වෙබ් ලිපිනය:

Wednesday, October 22, 2025

ශ්‍රීලංකන් ගුවන් සේවය කෝටි 759ක් පාඩු ලබයි!


ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් පසුගිය (2024/25) මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 7,595ක (කෝටි 759)ක අලාභයක් වාර්තා කර තිබෙනවා. 

පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත් වූයේ මුලින්ම එයාර් සිලෝන් ලෙසත්, ඉන් පසුව එයාර් ලංකා ලෙසත් හැඳින්වුණු රාජ්‍ය ආයතනයයි. 1998 වර්ෂයේදී මෙම ආයතනයේ සුළුතර කොටස් අයිතිය හා පරිපාලනය එමිරේට්ස් ආයතනය වෙත පවරනු ලැබූ අතර, වසර දහයකට පසුව 2008දී ශ්‍රී ලංකා රජය විසින් මෙම ආයතනයේ පරිපාලනය නැවත පවරා ගනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවරා ගන්නා විට එම ආයතනය ලාබ ලබමින් පැවති ආයතනයක්. රජයට පවරා ගැනීමෙන් අනතුරුව, 2023/24 වසර තෙක් වසර 15ක් එක දිගට පාඩු ලබමින් පැවති මෙම ආයතනය 2023/24 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 3,871ක (කෝටි 387ක) ලාබයක් වාර්තා කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනයේ සමුච්ඡිත අලාභය සුළු වශයෙන් අඩු වුනා. 

පසුගිය මූල්‍ය වර්ෂයේ අලාභයද සමඟ මේ වන විට ශ්‍රීලන්කන්හි සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 616,306ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පසුගිය වසර සමස්තයක් ලෙස ලෝක ගුවන් ගමන් කර්මාන්තයට යහපත් වසරක් වූ අතර ලංකාවට පැමිණි ගුවන් මගීන් ප්‍රමාණයෙහිද 38%ක සැලකිය යුතු වැඩි වීමක් සිදු වී තිබෙනවා. එසේ වුවද, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මගී ප්‍රවාහන ආදායමෙහි, පෙර වසරට සාපේක්ෂව, 15%ක කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වීම විශේෂත්වයක්. ශ්‍රීලංකන් ගුවන් සේවය භාවිතා කළ මගීන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 4%කින් අඩු වී තිබෙනවා. 

Tuesday, October 14, 2025

උත්පාදක නාශනය: ආර්ථික වර්ධනය තිරසාරව පවත්වා ගන්නේ කෙසේද?


පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත් පවත්වා ගනිමින් ඉදිරියට යාම සඳහා නවෝත්පාදන වල කාර්ය භාරය පැහැදිලි කළ විද්‍යාර්ථීන් තිදෙනෙකු වන ජොයෙල් මොකර් (Joel Mokyr), ෆිලිප් අගියන් (Philippe Aghion) හා පීටර් හවිට් (Peter Howitt) විසින් මෙවර ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා. 

අප සියල්ලන්ගේ ජීවිත කෙරෙහි බලපෑම් කරමින් තාක්ෂණය ඉතා වේගයෙන් වැඩි දියුණු වන අතර, නව තාක්ෂනයන්ගෙන් පැරණි තාක්ෂනය විස්ථාපනය වීම දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. මෙම ක්‍රියාවලිය උත්පාදක නාශනය (creative destruction) ලෙස හැඳින්වෙනවා. උත්පාදක නාශනය දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා මග තනන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලෝක ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමි වෙනවා.

කෙසේ වෙතත්, ඉතිහාසයේ සෑම යුගයකදීම ආර්ථික වර්ධනය හා අදාළව පසුගිය දෙසියවස තුළ දැකිය හැකි වූ ආකාරයේ අඛණ්ඩ ප්‍රගතියක් දැකිය හැකිව තිබුණේ නැහැ. ඉතිහාසයේ බොහෝ කාල වකවානු තුළ සාමාන්‍ය තත්ත්වය වූයේ අපගේ ජීවන තත්ත්වයෙහි ලොකු වෙනසක් සිදු නොවී එකම මට්ටමක පැවතීමයි. ඇතැම් කාල වකවානු වලදී වැදගත් සොයාගැනීම් හා නවෝත්පාදන නිසා ජීවන තත්ත්වයේ ඉහළ යාමක් හා ආදායම් වැඩි වීමක් සිදු වූවත්, ඉතා ඉක්මණින්ම එම වර්ධනය නැවතුනා. 

ජොයෙල් මොකර් විසින් දිගුකාලීන ආර්ථික වර්ධනය සාමාන්‍ය තත්ත්වය බවට පත් වීමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඓතිහාසික මූලාශ්‍ර භාවිතා කළා. ඔහු පෙන්වා දුන්නේ නවෝත්පාදන බිහිවීම එකින් එකට අඛණ්ඩව සිදුවන ස්වයං ජනක ක්‍රියාවලියක් බවට පත් වීම සඳහා අපිට කිසියම් නවෝත්පාදනයක් "වැඩ කරන" බව පෙනී යාම පමණක් නොව, එසේ "වැඩ කරන්නේ ඇයි" යන්න පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අවශ්‍ය බවයි. 

කාර්මික විප්ලවයට පෙර මෙවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීම් සුලභ නොවූ බැවින්, එක් නවෝත්පාදනයක් විසින් තවත් නවෝත්පාදන ගණනාවකට පාර පෙන්වීමක් ලොකුවට සිදු වූයේ නැහැ. මීට අමතරව සමාජය නව අදහස් සඳහා විවෘත වීමේ වැදගත්කමත්, වෙනස්කම් පිළිගැනීමට සූදානම් වීමේ වැදගත්කමත් මොකර් විසින් අවධාරණය කළා. 

ෆිලිප් අගියන් සහ පීටර් හවිට් යන දෙදෙනාද දිගුකාලීන තිරසාර ආර්ථික වර්ධනය සඳහා දායක වන හේතු අධ්‍යයනය කළ විද්‍යාර්ථින් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා විසින් 1992දී, උත්පාදක නාශනය (creative destruction) යන අදහස ගණිතමය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළා. මෙහි අදහස වන්නේ නවෝත්පාදන බිහි වෙද්දී පවතින දැනුම හා තාක්ෂනය වැඩකට නැති වන බැවින් නවෝත්පාදන බිහි වීමෙහි විනාශකාරී මානයක්ද ඇති බවයි. මෙහිදී ඇති වන අනිවාර්ය ගැටුම නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත්, පැරණි තාක්ෂණයේ හා ක්‍රමවේද වල වාසිය ලැබූ සංස්ථාපනය විසින් ඇති කරන ප්‍රතිරෝධය නිසා නවෝත්පාදන බිහි වීම අධෛර්යමත් වී ප්‍රගතිය නවතිනවා.  

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති වරයා විසින් ඉහත විද්‍යාර්ථින් විසින් පෙන්වා දී ඇති කරුණු මත පදනම්ව ප්‍රකාශ කරන්නේ ආර්ථික වර්ධනය ඕනෑම තත්ත්වයක් යටතේ ස්වයංක්‍රීය ලෙස සිදු වන දෙයක් සේ නොසැලකිය යුතු බවයි. එමෙන්ම, ඒ නිසා, නැවතත් ලෝක ආර්ථිකය වර්ධනය නොවී එක තැන පල් වෙන තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම්, අප විසින් උත්පාදක නාශනය දිරිමත් කෙරෙන යාන්ත්‍රණයන් ආරක්ෂා කර ගත යුතු බවයි.

ජොයෙල් මොකර් නෙදර්ලන්තයේ ඉපදී, ඊශ්‍රායලයේ හීබෘ සරසවියෙන් ප්‍රථම උපාධියත්, ඇමරිකාවේ යේල් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා ගෙන ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියේ මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සරසවියේද මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අයෙක්. ප්‍රංශයේ ඉපදී, එහිදීම මූලික අධ්‍යාපනය ලබා, ඇමරිකාවේ හාවඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ෆිලිප් අගියන් ප්‍රංශයේ කොලේජ් ඩි ෆ්‍රාන්ස් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. කැනඩාවේ ඉපදී ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති  පීටර් හවිට් ඇමරිකාවේ සහ කැනඩාවේ සරසවි කිහිපයකම සේවය කර ඇති අතර මේ වන විට බ්‍රවුන් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.

ස්වීඩිෂ් ක්‍රෝන මිලියන 11ක් වන (ඇමරිකන් ඩොලර් මිලියනයකට වඩා තරමක් වැඩි) ත්‍යාග මුදලෙන් අඩක් ජොයෙල් මොකර්ට හිමි වන අතර ඉතිරි අඩ ෆිලිප් අගියන් හා පීටර් හවිට් අතර බෙදී යනවා. ඔවුන් තිදෙනාටම සුබ පැතුම්!

Saturday, October 11, 2025

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන


රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ කොහොමද?" ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි වත්පොත් සටහනකට වඩා ගැලපෙන, පැහැදිලි කිරීමක්. 

රටේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා කියන එකයි. මෙහිදී ප්‍රාග්ධන සංචිතය යන්නෙන් අදහස් වන්නේ ශ්‍රමය (මානව ප්‍රාග්ධනය) හැර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ලයි. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම් ආදී සියල්ල එයට ඇතුළත්. ඒ වගේම පරිගණක මෘදුකාංග වැනි අරූපික (අස්පර්ශනීය) දේවල් තියෙන්නේත් මේ  ප්‍රාග්ධන සංචිතය ඇතුළේ. ප්‍රාග්ධන සංචිතය වැඩි කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය (මුදල්) අවශ්‍ය වන නමුත් මෙහිදී ප්‍රාග්ධනය යන්නෙන් (සීමිත සන්දර්භ වලදී හැර) මූල්‍ය ප්‍රාග්ධනය අදහස් වන්නේ නැහැ. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන තරමට ආර්ථිකයද වර්ධනය වෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වන්නේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන වේගයට වඩා අඩු වේගයකින්. කාලයක් තිස්සේ නැවත නැවත කර ඇති නිරීක්ෂණ අනුව, වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන බොහොමයක් රට වල මෙම අනුපාතය ආසන්න වශයෙන් 30%ක් පමණ. මෙයින් අදහස් වන්නේ රටක ප්‍රාග්ධන සංචිතය 10%කින් වර්ධනය වෙද්දී ආර්ථිකය 3%කින් වර්ධනය වනවා යන්නයි. 

කෙසේ වුවද, ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම කිසියම් නිශ්චිත රටක ආර්ථික වර්ධන වේගය කෙරෙහි දායක වන ආකාරය ඒ රටේ ආර්ථිකයේ ප්‍රමාණයට (දදේනියට) සාපේක්ෂව ප්‍රාග්ධන සංචිතය කොපමණද යන්න අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රාග්ධන සංචිතයක් ඇති රටකට ප්‍රාග්ධනයේ වටිනාකම වැඩියි. 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස, එක සමාන ප්‍රමාණයේ ආර්ථිකයන් ඇති (ඩොලර් බිලියන 100ක), එහෙත් වෙනස් මට්ටම් වල ප්‍රාග්ධන සංචිත ඇති (පිළිවෙලින් ඩොලර් බිලියන 50, 100 හා 200), රටවල් තුනක් සලකමු. ඩොලර් බිලියන 10කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම මේ එක් එක් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පළමු රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 50

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 20%

ආර්ථික වර්ධන වේගය = 6%


දෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 10%

ආර්ථික වර්ධන වේගය = 3%


තෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 200

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 5%

ආර්ථික වර්ධන වේගය = 1.5%


මෙහිදී අප විසින් සලකා බලා තිබෙන්නේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රාග්ධනය සංචිතය වර්ධනය වීමේ බලපෑම පමණයි. වෙනත් හේතු නිසාද ආර්ථිකය වර්ධනය වීමට හෝ හැකිලීමට හැකි වුනත්, අපේ අරමුණ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර සම්බන්ධය තේරුම් ගැනීම බැවින් ඒ අනෙකුත් කරුණු සලකා බලා නැහැ. 

ඉහත කාල්පනික උදාහරණ අනුව, පෙනී යන්නේ රටක දදේනියට සාපේක්ෂව (දදේනියෙහි ප්‍රතිශතයක් හෝ ගුණකයක් ලෙස) ප්‍රාග්ධන සංචිතය ඉහළ යන තරමට අමතර ප්‍රාග්ධනය එකතු වෙද්දී එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි ලැබෙන දායකත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වන බවයි. 

මේ අයුරින් ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම ආර්ථික වර්ධන වේගය ඉහළ දමන අයුරින්ම ප්‍රාග්ධන සංචිතය අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය අඩුවීමද සිදු වෙනවා. අනෙකුත් සාධක වලින් ආර්ථිකය වර්ධනය නොක‍රන්නේනම්, ප්‍රාග්ධන සංචිතය අඩු වීමේ ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිලීමයි. එනම්, ආර්ථික වර්ධන වේගය සෘණ වීමයි. මෙම බලපෑමද ප්‍රාග්ධන සංචිතය දදේනියට සාපේක්ෂව අඩු රටකදී වඩා වැඩියි. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන්නේ හෝ හැකිලෙන්නේ කෙසේද?

කිසියම් රටක් විසින් දැනටම එක්රැස් කරගෙන තිබෙන ප්‍රාග්ධන සංචිතය හැමදාම දිගටම ඒ මට්ටමේම තියෙන්නේ නැහැ. සෑම වසරකදීම ප්‍රාග්ධනය යම් තරමකින් ක්ෂය වෙනවා. උදාහරණයක් ලෙස ප්‍රාග්ධන සංචිතයට අලුතෙන් පරිගණක පද්ධතියක් එක් කළහොත්, ප්‍රාග්ධන සංචිතය ඉහළ යන නමුත් වසර හතරක් පමණ යද්දී මේ පරිගණක කල් ඉකුත් වෙනවා. මහාමාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්නම්, මේ සඳහා වසර විස්සක හෝ තිහක කාලයක් යා හැකියි. නමුත් කිසියම් වේගයකින් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා.

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීමටනම්, ප්‍රාග්ධනය ක්ෂය වන වේගයට වඩා වැඩි වේගයකින් ආයෝජන සිදු කළ යුතුයි. ආයෝජන සිදු වන්නේ ඊට වඩා අඩුවෙන්නම්, එහිදී සිදු වන්නේ ප්‍රාග්ධන සංචිතය පහළ යාම හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වීමයි. 

ප්‍රාග්ධනය ක්ෂය වන වේගය බොහෝ දුරට තාක්ෂණික ලෙස තීරණය වන, භෞතික දෙයක්. පරිගණකයක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ අධිවේගී මාර්ගයක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිද යන්න මිනිස් හැසිරීම් මත වෙනස් වෙන්නේ නැති තරම්. ඒ නිසා, එය අපට සලකන්න සිදු වෙන්නේ වෙනස් කළ නොහැකි දෙයක් ලෙසයි. මීට සාපේක්ෂව බලන විට ආයෝජන සිදු වන ප්‍රමාණය කිසියම් රටක මිනිසුන්ගේ චර්යාවන් මත වගේම, රාජ්‍ය ප්‍රතිපත්ති මතද වෙනස් වන දෙයක්. 

විදේශ ආයෝජන දැනට පැත්තකින් තිබ්බොත්, ආයෝජන කියා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස. ආයෝජන සිදු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් වුනත්, සෘජුව පෞද්ගලික අංශය හරහා වුනත්, මෙහි වෙනසක් නැහැ. ඒ නිසා, පරිභෝජනය සීමා වන තරමට ආයෝජනය ඉහළ යනවා. පරිභෝජනය යන්නට රජයේ "පරිභෝජන" වියදම්ද ඇතුළත්. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. 

සාමාන්‍යයෙන් කිසියම් රටක ජනතාවගේ පරිභෝජන නැඹුරුව සංස්කෘතික සාධක ඇතුළු බොහෝ කරුණු මත තීරණය වන දෙයක්. සමාජයක චර්යාවන් දිගුකාලීනව වෙනස් වන නමුත් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් සැලකුවත්, දිගුකාලීනව මිසක් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස, ඒ කියන්නේ කිසියම් රටක දේශීය ඉතුරුම් අනුපාතය, කෙටිකාලීනව විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. නමුත් රටරටවල් අතර දේශීය ඉතුරුම් අනුපාතයන්හි විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම, කිසියම් නිශ්චිත රටක වුනත්, කෙටිකාලීනව යම් ප්‍රමාණයක් විචලනයන් සිදු වෙන්න පුළුවන්.

අපි හිතමු රටක සාමාන්‍ය දේශීය ඉතුරුම් අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් කියලා. ඒ කියන්නේ දදේනියෙන් 20%කට සමාන ආයෝජන සිදු වෙනවා. එපමණකින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 20කින්. 

දැන් මේ විදිහට ඩොලර් බිලියන 20කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම තීරණය වෙන්නේ එමගින් ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක මතයි. 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 40%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 20%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 10%කින් 

නමුත් අනෙක් අතට තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් යම් ප්‍රමාණයක් ක්ෂය වෙනවනේ. අපි හිතමු මේ අනුපාතය සාමාන්‍ය අගයක් ලෙස 5%ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස වසර 20ක් ප්‍රාග්ධනය ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ක්ෂය වීමත් සැලකිල්ලට ගත්තට පස්සේ ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 35%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 15%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 5%කින් 


මේ අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 10.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 4.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 1.5%කින් 


ඔය විදිහට ආර්ථිකය වර්ධනය වෙද්දී ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම දිගටම තිබුණත් එහි ප්‍රමාණය ආර්ථිකයත් එක්ක වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ යනවා. ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය අඩු වූ තරමට මේ වැඩේ වඩා වේගයෙන් සිදු වෙනවා. නමුත් ප්‍රාග්ධන සංචිතය වැඩි වන තරමට එය වර්ධනය වන වේගය වගේම ප්‍රාග්ධනය වැඩි වීම නිසා ආර්ථිකය වර්ධනය වන වේගයද එන්න එන්නම අඩු වෙනවා. 

අපි හිතමු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100 වන රටක ප්‍රාග්ධන සංචිතය ඔය විදිහට වැඩි වෙලා ඩොලර් බිලියන 400 මට්ටමට ආවා කියලා. ඉතුරුම් අනුපාතය 20%යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 20ක ආයෝජන සිදු වෙනවා. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක් ලෙස එය 5%ක්. නමුත් ක්ෂය වන වේගයත් 5%ක්. ඒ කියන්නේ දදේනියෙන් 20%ක් ආයෝජනය කළත්, එයින් වෙන්නේ රටේ ප්‍රාග්ධන සංචිතය දැනට තිබෙන මට්ටමේම පවත්වා ගෙන යා හැකි වීම පමණයි. ප්‍රාග්ධන සංචිතය තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට දායක වෙන එකත් නවතිනවා. රොබට් සොලෝ විසින් පෙන්වා දුන්නේ ඔන්න ඔය කාරණාව.

කිසියම් වසරක ඉතුරුම් අනුපාතය 20% සිට 21% දක්වා ඉහළ ගියොත් එහි උදවුවෙන් ආර්ථිකය තරමක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම, ඉතුරුම් අනුපාතය 19% දක්වා පහත වැටුනොත් ආර්ථිකය තරමක් හැකිලෙන්නත් පුළුවන්. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය මතයි. එම අනුපාතය කොපමණ වුණත්, එය එකවර විශාල ලෙස වෙනස් වල අවස්ථාවකදී හැර, ආයෝජන හරහා ලැබෙන ප්‍රාග්ධනය නිසා ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. 

රටේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය කිසියම් හේතුවක් නිසා විශාල ලෙස වෙනස් වුවහොත්, උදාහරණයක් ලෙස 20% සිට 40% දක්වා වැඩි වී ඒ මට්ටමේ දිගටම පැවතුනොත්, යම් කාලයක් යන තුරු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. එහිදී රටේ ප්‍රාග්ධන සංචිතයද මුලින්ම වේගයෙන් ඉහළ යනවා. නමුත් කාලය යද්දී ඒ  වේගය අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වෙනවා. 

ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට ආවට පස්සේ මේ 40% ඉතුරුම් අනුපාතයෙන් වුනත් කළ හැක්කේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත සපයන එක පමණයි. ඒ නිසා, ඉතුරුම් අනුපාතය වැඩි කළා කියලත් ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය කරන්න බැහැ. නමුත් ඉතුරුම් අනුපාතයේ මෙවැනි විශාල වැඩිවීමක් සිදු වුනොත් දශක කිහිපයක් පුරා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව වගේ රටවල ඔය වැඩේ සිදු වුනා. පසුව වර්ධන වේගය අඩු වුනත්, ඒ කාලය ඇතුළත රටට වෙනම ලෙවල් එකකට යන්න පුළුවන්. 

දැන් ඔය වැඩේ වෙන්නේ රටේ දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරලා ආයෝජන අනුපාතය වැඩි කළ විටනේ. ඊට අමතරව විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම මගින් දේශීය ඉතුරුම් අනුපාතය වැඩි නොකර ආයෝජන අනුපාතය වැඩි කරන්න පුළුවන්. ලංකාව කාලයක් තිස්සේම කළේ ඔය වැඩේ. උදාහරණයක් විදිහට දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, තව 5%ක විදේශ ප්‍රාග්ධනය රටට ආවොත්, ආයෝජන අනුපාතය 25% දක්වා උස්සගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධන වේගයද කෙටිකාලීනව ඉහළ යනවා. 

නමුත් මේ විදිහට විදේශ ආයෝජන වල උදවුවෙන් වැඩිපුර ප්‍රසාරණය කරපු ආර්ථිකය ඒ මට්ටමේ තියා ගන්නනම් දිගටම ආයෝජන අනුපාතය 25% මට්ටමේම තියා ගන්න වෙනවා. ඒක කරන්නම් සෑම වසරකදීම දදේනියෙන් 5%කට සමාන විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. නැත්නම් වෙන්නේ අර කලින් වර්ධනය වූ වේගය අඩු වෙන එක පමණක් නෙමෙයි. රටේ ආයෝජන අනුපාතය පහත වැටීම නිසා, විදේශ ප්‍රාග්ධනයේ උදවුවෙන් වර්ධනය වූ කොටස නැවත හැකිලෙනවා.

රටකට විදේශ ප්‍රාග්ධනය එන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ණය ලෙස සහ සෘජු විදේශ ආයෝජන ලෙස. ගොඩක් වෙලාවට රජය මැදිහත් වෙලා කරන්නේ විදේශ ණය ගන්න එක. එහෙම විදේශ ණය අරගෙන ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් ක්ෂණිකව ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් ගත්ත ණය ආපසු ගෙවන්න වෙද්දී ඒ වර්ධනය වූ ප්‍රමාණය නැවත හැකිලෙනවා. එය වලක්වා ගන්නනම්, ඒ ණය ගෙවීම සඳහා නැවතත් විදේශ ණය ගන්න වෙනවා. 

එහෙම තවත් විදේශ ණය ගත්තත් ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න බැහැ. කරන්න පුළුවන් ආර්ථිකය හැකිළෙන එක වලක්වා ගන්න පමණයි. විදේශ ණය වල උදවුවෙන් ආර්ථික වර්ධනය වේගය දිගටම ඉහළ මට්ටමක තියාගන්නනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නවාට අමතරව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා.

අපි හිතමු දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා. වැඩිපුර 1% විදේශ ණය. දැන් ආර්ථික වර්ධන වේගය කලින් වේගයට වඩා වැඩියි. නමුත් ඊළඟ අවුරුද්දේ ඔය වැඩි වූ වේගය තියාගන්නනම් අලුතෙන් 2%ක් විදේශ ණය ගන්න වෙනවා. පරණ ණය ගෙවන්න 1%ක් සහ වර්ධන වේගය තියා ගන්න තවත් 1%ක් විදිහට. තුන් වන අවුරුද්දේදී විදේශ ණය ප්‍රමාණය 3% දක්වා වැඩි කරන්න වෙනවා. මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.

ඉහත විස්තර කළ පරිදි 1%,  2%, 3% ආදී වශයෙන් විදේශ ණය ගැනීම් වැඩි කරන්න වෙන්නේ වසරකින් පසුව ණය ආපසු ගෙවිය යුතුනම්. නමුත් සාමාන්‍යයෙන් විදේශ ණය ගන්නේ ඊට වඩා දීර්ඝ කාලයකට නිසා ඔය පිරමිඩය යම් කාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය වර්ධනය කරන එක කිසිසේත්ම තිරසාර ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2005-2014 කාලයේදී ණය ලෙස රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය නිසා ආර්ථික වර්ධන වේගය ඉහළ ගියත්, ඒ වර්ධන වේගය පවත්වා ගත හැකි පරිදි දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා, පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා. 

විදේශ ණය වලට සාපේක්ෂව සෘජු ආයෝජන වල තිබෙන වාසිය වන්නේ, විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයේ හා දදේනියේ ස්ථිර වැඩිවීමක් සිදු විය හැකි වුවත්, මේ ක්‍රමයෙන් වුවත් වර්ධන වේගය දිගින් දිගටම ඉහළ මට්ටමක තියා ගන්න බැහැ. 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා. 

ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ක්‍රමෝපාය ගැන හිතන්න වෙන්නේ මේ තත්ත්වයන් එක්කයි. ක්‍රමෝපාය වලට එද්දී ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවට දේශපාලනය සම්මුඛ වෙනවා. ආර්ථික විද්‍යාව විසින් මාර්ගෝපදේශනයක් පමණක් සිදු කරන, එහෙත් නිශ්චිත පිළිතුරක් නොසපයන ප්‍රශ්න වලට විකල්ප පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මම දකින විකල්පය වන්නේනම්, විදේශ ප්‍රාග්ධනය පස්සේ පන්නන එක වෙනුවට දේශීය ඉතිරි කිරීම් වැඩි කරගැනීම ගැන හිතන එක. 

මෑතකදී වේගවත් වර්ධනයක් පෙන්වා ඇති ආසියානු රටවල් බොහොමයක වර්ධනයට හේතු වුනේ දේශීය ඉතුරුම් අනුපාතය විශාල ලෙස ඉහළ යාම සහ ඒ ඉහළ අනුපාතය කාලයක් එම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමයි. ගයනාව වැනි සමහර රටවල් වලට ඇදුනු "ලොතරැයි" නිසා දේශීය ඉතුරුම් අනුපාතය ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා. ඒවා අහම්බ. එවැනි අහම්බ සිදු නොවේනම්, මේ සඳහා නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් දිගටම පවත්වාගෙන යාම වගේම සංස්කෘතික, චර්යාමය වෙනසකුත් අවශ්‍ය වෙනවා.

රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ඒ වෙනස විදේශ ප්‍රාග්ධනය ලෙස මූල්‍ය ගිණුම හරහා රටට ඇවිත් කියන එක. මහ බැංකු මැදිහත් වීමක් නැත්නම්, මූල්‍ය ගිණුම හරහා ප්‍රාග්ධනය රටට ඇවිත් කියන්නේ ජංගම ගිණුම හරහා ඊට සමාන විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගිහින් කියන එක. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එක. මේ හේතුව නිසා, දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්. 

තිරසාර ලෙස රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්නනම්, රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා පහළින් තියාගන්න වෙනවා. ආයෝජන අනුපාතය අඩු වීම, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ආර්ථික වර්ධනය බාල කරනවා. ඒ නිසා, ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන රටේ විදේශ අංශය ස්ථාවරව තියා ගන්නා අතරම, ආර්ථික වර්ධන වේගයද ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් එකම ක්‍රමය දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරගන්න එක. රජයේ පැත්තෙන්, රටේ පුනරාවර්තන වියදම් පහළ මට්ටමක තියා ගැනීම මගින් මෙයට දායක වෙන්න පුළුවන්. ඉතිරි කොටස තියෙන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ගේ අතේ. 

පහත තිබෙන්නේ 2023දී තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතුරුම් අනුපාත දදේනි ප්‍රතිශත ලෙස.

සිංගප්පූරුව - 58.41%

චීනය - 43.24%

වියට්නාමය - 36.84%

ඉන්දුනීසියාව - 38.12%

කාම්බෝජය - 33.60%

දකුණු කොරියාව - 32.17%

ඉන්දියාව - 29.51%

මාල දිවයින - 31.50%

බංග්ලා දේශය - 25.8%

ශ්‍රී ලංකාව - 22.40%

Wednesday, October 8, 2025

රාජ්‍ය ව්‍යාපාර වල ලාබ හා ලාභාංශ


රාජ්‍ය ව්‍යාපාර ගණනාවක ලාබ හා ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දීමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කා. සංසන්දනයක් නොකර මිලියන ගණන් වලින් කතා කළාම එක පාරටම කෙනෙකුට පේන්නේ කලින් නොලැබුණු ආදායමක් අලුතෙන් ලැබුනා වගෙයි. 

නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තුමේන්තුවේ නිල ගිණුම් වාර්තා අනුව පේන විදිහටනම්, පළමු මාස හයේ සමස්තයක් ලෙස රාජ්‍ය ව්‍යාපාර වලින් භාණ්ඩාගාරයට ලැබුණු ලාබ වගේම ලාභාංශත් පසුගිය අවුරුද්දට වඩා විශාල ලෙස අඩු වෙලයි තියෙන්නේ. 

ලාභ (ආදායම් කේතය 2002.03.00): 

2025 පළමු මාස හය: රුපියල් 10,666,895,062

2024 පළමු මාස හය: රුපියල් 12,936,599,810

අඩු වීම: 17.5%


ලාභාංශ (ආදායම් කේතය 2002.04.00): 

2025 පළමු මාස හය: රුපියල් 1,540,338,315

2024 පළමු මාස හය: රුපියල් 1,970,635,715

අඩු වීම: 21.8%

ඒ වගේම, මම දන්නා තරමින් රාජ්‍ය ආයතන වල ලාභ හා ලාභාංශ භාණ්ඩාගාරයට යවන එක සාමාන්‍යයෙන් උත්සවශ්‍රීයෙන් කරන දෙයක් නෙමෙයි. එසේ කළ යුතු දෙයකුත් නෙමෙයි. මේවා පරිගණකයක යතුරු පුවරුව ඔබලා කරන්න පුළුවන් සරල වැඩ. 

"ව්‍යාපාර කරන්න නොදන්න අය හා හොරකම ජීවිකාව වුනු අය රාජ්‍ය ව්‍යාපාර කළාම ඒවා විනාශ වෙනවා" කියලත් කියලා තියෙනවා. හේතුව ඕකනම්, එහෙම විනාශ වෙන රාජ්‍ය ව්‍යාපාර මොනවද කියලා හොයා ගන්න එකයි දැන් කරන්න තියෙන්නේ. 

ඩොලර් බිලියන හතේ සංචිත ඉලක්කය

 

සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙන බව කලින් සටහනේ ලිවුවා. අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ මාස තුනක් පමණයි. පසුගිය මාස වල රටාව අනුවනම්, ඔය මාස තුනක කාලය ඇතුළත මහ බැංකුවට ඩොලර් මිලියන 500ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් තමයි වෙළඳපොළෙන් මිල දී ගැනීමේ හැකියාවක් තිබෙන බව පෙනෙන්නේ. 

අවසන් කාර්තුව ඇතුළත ඉන්දියාවට ඩොලර් මිලියන 225ක් ගෙවන්න වෙනවා. මූල්‍ය අරමුදලේ පරණ ණය වෙනුවෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළොත්, සංචිත වැඩි වෙන්න ඉඩ තිබෙන්නේ තව ඩොලර් මිලියන 200කින් පමණ වෙන්න පුළුවන්. එහෙම වුනොත්, වසර අවසන් වෙද්දී සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 වගේ මට්ටමකට වඩා වැඩි නොවෙන්න පුළුවන්. 

නමුත් මේ දවස් වල මූල්‍ය අරමුදලේ පස්වන විමර්ශනය සිදු වෙනවා. එය අවසන් වීමෙන් පසුව සහ අයවැය සම්මත කර ගැනීමෙන් පසුව, හයවන වාරිකය ලැබීමට නියමිතයි. ඒ එක්කම, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන්ද කලින් පොරොන්දු වූ ණය වාරික ලැබීමට නියමිතව තිබෙනවා. මෙම මුදල් වසර ඇතුළත ලැබුනොත්, වසර අවසන් වෙද්දී නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවන්න ඉඩ තිබෙනවා. එසේ වුවත්, මේ මුදල් ලැබෙන එක ජනවාරි හෝ පෙබරවාරි දක්වා කල් යන්න බැරිකමකුත් නැහැ. එහෙම වුනොත් බිලියන 7 ඉලක්කයට යන්න වෙන්නේ තරමක් පහු වෙලා.

ඇත්තටම වසර අවසන් වෙද්දී ඩොලර් බිලියන හතක සංචිත ඉලක්කයකට යා යුතුමද? මූල්‍ය අරමුදල විසින් එවැනි ඉලක්කයක් දී තිබෙනවද?

මේ ප්‍රශ්නයට පිළිතුර ඔව් වගේම නැහැ. මූල්‍ය අරමුදල විසින් ඔය විදිහේ ඉලක්කයක් දීලා නැහැ. ඔවුන් කරලා තිබෙන්නේ වසර අවසානයේ තිබිය හැකි සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන එක. විදේශ සංචිත ඉලක්ක ඇත්තටම කිවුවොත් මූල්‍ය අරමුදල විසින් දී තිබෙන ඉලක්ක නෙමෙයි. ඒවා ලංකාවේ දිගුකාලීන ඉලක්කයක පියවර කියා කියන එක වඩා නිවැරදියි. 

මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට ගිය කාලය නැවත මතක් කර ගත්තොත්, ඒ වෙද්දී රටේ ආනයන හා අදාළව මෙන්ම විදේශ විණිමය හා අදාළවද සීමා කිරීම් ගණනාවක් කරලයි තිබුණේ. විදේශ විණිමය ප්‍රශ්නය හේතුවෙන් එසේ කරන්න සිදු වී තිබුණා. මූල්‍ය අරමුදලේ කොන්දේසිය වුනේ ඔය සියලුම සීමාවන් ක්‍රමයෙන් ඉවත් කළ යුතු බව. මේ වෙද්දී ඔය වැඩේ කරලා අවසානයි. වාහන ආනයන සීමාව තමයි අන්තිමටම ඉවත් කළ යුතුව තිබුණේ.

මේ සීමා ඉවත් කිරීමෙන් පසුව විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන්න ඉඩ දිය යුතු බව තමයි මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසියක් වුනේ. ඒ කියන්නේ විණිමය අනුපාතය මත මහ බැංකුව විසින් මැදිහත් කිරීම් සිදු නොකළ යුතු බවයි. රට ඔය තරම්ම අර්බුදයකට ගියේ මහ බැංකු මැදිහත්වීම් මගින් විණිමය අනුපාතය පාලනය කරන්න ගිහින් කියන එක තවමත් ගොඩක් අයට මතක ඇතිනේ. 

නමුත් මහ බැංකුවේ විදේශ සංචිත බිංදුවටම හිඳිලා බිංදුවෙනුත් පහළට ගිහින් ණය වෙලා තිබුණු පසුබිමක මහ බැංකුව විසින් හැකි ඉක්මණින් යම් අවම විදේශ සංචිත ප්‍රමාණයක් ගොඩ නගා ගත යුතුව තිබුණා. ඒ සඳහා පමණක් මහ බැංකුවට විණිමය වෙළඳපොළට මැදිහත්වීම් කිරීමට ඉඩක් ලැබුණා. 

රට විදේශ විණිමය අර්බුදයකට ගියේ ණය ගෙවීම සඳහා අලුත් ණය ලබා ගත නොහැකි වූ නිසා කියලත් කියන්න පුළුවන්නේ. මූල්‍ය අරමුදල විසින් සකස් කළ වැඩ සටහනේ ප්‍රධානම ඉලක්කයක් වුනේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය දියුණු කිරීම. ඒ අනුව, වැඩ සටහනේ අපේක්ෂාව වුනේ වැඩසටහන ක්‍රියාත්මක වන කාලය ඇතුළත ක්‍රමක්‍රමයෙන් විදේශ ප්‍රාග්ධනය රටට එයි කියන එකයි. මෙහි විදේශ ප්‍රාග්ධනය යන්නෙන් අදහස් කළේ ජංගම ගිණුමට එන අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක ඉපැයීම් වැනි විදේශ විණිමය ඉපැයීම් නෙමෙයි. ආයෝජන ලෙස රටට එන, නැවත ආපසු යා හැකි විදේශ විණිමය.

ආයෝජන ලෙස මූල්‍ය ගිණුම හරහා රටට එන විදේශ විණිමය වලින් තමයි විදේශ සංචිත ගොඩ නගා ගන්න සැලසුම් කර තිබුණේ. නමුත් රටට ඒ විදිහට විදේශ විණිමය රැගෙන එන කෙනෙක් එසේ කරන්නේ එම විදේශ විණිමය තමන්ට අවශ්‍ය විටක රටෙන් නැවත ආපසු රැගෙන යා හැකියි කියන විශ්වාසය හා සහතිකය ඇත්නම් පමණයි. මහ බැංකුව විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වන තරමට ඒ සහතිකය නැති වෙනවා. නමුත් පැවති තත්ත්වය තුළ රටේ විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා මැදිහත්වීම් කරන්නත් සිදු වෙනවා.

ඔය දෙපැත්තම බේරා ගත හැකි ක්‍රමයක් ලෙස වැඩ සටහන ආරම්භයේදී ඉදිරි එක් එක් වසර සඳහා විදේශ සංචිත වැඩි කර ගැනීමේ ඉලක්ක සකස් කළා. මේ ඉලක්ක අවම ඉලක්ක නෙමෙයි. රටට ප්‍රාග්ධනය රැගෙන එන අයගේ පැත්තෙන් බලා ඉදිරිපත් කළ උපරිම ඉලක්ක කියන එකයි වඩා නිවැරදි. ඒ කියන්නේ එක් එක් වර්ෂය තුළ මේ ඉලක්ක දක්වා විදේශ සංචිත වැඩි කරගත්තොත්, මහ බැංකුව විසින් එයින් එහාට තව දුරටත් මැදිහත් වීම් කරන්නේ නැහැ.  

පහත තිබෙන්නේ වැඩ සටහන ආරම්භයේදී සකස් කළ ඉලක්ක.

2023 අවසානයේදී - ඩොලර් මිලියන 4,431

2024 අවසානයේදී - ඩොලර් මිලියන 6,128

2025 අවසානයේදී - ඩොලර් මිලියන 8,520

2026 අවසානයේදී - ඩොලර් මිලියන 10,888

2027 අවසානයේදී - ඩොලර් මිලියන 14,208

2028 අවසානයේදී - ඩොලර් මිලියන 15,875

ඔය විදිහට ඉලක්ක හැදුවට පස්සේ ලංකාවේ පැත්තෙන් කරන්න තිබෙන හොඳම දේ ඔය ඉලක්ක මට්ටම දක්වා සංචිත වැඩි කරගන්න එක. නමුත් ඒ වැඩේ කරගන්න බැරි වුනා කියලා මූල්‍ය අරමුදල එය ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ පැත්තෙන් දමලා තිබෙන්නේ මහ බැංකු මැදිහත්වීම් පිළිබඳ උපරිම සීමාවක්. 

ලංකාවේ පැත්තෙන් බැලූ විට සංචිත පුළුවන් තරම් වැඩි කරගන්න එක හොඳයි වගේ පෙනුණත්, මහ බැංකුවට මැදිහත් වී සංචිත වැඩි කරගන්නනම් රටට විදේශ ප්‍රාග්ධනය අවශ්‍ය පමණ පැමිණිය යුතුයි. නමුත් මහ බැංකුව ඕනෑවට වඩා මැදිහත් කිරීම් කළොත්, ඒ හේතුව නිසාම රටට විදේශ ප්‍රාග්ධනය පැමිණෙන එක සීමා වෙනවා. ඔය පසුබිම තුළ, මූල්‍ය අරමුදල වැනි තෙවන පාර්ශ්වයක් විසින් ඔය විදිහේ අනාගත සැලසුමක් සකස් කර ඉදිරිපත් කළ විට අවිනිශ්චිතතාවය අඩු වෙනවා.

දැන් මේ සැලසුමේ විදිහට සංචිත එකතු වුනොත්, 2028 වෙද්දී රටට අවශ්‍ය සංචිත ප්‍රමාණය එකතු වෙලා ඉවරයි. ඉන් පසුව, සංචිත ගොඩ නැගීමක් අවශ්‍ය වන්නේ නැහැ. ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ඊට අනුරූපව යම් වැඩි වීමක් වෙනවා පමණයි. ඒ වගේම, මේ සංචිත එකතු කරගන්නේ 2028දී ණය ආපසු ගෙවන්න නෙමෙයි. එය වැරදි අදහසක්. ණය ගෙවන්න වෙන්නේ එක්කෝ තව ණය අරගෙන. එහෙම නැත්නම් උපයන විදේශ විණිමය ඉතිරි කරලා. සංචිත පවත්වා ගන්නේ අලුත් ණය ලබා ගැනීමේදී ඒ ණය නැවත ආපසු ගෙවීමේ හැකියාව තහවුරු කිරීම සඳහායි.

ඔය විදිහට මුලින්ම සංචිත ඉලක්ක හැදුවට පස්සේ මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කළා. ඒ අවස්ථාවේදී ඔවුන්ට පෙනී ගියේ කලින් හිතපු තරමටම සංචිත වැඩි වීමක් සිදු වීමේ ඉඩක් නොමැති බවයි. නමුත් දෙවන විමර්ශනය වන විට ලැබී තිබුණු දත්ත අනුව, 2023 අවසානයේදී සංචිත ප්‍රමාණය මුල් ඇස්තමේන්තු කිට්ටුවටම ගිහින් තිබුණා. ඒ නිසා, 2024 ඇස්තමේන්තුව තරමක් උඩට දැම්මා. නමුත් මුල් ඉලක්කයට වඩා අඩුයි. එහෙත් 2025 සිට පසු වසර වල ඇස්තමේන්තු තවත් පහළට දැම්මා.

කෙසේ වුවත්, 2024 වසර අවසන් වෙද්දී, 2023දී වගේම, මුල් ඇස්තමේන්තුව ආසන්නයටම සංචිත වැඩි වෙලා තිබුණා. ඒ කියන්නේ ඔය අවුරුදු දෙකේදීම එකතු කර ගත හැකි උපරිම ප්‍රමාණයම මෙන් මහ බැංකුව විසින් එකතු කර ගෙන තිබුණා. 

2023 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 4,431

2023 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 4,392

2024 මුල් ඉලක්කය - ඩොලර් මිලියන 6,128

2024 සත්‍ය විදේශ සංචිත - ඩොලර් මිලියන 6,122

ඉන් පසුව පැවති තුන්වන හා හතරවන විමර්ශන වලදීද 2025 සිට ඉදිරි වසර සඳහා විදේශ සංචිත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. හතරවන විමර්ශනයේ 2025 වර්ෂාවසාන විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුව තමයි ඩොලර් මිලියන 7,255 කියන්නේ. මෙය අරමුදලේ පැත්තෙන් ඇස්තමේන්තුවක් මිසක් අනිවාර්යයෙන් ලඟා කරගත යුතු ඉලක්කයක් නෙමෙයි. නමුත් ලංකාවේ පැත්තෙන් බලද්දී ලඟා කරගත්තානම් හොඳ ඉලක්කයක්. මුල්ම ඉලක්කය වූ ඩොලර් මිලියන 8,520 දක්වාම යන්න පුළුවන්කමක් තිබුණානම් තවත් හොඳයි. නමුත් දැන් ඒ ගැන කතා කරලාවත් වැඩක් නැහැනේ. 

දැන් පෙනෙන විදිහට ඩොලර් මිලියන 7,255 ඉලක්කයට යන්න තවමත් බැරිකමක්ම නැතත්, බැරි වෙන්න තමයි වැඩි ඉඩක් තිබෙන්නේ. මේ විදිහට ඉලක්කයට යන්න බැරි වුනේ ඇයි?

මීට හේතුව වාහන ආනයනනම් නෙමෙයි. ඔය ඉලක්ක හා ඇස්තමේන්තු මුල සිටම සකස් කර තිබුණේ වාහන ආනයන නිදහසේ සිදු වෙනවා කියන පදනමිනුයි.

මුල් ඇස්තමේන්තුව (2023 මාර්තු)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 22,506

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 1,077

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 8,520

මෙහි පෙනෙන පරිදි, ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 22,506ක් වැය කරලා, වර්ෂය තුළ උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,077ක් වියදම් කළාටත් පසුවයි ඔය සංචිත ප්‍රමාණයට යන්න පුළුවන් වෙයි කියලා ඇස්තමේන්තු කරලා තිබුණේ. ඒ කියන්නේ සංචිත ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ මූල්‍ය ගිණුමට. 

මේ මුල් ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසුව, අරමුදලේ විමර්ශන හතරකදීම ඉහත ඇස්තමේන්තු යාවත්කාලීන කෙරුණා. පහත තිබෙන්නේ හතරවන විමර්ශනයේ ඇස්තමේන්තු.

හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව (2025 ජූලි)

2025 ආනයන වියදම - ඩොලර් මිලියන 21,363

ජංගම ගිණුම් හිඟය - ඩොලර් මිලියන 36

වර්ෂාවසාන සංචිත ප්‍රමාණය - ඩොලර් මිලියන 7,255

දැන් මේ අවසන් ඇස්තමේන්තු අනුව වුනත්, ජංගම ගිණුමේ අතිරික්තයක් නැහැ. සුළු වුවත්, තිබෙන්නේ හිඟයක්. ඒ කියන්නේ උපකල්පනය වී තිබෙන්නේ මහ බැංකුව මැදිහත් නොවී, ආනයන ආදිය වෙනුවෙන් උපයන විදේශ විණිමය සියල්ල වැය කරන්න ඉඩ හරියි කියන එකයි. එහෙමනම්, මහ බැංකුවට සංචිත වැඩි කර ගන්න වෙන්නේ මූල්‍ය ගිණුමට එන විදේශ විනිමය එකතු කරගෙනයි. 

පසුගිය අගෝස්තු මාසය දක්වා වූ මාස අටක කාලය ඇතුළත ආනයන සඳහා ඩොලර් මිලියන 13,341ක් වැය වී තිබෙනවා. මේ අනුව, වසර අවසන් වෙද්දී ආනයන වියදම මුල් ඇස්තමේන්තුවේ සඳහන් ඩොලර් මිලියන 22,506 මට්ටමට යාමේ ඉඩක් පෙනෙන්න නැහැ. බොහෝ විට හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව වූ ඩොලර් මිලියන 21,363 මට්ටමටවත් යන එකක් නැහැ. ඒ කියන්නේ කලින් සැලසුම් කළ මට්ටමට සාපේක්ෂව ආනයන වියදම් අඩු වෙලා මිසක් වැඩිවීමක් වෙලා නැහැ.

වැදගත්ම කාරණය පළමු මාස අට ඇතුළත ජංගම ගිනුමේ ඩොලර් මිලියන 2,040ක අතිරික්තයක් වාර්තා වී තිබීමයි. වසර අවසන් වන විට මේ අතිරික්තය තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළ යා හැකියි. නමුත් හතරවන විමර්ශනයේ ඇස්තමේන්තුව අනුව වුනත් තිබෙන්නේ ඩොලර් මිලියන 36ක හිඟයක්. ඒ කියන්නේ අනෙක් හැම දෙයක්ම ඇස්තමේන්තු වල විදිහට සිදු වුනානම්, දැනටම තිබෙන අතිරික්තය හේතුවෙන්, වර්ෂාවසාන සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,255ටත් වඩා මිලියන 2,076කින් වැඩි විය යුතුයි. එහෙමනම්, එවැන්නක් සිදු නොවුනේ ඇයි?

මීට හේතුව මූල්‍ය ගිණුම හරහා හිතපු තරමට විදේශ විණිමය නොලැබීම. කෙටියෙන් කිවුවොත් රටට හිතපු තරමට ආයෝජන නොපැමිණීම. උදාහරණයක් විදිහට, මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, පළමු මාස හය ඇතුළත සෘජු ආයෝජන ලෙස ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 314ක් පමණයි. එයිනුත් බාගයක්ම නැවත ආයෝජනය කළ පසුගිය වසරේ ලාබ. ඒ කියන්නේ ඇත්තටම රටට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 157ක් පමණයි. එයින් කොටස් ආයෝජන ලෙස ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 62යි. ආයෝජන මණ්ඩලය හරහා ඩොලර් මිලියන 18ක් හා කොටස් වෙළඳපොල හරහා ඩොලර් මිලියන 44ක් ලෙස. ඉතිරි කොටස ණය. මේවා සොච්චම් ගණන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (ආයෝජන මණ්ඩලයේ දත්ත අනුවනම්, ආයෝජන ප්‍රමාණය මීට වඩා වැඩියි. වෙනසට හේතුව මම දන්නේ නැහැ.)

සෘජු විදේශ ආයෝජන වල අඩුවටත් වඩා, මෙහි වැඩිපුරම තිබෙන්නේ රජයට මූල්‍ය ගිණුම හරහා ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අරමුදල් වල අඩුව කියලයි මම හිතන්නේ. ඉලක්ක කළ තරමට සංචිත වැඩි නොවීමට ප්‍රධානම හේතුව එය විය යුතුයි. 

යම් හෙයකින් මේ අරමුදල් අපේක්ෂිත පරිදි ලැබුණානම්, ඒ අරමුදල් එකතු වෙන්නේ විදේශ ණය ගොඩටයි. පෙරලුනු පැත්ත හොඳයි කීමක් නොවුනත්, ඒ නිසා විදේශ ණය වර්ධනය සීමා වීමකුත් වෙනවා. ඒ හරහා යම් දුරකට සංචිත වර්ධනය නොවීමේ හානිය මග හැරෙනවා. නමුත් ආර්ථික වර්ධනය කෙරෙහි වන බලපෑම සහ අරමුදලේ වැඩ සටහන අවසන් වෙද්දී නැවත ණය ලබා ගත හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රධාන ඉලක්කය එක්ක බලද්දී මේ තත්ත්වය හොඳ තත්ත්වයක් කියන්න බැහැ. ණය ගන්න පුළුවන්කම තියෙද්දී ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් වුනත්, ණය ගන්න බැරි නිසා ණය නොගෙන සිටීම හොඳ තත්ත්වයක් නෙමෙයි. 

Tuesday, October 7, 2025

දළ නිල සංචිත - සැප්තැම්බර් 2025


සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 65ක වැඩිවීමක්. එහෙත්, පසුගිය සැප්තැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 177.3ක් මිල දී ගෙන තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ එසේ මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් ණය ආපසු ගෙවීම සඳහා වැය කර ඇති බවයි. මේ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල මීට වඩා වැඩි වැඩිවීමක් සිදු වී තිබිය යුතුයි. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් යනු මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි.

Monday, October 6, 2025

අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්!


ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් තිබුණේ මේ පහළ ආදායම් කාණ්ඩයේ. 

වසර 37කට පසුව, 2024 වන විටත්, ඉහත රටවල් වලින් 21ක්ම පහළ ආදායම් රටවල්. මේ රටවල් 21 අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට අනෙක් රටවල් 20ම අප්‍රිකානු රටවල්. ලංකාව ඇතුළු රටවල් 23ක් මෙම වසර 37ක කාලය ඇතුළත තමන්ගේ වර්ගීකරණය පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නංවාගෙන තිබෙනවා. මාල දිවයින, චීනය, ඉන්දුනීසියාව සහ සමක ගිනියාව යන රටවල් හතර ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා පියවර දෙකක් ඉදිරියට ගොස් තිබෙනවා. මෙයින් රටවල් තුනක්ම ලංකාවට සමීප ආසියානු රටවල්. වසර 37ක කාලයක් ගැනීමෙන් පසුව පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාමට සමත් වී තිබෙන්නේ ලෝකයේ රටවල් අතරින් එකම එක රටක් පමණයි. ඒ දකුණු ඇමරිකානු කලාපයේ පිහිටි ගයනාව. 

මේ දත්ත දෙස බලද්දී පැහැදිලි වන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න වසර 37ක් වැනි කාලයකට පසුව වුවද, කිසියම් රටක් පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටම දක්වා යාම ඉතා දුලබ සිදු වීමක් බවයි. දෙවන කරුණ වන්නේ මෙවැනි කාලයක් ගත වෙද්දී බොහොමයක් රටවල් පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බවයි. එනම් එය කාලයත් සමඟ බොහෝ විට සිදුවන දෙයක් බවයි. එමෙන්ම, මෙවැනි කාලයක් තුළ ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ නැගීම, එතරම්ම පහසු නැති, එහෙත් කළ හැකි දෙයක් බවයි. 

මෙම නිරීක්ෂණද සමඟ පසුගිය 37 වසරක ලංකාවේ ප්‍රගතිය දෙස බලද්දී පෙනී යන්නේ ලංකාවේ තත්ත්වයෙහි ලෝකයේ අනෙක් රටවල තත්ත්වයන්ට සාපේක්ෂව විශේෂ හොඳක් මෙන්ම විශේෂ නරකක්ද පෙනෙන්නට නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත් "37 වසරක සාපයක්" හෝ "37 වසරක ඓශ්චර්යයක්" පෙනෙන්නට නොමැති බවයි. 

ඇත්ත වශයෙන්ම, රටක ආර්ථික වර්ධනය හා අදාළව "සාප" හෝ "ඓශ්චර්යයන්" දැකිය හැකි වන්නේ කලාතුරකිනුයි. බොහෝ විට දැකිය හැකි වන්නේ කලාපය වර්ධනය වන වේගයෙන් අදාළ කලාපයේ රටවල්ද වර්ධනය වීමයි. එම වර්ධන වේගය ඉහළ දමා රටක් වසර කිහිපයකින් ධනවත් රටක් කළ හැකි "ක්ෂණික ප්‍රතිකාර" තිබේනම්, වසර 37ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහළ ආදායම් රටවල් අතරින් වැඩි ප්‍රමාණයක් ඉහළ ආදායම් රටවල් බවට පත් වී තිබිය යුතුයි. 

එහෙත්, පසුගිය වසර 37ක කාලය තුළ, අපට ලෝකය තුළ දැකිය හැකිව තිබෙන්නේ එවැනි එක් නිදර්ශයක් පමණයි. ඒ ගයනාවයි. මතු විස්තර කෙරෙනු ඇති පරිදි, ගයනාවේ ප්‍රගතිය පසුපස ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේද දක්ෂිණාංශික හෝ වාමාංශික මූලධාර්මික න්‍යායයන් නොව වාසනාව යන සාධකයයි. ඒ නිසා, ගයනාව අනුගමනය කර ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට ආර්ථික වර්ධනය ඒ තරමටම වේගවත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කෙසේ වුවද, වාසනාවට අමතරව ගයනාවේ තත්කාර්යවාදී ක්‍රමෝපායික ප්‍රවේශයද ආර්ථික වර්ධනය කෙරෙහි දායක වී තිබෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි දැකිය හැකි පරිදි, ගයනාව යනු 1987දී දකුණු ඇමරිකානු කලාපය තුළ පිහිටි එකම පහළ ආදායම් රටයි. එමෙන්ම, දකුණු ඇමරිකාවේ පිහිටි ස්වාධීන රාජ්‍යයන් අතරින්, එකම බ්‍රිතාන්‍ය යටත් විජිතය වන්නේද, ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වූ එකම රට වන්නේද ගයනාවයි. මුලින් කලාපය සමඟ එකට වර්ධනය නොවීමට මෙන්ම පසුව වේගයෙන් වර්ධනය වීමටද මේ සාධක දායක වී තිබෙනවා. 

පසුගිය වසර 37ක කාලය ඇතුළත ගයනාවේ ආර්ථිකය වර්ධනය වූයේ පහත ආකාරයෙනුයි.

1987-2019 සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය - 2.77%

2020 - 43.51%

2021 - 18.88%

2022 - 62.11%

2023 - 33.03%

2024 - 42.56%

මේ අනුව පෙනෙනු ඇත්තේ 2020 සිට ගයනාවේ ආර්ථිකය, හිතා ගැනීමට පවා අසීරු, "ඓශ්චර්යමත්" වේගයකින් වර්ධනය වෙමින් ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2020දී ඇමරිකන් ඩොලර් 6,776 වූ ගයනාවේ ඒක පුද්ගල දදේනිය වසර හතරකට පසුව ඇමරිකන් ඩොලර් 29,884 දක්වා 4.4 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

රටක ආර්ථික වර්ධනය හා අදාළව කලාතුරකින් මෙවැනි "ඓශ්චර්යයන්" සිදු වනු දැක ගත හැකියි. එහෙත් එවැනි "ඓශ්චර්යයන්" බොහෝ විට අහඹු සිදු වීම් වල ප්‍රතිඵල පමණයි. ගයනාවේ ආර්ථික ඓශ්චර්යයේ රහස ගයනාවට අයිති මුහුදෙන් තෙල් හමුවීමයි.

මේ වන විට ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ ජනතා ප්‍රගතිශීලී පක්ෂයයි. 2015-2020 වසර පහක කාලය හැරුණු විට දිගටම ගයනාවේ රාජ්‍ය බලය හොබවන්නේ එම පක්ෂයයි. මුලින් මාක්ස්-ලෙනින්වාදී පක්ෂයක් වූ එම පක්ෂය මේ වන විට මධ්‍ය-වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස රූපාන්තරණය වී තිබෙනවා. කෙසේ වුවත්, ගයනාවේ දේශපාලනය තීරණය කරන ප්‍රධාන සාධකය වන්නේ මතවාදී නැඹුරුව නොව ජනවාර්ගික බෙදීමයි. 

ගයනාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් බ්‍රිතාන්‍යයන් විසින් රැගෙන ආ ඉන්දියානු හා අප්‍රිකානු කම්කරුවන්ගෙන් පැවත එන අයයි. ඉන්දියානු ජනගහණය 40%ක් පමණ වන අතර අප්‍රිකානු ජනගහණය 30%ක් පමණද, ස්වදේශික ඇමරිකානු ජනගහණය 10%ක් පමණද වෙනවා. ඉතිරි 20% මිශ්‍ර වී ඇති අයයි. ජනතා ප්‍රගතිශීලී පක්ෂය ප්‍රධාන වශයෙන්ම ඉන්දියානුවන්ගේ පක්ෂයක් වන අතර 2015-2020 අතර බලයේ සිටි සන්ධානය බොහෝ දුරට අප්‍රිකානුවන්ගේ පක්ෂයක්. ජනවාර්ගික පදනම මත දේශපාලනය කරන මෙම පක්ෂ දෙකෙහි ආර්ථික ප්‍රතිපත්ති වල විශාල වෙනසක් නැහැ. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ගයනා ආර්ථිකය ඉදිරි වසර 5ක කාලය තුළද 14%ක සාමාන්‍ය වේගයකින් වර්ධනය වීමට නියමිතයි. ඒ අනුව, වසර පහකට පසුව, ගයනාවේ ඒක පුද්ගල ආදායම කැනඩාවේ මට්ටම ආසන්නයට පැමිණීමට නියමිතයි. කෙසේ වුවත්, මේ "ඓශ්චර්යය" පසුපස ඇති ප්‍රධානම සාධකය ගයනා මුහුදෙන් තෙල් හමු වීම සහ ලක්ෂ අටකට මදක් වැඩි එරට කුඩා ජනගහණයයි. යම් හෙයකින් ලංකාව ආසන්න මුහුදෙන් තෙල් හමු වුවද, මිලියන 23 ඉක්මවන ජනගහණයකගේ ආදායම් ගයනාවේ තරම් වේගයෙන් ඉහළ යන එකක් නැහැ. 


ගයනාව වැනි රටකට තෙල් වාසිය නිසා ඉතා කෙටිකාලයක් ඇතුළත පහළ ආදායම් මට්ටමේ සිට ඉහළ ආදායම් මට්ටමට පැනගන්න හැකි වුනත්, ඔය විදිහට ඇදෙන ලොතරැයි වල වාසිය දිගටම තියාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතු වන්නේ සමක ගිනියාව වැනි රටවල් දිහා බලද්දීයි. 

සමක ගිනියාව කියන්නෙත් මිලියන 1.9ක කුඩා ජනගහණයක් සිටින රටක්. ගයනාවෙන් වගේම සමක ගිනියාවෙනුත් තෙල් මතු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2003දී ඩොලර් 2,931ක් පමණක් වූ සමක ගිනියාවේ ඒක පුද්ගල ආදායම, අවුරුදු පහකට පසුව, 2008 වන විට ඩොලර් 18,211 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ 6.2 ගුණයක වර්ධනයක්! 

ගයනාවට වගේම, පහළ ආදායම් මට්ටමේ සිටි සමක ගිනියාවට ඉහළ ආදායම් මට්ටමට යන්න තෙල් ඉනිමගක් හමු වුනත්, ඉනිමගෙන් උඩට ගිහින් කොටු කීපයක් යද්දී නයෙකුත් හමු වෙනවා. දැන් (2024) සමක ගිනියාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 6,745ක් පමණයි.

ඉහත රටවල් එක්ක බලද්දී අපේ යාබද මාල දිවයින ක්‍රමිකව ආදායම ඉහළ නංවා ගත් රටක්. මාල දිවයින උඩට ආවේ තෙල් ලැබිලා නෙමෙයි. බොහෝ දුරට සංචාරක කර්මාන්තයේ උදවුවෙන්. නමුත් මාල දිවයිනේ ජනගහණය මිලියන බාගයකට වඩා පොඩ්ඩක් වැඩි කුඩා ජනගහණයක්. ඒ නිසා, සංචාරක කර්මාන්තයේ උදවුවෙන් පමණක් මාල දිවයින තරම් දුරක් යන්න ලංකාවට බැහැ. 

ලංකාව එක්ක එක අත්තේ ඉඳලා ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ වහපු අනෙක් රටවල් දෙක චීනය හා ඉන්දුනීසියාව. මේ රටවල් දෙක අතරින් ඉන්දුනීසියාවේ සහ සහ ලංකාවේ ආර්ථික වර්ධන වේග වල විශාල වෙනසක් නැහැ. ලංකාව 1997දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 1993දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව 2018දී ඉහළ මැදි ආදායම් කාණ්ඩයට යද්දී ඉන්දුනීසියාව 2019දී පහළ මැදි ආදායම් කාණ්ඩයට යනවා. ලංකාව වගේම ඉන්දුනීසියාවත් නැවත පහළට වැටෙනවා. ඉන්දුනීසියාව දැන් නැවතත් උඩට ඇවිත් වුනත් ලංකාව තවමත් පහළ මැදි ආදායම් කාණ්ඩයේ. ඒ හැරුණු විට ඉන්දුනීසියාව විසින් ලංකාව නොකළ අමුතු ප්‍රාතිහාර්යයක් කරලා නැහැ. 

අනාගත ප්‍රගතිය කෙසේ වුවත්, 1987දී පහළ ආදායම් තත්ත්වයේ සිටි රටවල් අතරින් ලංකාවට හැරී බැලිය හැකි ප්‍රගතියක් අත් කරගෙන තිබෙන එකම රට චීනය. චීනය ඒ වැඩේ කළේ අන්තවාදී සමාජවාදයෙන් ටික ටික ඉවත් වෙලා වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීම මගිනුයි. නමුත් චීනය මේ ජයග්‍රහණය ලබා ගෙන තිබෙන්නේ රජයේ ජාතික සැලසුමක් යටතේම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ කිරීමෙන් මිස දක්ෂිණාංශික අන්තයකට ගිහිනුත් නෙමෙයි.

රටකට කෙටි කාලයකින් අනිවාර්යයෙන්ම වේගයෙන් දියුණු විය හැකි නිශ්චිත වට්ටෝරුවක් නැහැ. ඒ සඳහා පවතින ලෝක තත්වයන් අනුව ප්‍රායෝගිකව කළ හැකි හොඳම දේ කරන්න වෙනවා. හරි පාරේ ගියත්, ඒ සඳහා යම් අවම කාලයක් ගත වෙනවා. තෙල් හමුවීම වැනි ලොතරැයියක් ඇදුනත්, එයින් ලොකු ගැම්මක් ගන්න පුළුවන්කමක් තිබෙන්නේ ගයනාව හා සමක ගිනීයාව වැනි ජනගහණය ගොඩක් අඩු රටවල් වලට පමණයි. වඩා වැඩි ජනගහණයක් සිටින රටක ආර්ථිකය වර්ධනය කිරීමටනම් අංශ ගණනාවකම වේගවත් වර්ධනයක් සිදු විය යුතුයි. 

Saturday, October 4, 2025

ලංකාවට ඉහළ ආදායම් රටක් විය හැක්කේ කවදාද?


ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන්නේ 1988 වසරේදීයි. එම වසරේදී රටවල් වර්ග කළේ පහත පරිදියි.

ඇමරිකන් ඩොලර් 480 දක්වා - පහළ ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 481 සිට 1,940 දක්වා - පහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 1,941 සිට 6,000 දක්වා - ඉහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 6000ට වඩා වැඩි - ඉහළ ආදායම් රටවල් 

මෙසේ මුලින්ම මෙම වර්ගීකරණය හඳුන්වා දෙන අවස්ථාවේදී, 1987 ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, රටවල් 41ක් ඉහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුනා. ඇත්ත වශයෙන්ම සිදු වූයේ ඒ වන විට ඉහළ ආදායම් රටවල් (සංවර්ධිත රටවල්) සේ සැලකුණු රටවල් සියල්ල ඉහළ ආදායම් රටවල් කාණ්ඩයට වැටෙන පරිදි එම කාණ්ඩයේ පහළ සීමාව තෝරා ගැනීමයි. 

ඉන් පසුව, වාර්ෂිකව, ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදු කරනවා. එසේ වර්ගීකරණය කරද්දී, උද්ධමනය නිසා මුදලේ වටිනාකම වෙනස් වීම සැලකිල්ලට ගනිමින්, කාණ්ඩ වෙන් කරන අගයයන් යාවත්කාලීන කරනවා. ඉන් පසුව, පෙර වර්ෂයේදී එක් එක් රටේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව රටවල් කාණ්ඩ වලට වෙන් කරනවා. පසුගිය වසරේදී රටවල් වර්ග කළේ පහත ආකාරයෙනුයි.

ඇමරිකන් ඩොලර් 1,145 දක්වා - පහළ ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 1,146 සිට 4,515 දක්වා - පහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 4,516 සිට 14,005 දක්වා - ඉහළ මැදි ආදායම් රටවල් 

ඇමරිකන් ඩොලර් 14,005ට වඩා වැඩි - ඉහළ ආදායම් රටවල් 

මෙහි ඇමරිකන් ඩොලර් 14,005 යනු 1987දී ඇමරිකන් ඩොලර් 6,000ක 2023දී වටිනාකමයි. අනෙකුත් අගයයන්ද එසේයි. ඒ කියන්නේ උද්ධමනයේ බලපෑම සඳහා ගැලපීමක් කරනු හැර, රටවල් වෙන් කරන සීමා මූර්ත පදනමින් වෙනස් කර නැහැ. 1988දී 41ක් පමණක් වූ ඉහළ ආදායම් රටවල් ප්‍රමාණය 2024 වන විට 87ක් දක්වා ඉහළ ගොස් තිබුණා. රටවල් 54ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, තවත් රටවල් 50ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත් හඳුනා ගැනුණු අතර, 1987දී 49ක් වූ පහළ ආදායම් රටවල් ප්‍රමාණය 25 දක්වා අඩු වී තිබුණා.

මේ සමඟ පළ කර ඇති සිතියම දෙස බැලූ විට පෙනී යනු ඇත්තේ පහළ ආදායම් රටවල් වලින් කිහිපයක් හැර අනෙක් සියල්ලම තිබෙන්නේ අප්‍රිකානු කලාපයේ බවයි. එමෙන්ම  පහළ මැදි ආදායම් රටවල් බොහොමයක් තිබෙන්නේ අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ බවයි. සාමාන්‍ය මූලධර්මයක් ලෙස ලෝකයේ රටවල් සංවර්ධනය වන්නේ කලාප වශයෙනුයි. 

මුල් වර්ගීකරණයේදී පහළ ආදායම් රටක් සේ හඳුනා ගැනුණු ලංකාවට 1997 වසරේදී පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට ඉඩ ලැබුණා. ඉන් පසුව, 2018දී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් විය හැකි වුනත්, ඒ තත්ත්වය පවත්වා ගත හැකි වූයේ එම වසර තුළදී පමණයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුගේ සිහිනය ලංකාව ඉහළ ආදායම් රටක් වනු දැකීමයි. ඒ සඳහා අවම වශයෙන් කොපමණ කලක් ගත වෙයිද?

මේ වන විට (2024දී) ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 4,404ක් වන අතර 2024 වසරේදී ඉහළ ආදායම් රටවල් සේ හඳුනා ගත්තේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 14,005 ඉක්මවූ රටවලුයි. 

පසුගිය වසර 12 ඇතුළත (2012-2024) ශ්‍රී ලංකාවේ ජනගහණය වසරකට 0.5%කින් වර්ධනය වී තිබෙනවා. ඉදිරි කාලයේදීද එම වර්ධන වේගය එලෙසම පැවතුනු ඇතැයි අපි උපකල්පනය කරමු. 

රටේ ආර්ථික වර්ධන වේගය මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර ඇති 3.1%නම්, ලංකාවට ඉහළ ආදායම් රටක් වීම සඳහා වසර 46ක් ගත වෙනවා. ඒ කියන්නේ 2070 වන තුරු බලා සිටින්නට සිදු වෙනවා.

රටේ ආර්ථික වර්ධන වේගය 5% මට්ටමේ පවත්වා ගතහොත්, ලංකාවට වසර 27කින්, ඒ කියන්නේ 2051දී, ඉහළ ආදායම් රටක් විය හැකියි. 

රටේ ආර්ථික වර්ධන වේගය 6% මට්ටමේ පවත්වා ගතහොත්, ලංකාවට වසර 22කින්, ඒ කියන්නේ 2046දී, ඉහළ ආදායම් රටක් විය හැකියි. 

දැනට පවතින තත්ත්වය තුළ ප්‍රායෝගිකව අපේක්ෂා කළ හැක්කේ 5%ක පමණ ආර්ථික වර්ධන වේගයක්. එම වේගයෙන් වර්ධනය වුවහොත්, 2051 වන විට, ඇමරිකන් ඩොලර් 28,000ක පමණ ඒක පුද්ගල ආදායම් මට්ටමක් කරා යා හැකියි. ඒ වන විට ඉහළ ආදායම් රටක් සේ හඳුනා ගනු ඇත්තේ ඒ මට්ටමේ ඒක පුද්ගල ආදායමක් ඇත්තේනම් පමණයි. 

ඒ එක්කම කිව යුත්තේ දැනට ඇමරිකන් ඩොලර් 90,000 ආසන්න මට්ටමක ඇති ඇමරිකාව, සිංගප්පූරුව වැනි රටක ඒක පුද්ගල ආදායම ඒ වන විට ඇමරිකන් ඩොලර් 300,000 ඉක්මවා තිබෙනු ඇති බවයි. ඉහළ ආදායම් රටක් සේ හඳුනා ගනු ලැබීම යන්නෙන් අදහස් වන්නේ 1987 වසරේදී එසේ හඳුනා ගනු ලැබූ රටවල් 41 අතරෙන් පහළම මට්ටමේ සිටි රට එදා සිටි මට්ටම දක්වා ආදායම වැඩි කරගන්නවා කියන එකයි. 

Friday, October 3, 2025

දැන් ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය කොපමණද?


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයයි.

රජයේ විදේශ ණය - ඩොලර් මිලියන 36,609

මහ බැංකුවේ විදේශ ණය - ඩොලර් මිලියන 4,378

අනෙකුත් බැංකු වල විදේශ ණය - ඩොලර් මිලියන 5,158

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ ණය - ඩොලර් මිලියන 9,924

රටේම විදේශ ණය - ඩොලර් මිලියන 56,069


රටේ විදේශ ණය කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලින් කොටසක්. ලංකාවේ ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් විදේශිකයින්ගෙන් ලබාගෙන තිබෙන ණය රටේ විදේශ ණය වල කොටසක්. රටේ විදේශ ණය රටේ විදේශ බැරකම් වල කොටසක්. එහෙත් රටේ විදේශ බැරකම් වලට, ඒ කියන්නේ ලංකාවේ තිබෙන විදේශිකයින් සතු වත්කම් වලට, අයත් වන්නේ රටේ විදේශ ණය පමණක් නෙමෙයි. 

විදේශ ණය වලට අමතරව වෙනත් විදේශ බැරකම්ද තිබෙනවා. ඒ විදේශිකයින්ට අයිති ලංකාවේ තිබෙන ආයෝජනයි. විදේශ ණය වෙනුවෙන් වගේම විදේශ ආයෝජන වෙනුවෙන්ද වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභ විදේශිකයින් විසින් රටින් රැගෙන යනවා. විදේශ බැරකම් වැඩි වන තරමට මේ විදිහට වාර්ෂිකව රටින් එළියට යන විදේශ විණිමය ප්‍රමාණයද ඉහළ යනවා. ඒ වගේම, විදේශිකයින්ට තමන්ගේ ආයෝජනද රටෙන් ආපසු රැගෙන යා හැකි බැවින්, රටේ පැත්තෙන්, විදේශ ණය වල වගේම විදේශ ආයෝජන වලද අවදානමක් තිබෙනවා. 

රටේ විදේශ ණය ප්‍රමාණය - ඩොලර් මිලියන 56,069

ණය නොවන විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 11,406

රටේ මුළු විදේශ බැරකම් ප්‍රමාණය - ඩොලර් මිලියන 67,475


මේ වගේම, රටේ විදේශ වත්කම් කියා කියන්නේ මහ බැංකුවේ තිබෙන, අපි නිතරම කතා කරන, නිල විදේශ වත්කම් ප්‍රමාණය පමණක් නෙමෙයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් තිබේනම් ඒවා රටේ විදේශ වත්කම් වල කොටසක්. නමුත් හදිසියකදී මහ බැංකුවට ප්‍රයෝජනයට ගත හැක්කේ මහ බැංකුව සතු විදේශ වත්කම් පමණයි. ඒ ගැන වැඩිපුර අවධානයක් යොදවන්නේ ඒ නිසා. 


පහත තිබෙන්නේ මෙම වසරේ ජූනි මාසය අවසානයේදී ලංකාවේ මුළු විදේශ වත්කම් ප්‍රමාණයයි.

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 6,081

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 5,670

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,502

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 15,254

මේ අනුව පෙනෙන පරිදි, රටේ විදේශ බැරකම් ඩොලර් 100කට විදේශ වත්කම් තිබෙන්නේ ඩොලර් 22.6ක් පමණයි. ආර්ථික අර්බුදයට පෙර, 2022 මාර්තු අවසානයේදී, මෙම අනුපාතය 13.5% දක්වා පහත වැටුණා. 

ඩොලර් 50ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන එක අමාරුවෙන් හරි කරන්න පුළුවන්. නමුත් ඩොලර් 13ක් අතේ තියාගෙන ඩොලර් 100ක රෝලක් ගහන්න බැහැ. ඒ වගේම එහෙම බැහැ කියන එක කාට වුනත් පැහැදිලිව පේනවා. වත්කම් බැරකම් අනුපාතය ඒ තරමටම අඩු වූ විට ආර්ථිකයක් කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි.

පහත තිබෙන්නේ 2022 මාර්තු අවසාන වන විට පැවති තත්ත්වයයි.

විදේශ බැරකම්:

රජයේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 26,522

මහ බැංකුවේ විදේශ බැරකම් - ඩොලර් මිලියන 5,923

අනෙකුත් බැංකු වල විදේශ බැරකම් - ඩොලර් මිලියන 6,815

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ බැරකම්- ඩොලර් මිලියන 20,526

රටේම විදේශ බැරකම් - ඩොලර් මිලියන 59,786


විදේශ වත්කම්:

රජයේ විදේශ වත්කම් - නැත 

මහ බැංකුවේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු වල විදේශ වත්කම් - ඩොලර් මිලියන 3,441

අනෙකුත් ආයතන වල සහ පුද්ගලයින්ගේ විදේශ වත්කම් - ඩොලර් මිලියන 2,715

රටේම විදේශ වත්කම් - ඩොලර් මිලියන 8,073


මේ අනුව පෙනෙන පරිදි, මේ වන විට රටේ විදේශ වත්කම්, අර්බුදය කාලයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ඩොලර් බිලියන 7කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. එහෙත් ඊට සමානව රටේ විදේශ බැරකම්ද ඉහළ ගොස් තිබෙනවා. 

ඩොලර් 22ක් අතේ තියාගෙන වුනත් ඩොලර් 100ක රෝලක් ගහන්න අමාරුයි. ලංකාව දැන් ඒ වැඩේ කරන්නේ ඉන්දියාවේ, චීනයේ සහ මූල්‍ය අරමුදලේ උදවුවෙන්. ඒ වගේම ණය ප්‍රතිව්‍යුගත කරගත්ත නිසා. 

කෙසේ වුවත්, මේ වන විට, මහ බැංකුව හා වාණිජ බැංකු සතුව ඔවුන්ගේ ණය ප්‍රමාණය ඉක්මවන විදේශ වත්කම් තිබෙනවා. එහෙත්, රජය සතුව හා අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතුව ඔවුන්ගේ විදේශ බැරකම් වලට සමානව විදේශ වත්කම් නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස රටේ විදේශ වත්කම් හා බැරකම් සැලකූ විට ඩොලර් මිලියන 52,220ක හිඟයක් තිබෙනවා. වසරකට ඩොලර් බිලියන 2 බැගින් ඉතිරි කර ගත්තත්, මේ හිඟය පියවා ගන්න වෙන්නේ 2050 පමණ වෙද්දීයි. 

Thursday, October 2, 2025

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්


අගෝස්තු අවසානය දක්වා වූ මාස අටක කාලය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 918ක මුදලක් වැය වීමෙන් පසුවයි.

අගෝස්තු මාසය තුළ පමණක් වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 249ක මුදලක් වැය වී ඇතත්, එම මාසය තුළ ඩොලර් මිලියන 368ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වෙනවා. 

අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදේශ අංශය තුලනය වී තිබෙන්නේ පහත පරිදියි.

විදේශ විණිමය ලැබීම්:

අපනයන ආදායම් - ඩොලර් මිලියන 9,077

සේවා ආදායම් - ඩොලර් මිලියන 4,785

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 413

ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 5,116

එකතුව - ඩොලර් මිලියන 19,391


විදේශ විණිමය ගෙවීම්:

වාහන ආනයන වියදම් - ඩොලර් මිලියන 918

අනෙකුත් ආනයන වියදම් - ඩොලර් මිලියන 12,423

සේවා වියදම් - ඩොලර් මිලියන 2,118

ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 1,806

ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 89

එකතුව - ඩොලර් මිලියන 17,354


ඉතිරිය = ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන 2,039


මෙම අතිරික්තයෙන් ඩොලර් මිලියන 1,238.6ක් මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. 


ජනවාරි - ඩොලර් මිලියන 12.3

පෙබරවාරි - ඩොලර් මිලියන 70.3

මාර්තු - ඩොලර් මිලියන 401.9

අප්‍රේල් - ඩොලර් මිලියන 160.8

මැයි - ඩොලර් මිලියන 256.8

ජූනි - ඩොලර් මිලියන 112.2

ජූලි - ඩොලර් මිලියන 81.8

අගෝස්තු - ඩොලර් මිලියන 142.5

එකතුව - ඩොලර් මිලියන 1,238.61

එහෙත් මෙම මාස අටක කාලය තුළ මහ බැංකුවේ විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 56කින් පමණයි. ඊට ප්‍රධානම හේතුවක් වන්නේ මහ බැංකුව විසින් ඉහත විදේශ විණිමය මහ බැංකුවේ විදේශ ණය ආපසු ගෙවීම සඳහා වැය කර තිබීමයි. 

ණය ආපසු ගෙවීමේ ප්‍රතිඵලයක් ලෙස, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 222.1 සිට රුපියල් බිලියන 514.8 දක්වා රුපියල් බිලියන 292.7කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයින් රුපියල් බිලියන 90.6ක් වැඩි වී තිබෙන්නේ ජූලි සහ අගෝස්තු මාස දෙක ඇතුළතයි.

දළ ගණනයක් සඳහා ඩොලරයක් රුපියල් 300ක් සේ සැලකුවහොත්, මෙය මාස අටක කාලයක් තුළ ඩොලර් මිලියන 975කින් පමණ සහ අවසන් මාස දෙකක කාලය තුළ ඩොලර් මිලියන 300කින් පමණ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යාමක් ලෙස සැලකිය හැකියි. වසරේ පළමු මාස හයක කාලය තුළ මහ බැංකුව විසින් ඉන්දියාවට ඩොලර් මිලියන 450ක මුදලක් ආපසු ගෙවා ඇති අතර, ඒ අනුව ඉන්දියාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,101 දක්වා අඩු වී තිබෙනවා. ඉන් පසුව ගත වූ මාස තුනක කාලය ඇතුළත මෙම ණය මුදලෙන් තවත් ඩොලර් මිලියන 225 කොටසක් පියවා ඇතැයි සිතිය හැකියි. 

ජූනි මාසය අවසන් වන විට මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,081ක් වුවත්, විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,378ක් වුනා. ඒ පහත පරිදියි.

ඉන්දියාවට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,101

චීනයට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,371

මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය - ඩොලර් මිලියන 1,898

අනෙකුත් (එකතු වී ඇති පොලිය) - ඩොලර් මිලියන 8

එකතුව - ඩොලර් මිලියන 4,378

දළ විදේශ වත්කම් - ඩොලර් මිලියන 6,081

ශුද්ධ විදේශ වත්කම් - ඩොලර් මිලියන 1,703

මීට අමතරව දේශීය බැංකු වලින් ලබා ගත් මුදල් හුවමාරු ණය යම් ප්‍රමාණයක්ද ඉහත දළ විදේශ වත්කම් වලට ඇතුළත්ව ඇති බව පෙනෙන්නට තිබෙනවා.  එම ප්‍රමාණය ඩොලර් මිලියන 289ක් පමණ විය හැකියි. ඒ නිසා, ශුද්ධ විදේශ ව්‍යවහාර මුදල් වත්කම් ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා තරමක් අඩු වුනත්, ඉහත සඳහන්ව තිබෙන්නේ ජූනි මාසය අවසන් වන විට පැවති තත්ත්වයයි. අගෝස්තු අවසන් වන විට මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් වලට හැරවූ විටද ඩොලර් මිලියන 1,702ක පමණ ඇස්තමේන්තුවක් ලැබෙනවා.

වෙබ් ලිපිනය: