Saturday, July 11, 2015

මහින්ද පිල සාර්ථක ඉනිමක් අවසන් කර තිබේ!

පළමු තරඟයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මහින්ද පිල, මේ වන විට දෙවන තරඟය ජය ලබා ඇති බව පැහැදිලිය. ඒ ශ්‍රීලනිපයේ සහ එජනිසයේ බලය නැවත අත්පත් කරගැනීමෙනි. කෙසේ වුවද, වඩා වැදගත් තරඟය වනුයේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට දින නියම වී ඇති, තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කරන, අවසන් හා තුන්වන තරඟයයි.

ලංකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ බහුතර ඡන්දයෙනි. මේ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරදා පැහැදිලි බහුතරයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හයවන ජනාධිපතිවරයා විය.

පරාජිතයා වූ මහින්ද රාජපක්ෂ ඡන්ද පනස් අට ලක්ෂයක් ලබාගනිද්දී, මෛත්‍රීපාල සිරිසේන ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගත්තේය. බොහෝ දෙනා විශ්වාස කරන පරිදි මහින්ද රාජපක්ෂගේ ඡන්ද ඔහුගේම ඡන්ද වන අතර මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද ඔහුගේම ඡන්ද නොවේ.

මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද වලින් බහුතරය එජාප ඡන්ද වුවද ඒ ප්‍රමාණය එයින් අඩකට වඩා වැඩි විය නොහැක. ඉතිරි ඡන්ද අතර ටීඑන්ඒ ඡන්ද හා ජවිපෙ ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද, මුස්ලිම් හා ඉන්දියානු දෙමළ දේශපාලන පක්ෂ වල ඡන්ද සුළු ප්‍රමාණයක්ද ඇති අතර හෙළ උරුමය කණ්ඩායමද ඇතුළුව එජනිසයෙන් බිඳී ආ කණ්ඩායම විසින් රැගෙන ආ ඡන්ද යම් ප්‍රමාණයක්ද විය.

මේ සියල්ල එකතු කළත් ලක්ෂ හැටදෙකක් හැදෙන්නේ නැත. ලක්ෂ හැටදෙක හැදුනේ දේශපාලන පක්ෂ මඟින් කෙලින්ම පාලනය කළ නොහැකි ඡන්ද විශාල ප්‍රමාණයක් ඉහත ගොඩට එකතු වීමෙනි. මේ ප්‍රමාණය ලක්ෂ දහයකට වැඩි මිස අඩු නොවූ බව මගේ තක්සේරුවයි. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පිලිබඳව කලකිරුණු, ජවිපෙ සමඟද මතවාදීව එකඟ විය නොහැකි සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි තුන්වැනි බලවේග වලට නිකමට මෙන් ඡන්දය දුන් කොටස්ද, බොහෝවිට ඡන්දය භාවිතා නොකළ අයද, එජනිසයට පෙර ඡන්දය පාවිච්චි කළ නමුත් රාජපක්ෂලා නොඇදහූ කොටස්ද විය.  රාජපක්ෂ රෙජීමය සමඟ විරසක වූ  මුස්ලිමුන්ගේ ඡන්ද විශාල ප්‍රමාණයක්ද මේ ගොඩට එකතු විය.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති ධුරය ඔහු හිමි කරගත්තේ එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් ගෙවමිනි. ආර්ථික විද්‍යා භාෂාවෙන්නම් ඔහුට භාණ්ඩය මිල දී ගැනීම සඳහා විශාල සහනාධාරයක් ලැබුණේය. වෙනත් අයගෙන් සම්මාදම් එකතු කර මෙසේ අඩු මිලට භාණ්ඩයක් හිමි කරගත් විට පුද්ගලයෙකුට එහි සැබෑ වටිනාකම නොදැනේ. ඔහුට දැනෙන වටිනාකම ඔහු ගෙවූ මිලයි.

අනෙක් අතට මේ භාණ්ඩය හිමිකර ගැනීම සඳහා තනි පුද්ගලයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේනට වඩා ඉතා ඉහළ මිලක් ගෙවීමට සුදානම් වූ මහින්ද රාජපක්ෂට එය හිමිකර ගත නොහැකි විය. මේ නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ජනිත විය. භාණ්ඩයක් සඳහා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එය ලබා ගැනීම සඳහා දැරෙන උත්සාහයන් ඉතා බලවත්ය.

දැන් මහමැතිවරණයක් ප්‍රකාශයට පත් වී ඇති අතර මේ සටහන පළවන විට නාමයෝජනා බොහෝදුරට සකස් කර අවසන් වී තිබේ. මහ මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය තීරණය වන ආකාරයටම නොවේ. නෛතික පදනම කෙසේ වුවත් මහ මැතිවරණයේදී ඡන්දයක ආන්තික බලය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වේ.

ජේආර් හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් මහජන නියෝජිතයින් තෝරා ගැනෙන්නේ එක් එක් දේශපාලන පක්ෂය ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයට (රවුම් කිරීමෙන් පසුව වුවද) හරියටම සමානුපාතිකව නොවේ. උදාහරණයක් ලෙස නියෝජිතයින් අටදෙනෙකු පත් කර ගන්නා (බදුල්ල, පුත්තලම වැනි) දිස්ත්‍රික්කයකදී තුන්වැනියට වැඩි ඡන්ද ගන්නා කණ්ඩායමේ ඡන්ද ප්‍රමාණය 6%කට පමණ සීමා වන තත්ත්වයක් යටතේ එක් වැඩි ඡන්දයකින් මුල්තැනට එන කණ්ඩායමට මන්ත්‍රී ධුර 5ක් හිමිවන අතර දෙවන කණ්ඩායමට හිමි වන්නේ මන්ත්‍රී ධුර 3ක් පමණි.

පසුගිය ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 12කදී මෛත්‍රී ඉදිරියෙන් සිටි අතර මහින්ද ඉදිරියෙන් සිටියේ දිස්ත්‍රික්ක 10කදී පමණි. මේ අනුව ඡන්ද පදනම් එසේම පවතීනම් රටේ බහුතර ඡන්දයද ලබා ඇති මෛත්‍රී පිල ඉදිරියෙනි. එහෙත්, ඒ මේ ඡන්ද ගොඩවල් දෙකම ඇලුමිනියම් ලෙස සැලකුවහොත්ය. කවුරුත් දන්නා පරිදි මෛත්‍රීගේ හැට දෙක ඇලුමිනියම් නොවේ. සෙරමික්ය.

හැට දෙකේ වූ එකම මහා පොදු සාධකය මහින්ද විරෝධය වූ අතර කෙසේවත්ම මෛත්‍රීට ඇති කැමැත්ත නොවීය. මෛත්‍රීට ඇති කැමැත්ත මඟින් පෙන්නුම් කළේ මහින්දට ඇති විරෝධයයි. මෙහිදී 'මහින්ද' වුයේ පුද්ගලයෙකු නොවේ. පුද්ගලයෙකු වටා පෙළගැසුණු කණ්ඩායමක් සහ ක්‍රමයකි. මේ මහින්ද විරෝධය පිටුපස තමා සහයෝගය දක්වන දේශපාලන පක්ෂය බලයට පත් කර ගැනීමේ කැමැත්ත, යහපාලනයට ඇති කැමැත්ත, දූෂණ විරෝධය, නීතියේ අධිපත්‍යය බිඳවැටීම පිළිබඳව ඇති විරෝධය, රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජාතිවාදයට ඇති විරෝධය හෝ බය, පෞද්ගලික හේතු, හැමදාම දකින කුකුළාගේ කරමල සුදුවීම, යුද්ධය අවසන් කිරීමේදී ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඇති විරෝධය, රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම පිළිබඳව පැවති බිය වැනි හේතු එකක් හෝ කිහිපයක් මුල්විය.

මෛත්‍රී ඉදිරියෙන් සිටි උතුරු පළාතේ වැඩි බලය ඇත්තේ දෙමළ සන්ධානයටය. ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් වනු ඇත්තේ වෙනම කණ්ඩායමක් වශයෙනි. කවර ලෙසකින් මැතිවරණයට ඉදිරිපත් වූවද නැගෙනහිර පළාතේ ඉතිරි දිස්ත්‍රික්ක වල මෙන්ම නුවරඑළියේද වැඩි බලය ඇත්තේ සුළු ජාතික දේශපාලන පක්ෂ අතේය. මේ ඇතැම් පක්ෂ ප්‍රධාන ධාරාවේ කවර හෝ කණ්ඩායමක් හා එක් වීමට ඉඩ ඇතිවුවද අවසාන වශයෙන් වැඩි නියෝජනයක් හිමි වන්නේ ප්‍රධාන ධාරාවේ පක්ෂයකට නොවේ.

ජනාධිපතිවරණයේදී මෛත්‍රී ජයගත්, බහුතරය සිංහල බෞද්ධ, වන අනෙකුත් ඇතැම් දිස්ත්‍රික්ක වලදී ප්‍රතිඵලය පැවතුණේ මහමැතිවරණයකදී මහින්ද පිලට වාසිදායක වන පරිදිය. විශේෂයෙන්ම බදුල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වලදී ජවිපෙ ඡන්ද ඉවත් කළ විට මහින්ද පිල පැහැදිලිවම ඉදිරියෙන්ය. ජවිපෙ වෙනම තරඟ කරද්දී, හෙළ උරුමයද ඇතුළු මෛත්‍රී පිල එජාපය සමඟ එක්ව තරඟ කරන තත්ත්වයක් තුළ වුවද මේ කණ්ඩායමට ඉදිරියෙන් සිටීමේ හැකියාව තිබුණේ කොළඹ, මහනුවර සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක කිහිපයකදී පමණි. එසේනම් මහින්ද පිල වෙනම තරඟ නොකර එජනිස නාමයෝජනා ඉල්ලමින් මෛත්‍රී පසුපස ආවේ ඇයි?

රහස ඇත්තේ පනස් අටේ සංයුතියේය. හැටදෙක මෙන්ම පනස් අටද සෙරමික් මිස ඇලුමිනියම් නොවීය.

මහින්දට ඇති කැමැත්ත මහා පොදු සාධකය වූ පනස් අට හැට දෙක තරමටම විෂමජාතීය එකතුවක් නොවීය. එහෙත්, මේ පනස් අටේද පැහැදිලි ප්‍රභේද තිබුණේය. ඒ අතර, ප්‍රභාකරන්ගෙන් වූ පීඩනයට වඩා මහින්දගේ පීඩනය අඩුයැයි සිතූ අඩුම වශයෙන් ලක්ෂ දෙකක්වත් වන ශ්‍රී ලාංකික දෙමළ ඡන්දදායකයින්ගේ සිට, මහින්දගෙන් කෙළින්ම ආර්ථික වාසි සැලසුණු කණ්ඩායම්, යුද ජයග්‍රහණය වෙනුවෙන් තවදුරටත් කළගුණ සැළකිය යුතුයැයි සිතන්නන්, මහින්දගේ සංවර්ධන ව්‍යාපෘති අගය කරන්නන්, නැවත යුද්ධයක් ඇති නොවීමටනම් මහින්ද තව කලක් බලයේ සිටිය යුතු යි සිතන්නන් මෙන්ම රනිල්-චන්ද්‍රිකා සමඟ සසඳමින් අඩු නරක තෝරාගන්නන්ද විය. මේ කණ්ඩායම් සියල්ලක්ම බොහෝ දුරට මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය ලෙස හැඳින්වීමෙහි ලොකු වරදක් නැතැයි සිතමි.

කෙසේ වුවද, පනස් අටේ ගොඩේ සිටියේ මහින්ද මහින්ද වීම නිසා මහින්දට කැමති වූ අය පමණක් නොවේ. මහින්ද (ඇතුළු පිරිස) ශ්‍රීලනිපය වන නිසා මහින්දට ඡන්දය දුන් විශාල පිරිසක් මේ ගොඩේ සිටී. මහින්ද රටේ ජනාධිපති වූ නිසාත්, මහින්ද වටා දේශපාලන බලය තිබුණු නිසාත්, මහින්ද පැරදවීම සිතීමටවත් නොහැකි නිසාත් මහින්දට ඡන්දය දුන් අයද විශාල ප්‍රමාණයක් මේ ගොඩේ සිටියේය. මේ දෙවන හා තුන්වන කණ්ඩායම් වල විශාලත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවක් කාට නැතත් දේශපාලනයෙන් තෙම්පරාදු වී ඇති මහින්දටත්, විමල්-ඩලස් වැනි ඔහු වටා දිගටම සිටි ඇතැම් අයටත් තිබුණේය. (ජනාධිපතිවරණයට පෙර ගණන් වරද්දා ගැනීම වෙනම කාරණයකි.)

ශ්‍රීලනිප බෙදීමකදී මහින්දට මහින්ද වීම නිසා ලැබුණු ඡන්ද අහිමි වීමේ අවදානමක් තිබුණේ නැත. 'මරලා හෝ ගත්තේ නැත්තේ ඇයි?'දැයි මහින්දගෙන් විමසන, මහින්ද දිනවීම සඳහා විමල්-වාසුලා සංවිධානය කළ රැළි වලට සහභාගී වන කොටස් කවර තත්ත්වයක් යටතේ වුවද මහින්දව ප්‍රතික්ෂේප නොකරනු ඇති අතර මහින්ද සමඟ ඕනෑම තත්ත්වයක් යටතේ හිටගන්නා පාර්ලිමේන්තු කණ්ඩායම දිනවීමට මේ ඡන්ද උවමනාවටත් වඩා ප්‍රමාණවත්ය. රැළි වලට සහභාගී නොවූවත් වත්පොත් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා මහින්ද වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින කොටස්ද සිටින්නේ මේ පනස් අටේ පළමු කාණ්ඩය තුළය.

මුල සිටම රනිල්ගේ සිහිනය වීයැයි සිතිය හැකි, මහින්ද හා මෛත්‍රී පිල් ලෙස ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය දෙකට බෙදෙන තත්ත්වයකදී එජාපයට කෙලින්ම සැලසෙන වාසිය වූයේ උතුරු-නැගෙනහිර හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල මුල් තැනට ඒමෙන් ලැබෙන බෝනස් ආසන පමණක් නොවේ. පනස් අටේ තුන්වන කාණ්ඩය අධෛර්යමත්ව ඡන්දය භාවිතා නොකර සිටීමෙන් සහ එයින් කොටසක් එජාපය වෙත ආකර්ෂණය වීමෙන් ලැබෙන වාසියද එහි විය. ඒ අනුව, බෙදීමක් තුළ මහින්ද පිලට මෙන්ම මෛත්‍රී පිලටද මේ ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් අනිවාර්‍යයෙන්ම අහිමි වීමට නියමිතව තිබුණි.

පනස් අටේ දෙවන කාණ්ඩයේ ඡන්ද හිමිවිය හැකිව තිබුණේ ශ්‍රීලනිපය ලෙස මහජනතාව විසින් හඳුනාගැනෙන කණ්ඩායමටය. මෙය වත්මන් මහජන නියෝජිතයින්ගෙන් වැඩි ප්‍රමාණයකගේ සහයෝගය ලැබෙන කණ්ඩායමයි. ආරම්භයේදී මේ පිරිස මහින්ද පිලේ සිට මෛත්‍රී පිල වෙත දෝලනය වෙමින් පැවතිණි.

හැටදෙකේ අස්ථිර භාවය මත පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීම සඳහා පනස් අට එක මිටට තබා ගැනීමේ වැදගත්කම මහින්ද පිල මුල සිටම අවබෝධ කර ගත්තේය. මහින්ද පිලට අවශ්‍ය වූයේ රාජ්‍ය බලය නැවත ලබාගැනීමට මිස ඔවුන්ගේ කණ්ඩායම නැවත පාර්ලිමේන්තුවට යවා ගැනීම පමණක් නොවේ. ඔවුන්ගේ උපක්‍රමික පසුබෑම සහ පුනරාගමනය මේ අනුව තේරුම් කළ හැකිය.

ශ්‍රීලනිප බෙදීමකදී  එහි ලොකු කොටස තමන් වෙත රඳවා ගැනීමේ හැකියාව මහින්ද පිල සතුව මුල සිටම තිබුණේය. ඕනෑම තත්ත්වයක් යටතේ මහින්ද සමඟ හිටගැනීමට සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට වැඩි ප්‍රමාණයක් සිටි අතර මෛත්‍රීට එවැන්නන් සිටියේ දෑතේ ඇඟිලි වලටත් අඩුවෙනි. ඉතිරි බහුතරය මහින්දට හෝ මෛත්‍රීට විශේෂ පක්ෂපාතීත්වයක් නොමැති වැඩි වාසියක් ඇති තැනට එක් වීමට බලා සිටි පිරිසකි. නුදුරේම පෙනී පෙනී තිබුණු මැතිවරණය හමුවේ දැන්ම හෝ මැතිවරණයෙන් පසුව ලබාගන්නා වරදානයන්ට වඩා ඔවුන්ට වැදගත් වූයේ කෙසේ හෝ තම පාර්ලිමේන්තු අසුන රැක ගැනීමයි.

මෛත්‍රීගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද පිලේ ජනතා නියෝජිතයෝ එකිනෙකා මෛත්‍රී පිලට එකතු වන්නට විය. මේ ප්‍රවණතාව මේ අයුරින්ම පැවතියේනම් ශ්‍රීලනිපය දෙකඩ වී පාර්ලිමේන්තුව තුළ මෛත්‍රී පිල විසින් මහින්ද පිල ගිලගෙන මහින්ද පිල සාපේක්ෂව දුර්වල කණ්ඩායමක් විය හැකිව තිබුණි. එය එසේ වීනම්, පාර්ලිමේන්තුවෙන් පිටතදී, පනස් අටේ කණ්ඩායමේ තුන්වන කොටස විසින් මහින්ද පිල පරාජිතයින් ලෙස හඳුනාගැනීම තුළින් මේ දියවීම එහිද සිදුවනු ඇත. ඔවුන්ගෙන් කොටසකගේ නවාතැන්පල එජාපය විය හැකිව තිබුණි. පනස් අටේ කණ්ඩායමේ දෙවන කොටසද මහින්ද හා මෛත්‍රී පිල් අතර බෙදී යනු ඇත.

මෛත්‍රී විසින් ශ්‍රීලනිප සභාපතිත්වය එහි මිල ගෙවා ලබා ගැනීමට ඉඩ නොතබා සහනාධාරයක් ලෙස ඔහු වෙත ලබාදීමෙන් සිදුකෙරුණේ මේ ක්‍රියාදාමය වෙත තිරිංග යෙදීමකි. දැන් මහින්ද නැතත් පනස් අටේ කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය ඇත. ඡන්දයෙන් පරාජය වූ ඔවුන්ට තමන්ගේම ජනාධිපතිවරයෙකු සහ ආණ්ඩුවක් තවදුරටත් තිබේ. නායකයා අවිනිශ්චිත වීම ප්‍රශ්නයක් නොවේ.

මහින්ද හෝ මෛත්‍රී වෙනුවෙන් ඕනෑම තත්ත්වයක් යටතේ පෙනී සිටීමට සුදානම් නොවූ බහුතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වූයේ මීළඟ මැතිවරණයේදී සිය මන්ත්‍රී ධුරය රැකගැනීමටය. මුලදී පෙනෙන්නේට තිබුණු ආකාරයට මෛත්‍රී සමඟ සිටගැනීම මේ සඳහා වැඩි පිටිවහලක් සැපයුවේය.

පනස් අටේ තුන්වන කාණ්ඩය ගිලිහීයාම වලකා ගත හැකි වූයේ රාජ්‍ය බලයේ අයිතිය තමන් වෙත තවදුරටත් ඇතිබව තහවුරු කිරීමේ හැකියාව මතය. කෙසේ වුවද, රාජ්‍ය බලයේ අයිතිය ශ්‍රීලනිපයට බව තහවුරු කිරීමට රනිල්ගේ එජාපය සමඟ තරඟ කළ යුතු වූ අතර මේ තරඟයේදී මෛත්‍රීගෙන් ශ්‍රීලනිපය අපේක්ෂා කළ විශේෂ උදවු ඔවුන්ට ලැබුණේ නැත. මෛත්‍රීගේ උදාසීන ප්‍රතිපත්තියෙන් වාසි සැලසුණේ එජාපයටය. මේ තත්ත්වය යටතේ එජනිස පාර්ලිමේන්තු කණ්ඩායමේ මැදපෙළට මෛත්‍රී සමඟ සිටගැනීම පිළිබඳව සැක සංකා මතු වන්නට විය. මෙය අනිවාර්යයෙන්ම සිදුවන බව මහින්ද පිල මුල සිටම දැන සිටියේය.

විමල්-වාසු කණ්ඩායමේ රැස්වීම් මාලාව මූලිකවම අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවෙන් පිටත පනස් අටේ කණ්ඩායම දියවීම වලක්වාගැනීමටය. පරාජය ජයග්‍රහණයක් ලෙස පෙන්වීම ක්‍රමෝපායයේම කොටසකි. දෙවනුව, මැතිවරණ ජයග්‍රහණය වඩා සහතික වන්නේ මෛත්‍රී සමඟ නොව මහින්ද සමඟ සිටීමෙන්ය යන්න පාර්ලිමේන්තුවේ එජනිස මැද පෙලට ඒත්තු ගැන්වීමටය. මේ උපක්‍රම බොහෝ දුරට සාර්ථක වූ අතර එහි වෙනත් අතුරු ප්‍රතිඵලද තිබේ.

මෛත්‍රීට ඡන්දය දුන් කණ්ඩායමේ අපේක්ෂාවන් සිතූ පරිදි ඉටු වී නැත. මේ අනුව, හැට දෙක තුල වූ නිර්පාක්ෂික කොටස් හැට දෙකෙන් ගැලවී යාම ප්‍රවණතාවක් විය යුතුය. විමල්-වාසු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වහි අතුරු ඵලයක් ලෙස මේ නිර්පාක්ෂික කොටස් වලට තව දුරටත් මහින්ද විරෝධය පවත්වා ගැනීමට අවශ්‍ය උත්තේජනයද නොමිලයේම සපයනු ලැබීය.

මහින්දට එජනිස නාමයෝජනා දුන් වහාම ඇති වූ සෘජු ප්‍රතිඵලය මෛත්‍රී සහ ඔහුට ඡන්දය දුන් හැට දෙකේ කණ්ඩායම අතර ඇති ඓන්ද්‍රීය සම්බන්ධතාව බිඳ වැටීමයි. මහින්ද කණ්ඩායම විසින් ඇටවූ ක්‍රමෝපායික උගුලේ මෛත්‍රීපාල සිරිසේන සිර විය. (එය සිදු වූ ආකාරය වෙනම සාකච්ඡා කළ යුතුය.)

මෛත්‍රී විසින් මහින්දට නාමයෝජනා දෙනු නොලැබීනම් කුමක් විය හැකිව තිබුණේද? එසේනම්, මහින්ද පිලේ විමල්-වාසු ඇතුළු පිරිසට වෙනම තරඟ කිරීමට සිදුවනු ඇත. මේ කණ්ඩායම සමඟ මහින්ද ඡන්දයට ඉදිරිපත් වේද යන්න තීරණය විය හැක්කේ ඔවුන් වටා පෙළගැසෙන කණ්ඩායමේ ශක්තිය මතය. කණ්ඩායම් පෙළගැසෙන ආකාරය කෙසේ වුවත්, අවසානයේදී මෛත්‍රී සමඟද ශක්තිමත් කණ්ඩායමක් ඉතිරි වනු ඇත. ඔවුන් බොහෝ විට තුන්වන කණ්ඩායම වනු ඇති නමුත් දුර්වල කණ්ඩායමක් නොවනු ඇත. රනිල්ගේ එජාපය මුල් තැනට පැමිණෙනු ඇති අතර රනිල්-මෛත්‍රී එකතුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත සභාගයක් පිහිටුවද්ද්දී මහින්ද පිල විපක්ෂයේ ප්‍රබලම කණ්ඩායම වනු ඇත. බහුතරය නොලබන රනිල්ගේ එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට එකතු වන හෙළ උරුමය සහ ශ්‍රීලනිප මෛත්‍රී පිල සංඛ්‍යාත්මකව කුඩා විය හැකි වුවද ඔවුන්ගේ ආන්තික බලය විශාල වනු ඇත. කෙසේ වුවද, මේ ඉඩකඩ මේ වන විට මහින්ද පිල විසින් අහුරා තිබේ.

මහින්දගේ පනස් අටෙහි පළමු හා දෙවන කොටස් ඔවුන් විසින් මේ වන විට ග්‍රහණයට ගෙන ඇති අතර තුන්වන කොටස රඳවා ගැනීම ඔවුන් හමුවේ තවදුරටත් ඇති අභියෝගයකි.

අනෙක් අතට, මෛත්‍රීගේ හැටදෙකේ බොහෝ දෙනෙකු තමන්ගේ මුල් බලාපොරොත්තු බිඳගෙන ඇති නමුත් ඔවුන්ගේ මහින්ද විරෝධය තවමත් පහව නැති නිසා, ඇත්ත වශයෙන්ම විමල්-වාසු කණ්ඩායම විසින් තවදුරටත් මුවහත් කරනු ලබ ඇති නිසා, මේ ඡන්ද හැටදෙලක්ෂය තව දුරටත් එසේම පැවතීමට ඉඩ ඇතත් ජවිපෙ හා ටීඑන්ඒ ඡන්ද ඉවත් කළ විට මේ ගොඩ මහින්දගේ ගොඩට වඩා කුඩා වේ. එජාප ඇතුළු පෙරමුණෙහි ජයග්‍රහණය සඳහා රාජ්‍ය බලය හා දිනීමට ඇති වැඩි ඉඩකඩ පෙන්වා මහින්ද ලබාගත් තුන්වන කාණ්ඩයේ ඡන්ද වලින් කොටසක් බිඳ ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර මහින්ද ප්‍රධාන එජනිසයෙහි ජයග්‍රහණය සඳහා මේ ඡන්ද රඳවා ගත යුතුය.

ජයග්‍රහණය අවසාන වශයෙන් තීරණය කරන මේ ආන්තික ඡන්ද ලබාගැනීමටනම් රාජ්‍ය බලයේ සංකේතය වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අයිතියට ඇති හිමිකම අත්‍යවශ්‍ය සාධකයකි. පුද්ගලයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට කෙලින්ම පාලනය කළ හැකි ඡන්ද ප්‍රමාණය පොළොන්නනරුව දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයා තීරණය කරන ඡන්ද විසිපන්දහසක පමණ ප්‍රමාණයක් පමණක් වුවද තවත් වසර හයකට බලය ඇති විධායක ජනාධිපති වරයා ලෙස ඔහු විසින් සංකේතවත් කරන රාජ්‍ය බලය විසින් ඡන්දදායකයින් ලක්ෂ ගණනකගේ තීරණ වලට බලපෑමක් කරනු ඇත.

මේ නිසා ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේනට මඩ ගැසීමක් වෙනුවට ඔහු සිටින්නේ තමන්ගේ පිලේයැයි පෙන්වීම සඳහා කෙරෙන උත්සාහයන් දෙපාර්ශ්වයෙන්ම දැක ගැනීමට හැකි වනු ඇත.

(දේශපාලන විශ්ලේෂකයෙකු හෝ දේශපාලන විද්‍යාව පිලිබඳ විධිමත් අධ්‍යාපනයක් ලබා ඇත්තෙකු නොවන ඉකොනොමැට්ටා මෙහි සටහන් කර ඇත්තේ ඔහුගේ සිතට දැනෙන දේවල් මිස න්‍යායාත්මක කරුණු නොවේ. ඒවා නිවැරදි නොවීමට ඇති ඉඩකඩ ඉකොනොමැට්ටා විසින් පිළිගන්නා අතර, වෙනස් අදහස් හෝ විවේචන ඉදිරිපත් වුවහොත් ඉකොනොමැට්ටාගේ අදහස් තහවුරු කිරීමට උත්සාහ නොදරනු ඇත. ඡායාරූපය www.colombotelegraph.com වෙබ් අඩවියෙනි.)

6 comments:

  1. මේකයි අපිට නුහුරු දේශපාලනයක් දැන් දැන් ලංකාවේ වෙනවා.... නමුත් මේක ලෝක දේශපාලනය තුළ දකින්න පුළුවන් දෙයක්... ඔච්චර කල් අපි පුරුදු වෙලා හිටියේ ඉරි ගහපු පක්ෂ විපක්ෂ ඉන්න පත් වුණාට පස්සේ කට්ටියක් දිනන කට්ටියක් පරදින.... කොටසක් විපක්ෂයට වෙලා හැම දේට ම විරුද්ධ වෙන දේශපාලනය විතරයි... අපි අදත් හොයන්නේ ඒක.... දැන් ඒ යුගය ඉවරයි... අපි මේ අලුත් තත්වය තේරුම් ගත යුතුයි.... මේක තුළ අපි උත්සහ ගත යුත්තේ පාලකයා වැරදි ගමනක් යන ඒකට වැට බැදලා ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් හදාගන්නයි... ඒ නිසා මේක දේශපාලකයාගේ ක්‍රීඩා පිටියක් නොකර සක්‍රීය ඡන්ද දායකයින් ඉන්න ග්‍රවුන්ඩ් ඒකක් කරන ඒකයි වැදගත්.... ඒකට අපි බ්ලොග් වල විශ්ලේෂණ කර කර හිටියට ම හරි යන්නෑ..... මේ අලුත් තත්වය දිහා අලුත් අැහැකින් බලන්න ඔ්නේ.......

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණානේ අපේ සින්ඩියටත් අැතුළත් කර ගත්තා......

      http://kurutugegeepawra1.blogspot.com/

      Delete
    2. "දේශපාලකයාගේ ක්‍රීඩා පිටියක් නොකර සක්‍රීය ඡන්ද දායකයින් ඉන්න ග්‍රවුන්ඩ් ඒකක් කරන ඒකයි වැදගත්." කියන කොටසටනම් සම්පුර්ණයෙන්ම එකඟයි. "ඉරි ගහපු පක්ෂ විපක්ෂ ඉන්න පත් වුණාට පස්සේ කට්ටියක් දිනන කට්ටියක් පරදින" එකනම් ලංකාවේදී පැහැදිලිවම වෙනස්වෙලා දැන් දශක දෙකකටත් වැඩියි. මෑතකදී වුනේම පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම දිනලා ඡන්දය දීපු ජනතාව පැරදීමයි. මේ ඡන්දයෙන් පස්සේත් ආයේම යන්නේ ජනතාව පැරදිලා, පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ම (ඒ අයගෙන් බහුතරයක්) දිනන ගේම් එකක්. ඡන්දෙන් පස්සේ ගොඩක් අය ඔය පක්ෂ විපක්ෂ වැට නිදහසේ පනියි. ලංකාවේ මෑතකාලීන දේශපාලනය බොහෝ අංශ වලින් වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල නැති ප්‍රජාතන්ත්‍රවාදයේ ලොකු විකෘතියක්. ඒ නිසා මගේ අදහසනම් හැම වෙනස් වෙන තත්ත්වයක් එක්කම ගතික ලෙස 'ග්‍රවුන්ඩ් කන්ඩිෂන්ස්' විශ්ලේෂණය කරමින් ක්‍රමෝපායික වීමත් ඡන්දදායකයින් සක්‍රිය වීමේ අංගයක් කියලයි. "පාලකයා වැරදි ගමනක් යන එකට වැට බැදලා" කොටස සාර්ථකව කරන්න වෙන්නෙත් මුලදීම යම් දේශපාලනික තත්ත්වයන් නිර්මාණය වුණොත් (කරගත්තොත්) පමණයි. කමෙන්ට් එකට සහ සින්ඩියට ඇඩ් කළාට ස්තුතියි!

      Delete
  2. මම හිතන විධිහට දැන් තත්වයේ හැටියට යු ඇන් පි එකට ටිකක් වැඩි චන්ද ගානක් ලැබෙනවා. මහින්ද පාර්ශ්වයට ඊළඟට ලැබෙනවා. මේ පාර ජවිපෙ අසන 10-12 එන හැඩයි . ටි එන් ඒ එකටත් එනවා. යුඇන්පී එකට ටි එන් ඒ එක්ක තමා ආණ්ඩුව හදන්න වෙන්නේ. මේ තත්වය තව සුමනෙකින් තව වෙනස් වෙන්න නම් පුලුවන්නම්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.