වෙබ් ලිපිනය:

Wednesday, June 3, 2015

අන්න සුදෝ අර ප්‍රාස වලා


මියුරු ගීයක සංගීතයට පළමුව පෙම් බඳින හිරිමල් වියටද නො එළඹුණු රසිකයෙකුට ගීතයේ පදවැල හා අරුත එතරම් වැදගත් නැත. වැල්ලවත්තආරච්චිගේ ආබ්‍රහම් සිල්වා ලියූ ජනප්‍රිය නවකතාවක් වූ කැලෑහඳ ඇසුරින් බී එම් ඩබ්ලියු ජයමාන්න අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ එම නමින්ම වූ ජනප්‍රිය චිත්‍රපටියේ මියුරු ගී රැසක්ම තිබුණේය. "මැවිලා පෙනේවි රූපේ", "මගේය ප්‍රේම මාලනී", "පරණ පිනක් මගෙ ඉහේ කඩාගෙන වැටුණා" එයින් කීපයකි. පොසොන් දන්සැල් වලත් පොසොන් පොහොය වෙනුවෙන් රඟදැක්වෙන රූකඩ සංදර්ශන වලත් මේ සින්දු තවම ඇසේ.



කැලෑහඳ චිත්‍රපටියේ තිබූ තවත් ජනප්‍රිය ගීයක් වනුයේ තලාත් මොහොමඩ් සහ ලතා මංගේෂ්කාර් ගැයූ ජනප්‍රිය හින්දි ගීයක තනුවට හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ පද වැල් එක් වී මොහිදීන් බෙග්ගේත් ඩේසි රාසම්මා ඩැනියෙල්ස් නොහොත් රුක්මණී දේවියගේත් හඬින් අපට ඇසුණු "අන්න සුදෝ" ගීතයයි. පොසොන් සැමරූ බහුතර සිංහල බෞද්ධයන්ට ගස් බැඳ ඇති ලවුස්පීකර් වලින් ඇසෙන මියුරු ගී තනු රස විදිනු මිස ඒ සඳහා දායක වූ අය පන්සිල් රකිනවාදැයි සොයන්නට හෝ අඩුම වශයෙන් ගීයේ අරුත් විමසන්නටවත් අවශ්‍ය නොවීය.


ඔය සිංදුව අසා සිටි තරිඳුට සින්දුවේ පදවැල් මතක හිටියේ මේ විදියටය.


"අන්න සුදෝ අර ප්‍රාස වලා- සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති වෙලා....හා හා ප්‍රීති වෙලා..."


ඕක ඉතිං ලොකු ප්‍රශ්නයක් නොවේ. සමහර සින්දු වල වචන සියල්ලම පැහැදිලිව ඇසුනත් එක් එක් අය තේරුම් ගන්නේ එක් එක් ආකාරයටය. කොහොමවුනත් මේ සින්දුවේනම් Hotel California සින්දුවේ හෝ බස්සීගේ තිස්ස කවියේ මෙන් යටි පෙළක් තිබීමට ඇති ඉඩකඩ අඩුය. ඒ වුනාට කෙනෙකුට අවශ්‍යනම් එහෙම එකක් යෝජනා කිරීමට බැරි කමක්ද නැත.


උඩින්ම ඇති ඡායාරූපය රසිකොලොජිස්ට් විසින් මා වෙත යොමු කර ඒ පිලිබඳ මගේ විශ්ලේෂණය කවරෙක්දැයි අසා ඇත. "අසන්නන්ගේ ඉල්ලීමක්" බැවින් ඒ සඳහා ඉඩක් වෙන් කළ යුතුමය. කෙසේ වුවද නොවැලැක්විය හැකි පරිදි මා තුළ සිටින ආර්ථික විද්‍යාඥයා පසෙකට තල්ලු කරමින් දාර්ශනිකයා, රසවතා, දේශපාලනඥයා, පිස්සා ආදී මෙකී නොකී බුවාලා ඉස්සරහට පනිති. බටර් සූරා දමා පාන් කෑල්ල තමන් කැමති හොද්දක් සමඟ ගිල දැමීම කියවන්නාගේ වැඩකි.


වත්පොතට ඉහත ඡායාරූපය උඩුගත කර තිබුනේ (නම අනුව බොහෝ දුරට) ඉස්ලාම් මුස්ලිම් පුද්ගලයෙකි. (මට අනුව මේ වර්ගීකරණයම ජාතිවාදීය. හේතුවක් ඇතුව සිතාමතාම එසේ කරමි.) ලංකාවේ මුස්ලිම් වරුන් සියල්ලෝම වාගේ අදහන ඉස්ලාම් ආගම මෙන්ම බහුතර සිංහලයන් අදහන බුද්ධාගමත් දානය උසස් දෙයක් ලෙසත් මත්පැන් පානය නොකළ යුතු දෙයක් ලෙසත් පෙන්වා දෙයි. මේ අනුව මේ කුලක දෙකට අයත් බොහෝ අයට මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිගේ පොසොන් මහා බත් දන්සැල විසංවාදයකි.


මේ කාලයේ ලංකාවේ සිංහල බෞද්ධ නොවන පුද්ගලයින් සිතන ආකාරය දැනගැනීමට ඉකොනොමැට්ටාට තරමක උනන්දුවක් ඇති නිසා බොහෝ දුරට ලංකාවේ ඉපදුනු ඉස්ලාම් මුස්ලිමුන් විය හැකි පුද්ගලයන් විසින් ඉංග්‍රීසි සහ දෙමළ බසින් ලියා තිබුණු විචාරයන් (කමෙන්ට්ස්) කියවා බැලුවෙමි. මගේ දෙමළ දැනීම ඉතා සීමිත වුවත් ඒ කිසිවක සමච්චලයේ සීමාවන් ඉක්මවන ද්වේශයක් හෝ ජාතිවාදී/ ආගම්වාදී නැඹුරුවක් නොවූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඇතැම් අය මෙය කොමිස් ගහන 'අපේ අය' පල්ලියට ලොකු මුදලක් ප්‍රදානය කිරීම සමඟ (නිවැරදි ලෙස) සසඳා තිබුණි.


දානය ලෝකයේ ප්‍රධාන සංස්කෘතීන් බොහොමයක අගය කෙරුනද මත්පැන් පානය පිලිබඳ එවැනි ඒකමිතියක් නැත. ඇතැම් සංස්කෘතීන්හි මත්පැන් පානය වැරදි දෙයක් නොවේ. මත්පැන් පානය අනුමත නොකෙරෙන බෞද්ධ මෙන්ම ඉස්ලාම් සමාජයන්හිද මත්පැන් පානය කරන්නෝ සිටිති. ඔවුහු මත්පැන් පානයෙන් සතුටට පත් වෙති. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ඔවුන්ට මත්පැන් විකුණන මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලි කරන්නේ, මත්පැන් වල ආදීනව උගන්වන සමාජ සේවකයා සහ මත්පැන් බී සිරෝසියස් හදාගත් රාමචන්ද්‍රන්ට බෙහෙත් කරන වෛද්‍යවරයා මෙන්ම සමාජ සේවයකි (යම් සීමාවන් යටතේ). මිනිස්සු මත්පැන් පානය නොකළ යුතුයැයි රජය සිතන පොසොන් පෝදා වැඩි මිලට පසුපස දොරෙන් විකිණීමද එවැනිම සේවයකි. මේ අර්ථයෙන් මත්පැන් වෙළඳාම අනෙකුත් රැකියාවලින් වෙනස් සුවිශේෂී එකක් නොවේ.


කෙසේ වුවද මත්පැන් වෙළඳාම ආර්ථික විද්‍යා මූලධර්ම අනුවම හැමවිටම නොවූවත් ඇතැම් තත්ත්වයන් යටතේ සමාජ විරෝධී කටයුත්තක් විය හැක. මෙය පසු ලිපියකින් සාකච්ඡා කරමි.


ආර්ථික විද්‍යා මූලධර්ම කෙසේ වුවත් ලංකාවේ වැඩි දෙනා සිතන පරිදි මත්පැන් පානයත්, ඒ නිසාම මත්පැන් වෙළඳාමත් සමාජ විරෝධී කර්තව්‍යයන්ය. අනෙක් අතට ආර්ථික විද්‍යාව යනු සමාජ සුබසාධනය ඉලක්ක කරගත් විද්‍යාවක් බැවින් එය යම් කිසි සමාජයක බහුතරයක් සිතන පතන දෙයින් ස්වායත්ත නැත. මේ අනුව ලංකාවේදී (මෙන්ම වෙනත් බොහෝ රටවලදී) මත්පැන් වෙළඳාම කිසියම් නියාමනයකට ලක්වීම ආර්ථික විද්‍යා මූලධර්ම වලට එකඟය.


සදාචාරාත්මක හේතු මත ලංකාවේ බොහෝ ව්‍යවසායකයෝ ලාභය පෙනුණු පමණින්ම මත්පැන් වෙළඳාමට නොපෙළෙඹෙති. ඒ ගැන සිතන්නෙකුටද නියාමන කඩඉම් පැනීමට සිදුවේ. ලංකාවේදී මේ නියාමනය බොහෝවිට විනිවිදභාවයකින් තොරව සිදුවන අතර දේශපාලනය හා දැඩි ලෙස සම්බන්ධ වී තිබේ. අද වන විට මත්පැන් විකිණීමේ අවසරපත් ඇති "පරණ පිනක් හිසේ කඩා වැටී ඇති" බොහෝදෙනා ප්‍රාදේශීය දේශපාලනඥයින් හෝ ඔවුන්ගේ ගජ මිතුරන්ය. මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිද එවැන්නෙකු වීමේ වැඩි ඉඩකඩක් පවතී. මේ අය වර්තමාන ශ්‍රී ලංකාවේ නොගිණිය නොහැකි තරමේ බලවේගයකි. තරුණියන් දූෂණය කරමින්, එය සැමරීමට මිතුරන් සමඟ සන්ධ්‍යා සාද පවත්වන "ප්‍රා.ස. වලා" ලා සිටින්නේත් මේ බලවේගය තුළමය.


එසේ වූ පලියටම මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලි පොසොන් පෝයට බත් දන්සැලක් දීමට නුසුදුස්සෙක් වන්නේ නැත. සාරංග ඇබිත්ත කොලුවා සමඟ ඔහුගේ අකැමැත්ත නොතකා සමලිංගික සේවනයේ යෙදෙන රතනසාර හිමිගේ අනුශාසකත්වයෙන්, පියසීලි ඉස්කෝලේ හාමිනේට විදුහල්පති නිල නිවාසයේදී පාඩමක් කියාදෙද්දී උසස්පෙළ සිසුවකුගේ අතටම අසු වූ චන්ද්‍රසේකර උපාසක තැනගේ අනුශාසකත්වයෙන්, උපතිස්ස, ප්‍රසන්න, රෝහිත ඇතුළු "මාකොළ හන්දියේ තරුණ කැල"ට දන්සැලක් දීමට ඇති නීතිමය හා සදාචාරාත්මක අයිතියම මාකොළ වයින් ස්ටෝර්ස් මුදලාලිටත් තිබේ. ඉස්ලාම් භක්තිකයෙක් වන ඉබ්‍රාහිම් මුදලාලිටත් මේ අයිතියම තිබේ.


වයින් ස්ටෝර්ස් මුදලාලි දන්සැල දෙන්නේ හන්දියේ තරුණ කැල මෙන් අනුන්ගෙන් සම්මාදම් කළ අරමුදල් වලින් නොවේ. තමාගේ ලාභයෙන් කොටසක් වැය කරමිනි. දන්සැල දුන් පලියට ඔහුට පාරිභෝගිකයන් වැඩිවනු ඇතැයි සැලකීම අසීරුය. දන්සැල නුදුන් පලියට ඔහුහේ පාරිභෝගිකයන් අඩු වීමටද ඉඩක් නැත. මේ අනුව ඔහු වැය කරන්නේ ඔහුට වෙනත් කටයුත්තක් සඳහා වැය කළ හැකි ඔහුගේ පෞද්ගලික මුදල්ය. එය ඔහුට අනුව සුළු මුදලකි. මෙහිදී, ඔහු ඒ මුදල් උපයාගත් ආකාරය වැදගත් නැත. එසේ කිරීමෙන් තමාගේ පින්-පවු අරමුදලේ සෘණ ශේෂය අඩු කරගැනීමට හෝ තමාගේ "හොඳ ගතිගුණ" ප්‍රදර්ශනය කිරීමට ඔහු අපේක්ෂා කළා විය හැකිය. වැදගත් කරුණනම්, වයින් ස්ටෝර්ස් මුදලාලිගේ දන්සැලෙන් සිදුවන සමාජ සත්කාරයේ වටිනාකම ආගමික සංකල්ප අනුව කෙසේ වුවත් ආර්ථික විද්‍යා සංකල්ප අනුවනම් සම්මාදම් දන්සැලකින් සිදුවන සමාජ සත්කාරයට වඩා වැඩි බවයි.


හන්දියේ තරුණ කැල සංවිධානය කරන දන්සැලද බොහෝ විට අවසන් වන්නේ සන්ධ්‍යා සාදයකිනි. මේ සාදය සඳහා එක්වන තරුණ කැල වයින් ස්ටෝර්ස් මුදලාලිගේ සේවය අගය නොකළොත් පුදුමයකි. ඇතැම් විට දන්සැලක් සමාප්ත කිරීමෙන් පසු පැවැත්වෙන මෙවැනි සාදයකට "ප්‍රා.ස. වලා" සතුටු වන වෙනත් දේද රැගෙන ඒම දුලබම නැත.  "ප්‍රා.ස. වලා" මෙන් සන්ධ්‍යා සාදයට අවශ්‍ය දේ සපයා ගැනීමට බලහත්කාරය යෙදීමේ හැකියාවක් නැති නිසා තරුණ කැලට සිදුවන්නේ ඒ දේවල් දන්සැලේ ලාභය යොදවා මුදලට ගැනීමටය.  "ප්‍රා.ස. වලා"ලා පාවිච්චි කරන බඩු මෙන් මේවා නැවුම් නැත. ඒ නිසා ආරක්ෂාකාරී පියවරක් ලෙස ප්‍රීති වෙලාගැනීමට සිදුවේ.


පොසොන් පෝදා දන්සැල අවසානයේ අපේ සම්මාදම් මුදල් වලින් සන්ධ්‍යාවේ විනෝදේ සඳහා ප්‍රීති වෙලාගෙන රූකඩ නටවන්නේ ප්‍රාස වලාලා විතරක් නොවේ.




(මාකොළ වයින් ස්ටෝර්ස් ඉදිරිපිට ඇති දන්සැලට එහි අයිතිකරුගේ කිසිදු සම්බන්ධයක් නැති වියහැකි අතර ඔහු මේ වෙළඳාම කළත් යුක්තිගරුක පුරවැසියෙකු විය හැක. ඔහුට අපහාසයක් කිරීමේ අදහසක් නැත.)





7 comments:

  1. අර සමහර මුස්ලිම් සහෝදරවරුන්ගේ යැයි කියූ කොමෙන්ට් ගැන බොහෝම පැහැදීමක් ඈති උනා. ලිපියනම් අනර්ඝයි ඉකෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමී! ඒ කමෙන්ට්ස් ගැන මටත් ඇතිවුනේ ලොකු පැහැදීමක්. සමහර විට මගේ කැතහිත නිසා කියවන්ඩ ඇත්තේ වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන්...

      Delete
  2. මගේ අදහස ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න සල්ලි දාන කෙනාගෙ සල්ලි සුදුද කළුද කියන එක මට වැදගත් නෑ කියල හඳගමත් එක පාරක් කිව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම හිතුනේ හඳගමත් ඉකොනොමැට්ටෙක් නිසාද දන්නේ නෑ.

      Delete
  3. මගේ අදහසත් ඒකමයි . මම නම් කොහොමටත් බොන කෙනෙක්. වයින් විකුණන සල්ලි වලින් දානයක් දෙන එකේ ප්‍රශ්නයක් මටත් නම් නැහැ.

    ReplyDelete
  4. මෙතන තියෙන්නේ චායාරුපය මාධ්‍ය ගත කිරීමේ ප්‍රශ්නයක්.
    දකුණට බරව තිබුනානම් රස කෑම කඩේ දන්සල වෙන්න තිබුනා.
    වමට බරව තිබුනානම් ගෘහ භාණ්ඩ කඩේ දන්සල වෙන්න තිබුනා.

    සමහර විට දන්සල ශාලාව කඩවල් ගණනාවක් ඉදිරියෙන් දමා තිබෙන්න ඇති. නමුත් එය සංවාදයට තුඩු දෙන ජාතියේ
    චායාරුපයකට හේතු නොවෙනු ඇති.

    බැනරයේ ඇත්තේ සාලිය ජයලාල් මහතාගේ අනුග්‍රහයෙන් 10 වන වරට බවයි.

    සාලිය ජයලාල් මාකොළ ස්ටෝර්ස් අධිපති නම් සංවාදයට කරුණක් ඇත.

    ReplyDelete
    Replies
    1. එසේ විය හැක. සැබෑ ඡායාරූපයක වුවද රූගත කරන භෞතික වස්තූන්ට අමතරව ඡායාරූප ශිල්පියා ඒවා දකින ආකාරය හෝ ඔහුට සන්නිවේදනය කිරීමට අවශ්‍ය අදහස් බොහෝ විට පිළිබිඹු වේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: