වෙබ් ලිපිනය:

Tuesday, January 21, 2020

කැලේ මාරු වන විට පුල්ලිත් මාරු වේ!

කළු කොටි ගැන නැවතත් වාර්තා වී තිබෙනවා. දශකයකට පමණ පෙරනම් කළු කොටි කියන නම ඇහෙන විට මතක් වුනේ එම නමින් හැඳින්වුණු එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන හමුදාවයි. එහෙත්, මේ වාර්තාව උතුරේ කළු කොටි ගැන නෙමෙයි. කලකට පසු නැවත ලංකාවෙන් වාර්තා වී ඇති කළු පැහැ හම සහිත ශ්‍රී ලාංකික කොටි පවුලක් ගැනයි.

කොටි වර්ග ලෝකය පුරාම විසිරී සිටියත් ලංකාවේ සිටින කොටින් ලංකාවටම ආවේණිකයි. සත්ත්ව වර්ගීකරණය අනුව පැන්තෙරා ගණයට අයත් පැන්තෙරා පාර්ඩස් විශේෂයට අයත් උප විශේෂ නවයක් අතරින් එක් උප විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා "පැන්තෙරා පාර්ඩස් කොටියා" යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇටවූ කැමරා උගුල් හරහා ඡායාරූපගත කරගෙන තිබෙන කළු කොටි පවුලද මේ ශ්‍රී ලාංකික කොටි පවුලේම සාමාජිකයින් මිස වෙනස් හෝ අලුත් සත්ත්ව විශේෂයක් නෙමෙයි. ඔවුන්ට හම කළු පැහැ ගන්වන ජාන සැකසුමක් තිබෙනවා පමණයි.

අප අසා තිබෙන පරණ කියමනක් වන්නේ කැලේ මාරු වන විට කොටියාගේ පුල්ලි මාරු නොවන බවයි. සාමාන්‍යයෙන් කොටින් ලෙස හඳුන්වන්නේ හමේ පුල්ලි සහිත සතුන්. හමේ ඉරි සහිත සතුන් ව්‍යාඝ්‍රයන් ලෙස හඳුන්වනවා. ජගුවරයින්ගේ හමේද පුල්ලි තිබුණත් කොටින්ගේ හා ජගුවරයින්ගේ පුල්ලි පැහැදිලිව හඳුනාගත හැකි තරම් වෙනස්. ජගුවරයින්ගේ පුල්ලි වල මැද තිත් තිබෙනවා. කොටින්ගේ පුල්ලි වල එවැනි තිත් නැහැ. කොටි, සිංහයින්, ජගුවරයින්, ව්‍යාඝ්‍රයින් හා හිම කොටි යන සත්ත්ව විශේෂ පහම අයත් වන්නේ පැන්තෙරා ගණයටයි.

පැන්තෙරා ගණයට අයත් බොහෝ සතුන්ට පුල්ලි සහිත හමක් තිබුණත් මේ සතුන් අතර කළු පැහැ සම ඇති සතුන්ද සිටිනවා.  මේ විදිහට ජාන විකෘති සිදු වී කළු පැහැ සතුන් බිහිවීම කැලේ මාරු වන විට කොටින්ගේ පුල්ලි මාරු වීමක් කියා කියන්නත් පුළුවන්. අඳුරු තෙත් කලාපීය වනාන්තර වල වාසය කරන කොටි අතර මේ කළු පැහැ ජාන විකෘතිය වඩා සුලභයි.

දහනවවන සියවසේ මැද භාගයේදී (1846-1850) ලංකාවේ යටත් විජිත මහ ලේකම් ලෙස කටයුතු කළ ජේම්ස් එමර්සන් ටෙනන්ට් විසින් වාර්තා කර ඇති පරිදි කළු කොටි දුලබ වුවත් ඒ කාලයේදී රටේ විවිධ ප්‍රදේශ වලින් හමු වී තිබෙනවා. ලංකාවේ කළු කොටි අඩ සියවසකට පෙර තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටයකටද තේමා වුනා. එහෙත්, මෑතකදී ලංකාවෙන් කළු කොටි පණ පිටින් හමු වී නැහැ. අවසන් වරට 2009දී හමු වී තිබෙන්නේ පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශයේ මද්දකට හසුව මියගොස් සිටි කළු කොටියෙක්. එම කළු කොටියාගේ සම සංරක්ෂණය කර හැදූ අනුරුවක්  ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

කොටියෙකුගේ හම කළු පැහැ වෙන්නේ නිලීන ජානයක් හේතුවෙන්. නිලීන ජානයකට අදාළ ලක්ෂණ මතු වන්නේ මවගෙන් හා පියාගෙන් එම ලක්ෂණ රැගෙන යන ජාන දෙකක්ම ලැබුණොත් පමණයි. කළු කොටියෙකුගේ ජාන දෙකේම මේ ලක්ෂණය තිබෙන නිසා කළු කොටි ජෝඩුවකට ලැබෙන සියළුම පැටවුන්ටද කළු හමක් උරුම වෙනවා.

කළු කොටියෙකු සහ සාමාන්‍ය කොටියෙකු අතර සංසර්ගයෙන් බිහිවන පැටවුන්ට අනිවාර්යයයෙන්ම එක් කළු ජානයක් හිමි වුවත්, එවැනි පැටියෙකු කළු කොටියෙකු වන්නේ සාමාන්‍ය කොටියාගෙන්ද කළු ජානයක් උරුම වුවහොත් පමණයි. කළු ජානයක් හා සාමාන්‍ය ජානයක් හිමි සාමාන්‍ය කොටින් දෙදෙනෙකුගේ පැටවෙකුද කළු කොටියෙකු විය හැකියි. ඒ නිසා, කළු කොටින් සම්පූර්ණයෙන්ම වඳ වී ගියත් නැවත සාමාන්‍ය කොටින්ට දාව කළු කොටි බිහි විය හැකියි. කෙසේ වුවත්, කළු කොටි ඇති වන ජානය වඳ වී ගියොත් නැවත කළු කොටි බිහි වීමේ ඉඩකඩද ඇහිරෙනවා.

5 comments:

  1. සෞම්යා මතක් උනා. අදිනවා මයි ලගදීම..

    ReplyDelete
  2. මට මතක් වුනේ සුදුගෝණා පොතේ හිටපු කලු කොටියා. එතනත් දොසතර ස්පිට්ල් ඔය නිලින ජාන ගැන කියනව...

    ReplyDelete
  3. මගේ මහපට ඇඟිල්ලේ මුල් පුරුක අංශක 150ක් විතර නැමෙනවා.ඒකත් නිලින ජාන නිසා වෙන දෙයක්.

    ReplyDelete
  4. LTTE සංවිධාන නමේ ඇති Tigers යන්න නිවරදිව ව්‍යාග්‍ර වුනත් ඒ වෙනුවට සිංහලෙන් කොටි කියා නම තැබවේ සිංහල නිවැරදිව නොදන්නා ඔවුන්ම යැයි සිතමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: