Monday, July 6, 2015

සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

හෝමෝ සේපියන්ස්ලා කණ්ඩායමක් ලෙස සාමූහික දේශපාලන තීරණ ගැනීමේදී දැනට බහුලවම යොදා ගන්නා ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදයයි. සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සෑම පුද්ගලයෙකුගේම පුද්ගල අභිලාශයන්ට සමාන වටිනාකමක් ලබා දීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සිදු වූ ලෙස සැලකෙන්නේ වත්මන් හෙලනික් ජනරජයේ (ග්‍රීසියේ) අගනුවර වන ඇතීනා (ඇතැන්ස්) නගරයේදීය. ඇතීනාහිදී මේ සංකල්පය බිහි වූ ක්‍රිස්තු පූර්ව සයවන සියවස පැරණි දඹදිව මෙන්ම චීනය ඇතුළු ලෝකයේ වෙනත් බොහෝ පෙදෙස් වලද දියුණු හෝමෝ සේපියන්ස් අදහස් හා දර්ශනවාද රැසක් ස්වාධීනව බිහිවූ කාලයකි. මේ අනුව වෙනත් තැන් වලත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන බිහිවූ නමුත් ඇතීනාහි බිහි වූ ක්‍රමය අඛණ්ඩව වර්තමානය දක්වා දියුණු වූ ලෙස සැලකේ.

සියවස් විසිහයක සිටම තීරණ ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දුන් සොක්‍රටීස් පරම්පරාවේ හෙලීනයෝ ඊයේ (ජූලි 05) තවත් තීරණාත්මක කඩඉමකට  සමාජයක් ලෙස මුහුණ දිය යුතු ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණය කළෝය. ඒ ඔවුන් මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා නැතුවම බැරි තවත් විදේශ ණය මල්ලක් ලබාගැනීම සඳහා රටක් වශයෙන් කෙතරම් නම්‍යශීලී විය යුතුද යන තීරණයයි. අග්‍රාමාත්‍ය අලෙක්සීස් සිප්රස් ප්‍රධාන පාලක වාමාංශික සන්ධානය (සිරිසා) ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයකම ඉල්ලීම පරිදි හෙලනික් ජනපදිකයින් බහුතරයකගේ (61.3%) තීරණය වූයේ ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගත යුතු නැති බවයි.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා හොම්බ බිම ඇණගත් රටක් පිනට ගොඩ දැමීමට කාටවත් අමාරුවක් නැත. (ලංකාවනම් ග්‍රීසියට එවැනි උදවුවක් කර තිබේ.) එවැනි රටකට ණය ලබාදීමට වෙනත් රටවල් හෝ සංවිධාන ඉදිරිපත් විය හැකි වුවත්, එහිදී තමන් ලබාදෙන ණය ආපසු ලබාගැනීමේ හැකියාව ගැන ඔවුන් සැලකිලිමත්වීම තේරුම් ගැනීමට අපහසු නැත. ග්‍රීසියට ණය ලබා දීමට පෙර සුභසාධන වියදම් කපා හැරීම, රාජ්‍ය වියදම් අඩු කිරීම ඇතුළු වේදනාකාරී පියවර රැසක් සඳහා කොන්දේසි ඉදිරිපත් වන්නේ මේ පදනමිනි.

ජනමතවිචාරණයේ ප්‍රතිඵලය මඟින් ග්‍රීසියේ ණය ගෙවීමේ හැකියාවට අමතරව යුරෝපීය සංගමය තුළ ග්‍රීසියේ ඉදිරි පැවැත්මද ප්‍රශ්න කෙරී ඇත. හෙලනික් ජනරජයේ බොහෝ ගොඩනැගිලි මත ග්‍රීක කොඩිය සමඟ තවමත් ලෙලදෙන යුරෝපීය සංගමයේ කොඩිය තවත් කෙතෙක් කලක් එසේ ලෙලදේදැයි අවිනිශ්චිතය.

ලංකාව මෙන් දෙගුණයක් විශාල ග්‍රීසියේ ජනගහණය ලංකාවේ ජනගහණයෙන් අඩකි. 2000දී ඇමරිකන් ඩොලර් 11,960ක් වූ ග්‍රීසියේ  ඒක පුද්ගල ආදායම යුරෝපියානු සංගමයට එක් වීමෙන් පසු සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර 2008 වන විට ඇමරිකන් ඩොලර් 31,700ක් දක්වා වර්ධනය විය. එහෙත් ග්‍රීකයින්ගේ සෞභාග්‍යයේ දේවතාවා වන ප්ලූටස්ට 2008 අවසානයේදී වූ ලෝක ආර්ථික අවපාතය හමුවේ පසුබසින්නට සිදුවිය. මේ වන විට ග්‍රීසියේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 19,000 මට්ටමෙනුත් පහළට වැටී ඇති අතර ප්ලූටස්ගේ මරණය කෙසේ වෙතත් ග්‍රීසියේ සෞභාග්‍යය තවත් බොහෝ සේ පහත වැටීම නොවැලැක්විය හැකි වනු ඇත.


ඇමරිකාව ප්‍රධාන සමස්ත බටහිර ලෝකයටම විශාල අභියෝගයක් වූ 2008 ආර්ථික අවපාතයේ අහිතකර ප්‍රතිඵල අවම කර ගැනීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග බොහොමයක්ම අවසන් වූයේ මේ රටවල් වල රාජ්‍ය අංශ ප්‍රසාරණය කරමින්, සුභසාධන ව්‍යාපෘති පුළුල් කරමින් හා ණයබර වැඩි කරමිනි. කෙසේ වුවද, බොහෝ දෙනා පහසුවෙන් අමතක කරන කරුණක් වන්නේ කෙතරම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියකින් වුවද සම්පත් අලුතින් ජනනය කිරීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයක් බවයි.

ආර්ථික ප්‍රතිපත්ති මඟින් බොහෝ විට කෙරෙන්නේ යම් ආර්ථික ඒකකයක් සතු සම්පත් වල සංයුතිය වෙනස් කිරීමකි. මෙහිදී, නිෂ්පාදකයින්ගෙන් පාරිභෝගිකයින්ට, පාරිභෝගිකයින්ගෙන් නිෂ්පාදකයින්ට, ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට, ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන්ගෙන් පියවරුන්ට හෝ එක් ප්‍රදේශයකින් වෙනත් ප්‍රදේශයකට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු වේ. රාජ්‍ය බලය යොදා සම්පත් වල සංයුතිය මෙසේ වෙනස් කිරීමේදී ඵලදායීත්වය අඩු තැනකින් වැඩි තැනකට සම්පත් සම්ප්‍රේෂණය වුවහොත් යම් සම්පත් ජනනයක් සිදුවන නමුත් රාජ්‍ය මැදිහත්වීමක් බොහෝ විට සිදුවන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවටය.

ආර්ථික අවපාතයකදී සිදුවන රාජ්‍ය මැදිහත්වීමක් බොහෝවිට සුභසාධනය අරමුණු කර ගනී. සමාජ-දේශපාලනික අරමුණු වෙනුවෙන් යම් තාක් දුරකට රටක ආර්ථික සෞභාග්‍යය කැප කිරීමේ වරදක් නැතත් සුභසාධන ආර්ථිකයක් මඟින් බොහෝ විට දීර්ඝකාලීනව ලැබෙන්නේ නිශේධනාත්මක ප්‍රතිඵලයකි.


පසුගිය 2008 ආර්ථික අවපාතය හමුවේ වඩාත්ම පීඩනයට පත් වන කොටස් වෙත යම් සම්ප්‍රේෂණයක් කිරීම ප්‍රබල සමාජ-දේශපාලනික අවශ්‍යතාවක් විය.


ආර්ථික අවපාතයක් දිග් ගැසුණු විට එහි පීඩනය සමස්ත සමාජය වෙතම බලපෑමක් කිරීම නොවැලැක්විය හැකිය. ඇති-හැකි අයගෙන් නැති-බැරි අයට මේ සම්ප්‍රේෂණය කිරීම තුළ සිදුවිය හැකිව තිබුණේ මේ අවස්ථාවේදී නැති-බැරි අය මෙන්ම පීඩාවට පත්ව සිටි ඇති-හැකි අය තව දුරටත් පීඩාවට පත් වීමයි. සම්පත් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගත හැකි මේ ඇති-හැකි අය (විශේෂයෙන්ම නිෂ්පාදන අංශයන්) ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට උපකාරී වන ගාමක බලවේගය වන නිසා ආර්ථිකයට ඉක්මන් සුවයක් ලැබිය හැකිව තිබුණේ ඔවුන්ව තවත් දිරිමත් කිරීමෙන් මිස පීඩාවට පත් කිරීමෙන් නොවේ.


මේ අනුව, බොහෝ රාජ්‍යයන්හි තෝරා ගැනීම වූයේ ඉපදී සිටින හෝ ඉපදීමට සිටින දරුවන් වෙතින් ඔවුන්ගේ පියවරුන් වෙතට සම්පත් සම්ප්‍රේෂණය කිරීමයි. වෙනත් වචන වලින් කිවහොත්, අනාගතය උගසට තබා ණය ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තීරණ ගැනීමට දැනට ඇති හොඳම ක්‍රමයයි. මෙහිදී යම් ප්‍රදේශයක ජීවත්වන සෑම පුරවැසියෙකුගේම අදහස් වලට ආන්තික බලයක් ලැබේ. එහෙත්, මේ ක්‍රමයේත් දුර්වලතා නැතුවා නොවේ.

මැතිවරණයකදී ඉපදීමට සිටින පුරවැසියන්ගේ මතයට තැනක් නොලැබෙන අතර, දැනට ජීවත්වන පුරවැසියෝ එක් වී තීරණ ගැනීමේදී බොහෝ විට අනාගත පරම්පරා වල ශුභ සාධනය නොසලකා හරිති. පරිසර දුෂණය වැනි කරුණු වලදී මේ අනාගතය තරමක් දුරස්ථ වුවද, රාජ්‍ය ණය හා අදාලව මේ අනාගතය එතරම්  දුර නොවන නිසා වසර කිහිපයකින් මේ තීරණ ගත් ජනතාවටම එහි ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් දීර්ඝකාලීනව සුභසාධනය වෙත යොමුවීම ඉතා හානිකරය. සුභසාධන ආර්ථිකයකින් යම් නිශ්චිත ජන කොටසකට සහන සැලසෙන අතර එය සිදුවන්නේ ජීවත්වන වෙනත් ජන කොටසක හෝ තවමත් ඉපදී නැති අනාගත පුරවැසියන්ගේ වියදමෙනි. මේ ජන කොටස රටේ බහුතරය වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සුභසාධන උගුලෙන් ගැලවීම අපහසු වනු ඇති අතර එවැනි සමාජයක් ක්‍රමයෙන් ආර්ථික පරිහානිය කරා ගමන් කරනු ඇත. හඳෙන් හාල්, ඇට අට, හාල් පොත් හා තුනයි පනහේ පාන් සිට නොමිලේ ලැබේයැයි බොහෝ දෙනා සිතන අධ්‍යාපනය හා සුව සේවාවන් දක්වා ඇති යථාර්තය මෙයයි.

(ඡායාරූප සතියකට පෙර ඉකොනොමැට්ටා විසින් ගත් ඒවාය.)

මේ පිළිබඳව අරුණි ශපීරෝ‍ගේ සටහනක් මෙහි ඇත.

2 comments:

  1. මම දැක්ක පත්තරේ තිබ්බ දවසකට බැංකුවකින් යුරෝ 60 ට වැඩිය නිකුත් කරන්නෙ නෑ කියල.
    ඒ තරං බැංකු බංකොලොත් වේගන යන කතාවක් තමයි කීවෙ.. හුගක් අය රටේ පාලකයන්ට චෝදනා කරනව නේද ආර්ථික ප්‍රතිපත්ති වල අවුල හන්ද තමා ග්‍රීසියට මේම වුනේ කියල.. මොකද 2008 ඔය වෙච්ච ආර්ථික අවපාතයට ලක් වුණ අනෙක් රටවල් සාපේක්ෂව යම් ප්‍රගතියක් අත්කරගත්තත් ග්‍රීසිය ට එහෙම වෙන්න බැරිවුණා නේ..

    මොකද්ද අප්ප ලංකාව ග්‍රීසියට කරපු උදව්ව.. සිරාවටම දන්නෑනෙ
    මැට්ස් එතකොට ග්‍රීක් ඩෑල් එකක්ද...
    අජිත් අය්යත් සිරිස යි අරකයි මේකයි කිය කිය හිටිය දැං නං මිනිහටත් එපා වෙලා ද කොහෙද සිරිසව බ්ලොග් වලිංම පන්නල දාල හිහි

    ReplyDelete
    Replies
    1. ඇයි අපිත් ආපහු නොගන්න ග්‍රීසියට ණය දීල තියෙනවනේ.
      http://www.sundaytimes.lk/120708/news/cabraals-gamble-lanka-loses-billions-in-bankrupt-greece-5565.html
      ඔබ කියූ පරිදිම පෘතුගාලය, ස්‌පාඤඤය, අයර්ලන්තය හා සයිප්‍රසය ගොඩගියා. නැත්නම් ගොඩයමින් සිටිනවා. ග්‍රීසියට බැරි වුනේ ඡන්ද බලාගෙන ජනප්‍රිය ඉල්ලීම් ඉටු කරන්න ගිය නිසයි. දේශපාලන බලය මාරුවෙද්දී තරඟයට රජයේ පත්වීම් දීම වැනි දේ නිසා රාජ්‍ය වියදම් තවතවත් ඉහළ ගියා.
      මැට්ස් ග්‍රීක් ඩෑල් එකක් නෙමෙයි. ATM මුදල් ගැනීම් සීමා කල පසුගිය සඳුදා දක්වා කිහිප දවසක් එහේ හිටියා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.