Monday, October 3, 2016

සමනලකන්ද හා වේ තුඹස

මා කුඩා කළ මගේ මවගේ මහගෙදර ඉඳහිට පැමිණ දින හෝ ඇතැම් විට සති කිහිපයක් නැවතී සිටි පුද්ගලයෙකු වූයේ දහනානෙකයි. දහනායක හෝ දසනායක විය හැකි ඔහුගේ නම මගේ කටට හුරුව තිබුණේ දහනානෙක ලෙසිනි. මා එසේ කිවූ නිසා ගෙදර වැඩිහිටියෝද එළෙසම ඔහුව ඇමතුවේය. දහනානෙක පිළිබඳ මෙහි ලියන කරුණු මගේ මතකයේ හොඳින් තැන්පත්ව ඇත්තේ ඒ කරුණු සිදුවූ කාලයේ සිට එක දිගට මතක තිබීමට වඩා මගේ ඇතැම් වැඩිහිටියන් විසින් දිගින් දිගටම මතක් කිරීම නිසාය.

මගේ මවගේ පියාගේ කිසියම් ආකාරයක මිතුරෙකු වූ දහනානෙකගේ ගම්පළාත වූයේ දඹුල්ල හෝ සීගිරිය ආසන්න ප්‍රදේශයකි. ඔහු මැදිවිය ඉක්මවූ අවිවාහකයෙකු විය. අප සමඟ නැවතී සිටි දින වල ඔහුට නිශ්චිත වැඩක් කරන්නට කිසිදු බලකිරීමක් මා හැර වෙනත් කිසිවකු නොකළත් ඔහු බොහෝ විට කැත්තක්, උදැල්ලක් හෝ වක්පිහියක් ගෙන වත්තේ පාත්තියක් හදා මිරිස් වැනි දෙයක් හිටවීම හෝ ගස් වල අතු පෑහීම වැනි බර වැඩත්, පන්සල් යන්නට හෝ ගෙදර පූජා කරන්නට හවසට මල් කඩා දීම වැනි සිල්ලර වැඩත් කළේය. මා ඉල්ලා සිටි විට තැඹිලි හෝ කුරුම්බා ගෙඩියක් කපා දී පසුව පලා දීම මෙන්ම ගොක්කොළ ගිරවෙක් හෝ නෙළුම් මලක් හදා දෙන්නටත් ඔහු කිසිවිටෙක අදිමදි කළේ නැත.

මගේ වැඩිහිටියන්ගේ කතාබහ අනුව දහනානෙක නොදන්නා මඟුලක් තිබුණේ නැත. ඔහු වැඩට වගේම කතාවටත් දක්ෂය. ඔහුගේ රටතොට දැනුමට අද කාලයේ තෙසක්රියකරුවෙකු පරාදය.

ඇතැම් විට ඔහු හවස් වරුවේ ගෙදරට ගෙන එන පුවත්පතක් පෙරළාගෙන බලයි. ඉඳහිට මගේ කතා පොතක් හෝ වෙනත් පොතක් ඉල්ලාගෙන බලයි. මේ කියන දවසේ දහනානෙක මගෙන් ඉල්ලා ගත්තේ පෙර ලිපියේ ලිවූ පරිදි මා වරක් කටපාඩම් කරන්නට උත්සාහ කළ දෙවන ශ්‍රේණියේ සිංහල පෙළ පොතයි.

මේ පෙළ පොතේ මතක හැටියට "පුංචි වේයා" නම් පාඩමක් තිබුණේය. ඒ පාඩම සමඟ "වේ තුඹස" යන සඳහනද සමඟ වේ තුඹසක රූපයක්ද තිබුණේය. දහනානෙක පෙරළාගෙන බලා සිටියේ මේ රූපය තිබුණු පිටුවයි. දහනානෙක කිසිදිනක පුවත්පත් වැරදි පැත්තෙන් බලා "කොළඹ වරායේ නැවක් පෙරළී ඇති බව" වැනි කතා නොකී හෙයින් ඔහුගේ සාක්ෂරතාවය පිළිබඳව ගෙදර කිසිවෙකුත් මේ දවස වන තුරු සැක නොකළේය.

වැඩේ අවුල් වුණේ මේ කියන දවසේ තමන් ගැන අධි තක්සේරුවකට පැමිණි දහනානෙක සිය සාක්ෂරතාවය තහවුරු කර පෙන්වන්නට උත්සාහ කිරීමත් සමඟය.

"දහනානෙක මොකක්ද කියවන්නේ පුතාගෙ පොත නේද?"

මගේ මවගේ බාල සොයුරිය ඔහුව විමසීය.

"ඔවු, මේ පොතක් කියවනවා."

එසේ කීම පමණක් ප්‍රමාණවත් නැතැයි දහනානෙක සිතන්නට ඇත. ඒ නිසා ඔහු එහි මුද්‍රිත අකුරු හඬ නැඟෙන පරිදිම කියවීය.

"ස-ම-න-ල-ක-න්-ද..."

දහනානෙකගේ සාක්ෂරතාවය ගැන ගෙදර අය හරියටම දැනගත්තේ ඉන් පසුවය.

කොහොමටත් අප දකින දේ අප තේරුම් ගන්නේ අපේ දැනුමට සාපේක්ෂවය. ඒ නිසා, කෙනෙකුට වේ තුඹස සමනල කන්ද ලෙසත් තවත් අයෙකුට සමනල කන්ද වේ තුඹසක් ලෙසත් පෙනෙන්නට පුළුවන.

දැනුම වැඩි කර ගැනීම සඳහා අප කරන ආයෝජන අපේ පෞද්ගලික තෝරාගැනීම්ය. මෙහිදී, අප තෝරා ගන්නේ අප දන්නා අප සතු විකල්ප අතරින් හොඳම එකයි. මෙහි ඇති ගැටළුව වන්නේ ඇතැම් විට අප සතු විකල්ප සියල්ල ගැන දැනුමක් අප සතු නොවීමයි.

අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමේදී ඒ සඳහා අපට ඇති විකල්ප ගැන අප බොහෝ විට දැනගන්නේ අපේ වැඩිහිටියන්ගෙනි. ඒ නිසා අප සතු විකල්ප ගැන අපේ දැනුමත්, ඒ මත පදනම්ව කරන තේරීමුත් අපේ දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටියන්ගේ දැනුම් සීමාවන්ට යටත්ය.

දහනානෙක අවිවාහක අයෙකු වුවත් ඔහු මෙන් සාක්ෂරතාව නොමැති බොහෝ අය එදත් විවාහකව දරුවන් ලබා සිටියහ. අදත් සිටිති. කිසියම් අයුරකින් ආර්ථික ශක්තියක් තිබුණද මේ දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන සිදුවන්නේ ඔවුන් දන්නා ලෝකය තුළ ගන්නා ප්‍රසස්ථ තීරණ ලෙස මිස නිරපේක්ෂ ප්‍රසස්ථ තීරණ ලෙස නොවේ.

දහනානෙකට වඩා ඉගෙනුමක් ලබා සිටි මගේ වැඩිහිටියන්ට මගේ අධ්‍යාපනය හා අදාළ තීරණ ගැනීමට මට උදවු වූ විකල්ප පෙන්වා දීමට වැඩි හැකියාවක් තිබුණේය. එහෙත්, මේ හැකියාවද සීමාරහිත එකක් නොවීය. දෙමවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන පිළිබඳ උපදේශන සැපයීමේ හැකියාව දරුවන් ඉහළ පන්ති වලට යද්දී ක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නැති වී යයි. මේ අවස්ථාව තීරණය වන්නේ දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම අනුවය.

දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සීමාවන් සඳහා වන දෙමවුපියන්ගේ සමාජ ආර්ථික පදනමේ බලපෑම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පවුලේ ආදායම් මට්ටමට වඩා දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම හරහාය.


ඊළඟ ලිපිය: ඇයි මේ ටියුෂන්?

22 comments:

  1. මට නම් සමනල කන්ද විතරක් නොවේ කිරිගල්පොත්ත කන්දත් පේනවා.

    ReplyDelete
    Replies
    1. කිරිගල්පොත්ත ශිඛරයේ හැඩය ටිකක් වෙනස් නේද?

      Delete
  2. ඉංග්‍රීසි ශබ්ද නගා කියවද්දි මාත් ඔහොමයි. හැබැයි නිහඬව කියවද්දි(ඇත්තටම මේක කියවීම නෙවේ බැලීම, අපි වචන මිසක් අකුරු කියවන්නෙ නෑ) වේගයෙන් කියවන්න/තේරුම්ගන්න පුළුවන් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. කියවලා පුරුදු වුණාම සමහර විට වචන සියල්ලම කියවන්නෙත් නැහැ. 'කී වර්ඩ්ස්' බලලා කෙළින්ම අදහස ගන්න එක අවිඥානිකවම වෙනවා.

      Delete
  3. ඉකොනො, වම් පැත්තෙ නිකං තියන ඉඩට, දකුණු පැත්තෙ යට ගිහිල්ල තියන බ්ලොග් රෝල දැම්ම නං මොකද?

    ReplyDelete
    Replies
    1. අදහස නරක නෑ. ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න වෙන නිසා නිවාඩු පාඩු වෙලාවක කරන්න බලන්නම්.

      Delete
    2. ඔය වැඩේට විනාඩි දෙකක් යන්නේ නෑ. තීරු තුනේ ටෙම්ප්ලේට් එකට මාරුවෙලා අදාල විජට්ටුව කරන්න. අවශ්‍යම නම් තීරුවල පළල අදාල පරිදි වෙනස් කරන්න වේවි.

      Delete
  4. තමන් සතුටු වන සහ ඒ ගැන උනන්දුවක් ඇති අංශ වලට යොමු නොවී දෙමව්පියන්ගේ, සමාජයේ හෝ තමන්ගේම කෑදරකම නිසා උසස් යැයි පිළිගැනෙන අංශ වලට යොමුවීම සහ එම නිසාම වෘත්තීය ජීවිතයේ යම් අවස්ථාවක ඒ පිළිබඳව පසුතැවීම ආසියාතික සංස්කෘති වල තිබෙන දේ ගැන ලිව්වොත් තර්ණ අයට හොඳ වෙන්න ඉඩ තියෙනවා, ඉකොන්.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. මේකට හේතුව තමන් සතු විකල්ප සියල්ල හා ඒවායේ අපේක්ෂිත ප්‍රතිලාභ ගැන නිසි දැනුමක් නැතිකම නේද?

      Delete
    2. ඕකෙ අනිත් පැත්තත් වෙනවා. දැන් ගොබෙල්ස්ගේ පුනුරුප්පත්තිය වෙන ඉයන් වගේ අයගේ වැඩ නිසා ඉයන්ගේ අම්මට කොච්චර කිබුහුම් යනවා ඇද්ද මන් අහන්නේ?

      Delete
  5. ඒ ලෙවල් කළාට පස්සේ අපිව කොහාටද යොමු කරන්න ඕනා කියලා අපේ දෙමාපියන්ටත් අවබෝධයක් තිබුනේ නෑ.. අපි ඉතින් ‍රැල්ලට ගහගෙන ගිහින් එක එක ජාතියෙ කෝර්ස් කරලා ගොඩ යන්න බැලුවා.. අන්තිමට ලැබුනු ‍රැකියාවේ එල්ලුනාම අනාගතය ඒකෙන් තීරණය වුනා...

    ReplyDelete
    Replies
    1. මෙය ගොඩක් අයට වෙන දෙයක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව එතරම් පරිණත නැති, සාපේක්ෂව අඩු වයසකදී (උසස්පෙළ පන්තියට යාමේදී) නැවත ආපසු හැරවීම බොහෝ වියදම් අධික වන තීරණයක් ගන්න වෙනවා.

      Delete
  6. "...දෙමවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන පිළිබඳ උපදේශන සැපයීමේ හැකියාව දරුවන් ඉහළ පන්ති වලට යද්දී ක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නැති වී යයි. මේ අවස්ථාව තීරණය වන්නේ දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම අනුවය..."

    මේක මට අත්දැකීමෙන්ම ලැබෙමින් පවතිනවා (දෙමව්පියෙක් හැටියට). ඉතා සත්‍ය නිරීක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය හා අදාළව මම මේ ප්‍රශ්නයට දරුවන් ඉතා කුඩා පංති වල සිටියදීම මුහුණ දුන්නා.

      Delete
  7. සෙන්නා කියන දේත් හරි.

    දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය ගැන දෙමාපියන්ට තේරුම් ගන්න බැරි කාලෙදි දන්න කියන උගත් බුද්ධිමත් කියලා හිතන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක හොඳයි ද?

    ReplyDelete
    Replies
    1. ඒකෙත් පොඩි අවුලකට තියෙන්නේ මේ "දන්න කියන උගත් බුද්ධිමත් කියලා හිතන කෙනාව" තෝරගන්න වෙන්නෙත් දෙමවුපියන්ගේ දැනුමට හා සමාජ සම්බන්ධතා වලට සාපේක්ෂව. මගේ පියා ඇතැම් අවස්ථා වල වෙනත් අයගෙන් මෙවැනි උපදෙස් අරගෙන තියෙනවා. ඒත්, ඒ ලැබුණු ඇතැම් උපදෙස් ඔහු තනියම 'ගෙස් කර' ගත් තීරණ තරම්වත් හොඳ වුණේ නැහැ. කොහොම වුවත් මෙය හැම විටම එසේ වන බව එයින් අදහස් වෙන්නේ නැහැ.

      Delete
  8. //අධි තක්සේරුවකට පැමිණි දහනානෙක සිය සාක්ෂරතාවය තහවුරු කර පෙන්වන්නට උත්සාහ කිරීමත් සමඟය.//

    නොකල යුතු දෙයක් කියලා සටහන් කරගත්තා. :)

    ReplyDelete
    Replies
    1. ඔතනත් ප්‍රශ්නේ, මෙඩුසා, දහනානෙක අධි තක්සේරුවක ඉන්න බව වෙනත් අයට පෙනුනට ඔහුට එය තේරෙන්නෙ නැහැනේ. අපි හැම වෙලාවෙම අධි තක්සේරුවකට යාම ගැන බයෙන් ඉන්න ගියොත් අන්තිමට අව තක්සේරුවකට යන්නත් පුළුවන්. මෙතැන තියෙන්නේ එක් එක් පුද්ගලයා අවදානමක් ගන්න ප්‍රමාණයේ ඇති වෙනස.

      Delete
  9. // ඒ නිසා අප සතු විකල්ප ගැන අපේ දැනුමත්, ඒ මත පදනම්ව කරන තේරීමුත් අපේ දෙමවුපියන් ප්‍රධාන වැඩිහිටියන්ගේ දැනුම් සීමාවන්ට යටත්ය.// +++++++++++++

    තරුණ වියේදී තාත්තා කරදර කාරයෙකු ලෙසත්, මැදීවියේදී වීරයෙක් ලෙසත් පෙනෙන්නේ ඒ නිසාවෙනි......

    ReplyDelete
  10. / දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සීමාවන් සඳහා වන දෙමවුපියන්ගේ සමාජ ආර්ථික පදනමේ බලපෑම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පවුලේ ආදායම් මට්ටමට වඩා දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම හරහාය./

    100% Agreed...:)

    ReplyDelete
  11. ඔය රවී කියපු එකටයි මෙදුස ලියු එකටයි දෙකටම එකඟයි.
    //දෙමවුපියන්ට සිය දරුවන්ගේ අධ්‍යාපන ආයෝජන පිළිබඳ උපදේශන සැපයීමේ හැකියාව දරුවන් ඉහළ පන්ති වලට යද්දී ක්‍රමයෙන් අඩු වී එක් අවස්ථාවකදී නැති වී යයි. මේ අවස්ථාව තීරණය වන්නේ දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම අනුවය.

    දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ සීමාවන් සඳහා වන දෙමවුපියන්ගේ සමාජ ආර්ථික පදනමේ බලපෑම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ පවුලේ ආදායම් මට්ටමට වඩා දෙමවුපියන්ගේ අධ්‍යාපන මට්ටම හරහාය.//

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.