වෙබ් ලිපිනය:

Tuesday, February 11, 2020

නීති කැඩීමේ ශුද්ධ වූ අයිතිය


මහජන නියෝජිතයින් හැම විටම මහා ලොකු උගතුන් විය යුතු නැහැ. සමහර වෙලාවට උගතුන් මහජන නියෝජිතයින් වූ විට වෙන්නේ වඩා ලොකු පාඩු හෝ හානි කියන කතාවේත් ඇත්තක් තිබෙනවා. නමුත්, මහජන නියෝජිතයෙකුට අඩු වශයෙන් තමන්ගේ රාජකාරිය කුමක්ද කියන එක පිළිබඳ තේරුමක් තියෙන්න ඕනෑ.

ලංකාවේ නීති හදන එක ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රාජකාරියක්. ඊට පහළින් තිබෙන පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදියටත් සීමිත දේවල් ටිකක් කරන්න පුළුවන්. රාජ්‍ය සේවකයින් කියා කියන ඉතා විශාල පිරිසකගේ රාජකාරිය මේ නීති ක්‍රියාත්මක කරන එකයි. නීති ක්‍රියාත්මක වීම ගැන හොයා බලන එක අධිකරණයේ වැඩක්.

හරි වේවා, වැරදි වේවා, අඩුපාඩු තිබුණා හෝ නොතිබුණා වේවා රාජ්‍ය සේවකයින්ට තියෙන්නේ නීති ක්‍රියාත්මක කරන එකයි. ඔවුන්ට නීති වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නීතියක වැරැද්දක් අඩුපාඩුවක් තියෙනවානම් නීති වෙනස් කරන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රාජකාරියක්.

හැබැයි ලංකාවේ ගොඩක් මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ තමන්ගේ රාජකාරිය නීති ක්‍රියාත්මක කරන එක වැලැක්වීම කියලයි. සමහර මිනිස්සුත් මන්ත්‍රීවරුන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම දෙය නීතියට එරෙහිව කටයුතු කරන්න උදවු උපකාරයි. හැමෝම මේ ගොඩේ නැති නිසා සමහර මිනිස්සු කියා කිවුවත් ඔය සමහර ගොඩ ගොඩක් ලොකුයි. ඒ වගේම, වෙන කෙනෙක් නීති කඩන කොට මාර ටෝක් දෙන සමහර අයත් තමන්ගේ වාසියට නීතියක් කඩන්න අවශ්‍ය වුන වෙලාවට මන්ත්‍රී කෙනෙක් පස්සේ යන්න පැකිලෙන්නේ නැහැ.

https://www.facebook.com/apearata/videos/551579162231529/?t=3&v=551579162231529

උඩ වීඩියෝවේ තිබෙන්නේ තවත් මෙවැනි එක් අවස්ථාවක්. මේ දේශපාලනඥයා කියන විදිහට වන සංරක්ෂණ, වන ජීවී, වෙරළ සංරක්ෂණ වගේ නීති සියල්ලම එක්ක ගියාම මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැති වෙනවලු. ඉතිං එහෙමනම් හරිම සරල දෙයක්නේ කරන්න තියෙන්නේ. ඔය නීති අහෝසි කරලා දමලා, ඔය අමාත්‍යංශ ටිකත් වහල දැම්මනම් කොයි තරම් වියදමක් ඉතිරි වෙයිද? නීති නැති කළාට පස්සේ නීති ක්‍රියාත්මක කරන්න නිලධාරීනුත් අවශ්‍ය නැති නිසා ඒ වියදමත් ඉතුරුයි.

මේ නීති ගොඩක් මේ වගේ අයම අත උස්සලා සම්මත කරපුවා. නමුත්, එහෙම අත උස්සන ගොඩක් අය තමන් අත ඉස්සුවේ ඇයි කියලවත් දන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දක්වාම ප්‍රශ්නය ඕකයි. අන්තිමට තමන්ම අත උස්සලා සම්මත කරපු නීති වල අඩුපාඩු ගැන එළියට ඇවිත් කෑ ගහනවා. සමාජ මාධ්‍ය හරහා මේ වගේ දේවල් එළියට එන එකෙන් අඩු ගානේ මේ නිලධාරිනියට පස්සෙන් පහු අකරතැබ්බයක් වෙන්න තිබෙන ඉඩකඩ හරි අඩු වෙයිනේ.

අන්තිමට ලංකාවට ආපු වෙලාවේ මේ වගේ දෙයක් පිළිබඳව සියළු සාක්ෂි සහිතව මම ලංකාවේ ආයතන ගණනාවකට පැමිණිලි කළා. වැඩක් නොවන බව දන්න නිසා යම් බලපෑමක් කරන්න හිතාගෙන අදාළ නිලධාරීන්ට සාකච්ඡාව ආරම්භයේදී දැනුම් දී කතා කළ දේවල් පටිගත කළා. සමහර අය කළේ මේ විදිහට පැමිණිලි කරන්න මට තිබෙන උවමනාව ප්‍රශ්න කිරීමයි. තවත් සමහර අයට ප්‍රශ්නයක් වුනේ සාකච්ඡාව පටිගත කිරීම. රන්ජන් වගේ දැනුම් නොදී කළානම් ප්‍රශ්නයක් නැහැ. හිතූ විදිහටම වැඩක් වුනේ නැහැ. මේ නිලධාරිනිය වැනි අය රජයේ ආයතන වල ගොඩක් නැහැ.

ලංකාවේ මිනිස්සු ලොකු හොරකම්, ලොකු වැරදි වලට කොයි තරම් කැමතිද කියන එකත් මේකෙන් පේනවා. විල්පත්තුව විනාශ වෙනවානම් ගම්පහ කඩොලාන ටිකක් විනාශ වුණාම මොකද? මහ බැංකුව කඩපු එකේ පොඩි හොරකමක් කළාට අවුලක් තියෙනවද? ලංකාවේ මිනිස්සු කිවුවට මෙයත් සාධාරණීකරණය කිරීමක් නෙමෙයි. අර නිලධාරිනිය වැනි අයත් ඉන්නවා.

8 comments:

  1. ඇත්තටම ඉකොනෝ- ඒ වගේ කොන්ද පණ ඇති, කරුණු කාරනා දන්නා, අවංක හැඟීමකින් රාජකාරිය කරන නිලධාරීන් දාහක් අන්කාවේ ඉන්නවානම්.... තනතුරු උසුලන- මෙවැනි මහජන නියෝජිත මහත්වරුන් තප්පුලන හැටි ඉහළ තැන්වලට පෙනේවා!

    ReplyDelete
  2. මේ ලිපියේ වැදගත්ම ටික මම හිතන්නේ මේක:
    ලංකාවේ මිනිස්සු ලොකු හොරකම්, ලොකු වැරදි වලට කොයි තරම් කැමතිද කියන එකත් මේකෙන් පේනවා. විල්පත්තුව විනාශ වෙනවානම් ගම්පහ කඩොලාන ටිකක් විනාශ වුණාම මොකද? මහ බැංකුව කඩපු එකේ පොඩි හොරකමක් කළාට අවුලක් තියෙනවද? ලංකාවේ මිනිස්සු කිවුවට මෙයත් සාධාරණීකරණය කිරීමක් නෙමෙයි. අර නිලධාරිනිය වැනි අයත් ඉන්නවා.

    ReplyDelete
  3. මම ඇය කලදේ අගය කරනවා.
    ඇය ජේවීපී වෙන්න පුළුවන්,
    ඇය ක්‍රිස්තියානි වෙන්න පුළුවන්.
    ඒත් මෙතනදී ඇය කරදේ හරි.

    ReplyDelete
    Replies
    1. ඇය JVP වෙන්න පුළුවන් . ක්‍රිස්තියානි වෙන්න පුළුවන් . ඔහොම හිතන ඔයා ගේ තරම හිතාගන්න පුළුවන්

      Delete
    2. ආරංචි වුණ විදියට ඇය ගෝඨාවාදී බයි සපෝටර්වරියක වන අතර මරාවාදී ඇමති සමග ගැටුම් උත්සන්න වීම පොහොට්ටු කල්ලියේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක්.

      Delete
    3. වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. එත් මෙතන වැදගත් වන්නේ එහෙම හිතන්න පුළුවන් කෙලින් මිනුසුන්ගේ නැගිටීම . නැතුව ආගම් , පක්ෂ, ජාතී, කුල මල නෙවෙයි

      Delete
    4. හැම ගොනෙක් ගැනම මේ වගේ අටුවාටිකා ලියලා වරද සාධාරණිකරන ඌට හිතවත් වන්දි බට්ටයො ඉන්නවා මම ඒත් බැලුවා මොකද ටිකක් පරක්කු කියලා ? හරි දේ හරි කියන්න බැරි වැරද්ද වැරද්ද විදිහට දකින්න බැරි වන්දි බට්ටයො

      Delete
    5. සමහර කාරණා තියෙනවා දත්ත විශ්ලේශණයෙන් නිගමනයකට එන්න අමාරු. (උදාහරණ: විධායක ජනාධීපති ක්‍රමය හොඳද නරකද?)
      ඒවගේ වෙලාවට කරන්න තියෙන්නේ එයට පක්ෂ අය කවුද, විපක්ෂ අය කවුද කියලා සොයා බැලීමයි.

      ක්‍රිස්තියානි/ මාක්ස්වාදි/ දෙමළ උන් යමකට පක්ෂනම් ඒක පැහැදිලිවම සිංහල ජාතියට පාඩුවෙන දෙයක්!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: