Thursday, July 30, 2015

අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව

අද ඇසළ පෝයයි. ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥයෙකු වූ ගෞතම බුදුන් වහන්සේ සිය විශිෂ්ඨ සොයාගැනීමේ සාරාංශය මුල් වරට ප්‍රකාශයට පත් කළේ ඇසළ පෝ දිනකයැයි  සඳහන්ය.

සිද්ධාර්ථ ගෞතමයන් අසහාය බුද්ධිමතෙකු වූ බව අවිවාදිතය. ඔහු උපන් කාලයේ හැටියට, පරිපූර්ණ විධිමත් අධ්‍යාපනයක් ලබා විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික දැනුමක් ලබා ගැනීමටද ඔහුට හැකිවිය. එහෙත්, මෙසේ ලබා ගත් දැනුමෙන් ඔහු සෑහීමකට පත් නොවීය.

සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ දෙවන යුගය කැප කළේ එක්තරා නිශ්චිත ප්‍රශ්නයකට පිළිතුර සොයා ගැනීමටය. ඒ, මිනිසාගේ අතෘප්තියට හේතුව කුමක්ද යන්නයි.

මේ ප්‍රශ්නය අනෙකුත් කුදු මහත් සියළු ගැටළු වලට වඩා වැදගත් ලෙස ඔහුට පෙනුණේය. දුකට හේතුව සැප විඳීමට අවශ්‍ය තරම් ප්‍රමාණවත් සම්පත් නොමැති වීම බව මේ යුගයේ බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නට ඇත. අදත් ප්‍රධාන ධාරාවේ චින්තනය මෙයයි.

භෞතික සම්පත් හා හෝමෝ සේපියන්ස්ලා තෘප්තියයැයි සිතන දෙය අතර සම්බන්ධතාවක් තිබේ. එහෙත්, මේ සම්බන්ධතාව නිර්-රේඛීය සම්බන්ධතාවකි. ව්‍යතිරේඛ ඇතත්, භෞතික සම්පත් වැඩිවන විට බොහෝ දෙනෙකු අත් විඳින තෘප්තිය වැඩිවේ. එහෙත්, භෞතික සම්පත් වැඩි වන විට තෘප්තිය වැඩිවන්නේ අඩු රේට්ටුවකිනි.

මේ නිසා භෞතික සම්පත් වැඩි කර ගැනීමෙන් පුද්ගලයෙකුට පූර්ණ තෘප්තියකට පත් වීමේ හැකියාවක් නැත. ආර්ථික විද්‍යාව මඟින් කියා දෙන්නේ හෝමෝ සේපියන්ස්ලාගේ ජානගත පුද්ගල ස්වභාවය වෙනස් නොකර සීමිතව ඇති භෞතික සම්පත් කළමනාකරණය මඟින් තෘප්තිය වැඩි කරගන්නා ආකාරයයි. එසේ කිරීමේදී, පුද්ගල රුචිකත්වය ස්වභාවිකත්වය ලෙස සලකන අතර එය වෙනස් කිරීමට උත්සාහයක් නොදැරේ.

සිද්ධාර්ථ ගෞතමයන්ට සමකාලීන සමාජයේ අනෙකුත් බොහෝ දෙනෙකුට වැඩියෙන් භෞතික සම්පත් භුක්ති විඳීමේ අවස්ථාව ලැබුණේය. එහෙත්, මේ භෞතික සම්පත් නිසා ලැබුණු තෘප්තිය ඔහුව සෑහීමකට පත් නොකළේය. කුඩා කාලයේදීම සිය මව අහිමිවීමත් මේ අතෘප්තිය තීව්‍ර කළාදැයි මම නොදනිමි.

සිද්ධාර්ථ ගෞතමයන් ඉදිරියේ නිශ්චිත පර්යේෂණ ගැටළුවක් තිබුණේය. අද පර්යේෂකයෙකු කරන අයුරින්ම, ඔහු මුලින්ම කළේ මේ ගැටළුවට ඒ වන විට යෝජනා කර තිබුණු පැහැදිලි කිරීම් හා විසඳුම් සියල්ල අධ්‍යයනය කිරීමයි. අද භාෂාවෙන් මෙය සාහිත්‍ය සමීක්ෂණයකි. (ලිට්රචර් සර්වේ එකකි.) ඒ විසඳුම් කිසිවක් ඔහුගේ ශාස්ත්‍රඥ මනසට නිසි පැහැදිලි කිරීම් හෝ විසඳුම් ලෙස පෙනුනේ නැත. මේ නිසා අළුතින් දැනුම නිර්මාණය කිරීමට ඔහුට සිදුවිය. ඔහුගේ විසඳුම වූයේ තමන් සතු බාහිර සම්පත් වලින් තෘප්තිමත් නොවී, වැඩි වැඩියෙන් සම්පත් ලුහු බඳින පුද්ගල ස්වභාවය අභ්‍යන්තරයෙන් වෙනස් කිරීමයි.

අද කාලයේ පර්යේෂකයෙක් කරන්නක් මෙන්ම, මූලික වශයෙන් තමන්ගේ ශාස්ත්‍ර පිපාසය නිවා ගැනීම සඳහා පර්යේෂණයක් කර තමන්ට සෑහීමකට පත් විය හැකි විසඳුමක් සොයාගත් ගෞතම බුදුන්ට මුලින්ම මේ පර්යේෂණ ප්‍රතිඵලය වෙනත් අයට ඉදිරිපත් කිරීමට උනන්දුවක් ඇති වූයේ නැත. එයට හේතු වූයේ ප්‍රායෝගිකව එය පහසු කටයුත්තක් නොවන බවට වූ තක්සේරුවයි.

කෙසේ වුවද, ගෞතම බුදුන් ලෙස සිද්ධාර්ථ ගෞතමයන්ගේ ජීවිතයේ තෙවන යුගය ගෙවුණේ මේ පර්යේෂණ ප්‍රතිපලය වෙනත් පුද්ගලයින් හරහා තහවුරු කර පෙන්වීමටය. (රෙප්ලිකේට් කිරීමටය.)

ගෞතම බුදුන් තමන් ස්ව-අධ්‍යනයෙන් ලබා ගත් දැනුම සම්ප්‍රේෂණය කළ ප්‍රධාන ආකාර දෙකක් විය. මීටරෙන් ගොඩ යන අයට මීටරෙන් ගොඩ යාමට සැලැස්වීම සහ මෝටරෙන් ගොඩ යන අයට මෝටරෙන් ගොඩ යාමට සැලැස්වීමයි. ඔය දෙආකාරයෙන්ම ගොඩ දැමිය නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි දෙන දෙයක් කා කියන දෙයක් අහගෙන සිටින බහුතර හුදී ජනයා තවත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ටවත් ගොඩ නොයන බව පැහැදිලි නිසා ඒ අයටත් මොනවා හෝ කියාදීමට කාරුණික වුවත් ගෞතම බුදුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ ගොඩ දැමිය හැකි සුළු පිරිසයි.

අද කාලයේත් තත්ත්වය මේ වගේමය. විභාගයක් කියන්නේ අවබෝධය නොවූවත් විභාගයක් උදාහරණයට ගත්තොත් ඇතැම් අය අවුරුද්දම පිස්සු කෙළ කෙළ හිටියත්, අන්තිම සුමානේ වැඩ කර මීටරෙන් ගොඩ දමති. තවත් සමහර අය අවුරුද්ද පුරා එක දිගට මහන්සියෙන් වැඩ කර මෝටරෙන් ගොඩ දමති. මීටරයත්, මෝටරයත් දෙකම හොඳින් වැඩ කරන විට යා හැකි දුර බොහෝය. දෙකෙන් එකක්වත් නැත්නම් ගොඩයාම පහසු නැත.

අහිංසක අම්බානක මීටරයකි. තක්ෂිලාවේ බැච් ටොපාය. කොච්චර මීටර් වුණත් සමාජ ජීවිතයේදී ඇනගැනීම දුලබ නැත. අහිංසකත් එකට කාගෙන බීගෙන සිටි යාළුවන්ගේ වෘත්තීය ඊර්ෂ්‍යාවට ලක්විය. ඒ වගේම අහිංසකගේ මෝටරයත් හොඳින් වැඩ කළේය. ඉලක්කයක් දුන් විට එයට ලඟා වන තුරු ඔහුට ඉවසිල්ලක් නොතිබුණේය.

අහිංසකට ලැබුණු ඉලක්කය ඇඟිලි දහසක මාලයකි. ඒවා නිකම්ම ඇඟිලි වුනානම් පනහෙන් වැඩේ ගොඩය. එහෙත්, අවශ්‍ය වුනේ දකුණු අතේ මාපට ඇඟිලි නිසා දාහක්ම ඕනෑ විය. ගැල් කණ්ඩායම් වැනි තැන් වලට පහර දීමෙන් ඔහුට එකවර ඇඟිලි ගොඩක් එකතු කර ගත හැකි විය. මේ අතර තනි තනි අයත් අහු වුණේය.

අද වාගේම එදත් නීතිය ක්‍රියාත්මක වුණේ අස්සයා ඉස්තාලෙන් බොහෝ දුර ගියාට පස්සේය. කොසොල් රජතුමා අංගුලිමාල වූ අහිංසකව අල්ලා ගැනීමට හමුදා ක්‍රියාන්විතයක් අරඹන විට අංගුලිමාල ඔහුගේ අවසන් ඉලක්කයටත් කිට්ටුය. කොසොල් රජතුමාගේ හමුදාවට අංගුලිමාලව හමුවුනානම් ඔහුට ආයුධ පෙන්නන්නට යන්නට වෙන එක අහන්නත් දෙයක් නොවේ.

ගෞතම බුදුන් එයට පෙර ඉස්සර විය. රටේ සිටි හැම අපරාධකාරයෙක් ඉදිරියටම ගෞතම බුදුන් මේ අයුරින් ගියේ නැත. අඩුගානේ අල්ලපු වත්තේ සිටි මස් කඩ කාරයාටවත් බණ කියන්නට ගියේ නැත. එසේ තිබියදී, ගෞතම බුදුන් අවදානම නොතකා අංගුලිමාල ඉදිරියට ගියේ තමා පිළිබඳවත් අංගුලිමාල නම් වූ අහිංසක පිළිබඳවත් වූ විශ්වාසය නිසාය. නොමඟ ගිය බුද්ධිමතෙකු වූ අහිංසකව නිසි මානසික ප්‍රතිකාර දී සුවපත් කළ හැකි බව ගෞතම බුදුන් දැන සිටියේය.

"මහණ, නොදුව!"

අහිංසක කෑ ගැසුවේය.

"මම නොදුවමි. දුවන්නේ ඔබය."

අංගුලිමාලගේ පිස්සු ඩබල් විය. තක්ෂිලාවේ බැච්ටොප් වූ අහිංසක ගෞතම බුදුන් ගැන සහ ඔහුගේ ඉගැන්වීම් ගැන හොඳින් දැන සිටියේය. ඒ ගෞතම බුදුන් බොරුවක් කීමට විදිහක් නැත. එහෙත්, ඇස් දෙකට පෙනෙන්නේ වෙන දෙයකි.

වෙන ටියුබ් ලයිට් එකකටනම් මළාට නොතේරෙන ගෞතම බුදුන්ගේ පණිවුඩය අහිංසකට පටස් ගා මීටර් විය. ඒ පණිවුඩයෙන් ඔහුට අවශ්‍ය ආන්තික තල්ලුව ක්ෂණිකව ලැබුණේය. කොසොල් රජුන්ට සිදුවුණේ අංගුලිමාල තෙරුන්ට පසඟ පිහිටුවා වැඳ ඔහුගේ හමුදා සේනාංකද සමඟ ආපසු යන්නටය.

මෙසේ පොඩි ආන්තික තල්ලුවකින් ගොඩ දැමිය හැකි මානසික තත්වයක සිටි, අවශ්‍ය සහජ බුද්ධියට හිමිකම් කියූ එක් තැනැත්තෙකු හෝ වෙනුවෙන් බොහෝ දුර කතර ගෙවා වුවද යමින් තම කාලය යෙදවීමට ගෞතම බුදුන් නොපැකිලුනේ එහි ඵලදායීතාව වැඩි නිසාය. මෝටරෙන් ගොඩයාමේ හැකියාව තිබූ වෙනත් අයට ලැබුණේ වරකට එක බැගින් වූ ක්‍රමික උපදෙස් පන්තියකි.

පසුකාලීනව බුද්ධ ශ්‍රාවකයින් තමන් උගත් දෙය වෙනත් අයට කියා දෙද්දී බොහෝ විට භාවිතා කළේ තමන් ගොඩ ගිය ක්‍රමයයි. මේ ක්‍රම දෙකම කාලයක් සමාන්තරව පැවතුණේය.

අද ඇති ථෙරවාද සම්ප්‍රදාය පුද්ගලයෙකු ටිකින් ටික පරිවර්තනය කර දිගු කාලයකින් ගොඩ දමන ක්‍රමයකි. සෙන් සම්ප්‍රදායේදී සිදුවන්නේ ගුරුවරයා විසින් ශිෂ්‍යයා නිසි මානසික තත්ත්වයේ සිටින බව හඳුනාගෙන පොඩි ආන්තික තල්ලුවක් යෙදීමයි.

(ඡායාරූපය එහි සඳහන් කර ඇති තැනිණි. ඉකොනොමැට්ටාගේ ශෛලියෙන් කාගේ හෝ විශ්වාසයන්ට රිදුණේනම් කණගාටුව ප්‍රකාශ කරමි.)

22 comments:

  1. /* ගෞතම බුදුන් තමන් ස්ව-අධ්‍යනයෙන් ලබා ගත් දැනුම සම්ප්‍රේෂණය කළ ප්‍රධාන ආකාර දෙකක් විය. මීටරෙන් ගොඩ යන අයට මීටරෙන් ගොඩ යාමට සැලැස්වීම සහ මෝටරෙන් ගොඩ යන අයට මෝටරෙන් ගොඩ යාමට සැලැස්වීමයි. */

    බුදු සාදු නැති කාලේ ආනන්ද තේරෝ ඒවං මේ සුතං කිය කියා හුදී ජනයා වෙනුවෙන් කුප්පි දැම්මා නේද?

    ReplyDelete
    Replies
    1. අනුන්ට කුප්පි දැම්මත් ගොඩ ගියේනම් බොහොම අමාරුවෙන්! මේක පිළිම වන්දනාවේ තියෙන නිෂ්ඵල භාවය ගැන බුද්ධ කාලයෙන්ම හොඳ උදාහරණයක්. සිද්ධාර්ථ ගෞතමයන්ගේ බාප්පාගේ පුතා වූ ආනන්ද බුදුන්ගේ අදහස් සංවිධානාත්මකව මතක තබාගැනීම, කාලය සහ හමුවීම් කළමනාකරණය වැනි අද කාලයේ ස්ථිර ලේකම් වරයෙකුගේ කටයුතු වලට මෙන්ම බුදුන්ගේ ඉතා සුවිශේෂී තීරණ කිහිපයක් සඳහාත් (ස්ත්‍රීන්ට සසුනේ ඉඩක් ලබාදීම, බුදුන්ගේ ආයුකාලය දික්කර ගැනීමට ඉල්ලීමක් නොකිරීම) මුල්වුනත් ඔහුගේ මූලික ඉගැන්වීමෙන් ප්‍රයෝජනයක් ගත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙනුත් පසුවයි.

      Delete
  2. /* අද කාලයේත් තත්ත්වය මේ වගේමය. විභාගයක් කියන්නේ අවබෝධය නොවූවත් විභාගයක් උදාහරණයට ගත්තොත් ඇතැම් අය අවුරුද්දම පිස්සු කෙළ කෙළ හිටියත්, අන්තිම සුමානේ වැඩ කර මීටරෙන් ගොඩ දමති. */

    ඒ අද කාලේ නොවෙයි, ඔහෙලා ගේ අපේ කාලේ.

    අද කාලේ සෙමීස්ටර්, ට්‍රයිමීස්ටර්, ඇසයින්මන්ට්, කන්ටිනුවස් ඇසෙස්මන්ට් යනා දී වෙනස්කම් නිසා "අද අද එයි මරු පින් කර ගන්නේ!" යැයි සිතමින් නිතිපතා ක්‍රෑම දැමිය යුතු වේ!

    ReplyDelete
  3. මෙය සියලු දෙනා විසින් කියවිය යුතු අපූරු ලිපියකි.

    ඒ කෙසේ වෙතත් අංගුලිමාල ලා ගැන මගේ අදහස නම් මෙසේ ය.

    1. අහෝසි කම්ම අහෝසි කරනු!
    2. අංගුලිමාලලා නිවන් යන්නට පෙර මුලින් නඩු අසා හිරේ යවනු!

    වැඩි විස්තර-
    අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? - Change is the only permanent thing!
    http://rasikalogy.blogspot.com/2014/12/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. බුද්ධ ධර්මය ලෝකයේ යථා ස්වභාවය පැහැදිලි කිරීමකි. අහෝසි කර්මද ලෝකයේ යථා ස්වභාවයේ සංරචකයක් බව බුදුන්ට පෙනී යන්නට ඇත. එවකට ප්‍රචලිතව පැවති හින්දු අදහස් අනුව කර්ම විපාකයකින් ගැලවීමට වතුරේ බැස සිටීම, ඔලුවෙන් සිටගෙන සිටීම වැනි 'යම් යම් දේ' කළ යුතු විය. මේ බොහෝ දේවල් වල නිෂ්ඵල භාවය බුදුන් පෙන්වා දුන්නේය. මතක හැටියට කර්මයක් විපාක නොදී අහෝසි වීමට හේතු හතරකි. (ඉතා පැරණි මතකයක් බැවින් නිවැරදි නොවිය හැක.) කෙනෙකු ජීවත් වන ප්‍රදේශය, ජීවත් වන කාලය, ශරීර ස්වභාවය සහ උත්සාහය මේ කරුණු හතරයි. මේවා අදටත් ඇත්තය. රට පැනීමෙන්, ආණ්ඩුව මාරු වන තුරු කෙසේ හෝ ඇද ගැනීමෙන්, බන්ධනාගාර වෛද්‍ය වරයාට අසුවන නිදන්ගත රෝගයක් ඇති සිරුරක් තිබීමෙන්, වෙනත් ක්‍රම වලින් ට්‍රයි එකක් දීමෙන් විපාක නොදී කර්ම අහෝසි කර ගැනීමේ හැකියාව දැනටත් තිබේ.

      Delete
  4. සිදුහත් ගෞතමයන්ව අහසෙන් බිමට ගත යුතු බව මමද අදහමි

    ReplyDelete
    Replies
    1. ආ... ඒක නානසාර හොඳට කරනවා...

      Delete
    2. නානසාර කරන්නෙ බිමට ගත්ත බුදුන් වලලෑම!

      Delete
    3. දෙවියෙකු හෝ දෙවියකුගේ නියෝජිතයෙකු ලෙස කිසි විට පෙනී නොසිටි බුදුන් ඉදිරිපත් කළේ මිථ්‍යාවට එරෙහිව විද්‍යාවයි. 'ආලෝකෝ උදපාදී විජ්ජා උදපාදී' ලෙස මුල් දෙසුමේම බොහෝ වර කියැවේ. මේ දේශනා ඉදිරිපත් කරන්නේ කරවටක් පසු කර නාසය අගටම මිත්‍යාවේ ගැලී සිටිනා ජනතාවකටය. බොහෝ සූත්‍ර දේශනා වල ඒ කාලයේ ප්‍රචලිත මිත්‍යා අදහස් වෙනුවට වඩා හොඳ පැහැදිලි කිරීම් තිබේ. (පිරිහීමට කරුණක් වන්නේ ගමනක් යනවිට වැන්දඹුවක් හමුවීම හෝ කුරුල්ලෙකු කෑගැසීම නොවේ. නිකරුනේ කාලය කා දැමීම, අලස කම වැනි වෙනත් කරුණුය.) මේ අලුත් අදහස් සම්ප්‍රදායික හින්දු අදහස් වලට එරෙහිව සීඝ්‍රයෙන් ජනප්‍රිය විය. බුදුන් මේ කාලයේ සිටි මෙවැනි දාර්ශනික අදහස් ඉදිරිපත් කළ එකම ශාස්තෘවරයා නොවූවත් ප්‍රමුඛයා හෝ ප්‍රමුඛයෙකු විය. ඒ තරමටම මෙන් ජනප්‍රියව සිටි අනෙක් ශාස්තෘවරයා වූයේ ජෛන මහා වීර හෙවත් නිඝන්ඨ නාථපුත්තයි. අද ඉන්දියාවේ ජෛන ලබ්ධිකයින් සැලකිය යුතු කොටසක් සිටියත්, පසුගිය ශතවර්ෂ දෙක තුළ ආගම වෙනස් කළ ප්‍රධාන වශයෙන්ම කුලහීනයන් වන අම්බෙඩ්කාර් බෞද්ධයින් හැරුණු විට සැලකිය යුතු බෞද්ධ බලවේගයක් නැත. මෙසේ බුදුන්ගේ දහම ඉන්දියාවෙන් අතුගා දැමීමට හින්දුන්ට හැකි වූයේ මිනිසෙකු වූ බුදුන්ව පොළොවට සමතලා කිරීමෙන් නොව අහසට ඔසවා තැබීමෙනි. ඉන්දියාවේදී බුදුන් පසුකාලීනව දෙවියෙකු වී විෂ්ණුගේ අවතාරයක්ද විය. දෙවියෙකු බවට පත් කළ පසු බුදුන් අනෙකුත් කුදු මහත් දෙවිවරුන් අතර තවත් එක් දෙවියෙකු පමණි. අවශ්‍ය ප්‍රමාණයට වඩා එසවීම ඕනෑම පුද්ගල චරිතයක් විනාශ කර දැමිය හැකි පහසු ක්‍රමයකි.

      Delete
  5. ආසවේන් කියේව්වා....අපේ රටේ සම්ප්‍රදායනම් එන්න එන්න අමුතු පැත්තකට යන්නේ...

    ReplyDelete
  6. ශ්‍රද්ධාව ඉවත් කළ විට බුද්ධාගමේ ඇති දෙයක් නැතත්. බුදු දහම වෙනතකින් අවශ්‍ය අයට මග කියයි.

    ReplyDelete
  7. අජාසත්තJuly 31, 2015 at 1:17 AM

    ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
    em සිංහල බ්ලොග්කරුවන්ටත් ආන්තික තල්ලුවක් දාන හැඩයී..☛
    ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

    ReplyDelete
    Replies
    1. ආන්තික තල්ලුවක් දීම සඳහා ආන්තික තල්ලුවක්.

      Delete
  8. නියම ලිපියක්.
    ඔය ආන්තික තල්ලුව දාන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි. මේ වගේ අවස්ථා සෑහෙන්න තියනව. එක හාමුදුරු කෙනෙකුට ලේන්සුවක් අතට දීල කිලිටි වෙනවා කිලිටි වෙනවා කියල කියන්න දීම, නෙළුම් මලක් මවල දීල ඒක පරවෙන හැටි පෙනෙන්න සැලැස්වීම,....

    ReplyDelete
    Replies
    1. සෙන් බෞද්ධ කතා බොහොමයක පසුකාලීන භික්ෂූන් විසින් මෙවැනි ආන්තික තල්ලු දැමූ අවස්ථා තිබේ.

      Delete
  9. The story of Angulimala narrates how the Buddha used to give insight and mental awakening in extreme situations. Angulimala –an innocent bright student who turned in to a vicious murderer was determined to kill the Buddha. When he saw the Buddha Angulimala started chasing the Buddha and screamed at the Buddha to stop. The Buddha turned and told Angulimala that he, the Buddha, had already stopped and Angulimala, to do likewise.

    These few words made a cognitive revolution inside Angulimala's head. He realized that the Buddha has already stopped -means he does not commit any violence and does not accumulate any karmic energy that fuel the Sanasara Chakra. But Angulimala he himself is mounting up karmic force that keeps him moving in the Sanasara Chakra. In this analogy the Buddha has stopped but Angulimala is still moving. Angulimala had an aha moment and he was able to realise the gravity of his evil actions. He threw the sward and renounced violence.

    ReplyDelete
    Replies
    1. It is interesting to see how Buddha monitored Angulimala continuously and helped him to escape from his past, particularly through the word-twist in Angulimala suththa. http://www.lakehouse.lk/budusarana/2012/11/20/tmp.asp?ID=vision06


      Delete
  10. "අහිංසක අම්බානක මීටරයකි. තක්ෂිලාවේ බැච් ටොපාය. කොච්චර මීටර් වුණත් සමාජ ජීවිතයේදී ඇනගැනීම දුලබ නැත."

    එකඟය

    ReplyDelete
  11. කොච්චර මීටරයක් උනත් පොඩි හේතුවකින් ඇන ගන්න පුලුවන් වගේම පොඩි දේකින් තමං ඇනගත්ත කියල තේරුං කරගන්නත් පුලුවන්.

    නියම ලිපියක්.

    ReplyDelete
  12. මම මනුස්මෘති කියන පොතේ කියවලා මතක තියෙන හැටියට ගුරුතුමාගේ බිරිද සමඟ ලිංගික කියාවක් කලහොත් ඉතා දරුණු පාපයක් සිදුවෙනවලු එයින් ගැලවීමට නම් ගිනියම් වී රත්පැහැගත් යකඬ ස්ත්‍රී රූපයක් බදාගෙන මියයාම හෝ, ලිංගය කපාගෙන අතට ගෙන අතටගෙන මැරී වැටෙනතෙක් ඊසාන දිශාවට ඇවිදගෙන යා යුතුයි. නැතිනම් අපායට යනවා. අංගුලි මාලටත් ඒ වගේ උපදේශයක් දෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගෝලයින්ව ගෙදරම නවත්තගෙන උගන්වන මහළු ගුරුවරුන්ට තමන්ගේ තරුණ අඹු සිඟිත්තන්ව ගෝලයින්ගෙන් බේරගන්න එක ලේසි නැති වෙන්න ඇති. මේ ගොඩක් ගෝලයෝ රජ වරුන්ගේ පුත්තුනේ.

      Delete
  13. "රජ වරුන්ගේ පුත්තු"

    කාලීන යෙදුමක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.