Tuesday, July 7, 2015

බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය


වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් පසුව ඒ පිළිබඳව ඇතැම් මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගේ විග්‍රහය වූයේ මෙවැන්නකි.

"ඡන්දයෙන් බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබා ගත් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළා. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය ලබා ගත් මහින්ද රාජපක්ෂ පරාජය වුණා."

මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ගේ ඉහත විග්‍රහය බොරුවක් නොවේ. එහි සැඟවීමට දෙයක් නැත. එමෙන්ම වැරැද්දක්ද නැත. අවසාන වශයෙන් රටේ සමස්ත බහුතර ඡන්දය, පැහැදිලි බහුතරයක් සහිතව, ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සමත් විය. ඔහු ජනාධිපති විය. බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබා ගන්නා අපේක්ෂකයෙකුට ලංකාවේ විධායක ජනාධිපතිවරයා වීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, ඉහත විග්‍රහයෙන් කිසියම් තේරුමක් නැති හේතුවකට ඇතැම් මෛත්‍රීපාල සිරිසේන පාක්ෂිකයින්ට රිදුනේය. ඒ නිසා ඔවුන් මෙවැනි පැහැදිලි කිරීමක් කළේය.

"මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් සිංහල බෞද්ධ ඡන්දයි."

මෛත්‍රීපාල සිරිසේන පාක්ෂිකයින්ගේ ඉහත විග්‍රහයද සැබෑවකි. මෛත්‍රීපාල සිරිසේන ලබාගත් සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය එසේ නොවන ඡන්ද වලට වඩා වැඩිය.


ඇමරිකාවේ වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයාය. ඇමරිකාවේ 44වන ජනාධිපති ලෙස 2008දී තෝරා පත්කර ගැනුණු ඔහු 2012දී නැවත පත් කර ගැනිණි.


බහුවාර්ගික රටක් ලෙස පෙනී සිටීමට කිසිවිට නොපැකිලෙන ඇමරිකාවේ බහුතරය හිස්පැනික් නොවන සුදු ජාතිකයින්ය. ඔවුන්ගේ ප්‍රතිශතය වලංගු ඡන්දදායකයින්ගෙන් 72%ක් පමණ වේ. ස්‌පාඤඤ බස වහරන 10%කට නොඅඩු හිස්පැනික් ඡන්දදායකයින්ගෙන්ද වැඩි ප්‍රමාණයක් සුදු ජාතිකයින් වන අතර කළු ජාතික ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය ආසන්න වශයෙන් 13%ක් පමණි. ඉතිරිය ආසියානු ඇමරිකානුවන් සහ මුල් ඇමරිකානුවන්ය (රතු ඉන්දියානුවන්).

ඇමරිකානු ජනාධිපතිවරණ සටනේදී ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය ඇවිස්සීමක් සිදු නොවේ. අපේක්ෂකයින්ගේ ජනවාර්ගික වෙනස්කම් විරුද්ධ පාක්ෂිකයින් විසින් ඉස්මතු කරන්නේද නැත. එහෙත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද ඡන්දය භාවිතයේදී වෙනස් ජනවාර්ගික කණ්ඩායම් ක්‍රියා කරන්නේ එක් ආකාරයටම නොවේ.


අවසන් වරට පැවැත්වුණු (2012) ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නිය. ඔබාමා ඡන්ද 51.1% ක් ලබාගත් අතර රොම්නි ඡන්ද 47.2%ක් ලබාගත්තේය. මේ ප්‍රතිඵලය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රී (51.3%) සහ මහින්ද (47.6%) අතර ඡන්ද බෙදුණු ආකාරයට බොහෝ සමානය. මෛත්‍රී සහ මහින්ද අතර 12:10  ලෙස දිස්ත්‍රික්ක බෙදුණු ආකාරයට තරමක් සමානව  ඔබාමා සහ රොම්නි අතර 27:24 ලෙස (වොෂින්ටන් ඩීසීද ඇතුළුව) ප්‍රාන්තද බෙදුණේය.

මෛත්‍රී මෙන්ම ඔබාමාද ජයග්‍රහණය කළේ බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබමිනි. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය හිමිකරගත් රොම්නි පරාජයට පත්විය. සුදු ජාතිකයින්ගේ ප්‍රතිශතය වැඩි ග්‍රාමීය, කෘෂිකාර්මික පෙදෙස් වලදී ඔබාමාට වඩා තරමක් ඉදිරියෙන් සිටි රොම්නි, සුළුතර වාර්ගිකයින් වැඩි නාගරික ප්‍රදේශවලදී සිටියේ ඔබාමාට වඩා සැලකිය යුතු ලෙස පිටුපසිනි. 2012 ඇමරිකානු ජනාධිපතිවරණයේ ජනවාර්ගික බෙදීම බොහෝ තැන්වල විශ්ලේෂණය වී ඇති අතර වැඩි දෙනෙකුට තහවුරු කරගත හැකි වීමේ පහසුව සලසා මා විකිපිඩියාවෙන් පහත තොරතුරු උපුටා දක්වමි (වගුව 2).


සැසඳීම සඳහා ඉකොනොමැට්ටා විසින් ඇස්තමේන්තු කර පෙර ඉදිරිපත් කළ ලංකාවේ ජනාධිපතිවරණයේ ජනවාර්ගික සංයුතිය පහත පරිදි විය (වගුව 1).


 

ඉතා පැහැදිලිව ඔබාමා සහ මෛත්‍රී යන දෙදෙනාම ජයග්‍රහණය කර ඇත්තේ බහුතරයේ සුළුතරය හා සුළුතරයේ බහුතරය ලබමිනි. බහුතරයේ බහුතරය හා සුළුතරයේ සුළුතරය ලබාගත් රොම්නි මෙන්ම මහින්දද පරාජයට පත් වී ඇත. එහෙත්, ඇමරිකාවේදී මේ ප්‍රතිඵලය මොනයම් ආකාරයක හෝ විකෘතියක් ලෙස නොසැලකුණු අතර බහුතර ජනමතයේ සැබෑ පිළිබිඹුවක් පමණක්ම විය. ලංකාවේදීනම් ඇතැම් අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තවමත් සිතන්නේ කිසියම් 'වැරදීමක්' ලෙසය.

අනෙක් අතට ඔබාමා ලැබූ 51.1%ක ඡන්ද ප්‍රතිශතයෙන් අඩකට ආසන්නව එනම් 22.7%ක් සුළුතර ඡන්ද වුවද වැඩි ප්‍රමාණය, එනම් 28.4%ක් ලැබී තිබුණේ බහුතර කණ්ඩායමෙනි. මේ අයුරින්ම, මෛත්‍රී ලබාගත් 51.3%ක ඡන්ද ප්‍රතිශතයෙන් අඩකට ආසන්නව එනම් 22.5%ක් සුළුතර ඡන්ද වන අතර වැඩි ප්‍රමාණය, එනම් 28.8%ක් ලැබී ඇත්තේ බහුතර කණ්ඩායමෙනි.

රොම්නිගේ සහ මහින්දගේ ඡන්ද වලද ඒවායේ ග්‍රාමීය කෘෂිකාර්මික පදනමට අමතරව ජනවාර්ගික සංයුතින්හිද සමානකම් තිබේ. මහින්දගේ 47.6%න් 40.9%ක්ම බහුතර කණ්ඩායමෙන් ලබාගෙන ඇති අතර රොම්නිගේ 47.2%න් 41.8%ක්ම බහුතර කණ්ඩායමෙනි. (සංඛ්‍යාවන් හරියටම සමාන නොවුවද ඔබාමා පළමුවරට ජනාධිපති වූ 2008 ජනාධිපතිවරණයේ ඡන්ද බෙදී තිබුණේද මේ ආකාරයටමය.)

ඡන්ද සංයුතියේ මෙවැනි සමානකම් තිබුණද දෙරටේ ඡන්ද භාවිතයේ සැලකිය යුතු වෙනසක්ද තිබේ. ඔබාමා ජනාධිපතිවීමේදී සිදුවූයේ සුළුතර කළු ඇමරිකානුවෙකු ජනාධිපති කිරීම සඳහා හිස්පැනික් නොවන සුදු ඡන්දදායකයින්ගෙන් 39%ක් සුළුතරයේ බහුතරය සමඟ එකතුවීමයි. එහෙත්, මෛත්‍රී ජනාධිපතිවීමේදී සිදුවූයේ රටේ බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ අපේක්ෂකයෙකු පත්කරගැනීම සඳහා සුළුතරයේ බහුතරය බහුතරයේ සුළුතරය හා අත්වැල් බැඳගැනීමයි.

මෙසේ මෛත්‍රීව ජනපති කිරීමට උරදුන් සුළුතරයේ බහුතරය ප්‍රමාණයෙන් ලක්ෂ 27කට වැඩි පිරිසකි. එබැවින් ඔහුව පත්කළ බහුතර කණ්ඩායමේ ලක්ෂ තිස්පහේ මෙන්ම සුළුතර කණ්ඩායමේ ලක්ෂ විසිහතේද විශ්වාසය පළුදු නොකිරීම ජනාධිපති මෛත්‍රීපාලගේ යුතුකම මෙන්ම වගකීමයි. එය පැහැර හැරීමෙන් ඔහු අවදානමේ හෙලන්නේ ඔහු පිළිබඳව තබා ඇති සුළු ජාතීන්ගේ විශ්වාසය පමණක් නොවේ. සිංහල බෞද්ධයෙකු වෙත විශ්වාසය තැබීමට සුළු ජාතීන්ගේ තවමත් ඇති සූදානමයි. ජාතිය ගොඩනැගීමට ඇති අවස්ථාවයි.

ඉකොනොමැට්ටාගේ ගුරුවරයෙකුද වන මහාචාර්ය රත්නජීවන් හූල්ගේ මේ ලිපිය සුළුතරයේ කනස්සල්ල පිලිබඳ හොඳ පිළිබිඹුවක්යැයි ඉකොනොමැට්ටාට සිතේ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

8 comments:

  1. මේවා නිකං වැද්දන්ට බණ කීම වගේ.

    ReplyDelete
    Replies
    1. කල් යාමේදී ඇතැම් වැද්දන්ට දඩයම් එපා විය හැකිය.

      Delete
  2. හොඳ විග්‍රහයක් ,

    "ඇමරිකාවේ එහෙම වුනත්
    ලංකාවේ එහෙම වෙන්නේ නෑ" :)

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේත් එසේ වීමට සෑහෙන කාලයක් ගතවිය.

      Delete
  3. වැද්දන්ට බණ කීමට ඇති මූලිකම බාධාව බසයි
    වැදි බසේ ඇත්තේ වචන 42
    ඕකෙන් කොහොමද බණ කියන්නේ
    දඹානේ වැද්දන්ට විතරක් නොවේ හැම වැද්දන්ටම මෙය පොදුයි

    ReplyDelete
    Replies
    1. ඒකටනම් 200%ක් එකඟයි.
      -බස ප්‍රශ්නයක් නිසා බණ කීමට පෙර බස ඉගැන්විය යුතුය.
      -අඩු වශයෙන් ආරම්භයේදී, බස ඉගැන්වීමට වෙන්නේ වැද්දන් දන්නා වචන 42 පමණක් උපයෝගී කරගෙනය.
      -තවත් එක් වචනයක් අමාරුවෙන් හෝ ඉගැන්වුවහොත් ඉතිරි වචන ඉගැන්වීමට ඇති වචන ගණන 43ක් වනු ඇත. එවිට, ඉගැන්වීම තරමක් වේගවත් විය හැකිය. වචන ගණන එක්තරා අවධි සීමාවකට ගෙන ආ හැකිනම් වැද්දා තනියම පොත් කියවනු ඇත.
      -වරකට වචන එකකට වඩා ඉගැන්වුවොත් වැද්දාට ගුරුවරයා සතෙකු සේ පෙනී ඉගෙනීම අතහැර ගුරුවරයාට දුනු ඊතල මානනු ඇත.
      -ඒ නිසා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක.
      -ස්වභාවික පරිණාමයේදී වැද්දා දියුණු වන්නේ කැලෑවට උචිත ලෙස නිසා වැද්දා නිකන්ම දියුණු වෙන්නේත් නැත. වැද්දා සිතන ආකාරයට දියුණුව යනු හොඳින් දඩයම් කිරීමේ හැකියාවයි.

      Delete
  4. ඇමරිකාවෙදි ප්‍රධාන අපේක්ධකායි දෙන්නම යම් පක්ෂ දෙකක් නියෝජනය කරමින් ජනාධිපති වරනයට ඉදිරිපත්වූ අය. ඒ වගේම ඔවුන් දෙදෙනාම කෙලින්ම ඡන්ද දායනයන් සමඟ ගනුදෙනු කලහැකි අය. නමුත් ලංකාවෙදී තත්වය ඊට වෙනස් මෙතනදී මෛත්‍රීපාලට තමන්ට ඡන්දය දුන් ජනකොටස් සමඟ තැරැව්කාර වාර්ගික පක්ෂ නොමැතිව ගනුදෙනුවකට යා නොහැකියි. වෙනත් විදියකට කියනවානම් සුලුතරයේ බහුතරය අතර මෛත්‍රීපාල ජනප්‍රිය නෑ. මෛත්‍රීපාල කලයුත්තේ තමා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රී වරුන්ට ජනාධිපතිවරනයේදී තමන්ට ඡන්දය දුන් ජනකොටස්වල ජන්දය ලඩා ගැනීමට කටයුතු කිරීමයි. නමුත් ඔහුට එය කල හැකිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ විසින් සංකීර්ණ කරුණු ගොඩක් මතු කර ඇති නිසා සරල පිළිතුරක් දීම අපහසුය. මගේ කෙටි පිළිතුර වනුයේ මහජන නියෝජිතයෙකුගේ වගකීම හා යුතුකම ඔහුව හෝ ඇයව තෝරාපත් කරගනු ලැබූ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම බවයි. එසේ නොවේනම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතියකි. මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අවස්ථාවේදී ඔහුට පක්ෂයක් තිබුණේ නැත.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.