Saturday, March 28, 2020

ලස්සෙට පස්සේ...


ඊයේ දැන ගන්නට ලැබුණු පුවතකින් කියැවුණු පරිදි අප ජීවත් වන නගරයේ ගුරු ජෝඩුවක් අතර ඇති වුනු පවුල් ආරවුලක් කෙළවර වී තිබෙන්නේ මරණ දෙකකින්. මේ දවස් වල පාසැල් වසා ඇති නිසා මේ ජෝඩුව පසුගිය දවස් ටිකේම තමන්ගේ මහල් නිවාසයේයි කාලය ගෙවා තිබෙන්නේ. පාසැල් වසා ඇතත් පාසැල් නිවාඩු නැහැනේ.

ඇත්තටම පාසැල් අත්‍යවශ්‍ය සේවාවක්. ගුරුවරු ගෙවල් වල සිට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කළ යුතුයි. මෙය ආතතිය විශාල ලෙස ඉහළ නංවන්නක්. විශේෂයෙන්ම තමන්ගේ දරුවනුත් ගෙදර සිට අධ්‍යයන කටයුතු කරන නිසා ඔවුන් ගැනත් බලමින් රැකියාව කිරීම පහසු නැහැ.

ඇතැම් මාධ්‍ය වලට අනුව මීට පෙර කිසිදු කලහකාරී හැසිරීමක් පෙන්වා නැති මේ ගුරු ජෝඩුව මෙවැනි තත්ත්වයකට පත් වී තිබෙන්නේ කොරෝනා තර්ජනය හමුවේ ගෙදර ඉන්න වීම නිසා ඇති වුනු ආතතිය නිසයි. මාධ්‍ය වලින් හදපු කතාවක් වෙන්න පුළුවන්. ඇත්ත වෙන්නත් පුළුවන්. ඇත්තනම් මේ මරණ දෙකත් කොරෝනා මරණ. එහෙත්, මරණ සහතික වල එසේ ලියැවෙන එකක් නැහැ.

කොරෝනා නිසා හෝ කොරෝනා හමුවේ ගන්නා ක්‍රියාමාර්ග නිසා සිදු වන වක්‍ර මරණ කොරෝනා මරණ වල සංඛ්‍යාලේඛණ වලට එකතු වෙන්නේ නැහැ. අනුරාධපුර බන්ධනාගාරයේ මරණයත් එවැනි මරණයක්. කලබල ඇති වුනේ කුඩු නැති නිසා විය හැකි වුවත් කුඩු නැති වෙන්න ඇත්තේත් කෝවිඩ් නිසානේ. ඊයේ (මාර්තු 27) දිනය අවසන් වන විට  ඇමරිකාවේ කොරෝනා මරණ 1,696 ක් වාර්තා වී තිබෙනවා. එයින් 401 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ ඊයේ දිනයේදී.

සංඛ්‍යාලේඛණ අනුව ඇමරිකාවේ දිනකට 7,708 දෙනෙකු මිය යනවා. කොරෝනා වැළඳී මිය ගිය අයගෙන් යම් පිරිසක් වෙනත් හේතු මත අදාළ කාලය තුළ කොහොමටත් මිය යාමේ ඉඩක්ද තිබුණා. නමුත්, කොරෝනා මරණ ගණන් කිරීමේදී එය සැලකිල්ලට ගැනෙන්නේත් නැහැ. මෙහි තිබෙන්නේ මා පෙර ලිපියක විස්තර කළ ප්‍රතිපරිසිද්ධික තත්ත්වය නිරීක්ෂණය කළ නොහැකි වීම පිළිබඳ ගැටලුවයි. කොරෝනා වල හානිත් කොරෝනා වලට එරෙහිව ආණ්ඩු විසින් කළ කී දේවල් වල හානිත් සංසන්දනය කරන්න කාලයක් ගත වෙයි.

කලින් ලිපියෙන් මම මූලික ප්‍රජනන අංකය කියන එක ගැන පැහැදිලි කළානේ. කිසියම් රෝගයක් ව්‍යාප්ත විය හැකි ආකාරය ගැන තීරණය කරන්න මේ අංකය වැදගත්. කෝවිඩ්-19 හා අදාළව එම ලිපියේදී මා 2.2 කියන අංකය යොදා ගත්තා. හැබැයි එසේ කළේ මේ මූලික ප්‍රජනන අංකය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරන්න පමණයි. හැම දෙයක්ම එක ලිපියකින් විස්තර කරන්න බැහැනේ. ඒ නිසා, පහසුවට එහෙම කළත් මේ අංකය 2.2 බව අපට හරියටම කියන්න බැහැ.

මා කලින් ලිපියේම විස්තර කළ පරිදි එකම රෝගය වුවත් ලෝකයේ හැම ප්‍රදේශයකම, හැම අවස්ථාවකදීම එකම වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ නැහැ. ජනගහණයේ සිටින ආසාදිතයින් හෝ සුව වූ අයගේ ප්‍රමාණය ඉහළ යද්දී මූලික ප්‍රජනන අංකය නොවෙනස්ව තිබුණත් ඵලදායී ප්‍රජනන අංකය පහත වැටී රෝග ව්‍යාප්තිය පාලනය වීම ගැන මා පෙර ලිපියේ විස්තර කළා. මා දැන් කියන්නේ ඒ ගැන නෙමෙයි. රෝග ව්‍යාප්තිය හමුවේ ආණ්ඩු විසින් හා පෞද්ගලිකව ඒකීය පුද්ගලයින් විසින් දක්වන ප්‍රතිචාර හේතුවෙන් මූලික ප්‍රජනන අංකයමත් වෙනස් වෙනවා.

මූලික ප්‍රජනන අංකය ඇස්තමේන්තු කරන අගයක්. එම අගය ඇස්තමේන්තු කරන්න යොදා ගන්නා දත්ත අනුව වගේම ඇස්තමේන්තු කරන ක්‍රමවේදය අනුවත් වෙනස් වෙනවා. දකුණු කොරියාවේ 6,284 දෙනෙකුගේ දත්ත අනුව මේ අගය 1.5ක් බව විමර්ශනයට ලක්වී අවසන් එක් පර්යේෂණ ලිපියක ඇස්තමේන්තු කර තිබෙනවා.  ඩයමන්ඩ් ප්‍රින්සස් නැවේ මගීන්ගේ දත්ත අනුව සිදු කර ඇති තවත් ඇස්තමේන්තුවකට අනුව මේ අගය 11 පමණ මට්ටමකට ගොස් තිබෙනවා. සිංගප්පූරු ඇස්තමේන්තුවකට අනුව මේ අගය 0.7යි. මේ වගේ විවිධ ඇස්තමේන්තු රාශියක් තිබෙනවා. ඒ ඇස්තමේන්තු පදනම් වන්නේ රෝගය මුලින් පැතිරුණු චීනය, කොරියාව වැනි රටවල දත්ත මතයි. මා දන්නා තරමින් ඇමරිකන් දත්ත යොදාගනිමින් පුළුල් අධ්‍යයනයක් තවමත් කෙරී නැහැ.

ඇමරිකාවේ හා යුරෝපයේ මේ අගය ආසියානු රටවලින් වෙනස් වෙන්න හේතු රාශියක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල එම අගය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ආසියානු රටවල ඇස්තමේන්තු ගත්තත්, 0.7 හා 11 කියන්නේ අහසට පොළොව වගේ වෙනසක්.

කෝවිඩ්-19 වැළඳුණු බොහෝ දෙනෙක්ට බරපතල රෝග ලක්ෂණ නොඑන බව පැහැදිලි කරුණක්. රෝග පරීක්ෂාවකට එන්නේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වන අය පමණයි. රෝග පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය රටින් රටට වෙනස්. ඒ නිසා, අපට දකින්නට ලැබෙන රෝගීන් ප්‍රමාණ සැබෑ ගණන් වලට වඩා ගොඩක් අඩුයි. හැබැයි කොපමණ අඩුද කියන එක අප හරියමට දන්නේ නැහැ. පරීක්ෂා කර හඳුනාගත් එක් රෝගියෙකුට හඳුනා නොගත් රෝගීන් දෙදෙනෙකු ඉන්නත්, දෙසිය දෙනෙකු ඉන්නත් පුළුවන්. රෝගීන් විශාල පිරිසක් හඳුනාගෙන නැති නිසා පෙනෙන්නට තිබෙන මරණ අනුපාතය සැබෑ අනුපාතය නෙමෙයි. එය ඊට වඩා ගොඩක් අඩු එකක්. නමුත් කොපමණ අඩු එකක්ද කියා අප දන්නේ නැහැ.

උදාහරණයක් ලෙස නිවු යෝර්ක් ප්‍රාන්තයේ ජනගහණය 19,453,000ක්. එයින් ඊයේ වන විට කෝවිඩ්-19 පරීක්ෂාව කර තිබෙන 145,753 දෙනකුගෙන් 44,635කට රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙය 30.6%ක ප්‍රතිශතයක්. නමුත්, 99%කට වඩා වැඩි පිරිසක් කිසිදු පරීක්ෂාවක් කරගෙන නැහැ. ඔවුන්ගෙන් 3%කට වෛරසය අසාදනය වී තිබේනම් එම ගණන 579,000ක්. ඒ කියන්නේ නිවු යෝර්ක් ප්‍රාන්තයේ සිටින කෝවිඩ්-19 රෝගීන්ගෙන් 80%ක්ම හඳුනා ගෙන නැහැ. ඇත්තටම මේ අයට රෝගීන් කියා කියන එකත් වැරදියි. ඒ අය සෞඛ්‍ය සම්පන්නව සිටින අයයි. සමහර විට පොඩි හෙම්බිරිස්සාවක් හැදිලා සනීප වෙන්න ඇති. ඒ ඉහත කී ගණන 3% නම්. මේ ප්‍රමාණය මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. අපට කියන්න පුළුවන් වන්නේ 30%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ කියන එක පමණයි.

මේ වගේ අවිනිශ්චිතතා රාශියක් තිබෙන නිසා අලුත් තොරතුරු ලැබෙද්දී කලින් සිතා සිටි දේවල් වෙනස් වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා, ආණ්ඩු විසින් හෝ ඒකීය පුද්ගලයින් විසින් පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වන විට සැලසුමක් ඇතිව කටයුතු කළ යුතුවාක් මෙන්ම වෙනස් වන තත්ත්වයන් හමුවේ ඒ සැලසුම් වෙනස් කිරීමත් කරන්න වෙනවා.

25 comments:

  1. https://www.dailymail.co.uk/news/article-8162577/NHS-bosses-prevented-chaos-panic-Lancet-editor-says.html

    ReplyDelete
  2. //ආසාදිතයකු විසින් දිනකට හමු වන පුද්ගලයින් ගණන = 100
    එසේ හමුවන පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව = 0.001
    ආසාදිතයෙකු විසින් රෝගය සම්ප්‍රේෂණය කරන දින ගණන = 22

    R0 = 100 X 0.001 X 22 = 2.2//

    ඉකෝන්,
    මේක ඔබගේ කලින් ලිපියෙන්.  
    මේ දින 22 ඇවිත් තියෙන්නෙ කොහොමද? බෝවන කාලය දින 22 නම් දින 14ක් පමණක් රඳවා තබාගන්නෙ ඇයි?
    0.001 සහ 100 අනුමාන අගයන්ම පමණක්ද? 
    කරුණාකර පහදා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෙතැන තිබෙන ගණන් පැහැදිලි කිරීම සඳහා ගත් උදාහරණ පමණයි. අඩු වශයෙන් අනුමාන අගයන් හෝ නෙමෙයි. ඒවා ගැන වැඩිදුර හිතන්න එපා. මෙහි තිබෙන සංඛ්‍යා වෙන වෙනම ඇස්තමේන්තු කරන එක ඉතාම අසීරු වැඩක්. සාමාන්‍යයෙන් කරන්නේ මේ උදාහරණයේ 2.2 ලෙස සඳහන් ගණන ඇස්තමේන්තු කරන එකයි. මේ ලිපියෙන් පෙන්වන්න උත්සාහ කළේ එය කරගන්න එකත් පහසු නැති බවයි.

      100 කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාටත් දවස අනුවත් වෙනස් වෙනවා. ජංගම දුරකථන වල හා වාහන වල තිබෙන GPS උපකරණ හරහා ලබා ගන්නා තොරතුරු, ගුවන් ගමන් හා බස් ගමන් වල තොරතුරැ ආදිය ඇසුරෙන් මිනිසුන්ගේ ගමන් රටාවන් යම් තරමකින් හඳුනාගත හැකියි. 0.001 ලෙස උදාහරණයේ ඇති ගණනත් ඇත්තටම නියතයක් නෙමෙයි. වෛරසය අසාදනය වූ පසු එය ක්‍රමයෙන් ඉහළ ගොස් පසුව ක්‍රමයෙන් අඩුවෙනවා. ඇත්තම ආකෘතියක් මෙහි තිබෙනවාට වඩා ගොඩක් සංකීර්ණයි.

      //දින 14ක් පමණක් රඳවා තබාගන්නෙ ඇයි?//
      මෙය වෙනත් කරුණක්. වෛරසය ආසාදනය වූ අයෙක් බොහෝ විට දින 4-5කින් රෝග ලක්ෂණ පෙන්වනවා. එවිට එවැන්නෙකු හඳුනාගෙන අවශ්‍ය කටයුතු කළ හැකියි. නමුත්, ඇතැම් අය රෝග ලක්ෂණ පෙන්වන්න කල් ගන්නවා. දින 14කට පසුවත් රෝග ලක්ෂණ පෙන්වා නැත්නම් වෛරසය ආසාදනය වී තිබෙන්න ඉඩකඩ ඉතා අඩුයි. ඒ නිසයි රෝග ලක්ෂණ නොපෙන්වන කෙනෙක් දින 14ක් පමණක් රඳවා තබා ගැනීම ප්‍රමාණවත්. දින 14 ඇතුළත හඳුනාගත් කෙනෙක් තවත් දින ගණනාවක් රෝගය පතුරුවනවා. නමුත්, එසේ හඳුනා ගන්නා අය සුව වන තුරු නිදහස් නොකරන නිසා මෙහි ගැටළුවක් නැහැ.

      Delete
    2. //කොරියාවේ 6,284 දෙනෙකුගේ දත්ත අනුව මේ අගය 1.5ක් බව විමර්ශනයට ලක්වී අවසන් එක් පර්යේෂණ ලිපියක ඇස්තමේන්තු කර තිබෙනවා. // එකොන් කියන කොරියාව, සිංගප්පුරුව රටවල් දෙක ගත්තත් ඒ දෙකම කලින් ඉඳන් ටෙස්ට් කරලා මිනිස්සු වෙන් කලා , ජර්මනිඅත් එහෙමයි. ඉතින් ඕකම තමා මම කියන්නේ. ඕක කලේ නැත්නම් වැඩි වෙනවා කියල. දැන් එකොන් ගේ ඩේටා වලිනුත් /ලිපියෙන් ඔප්පු වෙන්නේ ඒක . ට්‍රම්ප් සහ ජොන්සන් දෙන්නම් වැරදියි. රැලේ ප්‍රතිශක්තිය මුලින්ම මෙතනට ගෙනත් මිනිස්සු අන්දන්න හැදුව.
      ඔබාමා හිටියනම් , දෙමොක්රටික් පක්ෂය හිටියනම් කරන්නේ වෙනත් විධිහකට බව මගේ විශ්වාසයයි. මිනිසුන් ගැන වඩා හිතල

      Delete
    3. //ට්‍රම්ප් සහ ජොන්සන් දෙන්නම් වැරදියි. රැලේ ප්‍රතිශක්තිය මුලින්ම මෙතනට ගෙනත් මිනිස්සු අන්දන්න හැදුව.//
      මම දන්නා තරමින්නම් ට්‍රම්ප් එහෙම දෙයක් කළේ නැහැ. මුලින්ම ඇමරිකාවේ තිබුණෙත් ලංකාවේ වගේ නිරෝධායන අවදියක්. රෝගය වාර්තා වුනේ වෙනත් රටකින් පැමිණි අය අතරේ. ඒ කාලයේ මහා පරිමාණයෙන් පරීක්ෂා කිරීම දිරිමත් කිරීමේ කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් වෙනත් රටවල වගේම ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට ගියා. ඔබ දන්නා පරිදි ඇමරිකාවේ පොදු සෞඛ්‍ය සේවයක් නැහැ. පරීක්ෂණ සඳහා ගෙවිය යුත්තේ රක්ෂණ සමාගමයි. රක්ෂිතයා කෝපේ එකක් ගෙවන්න ඕනෑ, මිනිස්සු ටෙස්ට් කර නොගන්න තිබුණු එක් බාධාවක් (ඉල්ලුම් සාධක පැත්තෙන්) ඒක. රෝගය ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට එන කොට බොහෝ රක්ෂණ සමාගම් විසින් මේ කෝපේ එක ඉවත් කළා. එක් අවස්ථාවක ට්‍රම්ප් රක්ෂන සමාගම් සමඟ පැවති හමුවකින් පසුව ඒ වන විට කෝපේ එක ඉවත් කර නොතිබුණු සමාගම් සියල්ලමද කෝපේ එක ඉවත් කර ඇති බව නිවේදනය කළා. සාමාන්‍යයෙන් බෝවන රෝග වලක්වා ගැනීමේ වියදම් වල කෝපේ එක ඉවත් කරන එක රක්ෂණ සමාගම් වලට වාසියි. රෝගය බෝවුනාම වැඩි මුදලක් ගෙවන්න වන නිසා. ඉන් පසුව කැමති කෙනෙකුට පරීක්ෂා කර ගන්න මුදල් බාධාවක් තිබුණේ නැහැ. හැබැයි කාවවත් බලහත්කාරයෙන් පරීක්ෂා කරන්නේ නැහැ. වෙනත් රටවල එහෙම කරනවද කියා මම දන්නේ නැහැ. අපේ ප්‍රාන්තයේ දැනට තහවුරු වූ රෝගීන් ඉන්නේ 5000කට 1ක් පමණයි. යම් විදිහකින් තහවුරු වූ එක් අයෙකුට තහවුරු නොවූ 10 දෙනෙක් හිටියත් මෙය 500කට 1යි. 499/500ක්ම ආසාදිතයින් නෙමෙයි. ඒ නිසාත්, මම පහුගිය සති දෙකේම දෙතුන් වරක් කඩේට යාම හැර එළියට නොගිය නිසාත් මට වෛරසය ආසාදනය වී තිබෙන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. යම් හෙයකින් වියදමක් නැති නිසා මම මේ පරීක්ෂාව සඳහා ගියොත් ඒ සඳහා යන තැනදී මට හමු වන්නේ රෝගය ආසාදනය වී තිබෙන්න වැඩි ඉඩක් තිබෙන අයයි. (මේ තැන් වලට එන අය වගේම මේ වෙලාවේ සෞඛ්‍ය සේවකයන් කියන්නෙත් රෝගය වැළඳී තිබීමේ අවදානම වැඩි පිරිසක්.) ඒ නිසා, කෝපේ එකක් නැහැ කියා පරීක්ෂා කරගන්න ගියොත් මට වෙන්නේ අනවශ්‍ය අවදානමක් ගන්නයි. මේ මම හිතන විදිහ. ඒ නිසා, රෝග ලක්ෂණ කිසිවක් නැත්නම්, රෝගය ආසාදනය වී ඇතැයි සැක කරන්න වෙනත් හේතුවකුත් නැත්නම්, මගේ කැමැත්තකින් තොරව මාව පරීක්ෂා කරනවාට මම කැමති නැහැ. මම හිතන්නේ අනෙක් බොහෝ ඇමරිකානුවන් හිතන්නෙත් මම හිතන විදිහට කියලා. අනෙක් රටවල් වල වැඩි දෙනෙක් පරීක්ෂා කෙරෙන ආකෘතිය කුමක්ද කියා මම හරියටම දන්නේ නැහැ.

      Delete
    4. https://www.motherjones.com/politics/2020/02/trump-says-the-coronavirus-is-no-big-deal-the-disease-wont-stay-on-message/

      Delete
    5. ජර්මනියේ පරික්ෂා කරන්නේ රෝග ලක්ෂණ පෙන්වන අය පමණයි. කොරියාව ගැන දන්නේ නැහැ . හැබැයි සෞඛ්‍ය සේවය ඉතා හොඳයි. මරණ අඩු එකයි. අපි දැන් හිතන්නේ මේ තියෙන දෙයක් විකුනලා (බේරිලා හිටියොත් ) බිරිඳ ගේ ගම පළාතට යන්න කියල. ඒ අදහස තිබෙනවා දැන්

      Delete
    6. ට්‍රම්ප් මුලදී මෙය අවතක්සේරු කරලයි කතා කළේ. ලෝකයේ හොඳම සෞඛ්‍ය පහසුකම් තිබෙන්නේ අපට නිසා මෙය ප්‍රශ්නයක් නෙමෙයි වගේ කතා කිවුවා. මේ හා අදාළව ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් දකින දෙය ට්‍රම්ප් මුලදී දැක්කා හෝ පිළිගත්තා කියා මම හිතන්නේ නැහැ. එසේ දැක්කත් රාජ්‍ය නායකයා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරනවා මිස ඇමරිකාවේ මෙය පැතිරෙන්නත් කලින්ම බොරුවට මිනිස්සු බය කරන්නත් අවශ්‍යත් නැහැනේ. මුලදී වුහාන් වල ඇමරිකානුවන් ගෙන්වා ගැනීම හා ඇලස්කාවේ නවත්වා නිරෝධායනය කිරීම වගේ ඒ වෙලාවේ කළ යුතු දේවල් ඔහු කලට වෙලාවට කළා. පසුව අවස්ථාව අනුව කළ යුතු වෙනත් දේවල්ද කළා. ඇමරිකාවේ කරපු දේවල් සියල්ලම ට්‍රම්ප් කරපු දේවල් කියා කියන්නත් බැහැ. ඒවා විශාල පිරිසක් එකතු වී කරපු දේවල්. කොහොම වුනත් ඔහු මුලදී රැළේ ප්‍රතිශක්තිය ගැන කියා මිනිස්සු අන්දන්න හැදුව බවක්නම් මම දන්නේ නැහැ. ට්‍රම්ප්ට මෙවැනි තාක්ෂණික කරුණක් සම්බන්ධව එහෙම මිනිස්සු අන්දන්න පුළුවන් කමක් තිබෙනවා කියලත් මම හිතන්නේ නැහැ. ඔය ලින්ක් එකෙත් එහෙම දෙයක් නැහැනේ. රැළේ ප්‍රතිශක්තිය ගැන දන්නා අය මුල සිටම දැන සිටියා කතා කළා. නොදන්නා අය බොහෝ දෙනෙක්ට දැනටත් ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ.

      Delete
    7. මෙහේ ගොඩක් වෛද්‍යවරු ටෙලිමෙඩිසින් වෙත යොමු වී තිබෙනවා. ලොකු අමාරුවක් නැත්නම් පරික්ෂා කරන්න කලින් වෛද්‍යවරයෙකුට කතා කරන්න කියලයි නිර්දේශ කරන්නේ. රෝග ලක්ෂණ හා අනෙකුත් තොරතුරු (ගමන් බිමන් ආදිය) විමසා පරික්ෂා කරන්න හෝ නොකරන්න වෛද්‍යවරයා නිර්දේශ කරනවා.

      Delete
    8. මාර්තු මද හරිය වෙනකොට ට්‍රුම්ප් හරි තීරණ ගත්ත කියල මාත් හිතනවා. ට්‍රැවල් බෑන් එහම දාල . මෙහත් දුරකථන මාර්ගයෙන් තමයි ජිපි ලා වැඩ කරන්නේ

      Delete
  3. හදිසියේ වත් ඉකොනෝ මහත්තයා කොරෝනා හැදිලා මළොත් අපි කොහොමද ඒක දැන ගන්නේ?

    ReplyDelete
    Replies
    1. වට්ස්සැප් වලින් කනත්තට දන්වන්න..පරල සකයාගෙ පුතානෙ

      Delete
  4. පරිසර උෂ්ණත්වය 15ට වැඩි රටවලට සහ පලාත් වලදි මේ වෛරසයේ පැතිරීමේ මෙව්වා එක සැබැවින්ම අඩුයි නේද? මම දැක්ක විදිහට නිවර්ථන සහ දක්ෂිණාර්ධගෝලයේ රටවල තවමත් මිලියනයකට රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ සාපේක්ශව අඩු ප්‍රමාණයක්..

    ReplyDelete
    Replies
    1. මේ මම ලියපු එකක් බ්ලොග් එකේ. එකොන් අවුලක් නැතිවෙයි කියා හිතනවා මේක දැම්මට.//මේ කතාව ප්‍රචලිත වෙන්නේ සීත රටවල පැතිරෙන නිසා වෙන්න ඕනේ.

      මේ කාලෙට ප්‍රතිශක්තිය කොහොමත් අඩුයි.



      හැබැයි ඕකේ ඇත්ත මේකයි කියල මම හිතන්නේ .මම සෝවියට් දේශයේ ජිවත් වුන නිසාත් පසුව බ්‍රිතාන්‍යයේ ජිවත් වන නිසාත් ජර්මනියට නිතර යන නිසාත් දැන ගත්ත දෙයක්. දැන් මොස්කව් වල වැඩියෙන්ම බැක්ටීරියා, වයිරස් උණ පැතිරෙන්නේ ශීත කාලය අවසන් වනකොට නැත්නම් ශිත සමය අවසන් වෙමින් වසන්තය ට එනකොට. ඒ කියන්නේ අධික ශීතලට (මේක නිකන් මවා ගන්න)බෝල වගේ ගුලිවෙලා ඉන්න වයිරස් එලියට එනවා යන්තම් උණුසුම් වෙනකොට. (අපට කියලා දුන්නේ එහෙම පළමුවෙනි අවුරුද්දේ ගුරුතුමියක්) එතකොට ඒ කාලෙට වැඩියෙන් පැතිරෙනවා. ගිම්හානය වෙනකොට මිනිසුන්ට සනීපයි. ප්‍රතිෂක්තියත් ඇවිල්ලා. එනිසා වයිරස් එක තිබ්බ කියල හැදෙන්නේ නැහැ. ඒ කාලෙට මිනිස්සු පලතුරු කනවත් වැඩයි. ව්‍යායාම කරනවත් වැඩියි.

      එනිසා ජර්මනිය සහ ස්වීඩනය වගේ රටවල් පැත්තට යනකොට දැඩි ශීත කාලයේ මේ වයිරස් සහ බැක්ටීරියා අඩුයි.



      මම සෝවියට් දේශයේ ඉන්න කාලේ වඩා හොඳට උණුසුමට ඇඳගෙන එලියට යන්න කිවේ හිම දියවෙන කාලේ (ටීචර්ස් ලා ). ඒ කාලෙට තමා ලෙඩ වැඩි. හෙම්බිරිස්ස කාරයොත් වැඩියි.



      දැන් රුසියාවේ තවම පැතිරෙනවා අඩුයි මේ වයිරසය . ඒත් ඇයි පූටින් ලෑස්ති වෙන්නේ ලොකු රෝහලක් හදාගෙන ? තව ඉස්සරහට රස්නේ එද්දී.



      උදාහරණයකට ගත්තොත් එංගලන්තයේ වයිරස් සහ බැක්ටීරියා ජාති 80 විතර තියනවලු. ඒකට හේතුව මෙහෙ ශීත සමය දරුණු නැති නිසා. එනිසා මෙහෙ මිනිසුන්ට සාමාන්‍යයක් වශයෙන් හෙම්බිරිස්සාව සහ නියුමෝනියා තත්ත්ව ස්වභාවයෙන්ම වැඩියි.

      අනික මේ කාලෙට තමයි අපේ ප්‍රතිශක්තිය අඩුම. වැඩිපුර විටමින් සී තියෙන පලතුරු කන්නේ පෙති බොන්නේ මේ කාලෙට.



      එංගලන්තයට සාපේක්ෂව උතුරු යුරෝපයේ රටවල ජර්මනිය, ෆින්ලන්තය , ස්විට්සර්ලන්තය් වගේ රටවල වයිරස් වර්ග සහ බැක්ටීරියා අඩුයි . 30ක් වගේ ලු තිබෙන්නේ. (මේවා ගූගල් කරලා හොයා ගන්න පුළුවන්.)නමුත් ආයි ස්පාඤ්ඤ ය වගේ මදක් උණුසුම් රටවල් පැත්තට පැත්තට යනකොට මේ ප්‍රතිශතය වැඩි වෙනවා.



      සාමාන්‍යයෙන් රස්නේ ඇති (අංශක 40 ට යන ) සයිප්‍රස් වල මේ බැක්ටීරියා හා වයිරස් අඩුයි. ඒ වගේම ඒ මිනිසුන් ගේ ප්‍රතිශක්තිය වැඩියි.



      සයිබීරියාවේ තිබෙන්නේත් මේ තත්වයමයි.හීතල වෙනකොට සෘණ 40 ට 50 යනවා. රස්නේ වෙනකොට +50 ට යනවා. එනිසා බැක්ටීරියා හා වෛරස රඳන්නේ නැහැ. හැබැයි ඉතින් රස්නේ රටවල වෙන දරුණු වෛරස් තියෙනවා. එබෝලා වගේ.



      දැඩි හිරු රශ්මියට අනාවරණය කලොත් ගොඩක් විෂ බීජ නැතිවෙනවා කියල අපි දන්නවනේ. එනිසා වෛරසය පැතිරීමේ වේගය අඩුවෙන්න පුළුවනි. ඒත් මාරයා එන්නේ හැංගිලා.

      //

      Delete
    2. @ Ajit D,

      මා ජීවත් වෙන FL වල තත්වයද ඉතා කණගාටුදායකයි. ඇමරිකානුවන් බොහෝ දෙනෙක් දුම්පානය කරන අතර සමහරක්ගේ සෞඛ්‍ය පුරුදු ඉතාම පහත් මට්ටමක පවතී. තවද මෙහි පාලකයින් තත්වය පාලනය කිරීමට එතරම් යමක් නොකරන බවද පැහැදිලිය. USA තවත් ඉතාලියක් වන ලකුණු පැහැදිලිව පෙනේ. ගෝඩ් සේව් අස්....

      Delete
    3. මටත් පෙන්නේ ඒ වගේ. දෙෂප්ලකයන් ගණන් ගන්නේ නැතිවිට මිනිසුන් හැසිරෙන්නෙත් ඒ විධිහට නේ. ඔබට කරදරයක් නොවේවා කියා පතනවා. එකොන් ටත් සමගම.

      Delete
    4. වොෂින්ටන් සරසවියේ ඇස්තමේන්තු අනුව දැනට පවතින තත්ත්වයන් යටතේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ 3,342 දෙනෙකු මිය යනවා. මැයි 19 දක්වාම තත්ත්වය එන්න එන්න උග්‍ර වෙනවා. අඩු වෙන්න පටන් ගන්නේ ඉන් පසුවයි.

      Delete
  5. මම ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රෝහලක Covid-19 නව coronavirus disease වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරියක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකා එක්සත් ජනපදය හා තුන්වන ලෝකයේ රටක් ලෙස ඇතැමුන් හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි.

    සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි.

    ශ්‍රී ලංකා රජය, ලංකාවේ සෞඛ්‍ය අංශය සමග ආරක්ශක අංශ හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා දායකත්වය අගය කිරීමට මා හට වචන නැත. ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකා එක්සත් ජනපදයේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි.

    ඇමරිකා එක්සත් ජනපදය වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත. ඇමරිකන් වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ "සෙල්ලම් තුවක්කු" රැගෙන යුද්ධයට යන ලෙසය. ඇමරිකන් සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නොනිදා ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳ තිත්ත ඇත්තයි.

    මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා...

    ~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ
    ඇමරිකා එක්සත් ජනපදය

    ReplyDelete
    Replies
    1. ඔබතුමියට ස්තුති තත්වය හන්ගන්නෙ නැතිව පැහැදිලි කරාට. අවාසනාවකට මේ වගෙ බ්ලොග්ස් කියවන්නෙ ලන්කාවෙ ඉතා සුලු පිරිසක්. ඉතින් අවබෝධය ඉතා අඩුයි.

      Delete
  6. //ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි.// මේක ඉතා සාධනීය දෙයක්. ලනක්වේ සෞඛ්‍ය සේවය හොඳයි. මමමත් මගේ පොස්ට් වලින් කියන්න හැදුවේ මේකයි. //වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. // එකොන් ගේ ගණනය කිරීම භාවිතා කලොත් ලංකාවේ පැතිර යන්නේ නැති බවක් පෙන්නේ. නමුත් මම ගණනය කරන විධිහට බැලුවොත් ලනක්වේ කොහොමත් පැතිරෙනවා. එක නවත්වන්න අමාරුයි. සමස්තයක් වශයෙන් ඔවුන් ගන්න ක්‍රියා මාර්ග හොඳයි.

    ReplyDelete
    Replies
    1. //එකොන් ගේ ගණනය කිරීම භාවිතා කලොත් ලංකාවේ පැතිර යන්නේ නැති බවක් පෙන්නේ.// ලංකාව ගැන මගේ කිසිදු ගණනය කිරීමක් මෙහි නැහැ. රෝග පැතිරීම ගැන මම ඉදිරිපත් කළ ආකෘතිය වැඩ කරන්නේ ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට පැමිණි විටයි. ලංකාවේ හමුවූ ආසාදිතයින්ගෙන් බාගයක් පමණ රටින් පිටතදී රෝගය ආසාදනය වූ අය. ඒ නිසා, ඒ දත්ත මත කිසිවක් කියන්න බැහැ. ඒ දත්ත බොහෝ දුරට අහඹු දත්ත. ලංකාව ඇතුළු ඇතැම් රටවල් (මම හිතන විදිහට දකුණු කොරියාව හා සිංගප්පූරුව) රෝග ව්‍යාප්තිය පාලනය කර ගෙන ඉන්නේ contact tracing වලින්. එම රටවල් කළ අනෙක් හැම දෙයක්ම ඇමරිකාවත් කරල තියෙනවා. නමුත්, contact tracing කියන්නේ ඇමරිකාවට කවදාවත් කළ නොහැකි දෙයක්. ලංකාව මේ වැඩේට විශාල රාජ්‍ය නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා. රෝගීන් 100ක් ඉඳිද්දී ඔවුන්ගේ contacts 25,000ක් පමණ හොයාගෙන නිරීක්ෂණය කරනවා. විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා ලංකාවට එය කළ හැකි වුවත් යම් හෙයකින් රෝගීන් ගණන එක වර විශාල ලෙස වැඩි වුනොත් scalable නැති නිසා හැම දෙයක්ම අවුල් වෙනවා. මේ වැඩේ සාර්ථකත්වය තිබෙන්නේ දිගටම කරගෙන යාමේ හැකියාව මතයි. එක පුද්ගලයෙක් ලොකු පිස්සුවක් කෙලියොත් ඔක්කොම ඉවරයි.

      Delete
    2. සමාවෙන්න මගේ වැරදීමක්. //එකොන් ගේ ගණනය කිරීම භාවිතා කලොත් // මම භාවිතා කරලා ගණනය කරොත් (මම එහෙම කළා )
      ?/ ආකෘතිය වැඩ කරන්නේ ප්‍රජා සම්ප්‍රේෂණ අවදියට // මේ අවධිය ට එන්න තව දැති දෙකක්වත් යයි. මම ඒ වෙලේට ගණනයක් කර බලන්නම් තිබෙන දත්ත මගින් .//රෝගීන් 100ක් ඉඳිද්දී ඔවුන්ගේ contacts 25,000ක් පමණ හොයාගෙන නිරීක්ෂණය කරනවා. විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන නිසා ලංකාවට එය කළ හැකි වුවත් යම් හෙයකින් රෝගීන් ගණන එක වර විශාල ලෙස වැඩි වුනොත් scalable නැති නිසා හැම දෙයක්ම අවුල් වෙනවා. මේ වැඩේ සාර්ථකත්වය තිබෙන්නේ දිගටම කරගෙන යාමේ හැකියාව මතයි. එක පුද්ගලයෙක් ලොකු පිස්සුවක් කෙලියොත් ඔක්කොම ඉවරයි.// එකඟයි

      Delete
    3. එක පුද්ගලයෙක් ලොකු පිස්සුවක් කෙලියොත් ඔක්කොම ඉවරයි.// එකඟයි

      ඉයේ එකක් උනා නේ මේ වගේ. ඇත්තටම මිනිස්සු මෙච්චර මෝඩද? නැත්නම් ආත්මාර්ථකාමීද?

      Delete
  7. දත්ත වලින් විශ්ලේෂණය කරලා මොනවා කිව්වත් ලෙඩේ බෝවීම ගැන වගකිවයුත්තන්ට තවමත් හරි අවභෝදයක් නෑ කියලයි මගේ අදහස. අනික් කාරනාව තමයි ලෙඩේ අසාධ්‍ය තත්වයට එනකල් ලෙඩෙකුට කිසිම ඖෂධයක් ලබාගැනීමට හැකියාවක් නොමැති වීමත් ප්‍රශ්නයක්. DCD එකෙන් දීලා තියෙන ඔන්ලයින් ටෙස්ට් එක ෆලෝ කරාම රෝගලක්ෂණ එකක් තිබ්බත් එයාල කියන්නේ Contact your local health care provider,rest and monitor yourself කියලයි. ප්‍රයිමරි කෙයාර් ඩොක්ටර්ට කතා කරත් ටෙලිෆෝන් එකෙන් හෝ වීඩියෝ කොන්ෆරන්ස් එකකින් බෙහෙතක් නියම කරනවා ඇරෙන්න එයාලත් ෆිසිකලි ලෙඩ්ඩු බලන එක නවත්තලයි තියෙන්නේ. එයාලගේ අවවාදය වෙන්නේ උණ සහ හුස්මගැනීමේ අපහසුතාවයක් නැතුව කෝවිඩ් 19 ටෙස්ට් කරන්න ඕන නෑ කියල. මම අනුමාන කරන විදිහට ඔය කියන රෝග ලක්ෂණ දෙක පහල වෙනකොට රෝගියා එයාගේ අවට තවත් පිරිසකට රෝගය බෝ කරලා ඉවරයි. ඔය විදිහ නැතුව එක රෝග ලක්ෂණයක් හරි පහළවෙන හැම රෝගියාටම පරීක්ශාව කරගන්න ක්‍රමයක් සැලස්වූවානම් ඔය කවුන්ට් එක ඔය තරම් උඩ යන්නේ නෑ. ඇමෙරිකාවේ තත්වය මේ තරම් අයහපත් උනේ පහසුකම් නැති නිසා නෙවෙයි සිස්ටම් එක අවුල් නිසා. මේ වගේ වෙලාවකවත් සාමාන්‍ය ප්රෝටෝකොල් එක ෆලෝ නොකර මේකටම විශේෂිතවූ ප්‍රයෝගික ක්‍රමයක් අනුගමනය කල යුතුව තිබුන. ඒත් ඒක එහෙම උනේ නැති නිසා තමයි මේ කවුන්ට් එක තවත් ඉහලට ගමන් කරන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.