Tuesday, June 16, 2015

හලාල් ආහාර වලට වැඩිපුර ගෙවිය යුතුද?



සසංක කන දේවල් තිබේ. නොකන දේවලුත් තිබේ. නිර්මාංශිකයෙකු නොවන සසංක කුකුළු මස් හා ගව මස් වලට මෙන්ම සූකර මාංශයටද ගිජුය. ඔහුට මස් හලාල්ද නැද්ද යන්න වැදගත් කරුණක් නොවේ. අබ්දුල් සූකර මාංශ නොබුදී. ඔහු කුකුළු මස් හා ගව මස් වලට ප්‍රිය කරන නමුත් ඒවා ආහාරයට ගන්නේ හලාල්නම් පමණි. නිර්මාංශී නොවන රසිකාත්, සතියේ ඇතැම් දිනවල නිර්මාංශීව සිටින කමලිනීත් කුකුළු මස් ආහාරයට ගනිති. එහෙත් ඔවුහු අනෙකුත් 'ගොඩ මස්' වර්ග නොබුදිති.

වෙළඳපළෙහි විකිණෙන කුකුළු මස් හලාල්නම් මේ සිවු දෙනාම මස් මිලදී ගැනීමේ ඉඩ කඩක් තිබේ. එහෙත්, මස් හලාල් නොවේනම් අබ්දුල් මස් මිලදී නොගනු ඇත. මේ නිසා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කළ විට ඉල්ලුම වැඩි වේ. එහෙත්, එවිට නිෂ්පාදන පිරිවැය සුළු වශයෙන් හෝ ඉහල යයි. මේ ඉහල යන පිරිවැය අවසානයේදී දරන්නේ කවරෙක්ද?

මෙහි ඇත්තේ න්‍යායාත්මකව විශ්ලේෂණය කළ හැකි ආර්ථික විද්‍යා ගැටලුවකි.

මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සඳහා අපට ආර්ථික විද්‍යා ආකෘතියක් සකස් කර ගැනීමට සිදුවේ. අපි සරල ආකෘතියකින් පටන් ගනිමු.

වෙළඳාම සඳහා බාහිරට විවෘත නොවූ නිශ්චිත ප්‍රදේශයක් ඇතැයි අපි පළමුව උපකල්පනය කරමු. මේ ප්‍රදේශය තුළ කුකුළු මස් සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා පාරිභෝගිකයන් සිය දෙනෙකු අතර  'රතු' සහ 'කොළ ' නම් වූ පාරිභෝගිකයෝ දෙවර්ගයක් සිටිති. කොළ පාරිභෝගිකයෝ හලාල් කුකුළු මස් පමණක් ආහාරයට ගනිති. රතු පාරිභෝගිකයෝ හලාල්ද නැද්ද යන්න නොසලකා අඩු මිලට ඇති තැනෙකින් කුකුළු මස් මිලදී ගනිති.

කුකුළු මස් නිෂ්පාදකයෙකු සාමාන්‍ය මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී කුකුළු කෑම ආදිය සදහා රුපියල් 200ක විචල්‍ය පිරිවැයක්ද සේවක වැටුප් ආදිය සඳහා රුපියල් 500ක ස්ථිර පිරිවැයක්ද දැරිය යුතුයැයි සිතමු. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කළහොත් විචල්‍ය පිරිවැය රුපියලකින් වැඩිවී රුපියල් 201ක් වේයැයිද, ස්ථිර පිරිවැය රුපියල් සියයකින් වැඩිවී රුපියල් 600ක් වේයැයිද සිතමු. කුකුළු මස් කිලෝවක් රුපියල් 225ක් වේනම් සෑම පාරිභෝගිකයෙකුම කුකුළු මස් කිලෝවක් බැගින් මිලදී ගන්නේයැයි සිතමු. කෙසේ වුවද, කොළ පාරිභෝගිකයින් මස් මිලදී ගන්නේ මස් හලාල්නම් පමණි.

අවස්ථාව 1- තනි රතු රට:

රතු රටේ පාරිභාගිකයින් සිය දෙනාම රතු අයයි. ඒ නිසා නිෂ්පාදකයෙකුට වැඩි පිරිවැයක් දරා හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 25ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය (ස්ථිර පිරිවැය නොසලකා) රුපියල් 2500කි (25x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 500ක් වන බැවින් නිෂ්පාදකයන් පස් දෙනෙකුට මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත. නිෂ්පාදකයින් ගණන එයට වැඩි වුවහොත් දීර්ඝකාලීනව කිසිවකුට ලාභයක් ලැබිය නොහැක.


අවස්ථාව 2- තනි කොළ රට:

කොළ රටේ පාරිභාගිකයින් සිය දෙනාම කොළ අයයි. මේ වෙළඳපොළෙහි සාමාන්‍ය කුකුළු මස් සඳහා කිසිදු ඉල්ලුමක් නොමැති බැවින් සෑම නිෂ්පාදකයෙකුටම  හලාල් ක්‍රමයට කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සිදුවේ. නිෂ්පාදකයෙකු මස් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් 24ක ලාභයක් ලබයි. මේ වෙළඳපළෙන් සියළුම නිෂ්පාදකයන්ට ලබා ගත හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2400කි (24x100). එක් නිෂ්පාදකයකුගේ ස්ථිර පිරිවැය රුපියල් 600ක් වන බැවින් නිෂ්පාදකයන් සිවුදෙනෙකුට පමණක් මේ වෙළඳපළෙහි ඉඩ තිබේ. දිගුකාලීන ලාභයක් නැත.

අවස්ථාව 3- රතු බහුතර රට:

රතු බහුතර රටේ රතු පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. කොළ පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ අනූවකි. මුළු කෙටිකාලීන ලාභය රුපියල් 2250කි (25x90). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි. දිගුකාලීන ලාභය රුපියල් 62.50කි.

අනෙක් අතට, ඔවුන් හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු සාමාන්‍ය කුකුළු මස් නිපදවනු ඇත. මෙහිදී රතු බහුතර රටේ සුළුතර කොළ පාරිභෝගිකයින්ගේ ඉල්ලුම සැපිරී නැත.

පස් වන නිෂ්පාදකයෙකු හලාල් කුකුළු මස් නිපදවීමට සිතන්නේනම් මස් කිලෝ දහයක ඉල්ලුමක් ඇත. මේ නිෂ්පාදකයාට තම ස්ථිර පිරිවැය පියවා ගැනීම සඳහා මස් කිලෝවක් රුපියල් 261කට (201+600/10) විකිණීමට සිදුවේ. මේ අනුව කොළ පාරිභෝගිකයෙකු මස් කිලෝවක් සඳහා ගෙවීමට කැමති උපරිම මිල රුපියල් 261ට අඩුනම් රතු බහුතර රටේ හලාල් මස් නිෂ්පාදනය නොවනු ඇත.

ඒ මිල ඊට වැඩිනම් රුපියල් 225කට සාමාන්‍ය කුකුළු මස් අලෙවි වෙත්දී රුපියල් 261කට හලාල් කුකුළු මස් අලෙවි වනු ඇත. හලාල් කුකුළු මස් සඳහා වැඩි මිලක් ගෙවීමට රතු පාරිභෝගිකන් සූදානම් නැති නිසා ඔවුන් හලාල් මස් වලට අකමැත්තක් නැතත් හලාල් මස් මිල දී නොගනු ඇත. මෙහිදී හලාල් කුකුළු මස් සහ සාමාන්‍ය කුකුළු මස් වෙනස් ආර්ථික භාණ්ඩ දෙකක් ලෙස පවතිනු ඇත.

අවස්ථාව 4- කොළ බහුතර රට:

කොළ බහුතර රටේ කොළ පාරිභෝගිකයෝ අනූ දෙනෙකි. රතු පාරිභෝගිකයෝ දහයකි. නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ දහයකි. මුළු ලාභය රුපියල් 250කි (25x10). මෙය එක් නිෂ්පාදකයකුගේ හෝ ස්ථිර පිරිවැය නොපියවයි. ඒ නිසා කිසිදු නිෂ්පාදකයෙකු හලාල් නොවන කුකුළු මස් නොනිපදවනු ඇත.

මේ අනුව, සියළුම නිෂ්පාදකයෝ හලාල් කුකුළු මස් නිපදවති. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන සිවුදෙනෙකුට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මේ අනුව නිෂ්පාදකයන් සිවුදෙනෙකු හලාල් කුකුළු මස් නිපදවනු ඇත. වෙළඳපලෙහි හලාල් නොවන සාමාන්‍ය කුකුළු මස් දක්නට නොලැබෙනු ඇත. ඒ අනුව රතු පාරිභෝගිකයන්ටද හලාල් කුකුළු මස් මිලදී ගැනීමට සිදුවන නමුත් ඒ සඳහා ඔවුන් වැඩි මිලක් ගෙවිය යුතු නොවේ.

අවස්ථාව 5- රතු කොළ සම රට:

රතු කොළ සම රටේ කොළ පාරිභෝගිකයෝ පනස් දෙනෙකි. රතු පාරිභෝගිකයෝද පනසෙකි. මෙහිදී විශ්ලේෂණය තරමක් සංකීර්ණය.

විකල්පය-1:
ඇතැම් නිෂ්පාදකයෝ සාමාන්‍ය කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ පනහකි. මුළු ලාභය රුපියල් 1250කි (25x50). නිෂ්පාදකයින් ගණන දෙකකට වඩා වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 625කි. දිගුකාලීන ලාභය රුපියල් 125කි. එහෙත් මේ ලාභය ලබාගත හැක්කේ හලාල් කුකුළු මස් නිෂ්පාදකයන් කිසිවෙකු නැත්නම් හෝ හලාල් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 225කට වඩා වැඩිනම් පමණි. නැතහොත් හලාල් කුකුළු මස් නිෂ්පාදකයන්ගේ තරඟය හමුවේ මේ ලාභය දිය වී යනු ඇත.

මෙහිදී කොළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ඉටු නොවන බැවින් එම වෙළඳපොල ගැන පමණක් සිත් යොමන හලාල් නිෂ්පාදකයකුට ලැබිය හැකි මුළු කෙටිකාලීන ලාභය රුපියල් 600කි (24x50/2). දිගුකාලීන ලාභයක් නැත. මේ නිසා හලාල් නිෂ්පාදකයින් රතු වෙළඳපොලටද පිවිසෙනු ඇති අතර එවිට සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින්ගේ ලාභය අඩු වනු ඇත. ඒ නිසා ඉහත වෙළඳපොළ සැලැස්ම සිදු විය නොහැක්කකි.

විකල්පය-2:
නිෂ්පාදකයෝ සියල්ලෝම හලාල් කුකුළු මස් නිපදවත්යැයි මොහොතකට සිතමු. දැන් ඔවුන් හමුවේ ඇති ඉල්ලුම මස් කිලෝ සියයකි. මුළු ලාභය රුපියල් 2400කි (24x100). නිෂ්පාදකයින් ගණන හතරකට වැඩිවිය නොහැකි නිසා එක් අයෙකුගේ කෙටිකාලීන ලාභය රුපියල් 600කි. දිගුකාලීන ලාභයක් නැත. මෙහිදී සිය පාරිභෝගිකයන්ගෙන් හරි අඩක් හලාල් මස් නොඉල්ලන නිසාත්, සාමාන්‍ය මස් විකිණීමෙන් ලාභය වැඩි කර ගත හැකි නිසාත් ඇතැම් හලාල් නිෂ්පාදකයෝ සාමාන්‍ය මස් නිපදවීමට පෙළඹෙනු ඇත. මේ නිසා මෙයද සිදු විය නොහැක්කකි.

විකල්පය-3:

තෙවන විකල්පය යටතේ හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් දෙවර්ගයක් සිටියත් මස් වල මිලෙහි වෙනසක් නැත. මෙහිදී  රතු කොළ සම රටේ වෙළඳපලෙහි දිගුකාලීන ලාභය හලාල් සහ හලාල් නොවන නිෂ්පාදකයින් අතර බෙදෙනු ඇත.

සාමාන්‍ය කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 22.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 562.50කි (25x 22.5). දිගුකාලීන ලාභය රුපියල් 62.50කි. හලාල් කුකුළු මස් නිෂ්පාදකයින් දෙදෙනෙකු එක නිෂ්පාදකයෙකු මස් කිලෝ 27.5ක් බැගින් නිපදවනු ඇත. කෙටිකාලීන ලාභය රුපියල් 660කි (24x 27.5). දිගුකාලීන ලාභය රුපියල් 60කි. නිෂ්පාදකයන්ගේ ලාභය (ආසන්නව) සමාන වන අතර දෙවන විකල්පයේදී ලැබෙන ලාභයට වඩා වැඩිය.

මේ නිසා රතු කොළ සම රටේ මෙවැනි මිශ්‍ර සමතුලිතතාවක් ඇති වනු ඇත.

ඉහත අවස්ථා සියල්ල සලකා බැලූ විට මේ සරල ආකෘතිය අනුව යම් කිසි නිශ්චිත ප්‍රදේශයක කොළ පාරිභෝගික ප්‍රතිශතය වැඩිවෙද්දී හලාල් නිෂ්පාදකයින් වැඩි වන ආකාරය අපට තේරුම් ගැනීමට පුළුවන. ලෝකය පුරා මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශ වල විසිරී සිටින මේ සටහන කියවන්නට මෙවැනි ප්‍රදේශ හඳුනා ගත හැකි වනු ඇත.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩුනම් හලාල් ආහාර සඳහා සාමාන්‍ය ආහාර වලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත. මෙය මුදල්මය මිලක් හෝ දුර බැහැරකට යාමේ අවශ්‍යතාව වැනි මුදල්මය නොවන මිලක් විය හැකිය.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය තරමක් වැඩි වෙද්දී හලාල් සහ හලාල් නොවන ආහාර මිල සමාන වනු ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ හලාල් නොවන ආහාර වල මිලටම හලාල් ආහාර මිල අඩුවීම (රතු පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා) මිස හලාල් නොවන ආහාර මිල වැඩිවීමක් නොවේ.

-කොළ පාරිභෝගික ප්‍රතිශතය ඉතා වැඩිනම් හලාල් ආහාර පමණක් වෙළෙඳපොලේ පවතිනු ඇත. මෙහිදී රතු පාරිභෝගික ප්‍රතිශතය ඉතා අඩු නිසා හලාල් නොවන ආහාර වලට වඩා හලාල් ආහාර නිෂ්පාදන වියදම (ස්ථිර වියදම්ද එකතු කළ විට) අඩුය. ඒ අනුව මෙහිදීද රතු පාරිභෝගිකයින්ට වැඩි මිලක් ගෙවීමට  සිදු නොවේ.
ඉහත විග්‍රහය හැකිතාක් සරලව සිදු කර තිබේ. එහෙත් වඩා සංකීර්ණව මේ විග්‍රහය කළද අවසාන ප්‍රතිපලය වෙනස් නොවේ. මේ විග්‍රහය හලාල් සහ කොෂර් ආහාර වලට මෙන්ම අසාත්මිකතා ඇති කරන ආහාර සඳහාද යොදා ගත හැක. උදාහරණයක් ලෙස රටකජු වලට අසාත්මිකතා ඇති (කොළ) අය සැමවිටම රටකජු නොමුසු  ආහාර සොයන අතර අසාත්මිකතා නොමැති (රතු) අයට මෙහි වෙනසක් නැත.

යම් කිසි ප්‍රදේශයක කොළ ප්‍රතිශතය නිශ්චිත සීමාවක් ඉක්මවූ විට ඔවුන් මිල දී නොගන්නා නිෂ්පාදන වෙළඳපළෙන් ඉවත් වීම (වෙළඳපොල ආර්ථිකයක් යටතේ) ස්වභාවිකවම සිදු වනු ඇත. මේ ප්‍රතිශතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා ඇති ඉල්ලුමේ ස්වභාවය, විචල්‍ය පිරිවැය වෙනස සහ ස්ථිර පිරිවැය වෙනස මතය.
කෙසේ වුවද, රතු සහ කොළ පාරිභෝගිකයින්ට අමතරව හලාල් නොවන ආහාර පමණක් මිලදී ගන්නා 'කහ' පාරිභෝගිකයින්ද සුළු ප්‍රතිශතයක් හෝ සිටීනම් මේ සීමාවන් විශාල ලෙස වෙනස් වනු ඇත. එහෙත්, මෙහිදී කහ පාරිභෝගික ප්‍රතිශතය විශාල නොවේනම් ඔවුන්ටද කොළ පාරිභෝගිකයින්ට මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇත.


(විග්‍රහය ඉකොනොමැට්ටාගේය. ඡායාරූප අන්තර්ජාලයෙනි.)








3 comments:

  1. ඉතාම හොඳ විග්‍රහයක්. හිතපු නැති පැත්තක් පෙන්නුවට ස්තුතියි.
    පහුගිය කාලෙ මෙහේ තිබුන විරෝධයත් එක්ක කහ පාට උදවිය ටිකක් වැඩිවුනා මං හිතන්නෙ. ඒකයි හලාල් යට ගියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වුනේ ඕක තමයි. ඒත් ඔය කහ පාට කණ්ඩායම ටික කාලෙකින් නැති වෙලා ගියාම (ඒ අයට රතු නොවී කහ වීමෙන් වාසියක් නැති නිසා) ආපහු මුල් තත්වයටම එනවා.

      Delete
  2. මෙතුවක් කාලෙකට මේ ගැන ලියවුනු හොඳම ලිපි වලින් එකක්..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.