Sunday, October 9, 2016

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

ලංකාවේ දොස්තරලාගේ කාර් සිහිනය ගැන පසු ගිය දවස් වල බොහෝ දෙනා ඇති තරම් කතා වුණේය. ලංකාවේ රෝහල් කිහිපයකම වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති රුවන් ජයතුංග ඒ ගැන මෙසේ ලියා තිබුණේය.

"නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු
සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති."

ඔහු වැඩි දුරටත් මෙසේ කියයි.

"රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්‍ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්‍රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති."

මේවා වෛද්‍ය රුවන් ජයතුංගගේම පෞද්ගලික අත්දැකීම් බැවින් මෙය සැබෑ තත්ත්වය ලෙස සලකන්නට මට අමාරුවක් නැත. කෙසේවුවද, මෙහි කියා ඇති දේ, විශේෂයෙන්ම රාජකාරි වෙලාවේ හොරෙන් පීපී කිරීම හැර දෙවන කොටසේ ඉතිරි කරුණු, සේවය අරඹන සෑම වෛද්‍යවරයකු විසින්ම හෝ බහුතරයක් විසින් කරන දෑ නොවන බව මගේ අදහසයි. රුවන් විසින් එසේ කියාද නැත.

මා මේ ලිපියෙන් අවධානය කරන්නේ කමෙන්ටුවේ පළමු කොටසේ ඇති කරුණටය. ඇත්තටම බොහෝ වෛද්‍යවරු සීමාවාසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. ලංකාවේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ සමාජ ආර්ථික පසුබිම අනුව එය එසේ වීමේ පුදුමයක් හෝ වැරැද්දක් නැත. වැරැද්ද ඇත්තේ සීමාවාසික පුහුණුවට යාමට පෙරම පෞද්ගලික වාහනයක් මිල දී ගැනීමට හා එය නඩත්තු කිරීමට තරම් හැකියාවක් ඇති අයට පමණක් වෛද්‍යවරුන් වන්නට සිදුවේනම්ය. මුලින්ම වෘත්තිය අරඹන ඉංජිනේරුවෙකුගේ හෝ නීතිඥයෙකුගේ තත්ත්වයද මීට වඩා වෙනස් නැත.

මෙසේ සමාජ ධුරාවලියේ පියවරක් ඉහළට තබන පහළ මධ්‍යම පාන්තික සමාජ ආර්ථික පදනමක් ඇති වෘත්තිකයින්ට මෝටර් රථයක් හැකි ඉක්මණින් මිලදී ගැනීමේ සිහිනයක් තිබේ. එහිද කිසිම වරදක් නැත. (එහෙත්, ඒ වෙනුවෙන් වෛද්‍යවරුන් කරන බව පසුව සඳහන් කර ඇති බොහෝ දේ නිවැරදි නැත.) එමෙන්ම, සිය සේවා කොන්දේසි අනුව බාධාවක් නැත්නම් රාජකාරි කාලයෙන් පසුව පීපී කිරීමේද වරදක් නැත. මුදල් සෙවීම සඳහා පීපී කරන වෛද්‍යවරුන් කරන්නේද වැදගත් සේවයකි. එහෙත් එය වෙනත් අය නොකරන අමුතු හෝ විශේෂ සේවයක් නොවේ. ඕනෑම ව්‍යාපාරිකයෙකු කරන ආකාරයේ, පාරිභෝගික ඉල්ලුම සැපිරීමේ සේවයකි.

වෘත්තිය අරඹන වෛද්‍යවරයෙකුගේ කාර් සිහිනය පිටුපස 'පංතිය මාරුකිරීම' වැනි අරමුණු තිබෙන්නට පුළුවන. එහෙත්, මා මේ ලිපියෙන් පෙන්වා දෙන පරිදි කාර් එක යනු බෙහෙත්, වෙද නලාව මෙන්ම පීපී කිරීම සඳහා වෛද්‍යවරයෙකුට අත්‍යවශ්‍යම උපාංගයකි. මෙය ඉංජිනේරුවෙකු මුහුණ නොදෙන එහෙත් වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයකි. ඇලෝපති වෛද්‍යවරයෙකු හැකි ඉක්මණින් කාර්පති සුදුසුකම සම්පූර්ණ කරගන්නට දිවා රෑ මෙන්ම සති අන්ත වලද වෙහෙසෙන්නේ  මේ හේතුව නිසාය.

මෙය පැහැදිලි කිරීමට මම උපුටාගන්නේ ලංකාවේ සේවය කර ඇති තවත් වෛද්‍ය වරයෙකු වන කවිඳු ජයසිංහගේ හෙල්මළු වියුණුවේ කොටසකි. අදාළ ලිපියේ ඔහු සිය වෘත්තීය ජීවිතයේ මුල් අදියරේදී මෝටර් රථයක් නොමැතිකමින් මුහුණ දුන් තත්ත්වයන් මෙන්ම ඒ සිහිනය සැබෑ කර ගැනීමට ගත් උත්සාහයද මැනවින් විස්තර කර තිබේ.

"ඒ කාලයේ මගේ මාසික කුලිය රුපියල්  හාර දහසකි. රුපියල් දොළොස් දහසක මාසික වේතනයක් ලැබූ මට විශ්ව විද්‍යාල වැටුපෙන් පමණක් කල හැකි දේ ඉතාමත් සීමිත විය.

මාසිකව මුදලක් අම්මලාට යැවීමටත්  නිවසේ කුලිය ගෙවීමත් හැරුණු කොට මට ඉතිරි කල හැකි දෙයක් නොවිය.

පරිවාස කාලයේදීම පුද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නට මා පෙලඹෙන්නේ ඒ නිසාමය.

උදේ අටේ සිට හවස හතර දක්වා විශ්ව විද්‍යාලයේ සේවය කල මම හවස  හතරෙන් පසු  පිළිමතලාව පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන ගියෙමි.

මුල් කාලයේ පාරේ බස් එකේ ගමන් බිමන් ගිය මට මෝටර් රථයක් අත්‍යාවශ්‍ය බව හැඟුනේ  පුද්ගලික වෙදකම ආරම්භ කිරීමත් සමගයි.

"මම හිතුවේ මහත්තයා අද ඇවිත් නෑ කියලා. කෝ කාර් එක පේන්න තිබුණේ නෑ නේ "

යැයි  කියමින් මා හමුවට එන ලෙඩුන් පවසන්නට පටන් ගැනීමත් සමග මේ අවශ්‍ය තාවය  තදින්ම දැනෙන්නට විය.

"නෑ මම තාම කාර් එකක් ගත්තේ නෑ . දැනට කාර් එකක් හොය හොයා ඉන්නේ "

මම ලෙඩා අස්වසාලන්නේ  කාර් එක ළඟ ලඟම එන බව ඉඟි කරමිනි."


මෙය කවිඳුගේ පුද්ගලික අත්දැකීමක් පමණක් නොවේ. මුලින්ම සේවය අරඹන බොහෝ වෛද්‍යවරුන්ගේ තත්ත්වයයි. ඔහු මෙහි විස්තර කර ඇති පරිදි වෛද්‍යවරයෙකුගේ මෝටර් රථය යනු ඔහුගේ මෙන්ම ඔහුගේ පාරිභෝගිකයන්ගේද අවශ්‍යතාවයකි. ඒ ඇයි?

වෛද්‍ය සේවා වෙළඳපොළ විශාල තොරතුරු අසමමිතියක් ඇති වෙළඳපොළකි. හාල් සේරුවක් පොල් ගෙඩියක් මිලදී ගන්නා විට හෝ කරණවෑමියෙකුගේ සේවය ලබා ගන්නා විට මෙන් තමන් මුදල් ගෙවා මිලදී ගන්නා දෙය පිළිබඳ නිවැරදි දැනුමක් පාරිභෝගිකයාට නැත. ඒ නිසා සේවය සපයන වෛද්‍යවරයකුට සිය පාරිභෝගිකයින් රවටන්නට ඉඩක් තිබේ. වෛද්‍ය රුවන් ජයතුංග සටහන් කර ඇති පරිදි ඇතැම් වෛද්‍යවරු ඇත්තටම එසේ කරති.

"එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති. ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති."


එහෙමනම් නරක වෛද්‍යවරයෙකුගෙන් හොඳ වෛද්‍යවරයෙකු වෙන්කර හඳුනාගන්නේ කෙසේද?

සාමාන්‍ය පුද්ගලයෙකුට මෙය කළ හැකි එකම ක්‍රමය වෛද්‍යවරයෙකු නැවත නැවත පරික්ෂාවට ලක් කිරීමයි. පළමු වර එක බේත් වේලෙන් ලෙඩේ සුව වීනම් පාරිභෝගිකයා දෙවන වරටත් ඒ වෛද්‍යවරයා වෙත යන්නට නොපැකිලේ. කෙසේවුවද, එක් පාරිභෝගිකයෙකුට නියමිත කාලයක් තුළ වෛද්‍යවරයෙකු වෙත විශාල වාර ගණනක් යන්නට සිදු නොවන බැවින් මේ පරික්ෂාවේ ප්‍රායෝගික සීමාවක් තිබේ. ඒ නිසා, වඩා හොඳ ක්‍රමයක් වන්නේ වෙනත් පාරිභෝගිකයින්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමයි.

වෛද්‍යවරයෙකු වෙත පාරිභෝගිකයින් විශාල පිරිසක් යන්නේනම් එයින් අදහස් වන්නේ ඒ වෛද්‍යවරයා ගැන වැඩි දෙනෙකු සෑහීමකට පත්වන බවයි. එය වෛද්‍යවරයාගේ සේවයේ ගුණාත්මක භාවය හඟවන නිරීක්ෂණය කළ හැකි සංඥාවකි.

මෙය නීතිඥයින්, මංගල ඡායාරූපකරුවන්, මංගල උත්සව සඳහා ඇඳුම් අන්දවන්නන් වැනි නිතර අවශ්‍ය නොවන, වැරදීමක් වුවහොත් පාරිභෝගිකයාට වන හානිය ඉතා වැඩි වෙනත් සේවා සපයන්නන් බොහෝ දෙනෙකුට පොදු දෙයකි. මේ කවර සේවා වෙළඳපොළේත් වැඩිම ඉල්ලුමක් ඇති සේවා සපයන්නන් වෙත යන්නට සියළුම පාරිභෝගිකයෝ පොරකති. එවැනි ඉල්ලුමක් නැති අය වෙත යන්නට කිසිවෙකු කැමති නැත.

කාර් එකක් නැති දොස්තර කෙනෙක් කියන්නේ සල්ලි නැති දොස්තර කෙනෙකි. සල්ලි නැති දොස්තර කෙනෙක් කියන්නේ සෙනඟ නැති, ඒ නිසා ආදායමක් නැති දොස්තර කෙනෙකි. සෙනඟ නැති දොස්තර කෙනෙක්නම් ඒ හොඳ දොස්තර කෙනෙක් වෙන්නට නොහැකිය. එසේනම්, කාර් එකක්වත් නැති දොස්තර කෙනෙක් වෙත යන්නට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.

පාරිභෝගිකයින් සිතන්නේ මේ ආකාරයෙන් නිසා කාර් එකක් ගන්නා තුරු දොස්තර කෙනෙක්ට සිය ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කිරීම අභියෝගාත්මක දෙයකි. කාර් එක ළඟ ලඟම එන බව කියමින් ලෙඩා අස්වසාලන්නට කවිඳුට සිදුවන්නේ ඒ නිසාය. කාර් එක නැති දොස්තර කෙනෙක් යනු අස්සයෙක් නැති කවුබෝයි කෙනෙකි.

හොඳ දොස්තරලාට සෙනඟ අඩුවක් නැත. ඒ නිසා සල්ලි අඩුවක් නැත. මේ පාරිභෝගිකයින් සිතන ආකාරයයි. එහෙත් බැංකුවේ ඇති මුදල් පාරිභෝගිකයින්ට නොපෙනේ. තමන්ගේ වත්කම් පාරිභෝගිකයින්ට පෙන්විය හැකි හොදම ක්‍රමය වෛද්‍යවරයාගේ වටිනා, අළුත්ම මාදිලියේ මෝටර් රථයයි. මේ අළුත්ම මෝටර් රථය පාරිභෝගිකයින්ට ලබාදෙන්නේ වෛද්‍යවරයාගේ ගුණාත්මක භාවය පිළිබඳ ඉඟියකි. ඒ ඉඟිය නමට පිටුපසින් ඇති අකුරු ගණනටත් වඩා වටිනා ඉඟියකි. ඒ නිසා වෛද්‍යවරුන්ගේ කාර් තරඟය යනු වක්‍රව වෛද්‍යවරුන් අතර පාරිභෝගිකයින් දිනාගැනීම සඳහාද වන තරඟයේම ප්‍රකාශනයකි.

දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස මෙයයි!

30 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇත්තනම් දෙපාරක්ම කිවුවත් කමක් නැහැ. :)

      Delete
  2. රහස ඒකයි කියල කියනව කොහොමද දන්නැ

    ReplyDelete
  3. පේජ් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරාද ඉකෝන්, අකුරු ලා කොලපාට වෙලා.. මේක නම් ඇහැට ටිකක් අමාරුයි ෆෝන් එකෙන් බලද්දි. මොබයිල් පේජ් එක ගැන කියන්නෙ
    http://economatta.blogspot.com/?m=1

    පුලුවන් නම් කලින් තිබ්බ එකට මාරු කරන්න.

    ReplyDelete
    Replies
    1. දැනුම් දීමට ස්තුතියි, ඇනෝ! නැවත වෙනස් කළා. ඒත් කළින් එකම නෙමෙයි. දැනුත් කියවන්න අමාරුනම් කියන්න.

      Delete
    2. ස්තූතියි වෙනස් කරාට ඉකෝන්, දැන් නියමයි..!

      Delete
  4. ජොෂ්තරල ගැනම ආත බූත ලියලිය ඉන්නෙ අර පර්පැච්චුවල් ට්‍රෙෂරියෙ අලකලංචිය ගැන ලියන්නෙම නැද්ද හැබෑට මේ ඉකෝන්.

    - මීට සාරස

    ReplyDelete
    Replies
    1. තාම දොස්තරලා ගැන විතරයිනේ, ඇනෝ, ලිවුවේ. තව දත් දොස්තරලා ගැනත් ලියන්න තියෙනවා.

      Delete
  5. මුදල් සත පහක් වත් ගන්නේ නැතුව පුද්ගලිකව ප්‍රතිකාර කරන වෛද්‍යවරයක් ඉන්නවා ගාල්ලේ බූස්සේ ඩොක්ටර් සුරංග කියලා. කරාපිටියේ සේවය කරන්නේ.. උදේ හා හවස දෙකේම ඔහුගේ මව විසින් කලින් පවත්වාගෙන ගිය ස්තානයේ ප්‍රතිකාර කරනවා.. සමහරවිට පාරම්පරිකව සල්ලිකාරයෝ වෙන්න ඇති නමුත් මා දැක ඇති පරිදි මදක් පැරණි කොරෝනා වර්ගයේ සාමාන්‍ය කාර් එකක් භාවිතා කරන්නේ. එය කිසිවිටෙකත් ඔහුගේ ඩිස්පෙන්සරිය ඉස්සරහ නවත්වලා තියන්නේ නෑ. මේ වගේ වෛද්‍යවරුන් තවත් ඇති. ඔහුට ගෞරවයක් වශයෙන් මෙය ලියා තැබූවේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අංක එකේ ‍මනෝ වෛද්‍යවරයා ලෙස හැඳින්විය හැකි නීල් ප්‍රනාන්දු මහත්තය තාම ගන්නෙ තමන්ගෙ ගාස්තුව විදියට එකසිය ගනනක්(හැබැයි රෝහල් බුකින් එක ‍ටිකක් ලොකුයි). එයාගෙ තත්වයත් එක්ක බැලුවම නිකං වගේ තමයි.

      Delete
    2. ඒක ඇත්ත. එවැනි අය ඉන්නවා. කවර වෘත්තියක යෙදෙන අය අතරත් විවිධ වෙනස්කම් ඇති පුද්ගලයින් ඉන්නවා.

      Delete
  6. එතකොට සමහරක් වෛද්‍යවරු බ්ලොග් ලිවීමේ පිස්සුව මොකක්ද? හිනමානයද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ වෛද්‍යවරු බ්ලොග් ලියන්නෙත් වෙනත් අය ලියන හේතු නිසාම බවයි. මේ දෙක අතර විශේෂ සම්බන්ධයක් මට පෙනෙන්නේ නැහැ.

      Delete
  7. අන්න ඔය කාර් පිස්සුවම තමා දැන් දැන් ගුරුවරුන්ටත් තියෙන්නෙ....ගෙදර තියෙන කාර් එකෙන් මනින්නෙ ඒ ගුරුවරයගෙ ප්‍රවීණභාවය. එහෙමත් නැත්තන් ඉගැන්වීමේ කුසලතාවය.....කොටින්ම කියනවනම් නගරෙටත් වඩා ගමේ ඉන්න ගුරුවරුන්ගෙයි ඔය කියන ආකල්ප වැඩි වශයෙන් දකින්න තියෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. පැහැදිලිමව. මේ කරුණු ටියුෂන් ගුරුවරුන්ටත් අදාළයි.

      Delete
  8. ඔය කතාව නම් මමත් දැකල තියෙනවා. ඔය විධියට තමන්ගෙ වත්කම් පෙන්නුවෙ නැත්නම්, ඩොකටර්ස්ල විතරක් නෙවෙයි, ලෝයර්ස්ලා සමහර ටියුෂන් ගුරුවරු, දේශපාලකයොන්ට පවා තමන්ගෙ වෘත්තිය කරගෙන යාමට බැරි වෙනවා. හැබැයි දිගින් දිගටම දොස්තරලට ගහන එක ගැන අපිට සතුටු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු. ඔබ සඳහන් කරන වෘත්තිකයින් හා අදාළව තියෙන තත්ත්වයත් මෙවැන්නක්.

      Delete
  9. වෛද්‍යවරුන්ට රජයෙන් වාහන බලපත් ලබා දෙන ක්‍රම වේදය මොකක්ද ඉකනෝ.?

    ReplyDelete
  10. ඇත්තටම ඉතින් අපි කාර් එකක් ගන්න එකෙයි, දොස්තර කෙනෙක් කාර් එකක් ගනන් එකෙයි ලොකු වෙනසක් තියනවා නේද බලන් ගියාම...අපි කාර් එහෙක ගියොත් කියයි අන්න අරූ ණයටද කොහෙද කාර් කට්ටක් අරන් කියලා.... හෙහ් හෙහ්..

    ඉස්සර තිබුනා නේද ඩොක්ටර් සනී කියලා කාර් ජාතියකුත්..

    දොස්තරලා බ්ලොග් ලියන්න පෙළබෙන එකේ රහස් මොකක් විය හැකිද ? :D

    ReplyDelete
  11. මේ ලිපි පෙල අවසාන වෙද්දි, හැම කෙනාගෙම හිතේ දොස්තරලා ගැන ආදරයක් පහල වෙනු නොඅනුමානයි. :P

    ReplyDelete
  12. වෙට් දොස්තර වරුන්ටත් ගෙන්න බැරි සත්තු බලන්න හවුස් විසිට් ගියාම අය කරන්න පුළුවන් ගාන ගිය කාර්ඒකේ තත්වය අනුව වෙනස් වෙනවළු.

    ReplyDelete
  13. ලංකාවේ දොස්තර කෙනෙක් වෙන එක පුදුම කට්ටක් කන එකක් කියලයි දොස්තරලා උනු යාලුවෝ කියන්නේ. දන්න කාටවත් නම් මේක කරන්න කියන්නේ නැහැ කියල දවසක් මාත් එක්ක කිව්වේ එක මිතුරියක් මෙඩිකල් කොලේජ් ඉන්න කාලේ.

    ReplyDelete
  14. මා හිතනවා මේ තත්වය වෛද්‍ය වෘත්තියට පමණක් නොව වෙනත් වෘත්තීන් වලටද මෙලෙසම බලපානවා කියා. එකම වෙනස, වෛද්‍ය වෘත්තියේදී ඉක්මනින් මුදල් උපයන්න පුළුවන්.

    ReplyDelete
  15. දැං ඉතිං දොස්තරගෙන් බේත් ගන්න ගියාම නමේ පිටිපස්සෙ තියෙන කෑල්ලට අමතරව කාර් එකේ වැලිවේෂන් එකත් බලන්න වෙයි වගේ. හැක්..

    ReplyDelete
  16. වාහන පිස්සුව උපරිමව තියන පිරිසක් තමයි ටියුෂන් මාස්ටර්ල

    ReplyDelete
  17. හොඳම දේ ඔය පර්මිට් මළ විකාර අයින් කරලා දාන එක. දොස්තර කෙනෙකුට සල්ලි තියනවනම් අඩුගානට කර එකක පිට රටින් හරි ගෙන්වන්න දෙන එක. රජයේ නිලධාරීන් හා මන්තිර්ලට පර්මිට් ටිය කිසිවක් නොදීම. වෙන රටවල ඔය කියන ප්‍රශ්න ඔය විධිහට නහෙනේ. ලංකාවට පමණක් වෙන සුවිශේෂී තත්වයක් වගේ.

    ReplyDelete
  18. ඉකොනෝ අයියා දොස්තරලා ගෙන ලිය ලිය හිටිය, මුකුත් වුනේ නැහැ. රාජ් රාජරත්නම් ගැන ලිව්වා විතරයි අතුරුදහන්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.