Wednesday, July 1, 2015

මෛත්‍රී ජනපති කිරීමට ආන්තික තල්ලුව යෙදුවේ කවුද?

ජනවාරි මාසයේදී ලක්ෂ හතරහමාරක වැඩි ඡන්දයකින් මහින්ද රාජපක්ෂව පරදවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විය. ඡන්ද ලක්ෂ හතරහමාරක් අඩුවෙන් ගත්, රටේ බහුතර ඡන්දය ගැනීමට අසමත් වුනු මහින්ද මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් දහයකදී ඉදිරියෙන් සිටි අතර මෛත්‍රී දිස්ත්‍රික්ක දොළහකදී ඉදිරියෙන් සිටියේය.

මේ ප්‍රතිඵලයට සාපේක්ෂව, 2005දී මහින්ද පළමු වරට ජනපති ලෙස පත් වෙද්දී මහින්දට වඩා ඡන්ද එක්ලක්ෂ අසූදහසකින් පමණක් පිටුපසින් සිටි රනිල් වික්‍රමසිංහ මහින්ද හා සමානව මැතිවරණ දිස්ත්‍රික්ක විසි දෙකෙන් එකොළහක්ම ජයග්‍රහණය කළේය.

කෙසේ වුවද 2005දී සහ 2015දී ඡන්ද ප්‍රතිපල විග්‍රහ කෙරුණේ එකම ආකාරයකට නොවේ. බහුතරයේ මතයට සුළුතරයට යට වීමට සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය බව 2005දී ජයග්‍රාහකයා, පරාජිතයා මෙන්ම මේ දෙදෙනාගේම උදවුකරුවෝද පිළිගත්හ. එහෙත් 2015දී පරාජිතයා හෝ ඔහුගේ උදවුකරුවන් බොහෝ දෙනෙකුට මේ යතාර්ථය පිළිගැනීමට අසීරු විය. වඩාත් කණගාටුදායක කරුණනම් ජයග්‍රාහකයාට සහ ඔහුගේ ආධාරකරුවන් ඇතැමුන්ටද මේ යතාර්ථය පිළිගැනීමට අසීරු වීමයි. ඔවුන්ගෙන්ද බොහෝවිට ජයග්‍රාහී මානසිකත්වයකට වඩා පරාජිත මානසිකත්වයක් මතුවේ.

මැතිවරණ ප්‍රතිඵල දෙකෙහි වෙනස ඇත්තේ ආන්තික ඡන්දදායකයා කවරෙක්ද යන්නෙහිය. 2005දී මෙන්ම 2015දීද ජාතිය හා ආගම අනුව රටේ බහුතරය වන සිංහල බෞද්ධයන්ගේ වැඩි කැමැත්ත මහින්දට වූ අතර සිංහල බෞද්ධයන් නොවන්නනන්ගේ වැඩි කැමැත්ත ප්‍රතිවාදී අපේක්ෂකයාට විය. 2005දී සිංහල බෞද්ධයන්ගේ ජනප්‍රිය අපේක්ෂකයා ජයග්‍රහණය කළ අතර 2015දී එසේ නොවීය. මෙහිදී මේ කරුණ මුල්කරගෙන 2015 පරාජිතයා මෙන්ම ඔහුගේ ආධාරකරුවෝ බහුතරයක්ද සිය පරාජය ජයග්‍රහණයක් ලෙස අර්ථදක්වද්දී ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ ඇතැමුන්ගේ ප්‍රතිචාරය වූයේ තම අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සිංහල බෞද්ධ නොවන ඡන්ද වලින්ය යන්න මිත්‍යාවක් බව පෙන්වීමට උත්සාහ කිරීමයි. එසේ කිරීම මඟින් සිංහල බෞද්ධ නොවන ඡන්ද සිංහල බෞද්ධ ඡන්ද වලට වඩා අඩු වටිනාකමකින් යුතු බවට වූ පරාජිතයාගේ මතය ජයග්‍රාහකයාගේ කණ්ඩායමේ සාමාජිකයන් විසින්ද තහවුරු කරනු ලැබීය. 'වටිනාකම අඩු' ඡන්දයක් ආන්තික ඡන්දය වූ විට බොහෝ අයට රිදේ. මේ පරාජිතයාගේ කණ්ඩායමට වඩා අඩුවෙන් වුවත් ජයග්‍රාහකයාගේ කණ්ඩායම තුළද ඇති පරාජය කළ යුතු මානසිකත්වයකි.

පසුගිය ජනාධිපතිවරණ කඳවුරු ගොඩ නැගුනේම ජාති-ආගම් පදනමක් සහිතවය. සිංහල බෞද්ධයන්ට සිංහල බෞද්ධයන් නොවන්නන්ගේ කිසිදු උපකාරයකින් තොරව ජනාධිපතිවරයෙකු පත්කරගත හැකිය යන (නලින් ද සිල්වා විසින් කාලයක් තිස්සේ සමාජගත කර ඇති, නිවැරදි) අදහස අනුව මහින්ද කඳවුර සංවිධානය වූයේ කණ්ඩායම් වශයෙන් සිංහල බෞද්ධයන් නොවන්නන් බැහැර කරමිනි. එහෙත් කුමන තත්වයක් යටතේ වුවද මහින්දව තෝරාගන්නා පිරිස් සිංහල බෞද්ධයන් නොවන්නන් අතරද සිටින බවට වූ (නිවැරදි) උපකල්පනය මේ කඳවුර තුළ වූ අතර කඳවුරේ ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

මෛත්‍රී කඳවුරේ පාදක කණ්ඩායම වූයේ කෙසේවත් මහින්දව තෝරා නොගන්නා සිංහල බෞද්ධ නොවන, විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම්ය. මෙහිදී අභියෝගය වූයේ ඔවුන් ඡන්දපොළ වෙත යොමු කිරීමයි. ඡන්දයේ දිශානතිය පිලිබඳ ලොකු ගැටළුවක් නොවීය. කෙසේ වුවද ජයග්‍රහණය සඳහා මේ ඡන්ද ප්‍රමාණවත් නොවූ අතර යම් තීරණාත්මක සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාවක් ලැබීම අත්‍යවශ්‍ය සාධකයක් විය. සිංහල බෞද්ධ නොවන ඡන්ද රඳවාගනිමින් සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩි කරගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායය විය. මේ අනුව මේ කඳවුරේද ඉලක්කය වූයේ සිංහල බෞද්ධ ආන්තික ඡන්දදායකයෙකි.

සිංහල බෞද්ධ නොවන ඡන්ද ගැන බලාපොරොත්තු අත් හැර හෝ නොසලකා හැර සිටි මහින්ද කඳවුරට වඩාත් සිංහල බෞද්ධ වීම සඳහා සිංහල බෞද්ධ නොවන සතුරෙකු අවශ්‍ය වූ අතර මරා දමා තිබූ දෙමළ රකුසා උත්ථානය කරවිය නොහැකි වූ නිසා මුස්ලිම් බිල්ලෙකු බිහිකර ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපායයේ කොටසක් විය. එහෙත් මේ බිල්ලාට හිතූ තරමේ ඉල්ලුමක් තිබුනේ නැත. බිල්ලාට බය නොවූ නාගරික සිංහල බෞද්ධයින්ට යහපාලන ටොපී අලෙවිකර ආන්තිකය ලබාගැනීම රනිල්-මෛත්‍රී ක්‍රමෝපායය වූ අතර 2010ට වඩා වෙළඳපොල සාධක වෙනස් වී තිබුණු නිසා ටොපිය හොඳින් අලෙවි විය. මෛත්‍රී සමඟ රනිලුත් මේ ටොපියෙන් ගොඩ ගියේය.

ඉකොනොමැට්ටාගේ නිරීක්ෂණ අනුව රනිල්-මෛත්‍රී කඳවුර තුළ සක්‍රිය වූ ප්‍රධාන කණ්ඩායම් දෙකක් වූයේ සම්මත වර්ග කිරීම් අනුව නාගරික සිංහල බෞද්ධ වන නිර්පාක්ෂික හා නිර්ආගමික පිරිස් හා මුස්ලිම් විරෝධයෙන් පොදුවේ බැට කෑ සාමාන්‍ය මුස්ලිමුන්ය. නාගරික හා ග්‍රාමීය සිංහල බෞද්ධ පිරිස් මහින්ද කඳවුර තුල සක්‍රිය විය. සිංහල බෞද්ධ ප්‍රතිශතය වැඩි ප්‍රදේශ වල බහුතරය (සාපේක්ෂව සුළු පරතරයකින්) මහින්දට ලැබුණු අතර එසේ නොවන ප්‍රදේශ වල මෛත්‍රීගේ ඡන්ද ප්‍රතිශතය මහින්දගේ ප්‍රතිශතයට වඩා බොහෝ විශාල විය.

ඡන්ද සියල්ලම සමාන අතර ජාති, ආගම් අනුව ඒවායේ වටිනාකම් වෙනස් නොවේ. එහෙත් වෙනස් ජාතික හා ආගමික කණ්ඩායම් ඡන්දය භාවිතා කර ඇති ආකාරය තේරුම් ගැනීමට එය බාධාවක් නොවේ. එහෙත් විග්‍රහය විද්‍යාත්මක විය යුතුය. එවැනි විග්‍රහයක් පසුගිය ජනවාරියේදී ඉකොනොමැට්ටා කළත් මේ ප්‍රතිඵලය අවභාවිතයේ යෙදීමේ අවදානම සලකා එය කිසිවකු සමඟ බෙදා හදා නොගත්තේය.

දැන් නැවතත් ජාතික මැතිවරණයක් ප්‍රකාශයට පත් වී තිබේ. පසුගිය ජනපතිවරණයේ ජාතික-ආගමික බෙදීම දැනගැනීම මෙවර වඩා දැනුවත් තීරණයක් ගැනීමට හෝ ක්‍රමෝපායික වීමට පිටිවහලක් විය හැකිය. ඒ නිසා ඉකොනොමැට්ටාගේ සරල ආකෘතිය සහ විග්‍රහය එළියට දැමීම වරදක්යැයි නොසිතමි. මෛත්‍රී, මහින්ද මෙන්ම රනිල්ද ඉකොනොමැට්ටාට වෙනත් ඕනෑම පුරවැසියෙකුට වඩා විශේෂ පුද්ගලයින් නොවන නිසා කැමති කෙනෙකුට මේ විශ්ලේෂණය කැමති ලෙස ප්‍රයෝජනයට ගත හැකි අතර අවශ්‍ය කෙනෙකුට වැඩිපුර තාක්ෂණික කරුණු ලබා දිය හැකිය.

ලොකුවට කිවුවාට මහා ලොකු දෙයක් නොවේ. ඉතා සුළු දෙයකි. මා කළේ ඉතා සරල සංඛ්‍යානමය ආකෘතියක් යොදා ඡන්ද ගොඩවල් විසංයෝජනය කිරීමයි.

මේ සඳහා අවශ්‍ය දත්ත ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත්තෙමි. දත්ත පදනම් වන්නේ 2012 සංගණනයක් මතය. දිස්ත්‍රික් පදනම මත ජනගහණයේ ජාති හා ආගම් ව්‍යාප්තිය මේ අනුව ලබා ගතහැකිය. මැතිවරණ වලදී වන්නි දිස්ත්‍රික්කය පරිපාලන දිස්ත්‍රික්ක කිහිපයක එකතුවක් නිසා ඒ දිස්ත්‍රික්ක එක් කළෙමි. එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායක අනුපාතය 2012 ජනගහණ අනුපාතයට සමානයැයි උපකල්පනය කළෙමි. ඉන්පසු සමස්ත ඡන්දදායක ගහණය පහත පරිදි වර්ග කළෙමි.

1. සිංහල බෞද්ධ: මගේ අදහස පරිදි මේ අය අනෙත් අයට නැති 'බහුතර' මානසිකත්වය ඇති පිරිසකි. එය මේ කණ්ඩායමේ අනන්‍යතාවයයි. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන (අවංකවම) බොහෝ දෙනෙකුටද ඇත්තේ මේ මානසිකත්වයමය. මට හිතෙන හැටියට එය මෙවැන්නකි. "බහුතරය වන අපි පොරවල්ය. අපි තරම් පොරවල් නොවන අනිත් අයට සමාන ලෙස සැලකීම (ඇතැම් විට පුළුවන් තරම් දේ දීම) පොරවල් වන අපේ වගකීමයි." (බටහිර රටවල සම අයිතිවාසිකම් ගැනද මට හැඟෙන්නේ මේ අයුරිනි. අපි දියුණුය. අපිමෙන් නොදියුණු අයට සමානව සැලකීම අපේ දියුණුකමයි.)

2. ශ්‍රී ලාංකික දෙමළ: මගේ අදහස පරිදි ඔවුන්ගේ ප්‍රමුඛ අනන්‍යතාවය ජාතියයි. හින්දු සහ කතෝලික/ක්‍රිස්තියානි අනන්‍යතාව ප්‍රබල නැත.

3. ඉන්දියානු දෙමළ: මේ අයටද ජාතිය මත පදනම් වූ ශ්‍රී ලාංකික දෙමළ කණ්ඩායමෙන් වෙනස් අනන්‍යතාවක් ඇතැයි සලකා ඇත.

4. ඉස්ලාම්: මා සිතන පරිදි ඉස්ලාමුන්ගේ ආගමික අනන්‍යතාව වඩා ප්‍රබලය. මේ අනුව මුස්ලිම්, මැලේ ප්‍රධාන සියළුම ඉස්ලාමුන් එක් ගොඩකට දමා තිබේ.

5. දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි: මේ කණ්ඩායමේ අති මහත් බහුතරය සිංහලයන්ය. ඔවුන් බොහෝ විට තමන් බහුතරය ලෙස දකින්නට කැමති වුවත් ඇතැම් විට අනන්‍යතා අර්බුදයකට මුහුණපාති. සිංහලයන්ට බහුතරය වීමේදී මේ කණ්ඩායම වටිනා නමුත් තමන් බහුතරය බව තහවුරු කළ පසු ඔවුන් තවදුරටත් වැදගත් නැත. සිහල උරුමය හෙළ උරුමය වීමේදී වූයේ මෙවැන්නකි. දත්ත වල ස්වභාවය අනුව වෙන් කළ නොහැකි නිසා කතෝලික/ක්‍රිස්තියානි බර්ගර් ජාතිකයන්ද සුළු ප්‍රමාණයක්ද මේ ගොඩට මිශ්‍ර වී ඇති අතර එයින් ප්‍රතිපලය වෙනස් වීමට ඉඩක් නැත.

6. වෙනත්: ඉහත කිසිදු කණ්ඩායමකට අයත් නොවන ඉතා සුළු ප්‍රමාණයක්.

මගේ ආකෘතිය මගින් කරන්නේ දිස්ත්‍රික්ක විසිදෙකෙහි මහින්ද හා මෛත්‍රී ලබාගත් ඡන්ද ප්‍රතිශත සම්මත ක්‍රමයක් මඟින් ඉහත කණ්ඩායම් වලට විසංයෝජනය කිරීමයි. ඡන්ද භාවිතය ජාතික-ආගමික පදනමක් මත නොවීනම් මගේ ආකෘතිය දුර්වල එකක් වනු ඇති අතර එමඟින් පුරෝකථනය කෙරෙන ප්‍රතිශත සැබෑ ප්‍රතිශත වලින් බොහෝ වෙනස් වනු ඇත.


අවශ්‍ය කෙනෙකුට මගෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන සම්මත සංඛ්‍යාන මෘදුකාංගයක් මඟින් නැවත පරීක්ෂාවට ලක් කළහැකි ඉහත ප්‍රතිඵලය අනුව ඡන්ද වල ජාතික-ආගමික බෙදීම ඉතා පැහැදිලිය. 2010 මැතිවරණයේදී හෝ පෙර පැවති වෙනත් මැතිවරණයකදී මේ බෙදීම (මේ අයුරින්ම විසංයෝජනය කළ විට) මෙතරම් පැහැදිලි නැත.

ඉහත ප්‍රතිශත එක් එක් දිස්ත්‍රික්කයේ අදාළ කණ්ඩායමේ සාමාජික ගණනින් ගුණ කළ විට මේ ආකෘතිය අනුව ජාතික-ආගමික පදනම මත එක් එක් අපේක්ෂකයා ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය ඇස්තමේන්තු කිරීමට පුළුවන. එවිට ලැබෙන ප්‍රතිපලය සැබෑ ප්‍රතිපලයට වෙනස් වේනම් ඒ මෙහිදී සලකා නොබැලුණු ජාතික-ආගමික නොවන සාධක වල බලපෑම නිසාය. (අවශ්‍යනම් එවැනි කරුණුද එකතු කර වඩා නිවැරදි හා සංකීර්ණ ආකෘතියක් සකස් කළ හැකිය.) ඇස්තමේන්තු සහ සැබෑ ඡන්ද ප්‍රතිශත සැසඳීමක් පහත තිබේ.

ඉහත වගුවේ ඇති කරුණුද සිත් ඇද ගන්නා සුළුය. හම්බන්තොටින් මහින්ද 5.4% පමණ වැඩිපුර ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අතර පොළොන්නරුවේදී මෛත්‍රී 12.6%ක් වැඩිපුර ලබා තිබේ. හේතුව ඉතා පැහැදිලිය. නාගරික ප්‍රදේශ වලදී මහින්දගේ ප්‍රතිශතය ඇස්තමේන්තුවට වඩා අඩුවී මෛත්‍රීගේ ප්‍රතිශතය වැඩි වී තිබේ. මෙය කොළඹදී 6.3%ක්, ගම්පහදී 3.1%ක් හා  මහනුවරදී 2.7%ක් පමණ වේ. ප්‍රමාණාත්මකව මෙය ලක්ෂ එකහමාරක පමණ ඡන්ද ප්‍රමාණයකි. මගේ අදහස පරිදි මේ මෑතකදී හෙළ උරුමය සමඟත්, පෙර (1989 ආසන්නයේ) දිනේෂ්ගේ මඑපෙ සමඟත් සිටි නාගරික සිංහල බෞද්ධයන්ගේ වෙනස් වීමයි. නලින් ද සිල්වා විසින් ඕල්කට් බෞද්ධයන් ලෙස හඳුන්වන මේ කොටස් යුද ජයග්‍රහණය අගය කරන නමුත් ඒ වෙනුවෙන් අනෙත් සියල්ල අමතක කිරීමට සුදානම් නැති බව පෙන්වා තිබේ.

හෙළ උරුමය හැරුණු විට මෛත්‍රී සමඟ සිටි සියළු දේශපාලන පක්ෂ 2010දී සරත් ෆොන්සේකා සමඟද සිටියහ. එහෙත් ඒ අනුව වෙනසට හේතුව හෙළ උරුමයයැයි මා සිතන්නේ නැත. ඇත්තටම සිදු වූයේ මේ නාගරික සිංහල බෞද්ධ කොටස් මහින්දගෙන් කොහොමටත් කැඩී තිබුණු තත්ත්වය තුළ ඒ බව නිවැරදිව හඳුනාගත් චම්පික-රතන සංයෝගය අවස්ථානුකූලව සිය ස්ථාවරය මාරු කරමින් අද විමල්-වාසු-ගම්මන්පිල ඇතුළු පිරිස හිර වී ඇති උගුලෙන් බේරීමයි. ඔවුන් පැති මාරු කරන විටත් ආන්තික ඡන්දදායකයා සිටියේ මෛත්‍රීගේ ගොඩේය. එහෙත් ඔහු පසුපස ලොකු පෝලිමක් නොවූ බැවින් අවදානම පහවී නොතිබුණේය. වත්මන් ක්‍රියාකාරී දේශපාලකයින් අතරින් ක්‍රමෝපායයන් අතින් ඉදිරියෙන්ම සිටින චම්පික-රතන එකතුව අවස්ථාව ඉතා මැනවින් කළමනාකරණය කර ගත්තේය.

රැල්ල අනුව ඔරුවේ දිශානතිය සීරුමාරු කළේ චම්පික-රතන පමණක් නොවේ. ශ්‍රී ලාංකික දෙමළ හා  මුස්ලිම් දේශපාලන පක්ෂ විසින්ද කළේ එයමය. සීයාට වඩා ක්‍රමෝපායික දැනුමෙන් බොහෝ දුර්වල පරාභවයෙහි නිබඳ ගැලුණු මුණුපුරාට පමණක් සිය ආධාරකරුවන්ගේ සිත් සතන් කියවීමට නොහැකි වීම නිසා ආන්තික බලය බිඳගත් අවලංගු කාසියක් වීමට සිදුවිය.

මෛත්‍රී දිනුවේ ඡන්ද ලක්ෂ හතරහමාරකින් නිසා ආන්තික ඡන්දදායකයා සිටින්නේ අවසානයටම මාරුවුණු ඡන්ද ලක්ෂ දෙකයි කාල ඇතුළේය. මේ  හුවමාරුව චම්පික-රතන නිසා හෝ අවසාන මොහොතේ සිදුවූ වෙනත් පිල්මාරු නිසා සිදුවීයැයි මා සිතන්නේ නැත. එය සිදු වුයේ දෙමළ ඡන්ද නිසායැයිද කිව නොහැකිය. අඩු වශයෙන් අඩ සියවසකම සිට උතුරේ ඡන්ද වැටුණේ අනෙත් ප්‍රදේශ වල රටාව පරිදි නොවේ. යාපනයේදී 1982දීත් දිනුවේ ජේආර් නොව හෙක්ටර් කොබ්බෑකඩුවයි. එවැනි ඉතිහාසයක් පැවති උතුරේ 'ඊලාම්' ඡන්ද වලින් 20%කට නො අඩු ඡන්ද ප්‍රමාණයක් මහින්දට හිමිවීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ඡන්ද මඟින් ආන්තික බලපෑමක් සිදුවී නොමැති බවයි.

මෛත්‍රී සහ කණ්ඩායමේ ආගමනයෙන් කෙළින්ම වෙනස් වුණු ඡන්ද ගණන සාපේක්ෂව වැඩි ගණනක් විය නොහැකිය. මගේ සංඛ්‍යානමය නොවන තක්සේරුව අනුව එම ප්‍රමාණය කෙසේවත් ලක්ෂයකට වැඩි විය නොහැක. කෙසේ වුවද මහින්දව පැරදිය හැකිය යන විශ්වාසය තහවුරු කිරීමටත් නිර්පාක්ෂිකයින් රැසක් ඡන්දපොළට ආකර්ෂණය කර ගැනීමටත් මෛත්‍රීගේ නික්මීම ඉවහල් විය.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් ඉතිහාසය පුරාම සිටියේ එජාපය සමඟය. එහෙත්, මේ ප්‍රතිශතය 88%ක් විය නොහැක. ඒ අනුව, පසුගිය 2010 ජනාධිපතිවරණයේදී මහින්ද සමඟ සිටි මුස්ලිමුන් අඩු වශයෙන් 20%ක්වත් මෙවර මහින්දගෙන් ගිලිහුණු බව මගේ (සංඛ්‍යානමය නොවන) තක්සේරුවයි. මෙය ලක්ෂ දෙකයි කාලකට වැඩි ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද මහින්ද විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව (එහෙත් ගෝඨාභය විසින් දැනුවත්ව) 'උවමනාවෙන්ම නැතිකරගත්' ඡන්දයි. මහින්දගේ පරාජයට ආන්තික ලෙස දායක වුනු බොහෝ කණ්ඩායම් අතරින් විශාලම කණ්ඩායම මෙය වූ බව මගේ විශ්වාසයයි.

(ඉහළින්ම ඇති සිතියම විකිපීඩියාවෙනි.)





8 comments:

  1. මුල් වගුව දෙපැත්ත මාරුවෙලා නේද
    ඔබේ විග්‍රහය හරියටම හරි. හෙල උරුමය නාගරික සිංහල බෞද්ධ ඡන්දවලට කළ බලපෑමක් නෑ. ඒ අය කොහොමටත් මහින්දගෙන් කැඩිල තිබ්බෙ.
    අපටත් තිබුන ප්‍රශ්නෙ මහින්ද කරන මුදල් නාස්තිය හා පවුලේ සාමාජිකයන්ගෙ විකාර වැඩ ,නීතිය අවභාවිතය වගෙ ඒවට විසදුම් සෙවීම.
    ඒත් එහෙම කියල එජාප නරුමවාදයට රට බිලිදෙන්නත් බෑ
    එජාපය ඇර වෙන ඕනම පක්ෂයකට ඡන්දය දෙන එක තමා විසදුම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ! එය නිවැරදි කළා.

      Delete
  2. යූ ඇන් පී ය බිල්ලෙකු සේ දකින්නට ජනයාට ඉගැන්නුවේ කවුද? අනූ හතරෙන් පසු ඇති වුන තත්ත්වයක්.

    ReplyDelete
    Replies
    1. යුඑන්පිය බිල්ලෙකු වගේ දකින්න කවුරුත් අමුතුවෙන් උගන්නන්න ඕන නෑ. රනිල් ගේ හැසිරීමම ඒකට ඔනාවත් වඩා ඇති. රනිල් පක්ෂ නායකත්වය බේරා ගන්න ගහපු ගෙමුයි, මේ ලගදි අර බැදුම්කර කෙස් එකේදී වැඩ කරපු විදියයි රනිල් මොන විදිහේ බිල්ලෙක්ද කියන එකට හොඳ උදාහරණ.

      Delete
  3. මහා මැතිවරණය පිළිඹඳ අනාවැකි කීමට තරම් ප්‍රමාණවත් දත්ත සහ කාලයක් තවම පෙනෙන්නට නොමැති නිසා ඒ ගැන යමක් ප්‍රකාශ කිරීම අසීරුය.
    කෙසේවෙතත් චම්පික සහ රතන සංයෝගය ගැන කල සඳහන සාධාරණ බැව් සිතමි. වසර 2020 දී ජනපති ලෙස චම්පික සිහින් දකින්නෙත්, 19 වෙනි සංශෝධනය දියාරු වී යන්නෙත් මේ සන්ධර්භය තුලයි

    ReplyDelete
    Replies
    1. ඉවාන් සඳහන් කර ඇති කරුණු වලට මමත් එකඟයි.

      Delete
  4. මෙතනදී සැලකිල්ලට ගතයුතු තව සාධකයක් තියෙනවා ඒ තමයි ඔයා කියන කණ්ඩායම් වලින් විධායක ජනපති ක්‍රමයට විරුද්ධ කවුද කියන එක.
    මගේ මතය ඔතනින් ශ්‍රී ලාංකික දෙමළ, දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි සහ වෙනත් කියන කණ්ඩායම් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මෙතනදී ශ්‍රී ලාංකික දෙමළ කියන කණ්ඩායම හැමවිටම විධායක ජනපති වරයෙක් පත්කිරීමට ඡන්දය දීම මඟහැරියා. 82දී ඔවුන් ජනෘධිපතිට එරෙහි ව ඡන්දය දුන්නා 1987, 2010 ජනාධිපතිවරණවලදී කොහොමත් පැරදෙන කෙනාට චන්දය දැම්මා. 1994,2000,2005 දී මඟහැරියා. 2015දී පමණක් විධායක ජනපති ක්‍රමය අහෝසිකරන බවට ප්‍රභල බලාපොරොත්තුවක් ඇතිකල කෙනාට ඡන්දය ලැබුනා.

    තව ලස්සන දෙයක් තියෙනවා, මේක කලින් කතාවට අදාල නෑ.චන්ද්‍රකා කියන්නේ දේශපාලනිකව "දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි" වර්ගයට අයිති කෙනෙක් නමුත් "දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානි" අය බණ්ඩාරනායක, සිරිමා,මහින්ද ලඟට 4වෙනියට වැඩියෙන්ම අකමැති චන්ද්‍රිකාට.

    ReplyDelete
    Replies
    1. විධායක ජනාධිපති ක්‍රමය ගැන ජගත්ගේ අදහස තර්කානුකූලව හා බැලූ බැල්මට සංඛ්‍යාත්මකව නිවැරදි බව පෙනුණත් මගේ අදහසනම් විධායක ජනාධිපති ක්‍රමය කියන විෂයයට ඔය කොයි කණ්ඩායමේත් සමාජ-ආර්ථික (විශේෂයෙන්ම අධ්‍යාපනික) ලෙස පසුපසින් සිටින බහුතර කොටස් එතරම් සංවේදී නැති බවයි. ඒ අතර, කණ්ඩායම් අතර වෙනස්කම් තිබිය හැකියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.