වෙබ් ලිපිනය:

Tuesday, April 27, 2021

ණය ගැනීමේ දෘෂ්ඨිවාදය


ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද කියන එකට තවමත් කිසිවකුගෙන් කිසිම පිළිතුරක් ඉදිරිපත් වී නැහැ. මෙය විවෘත ප්‍රශ්නයක්. ධනවාදය විවේචනය කරන හෝ සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මුලින්ම මේ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කළ යුතුයි.

සමාජවාදය නිසා ඇති වූ ප්‍රශ්නනම් ඕනෑ තරම් තිබෙනවා. ලංකාවේ මේ දවස් වල කතා වෙන ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රශ්නයේ ඉඳලා ක්ෂුද්‍ර හෝ මහේක්ෂ ආර්ථික ප්‍රශ්න ඕනෑම එකක් අරගෙන විශ්ලේෂණය කළොත් ප්‍රශ්නයේ මුල සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති බව පැහැදිලිව පෙනෙනවා. සමාජවාදය හරහා නැවත වැඩවසම් යුගයකට නොගොස් ඉදිරියට යන්නනම් සමාජවාදී දෘෂ්ඨිවාදයෙන් නිදහස් විය යුතුයි.

බොහෝ සමාජවාදීන් හිතන විදිහට සමාජවාදයේ මූලික ඉලක්කය ආදායම් විෂමතා නැති කිරීම. ධනවාදය ආදායම් විෂමතා නැති කිරීම වෙනුවෙන් (ඒ හේතුව මතම) පෙනී සිටින්නේ නැහැ වගේම ආදායම් විෂමතා තිබීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නේ නැහැ. නැති ප්‍රශ්නයකට විසඳුමක් අවශ්‍ය වන්නේ නැහැ. මහ පොළොවේ කඳු පල්ලම් තියෙනවා. කඳු සමතලා කර පල්ලම් සියල්ල පුරවා මහ පොළොව සමතලා කළ යුතුයි කියා හිතන අයෙකුට කඳු පල්ලම් ප්‍රශ්නයක් විය හැකි වුවත් එසේ නොසිතන බොහෝ දෙනෙකුට කඳු පල්ලම් තිබීම ප්‍රශ්නයක් නෙමෙයි.

වෙනිසියුලාව, කියුබාව වැනි රටවල් සමාජවාදය හරහා සාර්ථක ලෙස ආදායම් විෂමතා අඩු කරගෙන තිබෙනවා. රටේ කිසිවෙකුට කන්න බොන්නවත් ආදායමක් නැති වූ විට ආදායම් විෂමතාත් නැති වී යනවා. කෙසේ වුවත් චීනය යන්නේ ඒ මාර්ගයේ නෙමෙයි. 2019දී ඩොලර් බිලියනපතියන් 324ක් සිටි චීනයේ බිලියනපතියන් ප්‍රමාණය 2020 වන විට 389ක් වෙලා. බිලියනපතියන් ප්‍රමාණය අතින් චීනය ඇමරිකාව පරදවන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. රටවල් දියුණු වෙන්නේ ඒ රටවල් වල ඒකීය පුද්ගලයින් දියුණු වන තරමටයි. 

තමන් උපයන ආදායම පරිභෝජනය කර අවසන් නොකර එයින් කොටසක් පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩනගා ගැනීම වෙනුවෙන් ඉතිරි කර ගැනීම අධෛර්යමත් කරමින් පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහි වීම හරහා සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් පරිභෝජනවාදයක් ප්‍රවර්ධනය කරනවා. අනෙක් පැත්තෙන් ආදායම් විෂමතා නැති කිරීම කියන අදහස හරහා ප්‍රවර්ධනය කරන්නේ රටේ හැමෝම එක මට්ටමෙන් පරිභෝජනය කළ යුතුයි කියන අදහසයි. මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ පුළුවන් තරම් ණය වී පරිභෝජනය කරන්න මිනිස්සු පෙළඹෙන එකයි. එක පැත්තකින් ඔය වැඩේ වෙද්දී සූරාකෑම කියන අදහස හරහා යෝජනා කෙරෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන  ශරීර හොරුන් වෙන්නයි. රටේ වැඩි දෙනෙක් ඔය වගේ දෘෂ්ඨිවාදයක සිරකරුවන් වුණාම ඒ රට රටක් විදිහටම ණය බරේ ගිලෙන එක අහන්නත් දෙයක් නැහැ.

ශ්‍රමිකයෙක් මිනිත්තු 25කින් තමන්ගේ දවසේ වැටුපට සමාන ලාබයක් හොයන බවත් ඉතිරි කොටස අදාළ සමාගම විසින් සූරාකන බවත් වැනි අදහකින් යෝජනා කෙරෙන්නේ පුළුවන්කමක් ඇත්නම් මිනිත්තු 25ක් පමණක් මනන්සි වී වැඩ කර ඉතිරි කාලය හැකි පමණ හොර කළ යුතු බවයි. හැමෝම හැම විටම මේ විදිහට හොර කරන්නේ නැතත් ලංකාවේ බොහෝ දෙනෙක් පුළුවන් හැම වෙලාවකම මේ හොර කිරීම කරනවා. එය වැරැද්දක් නොවන බවට කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු හදා තිබෙනවා.

වැඩ නොකළත්, ආදායමක් නැතත්, අනෙක් අය තරමටම පරිභෝජනය කළ යුතුයි. නැත්නම් සියල්ලන්ම සමාන වෙන්නේ නැහැ. වැඩ නොකරන නිසා පරිභෝජනය කරන්න අවශ්‍ය දේවල් රටේ හැදෙන්නේ නැහැ. වැඩ නොකර ඉන්න කැමති මිනිස්සු යොදා ගෙන අමාරුවෙන් නිෂ්පාදනයක් කරලා ලාබයක් අරගෙන සූරාකන්නෝ විදිහට ලේබල් වෙන්න ලංකාවේ මිනිස්සු බයයි. සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් ප්‍රාග්ධන හිමියන් වෙනත් අයට රැකියා සපයන එක අධෛර්යමත් කරන්නේ ඔය විදිහටයි. වෙනත් අයට රැකියා සැපයීමක් ලොකුවට සිදු නොවන වෘත්තීය ව්‍යාපාරයක් කළොත් පමණක්, ලංකාවේදී අපහාසාත්මක යෙදුමක් වන මුදලාලි ලේබල් එක වැදුනත්, අඩු ගානේ සූරාකන්නෙක් නොවී ඉන්න පුළුවන්.

ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයන්ගේ දරුවන් පිටරට වලට සංක්‍රමණය වන බව ප්‍රතිචාරයක සඳහන් වී තිබුණා. මේ අය තමන් ලංකාවේදී එක්රැස් කරගත් ප්‍රාග්ධනය අරගෙන වෙනත් රටකට සංක්‍රමණය වන්නේ එම රට වලදී ශ්‍රමිකයන් වන්න මිසක් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ වලින් ජීවත් වෙන්න නෙමෙයි. ඔය කියන ලංකාවේ ධනවත් ව්‍යාපාරිකයන් ධනවතුන්ව සිටින්නේ ලංකාව ඇතුළේ. මේ වගේ අයෙකු සතු ප්‍රාග්ධනය තවත් වර්ධනය වන්නේත්, එහි ප්‍රතිලාභ වෙනත් අයට ගලා යන්නේත් වෙනත් අයගේ ශ්‍රමය යොදා ගන්නා රැකියා වැඩි වැඩියෙන් බිහිවන තරමටයි. එහෙත් එහෙම කරන්න යන අයෙකුට සූරාකන්නෙක් විදිහට ලේබල් වෙන්න වෙනවා. ඒ නිසා ලංකාවේදී ප්‍රාග්ධනය තිබෙන කෙනෙකුට සල්ලි හොයන්න හොඳම විකල්පය වෙන රටක හදන දෙයක් ආනයනය කරලා විකුණන එකයි. ශ්‍රමය සූරාකනවා කියා කතාවක් අහන්න වෙන්නේ රටේ මිනිස්සුන්ට රස්සා දෙන්න ගියහමනේ. ආනයන හරහා වක්‍රව චීනෙක්ට හරි ඉන්දියානුවෙක්ට හරි රස්සාවක් දුන්නහම ඔය ප්‍රශ්නේ නැහැ. 

ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් එක පැත්තකින් මිනිස්සු පරිභෝජනවාදීන් කරනවා. මිනිස්සු සමානම් ලොකු මිනිස්සු පරිභෝජනය කරන තරමටම පොඩි මිනිස්සුත් පරිභෝජනය නොකර කොහොමද? අනෙක් පැත්තෙන් ශ්‍රමය සූරාකන්න දෙන්නත් බැහැනේ. ඒ නිසා වැඩ කරන්න ඕනෑ  පුළුවන් තරම් අඩුවෙන්. ඔය දෙකම එක පාර කරගන්නනම් ණය ගන්නම  වෙනවා.

ණය ගන්න එකත් ලේසි නැහැ. ලංකාවේ සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කරලා තියෙන්නේ සුබසාධන ආර්ථිකයක්. රජයේ ආදායමට වඩා වියදම ගොඩක් වැඩියි. ඒ නිසා රජය පවතින්නේත් ණය මත. රටේ ඉතිරි කිරීම් වලින් විශාල කොටසක් රජය විසින් ණය විදිහට ගන්න නිසා ණය වෙළඳපොළේ තිබෙන්නේ විශාල විකෘතියක්. සැපයුම ඉල්ලුමට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ. ඒ නිසා පොලී අනුපාතික ඉතාම ඉහළයි. දැන්නම් සල්ලි අච්චු ගැසීම හරහා පොලී අනුපාතික තාවකාලිකව පහළින් තියාගෙන ඉන්නවා.

අනෙක් පැත්තෙන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ යෝජනා කරපු විදිහටම බැංකු අංශයේ තිබෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයක්. පුරෝගාමී රාජ්‍ය බැංකු ටික අකාර්යක්ෂම වුනහම පෞද්ගලික බැංකු වලට ඊට වඩා ටිකක් කාර්යක්ෂම වීමෙන් ප්‍රමාණවත් ලාබයක් ලබන්න පුළුවන්. ඕනෑවට වඩා කාර්යක්ෂම වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ බැංකුවකින් ණයක් ගන්න එක මුළුමනින්ම ව්‍යාපාරික තීරණයක් නෙමෙයි. තවත් ගොඩක් දේවල් වෙන්න ඕනෑ. පහළම ස්ථර වල ඉන්න අයට බැංකු කියන්නේ මුදල් ඉතිරි කළ හැකි තැන් මිසක් පහසුවෙන් ණය ලබාගත හැකි තැන් නෙමෙයි.

බැංකුවකින් ණය ගන්න බැරි අයට ණය ගන්න වෙන්නේ වෙනත් අවිධිමත් අංශයකින්. එහෙම ණය දෙන කෙනෙක් මුහුණ දෙන අවදානම ඉතාම වැඩියි. එක පැත්තකින් විධිමත් අංශයේ වුවත් පොලී අනුපාතික ඉතාම වැඩියි. රජයට ණය දීලා අවදානමක් නැතුව සැලකිය යුතු පොලියක් ලබාගන්න පුළුවන්කම තියෙද්දී ණය ගෙවාගන්න ආදායමක් නැති බව පැහැදිලිව පෙනෙන්න තිබෙන කෙනෙකුට ණයක් දිය හැක්කේ සැලකිය යුතු විශාල පොලියක් ලැබෙනවානම් පමණයි. එවැනි පොලියක් අය කළත් අවදානම ඊටත් වඩා වැඩියි. ඒ නිසා, අවදානම අඩුකරගන්න ඇපයක් තියා ගන්න වෙනවා. ණය නොගෙවුවොත් ගිවිසුම අනුව ඇපයට තබාගත් භාණ්ඩය ආපසු ගන්න වෙනවා. ඒකේ කිසිම වැරැද්දක් නැහැ.

තමන් ගත්ත ණය ආපහු ගෙවාගන්න බැරි වුනාම වෙන කෙනෙක් ඉදිරිපත් වෙලා ණය ගෙවන්න ඕනෑද? අනපේක්ෂිත අකරතැබ්බයක් නිසා ණය ගෙවන්න බැරි වුනානම් ඒ වගේ සහනයක් දුන්නට කමක් නැහැ. නැත්නම් වෙන්නේ රජයෙන් ඔය ණය පියෙවුවට පස්සේ ඊළඟ පාර ඔයිටත් වඩා ලොකු ණයක් ගන්න එකයි. එක පාරක් දෙපාරක් ඇණගන්න කෙනෙක් හැමෝම සමාන ලෙස පරිභෝජනය කළ යුතු නැති බවත්, තමන්ට පරිභෝජනය කළ හැක්කේ තමන් උපයන දෙය බවත් ඉගෙන ගනියි. ගෙදර ශීතකරණය ණයට හිලවු වුනා කියලා ඒ ගෙදර මිනිස්සු මැරෙන්නේ නැහැ.

20 comments:

  1. මේ ලංකාවේ තියෙන ප්‍රශ්න සියල්ලටම වග කියන්න ඕන 2005 - 2014 කාලයේ සහ 2019 න් පසුව ලංකාවේ ආර්ථිකය කාබාසිනියා කරමින් සිටින රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පවුල්වාදී ඒකාධිපති නරුම පාලන තන්ත්‍රය විසින් ලංකාවේ ආර්ථිකයට කරන ලද විනාශයයි. ඔවුන් චීන රාජ්‍ය ධනවාදී ඒකාධිපති පාලන ක්‍රමයේ සහය ඇතුව ගෙන යමින් පවතින ලංකාවේ රාජ්‍ය ධනවාදී ඒකාධිපති පාලනය මේ සඳහා සාක්ෂි දරයි.

    බැසිල් රාජපක්ෂ සහ ජනපති නන්දසේන පෙනී සිටින නරුමවාදී ලුම්පන් ධනවාදී සංවර්ධන ප‍්‍රවේශයත් සාම්ප‍්‍රදායික සිංහල බෞද්ධ වාර්ගික ජාතිවාදයත් (නැත්නම් ඊනියා ජාතික චින්තන) අතර දෘෂ්ටිවාදී අරගලයක් පවතිනවා. ජාතිකවාදය හෝ ජාතික චින්තනයත්, ධනවාදී සංවර්ධනයත් එකට ගමන් කළ නොහැකි දේ නොවේ. බැසිල්ගේ හෝ නන්දසේන ගේ ධනවාදී සංවර්ධන ප‍්‍රවේශය නලින් ද සිල්වාගේ හෝ ගුණදාස අමරසේකරගේ කෘතීන්වල එන ප‍්‍රවාද සමග අනුගත විය යුතු යැයි ජාතික චින්තනවාදීන් පවා හිතන්නේ නැහැ. ඒ දෙක අතර පරස්පරතාවක් පවතන බව කිසිවෙකුත් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතුද නැත. ඔවුන් එය දැනටමත් දනී. නමුත්, ව්‍යවහාරිකව ඔවුන් දිගටම නන්දසේන්ද බැසිල් ධනවාදී සංවර්ධන ප‍්‍රවේශයට සහාය දක්වන්නේ මන්ද ඉකොනොමැට්ටා?

    මානවවාදී දෘෂ්ටිවාදය පිළිබඳ ඉතා අනර්ඝ පැහැදිලි කිරීම්වලදී ස්ලෑවොයී ශිෂෑක් ඉතා කදිම ලෙස විස්තර කර ඇති පරිදි වත්මන් යුගයේ දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන්නේ නරුමවාදී ආකෘතියක. එනම් මම කරන්නේ කුමක්දැයි මම හොඳින්ම දන්නාමුත් මම එය දිගටම කරන්නෙමි යන්න ඒ නරුමවාදී ආකෘතියේ උදාන වාක්‍යයයි.

    මේ නිසා ජාතික චින්තන ජාතිවාදය අදහන තක්කඩින් පිවිතුරු ජාතික චින්තනවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බැවින් එවැන්නක් විවේචනය කිරීමට කාලය නාස්ති කිරීමෙන් ඇති ඵලක් නැත? ඒ වෙනුවට අප කළ යුතුව ඇත්තේ අන්තෝනියෝව් ග‍්‍රාම්ස්ච්ට් යෝජනා කළ දෘෂ්ටිවාදයේ වැඩ බිම ව්‍යවහාරික ජීවිතය යන සංකල්පය අනුව සමාජවාදී ජීවන විලාසිතා අනුගමනය කරන එක. ලංකාවේ පාලකයින්ගේ ණයට කන ප්‍රතිපත්තිය නිසා ලංකාව සෙසු රටවල වහල් අතවැසියෙක් වෙලා. දූෂිතයන් වූ රාජපක්ෂ පවුල ඇමරිකාව, ඉන්දියාව සහ ඇතැම් චීන රාජ්‍ය ධනවාදී සමාගම් ළඟ දණගහලා සිටින මොහොතක අපි මාරම දේශප්‍රේමී කියලා වේදිකාවල කෑමොර දෙන එක මහත් විහිළුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඉතා මැනවින් පෙන්වා දී ඇත.

    දකුණු ආසියාතික කලාපයේ සහ ලෝකයේ ඉන්න ආර්ථික බලවතුන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට ලංකාව නතු වෙමින් තිබෙනවා. ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වීමේ අනතුරක අපි ඉන්නේ. මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුවත් අනුගමනය කරන ලද විදේශ ප්‍රතිපත්තිය නිසා මේ තත්වය ඇතිකරලා තිබෙනවා.

    ගෝලීය කොරෝනා වසංගතය තුළම පහුගිය වසරේ ඔක්තෝබර් 08වැනිදා චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් නිරෝධායන නීතිරීති පවා නොසලකා ලංකාවට ආවා. ඔවුන් පිළිගන්නවා හැර වෙන කිසිවක් ලංකාවේ ආණ්ඩුවට කළ හැකිව තිබුණේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරිය අපහසුවට පත්වුණු තරම අපි දැක්කා. චීනයේ ආණ්ඩුවේ දෙවැනියාත් එක්ක ඉහළ පෙළේ දූත පිරිසක් එන නිසා නිරෝධායන කටයුතු පවා නොතකා පිළිගන්නවා හැර කළ හැකි දෙයක් නැති බව ආණ්ඩුව කිව්වා. චීන දූත පිරිස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී චීනයට ගිය වහාම ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක හතරකට ඉන්දියානු කොන්සාල්වරයෙක් පත්කළා. මේ වනවිටත් යාපනය සහ මහනුවර කොන්සල්වරු පත්කර ඉන්නවා. දකුණේ දිස්ත්‍රික්ක හතරකට අලුතින් කොන්සල්වරයෙක් පත්කළේ ඇයි?

    විශේෂයෙන් චීන ආයෝජන ලංකාව තුළ වැඩිපුරම තියෙන්නේ දකුණේ. හම්බන්තොට වරාය ප්‍රමුඛ ආයෝජන තියෙන නිසා මේ කොන්සල්වරයා පත්කළා. ඒ අතර ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හදිසියේ අගමැතිවරයාව හමුවී සාකච්ඡා කළා. ආණ්ඩුව ඒ ගැන කීව්වේ ඉන්දියාව මේ රටේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කළ බවක්. ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ නිල සංචාරයකට එන අතර ලංකාවට ඇවිත් රාජපක්‍ෂලා සමග ඩීල් දාලා ගියා. මේ විදිහට පිට පිට අපේ රටට ලෝක බලවතුන් මැදිහත් වෙන්නේ ඔවුන්ගේ කෙළිබිමක් බවට පත්කරගෙන අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය අහෝසි කර තිබෙන නිසා. මේ කිසිවෙක් එන්නේ අපේ දුක සැප බලන්න හරි තේ එකක් බීල යන්න හරි නෙවෙයි. තමන්ට අයිති ඉඩමක් බලන්න එනවා වගේ ලෝක බලවතුන් ලංකාවට එනවා. ඒ නිසා ඔවුන් හිතූ හිතූ වෙලාවට ඇවිල්ලා ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සම්බන්ධයෙන් බලපෑම් කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙයට හේතුව මේ නන්දසේන රාජ පක්ෂ පවුල්වාදී ඒකාධිපති නරුම ආණ්ඩුව අනුගනමය කරමින් තිබෙන දූෂිත විදේශ ප්‍රතිපත්තිය සහ ධනවාදී ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියයි. මේ වනවිට ඉන්දු පැසිපික් කලාපය තුළ චීනයට එරෙහිව එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව එකට වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. චීන සමාගම් වල වෙළඳ ආධිපත්‍යය සහ දේශපාලන ආධිපත්‍යය මේ කලාපයේ ඉහළ මට්ටමකට ගියොත් ඒක තමන්ගේ සැලසුම් වලට එරෙහිව යන බවත් ඔවුන්ගේ ධනවාදී වෙළඳ ක්‍රමයට නිදහසේ වෙළඳාම් කරන්න ඕනෑ කියන පදනමින් මේ රටවල් එකතු වෙනවා. ගිය අවුරුද්දෙ මේ රටවල් ජපානයේ ටෝකියෝ නුවර රැස්වුණා. චීන කණ්ඩායම හදිසියේ ලංකාවට ආවේ ඒ අතර. මේ ආපු අය අතර කවදාවත් ලංකාවට නොපැමිණි ඉහළම දූත පිරිසක් ආවා. එයින් චීනය පෙන්නුම් කළේ ලංකාව ඔවුන්ට අයිති බවක්. ඒ දේශපාලන උපායමාර්ග පිළිබඳව කිසි අවබෝධයක් නැතිව හෝ ඇතිව එන එන එක්කෙනා පිළිගන්න නූතන කැකිල්ලේ නන්දසේන ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා.

      ලෝකයේ රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕන නැහැ කියලා අපි කියන්නේ නැහැ. විශේෂයෙන් චීනය වගේ සමාජවාදී ජනරජයක් සමග විවෘතව ස්වාධීනව කියුබාව වැනි රටවල් මෙන් ගනුදෙනු කරන එක හොඳයි. ඒත් පුංචි රටක් වුණාට අපි ගනුදෙනු කළ යුත්තේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාන තත්වයක් අපේ රටටත් තිබෙනවා. ඒ නිසා ඕනෑම රටක් එක්ක සමාන තත්වයේ අයිතියක් ලංකාවටත් තිබෙනවා. නමුත් මේ විදියට යටවෙන්න සිදු වෙලා තිබෙන්නේ රට බරපතල ණය අර්බුදයකට හෙළා තිබෙන නිසයි. ඒ නිසා තව තවත් ණය ගන්න හෝ සම්පත් විකුණා දමන්න සිදු වෙනවා. පහුගිය ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අනුගමනය කරන ණයට කන ආර්ථිකය විසින් මේ හැම රටකම අතවැසියෙක් බවට ලංකාව පත්කර තිබෙනවා. ඇත්තටම ගත්තොත් අපේ රටට මේ එන්නේ ණය හිමියන්. ණය හිමියා එනකොට ණයගැතියා දෙකට නැමිලා ඉන්න ඕනෑ තමයි. එක ණය හිමියෙක් ඇවිල්ලා යනකොට තව ණය හිමියෙක් එනවා. විශේෂයෙන්ම නන්දසේන රාජපක්ෂට ඡන්දය දීපු ජනතාවට තේරුම් ගත නොහැකි වුනත් අපේ රට රුපියල් ටි්‍රලියන 13කට වැඩි ණය කන්දරාවක රට හිරවෙලා. මේ ණය ප්‍රමාණය වැඩිවීම නිසා මූඩිස් ආයතනය විසින් ලංකාව ණය දීමේ හැකියාව අඩුම රටක් හැටියට පහත හෙළුවා. තව ඒකකයක් පහත දැම්මොත් කිසිම රටකින් ණය ගන්න ලැබෙන්නේ නැහැ.

      ලංකාවේ ණය අර්බුදයේ ලොකුම ප්‍රශ්නය සමස්ත ණයවලින් විදේශ ණය පංගුව වැඩිවීම. රට ඇතුළෙන් ණය ගත්තාම ආපසු ගෙවන්න අමාරු නැහැ. රුපියල්වලින් ගෙවන්නේ. මුදල් අච්චු ගැහීම හොඳ වැඩක් නොවුණත් අච්චු ගහලා හරි ණය බේරන්න පුළුවන්. හැබැයි ඩොලර් අච්චු ගහන්න බැහැ. ලංකාවේ සමස්ත රාජ්‍ය ණයවලින් 48%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඩොලර්වලින් ගත්තු ණය. මේ ණය ආපහු ගෙවන්න ලංකාවට ඩොලර් කෝ? අපේ අපනයන ආර්ථිකය බිඳවැටීම කොවිඞ් වසංගතය නිසා තවත් බරපතල වෙලා. මේ තත්වය යටතේ විදේශ ණය ගෙවන්න තියෙන්නේ ක්‍රම දෙකයි. එකක් අපේ රටේ වටිනා සම්පත් විදේශ රටවලට විකුණා දාන එක. දැන් මේ කරමින් ඉන්නේ ඒක. පහුගිය මාසයේ ඩොලර් බිලිය එකක කල් පිරුණු ණයක් ගෙවුවා. මේ අවුරුද්දේදී ජූලි මාසය වනවිට ඩොලර් බිලියන එකක් ගෙවන්න තියෙනවා. ඊට අමතරව ණය පොලී වාරිකය මාසයකට ඩොලර් මිලියන 400ක් විතර වෙනවා. අවුරුද්දක ණය පොලිය බිලියන 4.8ක් විතර වෙනවා. ඩොලර් බිලියන එකක ණය වාරිකයක් ගෙවන ගමන් පොලිය වශයෙන් ඩොලර් බිලිනය 4.8ක් එකතු වුණාම ලබන අවුරුද්දේදී බිලයන පහ පැනපු ණය වාරික ගෙවීමේ උගුලක අපි හිරවෙලා.

      මේ ණය අරගෙන වැඩි ප්‍රමාණයක් කළේ වංචාව, දූෂණය නාස්තියයි. ණය යොදා සිදුකළ ව්‍යාපෘතිවලින් කිසිම එකක් දැනට ලාභ ලබන්නේ නැහැ. ඒ නිසාම තමයි හම්බන්තොට වරාය චීනයට ලබාදෙන්න සිද්ධ වුණේ. මේ ණය මත ජීවත්වන ආර්ථිකය වෙනස් කරන්නේ නැතිව ඉදිරියට යන්න බැහැ. නන්දසේන රාජපක්‍ස බලයට ආවේ දේශීය ආර්ථිකයක් ගොඩනගනවා කියලා. ඒ ඔක්කොම වේදිකාවල කියන බොරු දේශප්‍රේමී කතන්දර විතරයි. ණය උගුලක හිරවීමෙන් පරාධීනත්වයට පත්වෙලා කටයුතු කරන්න ආණ්ඩුවට සිදුවෙලා. චීනයෙන් ලංකාවට ආව දූත පිරිස ඩොලර් මිලියන 165ක ආධාරයක් කර තිබෙනවා. මේක ඉතාම පුංචි ගාණක්. බසයට නගින යාචකයෙක්ට දෙන ගාණක් වගේ. හැබැයි මේ අවුරුද්දේ අප්රේල් මාසයේදී චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තා. ඊළඟ කාර්තුවේ තවත් ඩොලර් මිලියන 500ක ණයක් ඉල්ලලා තියෙනවා. ඩොලර් බිලියන එකක ණය වාරික ගෙවනකොට චීනයෙන් විතරක් මේ අවුරුද්දේදී ඩොලර් බිලියන දෙකක ණය අරන් තියෙනවා. ඒවගේම ඉන්දියාවෙනුත් පහුගිය කාලේ ගත්ත ඩොලර් බිලියන එකක ණයක් ගෙවලා තිබෙනවා. රටවල්වලින් වානිජ බැංකුවලින් ණය ගන්නකොට කොන්දේසි අඩුයි. නමුත් දැන් අඩු පොළියට දිගු කාලීන ණය ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරිලා. එතැනට ගියාම දහසකුත් එකක් කොන්දේසිවලට යටත් වෙන්න සිදුවෙනවා. මේකෙන් වෙන්නේ ණය අරබුදයකටත් යටවෙලා අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යාය පත්‍රයටත් යට වී රටේ දුප්පත් ජනතාවගේ සුබසාධන වියදම්, නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය සේවා කප්පාදු කරමින් පුද්ගලීකරණය වෙන එක.

      Delete
    2. අධිරාජ්‍යගැති නව ලිබරල්වාදී දුර්වලතා තියෙන රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පවුල් පාලන ආණ්ඩුව ණය ගැනීමට අපේ රට ලෝක බලවතුන් ඉදිරියේ යට කරන එක ඉතාම අනතුරුදායකයි. ලංකාව පිහිටලා තියෙන්නේ ඉන්දියානු සාගරයේ නාවික, යුද ගුවන් සහ වෙළඳ මධ්‍යස්ථානයක. ඒ නිසා තමයි ඉතිහාසය පුරාමත් ලංකාවට විදේශ ආක්‍රමණ ආවේ. පෘතුගීසි, ලන්දේසි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ආවේ ඒනිසා. මේ බල අරගලයට මැදිහත් වීමෙන් මෑත ඉතිහාසයේ අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඉන්දු-ලංකා ගිවිසුම හොඳම උදාහරණයක්.

      එවකට ජේ.ආර්. ජයවර්ධන පාලනය ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ. ඒ වෙලාවේ එක්සත් ජනපදයට විරුද්ධව හිටි ඉන්දියාව අපේ රටේ බෙදුම්වාදීන්ට උදව්කරලා බලෙන් පරිප්පු දාලා ජයවර්ධන දණ ගස්වලා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ අහිතකර තත්වයන්ගෙන් තවම මිදෙන්න බැරිවෙලා. ඒ වගේම අදත් චීනයෙන් ණය අරන් ලංකාව ගැති වෙන්න ගියාම ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව සහ ඇමරිකාව දක්වන ප්‍රතිචාරය බරපතල වෙන්න පුළුවන්. දැනටමත් ඉන්දියාවත් එක්ක අත්සන් කර තියෙන වෙලඳ ගිවිසුම් රටට අහිතකරයි. ඒ වගේම එක්සත් ජනපදයත් එක්ක නන්දසේන ගෝටාභය රාජපක්‍ෂ 2007දී ඇක්සා කියන ගිවිසුම අත්සන්කළා. 2017දී කල් පිරුණු ඒ ගිවිසුම රනිල් වික්‍රමසිංහයන් දීර්ඝ කළා. ඒ නිසා එක්සත් ජනපදයට ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ආරක්‍ෂක හමුදාවලට මැදිහත්වීම් කරන්න ඉඩ ලැබෙනවා. දැනට කල් ගිහිල්ලා තියෙන සෝෆා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරන්නත් මේ වනවිට සූදානම් වන බව පේනවා. ඒ වගේම බරපතල එම්.සී.සී. ගිවිසුම පවා ඉදිරි කාලයේදී අත්සන් කරන ලෙස ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුව අපට බල කරන්න ඉඩ තිබෙනවා. ඩොලර් මිලියන 480ක් ලබාගන්න මේ ගිවිසුම අත්සන් කරයි කියලා පැහැදිලියි. ඊට අමතරව කොළඹ වරායේ නැගෙනහිර වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට දීමේ අනතුර තවම තියෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දීමේ අනතුරත් හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් ටික චීන සමාගම් වලට දීමේ අනතුරත් තිබෙනවා.

      මේ විදිහට අපේ රටේ වටිනා කියන සම්පත්, ඉඩම් විකුණාදීම ඇරෙන්න වෙන විසඳුමක් ආණ්ඩුවට නැහැ. මේ නිසා ලෝක බලවතුන් අපේ රටේ දේපොළ සහ දේශපාලනය පාලනය කරන තත්වයක් ඇතිවී තිබෙනවා. අපි අවධාරණය කරන්නේ ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කිරීමේදී ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි. අපට අවශ්‍ය වන්නේ නොබැඳි ප්‍රතිපත්තිය වුවත් ඒ වෙනුවට ගැති, පරාධීන ප්‍රතිපත්තියක් රාජපක්ෂ දූෂිත ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පවුල් පාලනය ගෙන යනවා. ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය රටේ ගරුත්වය රකින එකක් නෙවෙයි. සියලු දේ විකුණන තත්වයට පත්වෙලා. ඒ අය තමයි ජනතාවට දේශප්‍රේමය විකුණන්නේ. ඡන්ද කාලෙට ඡන්ද ගන්න වේදිකාවල දේශප්‍රේමය සහ ජාතිවාදය විකුණනවා. දේශප්‍රේමී නම් අපේ රටට ගෞරවයක් ඇතිවන ලෙස ක්‍රියා කරන්න ඕනෑ. ලංකාව පාවා නොදී ඉන්න ඕනෑ. ලංකාව යට කරන ණය නොගෙන ඉන්න ඕනෑ. ඒ නිසා ආණ්ඩුවවත් ආණ්ඩුවේ ඉන්න අයවත් දේශප්‍රේමීන් නෙවෙයි.

      ධනවාදී නව ලිබරල්වාදී ඒකාධිපති පාලන ක්‍රමයක් වැලඳගත්ත ආණ්ඩුව රට ණය උගුලක ගිල්වීමෙන් අවසන් නොවී ලංකාව කලාපීය ආර්ථික සහ දේශපාලන බලවතුන්ගේ ගොදුරක් බවට පත්කර තිබෙනවා. තම තමන්ගේ වෙළඳපොළ වෙනුවෙන්, දේශපාලන බලය වෙනුවෙන් ගහගන්න කොට එහි මර්මස්ථානය බවට පත්වෙන්නේ අපේ රට.

      Delete
    3. රාජ පක්ෂ පවුල්වාදී ඒකාධිපති නරුම පාලන තන්ත්‍රය පාර්ලිමේන්තුවට 20වැනි සංශෝධනය ගෙනත් සම්මත ගෙන බලාපොරොත්තු වුණේ මේ තත්වය තුළ මේ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට වගකියන්නේ නැති, ජනතාවගේ මුදල්වලට වගකියන්නේ නැති ඇමති මණ්ඩලයට වගකියන්නේ නැති, අධිකරණයට වගකියන්නේ නැති ජනතාවට කොහොමවත් වග නොකියන තනි පුද්ගලයෙකුගේ ඒකාධිපති පාලනයක් හදාගන්න. ණය උගුලක හිරවෙලා ඉන් නිදහස් වෙන්න සම්පත් විකුණන්න හදනකොට ජනතාවගෙන් අහලා, පාර්ලිමේන්තුවෙන් අහලා ඒවා කරන්න බැහැ. ඒ නිසා තමන් කැමති ගිවිසුමක් අත්සන් කරන්න තනි බලයක් හදාගන්නයි පාවා දෙන්නයි, මුදල් විගණනය නොකර ඉන්නයි ඉඩ හදාගන්න උත්සාහ කරනවා. 20වැනි සංශෝනය තුලින් ඒ බලය තහවුරු කරගත්තා.

      ඉන්දියාව, චීන සමාගම්, ඇමරිකාව, ඉල්ලන ඕනෑ දෙයක් ලබාදෙන්න බලය ගන්න රට පාවාදී බලය රැකගන්න උත්සාහ කරන අවස්ථාවල ජනතා විරෝධය මර්දනය කරන්න කරන බරපතල සැලසුමක් 20වැනි සංශෝධනය තුළ තිබෙනවා. එක පුද්ගලයෙකුගේ සහ පවුලක තනි බලය වෙනුවෙන් රටක් පාවාදීලා ඒකාධිපතිත්වයක් පටවලා ලංකාවේ ජනතාවගේ සම්පත් සහ අයිතීන් චීනයේ ධනවත් වෙළඳ සමාගම් එක පැත්තකත් එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය ඔස්ටේ්‍රලියාව යන ධනවාදී නරුම සූරාකන්නන් එක පැත්තකත් සිටින මේ බල අරගලයේදී අපට ඉතාමත් හානිකර තත්වයන් ලංකාවේ නන්දසේන රාජපක්ෂ ආණ්ඩුවෙන් ගොඩනඟමින් යනවා. ඒ නිසා කොරෝනා තර්ජනය මධ්‍යයේ වුණත් මේ බරපතළ තත්වය ජනතාව හමුවේ පැහැදිලි කර වටහා දෙන්න අපි උත්සාහ කරනවා. ජනතාව දැනුවත් කිරීමට මැදිහත් වෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරන්න, කරුණු හොයන්න, දැනුවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ සුරංගනා කතාවලට නොරැවටී අපේ රටට තිබෙන ඇත්ත අනතුර පිළිබඳව ජවිපෙ ජාතික ජන බලවේගය සමග අවදියෙන් සිට එය පරාජය කරන්න මැදිහත් වෙන්න කියලා ජවිපෙ ජාතික ජන බලවේගයේ ජනතාවාදී පිරිස් ලංකාවේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

      Delete
    4. AnonymousApril 27, 2021 at 8:53 AM

      ඔබේ ප්‍රතිචාරයේ නම් සඳහන් කරන නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර වැනි (ජාතික) චින්තනවාදීන් හා ස්ලෑවොයී ශිෂෑක් (ජිජැක්) වැනි පශ්චාත් මාක්ස්වාදීන් අතර වැදගත් සමානකමක් තිබෙනවා. මේ කණ්ඩායම් දෙකේම ආරම්භය මාක්ස්වාදය. නලින් ද සිල්වා වගේම ස්ලෑවොයී ශිෂෑක්ද ආර්ථික ක්‍රියාකාරිත්වය තේරුම් ගන්නේ මාක්ස්වාදී දෘෂ්ඨියකින්. ඔවුන් ධනවාදය ලෙස හඳුනා ගන්නේ මාක්ස්වාදීන් විසින් ධනවාදය ලෙස පෙන්වා දෙන දෙයයි. පොතේගුරුන් නොවන නලින් ද සිල්වාට වගේම ස්ලෑවොයී ශිෂෑක්ටද මාක්ස්වාදයේ වැරදි පෙනෙන්න ගන්නවා. ඔවුන් මේ වැරදි විවේචනය කරනවා. නමුත් මේ විදිහට ඔවුන් මහන්සි වී අලුතෙන් හොයා ගන්නේ ධනවාදය ගැන නිවැරදි අවබෝධයක් තිබෙන අය කාලයක් තිස්සෙම දැනගෙන හිටපු ඉතාම සාමාන්‍ය දේවල්. ස්ලෑවොයී ශිෂෑක් පෙනී සිටින්නේ කොමියුනිස්ට්වාදියෙක් ලෙසයි. එසේ සිටින අතරම ඔහු මාක්ස්වාදයේ හා එහි භාවිතයේ අඩුපාඩු පෙන්වනවා. මං මුලා වී පාර සොයා යන කොමියුනිස්ට් අනුරාගයෙන් මිදෙන්න බැරි අයට ශිෂෑක් වගේ පශ්චාත් මාක්ස්වාදීන් අල්ලලා යනවා. සම්ප්‍රදායික මාක්ස්වාදීන් මෙන් මේ පශ්චාත් මාක්ස්වාදීන් පොතේගුරුන් ලෙස ආගමික ලෙස මාක්ස්වාදය පුනරුච්ඡාරණය කරමින් නොසිට මොන විදිහකින්වත් ගොඩ දමන්න බැරි මාක්ස්වාදී න්‍යායයන් හා භාවිතාවන් විවේචනය කරනවා. කතෝලික පල්ලිය විවේචනය කළ ප්‍රතිසංස්කරණවාදීන් වගේ. මේ විවේචන නිවැරදියි වගේම කාට වුනත් ඇස් පනාපිට පෙනෙන සාමාන්‍ය දේවල්. නමුත් ඒ අතරම අනෙකුත් සම්ප්‍රදායික මාක්ස්වාදීන් වගේ පුරුද්දට ධනවාදය විවේචනය කරනවා. ස්ලෑවොයී ශිෂෑක්ට වෙළඳපොළක් තිබෙන්නේ ධනවාදය කියන්නේ කුමක්ද කියා නොදැන පුරුද්දෙන් මාක්ස්වාදය අදහන ආගමිකයන් අතර. ඒ වෙළඳපොළ ඇතුළේ, මාක්ස්වාදයේ මූලික වැරදි විවේචනය නොකර (හෝ ඒ ගැන අවබෝධයක් නැතිව) මතුපිටින් පැහැදිලිව පෙනෙන කොහොමටවත් ගොඩ දමන්න බැරි දේවල් ඔහු විවේචනය කරනවා. ධනවාදය ගැන යාන්තමින් හෝ දන්නා කෙනෙක් එක්ක කතා කරද්දී ශිෂෑක් කඳ හරහට ඇන ගන්නවා. නමුත් ඇන ගන්නවා කියලවත් ඔහුට තේරෙන්නේ නැහැ. ධනවාදය ගැන නොදන්න ඔහුගේ අනුගාමිකයන්ට කොහොමටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ශිෂෑක් දිගටම හිල්ෆිගර් ටීෂර්ට් අඳිනවා. ඉතිහාසය විසින් ප්‍රතික්ෂේප වී අවසන් වුනත් මාක්ස්වාදය කියා කියන්නේ මෙතෙක් ධනවාදයට එරෙහිව යෝජනා වුනු සාර්ථකම විකල්පය. ශිෂෑක් වැනි පශ්චාත් මාක්ස්වාදීන් අවුරුදු 150කට වැඩි ඉතිහාසයේ වාසිය තිබිලත් ඔවුන් මාක්ස්ගේ අහලකවත් නැහැ. (ශිෂෑක් හැම විටම මාක්ස්ව තමන්ට සාපේක්ෂව නිසි තැන තියන්න නොපැකිළෙන බවත් ඔහුට ගෞරවයක් ලෙස කිව යුතුයි). මාක්ස්ගෙන් පසුව ශිෂෑක් හෝ වෙනත් කිසිවකු විසින් ධනවාදයට විකල්පයක් ඉදිරිපත් කර නැහැ. තවමත් කියන්නේ "අපි එකතු වෙලා හොයා ගන්න ඕනෑ" කියලයි. ශිෂෑක් හෝ වෙනත් කිසිවකු එවැනි විකල්පයක් හොයා දෙයි කියා කට්ටිය කට ඇරගෙන බලා ඉන්නවා. නමුත් එහෙම විකල්පයක් හමු වෙන්නේ නැහැ. විකල්පයක් හමු නොවෙන්නේ ධනවාදය කඩා දමා විකල්පයක් හෙවිය යුතු ගැටළුවක් ධනවාදයේ නැති නිසයි. ධනවාදය කියා කියන්නේම නිරන්තරයෙන් තිබෙන විකල්ප ප්‍රතික්ෂේප කරමින් වඩා හොඳ විකල්ප තෝරා ගන්නා ක්‍රමයක්.

      Delete
    5. නලින් ද සිල්වාගේ (හා ගුණදාස අමරසේකරගේ) ආරම්භයත් මීට සමානයි. මේ අය පටන් ගන්නේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණවාදීන් විදිහට මාක්ස්වාදය ඇතුළේම ඉඳලයි. නලින් ද සිල්වාගේ හා ශිෂෑක්ගේ වෙනස නලින් ද සිල්වා මාක්ස්වාදය ප්‍රතික්ෂේප කිරීම හා ශිෂෑක් කොමියුනිස්ට්වාදයක් වෙනුවෙන් පෙනී සිටීම. එහෙත් නලින් ද සිල්වාත් තවම ඉන්නේ මාක්ස්වාදී රාමුව ඇතුළේ. එක පැත්තකින් ඔහුට මාක්ස්වාදය එක්ක අත් හළ නොහැකි අනුරාගීය බැඳීමක් තිබෙනවා. ඔහු තමාගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ගැන තවමත් කතා කරන්නේ විශාල අනුරාගයකින්. නලින් ද සිල්වා බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන සේ හඳුනා ගන්නේ මාක්ස්වාදී සමාජ විද්‍යාවන්. නොදැනම වුවත් ඔහු මුල් කාලයේදී තමන්ගේ ප්‍රවාද හදන්නේ මාක්ස්වාදී රාමුවෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නේ නැතුව. දැන් ඔහුට ආපසු හැරෙන්න බැහැ. නලින් ද සිල්වා මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරන්නේ බටහිර විද්‍යාව කියන පැකේජ් එකම එක්ක මිසක් වෙනම නෙමෙයි. ඒ පැකේජ් එක ප්‍රතික්ෂේප කළත් ඔහුට හෝ ඔහුගේ කඳවුරට අද වන තුරු කිසිම වැඩකට ඇති විකල්පයක් නැහැ. "අපි අපේම විකල්ප හදාගත යුතුයි" කියන කතාව විතරයි. මේ කාරණයෙනුත් ලංකාවේ චින්තනවාදීන් හා පශ්චාත් මාක්ස්වාදීන් සමානයි. පොඩි වෙනසකට තියෙන්නේ පශ්චාත් මාක්ස්වාදීන්ට ධනවාදය ප්‍රතික්ෂේප කරන්න හරියකට හේතුවක් නැතත් නලින් ද සිල්වාට බටහිර විද්‍යාව (හරියටමනම් එහි ආධිපත්‍යය) ප්‍රතික්ෂේප කරන්න හේතු තිබෙනවා. නැත්තේ විකල්ප. පොදුවේ බටහිර විද්‍යාවට විකල්ප නැති නලින්වාදීන්ට ධනවාදී ආර්ථික විද්‍යාවට විකල්පයකුත් නැහැ. යම් තරමකින් මාක්ස්වාදය ඇතුළේ තවමත් හිර වී සිටියත් ප්‍රකාශිතව නලින් ද සිල්වා මාක්ස්වාදය සෘජුවම ප්‍රතික්ෂේප කරනවා. ධනවාදය හා නලින් ද සිල්වාගේ ප්‍රවාද අතර නලින් ද සිල්වා හිතන තරම් ගැටුමක් නැහැ. ගැටුම තියෙන්නේ නලින් ද සිල්වා ධනවාදය ලෙස මාක්ස්වාදීන්ගෙන් ඉගෙන ගෙන තිබෙන දෙය එක්ක.

      ශිෂෑක් වගේම නලින් ද සිල්වාත් වරක් ඡන්දය ඉල්ලා පරාජය වීමෙන් පසුව දිගින් දිගටම ඡන්ද වලට ඉදිරිපත් වුනේ නැහැ. තමන්ට කරලා පෙන්වන්න වෙනකම් ඕනෑ කෙනෙක්ට ඕනෑ බයිලාවක් කියන්න පුළුවන්. මෙය අපට වුවත් අදාළයි. අමාරුව තේරෙන්නේ කරන්න ගියාමයි. නලින් ද සිල්වාගේ තේරීම වූ වත්මන් ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන්න විකල්ප ආර්ථික ක්‍රමයක් නලින් කඳවුර සතුව නැහැ. ඒ නිසා ආණ්ඩුවේ ආර්ථික ක්‍රමයට නලින් කඳවුර සහයෝගය දීමේ කිසිම විසම්මුතියක් නැහැ.

      Delete
    6. //ධනවාදය කියා කියන්නේම නිරන්තරයෙන් තිබෙන විකල්ප ප්‍රතික්ෂේප කරමින් වඩා හොඳ විකල්ප තෝරා ගන්නා ක්‍රමයක්.//

      විහිළු කතා... තවදුරටත් ධනවාදයට මිනිස් වර්ගයාගේ ප‍්‍රගමනය වෙනුවෙන් කාර්යභාරයක් ඉටු කිරීමට නොහැකි බව හා නොමැති බව මුළු ලොවම පිළිගෙන අවසන්. ධනවාදයට ඉතිහාසයේ යුග මෙහෙවරක් තිබුණා. එය ඊට පෙර යුගවලට සාපේක්ෂව ප‍්‍රගතිශීලී කාර්ය භාරයක් ඉටු කළ එක ගැන අපේ ගෞරවය පුද කල යුතු වුවත් එහි ප‍්‍රගතිශීලී මෙහෙවර නිමා කර ඓතිහාසික වශයෙන් පමණක් නොව ප‍්‍රායෝගික වශයෙන් ද ප‍්‍රතිගාමී වෙලාත් බොහෝ කල්.

      භාණ්ඩ හා සේවා නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික හිමිකම හා හුවමාරු භාණ්ඩ (වෙළෙඳ භාණ්ඩ) නිෂ්පාදනය මත පදනම් වන ධනපති ක‍්‍රමය සදාකල් නිපදවන්නේ හුවමාරු වටිනාකම්. එයින් තොරව පැවැත්මක් ගැන ඊට සිතිය නොහැකි බවත් එය නිෂ්පාදනය කරන්නේ ලාභය සඳහා, හැකිතරම් ඉහළ ලාභය, උපරිම ලාභය සඳහා වෙද්දී සියල්ල ඊට යටත් කෙරේ. ධනවාදය තුළ ලාභයක් නැති කිසිවකට අහඹු හා විශේෂ ව්‍යතිරේක වශයෙන් මිස තවදුරටත් කිසිදු තැනක් නැහැ.

      ධනවාදය නිරතුරුවම නූතන විද්‍යාවේ හා තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් ඇති කරන්නට කටයුතු කළත් එකී වෙනස්කම් උපයෝගීකර ගන්නේ මනුෂ්‍ය වර්ගයාගේ නොව ප‍්‍රාග්ධනයේ යහපත සඳහාය යන්න "ධනවාදයේ හරය වන්නේය" යන්න ලෝකෙටම සුපැහැදිලියි. ධනවාදය ඒ වෙනුවෙන් ලොව පුරා බිහිසුණු යුද ගිනි අවුලූවන්නට සූදානම්; ලක්ෂ ගණන් නොව දශලක්ෂ ගණන් මිලියන ගණනක් අහිංසක ජනයා විනාශ කරන්නට සූදානම්; බිලියන නොව ටි‍්‍රලියන ගණනින් වටිනා සම්පත් විනාශ කරන්නට සූදානම්; ධනපතියා ද ඇතුළු මනුෂ්‍යයාගේ පැවැත්මේ අති මූලික සාධකයක් වන ගහ කොළ සතා සීපාවා සමග පරිසරය ද ඉවක් බවක් නැතිව විනාශ කරන්නට සූදානම්. සැබවින්ම ධනවාදය මේ කටයුතුවල විරාමයකින් තොරව දිවා රෑ නොබලා දිගින් දිගටම භයානකව නියැලී සිටී.

      සැබවින්ම මුළුමහත් මිනිස් වර්ගයා සුඛිත මුදිත කළ හැකි සම්පත් ධනවාදය විසින් නිපදවා තිබේ. අතලොස්සකට නොව ලක්ෂ ගණන් දශලක්ෂ ගණන් දෙනාට යන්ත‍්‍රවල දැති රෝද මෙන් නොව බුද්ධිමය හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නිර්මාණාත්ක පෙළහර පාන්නට අවශ්‍ය මාර්ග, විවේකය හා නිදහස ලබා දෙන්නට හැකි කරන තරම් නිෂ්පාදන බලවේග හා ධන සම්පත් නිපදවා තිබේ. ප‍්‍රාග්ධනයේ යහපත සඳහා නොව මිනිස් වර්ගයාගේ යහපත සඳහා මෙම නිෂ්පාදන බලවේග හා යෝධ ධනස්කන්දය යොදවන්නේ නම් නිසැක ලෙසම අප වාසය කරන මේ පෘථිවි තලය අපට හිතා ගන්නටත් බැරි තරම් සංවර්ධිත මට්ටමක ආශ්චර්යමත් ලෝකයක් බවට පරිවර්තනය කරන්නට පුළුවන. ඒ සා විශාල නිෂ්පාදන බලවේග හා යෝධ පරිමාණ ධන සම්පත් එය විසින් නිර්මාණය කරල ඇති නිසායි.

      එහෙත් අද වනවිට මේ ගෝලීය ධනවාදය ලෝකයට එවැනි සමස්ත වර්ධනයක් ඇතිකර ගැනීමට ඉඩ නොදෙයි. එය එහි නොහැකියාවකි. එම නොහැකියාව නෛසර්ගිකවම ධනවාදයට එහි පැවැත්මේ තර්කනය විසින් උරුම කර දෙනු ලබන්නකි. එහි තර්කනය නම් හැකි තරම් උපරිමයෙන් ප‍්‍රාග්ධනය සමුච්චනය කර ගැනීම ය. ඒවා නැවත නැවතත් ආයෝජනය කරමින් ලාභ උපරිමය කර ගැනීම ය. එයට හැක්කේ පොදුවේ ගත් කල බහුතර ජනයාගේ තත්ත්වය පවතින තත්ත්වයෙන් පියවර කිහිපයක් සාපේක්ෂ වශයෙන් ඉහළට එසවීම පමණි. එසේ නොකර එයට එය අපේක්ෂා කරන චිරස්ථායී බව පවත්වා ගත නොහැකි නිසා ය. එහෙත් ඒ ඉහළට එසවීම සැබවින්ම වර්ධනයක් වන්නේ අතීතයට මිස තත්කාලීන නිෂ්පාදන බලවේගයන්ගේ විස්මිත සංවර්ධනයේ මට්ටමට සාපේක්ෂව නොවේ. තත්ත්කාලීන සංවර්ධනයේ මට්ටමට සාපේක්ෂව අති බහුතර ජනතාවක් සම්බන්ධයෙන් ගත් කල එය විසින් ඇති කරනුයේ සැබෑ වර්ධනයක් නොව අවවර්ධනයකි. සූරාකෑමේ අනුපාතයේ හා ඇති නැති පරතරයේ එන්ට එන්ටම පුළුල්වන වර්ධනයකි. නිෂ්පාදනය වන යෝධ ධනස්කන්ධය ගලා යන්නේ වැඩිවන අනුපාතයන්ගෙන් හා සීඝ‍්‍රතාවයෙන් යුතුව ප‍්‍රාග්ධන හිමි අතලොස්සක් අතට මිස පෙදුවේ සමස්ත සමාජය වෙත නොවේ. වත්මන් ධනේශ්වර ක‍්‍රමය නිෂ්පාදනයේ සමාජීයකරණය පෙර නොවූ විරූ මට්ටමක් කරා ගෙනවිත් තිබුණ ද ඊට ප‍්‍රති-පක්ෂව එය සිදු කරමින් පවතින්නේ නිෂ්පාදන මාර්ගයන්ගේත් සමාජ ධනයේත් හිමිකම පෙර නොවූ විරූ පරිද්දෙන් එන්ට එන්ටම කුඩාවන අතලොස්සක් අත සංකේන්ද්‍රණය හා මධ්‍යගත කිරීම බවයි පැහැදිලිව පේන්නේ.

      Delete
    7. ඔය වගේ වට්ටෝරු කතන්දර වලට කාලයකට පෙර ලංකාවේ යම් ඉල්ලුමක් තිබුණා. දැන්නම් ඒකත් නැහැ. කරුණාකර හැමදාම කරනවා වගේ කටපාඩම් කරගත් දේ ආපහු වක් කරන්නේ නැතිව පොඩ්ඩක් නිදහසේ හිතා බලා මගේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තියෙනවාද කියා කියන්න. ධනවාදයට විසඳුම් දිය නොහැකි, මාක්ස්වාදයට විසඳුම් දිය හැකි ප්‍රශ්න මොනවාද? පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳෙන එහෙත් පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය නැති කර ප්‍රාග්ධනයේ අයිතිය නිර්ධන පංති ආඥාදායකත්වයක ඒකාධිකාරයකට හෙවත් රාජ්‍ය ඒකාධිකාරයකට යටත් කළ විට විසඳෙන ගැටළුව කුමක්ද? එම ගැටලුව පෞද්ගලික ප්‍රාග්ධනය තිබියදී නොවිසඳන්නේ හා ප්‍රාග්ධනයේ රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ විසඳන්නේ කොහොමද? වැඩිය අවශ්‍ය නැහැ. පළමුව එක ගැටලුවක් අරගෙන පැහැදිලි කරන්න.

      Delete
  2. කතා කතුApril 27, 2021 at 9:29 AM

    තමන් උපයන ආදායම පරිභෝජනය කර අවසන් නොකර එයින් කොටසක් පෞද්ගලික ප්‍රාග්ධනය ගොඩනගා ගැනීම වෙනුවෙන් ඉතිරි කර ගැනීම අධෛර්යමත් කරමින් පෞද්ගලික ප්‍රාග්ධනයට එරෙහි වීම හරහා සමාජවාදී දෘෂ්ඨිවාදය විසින් පරිභෝජනවාදයක් ප්‍රවර්ධනය කරනවා. අනෙක් පැත්තෙන් ආදායම් විෂමතා නැති කිරීම කියන අදහස හරහා ප්‍රවර්ධනය කරන්නේ රටේ හැමෝම එක මට්ටමෙන් පරිභෝජනය කළ යුතුයි කියන අදහසයි. මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වන්නේ පුළුවන් තරම් ණය වී පරිභෝජනය කරන්න මිනිස්සු පෙළඹෙන එකයි. එක පැත්තකින් ඔය වැඩේ වෙද්දී සූරාකෑම කියන අදහස හරහා යෝජනා කෙරෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරන ශරීර හොරුන් වෙන්නයි. රටේ වැඩි දෙනෙක් ඔය වගේ දෘෂ්ඨිවාදයක සිරකරුවන් වුණාම ඒ රට රටක් විදිහටම ණය බරේ ගිලෙන එක අහන්නත් දෙයක් නැහැ.

    +++

    ReplyDelete
  3. අවුරුදු 2500 ක්ම බෞද්ධ දර්ශනය නොනැසී පවතිනවාය කියන ලංකාවේ, අපි හරියට බුදු දැහැමෙන් කියවෙන දේවල්වත් තේරුම් අරගෙන තියෙනවාද... කර්මය හැබෑ නම් හැමෝටම එක හා සමාන ජීවිත හිමි විය හැකිද?
    ඉකොනෝ කියා තිබෙන විදිහටම කඳු-පල්ලම් නැති ලෝකයක් කොහොම වේවිද.... උස්මිටි තැන් නැති ලෝකයක් කොහොම වේවිද?
    ඔහොම හිතන නිසා වෙන්නැති මගේ හිතේ නම් කවදාවත් සමාජවාදී හීන උපදින්නේ නැත්තේ....

    ReplyDelete
    Replies
    1. නිදි, පාසල් ගමනට සපත්තු කුට්ටමක් ගන්නට මුදල් නොමැතිකමෙන් තම නිවසේ බාල්කවල එල්ලී දැරියන් මිය යද්දී ජනපති පුත් රෝහිත රාජපක්ෂ පළඳින්නේ ‘ලුවි විටෝන්’ නම් වූ සපත්තු වර්ගයක් බවත් සාමන්‍යයෙන් එවන් සපත්තුවක මිල ලක්ෂ එකහමාරක් පමණ වන බවද එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන ලදී.

      පසුව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයා ඉතාමත් උද්වේගකර කතාවක් පවත්වා මේ ගැන සියලු විස්තර සහිතව කරුණු සඳහන් කරමින් ලංකාවේ මහජනතාවගෙන් ප්‍රශ්න කළේ අධි සුඛෝපභෝගී ලුවී විටෝන් පළඳින රාජපක්ෂ නාම්බන් ඉන්න මේ කාලකන්නි ඩිස්නිලන්තයේ "ඒ අයගේ දරුවෝ විතරයි ද දරුවෝ? අපේ දරුවෝ දරුවෝ නෙවෙයි ද?" යනුවෙන්. මෙය මහත් සේ ලංකාවේ ආන්දෝලනයකට තුඩු දුන් කතාවක් වුණා.

      සැබවින්ම රෝහිත රාජපක්ෂ පලදින්නේ ලුවී විටෝන් වර්ගයේ සපත්තුද? එම සපත්තු කුට්ටමක මිල කොපමණ වේද යන්න විමසා බලමු.

      රෝහිත රාජපක්ෂගේ සපත්තු පමණක් නොව බඳ පටිය පවා ලුවී විටෝන් වර්ගයේ එකකි. ඒ බව සනාථ කරමින් ඔහු "ලයිෆ්" සඟරාව වෙත සම්මුඛ සකච්ච්චාවක් ලබාදී තිබේ.

      එහිදී ඔහු එය සඳහන්කොට තිබුනේ මෙලෙසිනි.

      "මම හැම තැනම සාප්පු සවාරියේ යනවා.. මට හරියටම හරියන දේවල් මම මිලදී ගන්නවා.. එකේ නම මුදල ගැටළුවක් නෙවෙයි. කොහම උනත් බඳ පටි හා සපත්තුවලට නම් මගේ තේරීම LV තමයි."

      Where do you like to shop?

      I shop everywhere, anything that fits perfect will be purchased, price and name does not matter. However, for belts and shoes LV is my brand
      (life.dailymirror.lk/article/5024/rohitha)

      ලුවිස් විටෝන් යනු ප්‍රංශයේ වෙළඳ නාමයකි. එම වෙළඳ නාමය යටතේ නිමි ඇඳුම්, සපත්තු, ඔරලෝසු, ආභරණ, අව් කන්නාඩි, පොත්පත් පවා ඔවුන් නිකුත් කරනු ලබයි.

      ලුවිස් විටෝන් 2006 සිට මේ දක්වා ලෝකයේම ඇති වටිනාම සුඛෝපභෝගී වෙළඳ නාමය ලෙසද නම්කොට ඇත.

      යුරෝපයේ සුඛෝපභෝගී වෙළඳ නාමවල නිෂ්පාදිතයන්ගේ මිල ගණන් ඉතාමත් බරපතල විදිහට අධික මිල වන අතර එහි ධනවත් වැසියන් බොහෝ දෙනා ප්‍රියකරන්නේ සන්නාම් නාමයේ වටිනාකමට (Branded) භාණ්ඩ මිලදී ගැනීමටයි.

      මේ වගේම ඉතා කුඩා නිෂ්පාදිතයක් වුවත් රුපියල් විසි දහසේ සිට ලක්ෂ ගණන් දක්වා මිල ගණන් දිව යනු ලැබේ. එසේ වූ කල ලොව මිල අධිකම සුඛෝපභෝගී වෙළඳ නාමයේ විකිණීමට ඇති අයිතමයන්හි මිල ගණන් පිලිබඳ අමුතුවෙන් කිව යුතු නොවේ.

      අනිත් පැත්තෙන් ඒ වගේම ලංකාවේ වත්මන් ජනපති නන්දසේන ආරක්ෂක ලේකම් ලෙස ඉන්න කාලේ ඔහුගේ ඍජු මැදිහත් වීම මත හමුදා නිලධාරීන් යටතේ රණ විරුවන්ගේ ශ්‍රමය සූරා කමින් ඉදිකර විවෘත කරනු ලැබූ "ආකේඩ් ඉන්ඩිපෙන්ස්" නම් සුපිරි වෙළද සංකීර්ණ‍යේ විවෘත කිරීමේ උත්සවයේ වැඩකටයුතු සඳහා පමණක් ලක්ෂ 300 කට අධික මුදලක් වැය කරන්නට ඇති බව සිරස මාධ්‍ය ආයතනය මගින් ඇස්තමේන්තු කර වාර්තා කර තිබුණා.

      රාජපක්ෂ කල්ලියේ අනෙකුත් උළෙලවල් මෙන්ම මෙම උත්සවයද සංවිධානය කර තිබුනේ භාතිය සන්තුෂ්ගේ හිමිකාරත්වයෙන් පවත්වාගෙන යන "SHOW TOWN" නම් ආයතනය විසිනි.

      ආරම්භක උළලේ නර්තනයන් ඉදිරිපත් කල කණ්ඩායමට ලක්ෂ අසූවක මුදලක් ගෙවා ඇති අතර ඉදිරිපත් කරන ලද අනෙකුත් අංග, මල්වෙඩි සංදර්ශනය ඇතුළු කටයුතු සඳහා ලක්ෂ 160 අධික මුදලක් වැයකොට තිබේ.

      ආරම්භක උළෙල සඳහා මෙතරම් විශාල වියදමක් සිදුකරත් මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වැඩකළ හමුදා භට යන් හට වැටුපට අමතරව දිනකට ලබා දී තිබුනේ රුපියල් සියයක දීමනාවක් පමණි.

      මේ සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සහ රාජපක්ෂ වහලුන් පවසන ඊනියා මාකටින් කිරීමක් ලෙස බයිලාවක් පවසන මේ සාජ්ජය සඳහා ලංකාවේ ලක්ෂ 300 කට අධික මුදලක් වය කරද්දී ඉන්දියාවේ අගමැති මෝදී දිව්රුම් දුන් උත්සවයට ඉන්දියාවේ රජය වියදම් කොට තිබුනේ ඉන්දීය රුපියල් දාහත් ලක්ෂ හැටදහසක් පමණක් බව මෝදි මාධ්‍ය අංශය සඳහන් කර තිබුණා. ඉතින් ලංකාවට මෙහෙම නොවී තියේද?

      Delete
    2. කර්මය කියන්නේ ඒකනෙ මහත්තයෝ. කර්මය විපාක දෙන ක්‍රමත් හරි වෙනස්නේ.

      රාජපක්ෂ බේබිලා කිසිම රස්සාවක් නොකර එහෙම ෂොපින් යන්න පිං කරලා තියෙනවා. රොකට් යවන්නත්, යවලා ලෝක ඉතිහාසයට නම් එකතු කර ගන්නත් වාසනාවන්ත වෙනවා. නිකමට හිතන්නකෝ මැණික් මලුත් ගෙනත් දීලා යන ඩේසි ආච්චිලා හැමෝටම ලැබෙනවද?

      අර සපත්තු නැති දරුවන්ටත් තියෙන්නේ කොහොම හරි හොරාකාලා පෝසත් වෙන්න බලන්නයි. අඩුම ගානේ නුන්ට ලොකුම විපත්තියක් වෙලා තියෙන වෙලාවක ලැබෙන ආධාර හරි ගසාකන පුරුදු වෙන්නයි. එතකොට ඔය කරුමේ ඉවර වෙලා යාවි. බලන්නකො, තව ටික කාලෙකින් එහෙම උරුමකාරයන්ට අපිත් උඩගෙඩි දීලා රජ කරවන ලස්සන......

      Delete
  4. මහත්මයා,
    උතුරේ දමිල ජනතාව කියන්නේ ඉතාම රැස්පොට් එකට ජීවත්වෙන පිරිසක්.
    ඉතින් දමිල පවුලකට ක්‍ෂුද්‍ර නයක් ලබාගෙන එය ගෙවා ගන්න බැරුව. නයට හිලව් වෙන්න ගෙදර බඩුමුට්ටු බලෙන් පැහැගෙන ගියොත් ඒ මිනිස්සු ලෝකෙට මුහුන දෙන්නෙ කොහොමද? ඒ පවුලේ ගැහැණු දරුවන් කසාද බඳින්නේ කොහොමද ඔවුන් විවාහ කර දෙන්න වෙන්නේ හම්බයන්ට.

    ඒ නිසා දෙමල අයට විතරක් විශේෂයක් කල යුතුයි.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා ලංකාවේ සමාජයේ ඇති සමාජවාදී මතවාදයන් ඉදිරිපත් කරන අය ගැන මොහු දක්වන අදහස් ගැන මොකද හිතන්නේ?

    https://www.facebook.com/watch/?v=1908819859286550

    මේ පුද්ගලයා (දිලිත්) ලංකාවේ කුප්‍රකට ධනවත් ව්‍යාපාරිකයකු වන අතර මාධ්‍ය ජාලයක හිමිකාරීත්වය දරන ගමන් ලංකාවේ වත්මන් ජනපති නන්දසේන බලයට පත් කිරීමට කටයුතු කළ අයෙක්. මොහු මේ සඳහන් කරන දේවල් ගැන මොකද හිතන්නේ? මට තේරෙන විදිහට ඔහු ධනවාදී අදහස් දරන කෙනෙක් වගේ? එහෙම නෙවෙයි ද?

    ReplyDelete
    Replies
    1. පුද්ගල චරිතයක් ලෙස දිලිත් ජයවීර ගැන නිශ්චිතව යමක් කියන්න තරම් මම ඔහුව හදාරා නැහැ. එහෙම පුද්ගලයින්ව හදාරන්න මහන්සි වෙන එකේ හෝ පුද්ගලයින් ලේබල් කිරීමේ තේරුමක් ඇතැයි මම හිතන්නේ නැහැ. මොකද මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා. එවිට අර කරපු හැදෑරීම්, ගහපු ලේබල් වලට තේරුමක් නැතිව යනවා. ඔහු මෙහි කියන කතාවේනම් යම් තේරුමක් තියෙනවා. කෙළින් නොකියා වටෙන් ගොඩෙන් කියන්නේ තමන්ට නැති අනුන්ට තිබෙන දෙයට ඊර්ෂ්‍යා කිරීම කියලනේ. පොදුවේ ගත් විට න්‍යායික දැනුමක් නැතිව සමාජවාදය කෙරෙහි ආකර්ෂණය වන පහළ ස්ථරය සම්බන්ධව මෙය නරක කියැවීමක් නෙමෙයි. ඊර්ෂ්‍යාව මත පදනම් වූ වෛරයක් ඔවුන් තුළ තිබෙනවා. එයට සාධාරණ හේතුත් තිබෙනවා.

      ඉහත ප්‍රතිචාරයක තිබෙන මේ කොටස බලන්න.

      "සැබවින්ම මුළුමහත් මිනිස් වර්ගයා සුඛිත මුදිත කළ හැකි සම්පත් ධනවාදය විසින් නිපදවා තිබේ. අතලොස්සකට නොව ලක්ෂ ගණන් දශලක්ෂ ගණන් දෙනාට යන්ත‍්‍රවල දැති රෝද මෙන් නොව බුද්ධිමය හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ නිර්මාණාත්ක පෙළහර පාන්නට අවශ්‍ය මාර්ග, විවේකය හා නිදහස ලබා දෙන්නට හැකි කරන තරම් නිෂ්පාදන බලවේග හා ධන සම්පත් නිපදවා තිබේ. ප‍්‍රාග්ධනයේ යහපත සඳහා නොව මිනිස් වර්ගයාගේ යහපත සඳහා මෙම නිෂ්පාදන බලවේග හා යෝධ ධනස්කන්දය යොදවන්නේ නම් නිසැක ලෙසම අප වාසය කරන මේ පෘථිවි තලය අපට හිතා ගන්නටත් බැරි තරම් සංවර්ධිත මට්ටමක ආශ්චර්යමත් ලෝකයක් බවට පරිවර්තනය කරන්නට පුළුවන. ඒ සා විශාල නිෂ්පාදන බලවේග හා යෝධ පරිමාණ ධන සම්පත් එය විසින් නිර්මාණය කරල ඇති නිසායි."

      මේ චින්තනයේ තිබෙන වැරැද්ද වන්නේ ධනවාදය හා ධනවාදය විසින් නිර්මාණය කර තිබෙන සම්පත් අතර තිබෙන endogeneity එක තේරුම් නොගැනීමයි. ගැලපෙන සිංහල වචනයක් මට හිතාගන්න බැහැ. මේක ටිකක් දුරට දේවදත්ත විසින් බුදුන් මරා බුදු විය හැකියයි සිතුවා වගේ වැඩක්. ජෙෆ් බෙසෝස් සතුව විශාල ධනයක් තිබෙන්නේම එම ධනය ඔහු සතුව තිබෙන නිසා. එම ධනය වෙනත් අයට බෙදා දෙන්න පුළුවන්කමක් නැහැ. එසේ කළ වහාම එම ධනය අතුරුදහන් වී යනවා. ඔබට බුදු වෙන්න අවශ්‍යනම් ඔබ විසින් පෙරුම් පුරා බුදු විය යුතුයි. බුදු කෙනෙක් මරා බුද්ධත්වය ලබා ගන්න බැහැ. හැබැයි බුදු වුනු කෙනෙකුට තවත් අයෙකුට එම මාර්ගය පෙන්විය හැකියි. මාර්ගයේ ගමන් කිරීම හෝ නොකිරීම තමතමන්ගේ කැමැත්ත. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වය ලබා ගන්නේ රජකමක් ලබා ගන්නවා වගේ වෙනත් කෙනෙකු සතුව තිබූ බුද්ධත්වයක් පැහැර ගැනීමෙන් නෙමෙයි. හොඳ උපමාවක් නොවුනත් මට මෙය පැහැදිලි කරන්න වෙනත් උපමාවක් හිතා ගන්න අමාරුයි.

      මෙහෙමත් කියමු. මංගලිකා අමාරුවෙන් ශ්‍රී පාද කන්ද නැගලා. ඇයට මුහුද දක්වා ලංකාව වටේම හාත්පස පේනවා. කන්ද පහළ ඉන්න අශෝකට මංගලිකාට විශාල ප්‍රදේශයක් දැකීමෙන් ලැබෙන සතුට ලැබෙන්නේ නැහැ. නමුත් ඇයට එම සතුට පහළ ඉන්න අශෝක එක්ක බෙදාගන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා අශෝකත් කන්ද උඩට එන්න ඕනෑ. ඒ වගේම මංගලිකා විසින් විදින සතුට ඇය විසින් අත්පත් කරගත් දෙයක් වුවත් එය අශෝකගෙන් උදුරා ගත් දෙයක් නෙමෙයි. අශෝකටත් අවශ්‍යනම් මංගලිකාට ඊර්ෂ්‍යා කරමින් නොසිට කන්ද නගින්න පුළුවන්කම තිබෙනවා. සමහර විට මංගලිකා පාර කියා දෙන එකක් නැහැ. ඇය අනිවාර්යයෙන් එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එසේ පාර කියා දෙන කෙනෙක් නැත්නම් අශෝකට තනියම පාර හොයා ගෙන කන්ද නගින්න වෙනවා. හැමෝම නොකළත් පාර කියා දෙන මංගලිකාලා ඉන්නවා. නමුත් එහෙම එක් කෙනෙක් ඉඳිද්දී අශෝක කන්ද නගින එක වලක්වන්න සීයක් ඉන්නවා. "ඔය කන්ද මහා භයානක දෙයක්. කන්ද නගින එක අපරාධයක්" කියලා ඒ අය අශෝකව බය කරනවා. එහෙම බය කරන්න හා කන්ද නගින්න හිතන අය අධෛර්යමත් කරන්න හදපු වැඩ නොකරන න්‍යායයන්ද තිබෙනවා. "තනිව කන්ද නගින්නේ නැතිව අපි කන්ද පහළ සිට මංගලිකාට පේන ලෝකය දැකිය හැකි විදිහට සාමූහිකව කන්ද පහළ වෙනස් කර ගනිමු. එවිට කන්ද නගින්න මහන්සි නොවීම අපි හැමෝටම සාමූහිකව මංගලිකා විඳින සතුට විඳිය හැකියි". මළාට වෙන්නේ නැති දෙයක් වුනත් කන්ද නගින කට්ට කනවාට වඩා ඔය කතාව ආකර්ශනීයයි. ඉතින් කට්ටිය එකතු වෙනවා. එකතු වෙලා කන්ද නගින්න උත්සාහ කරන අයව වලක්වනවා. ඒ අයගේ කකුලෙන් අදිනවා. සමහර වෙලාවට කන්ද නගින්න යන කෙනෙක්ව ප්‍රතිගාමියෙක් ලෙස ලේබල් කරලා මරා දාන්න පවා පෙළඹෙනවා.

      Delete
  6. Economatta, I think the issue is in transition. I also agree with most of the things that u suggest. However, the transition would be a huge cost to the individuals operating in this pseudo - capitalistic structure, which no politician would be willing to undertake. As an example a farmer that transforms to a labourer will loose his dignity and he would not see the whole new opportunities in front of him. Perhaps, his son/ daughter may see this....

    ReplyDelete
    Replies
    1. It's not just no politician would be willing to undertake this challenge. The dominant political ideology in SL itself is the very obstacle for this transition. I do not pinpoint SLPP, SJB, JVP or any specific political party. More or less, they all promote this political ideology.

      Delete
  7. "අයිසේ ජයමහ මෙහෙ එනවා ඕයි"

    කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි සටකපට ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.

    ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි සුපිරි වෙළඳ සැලක සේල්ස්මන් රැකියාවකට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.

    "කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.
    "සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.

    "මොකක්? නොදකින්... ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා මෙහෙට එන කල්ලතෝනින්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, ලංකාව වගේ දෙකයි පණහේ පීචං රටක ඉඳලා එන තමුසෙලා නම් මහ වස කම්මැලි සත පහකට වැඩක් නැති අමන හැත්තක්, තමුසෙලාට ස්කිල්ඩ් මෛග්‍රේසන් කියලා මේ රටට එන්න දෙන එක අපට මහ බරක් ඕයි.. තමුසෙලාගේ රටින් ඔය හාල්පාරුවෝ හැත්ත එන එක නවත්තලා දාන්න ඕන, කොහෙද අපේ ආණ්ඩුවේ ගොන් මෝඩ මීහරක් ඩෑල් වලට පිස්සු නේ බොලා වගේ අපත රැලකට මෙහෙට එන්න ඉඩ දෙන්නේ.. අනික අන් ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ.. මහ හිඟන රටක් නේද බන් බොලාගේ තුට්ටු දෙකේ වහල් දූපත?

    ඕයි දැන් බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.

    නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්,

    "ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.

    "සර් ඩොලර් 37,855 යි (ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.

    "මොකක්.. යකෝ ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි මවිතයෙන් ඇසුවේය.

    "සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.

    "එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.
    "නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..

    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා.. ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට.. එතනින් එක බෝට්ටුවක් වික්කා..

    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..

    ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්නේ කියල, මිනිහට මෙලෝ අදහසක් තිබ්බේ නෑ සර් ඒ ගැන.. ඊට පස්සේ සර් මං ආපහු මෙහෙ ඇවිත් ලොකු ටෙන්ට් එකකුයි කෑම්පින් බඩු ටිකයි වික්කා.."

    ජයමහ සිය කතාව අවසන් කළේය.

    මද වේලාවක් ගල් ගැසී සිටි ජෙෆ්රි;

    "තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලී කොක්කක් ගන්න ආපු මිනිහටද?" ඇසුවේය.

    "නෑ සර් ඇත්තටම මිනිහ ආවේ ඔලුව කැක්කුමට පැරසිටමෝල් පෙති දෙකක් ගන්න.. මම තමයි කියල මෑන්ව බිලී බාන්න පෙළඹෙව්වේ ඔය ඔලුවේ කැක්කුම්වලට හොඳම වැඩේ මාලු අල්ලන්න යන එක තමයි කියල.." ජයමහ එසේ කියද්දී ජෙෆ්රිට කෑ ගැස්සුණි.

    "අයිසේ ජයමහ තමුසෙ මාර මිනිහෙක්නේ ඕයි.. ලංකාවේ දී මොකක්ද කරපු ජොබ් එක?" ජෙෆ්රි ඇසුවේය.

    " සර් මං ලංකාවේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් සර්..

    යාන්තම් පොඩි හෙම්බිරිස්සාවකට බෙහෙත් ගන්න එන ලෙඩෙක්ව හොඳටම බය කරලා බ්ලඩ් ටෙස්ට් FBC, යුරීන් ටෙස්ට් UFR, සීනී RBS, FBS, HbA1C, PPBS, කොලෙස්ටරෝල් LP, Liver Function, ECO, ECG, CT scan, X-ray, MRI කරවන අපිට මේක සුලු දෙයක් සර්" ජයමහ කියද්දි ජෙෆ්රි සිය පුටුව මත සිහිසුන් වී සිටියේය.

    ඇමරිකාවේත් මේ වගේ නේද?

    ReplyDelete
  8. ඉකෝන්,

    මේ දවස්වල ලංකාවේ ඉතාමත් වේගයෙන් කොවිඩ් පැතිරීම වැඩි නිසා හරිම භයානක තත්ත්වයක් තියෙනවා මම හිතන්නේ, ලංකාවේ ව්‍යාප්ත වෙමින් ඇති වෙන කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ප්‍රතිචාර දක්වන ඵලදායීතාව එම එන්නත සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය දොස්තර චන්දිම ජීවන්දර මාධ්‍ය වලට කියන්නේ දැනට හඳුන්වා දී ඇති සියලුම එන්නත් මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

    නමුත් ඉන් අදහස් කරන්නේ එන්නත ලබා ගත් පුද්ගලයන්ට වෛරසය නොවැලදෙන බවක් නොව වැළඳුණද අසාධ්‍ය තත්ත්වයට පත් නොවන බවත් කිව්වා.

    ඒත් දකුණු අප්‍රිකාවේ සහ බ‍්‍රසීලයේ පැතිර යන ප්‍රභේදයන්ට ඇතැම් ඉන්නත් ප්‍රතිචාර නොදක්වන බවද පැවසූ ඔහු එය ඉදිරියේ දී එන්නත් නිපදවන සමාගම් විසින් එම තත්වය යාවත්කාලීන update එකක් කරාවි කියලා කිව්වේ.

    නමුත් මේ ගැන පැහැදිලි කිරීමක් කරපු ජවිපෙ ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය වලින් ඇසුවේ ලොකුම පුදුමය නම් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා Astrazeneca එන්නත ලංකාවේ තවමත් භාවිතා කිරීම බවයි. මේ දවස්වල ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් බොහොමයක් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත නවතා දමා ඇති බවත් ඒ බව ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් නොදන්නේද යන්න ඔහු ප්‍රශ්න කළේ?

    ඒ අනුව මෙන්න ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත නවතා දමා ඇති රටවල්.

    ජර්මනිය
    ඉතාලිය
    ප්‍රංශය
    ස්පාඤ්ඤය
    ඩෙන්මාර්කය
    නෝර්වේ
    නෙදර්ලන්තය
    මීට තවත් බොහෝ රටවල් එකතු වීමට ඉඩ ඇත.

    ඇමරිකාව මිලියන අනූවකට වඩා ඇස්ට්‍රා එන්නත් නැවත ප්‍රති අපනයන කිරීමට පියවර ගෙන ඇති බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය දැනුවත් කළා. ඊස්රායලය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා එන්නත් මිලියන දහයක් නැවත ප්‍රතිඅපනයන කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළා.

    මේ සම්බන්ධයෙන් ලංකාවේ දූෂිත නන්දසේන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන බව ඔහු පැවසුවේ. නන්දේ දන්නේ නැහැ කියමු ඒත් ඉකෝන් මේ දේවල් අපේ සෞඛ්‍ය බලධාරීන් නොදන්නේද නැතිනම් නොදන්නා බව අඟවනවා ද? ආණ්ඩුව ජනතාව රවටන්නට හදනවා ද?

    ලංකාවේ අලුත් වයිරස් එක ගැන දොස්තරලා ආණ්ඩුව දැනුවත් කලාලු අප්‍රේල් මාසෙ මුල ඒ කියන්නෙ ආණ්ඩුව වයිරසේ එක්ක මිනිස්සුන්ට බාල් නටන්න කියල බකන් නිලා ඉදල අනික් පැත්තෙන් තියෙන එන්නත් මදි සුව සේවකයොන්ට දෙන්නත් දැන් අරක්කු සැන්ඩි කරනව වගේ එන්නත් සැන්ඩි කරන්න හදන බවට කතාවක් යනවා විපක්ෂයේ අයගේ. මේව කිව්වම මිනිස්සුන්ගෙ එන්නත් ගැන විස්වාසෙ ඉබේම නැති වෙනවනෙ. අන්න එතකොට තමයි හෙල වෙද පැණියො සීන් එකට එන්නෙ උන් රාජපක්ෂ කල්ලියේ වහල් බයියො හෙළ හෙළ කියාල හෙළ වෙදකමේ නාමෙන් පිස්සු වට්ටෝල ආණ්ඩුවේ නැති බැරි කම් වහනව. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  9. ඉකොනොමැට්ටා,

    මේ දිනවල දිනකට කොවිඩ් 19 ආසාදිතයින් 990 ක් (අද දින එනම් අප්‍රේල් මාසේ 30 දින තුල පමණක් දිවයින පුරා රෝගීන් සංඛ්‍යාව 992 ක් !!!) ඉක්මවා ගිය ඉතා බරපතළ ලෙස උග්‍ර භයානක වසංගතයක් නිසා පීඩා විඳින ලංකාව තුළ හදිසි අවශ්‍යතාවයකට ප්‍රමාණවත් තරමට වඩා වැඩිපුර ඔක්සිජන් නිෂ්පාදනයක් තිබුණද ඒවා රෝගීන් වැඩි ප‍්‍රමාණයක් වෙත ගෙන එකවර ප්‍රවාහනය කිරීම සහ ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය තරමට සිලින්ඩර ධාරිතාවක් නැතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තියෙනවා. අද මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියන්නේ පවතින වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා තවත් හොඳින් ශක්තිමත් ලෙස සූදානම් වීමක් අත්වශ්‍යය බවයි.

    නමුත් මෙය එතරම් ගණන් නොගත්ත ආණ්ඩුවේ ඇමතිවරු පවසන්නේ දැනට තියෙන LP ගෑස් ටැන්කි පිරිසිදු කරලා ඔක්සිජන් පිරෙවුවනම් මේක විසඳන්න පුළුවන් බවයි. (ඒත් ඒක 100% ක් හොද නෑලු නමුත් වෙලවෙ හැටියට හොදයිලු) මේක ඇත්ත ද?

    තවත් සමහරක් පවසන්නේ බේසමකට වතුර දාලා, පතුල කපපු කොකාකෝලා බෝතල් දෙකක් බස්සවා මේ දෙකට වයර් දෙකක් සවි කර කාර් බැටරියකට සම්බන්ධ කලාම එක බෝතලයක කටින් ඔක්සිජන් එන බවත් අනෙක් බෝතලේ කටින් හයිඩ්‍රජන් එන බවත් ඔක්සිජන් එන බෝතලේ කටට බටයක් ගැහුවම ඔක්සිජන් ගන්න පුලුවන් බවයි. මේ වගේ නිවසේ දීම ඔක්සිජන් සාදා ගන්නා ආකාරය පවා මේ දවස්වල ලංකාවේ සමාජයේ පැතිර යන අදහසක්. මේවායින් රටට මොන තරම් බරපතළ අතුරු ආබාධ ඇතිවිය හැකි ද?

    නමුත් ආණ්ඩුවේ හෙංචයියන් මෙය විහිළුවක් වගේ අරගෙන සිම්පල් වැඩ තියාගෙන මැරෙන්නෙ මොකටද බ්‍රෝ කියලා හරිම සැහැල්ලුවෙන් කටයුතු කරන එක මහ විකාරයක්...

    ඇත්තටම LP ගෑස් සිලින්ඩරයක සහ ඔක්සිජන් ගෑස් සිලින්ඩරයක පීඩනය 24 bar නිසා ඒ කියන කිසිම අවුලක් වෙන්නෙ නෑ කියන කතාව ඇත්ත ද ඉකොනො?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: