වෙබ් ලිපිනය:

Sunday, August 11, 2019

ගෝඨාභය


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව මේ වන විට නිල වශයෙන් නම් කර තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම ජන පදනමක් තිබෙන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා, මේ මොහොත වන විට ලංකාවේ මීළඟ ජනාධිපති වීමට වැඩිම ඉඩකඩක් ඇති පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙත්, ඉදිරි දේශපාලන පෙළගැසීම් සිදුවන ආකාරය මත මේ තත්ත්වය වෙනස් වීමේ ඉඩකඩක්ද තිබෙනවා.

ඇමරිකාවේනම් ප්‍රධාන දේශපාලන පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ප්‍රාථමික මැතිවරණ ප්‍රතිඵල අනුවයි. මේ ප්‍රාථමික මැතිවරණ වලදී කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයින් සේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් විසින් තමන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන පුද්ගලයින් අතරින් අයෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරනවා. ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවැනි නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් හෙයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් එම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂයා තේරුවේනම් එම තේරීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීම ඉල්ලුම් සාධක මත තීරණය වූවක්. ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ මෙවැනි ඉල්ලුම් සාධක හඳුනාගත හැකි ඉවක් තිබෙන හා බොහෝ විට ඉල්ලුම් සාධක නොසලකා නොහරින අයෙක්.

පොදුජන පෙරමුණේ සාමාජිකයින් අතර වැඩිම ඉල්ලුමක් තිබුණු ජනාධිපති ධුර අපේක්ෂයා ගෝඨාභය රාජපක්ෂ වුවත් අවසන් සතිය පමණ දක්වාම ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබුණා. ඒ අවිනිශ්චිතතාවයට පාදක වූ සාධක ගණනාවක් අතරින් ප්‍රධාන එකක් වූයේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවයයි.

වාර්තා වන ආකාරයට මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවයෙන් ස්ව-කැමැත්තෙන් මිදී සිටිනවා. ඒ වගේම ඔහු විසින් සිය කැමැත්තෙන් ඇමරිකානු පුරවැසිකමින් මිදීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන අදාළ ලියකියවිලි ඔහු වෙත ලබා දී තිබෙන බවද කියැවෙනවා. මේ බව සඳහන් ෆෙඩරල් රෙජිස්ට්‍රිය තවමත් ප්‍රකාශයට පත් කෙරී නැතත් එය කිසියම් අයෙකු සිය ඇමරිකානු පුරවැසිකම අත් හැරීම පිළිබඳව සිදු කෙරෙන නිවේදනයක් මිස එම කටයුත්ත සම්පූර්ණ වීම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. කෙසේ වුවත්, 2019 දෙවන කාර්තුව හා අදාළ ෆෙඩරල් රෙජිස්ට්‍රියද නුදුරු දිනක ප්‍රකාශයට පත් වීමට ඉඩ තිබෙන නිසා මෙය තහවුරු කර ගැනීමට වැඩි කලක් බලා ඉන්න අවශ්‍ය වන එකක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත් නොවූ හා සෘජුව දේශපාලකයෙකු සේ කටයුතු නොකළ, සිය සොහොයුරා ජනාධිපතිව සිටියදී රාජ්‍ය සේවයේ ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක් පමණක් දැරූ අයෙක්. එහෙත්, එම තනතුරු දරද්දී ඔහු කටයුතු කළ ආකාරය බොහෝ සේ කතාබහට ලක් වී තිබෙනවා.

අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ පළාත් පාලන මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එම පක්ෂයේ සහයෝගය ලැබූ ස්වාධීන කණ්ඩායම් වලට රටේ ඡන්ද වලින් 41.24%ක ප්‍රතිශතයක් ලැබුණා. එම මැතිවරණය පොදුජන පෙරමුණ මුහුණ දුන් පළමු හා එකම මැතිවරණයයි. ඒ වෙද්දී, පොදුජන පෙරමුණ හරියකට නායකයෙකු හෝ නොසිටි අඩමානයට අටවාගත් පක්ෂයක්. එවැනි තත්ත්වයක් යටතේ එම පක්ෂය විසින් 41.24%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ලැබීම කිසිවකු හෝ අපේක්ෂා කළ දෙයක් නෙමෙයි.

මේ වන විට පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ඡන්ද පදනම වැඩි දියුණු වන්නට මිස ගිලිහී තිබෙන්නට කිසිදු හේතුවක් නැහැ. මේ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී අපහසුවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකි ස්ථිර ඡන්ද.

ජනාධිපතිවරණයකට පෙර පොදුජන පෙරමුණ ශ්‍රීලනිපය ප්‍රධාන එජනිසය හා සන්ධානගත වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. පළාත් පාලන මැතිවරණ වලදී එජනිසය හා ශ්‍රීලනිපය විසින් 12.07%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත්, එම ඡන්ද වලින් විශාල කොටසක් පාවෙන ඡන්ද මිස පාක්ෂික ඡන්ද සේ සැලකිය නොහැකියි. මේ පාවෙන ඡන්ද 2015ට පෙර එජනිසයට ලැබුණු, එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් සිංහල බෞද්ධ නාගරික ඡන්ද. ඊට අමතරව මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රීලනිප හා එජනිස ප්‍රාදේශීය නායකයන්ගේ පාලනයට නතු පාක්ෂික ඡන්ද යම් ප්‍රමාණයක්ද මේ 12.07ට ඇතුළත්.

පොදුජන පෙරමුණ විසින් යම් හෙයකින් ශ්‍රීලනිපය හා එජනිසය සමඟ සන්ධානගත නොවූවත් ඉහත කී සිංහල බෞද්ධ නාගරික ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් ආකර්ශනය කරගැනීම පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයාට පහසුවෙන් කළ හැකි දෙයක්. ගෝඨාභය රාජපක්ෂට මෙය වඩාත් පහසුයි. ඊට අමතරව දැනට ශ්‍රීලනිපය හා රැඳී සිටින ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ දෙනෙක්ද ඉදිරි කාලය තුල පොදුජන පෙරමුණ හෝ එජාපය සමඟ එක් වීමට ඉඩ ඇති නිසා ඉතිරි ඡන්ද වලිනුත් වැඩි කොටසක් ක්‍රමයෙන් පොදුජන පෙරමුණ වෙත වැඩියෙන් හා එජාපය වෙත අඩුවෙන් විතැන් වී, හැත්තෑ හතේදී පැරණි වාමාංශික පක්ෂ වලට සිදු වුනාක් මෙන්,  ශ්‍රීලනිපය දිය වී යාමට විශාල ඉඩක් තිබෙනවා. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන නැවත ජනාධිපති ධුරයට තරඟ කළහොත් සාමාන්‍යයෙන් සුළු ජාතික පක්ෂයක ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ජවිපෙ අපේක්ෂකයෙකු ගන්නා ඡන්ද ප්‍රමාණය හෝ ඔහුට නොලැබී යා හැකියි.

පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂව සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එජාප ප්‍රමුඛ ප්‍රතිවාදී පිල යම් පසුබෑමකට ලක්ව ඇති බවක් පෙනෙනවා. ඔවුන්ගේ පිලෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවරෙකුද යන්න පිළිබඳව තවමත් එකඟත්වයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපය විසින් ලබාගන්නට සමත් වූයේ 29.4%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ ප්‍රමාණය මේ වන විට වැඩි වී තිබෙන්නට හේතුවක් නැහැ. ඒ නිසා, එජාපය තනිව තරඟ කළහොත්, අපේක්ෂකයා කවුරු වුවත්, ඔවුන්ට ජය ගැනීමට ඉඩක් නැහැ.

ඉහත 29.4% ප්‍රතිශතය 2015ට පෙර මැතිවරණ වලදී එජාපය තනිව තරඟ කර ලබාගත් ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නයි. මේ එජාපයේ පාක්ෂික ඡන්ද. එවැනි තත්ත්වයක් තිබියදී, එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට සමත් වූයේ ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය එක පිලකට එකතු කර ගැනීමේ හා සිංහල බෞද්ධ නාගරික ඡන්ද සැලකිය යුතු ප්‍රතිශතයක්ද ආකර්ශනය කර ගත හැකි වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

මෙවරද, එජාපය විසින් පුළුල් පෙරමුණක් සේ තරඟ කිරීමට උත්සාහ දරන බවත්, එයට විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නට පෙර පුළුල් පෙරමුණක් ගොඩ නගන්නට එජාපය උත්සාහ කළත් ඔවුන්ට එය තවමත් කරගත හැකි වී නැහැ. එවැනි පුළුල් පෙරමුණක් හදා ගැනීම 2015දී තරම් පහසු නැති බවයි දැනටනම් පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා, මේ මොහොත වෙද්දීනම් ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ පැහැදිලි වාසිදායක තැනකයි.

8 comments:

  1. At this point, it is unthinkable people will vote for UNP (or any alliance with UNP in it).

    Most non urban people (or Baiyo) like me traditionally SLFP (now SLPP) supporters, biggest reason is 88/89 killings of educated young by UNP+JVP in rural Sri Lanka.

    Most urban people (or Toiyo) are business people or just elite Royalists are traditional UNP supporters. However Toiyo are not hardcore like Baiyo, now most business people in Colombo are frustrated about state of economy. There is a general feeling that the individual business income in down by 30%-50% of 2015.

    So there is a big change some Toiyos will vote for Gota, after all Gota mostly work for Colombo after the war.

    One more thing, only DBS Jayaraj said SLPP decided on Gota and he has given up US citizenship in April 2019. Most SL news and blogs either had no clue or just lying, talking about SLPP fighting about 5 candidates.

    ReplyDelete
  2. Econ, why the USA flag and Gota? Is it because you are Citizen of US or you believe Gota is still a Citizen of US? Or something else?

    ReplyDelete
  3. "ගෝට ගැන බය වෙන්න දෙයක් නැහැ". -Mr10%-

    ReplyDelete
  4. ඉකොනො පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ ඒ පක්ෂයේ පලමු සම්මේලනය ලංකාවේ සියලු පුද්ගලික රූපවාහිනි නාලිකාවන් ඔස්සේ සජීවීව විකාශණය කරා. දෙරණ, හිරු, ස්වරණවාහිනී, සිරස, ශක්ති, TV1, සියත, ටීඑන්එල්, දෙරණ24 යන සියළු පුද්ගලික නාලිකා ඔස්සේ එය සජීවී ලෙසින් විකාශණය කරනු ලැබූ අතර එය විකාශනය නොකරන ලද්දේ රජයට අයත් ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය මගින් පමණි.

    මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ඉහළම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිදු රූපවාහිනි නාලිකාවකට තම පක්ෂය විසින් මෙම විකාශණ කටයුතු සඳහා කිසිදු මුදලක් නොගෙවූ බවයි.

    ඔවුන් ස්ව කැමැත්තෙන් නොමිලේ කල විකාශණ කටයුත්තට සිය ස්තුතිය පල කරන බවද සදහන් කලා, විශේෂයෙන් සිරසට ස්තූති කලා
    කලකට පෙර ගෝඨාභය රාජපක්ෂ සමග අසතුටින් සිටියත් ජනතාවගේ මනස වටහා ගත් සිරස නිසි දේ කලා කියල.

    මේ අතරේ ගෝඨාභය රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම විවේචනය කරමින් ඇමැති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

    එමගින් දක්වා සිටින්නේ "රාජපක්ෂ යුගයේ සුදුවෑන් භීෂණයේ සංකේතය වන අමෙරිකානුවා අද මෙරට ජනාධිපතිවරණය සදහා සිය ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවත් නුතන ශ‍්‍රී ලාංකිකයන්ට අතීත අන්ධකාරයට ආපසු යාමට අවශ්‍ය දැයි" ඔහු එමගින් විමසා ඇත.

    කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පරිශීලකයන් විශාල වශයෙන් ඇමැති මංගල සමරවීරට දැඩිලෙස දෝෂාරෝපණය කර ඇත.

    ඇතැමුන් ඉතාම හිරිකිත ලෙස අමු තිත්ත කුනුහරුප මගින් මුදල් ඇමතිවරයාට දැඩි ලෙස බැන වදින්නට ද කටයුතු කර තිබේ.

    ReplyDelete
  5. දැන් තත්වය අගේට විග්‍රහ කර තිබෙනවා. එත් ජනාධිපතිවරණය මේ වසරේම නොපැවැත්වෙනවා නම් රැල්ල බැහැලා යයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය රැල්ල 2016 දී පමණ පටන් අරගෙන දිනෙන් දින වැඩි වෙමින් පවතින මගුලක්. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකයින් දන්න සියලුම සෙල්ලම් දැම්මත් වැඩක් නැති බව තේරුම් අරන් ඉන්නෙ.

      සටකපට ශූර දේශපාලන බුද්ධියෙන් යුතු රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයේ නායකයින් හොඳින් සිතා බලා මරා කල්ලියේ නායකත්වය (මරා ගෝඨාභය සහ බැසිල්) සමග ඩීල් රැසක් දමාගෙන පක්ෂයේ නායක තනතුරු රැකගැනීමටත් අනාගත විපක්ෂනායක තනතුරු තහවුරු කිරීම සඳහා බුද්ධිමත් ලෙස විමසිල්ලෙන් කටයුතු කර ඇති බව පේනවා. කොහොම උනත් රැල්ල බහින්න නම් එක්කෝ ගෝඨාභයට වඩා සුපිරි අතිශයින්ම ආකර්ෂණයක් ඇති කෙනෙක් ස්වාධීනව ඉල්ලන්න ඕන. හැබැයි එහෙම මොකෙක් වත් නෑ.

      අනික් එකම එක ක්‍රමය ගෝඨාභය දිනුවට පසුව ඔහුගේ පාලනය අසාර්ථක වුණොත්. එහෙම නැත්නම් රැල්ල තව තවත් වර්ධනය වීම විතරයි වෙන්නේ මේ අතිශය අසාර්ථක හිරිකිත එජාපයේ පාලනය තුල.

      Delete
  6. මහත්තයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයෙන් ඉවත්කල පසු පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයට බැඳුනාද?

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: