වෙබ් ලිපිනය:

Monday, August 19, 2019

ජවිපෙ මැතිවරණ පුරාණය


ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වන විට එම පක්ෂයේ ඉතිහාසය වසර පණහකටත් වඩා වැඩියි. පක්ෂය හදන කාලයේ එහි නිර්මාතෘ රෝහණ විජේවීර වයස අවුරුදු විසි එකක තරුණයෙක්. පළමු කැරැල්ලට සහභාගී වූ තරුණයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 20ක් සේ සැලකෙනවා.

රෝහණ විජේවීරව මරා දමන විට ඔහුගේ වයස අවුරුදු 46යි. පළමු කැරැල්ලට සහභාගී වූ අය ඒ වන විට ජීවත්ව සිටියේනම් ඒ බොහෝ දෙනෙක්ගේ වයසද ආසන්න වශයෙන් එපමණ වෙනවා. නමුත්, විජේවීරගේ මරණය සිදුවුණු කාලය වන විට පළමු කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක් ජවිපෙ සමඟ සිටියේ නැහැ. ඒ වන විට ජවිපෙ සමඟ සිටි හා ජවිපෙ දෙවන කැරැල්ලට සහභාගී වූ බොහෝ අය ඒ කාලය වන විට අවුරුදු විස්සකට ආසන්නව සිටි අයයි.

ජවිපෙ ආරම්භයේ සිට දෙවන කැරැල්ල අවසන් වූ කාලය දක්වාම එම පක්ෂයේ සාමාජිකයින්ව සිටියේ තරුණ තරුණියන්. ඒ හැර ජවිපෙ පවුල් කියා කිව හැකි පවුල් නොතිබුණු තරම්. මුල් කැරැල්ලට සහභාගී වූ බොහෝ දෙනෙක්ගේ දෙමවුපියන් සම්ප්‍රදායිකව පැරණි වාමාංශික පක්ෂයකට සහයෝගය දැක්වූ අය. දෙවන කැරැල්ලට සහයෝගය දැක්වූ බොහෝ දෙනෙකුගේ දෙමවුපියන් ශ්‍රීලනිප පාක්ෂිකයින්. මේ අය අතරින් බොහෝ දෙනෙකු තමන්ගේ දරුවන් ජවිපෙ සාමාජිකයින්ව සිටින බව දැන සිටියේ නැහැ.

ජවිපෙ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පටන් ගත්තේ දෙවන කැරැල්ලෙන් පසුව නෙමෙයි. එහෙත්, දෙවන කැරැල්ල පරාජය වීමෙන් පසුව එම පක්ෂය දිගටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කරමින් සිටිනවා. එම කාලය දශක දෙකකට ආසන්නයි.

දෙවන කැරැල්ලෙන් පසුව පක්ෂය නැවත ගොඩ නැගූ එවකට තරුණ වියේ සිටි නායකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එම පක්ෂයේ නායකයින් ලෙස කටයුතු කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් මේ වන විට රෝහණ විජේවීර මිය යන විට සිටි වයස පහු කරලා. මේ වන විට ජවිපෙ හා අදාළ තීරණ ගන්නේ වයස අවුරුදු පණහක් පමණ වූ පරිණත පිරිසක්. පක්ෂයේ නායක හා ජනාධිපති අපේක්ෂක අනුර කුමාරත් වයස අවුරුදු පණහක් වූ පරිණත පුද්ගලයෙක්.

ජවිපෙ තව දුරටත් තරුණයින්ගේ පක්ෂයක් නෙමෙයි. පක්ෂයේ ඉහළ තලයේ සිටින පුද්ගලයින් සමඟම ජවිපෙද පරිණත වී තිබෙනවා. මේ වන විට ජවිපෙ පවුල් කියා හැඳින්විය හැකි පවුල් රටේ සිටිනවා. තරුණයෙකු තව දුරටත් ගෙදරට හොරෙන් ජවිපෙ දේශපාලනය කළ යුතුද නැහැ.

ජවිපෙ මුලින්ම ජනාධිපතිවරණයකට තරඟ කළේ 1982දී. එය ලංකාවේ පළමු ජනාධිපතිවරණයද වූවා. ජනාධිපතිවරණයට තරඟ කළේ පක්ෂයේ නිර්මාතෘ හා එවකටද නායකයා වූ රෝහණ විජේවීරමයි.

මේ පළමු ජනාධිපතිවරණය පැවැත්වෙන විට රටේ ජනාධිපතිව සිටියේ ජේආර් ජයවර්ධනයි. ජනාධිපතිවරණයේ ප්‍රමුඛ අපේක්ෂකයාව සිටියේද එජාපයෙන් තරඟ කළ ඔහුමයි. රටේ මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය සියල්ලක්ම තුළ ජේආර්ගේ ඒකාධිකාරය පැහැදිලි ලෙස කැපී පෙනුනා.

පළමු ජනාධිපතිවරණයේදී ජේආර්ගේ ප්‍රතිවාදියා ලෙස සටනක් දීමේ වැඩිම ශක්‍යතාව තිබුණේ ශ්‍රීලනිප නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායකට වුවත්, ජනාධිපතිවරණය පැවැත්වෙන විට ඇගේ ප්‍රජා අයිතිය අහිමිව තිබූ බැවින් ඇයට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඊට අමතරව ඒ වන විට ශ්‍රීලනිපය දෙපිලකට බෙදී පක්ෂයේ අයිතිය හා සම්බන්ධවද ගැටළු පැන නැගී තිබුණා. ශ්‍රීලනිප අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට එම පක්ෂයේ සියලු දෙනාගේම ආශීර්වාදය ලැබුණේ නැහැ. මේ තත්ත්වය තුළ 1982 ජනාධිපතිවරණය තනි අස්සයෙකු දිවූ තරඟයක්.

මේ කාලය වෙද්දී ජවිපෙ ඉලක්කය වූයේ රටේ දෙවන ප්‍රධාන දේශපාලන බලවේගය ලෙස ශ්‍රීලනිපය අභිබවා ඉදිරියට පැමිණීමයි. ජනාධිපතිවරණයේදී තමන්ට ආණ්ඩුවට එරෙහි ඡන්ද වලින් විශාල කොටසක් ලබා ගත හැකි වනු ඇති බව රෝහණ විජේවීර විසින් තක්සේරු කර තිබෙන්න ඇති. කෙසේ වුවත්, ඔහුට ලබා ගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රමාණයෙන් 4.19%ක් පමණයි.

දෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට එජාපයට පෙර වූ ජනප්‍රියත්වය තව දුරටත් එසේම තිබුණේ නැහැ. තෙවන අපේක්ෂකයෙකු ලෙස ඔසී අබේගුණසේකරද ඉදිරිපත්ව සිටියත්, ශ්‍රීලනිප අපේක්ෂිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ඒ වන විට එජාපය සමඟ තරඟ කළ හැකි මට්ටමකට ජනප්‍රිය සිටියා. ජේආර් ජයවර්ධන විසින් රණසිංහ ප්‍රේමදාසට අවස්ථාව ලබා දුන්නේ පැරදෙන්නට නියමිත බව පෙනෙන්නට තිබුණු ජනාධිපතිවරණයකට තරඟ කිරීමටයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මුලින්ම ඉදිරිපත් වූයේ ජවිපෙද ඇතුළත් පක්ෂ අටක සන්ධානයක පොදු අපේක්ෂිකාව ලෙසයි. එහෙත්, මැතිවරණයට පෙර ජවිපෙ මේ පොදු සන්ධානයෙන් ඉවත් වුනා. එක පැත්තකින් ජවිපෙ විසින් සන්ධානයකට ඇතුළු වී ශ්‍රීලනිප ඡන්ද තමන් වෙත හරවා ගැනීමට උත්සාහ කරද්දී, ශ්‍රීලනිප විසින් එජාපයට එරෙහිව ජවිපෙ ඉදිරියට දමා පැත්තක සිට පහසුවෙන් බලය ලබා ගන්නට උත්සාහ කිරීම මේ සන්ධානය බිඳ වැටීමට හේතු වූවා විය හැකියි.

දෙවන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වීමට ප්‍රධානම හේතුව වූයේ ජවිපෙ භූමිකාවයි. ජවිපෙ විසින් එම මැතිවරණය වර්ජනය කිරීමෙන් නොනැවතී මැතිවරණ රාජකාරි වල නියැලෙන පුද්ගලයින්ට මෙන්ම ඡන්දය දමන්නන්ටද මරණ තර්ජන එල්ල කළා පමණක් නොව මැතිවරණ රාජකාරි වල නියැලුණු ඇතැම් නිලධාරීන්ව වෙඩි තබා මරා දැමුවා. මේ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි වල නියැළුණු අයෙකු ලෙස අනෙකුත් නිලධාරීන් හා ඡන්දදායකයින් සිටි මානසිකත්වය මා පෞද්ගලිකවම අත් විඳි දෙයක්. ඡන්ද පොළ රාජකාරි කළ බොහෝ දෙනෙකු පෙර දින හරියකට නින්දක් ලැබුවේ නැහැ. පළමුවෙන් ඡන්දය දමන පස් දෙනා මරා දමන බව දන්වා තිබුණු නිසා, බොහෝ දෙනෙක් වෙනත් අය ඡන්දය දමන තුරු බලා සිටියා.

ජවිපෙ දෙවන කැරැල්ලේ බලපෑම වැඩිපුරම තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායකට වැඩිම සහයෝගයක් තිබුණු ප්‍රදේශ වලයි. ඒ නිසා, ඡන්ද වැළැක්වීම වැඩිපුරම බලපෑවේ ඈ වෙනුවෙන් ඡන්දය භාවිතා කළ හැකිව තිබුණු ඡන්දදායකයින්ටයි. ජවිපෙ තර්ජන නොවන්නට රණසිංහ ප්‍රේමදාසටට එවර ලංකාවේ ජනාධිපති නොවිය හැකිව තිබුණා.

ජවිපෙ අපේක්ෂාව වූයේද දෙවන ජනාධිපතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරනු දැකීමයි. මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක ජයග්‍රහණය කළහොත් එජාප විරෝධී බලවේග දෙකට බෙදෙනු ඇති බවත්,  එජාපය ජය ගැනීමෙන් පසුව සියලු ආණ්ඩු විරෝධී බලවේග තමන් වටා එකතු කරගෙන රාජ්‍ය බලය ලබා ගැනීම පහසු වනු ඇති බවත් ජවිපෙ තක්සේරුව වුනා. ඇත්තටම සිදු වූ දෙය නැවත විස්තර කළ යුතු නැහැ.

කොහොම වුනත්, ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ හෝ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කළ පළමු අවස්ථාව ලෙස 1988 ජනාධිපතිවරණය හඳුනාගත හැකියි.

තෙවන ජනාධිපතිවරණය පැවැත්වෙන විට ජවිපෙ නැවත සංවිධානය වී පළමු වරට පාර්ලිමේන්තු නියෝජනයක්ද හිමි කර ගෙන සිටියා. එම පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් නාම යෝජනා භාර දුන්නා. නමුත්, මේ වන විටත් ජවිපෙට රට පුරා නිදහසේ ඡන්ද ප්‍රචාරණය කළ හැකි වාතාවරණයක් හෝ ප්‍රබල යාන්ත්‍රණයක් නොතිබුණු නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ඉඩකඩක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වගේම, මේ මැතිවරණය ආසන්නයේදී ගාමිණී දිසානායක ඝාතනය වීම හා එජාපයෙන් තරඟය සඳහා ඉදිරිපත් කළ ඔහුගේ බිරිඳ ශ්‍රීමා දිසානායක ප්‍රබල ප්‍රතිවාදිනියක නොවීම නිසා එජනිස අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ජයග්‍රහණය පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

වසරක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට චන්ද්‍රිකාගෙන් පොරොන්දුවක් ලබා ගනිමින් නිහාල් ගලප්පත්ති නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා. මේ පොරොන්දුව ඉටු නොවන පොරොන්දුවක් බව ජවිපෙ දැන නොසිටින්නට හේතුවක් නැහැ.  චන්ද්‍රිකාට ජයග්‍රහණය කිරීමට ජවිපෙ සහයෝගය වැදගත් නොවූවත්, ඒ වෙලාවේ විධායක ජනාධිපති ධුරයට රටේ තිබුණු විරෝධය අනුව මේ පොරොන්දුව නොදී සිටීමේ දේශපාලනික හානියක් ඇයට තිබුණා. පොරොන්දුව ලබා ගැනීම හරහා කෙටිකාලීනව චන්ද්‍රිකාගේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කීමේ හැකියාව මෙන්ම දිගුකාලීනව චන්ද්‍රිකා යනු විශ්වාසය තැබිය නොහැකි තැනැත්තියක බව පෙන්වා දීමේ වාසි ජවිපෙ විසින් ලබා ගත්තා.

සිවුවන ජනාධිපතිවරණය පැවැත්වුණු 1999 වන විට චන්ද්‍රිකාගේ ජනප්‍රියත්වය සෑහෙන පමණකින් ගිලිහී තිබුණත්, එජාපයේ "දාහත් අවුරුදු සාපය" බොහෝ දෙනෙකුට අමතක වී නොතිබුණු නිසා චන්ද්‍රිකාට එරෙහිව තරඟ කළ රනිල් වික්‍රමසිංහට චන්ද්‍රිකාව මිනිස්සුන්ට එපා වීමේ වාසිය ලබා ගත හැකි තත්ත්වයක් ද තිබුණේ නැහැ. මේ ආකාරයට ප්‍රධාන පක්ෂ දෙක කෙරෙහිම කළ කිරුණු සැලකිය යුතු ඡන්ද දායක පිරිසක් සිටීම ජවිපෙ වැනි තෙවන බලවේගයකට වාසිදායක තත්ත්වයක්. අනෙක් අතින් මේ වන විට ජවිපෙ සංවිධාන ජාලය නැවතත් රට පුරා ව්‍යාප්ත වී තිබුණා.

ජයග්‍රහණය ඉතා දුරස්ථ බව දැන දැනම නන්දන ගුණතිලකව සිවුවන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමෙන් ජවිපෙ කරුණු කිහිපයක් ඉලක්ක කරන්නට ඇතැයි සිතිය හැකියි. පළමුව, මෙය ඔවුන්ට ඔවුන් සතු ඡන්දදායක පදනම ඇස්තමේන්තු කර ගැනීමට උදවුවක්.  දෙවනුව, ඔවුන්ට යම් නියෝජනයක් ලබා ගත හැකි බව පෙනෙන්නට තිබුණු මහ මැතිවරණයට ඉදිරිපත් වන්නට පෙර මෙවැනි ප්‍රධාන මැතිවරණයකට ඉදිරිපත් වීමෙන් මහ මැතිවරණයේදී ප්‍රචාරක වාසියක් ලබා ගත හැකියි.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නන්දන ගුණතිලකව තෝරා ගත්තත් ඔහු ඒ වන විට ජවිපෙ නායකයා නෙමෙයි. ඒ වගේම, ඔහුට වඩා ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුම ඒ වෙද්දී ජවිපෙ සතුව සිටියා. එසේ තිබියදී නන්දන ගුණතිලකව අපේක්ෂකයා සේ ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්න ඇත්තේ මහ මැතිවරණයට පෙර අඩු වශයෙන් රට හඳුනන තවත් එක් අපේක්ෂකයෙකු බිහි කර ගැනීම විය හැකියි. මේ වෙද්දී ජවිපෙ සතුව දිස්ත්‍රික් නායකයින් සේ දැමීමට අවශ්‍ය තරමට හෝ රට හඳුනන පුද්ගලයින් සිටියේ නැහැ.

සිවුවන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයට තෙවන අපේක්ෂකයෙකු ලෙස නන්දන ගුණතිලක ඉදිරිපත් වීම බලපෑවේයැයි සිතිය නොහැකියි. චන්ද්‍රිකා කුමාරතුංගගේ ඡන්ද ප්‍රතිශතය පළමු වාරයට සාපේක්ෂව විශාල ලෙස පහත වැටී තිබුණත්, ඈ 50% මට්ටම ඉක්මවා ඡන්ද ලබාගත්තා. යම් හෙයකින්, ජවිපෙ මැදිහත්වීම හේතුවෙන් ප්‍රතිඵලය වෙනස් වීමේ ඉඩකඩක් තිබුණේ වුවද මේ අවස්ථාව වන විට එය ජවිපෙට ප්‍රශ්නයක් වන්නට හේතුවක් නැහැ. ඔවුන්ට රනිල් හා චන්ද්‍රිකා අතරින් එක් නිශ්චිත අයෙකු බලයට පත් කර ගැනීමට විශේෂ කැමැත්තක් නොතිබෙන්න ඇති.

නන්දන ගුණතිලක විසින් 1999 ජනාධිපතිවරණයේදී 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. මේ ප්‍රතිශතය 1982දී රෝහණ විජේවීර විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයට ඉතා ආසන්නයි. 2000 මහ මැතිවරණයේදී ජවිපෙ ඡන්ද පදනම 6.00% දක්වාත්, 2001 වන විට 9.10% දක්වාත් වර්ධනය වුනා. ඒ ගැම්මටම ගියානම් ජවිපෙට තනි පක්ෂයක් ලෙස තවත් ඉදිරියට යා හැකිව තිබුණා. එහෙත්, 2004 මහ මැතිවරණය අබිමුව එජනිස ලෙස ශ්‍රීලනිපය හා සන්ධානගත වීම නිසා ජවිපෙට තාවකාලික වාසියක් ලැබුණත් එයින් දිගුකාලීනව එම පක්ෂයට සිදු වූයේ හානියක්.

ආරම්භයේ සිට ඉතා මෑතක් වන තුරුම ජනතා විමුක්ති පෙරමුණේ ඉලක්කය වුනේ ශ්‍රීලනිප හා පැරණි වාමාංශික පක්ෂ වටා එක්රැස් වී සිටි එජාප විරෝධී ජන කොටස් තම පක්ෂය වටා එකතු කර ගන්නයි. ඔවුන්ට බොහෝ විට මේ ඉලක්කයට යන්න පුදුම හදිස්සියක් තිබුණා. හදිස්සියට හේතුව වෙන්න ඇත්තේ පක්ෂය වගේම පක්ෂයේ සාමාජිකයින් වැඩි දෙනෙක්ද දුර දිග නොබලා හදිසි තීරණ ගන්නා වයසක සිටීම වෙන්න ඇති.

වේගයෙන් වර්ධනය වෙමින් තිබුණු හා ඒ වන විටත් 9.10% මට්ටමට වර්ධනය වී තිබුණු ඡන්ද පදමනක් අතේ තියාගෙන ශ්‍රීලනිපය සමඟ සන්ධානයක් හදන්න ජවිපෙ යොමු වෙන්න ඇත්තේ එසේ කිරීමෙන් තමන්ගේ දිගුකාලීන ඉලක්කයට වඩා ඉක්මණින් යා හැකි වනු ඇතැයි සිතූ නිසා වෙන්න ඇති. මේ දිගුකාලීන ඉලක්කය තමන්ගේ ජන පදනම වඩා පුළුල් කරගැනීම මිස පාර්ලිමේන්තු නියෝජනය වඩා වැඩි කර ගැනීම වූවා කියා මා හිතන්නේ නැහැ. එහෙත්, 2004 මහ මැතිවරණයේදී ජවිපෙ පාර්ලිමේන්තු නියෝජනය අපේක්ෂා නොකළ ලෙස 39 දක්වා ඉහළ ගියා.

මේ මැතිවරණයේදී මා ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කර ඉන් පසුව ගණන් කිරීමේ මධ්‍යස්ථානයකද කටයුතු කළා. ඒ නිසා, ඡන්ද පොළ නියෝජිතයින්, අපේක්ෂයින් හා ඡන්දදායකයින්ගේ හැසිරීම් මෙන්ම ඡන්ද හා මනාප සලකුණු වී තිබුණු රටාවන්ද පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව, පෙනී ගියේ තමන්ගේ නියෝජනය වැඩි කර ගැනීම සඳහා ජවිපෙ අනුගමනය කළ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබුණු බවයි.

එම මැතිවරණයේදී සාමාන්‍ය ශ්‍රීලනිප ඡන්දදායකයින්ගෙන් ජවිපෙ ඉල්ලා සිටියේ ජවිපෙ අපේක්ෂකයෙකුටත් එක් මනාපයක් ලබා දෙන ලෙසයි. ශ්‍රීලනිප අපේක්ෂකයින් මෙය ප්‍රශ්නයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් අවධානය යොමු කළේ තමන්ගේ පිලේම තරඟකරුවන් අභිබවා වැඩි මනාප ගන්නයි. එතරම් ප්‍රසිද්ධියක් නැති ජවිපෙ අපේක්ෂකයින් විසින් තේරී පත් වීමට ප්‍රමාණවත් මනාප ප්‍රමාණයක් ලබා ගනු ඇතැයි ඔවුන් විශ්වාස කළේ නැහැ. සරලව කියනවානම් ඔවුන් බලාගෙන හිටියේ ජවිපෙ උදවුවෙන් තමන්ගේ නියෝජනය හා මනාප ප්‍රමාණය වැඩි කරගන්නයි.

ජවිපෙ විසින් පොදුවේ සියලුම ඡන්දදායකයින්ගෙන් අඩු වශයෙන් එක් මනාපයක් හෝ ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතරම ජවිපෙ අපේක්ෂකයින්ට පමණක් මනාප දෙන මෙන් තමන්ගේ පාක්ෂිකයින්ව දැනුවත් කර තිබුණා. මෙහි අවසාන ප්‍රතිඵලය ලෙස බොහෝ දිස්ත්‍රික්ක වල ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින් වැඩිම මනාප ලබමින් තේරී පත් වුනා. ජවිපෙට ඇමති ධුර හතරක්ද හිමි වුනා. මේ මැතිවරණයට බෞද්ධ භික්ෂූන් ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයද තනිව තරඟ කර මන්ත්‍රී ධුර නවයක් හිමි කර ගත්තා.

මහින්ද රාජපක්ෂ පළමු වර ජනාධිපති ධුරයට තරඟ කරද්දී ඔහු පසුපස සිටි ප්‍රධානම බලවේග දෙක ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමයයි. මැතිවරණයෙන් ජයගත් මහින්ද හා ප්‍රධාන ප්‍රතිවාදියා වූ රනිල් අතර වූ පරතරය 1.86%ක් පමණයි. මෙතෙක් පැවති වෙනත් කිසිදු ජනාධිපතිවරණයකදී සටන මෙතරම් තීව්‍ර ලෙස පැවතී නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය යන පාර්ශ්ව දෙකෙන් එකක් හෝ මහින්දට සහයෝගය ලබා නුදුන්නානම් 2005දී ජනාධිපති වෙන්නේ රනිල් වික්‍රමසිංහයි. එම පාර්ශ්ව දෙකේ සහාය ලැබුණත්, එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ ඡන්ද දැමීම නොවැළැක්වූයේනම් මහින්දට දිනන්න ලැබෙන්නේ නැහැ. 2005 ජනාධිපතිවරණය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළේයැයි සැලකිය හැකි දෙවන අවස්ථාවයි.

එක වර ලැබුණු මන්ත්‍රී ධුර 39 වගේම ඇමති ධුර හතරත් ජවිපෙට දරා ගත හැකි වූයේ නැහැ. පක්ෂයක් ලෙස ජවිපෙ රාජ්‍ය පාලනයට දායක විය හැකි තරමට පරිණත වී සිටියේ නැහැ. ඔවුන් පුරුදු වී සිටියේ පවතින ආණ්ඩු විසින් කරන දේවල් වලට විරුද්ධ වීමට පමණයි. ඒ නිසා, ලැබුණු ආණ්ඩු බලය පක්ෂයේ ජන පදනම වර්ධනය කර ගැනීම සඳහා උදවු කර ගැනීමට ජවිපෙ සමත් වුනේ නැහැ. ඒ අතර, ජවිපෙ ජාතිකවාදී හා ජනප්‍රියවාදී කොටස් ජවිපෙන් ගලවා තමන් වෙත ලං කර ගැනීමට මහින්ද සමත් වීම නිසා එක පැත්තකින් ජවිපෙ හා ශ්‍රීලනිපය අතර දීගය කැඩී යාමත් අනික් පැත්තෙන් ජවිපෙ මැතිවරණ ගැම්ම නැති වීමත් සිදු වුනා.

යුද ජයග්‍රහණයෙන් පසුව මහින්දගේ ජනප්‍රියත්වය විශාල ලෙස ඉහළ ගියා. ඔහුට දෙවන වර තේරී පත් වෙන්න ජවිපෙ හෝ වෙනත් කිසිදු තෙවන පාර්ශ්වයක සහාය අවශ්‍ය වූයේ නැහැ. ඔහුගේ ජයග්‍රහණය වලක්වන්න ජවිපෙට පුළුවන්කමක් නොතිබුණත්, එජාපයේද සහයෝගය ලබන පොදු අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකාව මහින්දට එරෙහිව ඉදිරිපත් කරමින් ජවිපෙ ඒ සඳහා උත්සාහයක් ගත්තා. ඉන් පසුව සරත් ෆොන්සේකා පාර්ශ්වය සමඟ සන්ධානයක් හදාගෙන 2005 මැතිවරණයට ඉදිරිපත් වූවත්, එහිදී එම සන්ධානයට ලැබුණේ 5.59%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ වන විට ජාතිකවාදී ඡන්ද ආකර්ශනය කර ගත හැකි තැනක ජවිපෙ නොසිටියාක් මෙන්ම මතවාදී ලෙස ජවිපෙ ජාතිකවාදයෙන් බැහැර වෙමින් සිටියා.

දෙවන කැරැල්ලෙන් පසුව ජවිපෙ තුළ සිදු වූ පළමු විභේදනය විමල් වීරවංශ පාර්ශ්වය ඉවත්ව යාමයි. ඔහු ජවිපෙ මැතිවරණ වේදිකා වල වැඩිම ආකර්ශනයක් ලබාගත් කථිකයා ලෙස හැඳින්විය හැකියි. ජවිපෙන් ඉවත් වීමෙන් පසුව මේ දක්වාම ඔහු ජවිපෙට එරෙහිව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සේවය කරමින් සිටිනවා.

විමල් වීරවංශ පාර්ශ්වය ඉවත් වීමෙන් පසුව ජවිපෙ දෙවන විභේදනය සිදු වී කුමාර් ගුණරත්නම් පාර්ශ්වය ජවිපෙන් ඉවත්ව ගියා. මැතිවරණ වලට මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් සේ කටයුතු කරන බව පෙන්වූවත් ඒ වන විටත් ජවිපෙ විසින් ඔවුන්ගේ ආරම්භක දේශපාලනික ඉලක්කය වූ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමේ අරමුණ අතහැර තිබුණේ නැහැ. විමල් වීරවංශ පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව ජවිපෙ අභ්‍යන්තරය මෙන්ම ඒ වන විටද යටිබිම්ගතව සිටි ජවිපෙ නායකයින්ද සෑහෙන තරමකින් පිටතට එළිදරවු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස හා වෙනත් කරුණු හේතුවෙන් ජවිපෙ දෙවන විභේදනය සිදු වුනා.

දෙවන විභේදනය නිසා ජවිපෙ ඡන්ද පදනමට හානි වුනේ නැහැ. එයින් සිදු වුනේ ඔවුන්ගේ කාඩර්වරුන් අහිමි වීමයි. මේ වන විටත් රට දැන සිටි හා මැතිවරණ වේදිකා වල දැකිය හැකි වූ ජවිපෙ නායකයින් හැම විටම පක්ෂය ඇතුළේ බලපෑමක් කළ අය හැකි වූයේ නැහැ. රට දැන නොසිටි රහසිගත නායකයින් පක්ෂය ඇතුළේ බලය හෙබවූවා. මේ තත්ත්වය වෙනස් වුනේ දෙවන විභේදනයෙන් පසුවයි. අනුර කුමාර දිසානායක කියා කියන්නේ ජවිපෙ ජාතිකවාදී හා විප්ලවවාදී පාර්ශ්ව පක්ෂයෙන් ඉවත් වීමෙන් පසුව පක්ෂය තුළ ඉදිරියට ආ නායකයෙක්. ඔහුගෙන් නියෝජනය වන්නේ ජවිපෙ දැන් සිටින "නූතන" අදියරයි.

ඉහත කණ්ඩායම් දෙකම ඉවත් වීමෙන් පසුව, 2015 මහ මැතිවරණයේදී තනිව තරඟ කර ජවිපෙ විසින් ලබාගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණ වලදී ජවිපෙ විසින් 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා.

මේ සංඛ්‍යා දෙස බැලූ විට 2015 ජනවාරිය ආසන්නයේදී ජවිපෙ ඡන්ද පදනම පිළිබඳව අදහසක් ගත හැකියි. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන අතර වූ පරතරය 3.70%ක් පමණයි. ඒ අනුව, ජවිපෙ සහයෝගය මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපෑවා. මෙය ජවිපෙ විසින් ලංකාවේ ජනාධිපතිවරණයක ප්‍රතිඵලය වෙනස් කළ තෙවන අවස්ථාවයි.

ජවිපෙ අපේක්ෂකයෙකු තරඟ කර තිබෙන්නේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ හතෙන් දෙකකදී පමණයි. ඒ අවස්ථා දෙකම තෙවන විකල්පයකට රටේ කිසියම් ඉල්ලුමක් තිබුණු අවස්ථා ලෙස මෙන්ම ජවිපෙ පක්ෂ ව්‍යුහයේ කිසියම් සැලකිය යුතු වෙනසක් වීමෙන් පසුව පැවති මුල්ම මැතිවරණ ලෙස සැලකිය හැකියි. අවස්ථා හතෙන් අවස්ථා තුනකදී ඔවුන් තරඟ නොකර ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් වුනා. තවත් එක් අවස්ථාවකදී, 2010දී, ඔවුන් එසේ කිරීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතිරි අවස්ථාවේදී දේශපාලනික වාසියක් ලබා ගනිමින් නොනිල ලෙස තරඟයෙන් ඉවත් වුනා.

අනුර කුමාර දිසානායකව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීම තේරුම් ගන්න වෙන්නේ ජවිපෙ මැතිවරණ ඉතිහාසය හා අදාළ මේ පසුබිම් කරුණු පාදක කර ගනිමිනුයි.

(Image: http://www.dailymirror.lk/print/opinion/can-anuras-logical-oratory-spur-peoples-imagination/172-42702)

7 comments:

  1. සෝමවංශ සහෝදරයාගේ නමවත් නොකියවුණේ නොවැදගත් නිසාද?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස අනුව ඔහුට පක්ෂය ඇතුළේ තිබුණේ සංකේතීය වටිනාකමක් පමණයි.

      Delete
  2. මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්ද?

    ReplyDelete
  3. So, in short JVP is always doing contract for others (except may be Hon Wijeweera)

    ReplyDelete
    Replies
    1. In that election, Hector Kobbekaduwa was the CONTRACTOR.

      Delete
  4. /* 1983 ජනාධිපතිවරණය */

    1982

    ReplyDelete
    Replies
    1. Thanks! Corrected. -Economatta.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: