Friday, February 21, 2020

ආච්චම්මගේ කඩේ


“සට ඉඳි තීනව දෙන්නං. එව්ව පොලෙං ගෙනාව කියන්න පුලුවන්නෙ“

මං අහනව.

“කීයද?“

“දෙසිය පනහක් පාලොහයි“

ග්‍රෑ. 250 ක්
13 යි

කියල ලියල තියෙන කොලේ වැහෙන්න හිටගෙන මම කියනව. ඉං පස්සෙ කාටත් නොපෙනෙන්න ඒ කොලේ රටඉඳි කවරෙ අස්සට දානව.

“හෙනං එයිං දෙසිය පනහක් දෙන්න“

මං රට ඉඳි දෙසිය පනහක් කිරල එයාට දීල රුපියල් පාලොවක් ගන්නව. ඒ සල්ලි ලාච්චුවට දාල හිස් සිකරට් පැකට් කොල කෑල්ලක් අරං ඒකෙ 2 ඉලක්කම ලියල සාක්කුවට දාගන්නව. 

යාං හෑල්ලේ ලියා තිබුණු "යස මාටියා ගැහිල්ලක්" ගැන ඩ්‍රැකී විසින් අවධානය යොමු කරවලා තිබුණා. සුරංගට වරින් වර ආච්චම්මගේ කඩේ පාර්ට් ටයිම් එකක් කරන්න ලැබෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ඔහු තමන්ට ඒ වෙනුවෙන් ලැබෙන දවසේ වැටුපට අමතරව තවත් ගාණක් හොයා ගන්න ක්‍රමය තමයි ඕක.

කඩේ විකුණන බඩු වලට එහි බලධාරියා වන ආච්චම්මා විසින් නියම කළ මිලක් තිබෙනවා. සුරංග ඒ මිලට වඩා අඩුවෙන් කාටවත් බඩු විකුණන්නේ නැහැ. බඩු නිකම් දෙන්නේත් නැහැ. ඔහු කරන්නේ කීයක් හෝ වැඩියෙන් බඩු විකුණා ඒ අමතර මුදල සාක්කුවට දා ගන්න එකයි.

බැලූ බැල්මටම මෙහි වංචාවක් තිබුණත්, වංචාවේ පාඩුව ආච්චම්මාට නොවන බවකුත් පේනවා. සුරංග ආච්චම්මාගේ නියෝජිතයා මිසක්, කඩේට බඩු ගන්න එන පාරිභෝගිකයින්ගේ නියෝජිතයෙක් නෙමෙයි. ඒ නිසා, පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමේ වගකීමක් ඔහුට නැහැ. ඒ කියන්නේ මේ වැඩේ වැරැද්දක් නැද්ද?

මෙහි ආච්චම්මාට සිදු වන සෘජු පාඩුවක් පේන්න නැතත්, වක්‍ර පාඩුවක් තිබෙනවා. සුරංග කරන වැඩේ නිසා ටික කලක් යද්දී ආච්චම්මගේ කඩේ බඩු මිල අධික බව ඇතැම් පාරිභෝගිකයින්ට තේරුම් යනවා. එවිට, ඔවුන් ආච්චම්මගේ කඩේ මග හැර අනෙක් කඩේට යනවා. ආච්චම්මගේ කඩේ වෙළඳාම් අඩු වෙනවා. ආච්චම්මගේ කඩේට ඒ පාඩුව වෙන්නේ සුරංග නිසා.

නියෝජිතයෙකුගේ යුතුකම වන්නේ තමන්ට පවරනු ලැබූ වගකීම ප්‍රධානියා විසින් අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කිරීමයි. ආච්චම්මා බලාපොරොත්තු වෙන්නේ තමන් විසින් නියම කර තිබෙන මිලටම බඩු විකුණයි කියලනම් සුරංග ඒ මිලට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් බඩු විකිණීම වැරදියි. එය විශ්වාසය කඩ කිරීමක්. තමන්ට ගෙවන වැටුපට සාධාරණය ඉටු නො කිරීමක්. වංචාවක්!

ඔය වගේ දෙයක් සිදු වුනට පස්සේ ආච්චම්මා සුරංගගේ වැඩ තහනම් කරලා සිදු වුනු පාඩුව ගැන වෝහාරික විගණනයක් කළා කියා හිතමු. දැන් මේ විගණනය කරන අයට කඩෙන් බඩු ගත් පාරිභෝගිකයින් කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි විමසා සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුදල සුරංග විසින් වංචා කළ මුදල ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්. විගණනයේ හා ගිණුම්කරණයේ සම්මත අනුව මේ වගේ ඇස්තමේන්තු කිරීම් සිදු වෙනවා.

මේ වගේ විගණන ඇස්තමේන්තුවක බැලු බැල්මටම වැරැද්දක් පේනවා. දැන් ඔය කියන මුදල සුරංග විසින් වංචා කර තිබුණත්, එසේ කිරීම නිසා ආච්චම්මගේ කඩේට පාඩුවක් වෙලා නැහැ. විකුණූ බඩු වෙනුවෙන් ලැබිය යුතු ආදායම අන්තිම සතේට නිවැරදිව ලාච්චුවේ තිබෙනවා. ඒ නිසා, විගණන වාර්තාව අනුව කඩේට කිසිම පාඩුවක් වී නැති බව නිගමනය වී තියෙන්නත් පුළුවන්.

විගණනයේදී පාඩුවක් ගණනය කරන්න වෙන්නේ වෙනත් විකල්පයකට සාපේක්ෂවයි. කියපු මිලටම බඩු විකිණීමට සාපේක්ෂව බැලුවොත් මේ වගේ විගණනයකින් පෙනෙනු ඇත්තේ ආච්චම්මගේ කඩේට කිසිදු පාඩුවක් සිදු වී නැති බවයි. විගණනයේදී හොයාගත්, සුරංග විසින් ලැබූ අයුතු ලාබය ආච්චම්මගේ කඩේට සිදු වූ අලාභය ලෙස සැලකුවොත් එයින් අදහස් වන්නේ එම මුදල ආච්චම්මගේ කඩේ ලාබයට එකතු වීමේ විකල්පයක් තිබුණු බවයි. වෙනත් විදිහකින් කිවුවොත්, විකල්ප තත්ත්වයන් යටතේදී සුරංග බඩු වැඩි මිලට විකිණීම නිවැරදි බව හා එසේ විකුණා ලැබෙන අමතර මුදල ආච්චම්මගේ කඩේ ලාච්චුවටම දැමිය යුතුව තිබුණු බවයි.

මේ දෙවැන්න දැඩි උපකල්පනයක් වුවත් ඇතැම් විට නිවැරදි එකක් වෙන්නත් බැරිකමක් නැහැ. එය තීරණය වන්නේ ආච්චම්මා තමන්ගේ නියෝජිතයා වෙත පැවරූ වගකීම කුමක්ද කියන එක මතයි. ආච්චම්මා සුරංගට පැවරූ වගකීම ලේබල් කළ මිලට බඩු විකිණීමද එසේ නැත්නම් හැකි උපරිම මිලට බඩු විකිණීමද? එය දෙවැන්නනම් මෙහිදී සුරංග මාටියා ගැසූ මුදල ආච්චම්මගේ කඩේට සිදු වූ පාඩුව ලෙස සැලකීම නිවැරදියි. එහෙත්, ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, මේ දෙක අතර එවැනි සෘජු සමබන්ධයක් නැහැ. ඒ වගේ වෙලාවක විගණන වාර්තාව අනුව, මාටියා ගැසීමක් සිදු වී තිබුණත්, ආච්චම්මගේ කඩේට පාඩුවක් සිදු වී නොතිබෙන්න පුළුවන්. හැබැයි ආර්ථික විද්‍යා මූලධර්ම අනුවනම් එහෙම කියන එක වැරදියි.

ආර්ථික විද්‍යා මූලධර්ම අනුව පාඩුව ගණනය කළ යුත්තේ "ප්‍රතිපරිසිද්ධික (counterfactual) තත්ත්වයට" සාපේක්ෂවයි. ඒ නිසා, මුලින්ම මේ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය කුමක්ද කියන එක නිරවුල් කර ගත යුතුයි. ආච්චම්මා බලාපොරොත්තු වුනේ කියපු ගාණට බඩු විකුණන එකනම්, එසේ නොකිරීම නිසා සිදුව තිබෙන පාඩුව කඩේට පාරිභෝගිකයින් පිරිසක් නැති වීමයි. මෙය ආවස්ථික පිරිවැයක්. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමක්.

සාමාන්‍යයෙන් විගණනයකදී මේ ආකාරයේ පාඩු ගණනය කරන්නේ නැහැ. විගණන හෝ ගිණුම්කරණ සම්මත යොදාගෙන එය කරන්නත් අමාරුයි. කඩේට පැමිණි පාරිභෝගිකයින්ගෙන් සාක්ෂි විමසීම අමාරුවෙන් හෝ කළ හැකි දෙයක් වුවත්, කඩේට නොපැමිණි එහෙත් පැමිණිය හැකිව තිබුණු පාරිභෝගිකයින්ගේ සාක්ෂි විමසීම ප්‍රායෝගිකව ඉතා අසීරු වැඩක්. ඒ නිසා, පාඩුව ඇස්තමේන්තු කිරීමත් ඉතා අසීරු වැඩක්.

මෙය කළ හැකි සංඛ්‍යානමය/ ආර්ථිකමිතික ක්‍රමවේද තිබෙනවා. එහෙත්, ඒවා විගණනයකදී හෝ වෝහාරික විගණනයකදී යොදා ගන්නා සරල මූලධර්ම වලට වඩා ගොඩක් සංකීර්ණයි. සංකීර්ණ තාක්ෂණික වංචාවක පාඩුව ගණන් බැලීම සඳහා සරල විගණන මූලධර්ම යොදාගත් විට ලැබෙන ප්‍රතිඵලය විශ්වාසනීය එකක් නෙමෙයි. මේ උදාහරණයේදී ආච්චම්මගේ කඩේට කිසියම් පාඩුවක් අනිවාර්යයෙන්ම සිදු වී තිබිය යුතුයි. එහෙත්, එම පාඩුව සුරංග මාටියා ගැසූ මුළු මුදලට, ඒ කියන්නේ සුරංග විසින් ලැබූ "අධික ලාබයට" සමාන වීමට හේතුවක් නැහැ.

දැන් අපි හිතමු ආච්චමමා සුරංගගෙන් බලාපොරොත්තු වුනේ වඩා "වෘත්තීය" කාර්යයක් කියලා. ඒ කියන්නේ, ලේබල් වල ගාණ කීය වුනත් කඩේ ලාබ වැඩි කරන එක කියලා. එහෙමනම්, ඔහු අවස්ථාව අනුව බඩු වැඩි මිලට හෝ අඩු මිලට විකිණීමේ වැරැද්දක් නැහැ. වැරැද්ද ඔහු එසේ නොකරන්නේනම්.

ඒ විදිහට බැලුවොත් සුරංගගේ මාටියා ගැසීම සෘජුවම ආච්චම්මගේ කඩේට කරපු වංචාවක්. යම් හෙයකින් ඔහු ඒ වංචාව නොකර අමතර මුදලත් කඩේ ලාච්චුවටම දැම්මා කියා හිතමු. ඒ තත්ත්වය යටතේ වුවත් කඩේට පාරිභෝගිකයින් නැති වී පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි එය සුරංග විසින් කඩේට ලාබ වැඩි කර ගන්න කටයුතු කිරීමේදී සිදු වූ අහිතකර ප්‍රතිඵලයක් නිසා එය සුරංගගේ වැරැද්දක් කියා කියන්න බැහැ. අන්තිමේදී කඩේ වහන්න වෙන්නත් පුළුවන්. එයට හේතුව කළමනාකරුවෙකු ලෙස සුරංගගේ අදක්ෂතාවය විය හැකියි. එහෙත්, එහිදී ඔහු වංචාවක් කර නැහැ. පාඩු කියන්නේ හැම විටම වංචා නෙමෙයි.

(Image credit: https://ankierenique.files.wordpress.com/2014/11/kadeold.jpg)

10 comments:

  1. ඉකොනෝ, ඔබතුමා මේ හදන්නේ අපේ හිත අනාගතේ ලැබෙන්න තියෙන තීන්දු පිළිගන්නා තැනට සකස් කරලා තියන්න නේද?

    ReplyDelete
    Replies
    1. අනාගතේ ලැබෙන්න තියෙන තීන්දු ගැනනම් කිසිම විශ්වාසයක් හෝ අදහසක් නැහැ.

      Delete
  2. මං වංචාවක් කොල්ලා නෑ.. ඔබතුමාට බුදුබව අත්වෙයි මාව අපායෙං බේරුවට.

    ReplyDelete
    Replies
    1. උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියනවනේ!

      Delete
  3. කොයි නියෝජිතයත් ඔහොම තමා.. කල දුටු කළ වල ඉහ ගන්නවා.. ප්‍රධානියා කාලෙන් කාලෙට විගනකයන්ව එවනවා නියෝජිතයා හොරකම් කරනවද බලන්න.. නියෝජිතයා විගනකයට සැපක් දීලා එයාට ඕනා විදිහට වාර්තාව එළි දක්ව ගන්නවා... මටනම් හිතෙන්නෙ වංචාව, බොරුව, අයුතු ලාබ ලැබීම මිනිස්සුන්ගෙ ඇට මිදුළු වලටාම කිදා බැහැලා...

    ReplyDelete
  4. සුරංග මාටියා ගැසූ මුදල හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මුදල සුරංග විසින් වංචා කළ මුදල ලෙස ඇස්තමේන්තු කරන්න පුළුවන්....////සුරංගගේ මාටියා ගැසීම සෘජුවම ආච්චම්මගේ කඩේට කරපු වංචාවක්

    හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්..යස මාටියා ගැහිල්ලක්

    ReplyDelete
  5. හිටපු ඇමතිවරයෙකු වන මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අධිකරණ විනිසුරුවන් කිහිපදෙනකු සමග සිදු කර ඇති දුරකතන සංවාද වල ඇත්තේ ඔහුගේම කටහඬ බව තහවුරු වී තිබෙනවා.

    රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද හඬ පරීක්ෂණවලදී මේ බව ස්ථිර වශයෙන්ම තහවුරු වී ඇතැයි කියන්නේ.

    මේ වනවිට අදාළ හඬ පට වල ඇති කටහඬවල් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ලබාගත් කටහඬ සාම්පල දින කිහිපයක් තිස්සේ සංසන්දනය කර පරීක්ෂණ කිරීමෙන් පසුව මේ බව තහවුරු කරගෙන ඇති අතර මේ සම්බන්දයෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාව මේ වන විටත් සකස් කර ඇති අතර එය අධිකරණයට භාර දීමට නියමිතයි. මේ අනුව ඔහුට මොනවගේ දඬුවමක් ලබා දෙයිද?

    ReplyDelete
  6. ඉකොනො හොරකම් වගේම නාස්තිය නතර කරන එකත් ඉතා ම වැදගත්. දැන් බලන්න පාරක් කාර්පට් කරද්දී හරියට කානු ටික දාන්නේ නැතිව, ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප ටික දාගන්න බැරිව ඇස්ෆෝල්ට් ෆිනිෂ් කරලා දවස් දෙකෙන් පාර කපන එකට ලඟම උදාහරණය අරංගල – කොට්ටාව 933 පාර. කාර්පට් කරල සති 2 යි, අමරගොඩ හන්දියේ ලොකු වලක් කපල තියෙනවා දැන්. ඒ වගේම දින කිහිපයට උඩදි දෙරණ උකුස්සා වැඩසටහන හෙලිකලා අධිවේගී පාරවල් හදන ට්‍රක්වලින් හොර රහසේම සවස් කාලේ ඒ ගාල් කරල තියෙන වාහනවලින් තෙල් හොරෙන් එලියට පම්ප කරල බැරල් කරල ත්‍රීවීල් වලින් ගෙනියන ජාවාරමක්. ඒ වගේ ලඟදි දවසක විදේශිකයෙක් පාර වැරදිලා වාහනේ හවස 6.00 ට විතර යනකොට දැක්කලු සිමෙන්ති කොට්ට එක එක පාලුවට තියල ගිහිල්ලා තියෙනවා කොට්ට 50 වැඩිය. ආපසු හැරිලා එනකොට ඒ පලාතෙම ගොඩනැගිලි ද්‍රව‍්‍ය විකුණන නම ගහල තියෙන ලොරියකට ඒවා පටවා ගන්නවා දැකලා තියෙනවා..! හැබැයි… ඊට අල්ලපු පාරේ කාණු සිමෙන්ති වලින් බැඳන් යනවත් ඒ විදේශිකයා දැකල තියෙනවා..!
    ඒකත් අර වගේම ගේමක් ��

    ReplyDelete
    Replies
    1. ඉතාම පැහැදිලිව. මම කිසිසේත්ම හොරකම් අනුමත කරන්නේ නැහැ. නමුත්, සංසන්දනාත්මකව ලංකාවේ හොරකමට වඩා නාස්තිය විශාල ප්‍රශ්නයක්. හොරකමකදී හොරා විසින් හෝ ගාණක් හොයා ගන්නවා. ප්‍රායෝගිකව නොකෙරුණත් එම මුදල හොරාගෙන් අය කර ගැනීමේ කිසියම් නීතිමය හැකියාවක් තිබෙනවා. නාස්තියේදී එහෙම ගන්න මුදලක් කා අතේවත් නැහැ. මම නාස්තිය කියා කියන්නේ ඔබේ උදාහරණ වල තිබෙන දේවල්ම නෙමෙයි. ඒවා බොහොමයක් හොරකම්. අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණය නොදා හදන ගොඩනැගිල්ලක් කඩා වැටුණු විට පාඩුව ලක්ෂ දහයක් කියමු. අඩුවෙන් සිමෙන්ති දැමීමෙන් කොන්ත්‍රාත්කරු ඉපැයූ මුදල සමහර විට රුපියල් ලක්ෂයක්. ඒ මුදල ගොඩනැගිල්ල අනුමත කළ නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුළු කිසියම් පිරිසකගේ ආදායමක් විය හැකි වුවත්, ඉතිරි රුපියල් ලක්ෂ නවය එහෙම කාගෙවත් අතේ නැහැ. හොරකම් කළ මුදල් නැවත ආර්ථිකයට එකතු වන නමුත් නාස්ති නිසා නැති වන මුදල් නැත්තටම නැති වෙනවා.

      Delete
  7. ලංකාවේ බොහෝ පැකට් කළ පාරිභෝගික භාණ්ඩවල මිළ එහි ඇසුරුමේ ම මුද්‍රණය කර තියෙනවා. සමහරු උඩින් ස්ටිකර් අලවා විකුණනවා. ඒ වගේම වංචාචක් තමයි මිළ අඩු කළ භාණ්ඩයක් පැරණි මිලටම විකිණීම.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.