වෙබ් ලිපිනය:

Friday, June 19, 2015

සාක්කුව පිරෙන්න රිදී ඕනෑද?


ඉකොනොමැට්ටාගේ භෝජනශාලාව විවෘත කර දැනට මාසයකි. මාසයකට කලින් ඔන්න ඔහේ නිකම්ම පටන් ගත්තත් මාසයේ ප්‍රගතිය නරක නැත. මාසෙට කෑම වට්ටෝරු විසි දෙකක් හදා තිබේ. බලාගෙන ගියාම ලොකු ගානකි. කෑම පිඟන් හාරදාහක් ඉක්මවා විකිණී ඇත. තව පිඟන් දාහත් දාහක් ඉක්මවා ගූගල් ප්ලස් වලින් විකිණී ඇත.

මේ සෙනඟ ආවේ මුල සිටම කිහිප දෙනෙකුගෙන් ලැබුණු ආධාර උපකාර නිසාය. ඉකොනොමැට්ටාගේ කෑම හොඳද නරකද කියා ඉකොනොමැට්ටාට  තීරණය කළ නොහැකි නිසා ඉකොනොමැට්ටා රේඩියෝ පත්තර වල ඇඩ් දැම්මේ නැත. කඩේ දාපු බෝඩ් ටික පමණි. ඉකොනොමැට්ටාගේ ප්‍රතිපත්තිය කඩේට එන පාරිභෝගිකයින්ට පුළුවන් තරම් හොඳින් සැලකීමයි.

මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ.

තවත් ටිකක් ඇනලයිස් කර බැලූ විට ඉකොනොමැට්ටාගේ පාරිභෝගිකයින්ගෙන් හරි අඩකට වඩා ඉන්නේ ලංකාවෙන් පිටය. දිනපතා පැමිණෙන පාරිභෝගිකයින්ද සිටින නමුත් සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු කඩේට එන්නේ දවස් තුනකට වරකි. ආ විට සාමාන්‍යයෙන් කෑම පිඟන් තුනක් පමණ අවසන් කරයි.

මේ අනුව ඉකොනොමැට්ටාගේ මැටි මොළේට තේරුම් ගියේ මුලින් වැඩිපුර මෙනු අයිටම් ටිකක් දමා තිබීම හොඳ වුණත්, අජීර්ණ ඇති නොවීමටනම් සතියකට අළුත් වට්ටෝරු තුනක් පමණ හඳුන්වා දීම හොඳ ඉලක්කයක් බවයි.

ඒ වගේම, දැනට ඇති සංඛාලේඛණ අනුව පෙනී ගියේ වැඩි දෙනෙකු ජංජාලගත වන්නේ සතියේ දිනවල වැඩ කරන වෙලාවේ බවයි. (වැඩ කරන වෙලාවට එහෙම දෙයක් හරි කිරීම ලොකු දෙයකි.) මේ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා හොඳ දවස් ලෙස තෝරාගත් ඉකොනොමැට්ටා රාහුකාලය පන්නා හොයාගත් ශුභ මුහුර්තයකට කෑම මේසයට ඔටෝ සර්ව් වන පරිදි ඊළඟ කෑම පිඟාන ශීතකරණයේ තැන්පත් කළේය. ඊළඟ සතිය ඉකොනොමැට්ටාට ගමන් බිමන් හා වැඩ අධික වීමත් මෙයට හේතු විය.

බ්ලොග් වලට ඇබ්බැහිවීම පරාභවයට කරුණකි යන රසිකභාෂිතය සත්‍යයක් බව පසක් කරමින් උදේ පාන්දරම ලැබුණු ඊයක් නිසා සියල්ල අවුල් විය.

ඇමරිකාවේ ප්‍රධාන ගුවන් සමාගමක තාක්ෂණික අංශයක සේවය කරන මගේ උගත් මිතුරා කියවා හෝ නොකියවා යොමු කළ ඊය අනුව මගේ සාක්කු රිදී වලින් පුරවා ගැනීමේ ස්වර්ණමය නොවූවත් රජතමය අවස්ථාව දැන් මා හමුවේ ඇත.

මෙය වසර 823කට වරක් එළෙඹෙන ඉතා දුර්ලභ අවස්ථාවකි. එසේ වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින තුන බැගින් ඇති අගෝස්තු මාසයක් 2015දී උදාවන නිසාය.

චීන ෆෙන්ග් ෂුයි අනුව මේ 'සිල්වර්- පොකට්ස් ෆුල්' වාසනාව ලැබීමට කළ යුත්තේ වහාම මේ ඊය මිතුරන් කිහිප දෙනෙකුට යොමු කිරීමයි. වැඩේ මිස් කරගත්තොත් තව අවුරුදු 823ක් බලා සිටීමට සිදු වනු ඇත. ඒ විතරක්නම් මදැයි? දවස් හතරකින් මාව දුප්පත් වීමටත් නියමිතය. (ඉකොනොමැට්ටා කොහොමටත් ඉතිං දුප්පතා නිසා ඒකෙනෙම් අවුලක් නැත.)

යාළුවන්ට මේ ඊය යවා උන්ගේ සාක්කු රිදී වලින් පුරවන්ඩ ඉකොනොමැට්ටාට ටිකක් කිචි වගේ නිසා ඉකොනොමැට්ටා වැඩේ අල්ලලා දැම්මේය. අනෙක් අතට, සාක්කුවේ රිදී කාසි පිරුණාම ඉකොනොමැට්ටාට කොහොමත් අවුල්ය. ක්‍රෙඩිට් කාඩ් ගෙනියන්නේ ඒ නිසාය.

යාලුවාට පහතින් ඇති පිළිතුර ලියා යැවූ ඉකොනොමැට්ටා අද ඔටෝ සර්ව් වීමට නියමිතව තිබුණු කෑම පිඟාන පොඩ්ඩක් පස්සට තල්ලු කර මේ සැලඩ් එක සර්ව් කරන්නේ ඒ අනුවය.

"ඕකේ තියෙන්නේ පට්ටපල් බොරුවකි. අමු ජෝක් එකකි.

1. වසර 823කට පෙර මෙය අත්හදා බැලීමට ඒ කාලයේ චීනයේ ඊ-මේල් තිබෙන්නට ඇතැයි සිතමි.
2. වසර 823කට පෙර චීන කැලැන්ඩර් වල අගෝස්තු මාසයක් තිබුණාද කියා මම නො අසමි.
3. මෙය සම්භාවිතාව අනුව සාමාන්‍යයෙන් (පිළිවෙලින් නොවූවත්) වසර 7කට වරක් සිදු වන නිසා වසර 823ක් බලා සිටීමට අවශ්‍ය නැත. පසුගිය 2014දී මෙය සිදු වූ අතර 2022දී මෙන්ම 2025දීත් නැවත සිදුවනු ඇත.
4. (හොඳම එක) 2015 අගෝස්තු මාසයේ සිකුරාදාවල් පහක් ඇත්තේ චීන කැලැන්ඩර් වල විය යුතුය. මගේ කැලැන්ඩරේනම් ඇත්තේ හතරකි.

කොහොම වුනත් දවස් හතරකින් සල්ලි හම්බ වුනොත් අපිටත් කියන්ඩ, හොඳේ! :)"

යාළුවා තාමත් යාළුවෙක්යැයි සිතමි.

(ඇත්තටම 2022දී මෙය නැවත සිදු නොවන අතර 2025 හා 2031දී සිදු වේ. කී දෙනෙක් චෙක් කළාද?)

21 comments:

  1. අර එරික්සන් ෆෝන් නොමිලේ ලැබෙන ඊමේල් එක තාමත් ඉඳහිට එනවා.

    පෙන හතේ නයා ගේ, සායි බබයියා ගේ ඒවා හෙම සමහරු 50 දෙනෙකුට යවන්නේ "ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත" තියරියට අනුව නතිං ටු ලූස් නිසා විය යුතුයි.

    ඇයි ලේසියෙන් චැරිටි වැඩ කිරීම මයික්‍රොසොෆ්ට් එකෙන් ලෙඩ ළමයාගේ ෆොටෝ එක යවන එක ඊමේල් එකකට සත දහයක් දෙන නිසා?

    ReplyDelete
  2. අලුත් ම අහුවීම තමයි හිතා මතා සැකසූ "පැරොඩි" වලට අහුවීම.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේ ඊය යොමු කළ කෙනා ඔය වාසිය කෙසේ වෙතත් අදාළ කරුණ රස විඳින්න කියලයි එවලා තිබුණේ. හැබැයි ඔය 823 කතාව වෙන්ඩ බැරි දෙයක් කියලා නිකමටවත් හිතලා නෑ.

      Delete
    2. මුළු අවුරුද්දේම කැලැන්ඩරේ තීරණය වෙන්නේ ජනවාරි පළමුවෙනිදා යනු සතියේ කුමන දවසද කියන් එකෙනුයි. ඒ කියන්නේ කැලැන්ඩර් හතයි. නමුත් පෙබරවාරි 29 කේස් එක නිසා මේ ගාන 14ක් වෙනවා.

      නමුත් අධික අවුරුද්දක් එන්නේ වසර හතරකට නිසා ඔය කැලැන්ඩර් 14 ම එන්න අවුරුදු 28ක් ගත වෙනවා.

      දැන් අගෝස්තු පළමුවෙනිදා සිකුරාදා කියා යොදා චීන රිදී ප්‍රශ්ණය විසඳිය හැකියි.

      Delete
    3. 100න් බෙදෙන 400න් නොබෙදෙන අවුරුද්දක් ආවොත් එය අධික අවුරුද්දක් නොවන නිසා ඔය රීතිය පොඩ්ඩක් වෙනස් වෙනවා. නැත්නම් මුළු අවුරුද්දෙම කැලැන්ඩර් 14 අවුරුදු 28කින් එනවා. අධික අවුරුද්දක් වුණත් නැතත් අගෝස්තු කැලැන්ඩර් තිබිය හැක්කේ 7යි. අවුරුදු 5කට, 6කට හෝ 11කට වරක් අගොස්තුව සිකුරාදාවකින් පටන් ගන්නවා.

      Delete
  3. ///බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි///

    අන්න වැරදුන තැන.....බ්ලොග් අවකාශයද සාමාන්‍ය ලාංකික සමාජයේ නිරූපණයකි....මේකත් රසිකභාශිතයක් ....කකා ප්ලීස් රෙෆරන්ස් දෙන්න......

    ReplyDelete
    Replies
    1. මයියා, මම තවම මාසේ බබා නිසා මම ඇණගෙන වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒත් මම මුලින් හිතාගෙන හිටි තත්ත්වයට සාපේක්ෂවනම් මට තවමත් හිතෙන්නේ සාමාන්‍ය සමාජයට වඩා තවමත් ටිකක් හොඳ බවයි. (මයියාගේ පරණ පෝස්ට් කිහිපයක් සහ ඒවාට වැටුණු කමෙන්ට්ස් ටිකකුත් මම ළඟදී කියෙව්වා.)

      Delete
  4. බ්ලොග් අවකාශය මේ සමාජයේම එක් කුලකයක් පමණි...

    ReplyDelete
    Replies
    1. ඒ නැතත් බහුතරයක් ඔහේ ලියන්නන්...
      ආසාවට විතරක්

      Delete
    2. අපිත් ඔය ගොඩේම තමයි.

      Delete
  5. ඊ මේල් එක ඇත්ත වුණාය කියමුකො
    යකෝ ඔය කියන විදියට රිදී පිරුණොත් සාක්කුව ඉරෙනව නෙ
    ඒක කොයි තරං අපරාධයක්ද හිහි

    ReplyDelete
    Replies
    1. සාක්කු හැම එකේම වගේ හිල් නිසා පුරවන්ඩනම් අවුරුදු 823කුත් මදිවෙයි. නොවැම්බර් වල කියවන බජට් එක අගෝස්තු වලට දැම්මොත් රටටවත් වැඩක් වෙයිද? (කවුරුහරි කරන්ඩත් බැරි නෑ.)

      Delete
  6. ගූගල් ප්ලස් දත්ත අදාල නෑ. ඒවා බ්ලොග් එක කියවීම් නොවේ.

    ReplyDelete
    Replies
    1. තර්කානුකූලව එසේ විය නොහැකි බව තේරේ. එහෙත් තාක්ෂණිකව ඒ අංකය කුමක්ද කියා නොතේරේ. අනෙත් අංකයද හරියටම නිවැරදි විය නොහැක. ආයතන දෙකක මිනුම් දඬු වල සැලකිය යුතු වෙනස් කම් තිබේ. (ඇත්ත ගණන මීට වඩා අඩු බව මගේ අදහසයි.) සැබෑවටම පිවිසෙන අයද සටහන් කියවන බව තාක්ෂණය මඟින් තහවුරු කළ නොහැක.

      Delete
  7. හපොයි ඔය වගේ කතා අපි ඉස්කෝලේ යන කාලෙ ඉඳන් තිබුනා.තුඹහකින් නාගයෙක් මතුවෙලා “බුදු ගුණ අනන්තයි“ කියපු කතාව.මතකද?ඒක මොඩිෆයි වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. ඔය නාගයාම හිටපු ගමන් ආයේ මතුවෙනවා. (ඔය ඉස්කෝලේ ගිය කාලෙ කියන්නේ ගොඩක් ඉස්සර වෙන්ඩ ඇති නේද? අපිනම් ලඟදි ඉස්කෝලෙන් අවුට් වුනේ)

      Delete
  8. චෙෆ් em ගේ කෑම වේලක තිබුනා........

    "මේ මාසය තුළ ඉකොනොමැට්ටා ගොඩක් දේවල් ඉගෙන ගත්තේය. ඒ අනුව පටන් ගන්න කොට තිබුණු චිත්තරේ ගොඩක් වෙනස් විය. බ්ලොග් අවකාශය පිරී ඇත්තේ මුලින් හිතා හිටි විදියට හිච්චි කොල්ලන්ගෙන් නොවේ. පරිණත අයගෙනි. එය සතුටට කරුණකි. ඒ වගේම දුකටද කරුණකි. කොහොමත් හොඳ කෑම කන අයට ඉකොනොමැට්ටාගේ කෑම වලින් වැඩක් තියේදැයි වෙලාවකට හිතේ."

    චෙෆ් em,
    ඔබේ සරල කෑම ඉතා රසවත්ය. කෑම වඩාත් රසවත් කිරීමට ඔබ යොදාගන්නා දේශපාලන,ආර්ථික හා සමාජීය අඩුමකුඩුම ඉදිරියේ MSG පරාදය. ආහාරයේ පෝෂණ ගුණය වැඩි කිරීමට හා ජිර්ණය පහසුකිරීමට යොදාගන්නා සරල ඉදිරිපත්කීරීම හා හාස්‍යයට බර විශ්ලේෂණයන් ඉතා කදිමයි. Garnish එකත් ඇහැට මරු.
    ★ සිංහල හෝටල් හා පෙට්ටිකඩවලින් නිතරම කෑම ගන්න අපට ★★★ සිංහල මොටෙලුත් අත්‍යාවශ්‍යය. කෑම විතරක් නොව හීන් අඩියක් ගහන්න ස්පොට් එකකුත් උවමනාය.
    ★★★★★ ගැන අවබෝදයක් නම් මට නැත ,හැබැයි සිංහල බ්ලොග් අවකාශයට ජාත්‍යන්තර කෑම සකස්කරලා දෙන්න ඔබට සුදුසුකම් ඇතැයී මට හැ‍ගේ.
    කලබල නැතුව පිරිසිදුව වැඩේ දිගටම යන්න මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. 1985 සිට 1955ට යන බැක් ටු ද ෆියුචර් මාටිට ඔහුගේ අනාගත පියා වන ජෝජ් හමුවේ. විද්‍යා ප්‍රබන්ධ ලියන ජෝජ් ඒවා වෙනත් කෙනෙකු කියවනවාට කැමති නැත. (මෙය මානසික රෝගයක් විය හැකිය. අපේ ට්‍රැන්සි දොස්තර මහත්තයාගෙන් ඇහුවොත් නම හොයා ගත හැකි වනු ඇත.) ඔය වැඩේ ජෝජ්ගේ 1955 වයසේදී සිටම ඉකොනොමැට්ටාත් කළේය. වෙන අය කියවනවාට බයක් හෝ අකැමැත්තක් නොතිබුණත් ඉදිරි පියවර ගැනීමට කම්මැලි නිසා ඔය කොළ කෑලි ෆයිල් එකක එකතු විය. (ඉඳහිට යවපු කිහිපයක් දිවයිනේ අටවෙනි පිටුව වගේ තැන් වල පළවිය.) අනෙත් කරුණ ඉකොනොමැට්ටාට ඉකොනොමැට්ටාගේ දරුවෙකුට හෝ තම අදහස් පැටවීමට උවමනාවක් නැති වීමයි. බ්ලොග් එකක් ලියන දේ තැන්පත් කර තැබීමට කොළ කෑල්ලකට වඩා හොඳ නිසා වැඩේ මේ විදිහට පටන් ගත්තෙමි. කියවා කවුරු හෝ සතුටක් හෝ ප්‍රයෝජනයක් ලබනවානම් එය අමතර දෙයකි. ඔබේ සටහන මට දිරියකි. ඇත්ත නේන්නම්! මොටෙල් වගේම බාර්ද මිනිස් අවශ්‍යතාය. කෙසේ වුවත් වැඩේ එක දිගට කරගෙන යන විට කොයි මොහොතක හෝ කෑම නරක් වීමේ අවදානමක් තිබේ. අඩුපාඩු දුටු විට වහාම පෙන්වා දිය හැකිනම් ලොකු උදවුවකි.

      Delete
  9. ඉකොනොමැට්ටාගෙ හෝටලේට මාත් කැමතියි. කෑම රසයි විවිධයි. දිගටම කරගෙන යන්න සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, රාජ්! (ඇගයීම හොඳ නිසාම නොවේ. අවංක ලෙස පෙනෙන නිසාය.)

      Delete
  10. අප්පටසිරි මෙච්චර දවසක් මේකෙන් කන්න බැරිවෙලා නේ ? සොරි වෙන්ට ඕන. ලඟදි මොනවත් ලිව්වේ නැතිපාටයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: