වෙබ් ලිපිනය:

Friday, May 24, 2019

දැන් නිවාඩු කාලෙ හින්ද...


අවුරුද්දක් ඇතුළත අපට නිවාඩු ලැබෙන අවස්ථා හතක ලැයිස්තුවක් කලින් ලිපියේ පළ කළා. අපට අහිමි, මිලියන දෙකක් පමණ වන ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍ය සේවකයින්ට හිමි, තවත් නිවාඩු දින තුනක් ද ඇතුළත්ව ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින ලැයිස්තුව පහත තිබෙනවා.

1. අලුත් අවුරුදු දිනය- ජනවාරි පළමුවැනිදා
2. මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනය- ජනවාරි මාසයේ තෙවන සඳුදා
3. වොෂින්ටන්ගේ උපන් දිනය හෙවත් ජනාධිපති දිනය- පෙබරවාරි මාසයේ තෙවන සඳුදා
4. සිහි කිරීමේ දිනය- මැයි මාසයේ අවසන් සඳුදා
5. නිදහස් දිනය- ජූලි 4
6. කම්කරු දිනය- සැප්තැම්බර් මාසයේ පළමු සඳුදා
7. කොලොම්බස් දිනය- ඔක්තෝබර් මාසයේ දෙවන සඳුදා
8. වෙතරානුවන්ගේ දිනය- නොවැම්බර් 11
9. ස්තුති කිරීමේ දිනය- නොවැම්බර් මාසයේ සිවුවන බ්‍රහස්පතින්දා
10. නත්තල් දිනය- දෙසැම්බර් 25

ෆෙඩරල් නිවාඩු දවස් දහයෙන් පහක්ම හැම විටම වැටෙන්නේ සඳුදා දවසකයි. ඒ නිසා, අදාළ සති පහම අවසන් වන්නේ දිගු සති අන්ත වලින්. ස්තුති කිරීමේ දිනය හැම විටම යෙදෙන්නේ බ්‍රහස්පතින්දා දිනකයි. එයින් පසුව එළඹෙන කළු සිකුරාදා දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් නොවූවත් ඇමරිකාවේ ප්‍රාන්ත වලින් අඩක පමණ නිවාඩු දිනයක් බැවින් ඒ ප්‍රාන්ත වල රාජ්‍ය සේවකයින්ට ඒ සති අන්තය ද දිගු සති අන්තයක්. අලුත් අවුරුදු දිනය, නිදහස් දිනය, වෙතරානුවන්ගේ දිනය හා නත්තල් දිනය යෙදෙන්නේ වසරේ නිශ්චිත දිනයක නිසා ඒ දවස් සතියේ ඕනෑම දවසක යෙදෙන්න පුළුවන්. නමුත්, මේ දිනයක් සෙනසුරාදා දිනයක යෙදුනොත් ඊට පෙර සිකුරාදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ වගේම ඉරිදාවක වැටුණොත් ඉන් පසු එළඹෙන සඳුදා දිනය නිවාඩු දිනයක් වෙනවා. ඒ නිසා, මේ නිවාඩු දවසකිනුත් දිගු සති අන්තයක් හැදෙන්න 4/7ක සම්භාවිතාවක් තිබෙනවා.

කලින් ලිපියට ප්‍රතිචාරයක් දමමින් කට්ටකාඩුවේ ලොකු මල්ලී විසින් නිවැරදිව හඳුනාගෙන තිබෙන පරිදි, මේ නිවාඩු දවස් දහයෙන් වැඩි ප්‍රමාණයක් ඇමරිකානුවන් අත් විඳින සිවිල් නිදහස හා සම්බන්ධයි. ඇමරිකාවේ මුල් ජනපද 13 එක්ව ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරමින් වත්මන් ඇමරිකා එක්සත් ජනපදය පිටුවීම නිදහස් දිනයේදී සැමරෙනවා. වත්මන් ඇමරිකානුවන් භුක්ති විඳින නිදහසේ අඩිතාලම වන්නේ මෙසේ ඇමරිකන් රාජ්‍යය පිහිටුවීමයි. වොෂින්ටන්ගේ උපන් දිනය සැමරෙන්නේ මෙසේ පිහිටවූ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පළමු ජනාධිපති වූ ජෝජ් වොෂින්ටන් සිහිපත් කිරීමටයි.

නිවාඩු දින දහයෙන් තවත් නිවාඩු දින දෙකක් මෙසේ පිහිටවූ රාජ්‍යය මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ රාජ්‍යය ආරක්ෂා කර ගැනීම හා සම්බන්ධයි. වෙතරානුවන්ගේ දිනය යෙදෙන්නේ පළමු ලෝක යුද්ධය අවසන් වූ දිනයි. සිහි කිරීමේ දිනයේදී පොදුවේ විවිධ යුද්ධ වලදී ඇමරිකන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දිවිදුන් ආරක්ෂක හමුදා සාමාජිකයින් සිහිපත් කෙරෙනවා. කම්කරු දිනයේදී ඇමරිකන් කම්කරු ව්‍යාපාරය විසින් ලබාගත් ජයග්‍රහණ සැමරෙන අතර,  මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) දිනයේ දී සැමරෙන්නේ අප්‍රිකානු ඇමරිකානු සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකුවයි. මේ අනුව, ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දහයෙන් අඩු වශයෙන් හයක් සෘජුවම ඇමරිකානු රාජ්‍යය පිහිටුවීම, ආරක්ෂා කර ගැනීම හා ඇමරිකානු සිවිල් නිදහස හා සම්බන්ධයි.

ඉතිරි නිවාඩු දින හතරට තිබෙන්නේ සංස්කෘතික පසුබිමක් කියා කිව හැකියි. අලුත් අවුරුදු නිවාඩුව අලුත් වසරක ආරම්භයයි.

ජනවාරි පළමුවෙනිදා ඇමරිකාවේ අලුත් අවුරුදු දිනය සේ සැලකෙන්නේ යුරෝපීයයන් ඇමරිකා මහාද්වීපයේ පැලපදියම් වී ජුලියන් කැලැන්ඩරයද සමඟ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකානු භූමියේ පැල කරනු ලැබීම නිසයි. එයට අඩිතාලම වැටෙන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකානු මහාද්වීපයේ පය තැබීමෙන් පසුවයි. ඒ අනුව, කොලොම්බස් දින නිවාඩුවෙන් සැමරෙන්නේ බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවේ පැලපදියම් වීමේ ආරම්භයයි.

කොලොම්බස්ගේ පැමිණීම බටහිර යුරෝපීය සම්භවයක් ඇති අයට අභිමානයෙන් සිහිපත් කළ හැකි දෙයක් වුවත්, ඒ වන විට ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වූ දේශීය ඇමරිකානුවන්ගෙන් පැවැත එන්නන්ට ඒ දිහා ඒ ආකාරයෙන්ම බලන්න පුළුවන්කමක් නැහැ. බටහිර යුරෝපීය සංස්කෘතිය ඇමරිකාවට පැමිණුනේ ඒ වන විට පැවති දේශීය සංස්කෘතිය මරා දමමිනුයි. ඒ නිසා, කොලොම්බස් දිනය සැමරීම තරමක් විවාදිත කරුණක්. මේ හේතුව නිසා, ඇතැම් ප්‍රාන්ත වල මේ දිනය කොලොම්බස් දිනය සේ සමරනු වෙනුවට ආදි ඇමරිකානු දිනය සේ නම් කර සමරනු ලබනවා. අලුත් අවුරුදු දිනය හා කොලොම්බස් දිනය නිවාඩු දින සේ සැළකෙන්නේ සංස්කෘතික හේතු මතයි. ඒ දවස් කවර හෝ ආගමක ආගමික සිදුවීම් හා අදාළ දවස් නෙමෙයි.

ස්තුති කිරීමේ දිනයේ සුළු වශයෙන් ආගමික ලක්ෂණ තිබෙනවා. නමුත්, එය කිසිසේත්ම ආගමික උත්සවයක් සේ හැඳින්විය නොහැකියි. මෙය විවිධ ශිෂ්ඨාචාර වල දැකිය හැකි අළුත් අස්වනු මංගල්‍යයක් වැනි දෙයක්. මා කුඩා කාලයේ ලංකාවේ ඇතැම් ගම් වල යකුන් පිදීම නම් වූ කටයුත්තක් සිදු වුණා. එය බෞද්ධ හෝ හින්දු ආගමික ලක්ෂණ තිබුණු දෙයක් නෙමෙයි. මේ හා අදාළව හොඳින්ම මත තිබෙන එක් දෙයක් කහ රොටී. ස්තුති කිරීමේ දිනයේදී ලැබුණු අස්වනු ආදිය වෙනුවෙන් දෙවියන්ට ස්තුති කිරීමක් සිදු වුවත්, මෙය ආගමික කටයුත්තක් කියා කියන්න බැහැ.

ඇමරිකාවේ ෆෙඩරල් නිවාඩු දින දහයෙන් ආගමික නිවාඩුවක් සේ හැඳින්වීමේ ඉඩකඩක් තිබෙන්නේ නත්තල් නිවාඩුව හා අදාළව පමණයි. නත්තල සැමරීමේ ඉතා පැහැදිලි ආගමික පසුබිමක් තිබුණත්, මේ වෙද්දී නත්තල සැමරීමත් සෑහෙන දුරකට සංස්කෘතික හා වාණිජ කටයුත්තක්.

(Image: https://www.researchsnipers.com/holiday-to-be-observed-in-sindh-on-october-30th/)

3 comments:

  1. ලංකාවේ නිවාඩු ගැන නම් කියලා වැඩක් නැහැ. රටක් දියුණු වෙන්නේ 'වැඩ කරලා' මිසක් නිවාඩු ලබාගෙන නොවෙයි කියලා ලංකාවේ මිනිසුන්ට සහ පාලකයින්ට තේරුම් යනකොට පෙරහැර ගිහිං.
    1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජේ ආර්, ගාමණී ජයසුරිය, නිස්සංක විජේරත්න, රනිල් වික්‍රමසිංහ ඇතුළු ආදී රාජකීයයන් පිළිගැනීමේ උත්සවයක් රාජකීය විදුහලේ පැවැත්වුනා. අනුර බණ්ඩාරනායකත් හිටියා මතකයි. උත්සවය පැවැත්වුනේ අඟහරුවාදා දිනකයි. අධ්‍යාපන අමාත්‍ය නිස්සංක විජේරත්න මහතාගේ කතාව අවසානයේ අපි නිවාඩුවක් ඉල්ලා කෑ ගැසුවා. එතුමා පහුවෙනිදා (බදාදා) නිවාඩු දුන්නා. උත්සවයේ ප්‍රධාන ආරාධිත වූ අග්‍රාමාත්‍ය ජේ ආර් ජයවර්ධන මහතාගේ කතාව අවසානයේ දීත් අපි නිවාඩුවක් ඉල්ලා කෑ ගැසුවා. ආවොත් නිවාඩුවක්, නැති උනොත් වචනයක් විතයි නේ. එවිට ජේ ආර් "මම මගේ අධ්‍යාපන ඇමතිට බ්‍රහස්පතින්දා හා සිකුරාදා දින දෙක නිවාඩු දෙන ලෙස නියෝග කරනවා" කියා (මේවා ඔක්කොම කියැවුනේ ඉංගිරිස් වලින් බව කිවයුතු නැහැනේ ) කිව්වා.
    අපි කොලුකමට කෑ ගහපු එක ඇත්තයි. නමුත් වැඩිහිටියන් වූ රාජ්‍ය පාලකයින්, තාවකාලික ජනප්‍රියත්වයක් ලබා ගැනීමට මෙවැනි දේ නොකර අධ්‍යාපනයේ වටිනාකම අපිට පැහැදිලි කර දී (මේ උත්සවය නිසා ඒ වන විටත් දින කිහිපයක් අධ්‍යාපන කටයුතු අඩපණ වෙන්න ඇති) , නිවාඩු ලබා නොදුන්නා නම් හොඳයි කියලා තේරෙන්නේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව කුමක්දැයි වටහාගත යුතුයි.
      1815 සිට අද දක්වා මෙරට ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
      මෙහි ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කාතිය ප්‍රධාන සංස්කෘතිය ලෙසත් සිංහල, දෙමළ මුස්ලිම් සංස්කෘතීන්ට සමාන තැනක් ලැබිය යුතුයැයි මතයක් ඇතිවුනා.
      ඒ සමඟම නිදහසින් පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට ප්‍රධාන තැන ලැබිය යුතුයැයි සිංහල බෞද්ධයන් අතර මතයක් ඇතිවුනා. මෙම හේතු නිසා සිංහල බෞද්දයන්ට වැදගත්වන නිවාඩු දින නිල නිවාඩු දින ලෙස නම් කිරීමටත්. ඒ සමඟම දෙමළ මුස්ලිම් වාර්ගිකයන්ට වැදගත් වන දිනත් නිවාඩු දින ලෙස නම් කිරීමටත් සිදුවුනා. ලංකාවේ නිවාඩු වැඩිවීමට හේතුව ප්‍රධාන සංස්කාතිය සහ මහජාතියේ සංස්කාතිය එකක් නොවීම ලෙස සැලකිය හැකියි.

      Delete
  2. මේ බ්ලොග් එක ලියන්නේ පාසල් ළමයෙක්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: