Saturday, February 18, 2017

ත්‍රිත්ව කාර්ය වාහන


පසුගිය 2016 වසර අවසානය වන විට ලංකාවේ මුළු වාහනගහණය 6,795,469 ක් විය. මෙයින් 54.4%ක් එනම් 3,699,630ක් මෝටර් සයිකල් වූ අතර තවත් 16.42%ක් එනම් 1,115,987ක් ත්‍රිරෝද රථ විය. ඒ අනුව, ජනගහණයෙන් දහසකට වාහන 327ක් තිබුණත් එයින් 178ක් මෝටර් සයිකල්ද තවත් 54ක් ත්‍රිරෝද රථද වූ අතර ට්‍රැක්ටර් හා ට්‍රේලර්, ලොරි හා බස්ද ඇතුළුව ඉතුරු වාහන තිබුණේ ජනගහණයෙන් දහසකට 95ක් පමණි.

කුඩා රටක් වන ලංකාවේ වාහන ඕනෑවට වඩා ඇති බව ඇතැම් අය සිතති. මෙසේ සිතන බොහෝ අය දැනට තමන් සතුව අඩු වශයෙන් මෝටර් සයිකලයක්වත් ඇති අයයි. මේ සිතුවිල්ලට හේතුවන්නේ පාරේ ඇති වාහන තොගය නිසා තමන්ට වාහනයක් තිබුණත් බොහෝ වෙලාවක් මහමඟ රස්තියාදු වෙන්නට සිදුවන නිසා වන්නට පුළුවන. මෙසේ සිතන අය අතර දැනට තමන් සතු කිසිදු වාහනයක් නැති අයද සිටින්නට පුළුවන.

වාහනයක් ගැනීම යනු තමන් සතු
වාහනයක් නැති අයගේ සිහින අතර උඩින්ම තියෙන සිහිනයකි. වඩා හොඳ වාහනයක් ගැනීම දැනට වාහනයක් තියෙන බොහෝ දෙනෙකුගේ සිහිනයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් යනු බොහෝ දෙනෙකුගේ සිහින දිගුවන පිළිවෙළයි. මෙසේ වාහන ගන්නා බොහෝ දෙනෙකු එය කරන්නේ කල්බදු වැනි ක්‍රමයකින් මූල්‍ය පහසුකමක් ලබා ගනිමිනි. මෙවැනි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ලංකාවේදී ගෙවිය යුතු පොලිය සැලකිය යුතු ලෙස විශාලය. එහෙත්, වෙනත් දේ කැප කරමින් වාහන සිහිනය සැබෑ කර ගැනීම සඳහා බොහෝ දෙනෙකු නොපැකිළෙති.

ලංකාවේ වාහන වැඩි බව සිතන්නේ මේ වාහන සිහිනය තුළ ජීවත් වන අයමය. එසේනම්, වාහන වැඩි වී ඇත්තේ තමන් හැර වෙනත් අය වාහන මිල දී ගැනීම නිසාය. ඒ නිසා, වාහන වැඩිවීම නිසා ඇති වන ප්‍රශ්න අඩු කරන්නට වෙනත් අය වාහන ගැනීම වැළැක්විය යුතුය.

ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙක් එසේ වාහන මිලදී ගන්නේ "තමන්ගේ" සල්ලි වලිනි. මේ සල්ලි ලැබෙන්නේ මූල්‍ය ආයතනයකින් විය හැකි වුවත් අවසාන වශයෙන් පොලියත් සමඟ මුල් මුදල ආපසු ගෙවන්නට සල්ලි හම්බ කරන්නේ වාහන සිහින දකින මේ මිනිස්සුන්මය. ඒ වෙනුවෙන් වෙනත් දේවල් කැප කරමින් මේ පිරිස් තමන් මහන්සියෙන් උපයන සල්ලි වැය කරන්නේ වාහනයක හිමිකරුවෙකු වීමෙන් ලැබෙන මුදල් හෝ මුදල් නොවන වාසි වාහනය වෙනුවෙන් කැප කරන වෙනත් දේ වලට වඩා ඔවුන් අගය කරනා නිසාය.

ඇතැම් අය හිතන්නේ ලංකාවේ අධික වාහන ඉල්ලුමට හේතුව පොදු ප්‍රවාහනයේ ඇති දුර්වලතා බවයි. පොදු ප්‍රවාහන සේවාවන්හි ඇති අඩුපාඩු වාහන ඉල්ලුමට බලපාන නමුත් එය එකම හේතුව නොවේ. වාහන ගෙදර තියාගෙන එදිනෙදා ප්‍රවාහන අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන විශාල ලාංකිකයින් පිරිස විසින් පෙන්වා දෙන්නේ ඔවුන් වාහන ගන්නේ ප්‍රවාහන අවශ්‍යතාවය සඳහා පමණක් නොවන බවයි. වාහනයක මූලික කාර්යය මඟී හා භාණ්ඩ ප්‍රවාහනය වුවත් ලංකාවේ වාහන මිල දී ගන්නා බොහෝ දෙනෙකු මීට වඩා හාත්පසින්ම වෙනස් තවත් අවශ්‍යතාවයන් දෙකක්ද වාහන මඟින් සපුරා ගනිති.

ලංකාවේදී තමන් සතු වාහනය යනු සමාජ ධුරාවලියේ තමන් සිටින තැන පිළිබඳ සංකේතයකි. මෝටර් සයිකල්, ත්‍රීවීල්, පොඩි කාර්, ලොකු කාර්, ලොකුම කාර් ලෙස ධුරාවලිගත වන්නේ කිසියම් පුද්ගලයෙකු මේ ධුරාවලිය තුළ සිටින ස්ථානයයි. ඒ නිසා, ධුරාවලියේ උඩට යන්නට වඩා හොඳ වාහනයක් අවශ්‍ය වේ.

කෙසේ වුවද, මෙහි තවත් අවුලක් තිබේ. මූලික අවශ්‍යතාවය මඟී හා/හෝ භාණ්ඩ ප්‍රවාහනය පමණක්නම් ඊළඟ අදියරේ වාහනයක් මිල දී ගත් විට ප්‍රශ්නය විසඳේ. එහෙත්, අවශ්‍යතාවය වන්නේ සමාජ ධුරාවලිය තුළ තමන් සිටින ස්ථානය ඉහළට  ගැනීමනම් තමන් ඊළඟ අදියරට යාම පමණක් ප්‍රමාණවත් නැත. අනෙත් අය එම අදියරට පැමිණීම වැළැක්වීමද අවශ්‍ය වේ. ත්‍රීවීල් පදින සියල්ලන්ම කාර් ගත් විට තමන් කාර් එකක් ගැනීම තව දුරටත් විශේෂ දෙයක් නොවේ. අන්තිමට සමාජ ධුරාවලියේ තමන් සිටින්නේ කලින් සිටි තැනමය. ලංකාවේ වාහන වැඩිය යන අදහස අවිඥානකවම එන්නේ මේ මනෝභාවයත් සමඟය.

ලාංකිකයෙකු වාහනයක් මිලදී ගැනීමට යොමුවන අනෙක් කරුණ වන්නේ ලංකාවේදී වාහනයක් යනු හොඳ මූල්‍ය ආයෝජනයක් වීමයි. ලංකාවේ ආයෝජන වෙළදපොළ (කොටස් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ) රටේ බොහෝ දෙනෙකුගෙන් දුරස්ථ සීමිත පිරිසකගේ ක්‍රීඩා භූමියකි. දිගටම පවත්වා ගන්නා රාජ්‍ය අයවැය හිඟයත්, එහි ප්‍රතිඵලයක් ලෙස දිගින් දිගටම පිරිහෙන විණිමය අනුපාතිකයත්, තනිකරම වාගේ ආයනයනික භාණ්ඩයක් වන වාහන මිල ඒවා නිෂ්පාදනය කරන රටවල මුදලින් සාපේක්ෂව ස්ථාවරව තිබීමත්, වාහන අලුත්වැඩියා කටයුතු කරන ශ්‍රමිකයින්ගේ ගාස්තු සාපේක්ෂව අඩු වීමත් නිසා ලාංකිකයෙකු මිල දී ගන්නා වාහනයක වෙළඳපොළ වටිනාකම අඩුවන්නේ ඉතා සෙමිනි. ඇතැම් විට මිල
වැඩි වන අවස්ථාද තිබේ. පසුගිය වසර කිහිපය තුළ වාර්ෂිකව ලංකාවේ අළුතින් ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණය වෙනස් වී ඇති ආකාරය පරික්ෂා කළ විට බොහෝ දෙනෙකු ආයෝජනයක් ලෙස සලකා වාහන මිලදී ගන්නේය යන කරුණ තහවුරු කර ගන්නට පුළුවන.

රටේ විදේශ විණිමය අනුපාතිකය මහ බැංකුවේ මැදිහත් වීමෙන් ස්ථාවරව තබාගත් වසර වලදී වාහන මිලදී ගැනීම වැඩි වී ඇත්තේ සෙමිනි. විණිමය අනුපාතිකය පහල වැටුණු 2009, 2013 වැනි වසර වලදී වාහන ඉල්ලුමද අඩු වී ඇත. අනෙක් අතට රටේ  විනිමය අනුපාතිකය නිදහස් කෙරෙන විට හෝ එවැනි අපේක්ෂාවන් වැඩිවන විට වාහන මිලදී ගැනීම් විශාල ලෙස ඉහළ යයි. බදු ප්‍රතිපත්ති වෙනස්කම් වැනි වෙනත් හේතුද තිබුණත්, වසර ගණනකට පසු විණිමය අනුපාතිකය නිදහස් කෙරුණු 2015 වසරේදී වාහන මිලදී ගැනීම් පෙර වසරට වඩා විශාල ලෙස ඉහළ යාමටද, ඊට පෙර 2012දී රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ආසන්න කාලයේදීද වාහන ඉල්ලුම විශාල ලෙස වැඩි වන්නටද හේතුවුණේ මේ ආයෝජන අවශ්‍යතාවයයි.

මේ කරුණු අනුව, ලංකාවේදී මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ වල සිට සියළුම වාහන ත්‍රිත්ව කාර්ය වාහනයි. පළමුව, මේ වාහන මඟී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත හැකිය. දෙවනුව, ඒවා සමාජ ධුරාවලිය පවත්වාගැනීමට උදවු කරයි. තෙවනුව, වාහන යනු බොහෝ දෙනෙකුට මූල්‍ය ආයෝජනයකි. ඒ නිසා, මෙයින් එක් අවශ්‍යතාවයක් සඳහා පමණක් ආදේශකයක් වන පොදු ප්‍රවාහන සේවා දියුණු කළ පමණින් ලංකාවේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු නොවනු ඇත.

18 comments:

  1. අහස් පාලම් මගින් මේ තදබදය අඩු කරන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔවු, ලංකාවේ පහුගිය කාලයේ හැදුණු ගුවන් පාලම් වලින් වාහන තදබලය සැලකිය යුතු ලෙස අඩුවුනා.

      Delete
    2. හැබැයි දෙහිවල වුනේ එකේ අනිත් පැත්ත.ගුවන් පාලම් හොඳයි දුම්රිය හරස් මාර්ග තියෙන තැන් වලට දෙහිවල හන්දියේ තිබ්බ ඔරලෝසු කණුව පවා ඉවත් කරලා පාර පළල් කිරීමෙන් තදබදය තරමක් දුරට හෝ අඩු වෙලා තිබ්බා.නමුත් ගුවන් පාලම යෙදීමෙන් ඒ තදබදය නැවත වැඩි වුනා.

      Delete
    3. ඇත්තද? නුගේගොඩනම් පැහැදිලිවම ට්‍රැෆික් අඩුවුණා. දෙහිවල ගුවන් පාලම දැම්ම නිසා ට්‍රැෆික් වැඩිවුනාද නැත්නම් ගුවන් පාලම දැම්මත් පසුව වාහන ප්‍රමාණය වැඩි වූ නිසා ට්‍රැෆික් වැඩිවුනාද?

      Delete
    4. නුගේගොඩ ගුවන් පාලමට වඩා දෙහිවල ගුවන් පාලම දිගෙන් අඩුයි.එයට අමතරව එහි බර වාහන ඇතුල් කිරීමත් තහනම්.පාලම ඉදිකිරීම නිසා පාර පටු වී තිබෙනවා.බර වාහන ඇතුල් කිරීමේ තහනම නිසා බස් රථ ධාවනය කරන්න වෙන්නේ අර පාලමට පහළින් තියෙන තනි තීරුවේ.බොහෝ දෙනා කියනා කතාවක් තමයි දෙහිවල තදබදය වැඩි වෙන්න ගුවන් පාලම හේතුවක් උනා කියන එක.

      Delete
  2. මම නම් බස් තියන් පයින් යන්නේ නෑ.. කාර් එක අවුරුදු තුනට කි.මී. 61000+ දුවලා තියනවා...

    // එසේනම්, වාහන වැඩි වී ඇත්තේ තමන් හැර වෙනත් අය වාහන මිල දී ගැනීම නිසාය. ඒ නිසා, වාහන වැඩිවීම නිසා ඇති වන ප්‍රශ්න අඩු කරන්නට වෙනත් අය වාහන ගැනීම වැළැක්විය යුතුය. //

    ලංකාවේ අය හිතන් ඉන්නෙත් "නීති" තියෙන්නෙත් තමන් හැර අන් සියල්ලන් සඳහාමයි කියලා...අනිත් අය කරන වැරදි වලට නීතිය ක්‍රියාත්මක නොවෙනකොට පස්පඩංගුවේ නීතිය කරවණ අයට බනින අය, නීතිය තමන්ට ක්‍රියාත්මක වෙනකොට ඊට ප්‍රතිවිරුද්දව ක්‍රියා කරනවා දකින්න පුලුවන් ඕනතරම්

    ReplyDelete
    Replies
    1. දවසකට කිලෝමීටර් 56ක් විතර. ලංකාවේ හැටියට ටිකක් ලොකු ගාණක්.

      Delete
    2. පහුගිය ජනවාරි 18 ඉඳල අද වෙනකොට කිලෝමීටර් 3000ක් දුවල තියෙනව මම.. වැඩි හරියක් තනියෙම.. කොහොමත් අඩුම සතියට කි.මි. 500ක් දුවනව. ගියමාසේ තෙල් ගැහුවේ රුපියල් විසිදාහක වගේ. හයිවේ එකටත් එක්ක විසිපන්දාහක් යන්නැති. ගියපු ගමං එක්ක බැලුවම බස් එහෙක ගියාට වැඩිය පොඩ්ඩයි වෙනස.. කාලය ඉතුරුව ගත්තම උඩිම්ම ලාබයි. මම පරණ ජපං වාහනයක් පදින්නේ තෙල් හා නඩත්තු පහසුව ගැන හිතල.. හැබැයි කොයිවෙලෙත් හිතමිං ඉන්නේ අලුත් වාහනේකට යනවද නැද්ද .. හි හි හි..

      Delete
    3. සතියට පැය කීයක් පාරේද?

      Delete
    4. මේ පන්සියෙන් 79* 4ක් (කොට්ටාව - බද්දේගම) හයිවේ එකේ.. ඒ ටිකට ආසන්න වශයෙන් පැය 3ක් යනවා.. ඒකෙ දෙපැත්තේ අඩුවට තව පැයේ ඒවා 4ක් වත් යනවා.. ඉතුරු ටික විනාඩි 15/ පැය බාගේ ඒවා (සෙට්) හතරක් වගේ.. එහෙම බැලුවම පැය 10ක් වගේ සතියට.. බදුල්ලේ ගිහිං එන ගමනක් සෙට් උනොත් දෙපැත්තට පැය 12ක්/ කි.මි. 550ක් විතර එකතු වෙනවා.. :/

      Delete
  3. // ලංකාවේදී තමන් සතු වාහනය යනු සමාජ ධුරාවලියේ තමන් සිටින තැන පිළිබඳ සංකේතයකි. //

    ඒක ලංකාවට විතරක් ආවේනික තත්ත්වයක් ද ?

    තමන්ගේ තත්ත්වය පෙන්වන්න නිතරම ලොකු ලොකු කාර් මාරු කරණ ලෝකල් ඇ‍රැබ්ස්ලා, මැද පෙරදිග සුලබ දසුනක්...

    එතකොට The Actor සිංදුවේ දී MLTR ලා කියනවා...

    "I don't even have my own car" කියලා.. එතනත් තත්ත්වය පෙන්වන මිම්මක් නේද කාර් එක... ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කියන එකෙන් ලංකාවේ පමණක් කියන එක අදහස් කළේ නැහැ. අඩු වැඩි වශයෙන් වෙනත් තැන් වලටත් මේ දේවල් අදාළයි. ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් වන්නේ (නැවතත්, වෙනත් තැනුත් තිබිය හැකියි),
      -විශාල ආනයන බදු ප්‍රමාණය හරහා කොටසක් වාහන හිමිකාරිත්වයෙන් බලහත්කාරයෙන් බැහැර කරනු ලැබීම.
      -ඒ නිසා ඔබ කියන අරාබි රටවල් ඇතුළු වෙනත් රටවලද ධුරාවලියේ ස්ථර අතර කොහොමටත් තියෙන පරතරය වඩා පුළුල් වීම.
      -එක් කොටසක් බදු රහිත/ බදු අඩු වාහන වරප්‍රසාදය යටතේ සමාජ ධුරාවලිය තුළ 'පෝලිම පැනීම'.

      වාහනයක් ආයෝජනයක් ලෙස සැලකීමට අදාළවත් මෙවැනිම සුවිශේෂී තත්ත්වයන් තියෙනවා.

      Delete
  4. පෑඩ් සිල්වා සහ ජේආර් අතර මෑන්-මයිල් ගැන ඇතිවූ කතාබහ දන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ, රසික. රසවත් එකක්නම් දාන්න.

      Delete
  5. වාහනයක් ගැන මගෙත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.ලංකාවේ මාර්ග පද්ධතිය පුළුල් වීමත් සිදු වෙන්න ඕන ගෙන්වන වාහන අනුව.පොදු ප්‍රවාහනයේ ගැටලුත් බොහොම තියෙනවා.තමන්ගේ වාහනයක් තියන් පොදු ප්‍රවාහන භාවිතා කරන පිරිස් වගේම පොදු ප්‍රවාහනයේ ගැටළු නිසා වාහන ගන්න පිරිස් එහෙමත් බොහොම ඉන්නවා.

    තව පිරිසක් ඉන්නවා නාගරිකව ඇති තමන්ගේ පාරම්පරික ඉඩම් ඉහළ මිලකට විකුණා අර්ධ නාගරික ප්‍රදේශවල පදිංචියට යන පිරිස්.එවැනි අය තමන් විකුණු දේපල වලින් යම් මුදලක් වාහනයක් වෙනුවෙන්ද බොහෝවිට ආයෝජනය කරනවා.

    ReplyDelete
    Replies
    1. //එවැනි අය තමන් විකුණු දේපල වලින් යම් මුදලක් වාහනයක් වෙනුවෙන්ද බොහෝවිට ආයෝජනය කරනවා.//
      මම හිතන්නේ බොහෝ විට එහිදී ආයෝජනයකට වඩා වෙනවා ඇත්තේ නගරයෙන් පිටතට ගියහම වාහනයක අවශ්‍යතාවය වැඩියෙන් දැනෙන එක වෙන්න ඇති.

      Delete
  6. සාමාන්‍ය ආදායමක් තියන මනුස්සයෙකුට අද වෙනකොට අළුතෙන් හොඳ (කරදරයකින් තොරව පාවිච්චි කල හැකි.) වාහනයක් ගැනීම සිහිනයක්ම පමණයි. ඒ ගානට ගණන් වෙනස් වෙලා.. වාහන මිළ සමඟම කුලී රථ ගාස්තුත් වැඩි මිසක් අඩු නම් වෙලා නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. රජය පවත්වා ගැනීමේ වියදම් දරන අය අතර මත්පැන්, දුම්වැටි භාවිතා කරන අය වගේම බදු රහිත වාහන වරප්‍රසාද ඇති අය හැර පොදු ප්‍රවාහනය භාවිතා කරන අය ඇතුළු වාහන භාවිතා කරන්නන් ඉදිරියෙන්ම ඉන්නවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.