Sunday, February 9, 2020

ඇමරිකානුවෙකුගේ පැය විසි හතර ගෙවෙන හැටි

දවසකට තියෙන්නේ පැය විසි හතරක් පමණයි. ඔය පැය විසිහතර ඇතුළත කරන්න කොයි තරම්නම් වැඩ තියෙනවද? කන්න, බොන්න, නිදා ගන්න, නාන්න, රෙදි හෝදන්න, කඩේ යන්න, ළමයින්ගේ හෝම්වර්ක් කරන්න, යාලුවෝ ආශ්‍රය කරන්න, රූපවාහිණිය නරඹන්න, ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න... ඔය ඔක්කොම කරන්න කාලය අවශ්‍යයි. හැබැයි ඔය ඔක්කොම කරන අතරම ආදායමක් උපයන්නත් අවශ්‍යයි. ආදායමක් උපයන්න වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න, වැඩට යන්න එන්න, රස්සා හොයන්න යොදවන්න වෙන්නෙත් ඔය තියෙන පැය විසිහතරම තමයි.

තියෙන පැය විසි හතර මේ හැම දේකටම යොදවන්නේ කොහොමද කියන එක එක් එක් පුද්ගලයාගේ කැමැත්ත අනුව තීරණය වන දෙයක්. විශේෂයෙන්ම ඇමරිකාව වගේ ධනවාදී රටක කැමති කෙනෙකුට අඩුවෙන් වැඩ කර වැඩියෙන් විවේක ගන්න හෝ වැඩියෙන් වැඩ කර අඩුවෙන් විවේක ගන්න අවශ්‍ය නිදහස තිබෙනවා. ඒ නිසා, එක් එක් පුද්ගලයා තමන්ගේ පැය විසිහතර යොදවන්නේ එකම ආකාරයට නෙමෙයි. පවුලක් පන්සලක් වුනාට පස්සේ දෙන්නගෙන් එක් කෙනෙක් වැඩි වෙලාවක් ආදායම් උපයන රස්සාවක් කරන්නත්, අනිත් එක්කෙනා ගෙදර වැඩ වැඩි ප්‍රමාණයක් කරමින් අඩු කාලයක් ආදායම් උපයන කටයුතු වල නියැලෙන්න, එහෙමත් නැත්නම් රැකියාවක් නොකරම ඉන්න, එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්.

එක් එක් ඇමරිකානුවා තමන්ගේ පැය විසිහතර විවිධ කටයුතු සඳහා යොදවන ආකාරය වෙනස් වුවත්, මේ කටයුතු සඳහා යොදවන සාමාන්‍ය කාලය දෙස බලා ඇමරිකානුවෙකුගේ සමාජ ජීවිතය පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්. පහතින් විස්තර කෙරෙන්නේ 2018 වසරේදී සාමාන්‍ය වශයෙන් ඇමරිකානුවෙකුගේ පැය විසිහතර ගෙවුණු ආකාරයයි.

1.  පෞද්ගලික නඩත්තුව සඳහා පැය 9 කුත් මිනිත්තු 35ක කාලයක්-  මෙයින් පැය 8 කුත් මිනිත්තු 49ක කාලයක් යොදවන්නේ නිදා ගන්නයි. නින්ද යන තුරු සහ අවදි වීමෙන් පසුව ඇඳට වී සිටින කාලයත් එයට ඇතුළත්. ඉතිරි මිනිත්තු 46ක කාලය නාන්න, මූණ සෝදන්න, දත් මදින්න, වැසිකිළි කැසිකිළි යන්න, නියපොතු කපන්න, මේක්අප් දමන්න ආදියට ගත වන කාලයයි.

2. කෑම බීම ගැනීමට පැයකුත් මිනිත්තු 11ක් - රැකියාවෙහි යෙදීම, රූපවාහිණිය නැරඹීම හෝ වෙනත් වැඩක් කරන අතර කෝපි කෝප්පයක් බීම මෙයට ඇතුළත් නැහැ. ප්‍රධාන කටයුත්ත ලෙස කෑම බීම ගැනීම කරන කාලය පමණක් මෙයට ඇතුළත්.

3. ගෙදර වැඩ සඳහා පැයකුත් මිනිත්තු 47ක් - මෙයින් මිනිත්තු 35ක් යන්නේ කෑම ඉවීමට හා හැලි වලං සේදීම් වලටයි. රෙදි සේදීම වැනි අනෙකුත් ගෙදර වැඩ වලට මිනිත්තු 33කුත්, වත්ත පිටියේ වැඩ වලට මිනිත්තු 11කුත් ගත වෙනවා.

4. කඩේ යාමට දවසකට මිනිත්තු 43ක් වැය වෙනවා. සැලූන් යාම වැනි පිටතින් කර ගන්නා පෞද්ගලික නඩත්තු සඳහා වැය වන කාලයත් මෙයට ඇතුළත්.

5. දරුවන් හා වයස්ගත දෙමවුපියන් වැනි පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ගත කරන කාලය මිනිත්තු 31ක්.

6. පවුලේ සාමාජිකයින් නොවන පිට මිනිස්සුන්ට උදවු කිරීමට යොදවන කාලය මිනිත්තු 13ක්.

7. ආදායම් උපයන කටයුතු හා ආශ්‍රිත කටයුතු වෙනුවෙන් යොදවන කාලය පැය 3 කුත් මිනිත්තු 34ක්. මෙයින් වැඩ කරන කාලය පැය 3 කුත් මිනිත්තු 14ක්. ඉතිරි මිනිත්තු 20 ප්‍රධාන වශයෙන්ම රැකියාවට යාම ඒම සඳහාත්, රැකියා සඳහා ඉල්ලුම් කිරීමට හා සම්මුඛ පරීක්ෂණ ආදිය සඳහාත් ගත වන කාලයයි.

8. ආගමික හා සමාජයීය කටයුතු සඳහා යොදවන කාලය මිනිත්තු 18ක්. මේ කාලයෙන් අඩක් පමණ ආගමික කටයුතු සඳහාත්, ඉතිරි අඩ වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වෙනුවෙනුත් වැය වෙනවා.

9. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන කාලය මිනිත්තු 28ක්.

10. විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් වැය කරන කාලය පැය 5කුත් මිනිත්තු 16ක්. මෙයින් පැය 2කුත් මිනිත්තු 50ක් වැය වන්නේ රූපවාහිනිය නැරඹීමටයි. ෆේස්බුක් යන්න, බ්ලොග් ලියන්න, බ්ලොග් කියවන්න වගේ දේවල් වලට ගත කරන කාලය මිනිත්තු 38ක්. ක්‍රීඩා හා ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදවන කාලය මිනිත්තු 17ක්.

11. දුරකථන ඇමතුම්, ඊමේල් වැනි සන්නිවේදන කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 9ක්.

12. මෙහි සඳහන් නැති වෙනත් කවර හෝ කටයුතු සඳහා වැය කරන කාලය මිනිත්තු 16ක්.

මේ අනුව පෙනෙන පරිදි ඇමරිකානුවෙකුගේ පැය විසි හතරෙන් 40%ක පමණ කාලයක් ගත වෙන්නේ නිදාගැනීමට සහ පෞද්ගලික නඩත්තුව වෙනුවෙනුයි. තවත්, 22%ක පමණ කාලයක් ගෙවෙන්නේ  විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු වෙනුවෙනුයි. රැකියාවට යාමට ඒමට ගත වන කාලය හා රැකියාවක් හොයා ගැනීමට ගත වන කාලයද ඇතුළුව රැකියාව වෙනුවෙන් වැය කෙරෙන කාලය මුළු කාලයෙන් 15%ක් පමණයි.

සාමාන්‍ය තත්ත්වය මෙසේ වුවත් හැම ඇමරිකානුවෙක්ම මේ සියලු කටයුතු වෙනුවෙන් කාලය යොදවන්නේ නැහැ. නිදා ගන්න කාලය යොදවන එකනම් හැමෝම කරන දෙයක්. එහෙත්, අධ්‍යාපනය සඳහා කාලය යොදවන්නේ 7.9%ක පිරිසක් පමණයි. ඒ අය දවසකට පැය 5කුත් මිනිත්තු 50ක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරනවා. මිනිත්තු 28ක සාමාන්‍ය අගය හැදී තිබෙන්නේ මේ පිරිස නිසයි.

මේ ආකාරයෙන්ම වැඩ කරන සාමාන්‍ය කාලය පැය 3 කුත් මිනිත්තු 14ක් වුවත්, ආදායම් උපයන කාර්යයක නිරතවන වැඩිහිටි ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය (2018 වසරේදී) 42.5%ක් පමණයි. ඉතිරිය ප්‍රධාන වශයෙන්ම විශ්‍රාමිකයින්, පූර්ණකාලීනව අධ්‍යාපනයෙහි නිරත වූවන් හා ස්වේච්ඡාවෙන් රැකියාවක් නොකර සිටින අයයි. රැකියා විරහිත අයත් මේ ඉතිරි පිරිසට ඇතුළත්. රැකියාවක නිරතව සිටින ඇමරිකානුවෙකු වැඩ කරන දිනකදී වැඩ කරන පැය ගණන පැය 7කුත් මිනිත්තු 36ක්.

ඇමරිකානුවෙකු කොරියානුවෙකු, මෙක්සිකානුවෙකු හෝ රුසියානුවෙකු තරම් පැය ගණනක් වැඩ කරන්නේ නැතත්, බොහෝ බටහිර රටවල සතියකට වැඩ කරන පැය ගණනට වඩා වැඩියෙන් වැඩ කරනවා. පහත තිබෙන්නේ 2018 වසර සඳහා OECD දත්තයි.


මට සාපේක්ෂවනම් සතියකට පැය 34ක් වැඩ කරන්නට වීම නරක දෙයක් නෙමෙයි. මා ඉතා කැමැත්තෙන් ඊට වඩා පැය ගණනක් වැඩ කරනවා. කොහොම වුනත්, යුරෝපයේ බොහෝ රටවල සතියකට වැඩ කරන පැය ගණන මීට වඩා බෙහෙවින්ම අඩුයි. ඒ ඇයි?

එක හේතුවක් යුරෝපයට සාපේක්ෂව ඇමරිකානුවන්ට වැඩ කරන්නට වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් තිබීම. ඇමරිකාවේත් අවම වැටුප් නීති වැනි බාධක නිසා බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන නමුත් එය වෙනත් බටහිර රටවල තරමටම වෙන්නේ නැහැ. මේ දවස්වලනම් අවම වැටුප් වල බලපෑමක් නැති තරම්. ඉහළ අවම වැටුප් වැනි මානුෂික සේ පෙනෙන එහෙත් අමානුෂික නියාමන ක්‍රියාමාර්ග හරහා වගේම වැටුප් මත අය කරන අධික බදු හරහාත් යුරෝපයේ බොහෝ රටවල වැඩ කිරීම අධෛර්යමත් කර නිකම් සිටීම ධෛර්යමත් කෙරෙනවා. ඇමරිකාවේ මෙය සිදු වෙන්නේ සාපේක්ෂව අඩුවෙන් නිසා ඇමරිකානුවන්ගේ වැඩ කරන්නට තිබෙන උනන්දුව වැඩියි.

පහළ මට්ටමේ රැකියා කරන ඇමරිකානුවන් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම අමාරු නිසා විශාල පැය ගණනක් වැඩ කරනවද? පෞද්ගලික අංශයේ පහළම මට්ටමේ රැකියා කරන, එනම් තමන්ගේ යටතේ වෙනත් සේවකයින් කිසිවෙකු නැති අය සතියකට වැඩ කරන පැය ගණන සාමාන්‍ය ඇමරිකානුවෙකු සතියකට වැඩ කරන පැය ගණනටත් වඩා යම් තරමකින් හෝ අඩුයි. මේ කාණ්ඩයේ සේවකයින් 1965 පමණ කාලයේදී සතියකට පැය 38ක් 39ක් පමණ වැඩ කළත්, 2000 පමණ වන විට මේ පැය ගණන 33ක් 34ක් පමණ දක්වා අඩු වුනා. පසුගිය වසර විස්ස ඇතුළත මේ පැය ගණන ලොකුවට වෙනස් වී නැහැ.


ඉහළ ආදායම් ලබන වෘත්තිකයින් මීට සාපේක්ෂව සතියකට සෑහෙන පැය ගණනක් වැඩ කරනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ වෛද්‍යවරුන්ගෙන් අඩක්ම සතියකට පැය 50 ඉක්මවා වැඩ කරනවා. 23%ක්ම පැය 60 ඉක්මවා වැඩ කරනවා.


සමස්තයක් ලෙස ඇමරිකාවේ වෘත්තිකයින් පහළම ස්ථර වල රැකියා කරන පිරිස් වලට වඩා සතියකට පැය දෙක තුනක්වත් වැඩියෙන් වැඩ කරනවා. ඒ ඔවුන් වැඩ කිරීමෙන් හෝ වැඩ කිරීම නිසා ලැබෙන ප්‍රතිලාභ වලින් සතුටු වන නිසා මිස අඩුවෙන් වැඩ කළොත් ඇමරිකාවේ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි.


ඇමරිකන් ආර්ථික ක්‍රමය සකස් වී තිබෙන්නේ මහන්සි වී වැඩ කරන අයටත්, වඩා කාර්යක්ෂම රැකියා කරන අයටත් වාසි වෙන අයුරින් මිස වැඩ නොකර සිටීම හා ඵලදායී නැති රැකියා වල දිගටම නිරතව සිටීම ප්‍රවර්ධනය කෙරෙන අයුරින් නෙමෙයි. හැකි තරම් අඩුවෙන් වැඩ කර හැකි තරම් වැඩි වෙලාවක් නිකම් සිටීම සමාජවාදීන්ගේ ඉලක්කයක් මිසක් ධනවාදීන්ගේ ඉලක්කයක් නෙමෙයි. ධනවාදය විසින් පුද්ගලයෙකුගේ රුචිකත්වය අනුව වැඩියෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට වැඩියෙනුත්, අඩුවෙන් වැඩ කරන්න කැමති කෙනෙකුට අඩුවෙනුත් වැඩ කිරීමට අවස්ථාව සලසනවා.

13 comments:

  1. ඇමරිකා එක්සත් ජනපදයේ සම්මත රැකියාවක් කරන පුද්ගලයෙකුට ලැබෙන වාර්ෂික නිවාඩු ප්‍රමාණය අඩුවීම, මෙහි දැක්වෙන ආකාරයට පැය තිස් හතරක් දක්වා සතියකට වැඩ කරන සාමාන්යය පැය ගණන ඉහළ යෑමට හේතුව විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට .සාමන්‍ය ඇමරිකානුවෙක් වගේ හිතලා ජීවත් වෙන්න බැරි දවසකට මිනිත්තු 35ක් හැලි වලං සේදීම් වලටයි වෙන් කරනවා ඇති නේද

      Delete
  2. ඇමරිකානුවෙක් වෙන අපේ ගෝටාභය ජනාධිපතිතුමාත් දවසකට මිනිත්තු 35ක් හැලි වලං සේදීම් වලටයි වෙන් කරනවා ඇති නේද. ඒ වගේම ඔය කියනා හැටියට ඇමරිකානුවෙක් කඩේ යාමට දවසකට මිනිත්තු 43ක් වැය කරනවලුනි. ඉතිං එතුමාව කඩේ යවනවා ඇත්තේ කවුද? බාග වෙලේට මහින්ද මහත්තයාවත් වෙන්නෑ.

    ReplyDelete
  3. ලංකාවේ හිටපු පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.

    මෙම අන්තර්ජාතිකව පිළිගත් සංවිධානය ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් බලවත් සංවිධානයකි. මහා බ්‍රිතාන්‍ය මූලස්ථානය කර ගත් මෙම සංවිධානය ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ජපානය, ඉතාලිය, ආදී රටවල් රැසකින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

    එහි අධිකාරිලත් කැඳවුම්කරු හිටපු පරිගණක ඉංජිනේරු විද්‍යාඥයකු හා තාරකා විද්‍යාඥයකු වන දැනට මහා බ්‍රිතාන්‍යයේ පදිංචි අජිත් ධර්මකීර්ති මහතා පවසා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය සියතට ගනිමින් පාස්කු දින බෝම්බ ප්‍රහාරයට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වග කිව යුතු බව පවසමින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී කටයුත්තක් බවයි.

    එය පොලිස් දෙපාර්තමේන්තුවට කරන ලද බලවත් අවමානයක් බව පවසන ඒ මහතා මීට පෙර සැම්බියාව, සුඩානය වැනි රට වල පොලිස්පතිවරුන් ප්‍රශ්න කිරීමට ලක් කරත් ලොව කිසිම රටක පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර නොමැති බවද කීය. මේ සිද්ධිය ගැන ඔබේ මතය කුමක්ද?

    ReplyDelete
  4. අපරාදේ දැන්ම ආවේ. උඩින් තියෙන කමෙන්ටුවට දෙන උත්තරේ කියවන්න ආපහු එන්නත් වෙලාවක් හොයාගන්න වෙනවනේ.

    ReplyDelete
  5. ඉකොනො ඇමරිකාවෙ එහෙම උනත් ඕස්ට්‍රේලියාවේ නම් රැකියා නැහැ. ලංකාවෙන් ගිය ගොඩක් අයගේ රැකියා අහිමි වෙලා තියනවා. සියලු දීමනා කප්පාදු කරලා. සියලු අදායම් මාර්ග වැහිලා. බදු වැඩිවෙලා. ජොබ් ඒජන්සිවල රැකියා පෝලිම් දිගට. හරිම දුෂ්කර කාලයක් මේක. ඇමරිකාවේ නම් මේ දවස් වල එච්චර අමාරු නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ විරැකියා අනුපාතය මේ වන විට අවුරුදු පණහකින් තිබුණු අඩුම මට්ටමට වැටිලයි තියෙන්නේ. ඕස්ට්‍රේලියාවේ තත්ත්වයත් ඒ තරම්ම නරක වෙන්න විදිහක් නැහැ. දෙසැම්බර් විරැකියා අනුපාතය 5.1%ක් කියන්නේ ගොඩක් නරක මට්ටමක් නෙමෙයි.

      Delete
  6. අපේ කාලයේ තරුණයෙක්ගේ හෘද සාක්ෂිය

    ====== මම සහ ජවිපෙ =====

    01) උඹ ජේවීපී කාරයෙක්ද? :

    මම ජවිපෙ ට කැමති මිනිහෙක්. උඹ කැමති නම් ජේවීපී කාරයෙක් කියල කිව්වට කමක් නෑ..

    02) ඒ කියන්නෙ උඹ මධ්‍යස්ථ එකෙක්ද?:

    අපෝ නෑ බං, මම මධ්‍යස්ථ නෑ. මධ්‍යස්ථ කියන හැම කෙනාම ඍජුව හෝ වක්‍රව මේ ක්‍රම දෙකෙන් එකකට සේවය කරනව..

    03) ක්‍රම දෙක කිව්වෙ...? :

    ධනේශ්වර හෝ නිර්ධනපාන්තික... සමාජවාදය හෝ ධනවාදය.. අධිරාජ්‍යවාදී ක්‍රමය හෝ කොමියුනිස්ට් ක්‍රමය..කැමති විදියකින් හිතාගනින්..

    04) උඹ කියන්නෙ එහෙම නැති මිනිස්සු ඇත්තෙම නැත්ද? :

    ඉන්නව බං, ඒත් උන් පඹයො වගේ. මේ සමාජය ගැන කියවීමක් උන්ට නෑ. උපන්නට මේකෙ ජීවත් වෙලා, ලැබෙන ඕනම දෙයක් බාරගෙන, මේකෙම මැරිල යනව.. උන්ගෙ ජීවිත වල ප්‍රශ්න නොපෙනෙන දේවල් වලට බාර දීල හිත හදාගන්නව.එච්චරයි..

    05) ඉතින් මිනිහෙක් උනාම තමන් කැමති විදියට ඉන්න පුලුවන් වෙන්න ඕනනෙ බං. උඹ එහෙම මිනිස්සුන්ට පඹයො කියන්නෙ ඇයි..? :

    මනුස්සයෙක් වෙලා ඉපදුන එක ස්වභාදහම තීරණය කළ දෙයක්. ඒත් ඒ මනුස්සකම මේ සමාජය ඇතුලෙ ක්‍රියාත්මක කරන එක, සමාජය වෙනුවෙන් වැඩ කරන්න ඕන විදිය තීරණය වන එක ඉබේ වෙන දෙයක් නෙවෙයි. ඒකට තමයි අනික් සතුන්ට වඩා දියුණු "මොළයක්" කියල එකක් ස්වභාදහම දීල තියෙන්න. උපන්නට වැනින මැරිල යන්න නෙවෙයි..

    06) හරි, පාඩුවෙ එහෙම මැරිල යන්න කැමති අය ගැන උඹ අසතුටුද..? :

    ඔව්. අපි මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් ජීවත් වෙන කාලය යහපත් ලෝකයක් වෙනුවෙන් වෙන් කරන්න ඕන. ඒක විවිධ ශේෂ්ත්‍ර වලින් තමන්ට පුලුවන් විදියකට කරන්න පුලුවන්.. එහෙම උවමනාවක් නැතිව මමත්වය පස්සෙම දුවන මනුස්සයෙක් මේ ලෝකෙට බිහි උනා නම්, ඒක ගැන ස්වභාදහම බලාගනීවි.

    07) උඹට හොඳටම විස්වාසද...? :

    ඔව්. 100% ක් මට ස්වභාදහම විස්වාසයි. ඒක හේතුවක් නැතිව කිසිවක් ඇති කරන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. 08) හ්ම්, මනුස්සයෙක් දේශපාලනය කරන්නම ඕනද..?

      ඒකට මම මෙහෙම කියන්නම්, අද මේ සමජය ඇතුලෙ දේශපාලනයෙන් තොර දෙයක් තියෙනව නම් පෙන්නපන්.. ඕනම දෙයක් ඍජුව හෝ වක්‍රව දේශපාලනය සම්බන්ධයි. ඒකයි මිනිසා දේශපාලනික සත්ත්වයෙක් කියන්නෙම..

      09) උඹල කියන ඔය සමාජ වෙනස කරන්න පුලුවන් ද..? :

      පුලුවන්. අනිවාර්යයෙන්ම කළ යුතුයි...

      10) ජවිපෙ කෙනෙක් වෙන්න කරන්න ඕන මොනවද..? :

      මොකුත් නෑ, ඉස්සෙල්ලම මනුස්සයෙක් වෙලා ඉන්න ඕන. හැඟීමක් එන්න ඕන, මේ සමාජය අති අසාධාරණයි මේක වෙනස් කළ යුතුයි කියල. සමාජ අසාධාරණය දකින්න ඕන. එයට විරුද්ධව නැගී සිටින්න තරම් කකියන කොන්දක් තියෙන්න ඕන. "චේ" කිව්ව විදියට නම්, ඔබට අනෙකාට ගහන අතුල් පහරේ වේදනාව දැනෙන්න ඕන. එහෙම නැතුව තමන්ටම ප්‍රශ්නයක් එනකන් ඉඳල එලියට බැහැල කෑ ගහන්න බලන් ඉඳල වැඩක් නෑ.

      11) ජවිපෙ විතරද එකම විකල්පය...? :

      පේනතෙක්මානයක "ඔව්.."

      12) උඹ ජවිපෙ හෙන පොරක්ද? :

      අපෝ නෑ. කිසිසේත්ම ජවිපෙ පොරවල් නෑ. පොරවල් ඉන්නෙ ධනේශ්වර පක්ෂ වල. ජවිපෙ ඉන්නෙ පොදු අරමුණක් ප්‍රතිපත්තියක් වෙනුවෙන් එකට එකතු උන මානවවාදී මිනිසුන් කොටසක්..

      13) උඹේ දායකත්වය ගැන තෘප්තිමත් ද? :

      කවදාවත් නෑ. ජවිපෙ වෙනුවෙන් කැපකිරීම් කරපු කරන සහෝදර සහෝදරියන් ලඟ මම පයට පෑගෙන වැලි ඇටයක් තරම්වත් නෑ.. නොසලකාහැරිය හැකියි..

      14) ඒ කියන්නෙ ඔය දේශපාලනය වැඩක් නැහැනෙ බං. පෞද්ගලික දේවල් නැහැනෙ ලැබෙන්නෙ..? :

      පෞද්ගලිකත්වය ට දේශපාලනය කරන්නෙ ධනේශ්වර හා සුළු ධනේශ්වර පක්ෂ. ජවිපෙ කියන්නෙ ස්වේච්ඡාවෙන්ම මිනිසුන් වෙනුවෙන් කැපවූ පක්ෂයක්.එතනදි ආත්ම තෘප්තියක් හැර අන් යමක් නෑ..

      15) උඹලගෙ පක්ෂයෙන් බිහිවුන හැම කෙනාම හොඳම අයද? :

      පක්ෂය තුල පක්ෂයේ විනය තුල ප්‍රතිපත්ති තුල සිටි කාලයට අදාලව ඔව්...

      16) එලියට ගිහින් ජවිපෙ ටම බනින උඹලගෙ අයගෙ හැඟීම් උඹල පක්ශය තුලදි හැදුවෙ නැත්ද? :

      මිනිහෙක් මියයන තෙක්ම සමාජවාදියෙක්, මානවවාදියෙකු දැයි කියන්න බෑ. යම් මොහොතක ඔහුගේ පරාර්ථය පරාජ වී ආත්මාර්ථය මතුවොය හැකියි. ජවිපෙ ට පුලුවන් උගන්වන්න, ඇත්ත කියල දෙන්න. පක්ෂ අධ්‍යාපනය තුලින් මානවවාදී හැඟීම් දෙන්න. නමුත් ඒවා උකහාගැනීම හා උකහාගන්නා ප්‍රමානය පුද්ගලිකයි. පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස්. එතෙන්දි මානවවාදියෙකු වී සිටීම අතිශයෙන්ම වැදගත්.

      17) ජවිපෙට වැරදිලාම නැත්ද? :

      වැරදිලා තියෙනව හැබැයි මෙහෙම. උපක්‍රමික වැරදීම් උනා. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් නෑ. ස්වයං විවේචනය ඇති එකම පක්ෂය ජවිපෙ. සටන් පවාදීම් නෑ. අරමුණ කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන ඒවා. ඒවා වටහගැනීමට යම් දේශපාලන අවබෝධයක් අත්‍යාවශ්‍යයි කෙනෙකුට.

      18) උඹ කවද වෙනකන් ජවිපෙ ද? :

      මම මානවවාදියෙක් වෙලා ඉන්න තුරාවටම. මගේ මමත්වය යටපත් කරගෙන පරාර්ථය වෙනුවෙන් ඉන්න තුරාවටම..

      මොකද මමත් මනුස්සයෙක්. මොන මොහොතක ආත්මාර්ථකාමී වේවිද දන්නෙ නෑ. ඒත් එහෙම උනා කියල ජවිපෙ වැරදි නෑ. මොකද කවදාවත් ජවිපෙ මිනිහෙකුට ආත්මාර්ථකාමී වෙන්න උගන්නන්නෙ නෑ. එහම උනොත් වරද මගේ. මම ඉතිහාසයේ ජවිපෙ වෙනුවෙන් පෙනී ඉඳපු පලියට ජවිපෙ කියන්නෙ මගේ දෙයක් නෙවෙයි. ජවිපෙ කියන්නෙ අපේ දෙයක්.. එතන මම මගේ කියල දෙයක් නෑ. ඇත්තේ වගකීම් විතරයි... යුතුකම් විතරයි.. මගෙන්, ජවිපෙ මනින්න එපා කවදාවත්.. ජවිපෙ කියන්නෙ උතුම් පක්ෂයක්.
      මාව නොසලකාහරින්න. ජවිපෙ ප්‍රතිපත්ති එක්ක ඉන්න..

      19) හ්ම්, බලමු... :

      අවුරුදු කීයක් මාරුවෙන් මාරුවට බලාගෙන හිටියද බං, මේක තමයි හොඳම වෙලාව..

      තමන්ට පුලුවන් විදියට සහයෝගය දීපන්.. අනාගතය වෙනුවෙන් මේ පුංචි රටේ..

      Delete
  7. එසේ වුවත් ඇමරිකාවේ කාන්තාවන් සඳහා පශ්චාත් ප්‍රසූති නිවාඩු ලබා දීම පවා සිදු නොකරන බව මා අසා තිබෙනවා - එවැනි පිළිවෙත් අමානුෂික නොවේද?

    ReplyDelete
    Replies
    1. එසේ වුවත් ඇමරිකාවේ කාන්තාවන් සඳහා පශ්චාත් ප්‍රසූති නිවාඩු ලබා දීම පවා සිදු නොකරන බව මා අසා තිබෙනවා - එවැනි පිළිවෙත් අමානුෂික නොවේද?

      මෙහෙමයි, Secularist. මෙය හෝ වෙනත් මෙවැනි දෙයක් මානුෂිකද අමානුෂිකද කියන එක සන්දර්භය අනුව වෙනස් වෙනවා. "නිවාඩු ලබා දීම පවා" කියන කොටම එතැන තියෙන්නේ මේ වැඩේ කරන පූර්ණ බලධාරියෙකුගේ ආධිපත්‍යය පිළිගැනීමක්. ලංකාවේදී නිවාඩුවක් ගන්න එක සමහර වෙලාවට "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස ගැත්තාට අනුකම්පා කර වදාරා නිවාඩුවක් අනුමත කරන්න" කියලා ලොක්කා ඉදිරියේ වැඳ වැටෙන්නේ නැති ටික විතරයිනේ. තීරණය තනිකරම තියෙන්නේ ලොක්කගේ අතේ. එහෙම නැත්නම් නිවාඩුව අනුමත කර නොගෙන හොරට ලෙඩ නිවාඩුවක් දමන්න වෙනවා.

      මේක උඩින් රසික දමලා තිබෙන ප්‍රතිචාරයටත් සම්බන්ධයි. ලෝකයේ හැම රටකම වාගේ අනිවාර්ය අවම වාර්ෂික නිවාඩු කිසියම් ප්‍රමාණයක් තිබෙනවා. මේ පිළිබඳ විස්තර පහත විකිපීඩියා පිටුවේ තිබෙනවා.

      https://en.wikipedia.org/wiki/List_of_minimum_annual_leave_by_country

      මේ තොරතුරු 100%ක්ම නිවැරදි නැතුව ඇති. නමුත්, අදාළ කරුණ පැහැදිලි කරන්න එය ප්‍රශ්නයක් නෙමෙයි. අනිවාර්ය අවම වාර්ෂික නිවාඩු කොටස් දෙකක් තිබෙනවා. පොදු නිවාඩු හා පෞද්ගලික නිවාඩු ලෙස. විකිපීඩියා අනුව ලංකාවේ පොදු නිවාඩු 20ක් හා පෞද්ගලික නිවාඩු 20ක් තිබෙනවා. එකතුව 40ක්. ඕස්ට්‍රේලියාවේ පොදු නිවාඩු 10ක් හා පෞද්ගලික නිවාඩු 20ක් ලෙස දවස් තිහක්. ලංකාවේ සේවකයෙක් බොහෝ වෙලාවට ලොක්කා ළඟ බැගෑපත් වෙන්නේ ඔය පෞද්ගලික නිවාඩු 20න් එකක් ගන්නනේ (මගේ අදහස මෙය 21ක් ලෙස නිවැරදි විය යුතු බවයි).

      ඔය විකිපීඩියා පිටුව බැලුවොත් ඔබට පෙනෙයි ඇමරිකාවේ අනිවාර්ය අවම වාර්ෂික නිවාඩු එකම එකක්වත් නැති බව. පොදු නිවාඩුත් නැහැ. පෞද්ගලික නිවාඩුත් නැහැ. මෙය බැලු බැල්මටම පෙනෙන පරිදි සුවිශේෂී තත්ත්වයක්. නමුත්, එයින් කියැවෙන්නේ ඇමරිකාවේ මිනිස්සුන්ට නිවාඩුවක් නැති බව නෙමෙයි. ඇමරිකාවේ මිනිස්සු වැඩ කරන කාලය ගැන මගේ ලිපියේ තිබෙනවා. පොදු නිවාඩු ගැන පහත ලිපියේ තිබෙනවා.

      http://economatta.blogspot.com/2019/05/blog-post_25.html

      පොදු වශයෙන් ගත්තහම තමන් නිවාඩු ගත යුතු හෝ නොගත යුතු දවස් හෝ ප්‍රමාණ ගැන තීරණය කිරීම රජයට බාර දෙන්න ඇමරිකානුවන් කැමති නැහැ. ධනවාදී නිදහස කියන්නේ ඒකයි.

      සේවකයෙක් නිවාඩුවක් ගත්තහම නිෂ්පාදනයේ අඩු වීමක් වෙලා සමාගමක ලාබයේ කිසියම් අඩු වීමක් වෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් ඒ පාඩුව සෘජුව හෝ වක්‍රව ගෙවන්න වෙන්නේ සේවකයටමයි. සේවකයාට නිවාඩුව ඊට වඩා වටිනවානම් සේවකයා නිවාඩුව ගන්නවා. නමුත්, රජයෙන් නියම කර ඇති නිසා සේවකයාට ඒ පාඩුව විඳින්න වෙනවානම් එය අමානුෂික ලෙස ඔහු හෝ ඇය සතු අයිතියක් පැහැර ගැනීමක්. නමුත්, රජය විසින් කරන්නේ රටේ අති මහත් බහුතරයකට අවශ්‍ය දෙයනම් එහි වරදක් නැහැ.

      පශ්චාත් ප්‍රසූති නිවාඩු වැනි දෙයකටත් මෙය අදාළයි. පශ්චාත් ප්‍රසූති නිවාඩු අනිවාර්යයෙන් ලබා දීමේ මිලක් තිබෙනවා. ඒ මිල කවුරු හෝ විසින් ගෙවිය යුතුයි. ගුරුවරු පස් දෙනෙක් ඉන්න කුඩා පාසැලක් ගැන හිතන්න. මේ පාසැලේ ඉංග්‍රීසි ගුරුවරිය සහ විද්‍යා-ගණිත ගුරුවරිය යන දෙදෙනාම එක වර පශ්චාත් ප්‍රසූති නිවාඩු ගන්නවා. ඔවුන්ගේ පැත්තෙන් බැලු විට මෙය මානුෂිකයි. නමුත්, මුළු පාසලේම ළමයින්ට විද්‍යා, ගණිත හෝ ඉංග්‍රීසි අධ්‍යාපනයක් නැහැ. මෙය මගේ හිතළුවක් නෙමෙයි. මෙවැනි අවස්ථා මම පෞද්ගලිකවම දැක තිබෙනවා.

      කඩේක වැඩට අත් උදවුවට වෙළඳ සේවිකාවක් බඳවා ගැනීම ගැන හිතන්න. වැඩට අරන් මාසෙකින් මාස තුනක් නිවාඩු දෙන්න වෙනවානම් බොහෝ විට වෙන්නේ ගර්භණී කාන්තාවකට රැකියා අවස්ථාව නොලැබී යාමයි. කාන්තාවන්ට හෝ වෙනත් කිසියම් පාර්ශ්වයකට සම අවස්ථා දීමත්, විශේෂ වරප්‍රසාද දීමත් දෙකම එකවර කිරීම අපහසු වැඩක්. ඇමරිකානුවන් බොහෝ විට වැඩි අවධානය යොමු කරන්නේ සම අවස්ථා කියන කරුණටයි.

      ඇමරිකාවේ සියල්ලන්ටම පොදුවේ බලපාන අනිවාර්ය ප්‍රසූත නිවාඩු නැහැ. සේවකයින් ගණන 50කට වැඩි ආයතන වලට පමණක් මෙය අනිවාර්යයි. ඒ කාටත් පොදු ෆෙඩරල් නීතිය. ෆෙඩරල් නීතියෙන් ආවරණය නොවන අය විවිධ ප්‍රාන්ත නීති වලින් ආවරණය වෙනවා. එය තීරණය වන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර කැමැත්ත මතයි. එසේ නැත්නම් එය පොදු නිවාඩු හා පෞද්ගලික නිවාඩු වගේම සේවකයින් හා සේව්‍යයන් අතර සේවා ගිවිසුම් අනුව තීරණය වන දෙයක්. ප්‍රසූත නිවාඩු ලැබෙන බොහෝ සමාගම් වල සහ වෙනත් ආයතන වල මවට වගේම පියාටත් ප්‍රසුත නිවාඩු ලැබෙනවා. ඒ වගේම දරුකමට හදාගන්න ගත් විටත් එම නිවාඩු ලැබෙනවා.

      වෙනත් රටවල වගේ සියල්ලන්ටම බලපාන පොදු අනිවාර්ය ප්‍රසූත නිවාඩු වෙනුවෙන් පෙනී සිටින අය ඇමරිකාවේ ඉන්නවා. එහෙම දෙයක් අවශ්‍යයි කියා රටේ බොහෝ දෙනෙක් තීරණය කළොත්, වෙනත් විදිහකින් කිවුවොත් එවැනි නීතියක් නැතිකම අමානුෂිකයි කියා බොහෝ දෙනෙක් හිතුවොත්, එය ෆෙඩරල් නීතියක් වෙයි. දැනටනම් එහෙම නැහැ.

      Delete
  8. එහෙම දෙයක් අවශ්‍යයි කියා රටේ බොහෝ දෙනෙක් තීරණය කළොත්, වෙනත් විදිහකින් කිවුවොත් එවැනි නීතියක් නැතිකම අමානුෂිකයි කියා බොහෝ දෙනෙක් හිතුවොත්, එය ෆෙඩරල් නීතියක් වෙයි. දැනටනම් එහෙම නැහැ.///

    ළමයෙක් හම්බවෙච්ච අම්මා කෙනෙකුට ප්‍රසූත නිවාඩු ඕනේ නැහැ කියල හිතන අය ද ඇමෙරිකාවේ බහුතරය?

    ReplyDelete
    Replies
    1. //ළමයෙක් හම්බවෙච්ච අම්මා කෙනෙකුට ප්‍රසූත නිවාඩු ඕනේ නැහැ කියල හිතන අය ද ඇමෙරිකාවේ බහුතරය?//

      මෙයින් එවැනි දෙයක් කියැවෙන්නේ නැහැ. රටේ බහුතරයක් හිතන්නේ ළමයෙක් හම්බවෙච්ච අම්මා කෙනෙකුට ප්‍රසූත නිවාඩු කොපමණ අවශ්‍යද කියන එක ඇගේ පෞද්ගලික කැමැත්ත අනුව තීරණය විය යුතු දෙයක් මිසක් ෆෙඩරල් රජය විසින් කාටත් පොදුවේ තීරණය කළ යුතු දෙයක් නොවන බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.