වෙබ් ලිපිනය:

Monday, June 15, 2015

හාල් නැතුව බත් කන්නම්! හරක් නැතුව මස් කන්නම්!!


හැත්තෑවේදී ඩඩ්ලිව එළවා දැමූ දෙවන එලිසබෙත් රැජිනගේ ලංකා කොලනියේ අපි හතළිස් අටේ සිටම නොකපා තිබූ අපේ එංගලන්ත පෙකණි වැල කපා දැම්මෙමු. එතෙක් අප සතු නොවූ ප්‍රජාතන්ත්‍රවාදය එසැණින්ම අපට ලැබුණේය. සත් තිස් වසරකට පෙර ජේ ආර් විසින් ශ්‍රී ලංකාවට හිමි කර දෙනු ලැබ තවමත් අප තළු මරමින් භුක්ති විඳින සමාජවාදය එවකට අපට සිහිනයක් පමණක් වූ නිසා සමාජවාදය සොයා පෝලිම් වල කල් ගෙවීමටද අපි නොපැකිලුනෙමු.

සමාජවාදය හමුවන තුරු අපට බඩගින්නේ සිටීමට සිදුවිය. එහෙත්, දේශප්‍රේමය (හෝ වෙන යම්කිසි දෙයක්) අපේ කුසගිණි යටපත් කළ නිසා අපිට "බුදු අම්මෝ! බඩගිනියෝ!!" කියා කෑ ගැසුණේ නැත. අපි කෑගැසුවේ වෙන විදියකටය.

"සීනි නැතුව තේ බොන්නම්
හාල් නැතුව බත් කන්නම්
අම්ම අපිට කියනවනම්
පිදුරු වුණත් අපි කන්නම්"

අම්මා හෝ අප්පච්චී දෙන පිදුරු සීනි නැතුව අමුවෙන්ම ගිල දැමීමට සූදානම් බව බය නැතුව ලොවට පෙන්වීමට වත්පොත් නොතිබුණු මේ කාලයේ සිය වැඩිහිටියන් පෙළපාලි යද්දී ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්‍යවරයාගෙනි. හැමදාම කෙසේ වෙතත් සීනි පරීක්ෂා කරන දවස කිට්ටු වෙද්දී සීනි නොකා ඉන්නේ දියවැඩියාවට බය නිසාය. ප්‍රතිපලය සීයට අඩුනම් හවසට තේ කෝප්පයට වෙනදාටත් වැඩියෙන් සීනි වැටේ. සීයට වැඩිනම් "කාල මරණ අකාල මරණ" පොර ටෝක් ටික දවසකට ඕෆ් වේ.

කවුරුත් වගේ දන්නා එක් පැරණි රසාංගයක සිටි එතරම්ම පැරණි නැති පොරක් ඔයාකාරයට සීනි පරීක්ෂා කළේය. බෙහෙත් පාවිච්චි කරන්නට තරම් නොවූවත් සීනි වැඩිය. "කෑමෙන් පරිස්සම් වෙන්ඩ වෙයි!" දොස්තර මහත්තයා කීවේය. "මොනවාද සාමාන්‍යයෙන් කන්නේ?"

"උදේට?"
"පොල් සම්බෝලයි බතුයි. බත් කිවුවට හීල්බත්. සමහර දවසට කිරිබත්."
"දවල්ට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, කරවල බැදුමක්, තව මැල්ලුමක් වගේ."
"එතකොට රෑට?"
"බතුයි, අල පරිප්පු වගේ දේකුයි, තව මොනවා හරි එළවළු මාළු දෙයක්."
"ඔය කෑම රටාව ටිකක් වෙනස් කරන්ඩ වෙයි!"
"ඒ කිවුවේ?"
"බැරිවෙයිද රෑට පාන් පෙති දෙකක් වගේ කන්ඩ?"

මලකඩ රස රෝස පාට බෙහෙත් වතුර බොනවාට වඩා, පෙති කරල් අමාරුවෙන් ගිලිනවාට වඩා  පාන් පෙති දෙකක්ගිල දැමීම කොයි තරම් පහසුවක්ද?  දොස්තර මහත්තයා මොහොතකට මතු බුදුවෙයි. ඒත් ගෙදර යාමට පෙර හරියටම පැහැදිලි කරගත යුතුය.
"දොස්තර මහත්තයා, ඔය කියන පාන් පාමසියකින් ගන්ඩ ඕනෑද?"
"පාමසි? පාමසි වල කොහෙද ලොකු උන්නැහැ පාන් හදන්නේ? යන්ඩ බේකරියකට."
"මටත් එහෙම හිතුණා. මං මේ ඉස්තිරේටම දැන ගන්ඩයි ඇහුවේ."
"ඒකට කමක් නෑ. දැන් පැහැදිලියිනේ. කෑම පාලනේ කල්ලා හය මාසෙකින් පස්සේ ආයේ ඇවිත් සීනි පරීක්ෂා කර ගන්ඩ. තව ප්‍රශ්න මුකුත් තියෙනවාද?"
"සමාවෙන්ඩ ඕනෑ දොස්තර මහත්තයා තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔය පාන් පෙති දෙක කන්ඩ තියෙන්නේ බත් කන්ඩ කලින්ද බත් කාලද?"

ඔය පැරණි රසාංගයේ සිටි මනුස්සයා තාමත් ජීවත් වේ. ඒ අපි තුළමය. වෙන මොනවා කෑවත් බත් ඩිංගක් බඩට වැටෙන තුරු බඩ පිරෙන්නේ නැත්තේ ඒ නිසාය. බත් කෑවත්, පාන් කෑවත් ඔය දෙකේම ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පිෂ්ඨ ධාතුවයි. සිංහලෙන්නම් කාබෝහයිඩ්රේට්ය. අප කාබෝහයිඩ්රේට් වලට ඇබ්බැහි වන හේතුව පරිණාමික මනෝ විද්‍යාවෙන් පැහැදිලි කළ හැකිය. මේ කැමැත්ත අපේ හෝමෝ සේපියන් ජාන වලම ලියවී තිබේ. එහෙත්, බත් වලට අප ඇබ්බැහි වන්නේ අපේ සංස්කෘතිය නිසාය. බත් වල අන්තර්ගත ප්‍රධානම සංඝටකය වන කාබෝහයිඩ්රේට් වලට ඇති අපේ ජානමය කැමැත්තට අමතරව එහි හැඩයට, පැහැයට හා සුවඳට අපේ සංස්කෘතිය අපව ආකර්ෂණය කරයි. මේ අයුරින්ම අර්තාපල්, පාන් වැනි වෙනත් කාබෝහයිඩ්රේට් ප්‍රභව වලට ඇතැම් රටවල වැසියෝ ඇබ්බැහි වෙති.

පාන් හෝ බත් වැනි කාබෝහයිඩ්රේට් ප්‍රභව ආහාරයට අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර එකතුවීම සෞඛ්‍යමය ගැටළු ඇති කරවයි. එහෙත්, බොහෝ විට අපේ ජානමය හා සංස්කෘතික ඇබ්බැහිය වඩා හොඳ ශරීර සෞඛ්‍යයක් සඳහා වන රුචිය අභිබවන නිසා ආහාර රටාව වෙනස් කිරීම පහසු නැත. වෙන තැන් වලදී මෙන්ම මෙහිදීද අපේ උදවුවට එන්නේ තාක්ෂණයයි. ඒ අනුව, තිරිඟු පිටි නොවන වෙනත් ධාන්‍ය යොදා සකස් කළ පාන් වර්ග මෙන්ම සමතුලිත ආහාර වේලක් සඳහා අත්‍යාවශ්‍ය සංඝටක එකතු කර සැදූ පාන් වර්ගද ලංකාවේ කෙසේ වෙතත් පාන් ප්‍රධාන ආහාරය වූ බටහිර රටවල අඩු නැත. පිදුරු එකතු නොකළත් මේ පාන් වර්ග වල තන්තු සංයුතිය ඉහළ නැංවීමට නිෂ්පාදකයෝ ක්‍රියා කරති.

බත් කන ලංකාවේ අපිට මේ ආකාරයෙන් බත් වල සංයුතිය වෙනස් කර ගත හැකිනම් අපේ මානසික හා සෞඛ්‍යමය අවශ්‍යතාවන් එක් වර සපුරාගනිමින් රැවුලත් කැඳත් දෙකම බේරා ගත හැකිය. එහෙත්, වෙළඳපොල සාධක මත බත් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණය පාන් සම්බන්ධව කෙරී ඇති පර්යේෂණ ප්‍රමාණයට වඩා බොහෝ අඩුය.

අප මෙන්ම බත් කන ඉරානයේ පර්යේෂිකාවක වන ආචාර්ය දර්යාමේහාර් කේෂානි (Daryamehr Keshani) විසින් 2012 අගෝස්තුහිදී නැනෝ තාක්ෂනය යොදාගෙන විවිධ සංයුතීන්, රසයන්, වර්ණයන් සහ පැහැයන් ඇති කෘතීම සහල් නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන තිබේ. ඇගේ ක්‍රමවේදය පෙර වූ කෘතීම සහල් නිෂ්පාදන වලින් වෙනස් වන්නේ ඇය ප්‍රථම වරට ස්වභාවික සහල් හෝ ස්වභාවික සහල් ආශ්‍රිත අමුද්‍රව්‍ය කිසිවක් උපයෝගී නොකරගෙන සහල් නිපදවන බැවිනි. සුවඳින්, රසයෙන් සහ පැහැයෙන් ස්වභාවික සහල් සහල් වලට සමාන වුවත් මේ සහල් වල සංයුතිය ස්වභාවික සහල් වලට වඩා වෙනස්ය. කාබෝහයිඩ්රේට් වලට අමතරව ප්‍රෝටීන්, ලිපිඩ, ඛනිජ ලවණ, විටමින් වර්ග ආදියද මේ සහල් වල සැලකිය යුතු තරමක් අඩංගු වනු ඇත.

අඩු මිලකට, මහා පරිමාණයෙන් නිපදවිය හැකි කේෂානිගේ 'කාර්මික සහල්' (මැෂින් හාල්?) නිෂ්පාදනය කිරීම සඳහා ඉරිඟු, තිරිඟු, බාර්ලි, කඩල හා අර්තාපල් ප්‍රධාන වශයෙන්ද, හරක් මස් සහ කුකුළු මස් කොටස් ඇතුළු තවත් බොහෝ දේ සුළු වශයෙන්ද යොදා ගනු ඇත. කේෂානිගේ යන්ත්‍රයට අමතරව චීනය, ඉන්දුනීසියාව වැනි වෙනත් 'බත් කන' රටවලද කෘතීම සහල් නිපදවන යන්ත්‍ර දැනටමත් ප්‍රයෝජනයට ගැනේ. පිදුරු අමුද්‍රව්‍යයක් ලෙස යොදා නොගත්තත් මෙවැනි යන්ත්‍ර උපයෝගී කරගෙන  වැඩි තන්තු සංයුතියක් ඇති සහල් නිපදවා ගත හැකිය.

හාල් නැතුව බත් කෑම සරල හා ලාභදායී කටයුත්තක් වුවත් සත්ත්ව ඝාතනයෙන් වැලකී මස් කෑම එතරම් පහසු වැඩක් නොවේ. පහසු නොවූවද, සතෙකු නොමරා ඉවත් කර ගන්නා සත්ත්ව සෛලයක් පටක තාක්ෂනය යොදාගෙන විද්‍යාගාරයක් තුළ වර්ධනය කර ගැනීම මඟින් කෘතීම මස් නිපදවා ගැනීම තව දුරටත් හිතළුවක් පමණක් නොවේ. සෛද්ධාන්තිකව, එක් සෛලයකින් පටන්ගෙන ප්‍රෝටීන ප්‍රභේදයක් මඟින් වර්ධනය කර ගැනීමෙන් අවශ්‍ය ඕනෑම මස් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. 2013 අගෝස්තු මාසයේදී, නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය මාර්ක් පෝස්ට් විසින් මෙසේ නිෂ්පාදනය කල හරක් මස් කෑල්ලකින් සෑදූ හැම්බර්ගරයක් ලන්ඩනයේදී ප්‍රසිද්ධියේ රස විඳීමේ අවස්ථාව අනාගත ආහාර ගැන බොහෝ අදහස් සටහන් කර ඇති ඇමරිකානු ගත් කතුවර ජෝෂ් ශෝන්වල්ඩ්ට සහ ඔස්ට්‍රියානු ආහාර පර්යේෂක හානි රට්ස්ලර්ට හිමි විය.

ශෝන්වල්ඩ් සහ රට්ස්ලර් රස බැලුවේ රුපියල් මිලියන හතළිහක් පමණ වටිනා හැම්බර්ගරයකි. මෙවැනි හැම්බර්ගර් දෙකතුනක් වුණත් දවසකට ගිල දැමිය හැකි ඇතැම් අය ලංකාවේ සිටින නමුත් මේ මිල බොහෝ දෙනෙකුට සිතිය නොහැකි ප්‍රායෝගික නොවන මිලකි. මහාචාර්ය පෝස්ට් සිතන පරිදි මේ තාක්ෂණය ආර්ථික වශයෙන් වාසිදායක වන ලෙස දියුණු කිරීමට තව වසර 10-15ක කාලයක් ගත විය හැකිය. කෙසේ වුවද අඩු මිලක් වැයකර සතුන් නොමරා හදන මස් කරියක් අපේ නිවසක ඉදෙන දවසක් ගැන අපිට දැන් බලාපොරොත්තුවක් තිබේ.

(ඡායාරූපය නෙදර්ලන්තයේ මස්ත්‍රිස්ට් විශ්ව විද්‍යාලයයට සම්බන්ධ culturedbeef.net වෙබ් අඩවියෙනි.)



13 comments:

  1. ඔය කවිය මෙහෙමයි කිවෙ.

    හාල් නැතුව බත් කන්නම්
    සීනි නැතුව තේ බොන්නම්
    මැතිනි අපිට කියනවම්නම්
    පිදුරු වුනත් අපි කන්නම්

    ReplyDelete
    Replies
    1. ඕකේ එක එක වර්ෂන් තිබුණනේ, ඇනෝ. සමහර වර්ෂන් වල 'මිරිස් නැතුව හොදි කන්නම්' කියලත් කෑල්ලක් තිබුණා. කොමෙන්ටුවට ස්තුතියි!

      Delete
  2. ගෙදර තිබූ දුඹුරු සීනි බෝතලයේ අඩිය හොරෙන් සීරූ පොඩි එවුන් දැන් මැදි වයසත් පහු කරලාය. ඔවුහු පෙර කල පෙළපාලි ගිය සිය වයෝවෘද්ධ දෙමවුපියෝද සමඟ දැන් සීනි නැතුව තේ බොති. ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අම්මාගෙන් හෝ අප්පච්චීගෙන් නොවේ. පවුලේ වෛද්‍යවරයාගෙනි. +++++++ නියම කතාව

    ReplyDelete
    Replies
    1. දැන් වෙලා තියෙන්නේ ඕකනේ. ස්තුතියි, ට්‍රැන්ස්!

      Delete
  3. ඒකත් එහෙමද! බලමු අනාගතයේ මිල ටිකක් අඩුවෙයිනේ. අනාගතේ මිනිස්සු කවද හරි කියයි
    "හපොයි, ඒ කාලෙ මිනිස්සු මස් කාල තියෙන්නෙ සතුන් මරාගෙනලු" කියල

    ReplyDelete
    Replies
    1. එහෙම දවසක් එයි කියලා හිතන, ඒ වගේම ඒ වෙනුවෙන් යමක් කරන, ගොඩක් අය ඉන්නවා. මුදලින් ආධාර කිරීමෙන් වගේම මතවාදය (පටු සීමා නොවේ-සේපියන්ස්ලාට පොදුවේ එකඟ විය හැකි කරුණු මත) පුළුල් කිරීමෙනුත් වැඩේ ඉක්මන් කළ හැකියි.

      Delete
  4. සීනි සහ හාල් නැතුව දත් මිටි කෑම නම් කළ හැක.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තේරුමක් ඇති වගේම තේරුමක් නැති සිහින වෙනුවෙනුත් සීනි සහ හාල් නැතුව කැමැත්තෙන්ම දත් මිටි කන අය ගොඩක් ඉන්නවනේ, රසික.

      Delete
  5. හුගක් අයට බත් කියන්නෙ නිකං සික් එකක් වගේ ඇත්තමයි අපේ තාත්තල එහෙම ලොවෙත් රෑට පාං කන්නෙ නෑනෙ... ඒ නැතත් මට වුණත් පාං කන්නම බෑ( ඇත්තම කතාව මට පාං කන්න කිසිම කැමැත්තක් නැති එක) කොටින්ම කියනව නං හාල් වලිං කරන නිෂ්පාදන දියිණු කළොත් සමහර විට මේ වගේ අයට විසදුමක් හෙව්වැකි
    අර කෘතීම හාල් සීන් එකෙන් බතුත් මාංශ මය ආහාර ගණයට ඇතුලත් වෙන්න පුලුවං නේද මාංහ කොටස් එකතු කරන හංද
    එතකොට වෙජා ල පව්

    ReplyDelete
    Replies
    1. ආහාර ඇබ්බැහිය අතාරින්න ගොඩක් අමාරු ඇබ්බැහියක්, මහේෂ්. ඔය කේශානිගේ ක්‍රමවේදයට හාල් හදන විට මාංශ කොටස් එක් කිරීම අනිවාර්යයම නැහැ. වෙජිටේරියන් විදිහටත් හදන්න පුළුවන්.

      Delete
  6. තව ටික කාලෙකින් තමන්ට ඕන විදියේ කෘතිම මිනිස්සුත් හදාවි..

    ReplyDelete
    Replies
    1. මේ පඳුරු තලන්නේ ඔතෙන්ට එන්න තමයි, දේශ්.

      Delete
  7. ආගමිකව නිර්මාංශ වීම ඉහළින්ම පිළිගන්නා අය මස් රස තියෙන සෝයා මීට් කද්දි හිත යටින් මස් රසය විඳිනවා නේද කොහොම කිව්වත්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: