Tuesday, February 4, 2020

පාඩු හා වංචා


සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කොරෝනා බිය පැතිරෙන්න කලින් රුපියල් පහළොවකට විකුණපු මුහුණු වැස්මක් රුපියල් පණහකට විකුණන ෆාමසියක් ගැන හිතන්න. රුපියල් පනහක ගෙවා තමන්ගේ කැමැත්තෙන් මුහුණු වැස්මක් මිල දී ගන්නා අයෙක් එසේ කරන්නේ ඇයට එහි වටිනාකම අඩුම වශයෙන් රුපියල් පණහක්වත් වන නිසායි. ඉතා පැහැදිලිවම මෙහිදී ෆාමසියට ලාබයක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයාට පාඩුවක් වෙන බව නෙමෙයි.

මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට පාඩුවක් නොවන නමුත් පාරිභෝගිකයාගේ ලාබය අඩු වීමක් වෙනවා. කෙනෙකුට අවශ්‍යනම් විකල්ප තත්ත්වයක් යටතේ පාරිභෝගිකයාට ලැබෙන්න තිබුණු වැඩි ලාබය සමඟ සසඳා ඇයට සිදු වුනු සාපේක්ෂ පාඩුව ඇස්තමේන්තු කළ හැකියි. එහෙම කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම ගණුදෙනුවේ එක් පාර්ශ්වයකට නිදහස් ගනුදෙනුවකින් ලැබිය හැකි ලාබය ඉක්මවන කිසියම් අවම ලාබයක් ලබන්න නීතිමය අයිතියක් තිබෙන අවස්ථා වලදී.

මිල පාලනයේදී වෙන්නේ ඔය වගේ වැඩක්. මිල පාලනය හරහා එක පාර්ශ්වයකට ලැබිය හැකි අවම ලාබය නීතියෙන් තහවුරු කරනවා කියන්නේ අනෙක් පාර්ශ්වයට ලැබිය හැකි උපරිම ලාබය සීමා කිරීමක්ද වෙනවා.

සාමාන්‍යයෙන් නිදහස් ගනුදෙනුවකින් ඒ ගනුදෙනුවෙහි යෙදෙන පාර්ශ්ව කිසිවකට පාඩුවක් වෙන්නේ නැති වුනත් එසේ සිදු වන විශේෂ අවස්ථා තිබෙනවා. එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට වංචාවක් කිරීම එවැනි අවස්ථාවක්. සුලබවම සිදු වන වංචාවක් වන්නේ භාණ්ඩය හෝ සේවාව විකුණන පාර්ශ්වය විසින් එහි සැබෑ ස්වභාවය වංචනික ලෙස සඟවා මිල දී ගන්නා පුද්ගලයාගෙන් වැඩි මුදලක්  ගැනීමයි.

මේ ආකාරයේ වංචා වලට තේරෙන සිංහලෙන් නංගී පෙන්වා අක්කා දීම් කියා කියන්න පුළුවන්. නංගිව පෙන්වන්නේම වංචනික අදහසින්. පාරිභෝගිකයා මිල ගෙවන්නේ නංගිගේ වටිනාකම වෙනුවෙන්. එහෙත් ලැබෙන්නේ අක්කාවයි. දුරකථන, රක්ෂණ වැනි සේවා සපයන ආයතන බොහෝ වෙලාවට මේ වැඩේ කරනවා. මෙවැනි අවස්ථාවන් ගැන බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු දැන සිටි විචාරක ජීවත්ව සිටියදී කිහිප වරක්ම කණස්සල්ලෙන් හා කේන්තියෙන් යුතුව ලියා තිබුණු බව මතකයි.

ගනුදෙනුවකදී එක් පාර්ශ්වයකට මේ ආකාරයේ වංචාවක් කර ලාබයක් ලබන්න ඉඩ සැලසෙන්නේ ගනුදෙනුවට අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබඳව දෙපාර්ශ්වය සතු තොරතුරු අතර ඇති අසමමිතිය නිසායි. උදාහරණයක් විදිහට පාවිච්චි කළ මෝටර් රථයක් විකුණන අවස්ථාවක් ගැන හිතන්න. මෝටර් රථය කාලයක් පාවිච්චි කර එය විකුණන පුද්ගලයා එහි තිබෙන අට අනූවක් රෝග ගැන දැන සිටියත්, ඒ ලෙඩ ගැන වාහනය විකුණද්දී ගැනුම්කරුට දැනුම් දී ලැබෙන අර්පණය පහත දමා ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේම රෝගියෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු රෝගයේ ස්වභාවය පිළිබඳව දැන ගන්නා සියලු දේ රෝගියා දන්නේ නැහැ. මේ අවස්ථා තොරතුරු අසමමිතිය පිළිබඳ උදාහරණ වුවත්, ඒ හේතුව නිසා වංචා සිදු වීමේ ඉඩක් ඇති වෙනවා මිස හැම විටම වංචා සිදු වෙන්නේ නැහැ.

වංචාවක් කියන එකෙන් අදහස් වෙන්නේ ලාබයක් ලබා ගැනීමේ අදහසින් වෙනත් පාර්ශ්වයක් රැවටිල්ලකට ලක් කිරීමයි. එහිදී රැවටිල්ලට ලක් වන පාර්ශ්වයට පාඩුවක් සිදු වෙනවා. නමුත්, ගනුදෙනුවකදී රැවටිල්ලක් සිදු වන හැම අවස්ථාවකම වංචාවක් සිදු වූ ලෙස සැලකෙන්නේ නැහැ. ඒ, ගනුදෙනුවකදී විචක්ෂණශීලී වී, නොරැවටී සිටීම  පුද්ගලයෙකුගේ වගකීමක් නිසා. ගනුදෙනුව සිදු කරද්දී මෝඩයෙකු සේ හැසිරී රැවටුණු බව පස්සේ කියලා වැඩක් නැහැ.

ඒ වගේම, නිදහස් ගනුදෙනුවකදී එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් නොවන බව මා කීවත්, අවදානමක් තිබෙන ගනුදෙනු හා අදාළව මෙය අවදානම හා ගැලපීමෙන් පසුව පාඩුවක් නොවන බව ලෙස වෙනස් විය යුතුයි. කෙනෙක් දැන දැනම අවදානමක් ගෙන ගනුදෙනුවක නිරත වූ විට පාඩුවක් සිදු වීමේ පැහැදිලි ඉඩක් තිබෙනවා. එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් සේ සැලකිය නොහැකියි.

මේ වගේ සංකීර්ණ කරුණු ගණනාවක් සලකා බැලිය යුතු නිසා සාමාන්‍යයෙන් ගනුදෙනුවකදී එක් පාර්ශ්වයක් විසින් වංචාවක් කළාද කියන එක තීරණය කිරීම අසීරු  නීතිමය කාර්යයක්. එහිදී, එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක් රවටා තිබිය යුතු අතර ඒ හේතුව නිසා පළමු පාර්ශ්වයට ලාබයකුත් දෙවන පාර්ශ්වයට අලාබයකුත් සිදු වී තිබිය යුතුයි. එහෙත්, මේ ලාබය හා අලාබය බොහෝ විට සමාන වෙන්නේ නැහැ. ඇතැම් විට කෙනෙක් වංචනික ලෙස ලබන ලාබය නිසා අනෙක් පාර්ශ්වයට සිදු වන ලාබය සාපේක්ෂව අඩු එකක් වෙන්න පුළුවන්. එහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්.


මේ ලිපිය සමඟ පලවන්නේ උදය ආහාරය සඳහා ගන්නා සීරියල් පැකට්ටුවක ඡායාරූප දෙකක්. පැකට්ටුවේ මුහුණත දෙස ඈත සිට බැලූ විට "100% OATS" ලෙසත්. තරමක් කිට්ටු වූ විට "100% WHOLE GRAIN OATS" ලෙසත් පෙනෙනවා. කුඩාවට වැල් අකුරෙන් ලියා තිබෙන "Made with" යන කොටස පෙනෙන්නේ ඉතා සැලකිල්ලෙන් බැලුවොත් පමණයි. "Made with" යන්න අතහැර කියවූ විට ඔළුවට යන්නේ වෙනස් තේරුමක්.

ඒ වගේම, මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ දෙස බැලුවොත් සංතෘප්ත මේද හා කොලෙස්ටරෝල් 0% ලෙස සඳහන්ව තිබෙන බව පෙනෙනවා. 0% කියන්නේ කිසියම් දෙයක් අඩංගු නොවන බව නෙමෙයි. එම සංඝටක තිබෙන්නේ 0.5%කට වඩා අඩුවෙන් බවයි. 0.49% යන්නෙහි දශම ඉවත් කර රවුම් කළ විට 0% වෙනවා. එය දශමස්ථානයකට රවුම් කළොත් 0.5% වෙන නිසා 0.0% ලෙස සඳහන් කරන්න බැහැ. ඒ වගේම, මේ ගණනය සිදු කර තිබෙන්නේ දිනකට සීරියල් ග්රෑම් 36කට වඩා ආහාරයට නොගන්නා බව සලකමිනුයි. පැකට්ටුවේ එමෙන් 15 ගුණයක් සීරියල් තිබෙනවා.

මෙහි රැවටීමක් තිබෙනවා. එය හිතා මතා කරන දෙයක්. රැවටෙන කෙනෙකුට පාඩුවකුත් වෙනවා. ඒ වගේම එයින් සීරියල් නිෂ්පාදකයාට වාසියකුත් වෙනවා. නමුත්, මෙය වංචාවක් සේ සැලකෙන්නේ නැහැ. පැකට්ටුවේ මුද්‍රණය කර ඇති කරුණු කියවීම හා අවබෝධ කර ගැනීම පාරිභෝගිකයාගේ වැඩක්. නිෂ්පාදකයා විසින් බොරු කියා නැහැ. එක විදිහකින් මෙහි සිදු වන්නේ "පිට නෑ" කියමින් කමිස විකුණන ආකාරයේ වැඩක්.  "පිට නෑ" කියන වෙළෙන්දාත් බොරු කියා නැහැ. මේ වගේ රැවටීමක් වංචාවක්ද කියන එක රටේ පවතින නීතිය අනුව තීරණය වන දෙයක්.

ඩොලර් 120,000කට විකිනුණු කෙසෙල් ගෙඩියක් ගැන අපි පසුගිය දෙසැම්බර් මාසයේදී කතා කළානේ. මේ කෙසෙල් ගෙඩිය මෙතරම් මිලකට විකිණුනේ එය සීමිත සැපයුමක් ඇති කලා කෘතියක් වූ නිසයි. අදාළ මිල ගෙවා කෙසෙල් ගෙඩිය මිල දී ගන්නා අයෙකුට එම කලා කෘතියේ පිටපත් තුනකට වඩා නිකුත් නොකරන බවට සහතිකයක්ද ලැබෙනවා. සැපයුම මීට වඩා වැඩි වුනානම් මිල මෙතරම් ඉහළ යන්නේ නැහැ. යම් හෙයකින් මුල් පිටපත් තුන අලෙවි කිරීමෙන් පසුව අදාල කලාකරුවා විසින් තවත් පිටපත් නිකුත් කළොත්, මුල් පිටපත් වල වටිනාකම විශාල ලෙස පහත වැටෙනවා. එවැන්නක් නංගිව පෙන්නා අක්කා දීමක් මෙන්ම වංචාවක්ද වෙනවා.

බැඳුම්කර වෙන්දේසියකදී මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා බැඳුම්කර නිකුත් කළ විට වෙන්නේත් මේ වගේ දෙයක්. එසේ කළ වහාම මුල් බැඳුම්කර ප්‍රමාණය පමණක් නිකුත් කරනු ඇතැයි හිතාගෙන ලන්සු තැබූ ගැණුම්කරුවන්ට පාඩුවක් වෙනවා. නමුත්, වෙන්දේසියේ කොන්දේසි වල මුලින් දැනුම් දුන් ප්‍රමාණයට වඩා වැඩියෙන්  බැඳුම්කර නිකුත් කරන්නට ඉඩ තිබෙන බව සඳහන් කර තිබෙනවානම්, ඒ ගැන සැලකිලිමත් වී අවදානමට සරිලන සේ ලන්සු තැබීම ගැනුම්කරුවන්ගේ වැඩක් බවට පත් වෙනවා. එසේ නොකර යමෙක් පාඩු ලැබූ පමණින් එය අනෙක් පාර්ශ්වය විසින් කළ වංචාවක් වෙන්නේ නැහැ.

කොහොම වුනත් "පිට නෑ" වගේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී සාමාන්‍ය සිහි බුද්ධිය තිබෙන අයෙකු "පිට නෑ" කියන එක තේරුම් ගන්නේ කොහොමද කියා සොයා බලා වංචාවක් සිදුවී ඇති බව හෝ නැති බව තීරණය කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙනවා.

4 comments:

  1. හොරා කන්නත් ඉගෙනගෙන තියෙන්න ඕනේ, පාඨමාලා හදාරලා නැති වුනත් කමක් නැහැ, හරියට නිල අල්ලාගන්න මොළේ තිබ්බොත් ඇති!

    ReplyDelete
  2. ඔතන වංචාවක් නෑ කියන්න බෑ.. ඕක කරන්නෙම සාමාන්‍ය පාරිභෝගිකයෙක්ගෙ මනස ක්‍රියාකකරන ආකාරය ගැන හොඳ අධ්‍යනයකින් (අත්දැකීමෙන් හෝ පරීක්ෂණ මගින්) පස්සෙ රැවටීමේ අදහසින්මයි. චේතනාව යහපත්නම් නංගිව පෙන්නන්න ඕනා නෑ.. කෙලින්ම අක්කව පෙන්නනවා.. මෙයා තමා ඉන්නෙ කියලා..

    අවම පිරිවැයකින් value create කරන්න ගියාම අන්තිමට පාරිභෝගිකයව රවට්ටලා තමා නතර වෙන්නෙ...

    ReplyDelete
  3. 'මේ ආකාරයේ වංචා වලට තේරෙන සිංහලෙන් අක්කා පෙන්වා නංගී දීම් කියා කියන්න පුළුවන්. නංගිව පෙන්වන්නේම වංචනික අදහසින්. පාරිභෝගිකයා මිල ගෙවන්නේ අක්කාගේ වටිනාකම වෙනුවෙන්. එහෙත් ලැබෙන්නේ නංගිවයි. '

    ඉකොනෝ, අක්කා පෙන්වා නංගි දීම කියලා එකක් නැහැ. තියෙන්නේ නංගි පෙන්වා අක්කා දීම කියලා එකක්. ඒ කියන්නේ ලාබාල නංගිව පෙන්නලා මෝරපු අක්කව දෙන එක.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.