Monday, July 11, 2016

මියන්මාර් පාලනය පෙරළීමට ලංකාවෙන් මෙහෙයුමක්!


ථෙරවාද බෞද්ධ රටවල් වූ ලංකාව හා මියන්මාරය අතර කවදත් තිබුණේ සමීප සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයකි. මහ පැරකුම්බා සමයේදී ලංකාව ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිය ස්ථාවරය තිරසාර කර ගනිමින් සිටියදී, මියන්මාර පාර්ශ්වයෙන් පැනවූ සෘජු හා වක්‍ර වෙළඳ සම්බාධක හේතුවෙන් මේ සම්බන්ධය පළුදු වී ලංකා හමුදාවන් විසින් මියන්මාරය ආක්‍රමණය කිරීමට පෙළඹීම දක්වා තත්ත්වය ඔඩු දුවයි. මහා වංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදය අනුව, මහ පැරකුම් සමයට පෙර දෙරට අතර පැවති සබඳතාව මෙවැන්නකි.

"සම්‍යග්දෘෂ්ඨි සමඟි මිනිසුන්ගේ නිවස බැවින් ලංකා රාමඤඤ දේශයන්ගේ භේදයෙක් හැම කල්හි නොවීය. ලක්දිව අධිපති වූ රජ දරුවෝද රාමඤඤ දේශ ඊශ්වරයෝද යන මේ දෙපක්ෂයෙහි ඇත්තෝ සාදෘශ්‍යයෙන් හැම කල්හිම පරාම සෞගතයහ. එහෙයින්, දේශ දෙක්හිම පූර්වික සියලු රජදරුවෝ දැඩි සේ හටගත් විස්වස් ඇත්තේ සිතින් යුක්තවම හිතයෝය. මාහැඟි නොයෙක් පඬුරු උනුන් වෙත පමුණුවමින් බොහෝ කලක් නොකඩවා සමඟි බැව් පැවැත්වූහ."

මේ සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව මෙසේ පැවතෙද්දී කලක් තිස්සේම සිදුවුණු එක් චාරිත්‍රයක් ලෙස මියන්මාරයට ලංකාවෙන් පැමිණෙන සෑම නැවකටම අරමණ රජයෙන් ලැබෙන තුටු පඬුරක් ලෙස ඇතෙකු බැගින් ලැබුණේය. පෙර ලිපියෙන් විස්තර කළ වෙළඳ සම්බාධක හා මිල වැඩි කිරීමට අමතරව අරමණ රජු විසින් මේ චාරිත්‍රය බිඳිමින් ඇත් පඬුර නවත්වයි. ඒ අතරම, ලංකාවෙන් එහි යැවෙන අපනයන භාර ගන්නා නමුත් එහි මිල ලෙස ලබා දීමට පොරොන්දු වූ භාණ්ඩ ලබා දීම මඟ හරිමින් ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කරයි.  ලංකා වෙළඳ නියෝජිතයෝ සිර ගත කරනු ලබති.


"ගෙන යන පඬුර පිණිස නැවක් පාසා එකෙක් එකෙක් බැගින් දෙනු ලබන්නා වූ පුරාණ ඇත් පඬුර මුලිනිදිරි. තමන් උදෙසා එලවන ලද රන්මුවා ලියුම් දක්නේත්, ... සියලු වස්තු උදුරාගෙන ලංකේශ්වරයාගේ දූතයින්  කඳුරට බලකොටුවක ලැවීය. ... දිය ඇදීම් පිණිසද සිර ගෙට ලද යෙදුවේයි."

" නැවත එක් කලෙක ඇතුන් විකිණ ගන්නා පිණිස ලංකේශ්වරයා විසින් මෙහෙයන ලද පඬුරු හා බඩුත් දූතයන් අතින් හැරගෙන 'ඇතුන් තුදුසක්  තොපට දෙමු. රිදී මිල හෝ දෙමු.' යයි මෙසේ කියා උන්ට කිසිවක් නොදෙන්නේ හුදෙක් බොරුම කීය. ඉක්බිති ලංකාධිපතීහු විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක්ද බලාත්කාරයෙන් උදුරා ගත."


මේ අනුව, ලංකාව මුහුණ දුන් ප්‍රශ්නය ලංකාව හා මියන්මාරය අතර ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. පැරකුම්බා රජයේ සමස්ත අපනයන  වෙළඳපොළ ව්‍යාපෘතියටම එල්ල වූ තර්ජනයකි.


මේ  ආකාරයෙන් දිගින් දිගටම කෙණෙහිලිකම් සිදු වෙද්දී මහ පැරකුම්බාවන්ගේ ඉවසීමේ සීමාව පනී. ඔහු සිය ඇමතියන් රැස් කරවා "අරිමර්දන රජහු අල්වා ගැනීම හෝ මැරීම හෝ වහාම කටයුතුය"යි නියෝග කරයි. "එකල්හි, ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් ඇති එහි එක් ගණක මහ ඇමතියෙක්" මේ කටයුත්ත සඳහා වහාම ඉදිරිපත් වේ. පසුව, අරමණ ආක්‍රමණයේ  ප්‍රධාන නියමුවන් වන්නේ  ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී නම් වූ මේ මහ ඇමති වරයා සහ කීර්ති නගරගිරි නම් වූ සෙනෙවියෙකි.

ආදිත්‍ය ද්‍රවිඩාධිකාරී විසින් රජුගේ නියෝගය ක්‍රියාත්මක කිරීමට වහාම ඉදිරිපත් වීම ගැන සතුටු වන පැරකුම්බාවෝ අවශ්‍ය පෙර සූදානම් කටයුතු වහා අරඹයි.

"පසුව මහා යසස් ඇති ඒ රජ තෙමේ 'නොයෙක් සියගණන් නැව් වහා සම්පාදනය කටයුත්තාහ'යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන් ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ හාත්පස මුහුදුබට දේශයේ එක් කර්මාන්ත ශාලාවක් බඳු වූහ. පසුව පස්මසකින් ඒ සියළු නැව්කම් නිමවා දළුවක් නම් තොට යුහුව රැස් කරවී. ඒ රජ තෙමේ අවුරුද්දකට පොහෝනා සහල් ආදී මාර්ගෝපකරණද සන්නාහ ආයුධ ආදී නොයෙක් යුද්ධෝපකරණද, ... අයෝමය සන්නාහද, ගෝණ සමින් කළ සන්නාහද, .." ඇතුළු කළමනා ප්‍රසම්පාදනය කරයි. මෙසේ එකතු කරන සම්පත් අතර විෂ පෙවූ හී වල විෂ නසන ඔසුද, විස මුසු ජලයේ විෂ නසන ඔසුද තිබේ. මේ අනුව පෙනෙන්නේ යුද්ධ වලදී සතුරන් නැසීම පිණිස විෂ යොදා ගැනීම ඒ කාලයේදී සාමාන්‍ය දෙයක් බවයි.

අරමණ දේශය ගැනීමට යන කණ්ඩායමේ යුද සෙබළුන්ට අමතරව තවත් ප්‍රධාන කණ්ඩායම් දෙකක් සිටිති. ඒ, "තියුණු  බුද්ධි ඇති වෙදුන්" හා "සප්පායකාර ස්ත්‍රීන්"ය. මේ සප්පායකාර ස්ත්‍රීන්ගේ කාර්ය භාරය වූයේ යුද භටයින්ගේ ඉවීම් පිහීම්, සාත්තු සේවා, පිරිසිදු කිරීම් වැනි කටයුතු කිරීමද එසේ නැත්නම් නිවෙස් වලින් බැහැරව කලක් ගත කරන ඔවුන්ගේ සියළු අවශ්‍යතා සැපිරීමද යන්න පැහැදිලි නැත.

මෙසේ සියළු කටයුතු සම්පූර්ණ කෙරුණු පසු අරමණ දේශය බලා ගමන් ඇරැඹු නැව් පන්තිය "ඉතා වේගයෙන් යන්නේ ගමන් ගත් දිවයිනක් සේ පෙනිණ."


අරමණ ආක්‍රමණයට ආසන්න හේතුව වූයේ එහි පාලකයාගේ හැසිරීමයි. කෙසේ වුවද, ආර්ථික ශක්තියෙන් ඉදිරියට එන රටවල පාලකයින්ට "සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි." යැයි සිතීම සාමාන්‍ය දෙයකි. එදා මෙදාතුර, ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින බොහෝ රටවල පාලකයෝ තමන්ගේ රටින්  පිටත වෙනත් රටවල්ද  තමන්ගේ අභිලාෂ වලට ගැලපෙන  පරිදි පැවතෙනු දකින්නට කැමැත්තෝය. එමෙන්ම, යුද්ධාභිලාෂ  කිසියම් රජයක රාජ්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛ අංගයක් වූ කළ, පැත්තක සිටින පාර්ශ්ව වලටද පීඩා විඳින්නට සිදුවේ.

අරමණ මෙහෙයුමේ පළමු ගොදුර වන්නේ අරමණ වැසියන් නොවේ. අතරමඟ පැත්තක සිටින, ලංකාවට කිසිදු කෙණෙහිලි කමක් කර නැති, කාකද්වීපයේ වැසියෝය.

"එක් නැවෙක නැංගා වූ ඉතා සමර්ථ බොහෝ භටයෝ කාක දිවයිනට ගොඩ බැස්සෝ එහි යුද කොට ඒ දිවයින් වැසි නොයෙක් ජනයින් ජීවග්රහයෙන් අල්ලාගෙන එයින් ගෙනවුත් ලංකාධිකාරීන්ට දැක්වූහු."

කෙසේ වුවද, පසුව ලංකා හමුදාවෝ සිය අවසන් ඉලක්කය වන අරමණ දේශයේ කුසුම්තොටට ගොඩ බසිති. ඉන් පසු සිදු වූ දේ  ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.


(Image: wwp.greenwichmeantime.com)

25 comments:

  1. /* ඉක්බිති ලංකාධිපතීහු විසින් කාම්බෝජ රට බලා යවන ලද රජ කුමරියක්ද බලාත්කාරයෙන් උදුරා ගත. */

    උං අලි එවනවා, මුං ගෑණු යවනවා. සේරම නිකං තුටු පඬුරු වගේ දේවල්!

    ඒ වගේ යැවුණු කාන්තාවන් ගේ අනාගතය කොහොම වෙන්න ඇත්ද?

    ReplyDelete
    Replies
    1. සමහර විට රටේ හිටියට වඩා වැඩි වෙනසක් නැති වෙන්නත් පුළුවන්.

      Delete
  2. සප්පායකාර ස්ත්‍රීන් කියන්නේ නර්ස්ලා විය යුතුයි?

    ReplyDelete
  3. ඒ කියන්නේ නැව් හිටන් Made in Lanka නේද ? දැන් තත්ත්වේ එක්ක බලද්දි මාරම මාරයි නේද ? ඒත් යුරෝපියෝ එනකොට අපේ උන් නැව් දැකලා නැති උන් වගේලු නේද හිටියා කියන්නෙ.. මොනා වුනාද දන්නෑ...

    මේකෙ ඉකොන් පාඩම තාම මීටර් වුනේ නෑ...

    ReplyDelete
    Replies
    1. මේකෙනම් ඉකෝන් කෑල්ලක් නැහැ, සෙන්නා.

      Delete
  4. දැන් ඔය ආක්‍රමණය ගැන පම්පෝරි ගහන්නයි, අනිත් (අපිට අවාසි) වෙලාවට අනේ අපි කාටවත් හිරිහැර කරන්නේ නැතිව සුද්දෝ අපිට කරපු ආක්‍රමණ ගැන විස්සෝප වෙන්නයි කොයි එකද අපි තෝරාගන්න ඕන?

    ReplyDelete
    Replies
    1. තෝරාගන්න ඕනේ තමුසෙට පිස්සු බෙහෙත් ගන්න ඕනේ අංගොඩින්ද වැලිකඩින්ද කියන එක

      Delete
    2. වැලිකඩත් පිස්සු බේත් දෙනවද. මාරයිනේ
      අනුන්ගේ හාල් ගරන්නේ නැතිව පු. නොදී ඉන්නවද

      Delete
    3. වැලිකඩදී පිස්සු බේත් දෙනහැටි උඹ දන්නේ නෑ. එක පාරක් ඇතුලට පලයන් පණ්ඩිත ගවයා.

      Delete
    4. ඉතිහාසයේ පාඩම් ඕනෑ කෙනෙක් තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රයෝජනයට ගැනීමේ වරදක් නැහැ, ඇනෝ. හැබැයි හිතා මතා ඉතිහාසය විකෘති නොකර.

      Delete
  5. අරමණයට විරුද්ධව යුද්ධෙකට යන්න තරම් අපට හයියක් තිබුන නිසා එහෙම උත්තර දුන්නයි කියමුකො.. ඊට වඩා බලවත් රටක් කොකා පෙන්නුවොත් ඉතින් බකංනිලං ඉන්න තමයි ද වෙන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කවදත් වෙන්නේ ලොකු මාළු පොඩි මාළුන්ව කන එකනේ, ගස් ලබ්බා.

      Delete
  6. මමත් දන්න ඉතිහාසයට අනුව, ලංකාවට නාවික තාක්ෂණය තිබිලා නෑ. ඔය යුරෝපීයො එනකොට ලංකාවෙ ලොකුම දුර්වලතාවය නාවික තාක්ෂණය නැතිකම කියල අහලා තියෙනවා. එතකොට මහා පැරකුම්ට තිබිච්ච නාවික තාක්ෂණය පස්සෙ නැති වෙලා ගියාද ?

    ReplyDelete
    Replies
    1. යුරෝපීයයන් එන කාලේ වෙනකොට ලාංකිකයින්ට නාවික තාක්ෂනය නොතිබුණු බව ඇත්ත. ඒත්, පැරකුම්බා යුගය ගැන මහා වංශයේ සහ වෙනත් මූලාශ්‍ර වල ඇති තොරතුරු සෑහෙන දුරට තර්කානුකූලයි.

      Delete
  7. අපි මේ යුද්දේ කලේ තනිකරම අපේ හමුදාව, අපේ උපකරණ, යොදවලා නම්, ඒ කාලේ හැටියට, මෙය අති දැවැන්ත මෙහෙයුමක්. ක්‍රියාන්විත සැලැස්ම, සම්බන්ධීකරණය, පණිවිඩ හුවමාරුව, සම්පූර්ණ මෙහෙයුමේ කාලසටහන, අද දැනගන්න ක්‍රමයක් තිබුනානම්, ලෝක යුද න්‍යායන් වෙනස්වන තරමේ බලපෑම් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. මෙය ලංකා ඉතිහාසයේ මුල් යුගයේ සිදුවූ ලොකුම හා වඩාත් සංවිධානාත්මකම යුද මෙහෙයුමක් විය හැකියි.

      Delete
  8. එදා අද කියලා ලෝකයේ වෙනසක් නැහැ.තමන්ට පොඩි හෝ බලයක් තිබ්බොත් ඒ බලය පාවිච්චි කරලා තවත් උන්ව යටත් කරන්නයි කොහොම හෝ බලන්නේ.

    කාකද්වීපයේ වැසියෝ අනුන්ගේ යුද්ධ නිසා තැලුනා වගේ අදත් අහක යන යුද්ධ වලින් කිදෙනෙක් බැට කනවාද ?

    ReplyDelete
  9. ඉතිහාසය කියන්නේ රස කෑමක් කනවා වගේ ටික ටික කකා රසයේ උපරිමය විඳින්න ඕන දෙයක්. මේ ලිපි හෙමීට පස්සේ නිවාඩු පාඩුව කියවන්න ඕන.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.