වෙබ් ලිපිනය:

Thursday, April 8, 2021

වංචාව, දූෂණය නැති කරන ක්‍රමය


දූෂණය, නාස්තිය, හොරකම් වගේ දේවල් ලංකාවේ දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකා. ලංකාව අද තියෙන තැන තියෙන්නේ ඇයි කියලා ඇහුවොත් ගොඩක් අය නොපැකිල දෙන පිළිතුර වන්නේ රට පාලනය කරන හා/හෝ කරපු අයගේ හොරකම් නිසා කියන එක. නිදහස ලබපු දවසේ ඉඳලා රට පාලනය කරපු අය කරලා තියන්නේ හොරකම් කරන එක. ඊට කලින්? ඊට කලින් වුනේ සුද්දා අපේ දේවල් හොරකම් කරගෙන ගිය එක. ආණ්ඩු කරපු උදවිය දිගින් දිගටම හොරකම් නොකළානම් අද ලංකාව ඇමරිකාවත් පහු කරලා!

මහින්දලාගේ හොරකම් ඇති වෙලා යහපාලනේ ගෙනාවා. යහපාලනේ ගෙනාවේ හොරු අල්ලන්න වුනත් හොරු යහපාලනේ ඇල්ලුවා. ඊට පස්සේ යහපාලනේ එලෝලා ලී ක්වාන් යූ කෙනෙක් ගෙනාවා. දැන් සීනි, පොල්තෙල් වල ඉඳන් හොරකම්. ඊළඟට ගේන්නේ කාවද?

ආණ්ඩුව හොරකම් කරනවා කියන කතාව ලංකාවේ හැම දේශපාලන පක්ෂයක් විසින්ම කියන කතාවක්. හැබැයි විපක්ෂයේ ඉන්න කොට. හැමදාම විපක්ෂයේ ඉන්න ජවිපෙ වගේ පක්ෂ ඔය කතාව හැමදාම කියනවා. ආණ්ඩුව හොරකම් කරන එකට විසඳුම මොකක්ද? ආණ්ඩුව මාරු කරලා අලුත් ආණ්ඩුවක් ගේන එක. ඒ අලුත් ආණ්ඩුවත් හොරකම් කළොත්? ආපහු පරණ එක ගේනවා. 

මෙතෙක් බලයේ නොහිටි කට්ටියකට බලය දුන්නොත් ඔය හොරකම් නවතියිද? මිනිස්සුනම් එහෙම හිතන පාටක් නැහැ. මෙතැනදී මිනිස්සු නිවැරදියි. මෙතෙක් බලයේ නොහිටි කට්ටියකට බලය දුන්නා කියලා හොරකම් නවතින්න විදිහක් තියෙනවද? කලින් බලයේ හිටපු අයගෙයි මෙතෙක් බලයේ නොහිටි අයගෙයි වෙනස මොකක්ද?

ප්‍රශ්නය ආණ්ඩුව කරන අය හොරකම් කරන්නේ ඇයි කියන එක නෙමෙයි. ආණ්ඩුව කරන අය හොරකම් නොකරන්න හේතුවක් තියෙනවද කියන එකයි. රජයට ඒකාධිකාරයක් හදලා දෙනවා කියන්නේම රජය කියන ඒකකයට සම්බන්ධ වෙලා ඉන්න පිරිසට හොරකම් කරන්න අවස්ථාවක් හදලා දෙනවා කියන එකම තමයි.

ඓතිහාසික භෞතිකවාදය අනුව සමාජ පරිණාමය අවසන් වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදිලා. ඔය කොමියුනිස්ට් සමාජයේ රජයක් කියා එකක් නැහැ. හැබැයි රජය සම්පූර්ණයෙන් අහෝසි වෙලා කොමියුනිස්ට් සමාජයක් හැදෙන්නනම් ඊට කලින් සමාජවාදයක් හැදෙන්න ඕනෑ.

සමාජවාදය කියා කියන්නේ තනිකරම කොමියුනිස්ට් සමාජයක අනික් පැත්ත. හැම දෙයක්ම පාලනය කරන්නේ රජය විසින්. හැබැයි ඔය විදිහට හැදුනු කිසිම සමාජවාදයක් තවම රජයක් නැති කොමියුනිස්ට් ක්‍රමයකින් අවසන් වෙලා නැහැ. සමාජවාද යටතේ රජයයන් එන්න එන්නම ශක්තිමත් වෙන එක විතරයි වෙලා තියෙන්නේ. 

නිදහස ලබන්නත් කලින් ඉඳලා පුළුවන් තරම් සමාජවාදී මාර්ගයේ ගිය ලංකාව සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ එහි උච්චතම අවස්ථාවට පැමිණුනා. එහි ප්‍රතිඵලයක් විදිහට ජේආර්ට බලය ලැබුණා. ජේආර් නිල වශයෙන්ම, ව්‍යවස්ථාවෙන්ම ලංකාව සමාජවාදී ජනරජයක් බවට කළා. ව්‍යවස්ථාවේ පළමු වගන්තියෙන්ම කියන්නේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් බවයි. ජේආර්ගේ ව්‍යවස්ථාව සම්මත වූ දවසේ පටන් රටේ නමත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය.

මාක්ස්වාදීන් විශ්වාස කරන රජයක් නැති, කොමියුනිස්ට් සමාජයක් පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව. රජයකින් පාලනය වන සමාජවාදී සමාජයක් අවශ්‍ය වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදෙන්න අවශ්‍ය වන ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන්න. චීනය, කියුබාව වගේ රටවල් කාලයක් තිස්සේම කරමින් ඉන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නගන වැඩේ. සමාජවාදීන් විශ්වාස කරන ප්‍රජාත්නත්‍රවාදය මොන වගේ එකක්ද කියලා ඔය රටවල් දිහා බලලා තේරුම් ගන්න පුළුවන්නේ. ජේආර්ගේ ව්‍යවස්ථාවේ කියන්නෙත් ඔය විදිහේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන වෙන්න ඇති. නැත්නම් "ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය" කියලා සමාජවාදී කෑල්ලකුත් එකතු කරන්න අවශ්‍ය නැහැනේ.

ලංකාවේ සමාජවාදය ව්‍යවස්ථාවේ විතරක් තියෙන එකක්ද? පැහැදිලිවම නැහැ. සැකයක් තියෙන කෙනෙක් කළ යුත්තේ කොමියුනිස්ට් මූලධර්ම එකින් එක අරගෙන ලංකාව එක්ක සංසන්දනය කරන එකයි. ඔය සමාජවාදී මූලධර්ම ක්‍රියාත්මකව පවතින තුරු හොරකම, දූෂණය, වංචාව ගහට පොත්ත වගේ තමයි. හොරකම් කරන්න තිබෙන අවස්ථා අවම වන පරිදි රජය කුඩා නොකර ඔළුගෙඩි මාරු කළා කියලා කවදාවත් හොරකම් නවතින්නේ නැහැ.

පසුගාමීත්වය වෙනුවෙන් පෙනී සිටින ඊනියා වෑන්ගාඩ් පක්ෂ ළිං පතුල් වල ඉන්න ටික දෙනෙක් ඇර අනෙක් ගොඩක් අය සමාජවාදී මුලාවේ නැහැ. ඒ නිසා, මිනිස්සු ආණ්ඩුවේ හොරකම්, දූෂණ ගැන කතා කළත්, ඒවාට සංවේදී වුනත්, හොරකම්, දූෂණ වගේම මාධ්‍ය මර්දනය, භීෂණය වගේ දේවල් සෘජුවම සංස්ථාපනය කරන ක්‍රමයකට සහයෝගය දෙන්න තරම් මුලාවක නැහැ. ඉඟුරු දීලා මිරිස් අරගෙන කටදැවිලි හදාගත්තත් මිරිස් කඳු වල ගිලිලා සිය දිවි හානි කරගන්නේ නැහැ. 

11 comments:

  1. රටක පාලකයො වෙන්නෙත් රටේ අයයි
    අපෙන් බහුතරෙත් හොරකම පුරුදු අයයි
    තිත්ත ඇත්ත අපහට වහ කදුරු වගෙයි
    රටට කලින් වැසියන් ටික හැදෙන්න වෙයි

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි නිමල් මහත්මයා,

      සැබැවින්ම ලඬ්කා සමාජය යනු කෝපයෙන් දැවෙන සමාජයක්. ගැහැණු වේවා පිරිමි වේවා සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බෞද්ධ වේවා හින්දු වේවා කතෝලික වේවා ක්‍රිස්තියානි වේවා ඉස්ලාම් වේවා නිරාගමික වේවා බයි වේවා ටොයි වේවා ජෙපි වේවා නිර්පාක්ෂික වේවා වෙනත් ඕනෑම වර්ගීකරණයක වේවා ලඬ්කාවේ පොදු සමාජයට ඇත්තේ තදබල මානසික ආතතියක්, නොඉවසිල්ලක්, වියරුවක්. අප මෙතනට පැමිණියේ කෙසේද? අප මෙතනින් යන්නේ කොතනටද?

      මේ ආතති කතාව ගැන මං කිහිප තැනක කියවලා තියෙනවා.

      1971, 1988/89, එල්ටීටීඊ වගේ රුදුරු භීෂණයන් ඇතිවීමට හේතුවත් ඒක. වෙන රටවල ඔහොම දේවල් වුණාට පස්සේ හිත් සුවපත් කරන්න විවධ දේවල් විවිධ අය කරනවා. ලංකාවේ කැළැල් තාම ඇදුම් කනවා. �� ලංකාවේ තත්ත්වය අනුව ඇත්තේ තත්පරයක්වත් ඉවසීමට නොහැකි දැඩි නොයිවසිලිමත් බවකි. මේ ගැන ඔබේ අදහස් මොනවද?

      Delete
    2. Nimal and Ano 8, 2021 at 11:56 both correct.

      Most of our people are politically bias mentally ill fools, do not think critically, act like animals, just see when people queuing for service and driving on the roads. These people will one day become politicians, what do you expect. Even well educated behave like fools when they are in politics

      And see the comment by 'Ano 8, 2021 at 11:40 AM, this clearly shows the limited knowledge about foreign investments.

      Delete
  2. මෝඩ නන්ද සීනි උන්නැහේ ගේ කැලෑ කපන කම්බා හොර ආණ්ඩුවේ පූර්ණ සහය ඇතුව මේ දවස් වල ලෝකයේ ලොකුම කැපිටලිස්ට් කෙනෙක් වෙන වෝල්ට් ඩිස්නි සමාගම ලංකාවේ ඉන්වෙස්ට් කරන්න හදනවා කියන්නේ ඇත්ත ද ඉකෝන්?

    ආණ්ඩුවේ හෙංචයියන් කියන හැටියට ඒකම ඇතිලු අලුත් ආණ්ඩුවේ ආයොජන හැසිරවීමේ දක්ෂතාවය පෙන්නන්න. බම්බුව තමයි ලොල්. මේක ලංකාවේ ආර්ථිකය වෙනස් වෙන තැනක් ද?

    පහුගිය කාලේ ඩොලර් මිලියන දහයක සමාගමක් ගේන්න යහපාලනය රජය කටයුතු කළේ නෑ. ඒ වෙනුවට ජනතාවාදී යහපාලන රජය ආයෝජන වෙනුවට ගෙනාවේ MCC, ZEPA වගේ ගිවිසුම්. ඒ හරහා රටට හිතකර වෙළඳාම දියුණු කිරීමට කටයුතු කළේ.

    ඩොලර් බිලියන 138 ක වටිනාකමක් තියෙන වෝල්‍ට් ඩිස්නි සමාගම ලංකාවට එනවා කියන්නේ ආණ්ඩුව ලංකාවේ ආර්ථිකය ඇමරිකානු එක්සත් ජනපදයට විකුණන එකේ මුල් පියවර බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ අය පැවසූ කරුණු බොහෝ දුරට සත්‍යක් විය යුතුයි.

    මේක ලෝකෙටම සංඥාවක්. ධනවාදී මංකොල්ලකාරී විෂම සමාජ ක්‍රමයක් තුල අද එන්නේ වෝල්ට් ඩිස්නි නම් හෙට ඇපල්, ගූගල්, සැම්සුන් ආදී මේ බහුජාතික බූවලු සමාගම් සියල්ලටම ලංකාවට ඇවිත් ලංකාවේ වටිනා සම්පත් සහ ශ්‍රමය මංකොල්ල කෑම් කරමින් ධනය පිටරටවලට ඇදගැනීමට අවස්ථාවක් හැදෙනවා.

    නූතන දූෂිත නන්දසේන රෙජීමයේ ක්‍රියාකාරීත්වය යටතේ දකුණු ආසියාවේ ධනවාදී මංකොල්ලකාරීන්ගේ ආයෝජන ඉලක්කය ඉන්දියාවවත්, මාලදිවයනවත් නෙවෙයි දුප්පත් ශ්‍රී ලංකාව බව පේනවා නේද මේවායෙන්?

    ඒ නිසා මේ ප්‍රොජෙක්ට් එකට විරුද්ධව සියලු විපක්ෂ කණ්ඩායම් ඒකාබද්ධ ලෙස කටයුතු කරමින් විරෝධය පළ කරමින් දිවි හිමියෙන් සටන් කිරීමට කටයුතු කළ යුතුයි.

    ආණ්ඩුව බාධක සියල්ල විනාශ කරලා මේ ව්‍යාපෘතිය කළ යුතුමයි කියන මතයේ ඉන්න නිසා මේකට විරුද්ධව ප්‍රබල සටනක් කරන්නම ඕනේ. මේකට ඉකෝන් ඔබේ සහයෝගය අත්‍යවශ්‍ය සාධකයක් බව මතක් කිරීමට අප කැමතියි. මේ ගැන ඔබේ අදහස් මොනවද?

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා මේක දැක්ක ද?

    මහ බකපණ්ඩිත ටියුෂන් ගුරෙක් නන්ද සේන ගේ වන්දිභට්ට වියත් මග කල්ලිය විසින් සමාජ ගත කිරීමට කටයුතු කරන බව පේනවා නේද? මිථ්‍යා මත සමාජ ගත කරන හැටි සහ මේ හරහා ලාබාල තරුණ තරුණියන් ගේ මොළ ශෝධනය කර මේ මිථ්‍යා දෘෂ්ටික වැරදි අදහස් සමස්ත සමාජය පුරාම පතුරමින් සිටින බව පේනවා නේද? මුලින් වියත් මග රැස්වීම් වල දැන් මුළු රටම මේ අසත්‍ය පච ප්‍රචාර වලට රැවටෙන බවත් ප්‍රශ්නයක්, මේක බලන්න;

    https://www.facebook.com/TissaJananayake01/videos/329884608365077/

    ReplyDelete
  4. 'දූෂණය, නාස්තිය, හොරකම් වගේ දේවල් ලංකාවේ දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකා'

    ඒවා ලංකාවේ මිනිස්සු බලාගනියි. ඉකොනෝ, තමුන් ඉන්න රටේදී තමුන් මුහුණ දෙන ගැටළු ගැන කතාකරනවකෝ. ඒ ගැන ලියනවකෝ මේකේ.

    මොකද එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉකොනොලා ජීවත් වෙන්නේ මෙහෙමයි, ඉකොනෝලට ඒ අය ජීවත් වෙන රටේ පිළිගැනීම මෙහෙමයි, ඒ රටේ නීතිය සැමට සමානව (වර්ණ බේදයක් නැතුව, සුදු ජාතික පොලිස්නිලධාරීන් කළු ජාතිකයන් ඝාතනය නොකරන, ආසියානුවන්ට විරෝධය නොදක්වන) ක්‍රියාත්මක වෙනවා කියලා අදහසක් වත් ගන්න පුළුවන් නොවැ.

    ReplyDelete
    Replies
    1. //ඉකොනෝ, තමුන් ඉන්න රටේදී තමුන් මුහුණ දෙන ගැටළු ගැන කතාකරනවකෝ. //

      ඒවා ගැන බලාගන්න ලංකාවේ ඕනෑ තරම් මිනිස්සු ඉන්නවනේ. අපිත් කතා කරන්න අවශ්‍ය නැහැනේ.

      Delete
    2. මොකද එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඉකොනොලා ජීවත් වෙන්නේ මෙහෙමයි, ඉකොනෝලට ඒ අය ජීවත් වෙන රටේ පිළිගැනීම මෙහෙමයි, ඒ රටේ නීතිය සැමට සමානව (වර්ණ බේදයක් නැතුව, සුදු ජාතික පොලිස්නිලධාරීන් කළු ජාතිකයන් ඝාතනය නොකරන, ආසියානුවන්ට විරෝධය නොදක්වන) ක්‍රියාත්මක වෙනවා කියලා අදහසක් වත් ගන්න පුළුවන් නොවැ.

      Delete
  5. නාගානන්‍ද මහත්තයා වගේ නීතීඥයෙක්ට බලය දුන්න නම් වංචාව දූෂණය නවතියි.
    හමුදා කාරයන්ට රට දුන්නොත් රට ඉවරයි.

    ReplyDelete
  6. අඬනවා අප්පච්චි මේ මම දැන්.

    ReplyDelete
  7. ඉකොනො, මම හිතන්නේ ඔබ සමාජ ජාල වල තියෙන බහුතර අදහස් දැකලා කලකිරී සිටින බවයි.

    නමුත් මම හිතන්නේ මේ වගේ යල් පැනගිය අදහස් දරන්නන් එබඳු මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දොඩන අය ෆේස් බුකියේ වැනි තැන්වල යම් ප්‍රමාණයකට ප්‍රසිද්ධ වුණාට ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ මේ අය එතරම් මතවාදීමය වශයෙන් කිසිම අන්දමේ බලයක් නැති ඉතාමත් කුඩා පිරිසක් බවයි.

    මේ බව ලංකාවේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවාම ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. බොහෝ විට මේ වගේ යල් පැනගිය අදහස් දරන්නන් ජවිපෙ ජාතික ජන බලවේග ආධාර කරුවන්.

    ජවිපෙ නායක අනුර කුමාර මධ්‍යම පාන්තික ව්‍යාපාරික ප්‍රජාව අතර ජනප්‍රිය වීම සඳහා යම් යම් මධ්‍යස්ත මිශ්‍ර ආර්ථික ක්‍රමයක් ගැන සහ යම් තාක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වාචිකව පැවසූ නමුත් අති මහත් බහුතර ජවිපෙ ජාතික ජන බලවේග සාමාජිකයන් තදින් විශ්වාස කරන එක තමයි ගොඩක්ම වත්මන් සමාජය තුළ අපේ දුප්පත්කමට හේතුව ධනවාදී සූරාකෑම හා පෞද්ගලිකව දේපළ ගොඩගැසීම බව. මාක්ස්වාදය ට වඩා වෙනස් විදියට මේ අය හිතන්නේ ක්‍රමයේ වරදටත් වඩා සූරාකෑම සහ පෞද්ගලික දේපල ගොඩගසා ගැනීමට හේතුව දේශපාලකයින් ගේ අතිශය දූෂිත බවයි. මීට අමතරව ඊට ටිකක් අඩුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාර කටයුතු කරන ව්‍යවසායකයන් දුප්පතුන් සූරා කන බව සිතනවා.

    මීට සමගාමීව රනිල්ගේ දුර්වල වීම නිසා ඒකාබද්ධව විපක්ෂයේ නායකත්වය දරන සජිත් ප්‍රේමදාස මහතා යනු බොහෝ දුරට සුබසාධන අරමුණින් යුතුව දුප්පතුන් සතුටු කිරීම කියන ජනප්‍රිය මාතෘකා ගැන කතා කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඇති කෙනෙක්.

    අනික් පැත්තෙන් ගත්තොත් ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ වීරවංශ ඇතුළු පිරිස බොහෝ දුරට ජාතික ආර්ථික ගැන කතා කරන රාජ්‍ය මූලික ධනවාදී සමාජ ක්‍රමයක් ගැන පෙනී සිටින අය බව පැහැදිලියි.

    සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මහතා, එරාන් වික්‍රමරත්න මහතා වැනි අය යම්කිසි ආකාරයක ධනවාදී සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අය බව පැහැදිලියි නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තියෙනවා.

    කෙසේ වෙතත් ගෝඨාභය සමග සමීපව බැඳී සිටි වියත් මග වැනි කණ්ඩායම් වඩාත් ධනවාදී ලක්ෂණ පවතින ආර්ථික සංවර්ධන වැඩසටහන් ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු බව පැහැදිලියි නමුත් ඒ අයට ග්‍රවුන්ඩ් ලෙවෙල් එකේ එතරම් සමාජ දේශපාලන වශයෙන් බලයක් නෑ.

    මේ නිසා ලංකාවේ සමාජවාදී අදහස් සහ දූෂණ විරෝධී සටන් පාඨ තව දුරටත් බලවත් බව පේනවා. මේක වෙනස් කරන්න ඕනි කොහොම ද? මේ ගැන දීර්ඝ ලෙස සාකච්චා කිරීමට ඉදිරි කාලයේදී පුළුවන් නම් හොඳයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: