Tuesday, July 21, 2015

අතේ නැති පොතේ ඇති ලාභ සහ අතේ ඇති පොතේ නැති ලාභ



පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් දිනා ගන්නා සසංක විජේවර්ධන එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයයක දෙවසරක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා පිටත්ව යයි. ඒ සඳහා ඔහු සේවය කළ අර්ධ රාජ්‍ය ආයතනයෙන් ඔහුට අධ්‍යයන නිවාඩු ලැබී ඇත. අලුත විවාපත් සසංක ඔහුගේ බිරිඳද සමඟ ලන්ඩන් නගරයෙන් සැතපුම් සියයක් පමණ දුරින් පිහිටි නගරයක් කරා පිවිසෙන්නේ නුපුරුදු පරිසරයකට ඉක්මණින් හැඩ ගැසීමේ අභියෝගය සතුටින් භාරගනිමිනි.

ජංගම දුරකථන සම්බන්ධතාවක් ලබා ගැනීම මුලින්ම කළ යුතු කාර්යයකි. මසකට පවුම් තිහක් බැගින් වන නිශ්චිත අවම ගාස්තුවක් මාස 24ක් පුරා ගෙවීමට එකඟ වූ විට ටී-මොබයිල් සමාගමෙන් අළුත්ම ජංගම දුරකතනයක් හිමිවන අතර පවුම් තිහේ ගාස්තුව ගෙවූ විට සසංකට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් මාසික ඇමතුම් කාලයක්ද හිමිවේ. මාසිකව ලැබෙන ශිෂ්‍යත්ව මුදලින් එංගලන්තයේ අධික නිවාස කුලී වියදම ගෙවූ විට අත ඉතිරි වන්නේ සීමිත මුදලක් නිසා ඒ මුදල සැලසුම් සහගතව ප්‍රවේශමෙන් වියදම් කළ යුතුය. කොහොමටත් මාස 24ක් එංගලන්තයේ ජීවත් වීමට බලාපොරොත්තු වන නිසාත්, මේ පැකේජය ලබා ගත් විට මාසික ගාස්තුව නිශ්චිත මුදලක් වන නිසාත් ටී-මොබයිල් පැකේජය සසංකට ආකර්ශනීය එකකි.

අපට නිලධාරිවාදය පුරුදු කළ එංගලන්තයේ නිලධාරිවාදය මේ වන විට අපේ නිලධාරිවාදයට වඩා බොහෝ අඩු වුවත් යුරෝපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව එංගලන්තයේ 'කොළ පිරවීම්' බොහෝ වැඩිය. දුරකථන සම්බන්ධතාව ලබා ගැනීමට එංගලන්ත බැංකු ගිණුමක් අවශ්‍යය. බැංකු ගිණුමක් විවෘත කිරීමට විශ්ව විද්‍යාලයෙන් සහතික කළ ලිපියක් අවශ්‍යය. විශ්ව විද්‍යාලයෙන් මෙවැනි ලිපි ලබා දෙන්නේ එකක් පමණක් නිසා ආරම්භ කළ හැක්කේ එක් බැංකු ගිණුමක් පමණි. ඒ අනුව, විශ්ව විද්‍යාලය ඇතුළත බැංකු ශාඛා ඇති නැට්වෙස්ට් හෝ බාර්ක්ලේස් බැංකු දෙකින් එකක් තෝරාගත යුතුය.

එසේ කළද, මේ ලිපිය දවසින් ලබා ගත නොහැක. විශ්ව විද්‍යාලයට අලුතින් පැමිණි සිසුන් බොහෝ දෙනෙකුට මෙවැනි ලිපි අවශ්‍ය නිසා තමන්ගේ වාරය එන තුරු බලා සිටිය යුතුය. සසංකගේ වාසගම ඇරඹෙන ඩබ්ලියු අකුර ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ අන්තිම හරියේ නිසා ඔහුට මේ සඳහා සති තුනක් බලා සිටීමට සිදුවේ. කලින් දන්නවානම් සමහර ඡන්ද අපේක්ෂකයින් වාගේ අ.අ.අ.අ. සසංක විජේවර්ධන කියා නම වෙනස් කරගෙන එනවාය. කෙසේ හෝ අවසානයේදී නැට්වෙස්ට් බැංකුවේ ගිණුමක් අරඹන සසංක එම ගිණුමෙන් මාස 24ක් මසකට පවුම් තිහ බැගින් කෙළින්ම මුදල් අය කර ගැනීමට ටී-මොබයිල් සමාගමට අනුමැතිය දෙමින් දුරකථන සම්බන්ධතාව ලබා ගනී. ගිවිසුම අනුව මාස 24 අවසානයේදී අලුත් නොකළහොත් සම්බන්ධතාව අවසන් වනු ඇත.

කාලය ඉතා වේගයෙන් ගෙවී යයි. ඉතා හොඳින් අධ්‍යයන කටයුතු අවසන් කරන සසංකට ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහාද අවස්ථාව සැලසෙන අතර ඒ සඳහා ශිෂ්‍යත්වයක්ද ලැබේ. එහෙත් ඔහුගේ අධ්‍යයන නිවාඩුව අනුමත වී ඇත්තේ වසර දෙකකට පමණක් නිසා අනුමත නිවාඩු අවසන් වීමට පෙර ඔහු සේවයට වාර්තා කළ යුතුය. ඔහු අත්සන් කර ඇති ගිවිසුම අනුව එසේ සේවයට වාර්තා නොකළහොත් වසර දෙකක් පුරා ලබාගත් මුළු ශිෂ්‍යත්ව මුදලම ශ්‍රී ලංකා රජයට ආපසු ගෙවිය යුතුය. ශිෂ්‍යත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයෙන් නොවූවද එය සැලකෙන්නේ ශ්‍රී ලංකා රජයට හිමි වූ වරප්‍රසාදයක් ලෙසින් බැවිනි. ඔහු එසේ නොකළොත් අපහසුතාවයට පත්වන්නේ ඔහුගේ ඇපකරුවන් ලෙස අත්සන් තබා ඇති මිතුරන් කිහිපදෙනාය.

සිය අධ්‍යයන නිවාඩුව අවසන් වීමට මාස දෙකක් තිබියදී ආපසු ලංකාවට යාමට සසංක තීරණය කරයි. ඒ අනුව දැඩි වෙහෙසක් දරා නියමිත දිනයට දෙමසකට පෙර ඔහු ඔහුගේ උපාධි නිබන්ධනයද අවසන් කර භාර දෙයි. ඉතිරි වී ඇති දෙමස තුළ අවශ්‍ය අනුමැතිය ලබා ගෙන නැවත පැමිණ ආචාර්ය උපාධි පාඨමාලාව ආරම්භ කිරීම ඔහුගේ අපේක්ෂාවයි.

ටී-මොබයිල් ගිවිසුම අනුව සසංක තවත් මාස තුනක් පවුම් තිහ බැගින් ගෙවිය යුතුය. ඔහුගේ (ජංගම) ශිෂ්‍ය ගිණුමේ පවත්වා ගත යුතු අවම ශේෂය පවුම් දහයක් පමණි. මේ අනුව පවුම් සියයක් සහ තවත් පැන්ස කිහිපයක් පමණක් සිය නැට්වෙස්ට් ගිණුමේ ඉතිරි කරන සසංක ඉතිරි මුදල් සිය බිරිඳගේ බාර්ක්ලේස් ගිණුමට සම්ප්‍රේෂණය කරයි. ඉන් පසු ඔවුන් දෙදෙනාගේම බැංකු ගිණුම් වල ලිපින ලන්ඩන්හි ජීවත්වන සසංකගේ බිරිඳගේ මිතුරියකගේ ලිපිනයට (ඇගේ අනුමැතිය ගෙන) වෙනස් කරන්නේ දෙමසකින් නැවත එක්සත් රාජධානියේම වෙනත් නගරයකට පැමිණීමට අපේක්ෂා කරන නිසාත්, විදේශ ලිපිනයකට ලිපිනය වෙනස් කිරීමේදී 'කොළ පිරවීම්' වැඩි නිසාත්ය. ඇයට මේ නිසා සිදුවන අපහසුතාව අවම කිරීම සඳහා තැපෑලෙන් එවන මාසික ගිණුම් ශේෂ විස්තර ආදියද තාවකාලිකව නතර කෙරේ.

සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා (පහසුව සඳහා) ඔහු ලංකාවට පිටත් වන විට නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් සීයක් අත ඇති මුදල්ය. බැරකම් පැත්තේ සසංකට ගෙවිය යුතු පවුම් සීයක් තිබේ. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් උපයාගත් ලාභයක් නොමැත.

සසංක අපේක්ෂා කළ පරිදි සියල්ල සිදුනොවේ. ලංකාවේ නිලධාරිවාදය හමුවේ ඔහුට ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු අනුමත නොවේ. ඒ සඳහා ඔහු අවම වශයෙන් තවත් අවුරුදු දෙකක් ලංකාවේ සේවය කළ යුතුය. ඔහුගේ ශිෂ්‍යත්වය එතෙක් කළක් ඔහු වෙනුවෙන් බලා නොසිටින බව ඔහු මෙන්ම ඔහුගේ නිවාඩු අනුමත කිරීමේ අධිකාරිය ඇති නිලධාරීහුද දනිති. සසංක පරාජය භාරගැනීමට සුදානම් නැතත් තාවකාලික පසුබැස්මක් සඳහා යොමුවේ.

කෙසේ වුවද සසංකට උසස්වීමක් ලැබෙන අතර වගකීම් රැසක් ඔහුගේ කරමත පැටවේ. කාර්යබහුලත්වය නිසා ඔහුට සුළු මුදලක් ඇති එක්සත් රාජධානියේ ගිණුම් ගැන සොයා බැලීමට නොලැබේ. තෙමසකට පමණ පසුව වැඩ අවසන් කර නිවසට පැමිණෙන සසංකට දැන ගැනීමට ලැබෙන පරිදි ඔහුගේ බිරිඳට ඇගේ මිතුරිය විසින් දුරකථනයෙන් දන්වා ඇත්තේ සසංකගේ නමට කිසියම් ලිපියක් ලැබී ඇති බවයි. ඒ අනුව ටී-මොබයිල් සමාගමට කිසියම් හිඟ මුදලක් ගෙවීමට තිබේ. සසංකට මීට වඩා වැඩි විස්තරයක් නොලැබේ.

සසංක අන්තර්ජාලයෙන් ඔහුගේ ටී-මොබයිල් ගිණුම පරීක්ෂා කරයි. එක්සත් රාජධානියෙන් පිටවීමට පෙර ඉතා පැහැදිලිව තහවුරු කරගත් පරිදි මාස 24 අවසානයේදී සසංකගේ දුරකථන සම්බන්ධතාව මෙන්ම ගිවිසුමද අවසන් විය යුතු වුවද කිසියම් වැරදීමකින් ටී-මොබයිල් සමාගම 25වන මාසයේද පවුම් තිහක් අය කර ගැනීමට උත්සාහ දරා ඇති අතර ගිණුමේ ශේෂය පවුම් 30කට අඩු නිසා එසේ කළ නොහැකි වී තිබේ. මේ අනුව පවුම් 30ක ගෙවිය යුතු මුදලක් තවමත් තිබේ.

සසංක එංගලන්තයට දුරකථන ඇමතුමක් ගෙන ටී-මොබයිල් සමාගමේ නිලධාරිනියට සිදු වී ඇත්තේ වැරැද්දක් බව පැහැදිලි කරයි. සිදුවී ඇත්තේ අත් වැරදීමක් බව ඇය පිළිගන්නා අතර එය නිවැරදි කිරීමට පොරොන්දු වේ. ඒ අනුව සසංක ටී-මොබයිල් සමාගමට ණය නැත. "ඔබට අපෙන් වෙනත් යමක් සිදු විය යුතුද?" ඇය අසයි. මෙහිදී සසංක ඔහුගේ  ටී-මොබයිල් ගිණුමේ ලිපිනයද ලංකාවේ ලිපිනයට වෙනස් කරයි. සසංක නැවතත් කාර්ය බහුල වන අතර මේ සිදුවීම ගැන නැවත සොයා නොබලයි. ප්‍රශ්නයක් මතු වූ විට එය එවෙලේම විසඳීම සසංකගේ ස්වාභාවයයි. එසේ කළ නොහැකිනම් ප්‍රශ්නය විසඳෙන තුරු ඔහු ඒ ගැන සොයා බලනු ඇත. එහෙත්, විසඳා අවසන් කළ ප්‍රශ්න ගැන ඔහු වද නොවේ.

තවත් මාසයක් දෙකක් ගත වේ. සසංකගේ බිරිඳට ඇගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඇගේ ලිපිනයට ලැබී ඇති ලිපියක් පරිදි හිඟ මුදල තවමත් පියවී නැත. එයට දඩ මුදලක්ද එකතු වී තිබේ.

සසංකට මළ පනී. ඔහු වහාම ටී-මොබයිල් සමාගම අමතයි. සසංකගේ ගිණුම පරීකෂා කරන ටී-මොබයිල් නිලධාරිනිය ගිණුමේ හිඟ ශේෂයක් නොමැති බව නැවත තහවුරු කරයි. එසේනම් ඒ බව තහවුරු කර ලිපියක් එවන ලෙස සසංක ඉල්ලා සිටින්නේ 'කොළයක් අතේ තබා ගැනීම' සුරක්ෂිත බව ඔහුගේ නිලධාරිවාදී මනසටද හැඟෙන බැවිනි. සතියකින් පමණ මේ ලිපිය සසංකට ලැබේ. යාන්තම් හිසරදය අවසන්ය.

තවත් මාස ගණනක ඇවෑමෙන් සසංකගේ බිරිඳගේ මිතුරියගෙන් නැවතත් දුරකථන ඇමතුමක් ලැබේ. ඇය දන්වා ඇති පරිදි ප්‍රශ්නය තවමත් අවසන් නැත. ගෙවීමට ඇති මුදල මේ වනවිට පවුම් 400 ඉක්මවා ඇත. ඒ මුදල වහාම නොගෙවුවහොත් මුදල් අය කර ගැනීම සඳහා එවැනි කටයුතු කරන සමාගමකට භාර දීමට සිදුවනු ඇත. වැඩේ අන්ඩර දෙමළ නිසා සසංක සිය බිරිඳගේ මිතුරියට ඇමතුමක් ගෙන ලිපිය කියවන ලෙස ඉල්ලා සිටී. දැන් සසංකට තේරෙන පරිදි මුදලක් පියවිය යුතුව ඇත්තේ ටී-මොබයිල් සමාගමට නොව නැට්වෙස්ට් බැංකුවටය. අන්ඩරේ ඩබල්ය.

සසංක බොහෝ දඟලා ඔහුගේ නැට්වෙස්ට් අන්තර්ජාල ප්‍රොෆයිලය සක්‍රිය කර ගනී. දැන් ඔහුට පෙනී යන පරිදි පවුම් තිහ බැගින් දිගටම ඔහුගේ ගිණුමෙන් මුදල් අඩුකරගෙන තිබේ. ටී-මොබයිල් ගිවිසුම අවසන් විය යුතුව තිබුණු මාසයෙන් පසුව ඔහුගේ ගිණුමේ ශේෂය පවුම් දහයක් පමණක් වූ අතර ඉන්පසු මාසයේදී ඔහුගේ ගිණුම් ශේෂය පවුම් විස්සක හිඟ මුදලක් වී ඇත. ගිණුමේ ශේෂය පවුම් තිහ බැගින් දිගටම අඩු වී ඇති අතර මේ වන විට හිඟය පවුම් හාරසිය හතළිහකි!

සසංක මෙවර නැට්වෙස්ට් බැංකුව අමතයි. ඔහු දුරකථන බැංකු පහසුකම ලබාගෙන නොමැති නිසා අවසන් හිඟ ශේෂයට අමතරව වෙනත් ගිණුම් විස්තර දුරකතනයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැත. අවශ්‍යනම් ඔවුන් සතුව ඇති ලිපිනයට තැපැල් කිරීමට පුළුවන. ලිපිනය වෙනස් කිරීමට අවශ්‍යනම් ඕනෑම නැට්වෙස්ට් බැංකු ශාඛාවකට පෞද්ගලිකව පැමිණ අයදුම්පතක් පුරවා දී අනන්‍යතාවයද තහවුරු කල යුතුය. වෙනත් ක්‍රමයක් නැත. කෙසේ වුවද සසංක කැමතිනම් ක්‍රෙඩිට් කාඩ් පතකින් පවුම් 440 ගෙවා ප්‍රශ්නය විසඳා ගැනීමේ පහසුකම සැලසීමට ඔවුන් සුදානම්ය.

හැම විටම කලට වේලාවට ගණුදෙනු පියවන සසංක 'ඇරියස්' තබා ගැනීමට කැමති නැත. එහෙත්, සසංකට පෙනෙන පරිදි මෙතන ඇත්තේ ලොකු වැරදීමකි.   නොකළ වරදකට දඬුවම් විඳීමට ඔහුට අවශ්‍ය නැත. අනිත් අතට රුපියල් වලින් 'ආණ්ඩුවේ පඩියක්' ගන්නා සසංකට පවුම් 440ක් කියන්නේ කජු ඇට කොස් ඇට නොවේ. අනෙක් අතට, තමාගේ ලිපිනය 'බ්ලැක් ලිස්ට්' වෙනවාට බිරිඳගේ මිතුරිය කැමති නැත. උදවුවක් කිරීමට ඉදිරිපත් වූ ඇයට 'අහක යන පරිප්පුවක් සෙට් කිරීමටද' නොහැකිය.

සසංකහේ බිරිඳගේ මිතුරියට ඊළඟ ලිපිය ලැබෙන්නේ නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයෙනි. සසංකගේ ඉල්ලීම පරිදි ලිපිය විවෘත නොකර හරවා හරින ඇය සසංක මෙම ලිපිනයේ තව දුරටත් ජීවත් නොවන බව දන්වා සසංකගේ නිවැරදි ලිපිනය සහ දුරකථන අංක ආදිය නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දැනුම් දෙයි. දැන් මේ 'අහක යන පරිප්පුවෙන්' ඇය නිදහස්ය. මුලින් වෙනස් කිරීමට බැරි වූ ලිපිනය මෙවර වෙනස් වේ. සසංකට ලිපිය ලැබේ.

මේ වන විට ගෙවිය යුතු මුදල පවුම් 2120ක් වී ඇත. හිඟ මුදල වූ පවුම් 620කට ණය අයකර ගැනීමේ ගාස්තු ලෙස තවත් පවුම් 1500ක් එකතු වී ඇත.

සසංක නැට්වෙස්ට් බැංකුවේ ණය අය කර ගැනීමේ අංශයට දුරකථන ඇමතුමක් ගනී. (මේ කියන දවස් වල එංගලන්තයට දුරකථන ඇමතුමක් ගැනීමද වියදම් අධික කටයුත්තකි.) සසංක ඔවුන්ට පැහැදිලි කරන්නේ තමන් විසින් ගෙවිය යුතු මුදලක් නොවලහා ගෙවීමට ඔහු සුදානම් වුවත් මේ මුදල ඔහු ගෙවිය යුත්තේ ඇයිදැයි නොදන්නා බැවින් නිකම්ම මෙවැනි විශාල මුදලක් ගෙවීමට සුදානම් නැති බවයි. එහෙත්, ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීන්ට බැංකු ගිණුමේ තොරතුරු බලා ගැනීමේ හැකියාවක් නැත. ඔවුන් දන්නේ අයවිය යුතු සම්පුර්ණ මුදල පමණි.

සසංක මඟ නො ඇර කෙළින්ම කතා කිරීම ගැන ණය අය කර ගැනීමේ අංශයේ නිලධාරීහු සතුටු වෙති. හිඟ මුදල ලබා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට ඇති නිසා අවශ්‍ය අංශ සමඟ එකඟතාවකට එන ණය අය කර ගැනීමේ අංශය පැරණි ගිණුම් ප්‍රකාශන සියල්ල මුද්‍රණය කර ලංකාවට තැපැල් කර එවීමට කටයුතු සලසයි. (පාරිභෝගික ගිණුම් වල රහස්‍ය භාවය ගැන 'ලොකු ටෝක්' දෙමින් මෙතෙක් කල් ලිපිනය වෙනස් කිරීමට හෝ සුදානම් නොවූ බැංකුව මේ ගිණුම් ප්‍රකාශ සමඟ අත් වැරදීමකින් ඔවුන්ගේ වෙනත් පාරිභෝගිකයින් හත් අට දෙනෙකුගේ ගිණුම් ප්‍රකාශද ලොකු මිටියක් තැපැල් කර එවයි. ඒ ගැන දැන්වූ විට කලබලයට පත්වන ඔවුන් ඒවා නැවත ඔවුන් වෙත එවන ලෙස සසංකගෙන් ඉල්ලා සිටී.)

සිදු වී ඇති දෙය සසංකට පැහැදිලි වන්නේ මුල් මාස වල ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කළ විටය. පවුම් තිහ බැගින් දිගටම අයකරගෙන ඇත්තේ ටී-මොබයිල් සමාගමට ගෙවීමට නොවේ. එය වෙනත් 'දඬුවම් ගාස්තුවකි'. ටී-මොබයිල් සමාගමට ගෙවිය යුතු (සැබවින්ම ගෙවිය යුතු නොවූ) පවුම් තිහක මුදල ගිණුමේ නොතිබීම නිසා සසංකව පවුම් තිහක දඬුවම් ගාස්තුවකට යටත් කර ඇත. ටී-මොබයිල් සමාගම විසින් එවැනි මුදලක් අයවිය යුතුව නොතිබුණු බව නැට්වෙස්ට් බැංකුවට දැනුම් දුන් පසුවද මේ දඬුවම් ගාස්තුව ඉවත් වී නොමැති අතර 'ඕවර්-ඩ්රාෆ්‍ට්' පහසුකම් නොමැති සසංකගේ ශිෂ්‍ය ගිණුමේ ශේෂය සෘණ අගයක් ගෙන තිබේ. ඉන් පසුව මාස්පතා 'ඕවර්-ඩ්රාෆ්‍ට්'  ගාස්තුවක් එකතු වී ඇත.

නැවතත් පෙර පරිදිම සසංක නැට්වෙස්ට් බැංකුවේ එකම ගනුදෙනුකරු ලෙස සලකා නැට්වෙස්ට් බැංකුවේ ශේෂ පත්‍රය පිළියෙළ කළහොත් එය මෙවැන්නකි. වත්කම් පැත්තේ පවුම් දහයක් අත ඇති මුදල්ය. තවත් පවුම් 2120ක් සසංකගෙන් අයවිය යුතු මුදල්ය. නැට්වෙස්ට් බැංකුව විසින් සසංකගෙන් ගාස්තු වශයෙන් උපයාගත් මුදල මේ වන විට පවුම් 2130කි. ඒ අනුව බැරකම් පැත්තේ නැට්වෙස්ට් බැංකුව සතු පවුම් 2130ක ප්‍රාග්ධනයක් ඇත. මේ මුදලින් සැලකිය යුතු කොටසක් බැංකුවේ කොටස් කරුවන් විසින් ලාභාංශ ලෙස ලබා ගන්නවා ඇත.

සසංකගේ බැංකු ගිණුමේ හිඟ ශේෂය පසුව තවත් වැඩි අතර ඒ අනුව නැට්වෙස්ට් බැංකුවේ ලාභයද තවත් වැඩි විය. කෙසේ වුවද මේ ලාභය 'අතේ නැති පොතේ ඇති' ලාභයක් බව නොකිවමනාය. ගිණුම්කරණ සම්මත අනුව මෙවැනි  'අතේ නැති පොතේ ඇති' ලාභ මෙන්ම 'අතේ ඇති පොතේ නැති' ලාභද දුලභ නැත. කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන්නේත්, රජයට බදු ගෙවන්නේත් 'පොතේ ඇති' ලාභය අනුව මිස 'අතේ ඇති' ලාභය අනුව නොවේ.

ගිණුම්කරණ සම්මත සාපේක්ෂ සම්මුතීන් පමණක් වන නිසා කලින් කලට වෙනස් වේ. එවිට, ලාභයද වෙනස් වේ. හොඳින් ලාභ ලබන ආයතන හිටිවනම පාඩු ලබන ආයතන බවට පත්වේ. ඇතැම් විට රටවල් වලටද මේ දෙයම වේ. ඒ නිසා ගිණුම් වල පෙන්වන ලාභය හැම විටම සැබෑ ආර්ථික ශක්තියේ නිවැරදිම පිළිබිඹුවක් නොවේ.

පුද්ගලයින්, සමාගම් මෙන්ම රටවල්ද ගිණුම්කරණ සම්මත වල ඇති දුර්වලතා ඇතැම් විට සිය වාසියට යොදා ගනිති. තම ණය ප්‍රමාණය යුරෝපීය සංගමයේ සාමාජිකයෙකු වශයෙන් ඇතුලත් කර ගැනීම සඳහා අවශ්‍ය සීමාවට වඩා අඩුවෙන් ඇති බව පෙන්වීමට ග්‍රීසිය විසින් වසර ගණනක් තිස්සේ විවිධ ගිණුම්කරණ උපක්‍රම යොදා ගෙන ඇති බව දැන් රහසක් නොවේ. අවසාන ප්‍රතිඵලය කවුරුත් දනිති.

හොඳ වෙලාවට ග්‍රීසියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැත.

(පුද්ගල නම් සහ සියළුම සිදුවීම් මනඃකල්පිත වන අතර ටී-මොබයිල් ආයතනයේ සහ නැට්වෙස්ට් බැංකුවේ නම් යොදාගත්තේ කරුණු පැහැදිලි කිරීමේ පහසුව සඳහා පමණි.)



පසු සටහන:

බොහෝ මනඃකල්පිත ප්‍රබන්ධයන්ට සත්‍ය අත්දැකීම් පාදක වේ. මෙය ඉකොනොමැට්ටාටද පොදුය. ඉකොනොමැට්ටාගේ ඇතැම් කතා ප්‍රබන්ධ වුවද ප්‍රායෝගිකව සිදුවිය නොහැකි දේ නොවේ. බැංකුවක ඇති මෘදුකාංගයක තිබුණු නොසලකා හැරුණු අඩුපාඩුවක් ප්‍රයෝජනයට ගෙන එය නිවැරදි කරන තුරු ලංකාවේ පිහිටි විදේශ බැංකුවකින් 36%ක ඉහල පොලියක් මාස ගණනක් තිස්සේ ලබා ගැනීමට ඉකොනොමැට්ටාට හැකි වී තිබේ. මෙය කළේ ලංකාවට ක්‍රෙඩිට් කාඩ් හඳුන්වා දෙනු ලැබූ මුල් කාලයේදී ක්‍රෙඩිට් කාඩ් ගිණුමට ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් තැන්පත් කිරීම මඟිනි.

"දි‍යුණු රටක බැංකුවකට වැරදීමේ සම්භාවිතාව බොහෝ අඩුය." මේ සම්භාවිතාව අඩු කරගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකිනි. පළමුව, නිශ්චිත හා වඩා ඵලදායී ක්‍රමවේද හඳුන්වා දීම මඟිනි. දෙවනුව, මෙසේ හඳුන්වා දී ඇති ක්‍රමවේද නිසියාකාරව ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමෙනි. කෙසේ වුවද, සම්භාවිතාව අඩු වුවත් මේ බැංකු වලටත් වරදින වෙලාවල් තිබේ. එසේ වැරදුනු විට වැරැද්ද පැටවු ගැසීමද සාමාන්‍ය දෙයක් වන්නේ මෙවැනි අවස්ථා දුලබ නිසා ලන්ඩන් නගරයට හිම වැටුණු දිනක මෙන් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ඔවුන්ගේ සූදානමක් නොමැති බැවිනි.

දියුණු (සංවර්ධිත) රටවල කටයුතු සිදුවන ආකාරය අඩු ආදායම් රටවල සිදුවන ආකාරයට වඩා ක්‍රමවත් වුවත් සර්ව සම්පුර්ණ නැත. දියුණු රටවල් තවත් දියුණු වන්නේ එසේ දියුණු වීමට ඉඩකඩක් පවතින නිසාය.

ඉකොනොමැට්ටා සංචාරය කර හෝ නොමැති සංවර්ධිත රටවල් ගණන එසේ කර ඇති රටවල් ගණනට වඩා වැඩි අතර ජීවත් වී ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු රටවල් කිහිපයක පමණි. මේ ප්‍රයෝගික සීමාවන්ට යටත්ව වුවත්, මේ රටවල් අතර මෙන්ම ඇමරිකාව වැනි රටක ප්‍රාන්ත අතර පවා ඇතැම් කටයුතු සිදු වන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබේ.




බොහෝ යුරෝපීය රටවල ප්‍රායෝගිකව භාවිතයෙන් ඉවත් වී ඇති චෙක්පත් ඇමරිකාවේ තවමත් ජනප්‍රිය ගෙවීම් මාධ්‍යයකි. සිංගප්පුරුව වැනි, බටහිර රටවලට වඩා පසුව සංවර්ධනය වූ, ප්‍රමාණයෙන් කුඩා, රාජ්‍ය මැදිහත්වීම වැඩි රටකට ප්‍රතිසංස්කරණ අලුතින්ම හඳුන්වා දීම පහසු වුවත්, අළුත් හොඳ ක්‍රම සොයා ගන්නා විටත් පැරණි හොඳ ක්‍රම වලට හුරු වී ඇති සහ ප්‍රමාණයෙන් විශාල, රාජ්‍ය මැදිහත්වීම අඩු රටකට ඒ සඳහා කල් ගත වේ. ඇතැම් දියුණු රටවල එතරම් නොදියුණු ප්‍රාදේශීය බැංකු බහුලය. ඇතැම් සංවර්ධිත රටවල සිට වෙනත් සංවර්ධිත රටකට ගිය විට එය සංවර්ධනය නොවූ රටක්දැයි හැඟෙන අවස්ථා තිබේ.

දියුණු රටවලද සිතාමතාම (යම් වාසියක් අපේක්ෂාවෙන්) ඇතැම් 'නොදියුණු' ක්‍රමවේද අනුගමනය කරන අවස්ථා තිබේ. ග්‍රීසිය විසින් දල ජාතික නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ඔවුන්ගේ ණය ප්‍රමාණය වසර ගණනාවක් තිස්සේ අඩුවෙන් පෙන්වීම මෙවැන්නකි.

මගේ ඉහත සටහනේ "කොළ පිරවීම්" යන්නෙන් මා අදහස් කරන්නේ bureaucratic procedures යන්නයි. මෙයට සැබෑවටම කොළ පිරවීමද ඇතුළත්ය.

මුල් ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතා ගැන සාකච්ඡා කිරීමයි. එංගලන්තයෙන් උදාහරණයක් ගත්තේ මෙය පැහැදිලි කිරීමට උපයෝගී කරගත හැකි මා දන්නා වඩාත්ම ප්‍රායෝගිකව නිවැරදි උදාහරණය එය වූ බැවිනි. ප්‍රායෝගිකව නිවැරදි වුවත් මේ ලිපියේ සිතාමතාම නොසලකා හැර ඇති න්‍යායාත්මක අඩුපාඩු තිබේ. දැනට පෙන්වා දෙන කරුණට ඒ අඩුපාඩු  ප්‍රශ්නයක් නොවේ.

11 comments:

  1. ණුම් වල පෙන්වන ලාභය හැම විටම සැබෑ ආර්ථික ශක්තියේ නිවැරදිම පිළිබිඹුවක් නොවේ. ++++++++

    ReplyDelete
  2. ඉකොනොමැට්ටාගේ මෙම ප්‍රායෝගික නොවන case study එක ගැන පුදුම වෙමි. මා සිටින රටේ නම් දුරකතන සම්බන්ධයකට බංකු ගිණුමක් අනවශ්‍යයි. මෙවැනි මාස විසි හතරක පැකේජයක් සමග නොමිලේ හෝ වට්ටමක් සහිත දුරකතනයක් ගැනීමට, මෙම රටේ පුරවැසිභාවය හෝ resident visa අවශ්‍යවේ. එසේ නොමැති student visa හෝ working visa ඇති foreigner කෙනෙක් නම්, යම් deposit එකක් අවශ්‍යවේ. මෙම deposit එක තීරණය වන්නේ දෙනු ලබන නොමිලේ හෝ වට්ටම් දුරකතනයේ මිල අනුවය. ඒ අනුව මෙම දුරකතනයක් ලබා ගන්නා විදේශිකයා පසුදා රටෙන් පිටව ගියත් සමාගමට සිදුවන පාඩුව අවමවේ. අනෙක මෙහි ෆෝම් පිරවිල්ලක් නැත තම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු සමාගමේ සේවකයෙක් එහි විස්තර අනුව ෆෝම් එක පුරවයි (හැඳුනුම්පතේ ලිපිනය සඳහන්කර ) අපට ඇත්තේ විද්‍යුත් ක්‍රමයට අත්සන දැමීම පමණි. හැඳුම්පතේ ලිපිනය හැර වෙනත් ලිපිනයක් අපි request කළොත් ඒ සඳහා request කළ ලිපිනය තහවුරු කළ හැකි ලිපියක් ඉදිරිපත් කළ යුතුය. එනම් අපගේ නමට වෙනත් බැංකුවකින් හෝ වෙනත් ආයතනයකින් එම request කළ ලිපිනයට එවන ලද bank statement එකක් හෝ බිලක්.
    බැංකු ගිණුම මගින් මාසික බිල්පත ගෙවීම හඳුන්වන්නේ GIRO arrangement කියායි. එහිදී ඉතිරි කිරීමේ ගිණුමක්නම්, ගිණුමේ ශේෂයට වඩා අඩු මුදලක් GIRO මගින් ගෙවිය හැක. ගිණුමේ ශේෂය අඩුවූවිට GIRO අත්හිටුවනු ලැබේ. මෙය උපරිම උත්සාහ 3 කි. එනම් ගිණුමේ ශේෂය අඩු අවස්ථාවල බැංකුව 3 වරක් (බැංකුව විසින් සඳහන්කර ඇති දින ගණනකට සැරයක්) උත්සාහකර 3වෙනි අවස්ථාවේ මෙම GIRO පහසුකම අත්හිටවනු ලැබේ. ඒ සෑම අවස්ථාවකදීම ලිපියක් මගින් දැනුම්දීම සාමාන්‍ය සිරිතවේ. ජංගම ගිණුමක් නම්, overdraft ඇත්නම් එම පහසුකම ලබා දෙනු ලැබේ. එහෙත් මෙහි ශිෂ්‍යකුට හෝ අඩු අදායම්ලාභියෙකුට overdraft පහසුකම් හිමිවන්නේ නැත. ඒ සඳහා වාර්ෂික ආදයම, income tax පෙන්විය යුතු අතර Credit Bureauහි clear records තිබිය යුතුය. (Credit Bureauහි ඇත්තේ වෙනත් බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය සහ ඒවා ගෙවා ඇති ආකාරයයි)

    මාහට ජංගම ගිණුමක් නැති අතර ඇත්තේ ඉතිරි කිරීමේ ගිණුමකි. මෙම ඉතිරි කිරීමේ ගිණුමක අවම ශේෂය $500ක් වනසේ පවත්වාගෙන යා යුතුය. එනම් යම් මාසයකදී ගිණුමේ ශේෂය $500ට අඩුනම් බැංකුව විසින් $2ක සේවා ගාස්තුවක් ගිණුමෙන් කපා හරියි. අපි හිතමු $10ක් ගිණුමේ තබා ලංකාවට පැමිණියා කියා, එවිට බැංකුව විසින් මාසයකට $2 බැගින් කපා හැර මාස 5කට පසු ගිණුමේ ශේෂය 0 වූවිට , ලිපියක මගින් දැනුම්දී ගිණුම වසා දමයි. මෙය මෙරට නීතියසේම ලොව බොහෝ දියුණු රටවල නීතියවේ (සුළු වෙනස්කම් සහිතව).
    දුරකතනයෙන් ඇමතුම් ගෙන ඉන්පසු එය නොගෙවන්නේනම් උපරිම මාස දෙකක් ලබාදී සම්බන්ධතාවය කපා හරී. ඉන්පසු කීපවරක් දැනුම්දීමෙන් පසු legal action සඳහා වෙනත් ආයතනයකට යොමු කරයි. එම ආයතනය $50ක් (මතක ආකාරයට ) සේවා ගාස්තු ලෙස සඳහන්කර legal action letter එකක් එවයි. එතනින් එහා කිසිවක් සිදු කිරීමට නොහැක. සිවිල් නඩු පැවරීම හෝ ගෙදර සීස් කිරීම යන දේවල් කිරීමට අඩුම වශයෙන් $ 10,000කට වැඩි (මතක ආකාරයට ) ණයබරක් තිබිය යුතුය. ඒ නිසා මෙවැනි කුඩා ෆෝන් බිලක් අයකර ගත නොහැකි අතර කළ හැකි එකමදේ මෙම පුද්ගලයා එම සමාගමේ Black List කිරීම පමණි. නමුත් ඔහුට වෙන සමාගමකින් නැවත සම්බන්ධතාවයක් ලබා ගැනීමට පුළුවන. ඔබ කියනා ආකාරයට සුළු මුදලක් ගෙවීම පැහැර හැරිවිට, එවැනි 100 ගුණයකින් මුදල් අයකර ගැනීමට බැංකු නොපෙළඹේ. ඔබට න්‍යායික දැනුම තිබුණත් ප්‍රායෝගික දැනුම අඩුකම නිසා මෙවැනි හිතළු නවකතා ගොතා පල කරයි. දි‍යුණු රටක බැංකුවකට වැරදීමේ සම්භාවිතාව බොහෝ අඩුය. කරුණාකර ලංකාවේ නොදියුණු ක්‍රම සමග වෙනත් දියුණු රටවල දියුණු ක්‍රම සමග සන්සන්දනය කිරීමෙන් වලකින්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ විස්තර ඉදිරිපත් කිරීමට ස්තුතියි! බොහෝ විට කරුණු සිදුවන සහ සිදුවිය යුතු ආකාරය ඔබ සඳහන් කරන පිළිවෙලයි. "ඔබට න්‍යායික දැනුම තිබුණත් ප්‍රායෝගික දැනුම අඩුකම නිසා මෙවැනි හිතළු නවකතා ගොතා පල කරයි." මගේ ප්‍රායෝගික දැනුමේ මෙන්ම න්‍යායික දැනුමේද සීමාවන් ඇති බව සැබෑවකි. කෙසේ වුවද, මා සඳහන් කරන බොහෝ කරුණු වලට අදාල න්‍යායික දැනුම මා ලබා ගත්තේ ප්‍රායෝගික දැනුම ලබා ගැනීමෙන් බොහෝ කලකට පසුවය.

      වෙනත් අයෙකු මේ විස්තරය ඉදිරිපත් කළේනම් මට වුවද සැකයක් මතු විය හැකිව තිබුණු නමුත් මෙහි ඇති දුරකථන ඇමතුම සහ බැංකු ගිණුම හා අදාළ කරුණු 100%ක් ප්‍රායෝගික සත්‍ය කරුණුය. බැංකුවේ නම ඇතුළු වෙනත් කරුණු වෙනස්ය. අවසන් තත්ත්වය අතිශයෝක්තියක් නොවන අතර සැබෑ සිදුවීමට වඩා අඩු දෙයකි. කෙසේ වුවද මේ සිද්ධියට පාදක සිදුවීම් වසර 10-8 කට පෙර (2005-2008) සිදුවූ ඒවා බැවින් දැන් තත්ත්වය අනුව ප්‍රායෝගික නොවිය හැකිය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. හපොයි ඔය බැංකු ගිණුම් ගැනනං කතාකරල වැඩක් නෑ. ලංකාවෙ අකුරු තුනක ප්‍රයිවෙට් බැංකුවකුත් තියෙනව හොඳට කස්ටමර්ලගෙන් ගසාකන. බැංකුවට ගිහිල්ල අහපුවම ඇයි මෙහෙම කපන්නෙ කියල උංට උත්තර දෙන්න බෑ. ඒ බැංකුවෙ මගේ තිබිච්ච එකවුන්ට් තුනක් වහල දැම්ම ඔය හේතුව හින්ද.

    ReplyDelete
    Replies
    1. BOC, NSB, HNB, NDB, ???

      Delete
    2. කස්ටමර්ලගෙන් වැඩිපුරම සර්විස් චාජස් අයකරන බැංකුව මොකක්ද කියල උංගෙ සයිට් වලට ගියාම බලාගන්න පුලුවන්.

      Delete
    3. BOC සහ NSB ප්‍රයිවෙට් බැංකු නෙමෙයි.

      Delete
  4. බැංකු ගිණුං ටික වහල ටී මොබයිල් එකත් වහනවා. ඔව් ඉදගෙන

    ReplyDelete
  5. ක‍මෙන්ට් එක ස්පැම් යැවුවා දැනට.
    නැතිනම් ඕක දැක්කම එ‍කෙක් උදව්කරන්න එන්නැහැ.

    ReplyDelete
    Replies
    1. Just delete it, Malmi. (Also, any of my other comments- I don't feel bad. :) ) I did not know that you were seriously expecting someone to help.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.