වෙබ් ලිපිනය:

Friday, August 14, 2020

සැපේ ඉඳිමු අපි මල්ලී!

"මට නං ලොකු ආර්ථික විද්‍යා තේරෙන්නේ නෑ ඉකොනෝ. ඒ උනාට මම නං හිතන්නේ අපි මේ ජීවත් වෙන කාලේ රට සංවර්ධනය කරන්න ඕනි වගේ කතා කියලා පටි තද කරන් ඉන්නවට වඩා ණයට අරං හරි කාලා බිලා සැපේ ඉදිමු කියලයි. මොකද අහම්බක් විදියට ඉපදුනා. ජිවත් උනා. මැරුණා. මොකද ආයේ ඉපදෙනවා කියලා එකක් ඇයි. ඉතිං ඒ නිසා මේ වගේ ආර්ථිකය ගැන උනත් ඕනිවට වඩා හිතලා වැඩක් නැහැ. චීනෙන් දෙන තරමක් ණය ගත්තා. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරා. ගානක් හොයා ගත්තා. කෑවා, බීවා, කාන්තා ඇසුරේ නිරත උනා, විනෝද උනා. වෙන මොනවද? ඇත්තටම ඉකොනෝ මේ කියන දේවල් මට නං තේරෙන්නේ නැහැ. ඇයි අපි මෙව්වා ගැන මෙච්චර හිතන්නේ? අපිට පස්සේ මෙහෙට එන මිනිස්සුත් මොකක් හරි කරලා ඉදි. ඒ ගැන අපි කල්පනා කරලා වැඩක් නැහැ. අපේ විනෝදය අපි ගන්නවා මිසක් ඉකොනෝ."

මෙය මගේ බ්ලොග් එකේ මේ විදිහේ ප්‍රතිචාරයක් දකින්නට ලැබුණු දෙවන අවස්ථාවයි. මේ ප්‍රතිචාරය මම ටිකක් සීරියස් ගන්න කැමතියි. "බුදාම්මෝ! මෙහෙම හිතන එවුන්නේ මේ රටේ ඉන්නේ!" වගේ අර්ථයකින් නෙමෙයි. මේ විදිහට හිතන අය ඕනෑ තරම් ලංකාවේ ඉන්නවා කියන එක අපි කවුරුත් දන්නවා. ප්‍රසිද්ධියේ කියන අයයි අඩු. වෙන රටක් ගත්තත් එහි වෙනසක් නැහැ.

මේ ප්‍රතිචාරය දමපු පුද්ගලයා කවුද කියලා මම දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ. අපි අපේ පහසුවට මේ අදහස දරන පුද්ගලයා නිමල් ලෙස හඳුන්වමු. 

දැන් මම මෙහි නිමල් ලෙස හඳුන්වන්න සංකේතාත්මක චරිතය මේ විදිහට හිතන්න ඉඩ තිබෙන යම් කිසි අහඹු පුද්ගලයෙක්. මගේ අදහස අනුව, මේ ප්‍රතිචාරය දමපු භෞතික පුද්ගලයා නිමල් කියන සංකේතාත්මක චරිතය වෙන්න විදිහක් නැහැ. මොකද ඔහු නිමල්නම් බොහෝ විට ඔහු (හෝ ඇය) මේ බ්ලොග් එක නිතිපතා කියවන පාඨකයෙක් වෙන්න විදිහක් නැහැ. ප්‍රතිචාරය දමපු පුද්ගලයා විසින් ඒ හරහා කරන්නේ සැබෑ නිමල්ලාව ප්‍රශ්න කිරීම වෙන්න පුළුවන්. ඒ හරහා ධනවාදය හෝ නිරාගමිකත්වය වැනි තමන් අකැමැති මතවාදයක් ප්‍රශ්න කිරීම වෙන්නත් පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්. මට එය වැදගත් නැහැ. මට වැදගත් මේ ප්‍රතිචාරයේ සාරය පමණයි.

සරලවම කියනවානම් නිමල් හිතන විදිහ සම්බන්ධව මට මූලධාර්මික ගැටළුවක් නැහැ. මම එසේ කියනවානම් මම මේ බ්ලොග් එක හරහා කතා කරන ආර්ථික විද්‍යාව, මම මෙහි කතා කරන ධනවාදය ගොන්පාර්ට් එකක් වෙනවා. ආර්ථික විද්‍යාවේ මූලික පදනම වන්නේම මිනිස්සු සතුට හඹා යනවා කියන එකයි. ධනවාදය කියන්නේ මිනිස්සුන්ගේ ඒ සතුට හඹා යෑමට හැකිතාක් දුරට ඉඩ දිය යුතුයි කියන එකයි. එහෙමනම්, ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශී පුද්ගලයා නිමල් වගේ කෙනෙක්ද? 

මම මේ බ්ලොග් එකේ ණයෙන් දුවන ලංකාවේ ආර්ථිකය ගැන බොහෝ විට කතා කරනවා. මම එසේ කරන්නේ ඒ කතා කිරීම තුළ මගේ සතුට තිබෙන නිසා. එහෙම නැතුව සමාජය දැනුවත් කිරීම, ලෝකයට සේවය කිරීම, මානව දයාව වගේ වෙන මගුලක් නිසා නෙමෙයි. මගේ සතුට වෙනුවෙන් මම කරන මේ කාර්යයේදී සමහර විට සමාජය දැනුවත් වීමක් වෙනවා ඇති. ලෝකයට සේවයක් වෙනවා ඇති. ඒ ගැනත් මම සතුටුයි. 

ඒ වගේම මෙහි චක්‍රීය ස්වභාවයකුත් තිබෙනවා. මගේ සතුට වෙනුවෙන් මම ලියනවා. කියවන අය එයින් සතුටු වෙනවා. කියවන අය සතුටු වනු දැකීමෙන් හෝ සතුටු වන්නේයැයි සිතීමෙන් මම සතුටු වෙනවා. ඒ නිසා මම ලියනවා. මම ලියන නිසා කියවන අය සතුටු වෙනවා. පටන් ගැන්මක් තිබුණත් දැන් මේ චක්‍රයේ අගක් මුලක් නැහැ. එසේ වුවත් යම් දවසක කිසියම් අවසානයක් තියෙයි.

නිමල් කෙනෙක් මේ බ්ලොග් එක කියවනවානම් එසේ කරන්නේ ඔහු එයින් සතුටක් ලබන නිසා. එහෙත්, ණය ගැන ඕනෑවට වඩා වද වීම අනවශ්‍යයයි ඔහු සිතනවා. එසේ වද වීමෙන් ඔහුට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මට කෙටි පිළිතුරක් දී ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්.

"ඔබට රටේ ණය ගැන හිතන එකෙන් විනෝදයක් නොලැබෙනවානම් ඔබ ගාණක් හොයා ගෙන කාලා, බීලා, කාන්තා ඇසුරේ කාලය ගෙවලා ඔබ කැමති ආකාරයකින් සතුටු වෙන්න. ඔබ රටේ ණය ගැන හිතන්න අවශ්‍ය නැහැ!"

අවාසනාවට නිමල්ට මේ වගේ පිළිතුරක් දීලා මට සතුටු වෙන්න බැහැ. මට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ නිමල් විසින්ද මා මෙන්ම රටේ ණය ගැන සිතිය යුතුයි කියන එක ඔහුට ඒත්තු ගන්වන්න පුළුවන් වුනොත් පමණයි. එය කරන එක මා ඉදිරියේ තිබෙන අභියෝගයක්.

මෙහිදී මට නිමල්ට ආගමික හෝ සදාචාරාත්මක පිළිතුරු යෝජනා කරන්න බැහැ. මා විසින් ඉදිරිපත් කරන ආගමික හෝ සදාචාරාත්මක ආකෘති රාමුව පිළිගන්න කියා ඔහුට බල කිරීමේ හැකියාවක් මට නැහැ. "මොකද ආයේ ඉපදෙනවා කියලා එකක්යැ?" කියලා ඔහු කියන කොට නෑ එහෙම නෙමෙයි කියලා මැරුණට පස්සේ ඔහුව පිළිගන්න බලාගෙන ඉන්න ස්පැගටි මොන්ස්ටර් කෙනෙක්ව ඇඟිල්ල දික් කරලා ඔහුට පෙන්වන්න මට බැහැ.

ආගම හා සදාචාරය පැත්තකට දැම්මට පස්සේ රටේ නීතිය ඉතිරි වෙනවා. නමුත්, රටේ නීතිය පිළිගන්න කියලා මට ඔහුට බල කරන්නත් බැහැ. රටේ නීතිය පිළිගත යුත්තේ ඇයි කියන එක ඔහුට ඒත්තු ගන්වන්න මට සිද්ධ වෙනවා. නීති නොවන සම්මත පිළිබඳව කොහොමටත් තත්ත්වය ඒකයි. ඒ නිසා ඒ වැඩෙත් හරියන එකක් නෙමෙයි.

රටේ ණය ගැන නිමල් හිතිය යුත්තේ ඇයි කියන එක නිමල්ට පෙන්වා දෙන්න ධනවාදී ආර්ථික විද්‍යාඥයෙක්ට ඉතිරි වෙලා තියෙන්නේ එකම එක ආකාරයක් පමණයි. ඒ, ඔබ අද රටේ ණය ගැන නොහිතුවොත් ඔබේ විනෝදය ඔබට නැති වෙනවා කියන එක. ඒ බව පෙන්වා දුන්නොත් නිමල්ට තමන්ගේ ස්ථාවරය වෙනස් කර ගන්න වෙනවා. මොකද නිමල්ගේ තර්කයේ පදනම වන්නේම විනෝදය. ඔහු ණය ගැන නොහිතන්නේ එසේ සිතීමෙන් ඔහුට විනෝදයක් නොලැබෙන නිසා. වෙනත් ආකාරයකින් කිවුවොත් ණය ගැන හිතන්න යොදවන කාලය තුළ ලැබිය හැකි විකල්ප විනෝදය ඔහුට අහිමි වන නිසා. නමුත්, ණය ගැන නොහිතීම ඔහුගේ විනෝදයට බාධාවක් කියා තේරුම් ගියොත් ඔහුට තමන්ගේ අදහස වෙනස් කර ගන්න සිදු වෙනවා.

නිමල් විනෝද වෙන්නේ කොහොමද?

"කෑවා, බීවා, කාන්තා ඇසුරේ නිරත උනා, විනෝද උනා. වෙන මොනවද?"

කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය ටික කළාම හොඳටම ඇති. මෝසාර්ට්ගේ වාදනයක් අහන්න කියල හරි, සැබෑ මිනිසෙකුගේ කතාවක් කියවන්න කියලා හරි, පරිමිතත්වයෙන් පසු කියවන්න කියලා හරි, නෙට්ෆ්ලික්ස් ගිහින් ඩාර්ක් සීරීස් එක බලන්න කියල හරි, ඇවිලෙන සුළුයි බලන්න කියල හරි, පෝය දවසට පන්සල් යන්න කියල හරි, ඉරිදට පල්ලි යන්න කියල හරි, දවසකට පැය බාගයක් භාවනා කරන්න කියලා හරි, ඊළඟට එන මැතිවරණයේදී තමන් කැමති පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය දමන්න කියලා හරි මම මේ වෙලාවේ නිමල්ට යෝජනා කරන්නේ නැහැ. නිමල්ට විනෝදයක් ලැබෙනවානම් ඔය ඕනෑම දෙයක් කරන්න ඔහුට පුළුවන්. නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. එය ඔහුගේ නිදහස.

නිමල් සතුටු වන දේවල් කරන්නනම් ඔහුට යම් කැප කිරීමක්ද කරන්න වෙනවා.

"මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරා. ගානක් හොයා ගත්තා."

නිමල් ඔය මොකක් හරි ප්‍රොජෙක්ට් එක කරන්නේ කන, බොන, කාන්තා ඇසුර සොයන හේතුවටම නෙමෙයි. කන, බොන, කාන්තා ඇසුර සොයන එකේ විනෝදය තිබෙනවා. එහෙත්, ප්‍රොජෙක්ට් එක කරන්නේ ගාණක් හොයා ගන්න. එහි විනෝදය නැහැ. එහි තිබෙන්නේ ප්‍රති-විනෝදයක්. නමුත්, ප්‍රොජෙක්ට් එක කිරීම ඔහු කැමති ආකාර වලින් විනෝදය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසියක්. 

පුද්ගලයෙකුට කන, බොන, කාන්තා ඇසුර සොයන එකෙන් හරි, සිංදුවක් අහන එකෙන් හරි, දේශපාලනය කතා කරන එකෙන් හරි, බ්ලොග් එකක ලිපියක ලියා පළ කරන එකෙන් හරි, වෙන මොන විදියකින් හරි විනෝදයක් ලබා ගන්න පුළුවන් වුනත් ඒ විනෝදය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු පූර්ව කොන්දේසි එක්ක බොහෝ විට කිසියම් ආකාරයක ප්‍රති-විනෝදයක් ගැබ්ව තිබෙනවා. මේ ප්‍රති-විනෝදය විසින් පුද්ගලයෙකුට ලැබිය හැකි විනෝදයේ උපරිම සීමාවන් ලකුණු කරනවා. ඒ නිසා නිමල්ට බොහෝ විට කවදාවත් ඔහු කැමති තරමට කන්න, බොන්න, කාන්තා ඇසුර ලබන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

මෙහි කාන්තා ඇසුරු කියන වචනය ඇතුළේම තියෙන්නේ පුරුෂ කේන්ද්‍රීය සිතීමක්. ඒ ගැන අපි මෙහිදී වැඩිය වද නොවී ඉඳිමු. කොහොමටත් ගොඩක් පිරිමි වගේම ඇතැම් ගැහැණුන් පවා හිතන්නේ පුරුෂ මූලිකවනේ. අනිත් එක මෙය හරි වැරැද්ද හෝ සදාචාරය මත පදනම් ව කෙරෙන සාකච්ඡාවක් නෙමෙයිනේ.

කාන්තා ඇසුරෙන් විනෝදය ලබන පිරිමියෙක්ට ඒ විනෝදය කොයි තරම් දුරකට ලැබිය හැකිද? වැඩි ගැහැණු පිරිසක් ඇසුරු කරන තරමට නිමල්ට වැඩි විනෝදයක් ලැබෙනවා වෙන්න පුළුවන්. මෙහිදී නිමල් විසින් ලබන විනෝදය අනෙක් පාර්ශ්වයේ සිටින ගැහැණුන් විසිනුත් ලබනවද? 

"අනෙක් පාර්ශ්වයට විනෝදයක් ලැබෙනවද නැද්ද කියන එක මට අදාළ කරුණක් නෙමෙයි" කියලා නිමල්ට කියන්න පුළුවන්. ඔහු සිතන ආකාරය අනුව වලංගු තර්කයක්. මේ තර්කය අනුව, අසල්වැසි නිවසක වැඩිහිටියන් නැති අතරේ එහි වසන බාලවයස්කාර දැරියක්ව අපයෝජනය කරලා නිමල්ට සතුටු වෙන්න පුළුවන්. නිමල් විනෝදය සොයා යද්දී ඒ වගේ දෙයක් සිදු නොවන බවට සහතිකයක් ලැබෙන්නේ කොහොමද?

ඕකම අනෙක් පැත්තට වෙන්නත් පුළුවන්නේ. අල්ලපු ගෙදර ඉන්න සුනිල් නිමල්ගේ දරුවෙකුව හෝ සොහොයුරියකව අපයෝජනය කරනවා. මෙයින් නිමල්ගේ විනෝදය නැති වෙනවා. නමුත්, තමනුත් ඒ වැඩේම කරන අතර නිමල්ට සුනිල් කරපු වැඩේට මූලධාර්මික ලෙස විරුද්ධ වෙන්න බැහැ. තමන්ගේ දරුවන් හෝ සොහොයුරිය සුනිල් අතින් අපයෝජනය වීම වලක්වා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහට නිමල්ටත් සුනිල්ගේ දරුවන් හෝ සොහොයුරිය අපයෝජනය කර විනෝදය ලැබීමේ අදහස අත හැර ගන්න වෙනවා. 

කාන්තා ඇසුර පැත්තකින් තියලා කන බොන එකම ගනිමුකෝ. සුනිල්ගේ වත්තේ රඹුටන් ටික හොරෙන් කඩා ගැනීමෙන් නිමල්ට සතුටක් ලබන්න පුළුවන්. නමුත්, සුනිල් විසින් නිමල්ගේ වත්තේ කෙසෙල්කැන කපා ගත් දවසට ඔහුගේ විනෝදය නැති වෙනවා. ඒ නිසා, විනෝදය ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් විදිහටම නිමල්ට අනෙකාගේ දේපොළ අයිතිවාසිකම් ඇතුළු අයිතිවාසිකම් පිළිගන්න වෙනවා. 

නීති හා සම්මත හැදෙන්නේ මේ විදිහටයි. නීති හා සම්මත කඩා යම් විනෝදයක් යම් අයෙකුට යම් අවස්ථාවක ලබා ගන්න පුළුවන්. එහෙත්, බොහෝ දෙනෙක් බොහෝ අවස්ථා වල නීති කඩන්න ගියොත් හැමෝගෙම විනෝදය නැති වෙනවා. ඒ නිසා විනෝදය ලබා ගැනීම වෙනුවෙන්ම වුවත් යම් නීති හා සම්මත වලට එකඟ වෙන්න නිමල්ට සිදු වෙනවා.

නිමල්ට ඇතැම් විට තමන්ගේ කියා කිව හැකි දරු මල්ලෙක් හෝ සහෝදර සහෝදරියන් නැති වෙන්න පුළුවන්. තමන්ට කියලා මහ ලොකු පෞද්ගලික දේපොළක් නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සම්මතය රැකීමට සුනිල්ට තිබෙන අවශ්‍යතාවය නිමල්ට නැති වෙන්න පුළුවන්. ඒ නිසා, නිමල් විසින් සුනිල්ගේ වැට පැනලා සුනිල්ගේ දරුවෙක් අපයෝජනය කරන්න පුළුවන්. රඹුටන් ටික හොරෙන් කඩා ගන්න පුළුවන්. නමුත්, නිමල්ලාට වඩා සුනිල්ලා වැඩිනම් හෝ බලවත්නම් නිමල්ට පෞද්ගලිකව අවශ්‍ය නැති වුනත් සම්මතය හැදෙනවා. සම්මතය සමඟ එකඟ නැති නිසා නිමල්ට එය කඩන්න හැකි වුනත් ඒ එක්කම ඔහුට ඒ සඳහා දඬුවම් ලැබෙනවා. එහි ප්‍රතිඵලය ප්‍රති-විනෝදයයි. ඒ නිසා, නිමල්ට සම්මතය කැඩීම පිළිබඳව දෙවරක් හිතන්න වෙනවා.

නිමල්ට හැකිතාක් ණය අරගෙන කාලා, බීලා, කාන්තා ඇසුර ලබලා සතුටු වී මිය යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත්, ණය දෙන්නත් කෙනෙක් සිටිය යුතුයි. සුනිල් විසින් නිමල්ට ණය දිය යුත්තේ ඇයි?

සුනිල් විසින් නිමල්ට ණය දෙනවා කියා කියන්නේ සුනිල්ගේ විනෝදය අහිමි වෙනවා කියන එකයි. සුනිල් කැමැත්තෙන්ම තමන්ගේ විනෝදය අහිමි කර ගන්නේ වෙනත් ආකාරයකින් ඒ අහිමි වූ විනෝදය ලබා ගත හැකි ක්‍රමයක් තිබේනම් පමණයි. මෙහිදී ඒ විනෝදය සුනිල්ට ආපසු ලැබෙන්නේ නිමල්ගෙන් ලැබෙන පොලී ආදායම නිසයි. සුනිල් විසින් අය කරන පොලිය තීරණය වෙන්නේ සුනිල්ට ගණුදෙනුවෙන් අවාසියක් නොවන ආකාරයටයි. එසේ නැත්නම් නිදහස් ගනුදෙනුවක් සිදුවෙන්න හේතුවක් නැහැ. ඒ නිසා, නිමල්ට සුනිල්ගෙන් ලබා ගන්නා ණය මුදලේ උදවුවෙන් කාලා, බීලා, කාන්තාවන් සමඟ විනෝද වෙලා, පාඩුවේ මැරිලා යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ණය සමඟ ලැබෙන අමතර විනෝදය එක්කම පැකේජ් වෙලා අමතර ප්‍රති-විනෝදයකුත් එනවා.

මේ කතාව පොඩ්ඩක් වෙනස් වන තැනක් තිබෙනවා. අපි හිතමු නිමල් විසින් ලබන විනෝදය වෙනුවෙන් මිල ගෙවන්න වෙන්නේ නිමල්ගේ දරුවන්ට කියලා. මෙය සුනිල්ට ප්‍රශ්නයක් නෙමෙයි. ලබා දුන් ණය නිසා අහිමි වූ විනෝදය ඔහුට කෙසේ හෝ ආපසු ලැබෙනවා. නිමල් විසින් විනෝදය ලබා, එහි මිල නොගෙවා මැරිල යනවා. නිමල්ගේ දරුවන්ට ඔවුන් නොලැබූ විනෝදයක් වෙනුවෙන් සුනිල්ට ගෙවන්න වෙනවා. ලංකාවේ ණය අර්බුදය ඔය වගේ එකක්.

මේ වගේ එකක් පවතින්න පුළුවන්. මොකද නිමල්ගේ දරුවන්ට ඔවුන්ගේ පියා විසින් ඔවුන් ඉපදෙන්න පෙර හෝ කුඩා කාලයේ කළ දේ වෙනුවෙන් මැදිහත් වෙන්න අවස්ථාවක් කොහොමටවත්ම නැහැ. ගොඩක් පාරිසරික ප්‍රශ්න වල ස්වභාවයත් ඔය වගේ. දැන් මේ තත්ත්වය වෙනස් කෙරෙන මොකක් හරි ස්වභාවික යාන්ත්‍රණයක් තිබෙනවාද?

මේ කටයුත්තේදී මරණයෙන් පසු පැවැත්මක් ගැන හිතන මිනිසුන්ගේ ආගමික විශ්වාස විසින් සිදු කෙරෙන නිශ්චිත සාධනීය කාර්යයක් තිබෙනවා. නමුත්, නිමල්ට එවැනි විශ්වාසයක් නැහැ. කෑවා, බිව්වා. විනෝද වුනා. මැරිල ගියා. ඔයිට වැඩිය තව මොනවාද?

උපත, මරණය හා ඔය දෙක අතර තිබෙන පැවැත්ම කියන දෙය වැනි අපට පහසුවෙන් තේරුම් ගන්න අමාරු බරපතල කාරණා සම්බන්ධව මම හිතන දේවල් ලියන්න ගියොත් ලිපි මාලාවක්ම ලියන්න වෙනවා. දැනට අපි බොහෝ දෙනෙක් මරණය ලෙස සලකන දෙය එලෙසම ගනිමු.

මේ ලේඛකයා ගත්තොත්, ඔහු මරණයෙන් පසු පැවැත්මක් ගැන විශ්වාස කරනවා වගේම ඒ පැවැත්මට ආදරය කරනවා. මේ පැවැත්ම ගැන විස්තර කරන්න ආගම් වලින් යෝජනා කරන බරපතල දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලව විස්තර කරන්න පුළුවන්.

ඔබ මේ ලිපිය කියවන විට සම්මත අර්ථයෙන් මා ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. අඩු වශයෙන් ඔබ ඒ බව දන්නෙවත් නැති වෙන්න පුළුවන්. නමුත්, ඔබ කියවන මේ ලිපිය තුළ මගේ පැවැත්ම ඉතිරි වී තිබෙනවා. මගේ ඒ අපේක්ෂිත අනාගත පැවැත්ම විසින් මේ මොහොතේ මට විනෝදයක් සපයනවා. ඒ විනෝදයට මම කැමතියි. ඒ වගේම අනාගතයේ කිසියම් දවසක මා සම්මත අර්ථයෙන් ජීවත්ව සිටියත් නැතත්, මේ ලිපිය කියවන කෙනෙක් ඒ පිළිබඳව සතුටු වනු ඇතැයි යන අදහසින් මා මේ මොහොතේ සතුටු වෙනවා.

මගේ දරුවන් නිසා මා ලබන විනෝදයත් ඒ වගේ දෙයක්. මගේ සම්මත මරණයෙන් පසුවත් මගේ දරුවන් කාලයක් ජීවත් වීමට නියමිතයි. මගේ මේ මොහොතේ විනෝදය ගැන වගේම මගේ දරුවන්ගේ අනාගත විනෝදය ගැනත් මම මේ මොහොතේ හිතනවා. ඒ නිසා, මම මේ මොහොතේ තීරණ ගන්නේ මගේ සම්මත ජීවිතයේ ඉතිරි වී තිබෙන කාලය ගැන වගේම, අවම වශයෙන්, එයින් පසුවත් ජීවත්වන මගේ දරුවන් ගැනත් හිතලයි. මගේ දරුවන්ද මා ලෙසම හිතුවොත් ඔවුන් අනාගතයේදී තීරණ ගනු ඇත්තේත් මා දැන් ඔවුන් ගැන හිතා තීරණ ගන්නා ආකාරයටයි. ඒ කියන්නේ මා මේ මොහොතේ තීරණ ගන්න විට මගේ දරුවන්ගේ දරුවන් ගැනත් හිතනවා. ඔවුන් මේ වන විට ඉපදිලාද, කවදා හෝ ඉපදෙයිද වැනි කරුණු මෙහිදී අදාළ නැහැ.

මගේ සම්මත මරණයෙන් පසුව මේ බ්ලොග් එක තිබුණොත් ඒ හරහා මගේ පැවැත්මක් ඉතිරි වෙනවා. ඒ ආකාරයෙන්ම මා හිටවූ ගස්, මා විසින් ලියා පළ කළ පොත් හෝ නිමවූ කලාකෘති, ජයග්‍රහණය කළ යුද්ධ, මගේ නම ගහපු පාරවල් හා ක්‍රිකට් ක්‍රීඩාංගන ආදිය හරහාත් මගේ පැවැත්ම ඉතිරි වෙනවා. මේ සියල්ලටමත් වඩා මගේ දරුවන් තුළින් මගේ පැවැත්ම දිගටම පවතිනවා. මගේ දරුවන්, ඔවුන්ගේ දරුවන් ආදී ලෙස මෙය සන්තතික දිගුකාලීන පැවැත්මක්. ඒ අඛණ්ඩ පැවැත්මේ කොටසක් වන මට අද චීන ණය වගේ දේවල් ගැන අමතක කරලා පැත්තකට වෙන්න බැහැ.

මම මෙහෙම හිතුවත් නිමල් මම හිතන විදිහටම හිතන්න අවශ්‍ය නැහැනේ. නිමල් හිතන්නේ වෙනත් ආකාරයකට වෙන්න පුළුවන්.

"ඉතිං මට පාන්ද? මම අහම්බක් විදියට ඉපදුනා. දැන් ජිවත් වෙනවා. කවදා හරි මැරෙයි. මට විවාහ වෙලා ළමයි හදන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා මගේ මරණයෙන් පස්සේ ලෝකය මොන වගේ එකක්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි!"

නිමල්ගේ තර්කයේ කිසි වැරැද්දක් නැහැ. ඔය විදිහට හිතන අය ඉන්නවා. හැබැයි නිමල් වගේ අයට පරිණාමික පැවැත්මක් නැහැ. මනුෂ්‍ය සංහතිය පවතින්නේ ගොඩක් අය නිමල් හිතන විදිහට නොහිතන නිසා. නිමල් විසින් මේ මොහොතේ තේරුම් නොගත්තත් බොහෝ දෙනෙක් දැන හෝ නොදැන තමන්ගේ සම්මත මරණයෙන් ඔබ්බට යන අඛණ්ඩ පරිණාමික පැවැත්මක් ඉතිරි කරනවා.

පවතින තත්ත්වය එහෙමයි කියලා ඒ තත්ත්වය එලෙසම පවතින්න පරම වූ හේතුවක් නැහැ. ඒ නිසා, නිමල් වගේ හිතන අය ලෝකයේ බහුතරය වුනොත් එහිත් කිසිදු වැරැද්දක් නැහැ. තමන්ගේ මේ මොහොතේ විනෝදයෙන් කොටසක් කැප කරලා මනුෂ්‍ය සංහතියේ පැවැත්ම ගැන හිතන්න කියලා මට නිමල්ට බලකරන්න පුළුවන්කමක් නැහැ. මට එහෙම කරන්න පදනමක් නැහැ.

යම් කිසි මොහොතක නිමල් වගේ හිතන යම් පිරිසක් සමාජයේ ඉන්නවා. නමුත්, බොහෝ දෙනෙකුට නිමල් වගේ නොහිතන්න ජීව විද්‍යාත්මක පෙළඹුමක් ජාන වලින්ම එනවා. නිමල් කියා කියන්නේ ඒ ජීව විද්‍යාත්මක තෙරපුම පාලනය කර ගන්න සමත් වූ සුළුතරයක එක් අයෙක්. 

හැබැයි තමන්ගේ සම්මත මරණයෙන් පසු පැවැත්ම ගැන කිසිදු බරක් නොතබන බව කියන  නිමල්ට තමන් දරන මතවාදය තමන්ගේ මරණයෙන් ඔබ්බට ඉතිරි කරන්නත් කිසිදු තර්කානුකූල හේතුවක් නැහැ. ඔහු එහෙම කරනවානම් එයින් අදහස් වෙන්නේ ඔහු තමන්ගේ මරණින් පසු පැවැත්ම සම්බන්ධව බරක් තබන කෙනෙක් බවයි. එය විසංවාදයක්.

නිමල් තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම ගැන කිසිදු බරක් තියන්නේ නැත්නම්, ඔහුට දරුවන් හදන්න, රට ජාතිය ගැන හිතන්න හෝ චීන ණය ගැන හිතන්න කිසිදු හේතුවක් නැහැ. ඒ එක්කම ඔහුට තමන්ගේ මේ මතවාදය ව්‍යාප්ත කරන්නත් කිසිම හේතුවක් නැහැ. අනික් අයගේ පැවැත්ම ගැන ඔහු වද වෙන්නේ මොන කෙහෙම්මලකටද? ඒ නිසා, නිමල්ගේ ජාන වගේම නිමල්ගේ මතවාදයත් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව ඉතාම අඩුයි. 

ඊළඟ පරම්පරාව බිහි කරන්නේ තමන්ගේ මරණයෙන් මතුවට ඉතිරි වන ලෝකය කෙරෙහි බලපෑමක් තිබෙන චීන ණය ගැන, රට ජාතිය ගැන, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හෝ වෙන මොන කෙහෙල්මලක් ගැන හෝ හිතන අයයි. ඒ අය අතරිනුත් අලුත් නිමල්ලා කොටසක් බිහි වුනත් ඒ පිරිස හැමදාමත් අහඹු ලෙස බිහිවන සුළුතරයක් පමණයි.

මේ සිද්ධි දාමය මේ ආකාරයට වෙන්නේ හිතීමේ හැකියාවක් තිබෙන මිනිස්සු හා අදාළව පමණක් නෙමෙයි. වෙනත් සතෙක් ගත්තත්, ගහක් වැලක් ගත්තත් ඒ ඕනෑම ආකාරයක ජීවයකට වියහැකියාවක් ලෙස මරණයෙන් අවසන් නොවන පැවැත්මක් තිබෙනවා. ශ්‍රී මහා බෝධියට, රොබින් හුඩ්ගේ ඕක් ගහට වගේම නිමල්ගේ වත්තේ කෙසෙල් ගහටත්. මේ පැවැත්ම පිළිබඳව ඕනෑම ජීවයක් සංවේදීයි. එහෙත්, යම් ආකාරයකින් ඒ සංවේදීකම පාලනය කරගෙන මේ මොහොතේ පමණක් ජීවත් වන මිනිස්සු කලාතුරකින් ඉන්න බැරිකමක් නැහැ.

නිමල් වගේ හිතන වැඩි දෙනෙක් ඒ විදිහට හිතන්නේ තමන්ගේ දැනුමේ හෝ විශ්ලේෂණ හැකියාවේ අඩුවක් නිසා මිසක් සැබෑවටම මේ මොහොතේ ජීවත් වන නිසා නෙමෙයි. නිමල් මොන තර්ක ගෙනාවත් ඔහුගේ පැවැත්ම අවසන් වෙලා නැහැ. නිමල් වැනි අය බොහෝ විට පසුකාලීනව තමන් අතීතයේ කළ මෝඩකම් ගැන පසුතැවිලි වෙනවා. ගොඩක් කලාකාරයින්ට ජීවිතයේ අවසාන කාලයේ වෙන අවුල ඕකයි.

මරණයෙන් පසු ලෝකය ගැන තමන් වද නොවන බව නිමල් කිවුවත්, මරණය දක්වා ගෙවන ජීවිතයේ විනෝදය නිමල්ට අවශ්‍යයි. ඔහුට ජීවිතය දුකක් හෝ කවර හෝ පරම වූ අර්ථයක් නැති දෙයක් කියලා ඒ හේතුව මත ජීවිතය අවසන් කර ගන්න අවශ්‍ය නැහැ. මැරෙන තුරු ජීවත් වෙන්න නිමල්ට අවශ්‍යයි.

නිමල්ට මැරෙන තුරු ජීවත් වෙන්න අවශ්‍ය වුවත් මැරෙන දවසක් ගැන නිමල් දන්නේ නැහැ. ඒ නිසා, මරණයෙන් එහා පැත්ත ගැන නොසිතුවත් මරණය තෙක් අනාගතය ගැන ඔහුට හිතන්න වෙනවා. මේ කාලය තුල තමන්ගේ විනෝදය සොයා යාමේදී අනාගත විනෝදය වෙනුවෙන් මේ මොහොතේ විනෝදය කැප කරන්න වන අවස්ථා නිමල්ට හමු වෙනවා. සමහර විට සිදු වන්නේ එහි අනෙක් පැත්ත, එනම් අනාගත විනෝදය පරදුවට තබා මේ මොහොතේ විනෝද වීම, වෙන්නත් පුළුවන්. 

ඔය චින්තන ධාරාව දිගේ යන ගොඩක් අය යම් මොහොතක පසු තැවෙනවා. මෙසේ කියන එකෙන් මම කරන්නේ අනුභූතික කරුණක් ඉදිරිපත් කිරීමක් මිස සදාචාරාත්මක හෝ වෙනත් අවවාදයක් දෙන එක නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා.

මේ මොහොතේ විනෝදයට වැඩි බර තබන ගොඩක් අය පිළිබඳ ඇත්ත මෙයයි. ඒ ගොඩක් අයට මරණයට පෙරම තමන්ගේ මේ මොහොතේ විනෝදය වෙනුවෙන් ගෙවිය යුතු මිල ගෙවන්න වෙනවා. එවිට ආපසු හැරෙන්න ප්‍රමාද වැඩියි. මෙය අවබෝධ කර ගැනීම සඳහා කර්මය, දෙවියන්ගේ කැමැත්ත වගේ දේවල් වල සම්බන්ධයක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍යනම් සම්බන්ධ කරගත්තා කියලා ප්‍රශ්නයකුත් නැහැ.

එසේ නැති, සැබෑවටම මේ මොහොතේ ජීවත් වන කෙනෙක් ඉන්න බැහැ කියලා මම කියන්නේ නැහැ. එවැනි කෙනෙක්ට පසුව පසු තැවෙන්න වෙන්නේ නැහැ. ඒ මේ මොහොතේ ජීවත් වනු හැර වෙනත් බලාපොරොත්තු එවැන්නෙකුට නැති නිසයි. හැබැයි එවැනි සුවිශේෂී පුද්ගලයෙකුට කාලා, බීලා, ගැහැණුන් සමඟ සතුටු වෙලා ලැබිය හැකි විශේෂ විනෝදයක් තියෙන්න විදිහක් නැහැ. ඒ මොනවා නැතත් ඒ මොහොතේ ජීවත්වීම තුළම විනෝදය තිබෙනවා. එය තිබෙන්නේ තමන් තුළමයි. 

නිමල් ඒ මට්ටටම ගිය කෙනෙක් නොවන බව ඉතා පැහැදිලියි. ඔහු මරණය තෙක් ජීවිතයේ විනෝදය සොයන්නේ තමන්ගෙන් බාහිර ලෝකය තුළයි. එම බාහිර ලෝකය සමඟ ගැටී නිමල්ට විනෝද විය හැක්කේ ඒ සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසි ලෝකය තුළ අවශ්‍ය ආකාරයෙන් සකස් වී ඇත්නම් පමණයි. එය නිකම්ම සිදු වන්නේ නැහැ. ඒ වෙනුවෙන් නිමල් විසින් කළ යුතු කාර්ය භාරයක්ද තිබෙනවා.

සම්මත මරණයෙන් ඔබ්බට බලාපොරොත්තු නැතත් අඩු වශයෙන් නොදන්නා දිනක සිදු වන සම්මත මරණය දක්වා නිමල්ට සන්තතික පැවැත්මක් තිබෙනවා. ඒ පැවැත්ම තුළ ඔහුට විනෝදය අවශ්‍යයි. මේ විනෝදය සෙවීම තුළ ඔහුට තමන්ගේ වර්තමානය සහ අනාගතය අතර නිරන්තර ගනුදෙනුවක යෙදෙන්න වෙනවා. ඒ ගනුදෙනුව නැතුව ඔහුට විනෝදය සොයන්න බැහැ. කොරෝනා ආසාදනය වී ඇති බව දන්නා රූමත් කාන්තාවක් සමඟ යහන්ගත වෙන්න අවස්ථාවක් ලැබුණොත් නිමල් එය භාර ගන්නවාද? වස බව දැන දැනම ඉතා රසවත් ආහාරයක් බුදිනවාද? මේවා අන්තයේ තිබෙන උදාහරණ වෙන්න පුළුවන්. වැදගත් කරුණ නිමල්ට අනාගතය ගැන කිසිදු බරක් නොතබා මේ මොහොතේ විනෝදය සොයන්න බැහැ කියන එකයි.

නිමල්ට මේ විදිහට ගනුදෙනුවක් තිබෙන්නේ ඔහුගේම අනාගතය එක්ක පමණක් නෙමෙයි. අසල්වැසි සුනිල්ගේ වර්තමානය හා අනාගතය එක්කත් ඔහුට ගනුදෙනුවක් තිබෙනවා. ඒ ගනුදෙනුව විනෝදය සොයා යෑමේ අත්‍යාවශ්‍ය කොන්දේසියක්. නිමල්ට තමන්ගේ විනෝදය වෙනුවෙන් සුනිල් සමග ගනුදෙනුවක යෙදෙද්දී සුනිල්ගේ විනෝදය අමතක කරන්න බැහැ. ඔහුට තමන්ගේ විනෝදය සොයන අතරම අනෙකාගේ විනෝදය ගැනත් හිතන්න වෙනවා. මේ ආකාරයට නිමල්ගේ වර්තමානය හා අනාගතය වගේම ඔහුගේ අසල්වැසියන්, මිතුරන්, නෑදෑයින්, සුරතල් සතුන් ආදී සංරචක ගණනාවක් නිමල්ගේ සතුට සොයා යාමේ සමීකරණය ඇතුළේ තිබෙනවා. 

නිමල්ට මරණයෙන් ඔබ්බට යන පැවැත්මක් හෝ තමන්ගේම කියා දරු පවුලක් නැති වෙන්න පුළුවන්. ඔහුගේ එකම අරමුණ විනෝදය සොයායාම වෙන්න පුළුවන්. නමුත්, ඒ ආකාරයට තමන්ගේම විනෝදය සොයා යාමේදී වුවත් නිමල්ට තමන්ගේම අනාගත විනෝදය හා අනුන්ගේ විනෝදය ගැන සිතා තමන්ගේ වර්තමාන විනෝදය කැප කරන්න සිදුවෙන අවස්ථා එළැඹෙනවා. එය විනෝදය සොයා යාම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක්. 

ධනවාදය අනුව ඒකීය පුද්ගලයෙක් කියන්නේ තමන්ගේ විනෝදය හොයන පුද්ගලයෙක්. එහෙත්, මේ පුද්ගලයා ජීවත් වන ලෝකයක් තිබෙනවා. ඔහුට විනෝදය හමු වෙන්නේ ඒ ලෝකය ඇතුළේ. ඒ නිසා, තමන්ගේ විනෝදය වෙනුවෙන් ඒ ලෝකය වඩා යහපත් අයුරින් පවත්වා ගන්නත් ඔහුට සිදු වෙනවා. 

නිමල්ට තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම වැදගත් නැහැ. නමුත්, සුනිල්ට එය වැදගත්. නිමල්ට තමන්ගේ මරණයෙන් පසු පැවැත්ම වැදගත් නැතත් එතෙක් සුනිල් සමඟ කරන ගනුදෙනු වැදගත්. සුනිල් නිමල් සමඟ ගනුදෙනු වල යෙදෙද්දී තමන්ගේ මරණයෙන් පසු පැවැත්මටත් බරක් තබනවා. ඒ නිසා, නිමල් සුනිල් සමඟ කරන ගනුදෙනු හරහා නිමල්ද නිමල්ගේ මරණයෙන් පසු පැවැත්මක කොටස්කරුවෙක් වෙනවා. නිමල්ට ඔහුගේ මරණයෙන් පසු පැවැත්ම නොවැදගත් වුනා කියා මෙය වෙනස් වෙන්නේ නැහැ.

අපි මේ වගේ උදාහරණයක් ගනිමු. සුනිල් වැට පැන නිමල්ගේ කෙසෙල්කැන කපනවා. නිමල් එය දැක සුනිල්ට පිහියෙන් අනිනවා. සුනිල් මැරෙනවා. නිමල් හිරේ යනවා. නිමල්ට එය ප්‍රශ්නයක් නෙමෙයි. පසුව හිරේ යන්න සිදු වුනත් ඒ මොහොතේ කළ දෙය ගැන නිමල් සතුටු වෙනවා. ඔහුට පසුතැවිල්ලකුත් නැහැ කියා කියමු. 

නිමල් සුනිල්ට පිහියෙන් අනිද්දී සුනිල් සිටියේ විනීතා සමඟ විවාහ වෙන්න සූදානමින්. දැන් ඒ විවාහය වැළකෙනවා. විවාහය සිදු වුනානම් ඔවුන්ට දරුවන් දෙදෙනෙකු ලැබෙනවා. නමුත්, දැන් ඒ දරුවන් උපදින්නේම නැහැ. නිමල් තමන්ගේ විනෝදය සොයා යාමේ ක්‍රියාවලිය ඇතුළේ සුනිල්ගේ අනාගත පැවැත්ම හොඳටම වෙනස් වෙලා.

මේ විදිහට සුනිල්ගේ අනාගත පැවැත්ම වෙනස් වුනේ නිමල්ගේ වත්තේ කෙසෙල් ගහක කෙසෙල් කැනක් වැටුණු නිසා. කෙසෙල් කැන නොතිබුණානම් සුනිල් තවම ජීවත් වෙනවා. විනීතා සුනිල්ට දාව දරුවන් වදනවා. 

නිමල්ගේ වත්තේ කෙසෙල් පඳුර හැදුණේ එහි වූ වලක කෙසෙල් පැලයක් සිටවූ නිසයි. ඒ වල හැදුණේ එහි වූ ලොකු කළු ගලක් කඩා ඉවත් කරනු ලැබීමෙන් පසුවයි. කළු ගල ඒ විදිහටම තිබුණානම් එතැන කෙසෙල් පැලයක් හිටවන්න වෙන්නේ නැහැ. කෙසෙල් පැලය නොතිබුණානම් කෙසෙල් කැනක් නැහැ. එසේ වූවානම් විනීතා සුනිල්ට දාව දරුවන් වදනවා. එහෙමනම් එම දරුවන් ලෝකයට බිහි නොවුනේ නිමල්ගේ වත්තේ වූ කළුගල කඩා ඉවත් කළ නිසාද? ගැඹුරින් හිතා බැලුවොත් කැකිල්ලේ රජ තුමාගේ නඩු තීන්දුවටත් දාර්ශනික පදනමක් තිබෙනවා. එය එක්තරා ආකාරයක ප්‍රතිපරිසිද්ධික විශ්ලේෂණයක්.

නිමල් වගේ අයටත් වෙනත් අයටත් තමන් විනෝද වන ක්‍රමයට තමන්ගේ සතුට සොයා යන්න තිබෙන අයිතිය ධනවාදය විසින් පිළිගැනෙනවා. එසේ සතුට සොයා යාමේ පූර්ව කොන්දේසියක් ලෙසම අනෙකාගේ සතුට ගැන වගේම, ගස් වැල් ඇතුළු ජීවී ලෝකය හා අජීවී ලෝකය ඇතුළු සමස්ත පරිසරය ගැනත් හිතන්න ධනවාදය විසින් ධනවාදීන්ට වගේම ධනවාදී ලෝකයක ජීවත් වන ධනවාදීන් නොවන අයටත් බල කර සිටිනවා. තම තමන්ගේ විශ්ලේෂණ හැකියාවන්ගේ හා දැනුමේ අඩුපාඩු නිසා මේ පූර්ව කොන්දේසි නොසලකන අයෙකුට කාල පමාවකින් පසුව හෝ තමන්ගේ අතීත අත්වැරැද්ද වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වෙනවා. නිමල් කන, බොන, කාන්තාවන් සමග විනෝද වෙන අතරම චීන ණය ගැන හිතන්නත් කාලය යෙදවිය යුත්තේ ඒ නිසයි. 


9 comments:

  1. ප්‍රතිචාරයට දෙනකොට
    ඔබෙ ප්‍රතිචාරේ
    බ්ලොග් එක යාවිදෝ
    ගහගෙන ග්‍රහචාරේ

    ReplyDelete
  2. ඉකොනෝ සදහන් කරලා තියෙන ඒ කොමෙන්ට් එක ඉකොනොගේ කලින් පොස්ට් එකට දැම්මේ මම. ඉකොනොට අයිපී එකෙන් ඒක දැනගන්න පුළුවන්.

    මම නීතිගරුක මනුස්සයෙක්. නීති කඩන්න කියලා මම කියලා නැහැ. එහෙම කරලා සල්ලි හොයන්න කියලත් නැහැ. නිතිය ඇතුලේ විනෝද වෙන්න. සල්ලි හොයද්දි උනත් එහෙමයි. ණය ගන්න තහහම් නැහැ. මම කසාද බදින්නෙත් නැහැ. ළමයි හදන්නෙත් නැහැ. ඉන්නකං සැපේ ඉන්නවා. හදිසියේ අනාගතයේ ලෙඩක් දුකක් හැදුනොත්, මේ ජිවිතේ ගෙනියන්න බැරි උනොත් ජිවිතේ නැති කරගන්නවා. එහෙමයි මගේ ප්ලෑන් එක. අනික මම මේ බ්ලොග් එකේ ලිපි වලින් ගොඩක් කියවලා තියෙනව. සැපේ ඉන්නවා කියන එක වැරදියට තේරුම් යන්න ඇති. නැත්තන් මේ බ්ලොග් එක කියවන්නේ නැහැනි. මේක බලද්දී ආපු අවංක අදහස තමයි කලින් කොමෙන්ට් එකක් විදියට දැම්මේ. මම යනවා ජොයින්ට් එකක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. මම කලින් විජේබාහුට ප්‍රතිචාරයක් ලෙසත් කියූ පරිදි මගේ ලිපි වලට ප්‍රාරම්භයක් ලෙස මම ඔබේ ප්‍රතිචාරය වැනි එකක් යොදා ගන්නේ එම ප්‍රතිචාරය ඔස්සේ සාකච්ඡා කළ හැකි පුළුල් මාතෘකාවක් සාකච්ඡාවට ගන්නයි. ඔබ මෙහි දැන් කියන දේවල් මම සැක කරන්නේ නැහැ. ඒ වගේම, එසේ ඔබ ලියා තිබෙන දේ ලිපියේ වලංගුතාවයට බලපාන්නෙත් නැහැ. මම මෙහි පෙන්වා දෙන මූලික කරුණ ඔබේ (දැන් මෙහි විස්තර කරන) පෞද්ගලික ජීවන විලාසිතාව වැරදියි කියා කියන්න හෝ වෙනස් කළ යුතුයි කියා යෝජනා කරන්න මට අයිතියක් හෝ පදනමක් නැහැ කියන එක. මට වෙනත් විකල්ප ජීවන විලාසිතාවක් ඔබට යෝජනා කළ හැකි වුවත්, එය පිළිගත යුතු බව ඔබට බල කරන්න මට කිසිම අයිතියක් හෝ හැකියාවක් නැහැ. මෙහිම දිගුවක් විදිහට වෙනත් කෙනෙක් පවතින නීති රාමුව කඩන තැන දක්වා වුවත් යන්න පුළුවන්. මොකද ඔබේ ප්‍රායෝගික භාවිතය අනුව ඔබ එසේ නොකළත්, ඔබේ දාර්ශනික පදනම පිළිගන්නා කෙනෙක්ට එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ කියන විදිහට ඔබ "හදිසියේ අනාගතයේ ලෙඩක් දුකක් හැදුනොත්, මේ ජිවිතේ ගෙනියන්න බැරි උනොත් ජිවිතේ නැති කරගන්නවා." මෙහිදී ඔබ නොසලකා හරින කාරණය ඒ විදිහට හදිසියේ ලෙඩක් දුකක් හැදෙන එක තනිකරම අහම්බයක් නොවන බවයි. එය ඔබේ වත්මන් ජීවන විලාසිතාව මත තීරණය වෙනවා. මෙහිදී ඔබ ඔබේ අනාගතය මත ඔබේ වර්තමානයෙන් තිබෙන බලපෑම ගැන බරක් තබන්නේ නැහැ. (මෙහි මෙසේ ලිවුවත් පෞද්ගලිකව මා සම්බන්ධ තත්ත්වය වුවත් යම් තරමකින් මේ වගේ). මෙහි වැරැද්දක් තිබේයැයි මම කිසිසේත්ම කියන්නේ නැහැ. නමුත්, මෙසේ සිතීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට සිදු වන්නේ පසුකාලීනව පසුතැවිලි වීමටයි. මෙහිදී ඔබට මග හැරෙන වැදගත් කරුණක් වන්නේ තව වසර 20කට පමණ පසුව ඔබ කියන්නේ අද ජීවත්වන ඔබම නොවන බවයි. ඒ වන විට ඔබේ දැන් තිබෙන ජීවිතය නැති කර ගැනීමේ අදහස් වෙනස් වී තිබෙන්න පුළුවන්. එය හරියටම කියන්න බැහැ තමයි. නමුත්, එය එසේ විය නොහැකි බව හරියටම කියන්නත් බැහැ. මිනීමැරුමක් කර නීතියෙන් වසන් වෙන කෙනෙක් සිටින්නේත් ඔයිටම සමාන මානසික තත්ත්වයකයි. අදාළ මිනීමැරීම කිරීමෙන් ඒ මොහොතේ අවශ්‍ය විනෝදය ලැබෙනවා. අහුවුනේ නැත්නම් කොහොමටත් ප්‍රශ්නයක් නැහැ. අහුවෙන්න යනවානම් ජීවිතය නැති කර ගන්න පුළුවන්. එසේ නැත්නම් ඊට සමාන දෙයක් වන මරණ දඬුවමට මුහුණ දෙන්න පුළුවන්. මෙය මීටත් වඩා ගැලපෙන්නේ මරණ දඬුවමේ අවදානම ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අයට හා කුලියට මිනී මරන පාතාල සාමාජිකයින්ට. මෙයත් තර්කානුකූලව ලෙඩක් දුකක් හැදුනු විට ජීවිතය නැති කර ගැනීමට සැලසුම් කිරීමේ මානසිකත්වයටම සමානයි. මේ තත්ත්වයන් දෙකම එකට අරගෙන සාකච්ඡා කළේ ඒ නිසා. ආගමික හෝ සදාචාරාත්මක රාමුවකින් බැහැරව නීතිකරුක වෙන්න කියා වෙනත් අයෙකුට යෝජනා කරන විට මතුවන ගැටලුවත්, චීන ණය ගැන සිතිය යුතුයි කියා ඔබට යෝජනා කළ විට මතුවන ගැටළුවත් දෙකම එකක්. මෙහි මා ඉදිරිපත් කරන්නේ ඒ ගැටළුවට ඔබේ රාමුව ඇතුළේ සිටම ඉදිරිපත් කරන පිළිතුරක්.

      Delete
    2. How is this answer doing for 'ya, Ano? If you ever read the last post, you could have dodge the bullet.

      underneath the seemingly, polite and logical sugar coating, there is a strong opinion. It's called gaslighting.

      Delete
  3. 1. ඉකොනෝ, ධනෙශ්වර ආර්ථික විද්‍යාවේ දාර්ශනික පදනම කුමක්ද?දැන් මේ ප්‍රශ්නය මම අහනකොට මෙහි විරුද්ධාර්තය අහන්න එපා. ඔබ කියනා පරිදි සතුට/ආශ්වාදය/ වින්දනය සොයා යන එක තමයි මිනිස් අහිලාෂය. ඒ සඳහා යම් විද්‍යාත්මක පදනමක් සපයන එක තමයි ආර්ථික විද්‍යාවේ අරමුණ. මෙි බව ඕනෑම ධනේශ්වර ආර්ථික විද්‍යා මුල් පොත්වල මුල්ම පාඩමේත් සඳහන් වෙනවා. නමුත් ඕනෑම දර්ශනයක් සඳහා සදාචාරාත්මක පදනමක් තිබිය යුතුයි. ඒ පදනම සමාජය පිලිගන්නා තත්වයට යන්නේ ඒ සදාචාරයට යම් උත්තම පිලිගැනීමක් ලැබුනොත් විතරයි. ඒ පිලිගන්වන වැඩේ කරන්නේ (හොඳින් හෝ නරකින්) පාලක පන්තියම නොවේද?

    2. ඔබ නියම ධනේශ්වර ආර්ථික විද්‍යාඥයකු ලෙසට විද්‍යාත්මකට නිමල්ට දී තිබෙන පිලිතුර අනුව ඕනෑම අයකු වැඩ කරන්නේ තම තෘප්තිය වෙනුවෙනි. තෘප්තිය යනු කුමක්ද? මෙහි abstract අරුතක් තිබේද? Drug cartel එකේ සිට විප්ලවවාදියා දක්වා වැඩ කරන්නේ මේ පදනමින් නම් සදාචාරය/Ethics කියලා විශයයක් දර්ශනයේ ඇත්තේ ඇයි? මේ සමස්ත ගැටලු පෙලට පිලිතුරු අප දෙපැත්තකින් දීමට උත්සාහා කරන විට , හරියට ගණිතයේ සීමා/limits අර්ථ දක්වනවා සේ , දෙපැත්තටම එකම පිලිතුර ලැබුනොත් මොන ආර්ථික විද්‍යාව ද නිවැරදි?
    CP-C


    ReplyDelete
    Replies
    1. පළමුව පොඩි වියාචනයක් (disclaimer) කරලා ඉන්නම්. මම මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ පෞද්ගලික අදහස්. බොහෝ විට මම ආර්ථික විද්‍යාව හා අදාළ දේ ලියනවා. ඒ දේවල් ආර්ථික විද්‍යාව හදාරා තිබෙන බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් එකඟ වන සම්මත දේවල්. එහෙත් එසේ නොවන හෝ එසේ වෙනත් අය එකඟ වනවාදැයි මා දන්නේ නැති හෝ හොයා බලා නැති දේවලුත් මම ලියනවා. ඔබ අහන ආර්ථික විද්‍යාවේ දාර්ශනික පදනම කුමක්ද කියන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබෙන්න පුළුවන්. දැන් ඔබ මේ ප්‍රශ්නය අහන්නේ මගෙන් නිසා මම ඉදිරිපත් කරන්නේ මගේ පිළිතුර. විශේෂ සඳහනක් නැත්නම් පොදුවේ මගේ ප්‍රතිචාර ඔබ විසින් කියවා ගත යුත්තේ එම පදනමින්.

      දැන් ඔබේ ප්‍රශ්නය ආර්ථික විද්‍යාවේ සදාචාරාත්මක පදනම කියන එකනේ. ගොඩක් ගැඹුරට ගියොත් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විසඳන එක් එක් ගැටළුව හා අදාළව එවැනි සදාචාරාත්මක පදනම් ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා පුළුල් ලෙස බලුවොත් මේ ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුර සරල එකක් නෙමෙයි. ඒ නිසා අපි දැනට ආර්ථික විද්‍යාඥයෙකුට විසඳන්න සිදු වෙන මූලික හා පොදු ගැටළුවකට ප්‍රශ්නය සීමා කරමු. වෙනත් සුවිශේෂී ගැටළු ගැන ඔබට අහන්න අවශ්‍යනම් මට මේ මූලික ගැටළුවෙන් ඔබ්බට යන්න පුළුවන්. මේ මූලික ගැටලුව වන්නේ විවිධ පුද්ගලයින් අතර සම්පත් බෙදී යා යුතු පදනම කුමක්ද කියන එකයි. දැන් මේ සීමිත එහෙත් වැදගත් ප්‍රශ්නයට මට සෘජු හා සරල පිළිතුරක් දෙන්න පුළුවන්.

      පළමුව මේ ප්‍රශ්නය මතු වන පසුබිම තේරුම් ගන්න වෙනවා. ඒ පසුබිම පිළිබඳව බොහෝ විට ඔබත් එකඟ වෙනවා කියා මම හිතනවා. මිනිස් අහිලාෂය සතුට/ආශ්වාදය/ වින්දනය සොයා යාම හෝ එහි අනෙක් පැත්ත වන අසතුට බැහැර කිරීම. නමුත්, බොහෝ විට මිනිසුන්ගේ අභිලාෂ හා එම අභිලාෂ ඉටු කර ගත හැකි සීමාව අතර පරතරයක් තිබෙනවා. ඒ පරතරය ඇති වීමට හේතුව මිනිසුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට අවශ්‍ය තරමට සම්පත් නැති වීමයි. ඒ නිසා තිබෙන සීමිත සම්පත් බෙදී යා යුත්තේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා. මෙය සදාචාරාත්මක හෝ දාර්ශනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

      දැන් ඔබේ ප්‍රශ්නයට පිළිතුර. මේ ප්‍රශ්නයට ධනවාදී පිළිතුර වෙන්නේ සම්පත් බෙදී යා යුතු ආකාරය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ කිසියම් සම්පතක් නිර්මාණය කරන පුද්ගලයාට බවයි. මෙහි සදාචාරාත්මක පදනම ඉතාම පැහැදිලියි. අදාළ පුද්ගලයා නොවන්නට එම සම්පත නිර්මාණය වෙන්නේම නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාගේ දායකත්වය කියන සාධකය බැහැර කර අදාළ සම්පත බෙදී යා යුතු ආකාරය වෙනත් අය විසින් තීරණය කිරීම සදාචාර විරෝධීයි. එවැනි තත්ත්වයක් යටතේදී, බලහත්කාරය යොදා ඒ පුද්ගලයාව නිෂ්පාදනය සඳහා යොදා ගත්තොත් හැර, අදාළ සම්පත නිර්මාණය වන්නේම නැහැ. ඒ නිසා, එය භුක්ති විඳීමේ අවස්ථාව ඒ පුද්ගලයාට හෝ වෙනත් අයට හිමි වන්නේ නැහැ. සම්පත බෙදී යා යුත්තේ කෙසේද කියන එක තීරණය කිරීමේ අයිතිය තමන් සතු වන පසුබිමකදී ඔහු එය නිර්මාණය කර ඔහුගේ අභිරුචිය පරිදි වෙනත් අය සමඟත් බෙදා ගන්නවා. එය සමානව බෙදීමක් වීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි.

      මේ සරල ආකෘතිය ප්‍රමාණවත් නොවන විශේෂ අවස්ථා තිබෙනවා. ඒ විශේෂ අවස්ථා වලදී වෙනත් (අමතර) දාර්ශනික පදනම් යොදා ගන්න අවශ්‍ය විය හැකියි.

      "[සම්පත් බෙදී යා යුතු නිවැරදි ආකාරය පිළිබඳ] දාර්ශනික පදනම පිළිගන්වන වැඩේ කරන්නේ (හොඳින් හෝ නරකින්) පාලක පන්තියම නොවේද?"

      සමාජවාදී රටක් හෝ වෙනත් ආකාරයක ඒකාධිපති පාලනයක් තිබෙන රටක් හා සම්බන්ධව මේ ප්‍රකාශය නිවැරදියි. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක වෙන්නේ එහි අනෙක් පැත්තයි. එවැනි රටක පාලකයින්ගෙන් නිරූපණය වෙන්නේත් ඔබේ වචන වලින් කිවුවොත්, උත්තම පිළිගැනීමක් තිබෙන, සමාජ සම්මතය බවට පත් වී ඇති දාර්ශනික පදනමයි. සමාජ සම්මත වෙනස් වන විට කෙටිකාලීනව සමාජය හා පාලකයා අතර යම් පරතරයක් ඇති වෙන්න පුළුවන්. එහෙත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ එවැනි පරතරයක් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නැති සමාජවාදී රටක වුවත් යම් අවස්ථාවකදී මේ පරතරය නැති වෙනවා. ටික දෙනෙකු විසින් හොඳින් හෝ නරකින් බොහෝ දෙනෙකුට තමන්ගේ දාර්ශනික පදනම පිළිගන්වන එක ටික කාලයක් කළ හැකි වුවත් එය දිගු කාලයක් තිස්සේ කරන්න බැහැ.

      Delete
    2. තෘප්තිය යනු කුමක්ද? මෙය පුද්ගලයාට සාපේක්ෂ දෙයක්. මගේ තෘප්තිය තිබෙන්නේ කොහේද කියලා මම දන්නවා. ඒ වගේම ඔබේ තෘප්තිය තිබෙන්නේ කොහේද කියා ඔබ දන්නවා ඇති. ඔබේ තෘප්තිය තිබෙන්නේ කොහේද කියා මට අනුමාන කරන්න පුළුවන් වුණත් මට එය කවදාවත් හරියටම දැන ගන්න ක්‍රමයක් නැහැ. අඩු වශයෙන් මගේ පවුලේ සාමාජිකයින් හෝ සමීපතමයන් සැලකුවත් එහි වෙනසක් නැහැ. මට තිබෙන්නේ යම් අදහසක් පමණයි. එයට abstract අරුතක් දෙන්න යන එක අනවශ්‍ය වැඩක්. එසේ කරන්න උත්සාහ කිරීම සමාජවාදී භාවිතාවක්.

      ධනවාදී ක්‍රමයක් ඇතුළේ සාර්ථක වෙන්නේ අනෙකාගේ තෘප්තිය තිබෙන තැන වඩා සාර්ථක ලෙස හඳුනාගත හැකි අයයි. ඒ නිසා, එක පැත්තකින් මේ සඳහා තරඟයක් තිබෙනවා. මට ඔබේ තෘප්තිය වඩා නිවැරදිව හඳුනාගත් තරමට ඔබට වටිනාකමක් නිර්මාණය කර දීම පහසු වෙනවා. ඔබට වටිනාකම් නිර්මාණය කර දිය හැකි තරමට මට එම වටිනාකමේ මිල ඔබගෙන් අය කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ධනවාදය කියා කියන්නේ හැම විටම තමන්ගේ තෘප්තිය ගැන වගේම අනෙකාගේ තෘප්තිය ගැනත් හිතන මිනිසුන් බිහි කරන ක්‍රමයක්. අනෙකාව හැකි තරම් තෘප්තිමත් කිරීම තමන්ගේ තෘප්තිය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක්.

      උදාහරණයක් විදිහට ඔබ මෙහි ප්‍රතිචාරයක් දමන එකෙන් මම සතුටු වෙනවානම්, ඒ සඳහා ඔබව පොළඹවා ගැනීම සඳහා මට ඔබවත් සතුටු කරන්න සිදු වෙනවා. ඒ සඳහා මට ඔබේ තෘප්තිය කුමක්ද කියන එක අනුමාන කරන්න වෙනවා. මට එය නිවැරදිව අනුමාන කළ නොහැකි වුනොත් ඔබ සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා, මට මගේ තෘප්තියත් අහිමි වෙනවා.

      නිදහස් වෙළඳපොලක මිල කියා කියන්නේ අපට හරියටම හඳුනාගත නොහැකි අනෙකාගේ තෘප්තිය පිළිබඳ තොරතුරු ඇතුළත් සංඥාවයි. ඒ සංඥාව දෙස බලා අපට අනෙකාගේ තෘප්තිය තිබෙන තැන හා එය වෙනස් වන ආකාරය වක්‍ර ලෙස නිරීක්ෂණය කරන්න පුළුවන්. නිදහස් වෙළඳපොලට බාධා කළ වහාම ඒ වටිනා සංඥාව නොපෙනී යනවා.

      මම මේ බ්ලොග් එක කියවීමේ පූර්ව කොන්දේසියක් විදිහට රුපියල් පහක් අය කළොත් දැන් මෙය කියවන බොහෝ දෙනෙක් මෙය කියවන්නේ නැහැ. ඒ වගේම කියවන අයට රුපියල් පහ බැගින් ගෙවනවා කිවුවොත් දැන් නොකියවන තවත් පිරිසක් මෙය කියවන්න පටන් ගන්නවා. මේ දෙස බලා මට යම් කිසි කෙනෙක් මේ බ්ලොග් එක කියවීමෙන් ලබන විනෝදය හෝ ප්‍රති-විනෝදය ගැන අදහසක් ගන්න පුළුවන්.

      සම්පත් නිපදවන සම්පත් වල සැබෑ හිමිකරුවන්ට එම සම්පත් වල නියම වටිනාකම ලබා ගත හැකි වන්නේ එම සම්පත් වඩාත්ම අගය කරන පුද්ගලයා අතට එම සම්පත් පත් කළ හැකි වුවහොත් පමණයි. එසේ වඩාත් අගය කරන්නේ එයින් වැඩිම තෘප්තියක් ලබන පුද්ගලයා. නිදහස් වෙළඳපොළ සංඥාව නොපෙනී ගිය පසු එය කරන්න විදිහක් නැහැ. එවිට තිබෙන්නේ අඳුරේ අතපත ගෑමක්. ප්‍රතිඵලය වන්නේ සම්පත් ඒවා අවශ්‍ය නොවන අය වෙත ගොස් අගය විනාශ වී යාමයි.

      සදාචාරය කියා විෂයයක් පවතින්නේ එවැනි විෂයයක් හදාරන්න කැමති පිරිසක් ඉන්න නිසා. එම විෂය හැදෑරීමෙන් ඒ පිරිසට තෘප්තියක් ලැබෙන නිසා.

      ආර්ථික විද්‍යාඥයින්ට විසඳන්න සිදු වන බොහෝ ගැටළු මෙහි කතා කරනවාට වඩා ගොඩක් සංකීර්ණයි. සැබෑ ලෝකයේ එවැනි අවස්ථා වලදී දෙපැත්තකින් නෙමෙයි පැති ගණනාවකින් එකම පිළිතුර ලැබෙන අවස්ථා ඉතාම සුලබයි. බොහෝ විට සාමාන්‍ය තත්ත්වය. එවැනි අවස්ථාවක කෙරෙන්නේ බොහෝ දෙනෙක් සාකච්ඡා කර, වාද විවාද කර එකඟතාවයකට පැමිණෙන එකයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එයයි.

      මේ වගේ ප්‍රශ්න නිතර මතු වන්නේම සමාජවාදී ක්‍රමය ඇතුළේ. මොකද එහිදී වෙන්නේ ටික දෙනෙක් විසින් නිවැරදි දේ කියා එකක් තෝරා ගෙන එය අනෙක් අය මත බලෙන් පටවන එකයි. ඒ නිසා හැම වෙලාවේම නිවැරදි දේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ධනවාදී ක්‍රමයක් ඇතුළේ "නිවැරදි" ආර්ථික විද්‍යා න්‍යායයන් කොයි තරම් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. වැඩි වුනු තරමට හොඳයි. කැමති කෙනෙකුට කැමති එකක් පිළිගන්න බාධාවක් නැහැ. වඩා නිවැරදි න්‍යාය තෝරාගත් පුද්ගලයා සාර්ථක වෙයි. අනෙක් පුද්ගලයා අසාර්ථක වෙයි. එපමණයි. විවිධ රටවල් දිහා බැලුවහම මෙය පෙනෙන්නම තියෙනවනේ.

      Delete
  4. ධනවත් රටවල්, ලංකාව වගේ රටවල් ගල් යුගයේ තියන්න දෙන්නෙ නෑ.... මොකද උන්ගේ නිශ්පාදනය වලට වෙළඳපලක් හදාගන්න. ආධාර, ණය, පරිත්‍යාග විදිහට ලැබෙන විදේශ "ඇම" නොගෙම ඉන්න බෑ....

    ReplyDelete
  5. සෑහෙන ගැඹුරු පැහැදිලි කිරීමක්. සංක්ෂිප්තව ගත්තොත්, මට තේරුන විදියට, අපි මේ සංකීර්ණ සමාජයේ කොටසක් නිසා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් චීන ණය ගැන හිතන්න වෙනවා....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: