතා කර ඉවතලන මුහුණු වැසුමක උපරිම සිල්ලර මිල රුපියල් පහළොවක් පමණයි. නමුත්, ඒ මිලට ගන්න බඩු නැහැ!

මානුෂික වේවා අමානුෂික වේවා, වෛරස් බිය පැතිරෙද්දී මුහුණු ආවරණ වල මිල ඉහළ ගියේ නිදහස් වෙළඳපොළ ක්‍රමය නිසා කියන එක ඇත්ත. භාණ්ඩ හා සේවා මිල රජය විසින් තීරණය කරන විකල්ප ආර්ථික ක්‍රමයක් යටතේ මේ විදිහට මිල ඉහළ යන්නේ නැහැ. මේ විදිහට ආපදා අවස්ථාවකදී වැඩි වැඩියෙන් අවශ්‍ය වන භාණ්ඩයක මිල ඉහළ යන ක්‍රමයක් අමානුෂිකද?

මේ ගැන කතා කරන්න පටන් ගත යුත්තේ බැහැර කළ නොහැකි බිම් යථාර්ථ වල සිටයි. ෆාමසි වල සහ සමස්තයක් ලෙස රට ඇතුළේ කොහේ හෝ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය සීමිතයි. කොරෝනා වෛරස් බිය නොවන්නට මේ මුහුණු වැසුම් ප්‍රමාණය මාස හත අටකටවත් ප්‍රමාණවත්. ඒ කාලය ඇතුළත කවුරු හෝ විසින් නැවත තොග ආනයනය කරන නිසා රටේ  මුහුණු වැසුම් හිඟයක් ඇති වීමේ ඉඩක් නැහැ. නමුත්, දැන් හදිසියේම එකවර ඇති වී තිබෙන විශාල ඉල්ලුම රටේ තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ඉක්මවන්නක්. ඒ නිසා, මුහුණු වැසුම් අවශ්‍ය සියල්ලන්ටම මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. රටේ ආර්ථික ක්‍රමය සමාජවාදී වුවත්, ධනවාදී වුවත් මේ සැබෑ ප්‍රශ්නය එළෙසම තිබෙනවා.

අපි හිතමු රටේ දැනට තිබෙන මුහුණු වැසුම් ප්‍රමාණය ලක්ෂයක් කියා. නමුත්, මුහුණු වැසුම් ඉල්ලුම ලක්ෂ පහක්. මේ ගණන් උදාහරණ පමණයි. පවතින තත්ත්වය යටතේ මුහුණු වැසුම් අවශ්‍ය අයගෙන් සෑම පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුටම මුහුණු වැසුම් ලැබෙන්නේ නැහැ. මුහුණු වැසුම් ලැබෙන්නේ කාටද කියන එක තීරණය වෙන්නේ රටේ සම්පත් බෙදා හැරීමේ ක්‍රමවේදය එහෙමත් නැත්නම් ආර්ථික ක්‍රමය අනුවයි.

මුහුණු වැසුම් ලැබිය යුත්තේ ඒවා වඩාත්ම අවශ්‍ය පිරිසටයි. ඒ පිරිස කවුද? නිදහස් වෙළඳපොළක සමතුලිත මිල කියා කියන්නේ මේ වඩාත්ම අවශ්‍ය පිරිස තෝරා ගන්නා යාන්ත්‍රණයටයි. මුහුණු වැස්මක මිල ටිකින් ටික ඉහළ යන විට මුහුණු වැස්මක් ඒ තරම්ම ලොකුවට අවශ්‍ය නැති අය ටිකින් ටික මේ තරඟයෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන්නේ කීයක් ගියත් මුහුණු වැස්මක් මිල දී ගන්න අවශ්‍ය පිරිසයි.

මුහුණු වැස්මක මිල රුපියල් පහළොවක සිට රුපියල් පණහ දක්වා ඉහළ ගිය විට ඒ ගැන මැසිවිලි නගන කෙනෙක් ගැන කියන්න තියෙන්නේ කුමක්ද? ඔහුට හෝ ඇයට මුහුණු වැස්මක් රුපියල් පණහක් වටින්නේ නැහැ. එපමණ මුදලක් ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්න තරම් අවදානමක් තමන්ට නැති බව ඇය දන්නවා. එහෙත්, රුපියල් පහළොවකට මුහුණු වැස්මක් මිල දී ගත හැකිනම් තිබෙන සුළු අවදානම හමුවේ වුවත් එහි යම් වාසියක් ඇයට තිබෙනවා.

තමා ගැවසෙන ප්‍රදේශයේම කොරෝනා වෛරස් රෝගියෙකු සිටින බව දැනගත් විට, එහෙමත් නැත්නම් යම් අයෙකුට ස්වශන ආබාධයක් ඇති විට මුහුණු වැස්මක අවශ්‍යතාවය වැඩියි. එවැනි අය රුපියල් පණහක් නෙමෙයි සීයක් හෝ ගෙවා මුහුණු වැස්මක් මිල දී ගන්නවා. එවැනි අයට තිබෙන වැඩි අවදානම නිසා මුහුණු වැස්මක වටිනාකම වැඩියි. මුහුණු වැසුම් නිපදවන්න යන වියදම සමාන වුවත්, එහි වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ෆාමසිකරුවන් විසින් දිගින් දිගටම මුහුණු වැසුම් වල මිල ඉහළ දැමීම නිසා කිසියම් මුහුණු වැසුම් ප්‍රමාණයක් නොවිකිණී ෆාමසි වල ඉතිරි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මුහුණු වැස්මක් අත්‍යාවශ්‍ය අයෙකුට වැඩි මිලක් ගෙවා හෝ මුහුණු වැස්මක් මිල දී ගැනීමේ හැකියාවද අහිමි නොවී ඉතිරි වෙනවා.

මුහුණු වැසුම් වලට උපරිම සිල්ලර මිලක් දැමූ වහාම මේ ස්වභාවික වෙළඳපොළ යාන්ත්‍රනය බිඳ වැටෙනවා. දැන් මුහුණු වැසුම් අයිති කර ගන්නේ ඒවා අවශ්‍යම පිරිස නෙමෙයි. ගන්නන් වාලේ ගන්න අයයි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු වැසුම් අත්‍යවශ්‍යම අයට මුහුණු වැසුම් ලබා ගැනීමේ හැකියාව අහිමි වෙනවා. ඉල්ලුම හා සැපයුම අතර පරතරයක් ඇති වූ විට මිල ඉහළ යාම ඉතාම මානුෂීය වන්නේත්, මිල පාලනය අමානුෂික වන්නේත් ඒ නිසයි.

මිල පාලනයේ තිබෙන එකම අවාසිය මෙපමණක් නෙමෙයි. ඉහළ යන මිල කියා කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම වෙනස් වී ඇති බව සැපයුම්කරුවන්ට දැනුම් දෙන සංඥාවයි. රුපියල් පහළොවකට මුහුණු වැසුම් හදා වෙළඳපොළට දමන්න බොහෝ අය නොපෙළඹෙන්නේ එසේ කර වාසියක් ලැබීම අසීරු නිසයි. මිල රුපියල් පණහක් වූ විට තත්ත්වය වෙනස් වෙනවා. ඒ වගේම, මිල ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක තිබුණොත් කෙනෙක් ඉන්දියාවට ගොස් තමන්ගේ ගමන් මළු වල දමාගෙන මුහුණු වැසුම් අරගෙන එන්න පවා පෙළඹෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා ඉතා ඉක්මණින් සැපයුම ඉහළ ගොස් නැවත මිල පහළ වැටෙනවා. නමුත්, හදිස්සි වී මිල පාලනය කළ විට මේ යාන්ත්‍රනය ඇණ හිටිනවා.

සැබෑ ප්‍රශ්නය ඉල්ලුමට සරිලන තරම් මුහුණු වැසුම් සැපයුමක් නැතිකම මිස මිල ඉහළ යාම නෙමෙයි. මිය ඉහළ යාම කියා කියන්නේ සැබෑ ප්‍රශ්නය ගැන දැනුම් දෙන පණිවුඩකරු මිස සැබෑ ප්‍රශ්නය නෙමෙයි. පණිවුඩකරුට වෙඩි තිබ්බා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

කිසියම් මැදිහත්වීමක් කළ යුතු බව රජය විසින් හඳුනාගත්තානම් කළ යුතුව තිබුණේ කෙසේ හෝ මුහුණු වැසුම් සැපයුම වැඩි කිරීමයි. එසේ කළානම්, මිල ඉබේම පහළ වැටෙනවා. එසේ නොකර මිල පාලනය කරන්න යාමෙන් සිදු වන්නේ මුහුණු වැසුම් හිඟය තවත් උග්‍ර වීම පමණයි.

2 comments:

  1. එක කොමෙන්ටෙකක් වත් නැතුව මෙම බ්ලොක් එක වේලෙන නිසා කොමෙන්ට් දැම්මේ. පව් මේ ඉකොනෝ කියන මිනිහා. කාගේ උනත් වචනනි මෙහෙම නාස්ති වෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.