වෙබ් ලිපිනය:

Thursday, February 10, 2022

ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (සිවුවන කොටස)


ප්‍රශ්නයක ස්වභාවය හා ගැඹුර ගැන අවබෝධයක් නැති අයෙකුට විසඳුම් යෝජනා කරන එක පහසුයි. එසේ කරන අයද සුලබයි. බොහෝ දෙනෙකුට අනුව ලංකාවේ ආර්ථිකයේ වත්මන් ප්‍රශ්නය ඩොලර් නැතිකම. මෙයට හේතු ලෙස අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී විවිධ හේතු ඉදිරිපත් වෙනවා. යමෙක් ප්‍රශ්නයකට ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනා ගැනෙන කරුණු මත තීරණය වෙනවා. 

ඩොලර් හිඟයට හේතු සේ ඉදිරිපත් කරන අධිපරිභෝජනය, රටේ හදාගත හැකි දේවල් ආනයනය කිරීම, රට ඇතුළේ ප්‍රමාණවත් නිෂ්පාදනයක් සිදු නොවීම ආදී කරුණු හරහා කෙරෙන්නේ ප්‍රශ්නය රටේ සාමාන්‍ය මිනිස්සු වෙත තල්ලු කිරීම. මේ වගේ දේවල් නිතර ඇහෙද්දී රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වන හැඟීම මෙහෙම වෙලා තියෙන්නේ රජයේ වැරැද්දකින් නෙමෙයි අපේ වැරැද්දකින් කියන එකයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි.

ලංකාවේ වත්මන් ඩොලර් හිඟය තනිකරම රාජපක්ෂ දශකය තුළ පටන් ගත් පොන්සි ක්‍රීඩාව නිසා ඇති වූ ප්‍රශ්නයක්. එය රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් මිසක් සාමාන්‍ය ජනතාවගේ වැරැද්දකින් ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ප්‍රශ්නය හමුවේ අපට කළ හැක්කේ කුමක්ද කියා විමසන අය ඉන්නවා. නමුත්, ඇත්තටම මේ ප්‍රශ්නය හමුවේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට කළ හැකි දෙයක් නැහැ. කළ යුතු දෙය කළ යුත්තේ රජය හා මහ බැංකුව විසිනුයි. ඇත්තටම රටේ තිබෙන ප්‍රශ්නය වගකීමක් නැති සල්ලි අච්චු ගැසීම හමුවේ රුපියලේ වටිනාකම වේගයෙන් පහළ යාම හා එයට අනුරූපව විණිමය අනුපාතය සකස්වීම වලක්වා තිබීම මිසක් රටේ මිනිස්සු ආනයන වෙනුවෙන් වැඩියෙන් වියදම් කිරීම නෙමෙයි.

කවුරු හෝ තමන්ගේ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරන් දුන්නා කියලා වෙනත් අයෙකුට එය අධිපරිභෝජනයක් කියා කියන්න බැහැ. සල්ලි තමන්ගේනම් වියදම් කරද්දී තමන්ට ඕනෑ හැටියකට වියදම් කරනවා මිසක් වෙන අයට අවශ්‍ය විදිහට වියදම් කරන්න අවශ්‍ය නැහැ. කැමති කෙනෙක් ආප්ප අරන් නොදී ඉතාලියෙන් පීසා ගෙනත් බල්ලන්ට දුන්නත් කතාව එච්චරයි. ඔය වගේ වැඩකින් වෙනත් අයට වගේම රටටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. සල්ලි තියෙන කෙනෙක් මිල අධික මෝටර් රථයක් ආනයනය කළ විට රටේ තවත් බොහෝ දෙනෙකුටත් කීයක් හෝ හොයා ගන්න සුළු හෝ අවස්ථාවක් ලැබෙන එකයි වෙන්නේ.

රුපියල් වේවා, ඩොලර් වේවා, තමන් විසින් උපයා ගත් සල්ලි කවුරු හෝ වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් නෙමෙයි. සල්ලි තමන්ගේනම් ඒ සල්ලි ගඟේ මූදේ දැම්මත් වෙන කාටවත් එයින් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. රටට ප්‍රශ්නයක් වෙන්න විදිහකුත් නැහැ, හැබැයි වියදම් කරන්නේ අනුන්ගේ සල්ලිනම් එතැන ප්‍රශ්නයක් තිබෙනවා. වියදම් කරන්නේ නැති සල්ලිනම් ඊටත් වඩා ප්‍රශ්නයක් තිබෙනවා.

කවුරු හෝ විසින් තමන් විසින් උපයා නොගත්, නැති සල්ලි වියදම් කරනවානම් එය අධිපරිභෝජනයක් කියා කියන්න පුළුවන්. ලංකාව නිදහස ලැබූ තැන් පටන් බලයේ සිටි හැම ආණ්ඩුවක්ම නැති රුපියල් වියදම් කළා. සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවීමේදී වෙන්නේ නැති රුපියල් අලුතින් මවා වියදම් කිරීමක්. නැති රුපියල් වියදම් කරන තරමට රුපියලේ අගය පහළ යනවා. එවිට ඒ පහළ යාම විණිමය අනුපාතය තුළද නිරූපනය විය යුතුයි. එසේ නොවුනහොත් රුපියල් වලට ලංකාවෙන් පිටදී ඉල්ලුමක් නැතිව යනවා. රුපියල් ගෙවා ඩොලර් වැනි විදේශ මුදල් මිල දී ගන්න බැරි වෙනවා. ඩොලර් හිඟයක් ඇති වෙනවා.

නැති රුපියල් වියදම් කිරීම රාජපක්ෂලා පටන් ගත් සෙල්ලමක් නෙමෙයි. එය පරණ සෙල්ලමක්. රාජපක්ෂලා පටන් ගත් අලුත් සෙල්ලම නැති රුපියල් වලට අමතරව නැති ඩොලර්ද වියදම් කිරීමයි. අද ලංකාව මුහුණ දෙන අර්බුදයට හේතුව මේ විදිහට නැති ඩොලර් වියදම් කිරීමයි. එහෙම නැතුව හැම දෙයක්ම ආනයනය කිරීම නෙමෙයි.

රාජපක්ෂ දශකයට පෙර 2001-2003 කාලයේදී ශ්‍රී ලාංකිකයින් විසින් නැති ඩොලර් වියදම් කළේ නැහැ. ආනයන සඳහා වියදම් කළ හැම ඩොලරයක්ම කවර හෝ ආකාරයකින් ඉපැයූ ඩොලර්. රාජපක්ෂ දශකය තුළ විණිමය අනුපාතය හිර කර ගෙන සිටීම නිසා මේ තත්ත්වය වෙනස් වුනත්, සමස්තයක් ලෙස 2015-2019 අතර පැවතියේත් මෙවැනිම තත්ත්වයක්. 2014 අවසානයේදී ඩොලරයක මිල 131.05ක් පමණයි. යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව 2015 වසර අවසාන වෙද්දී ඩොලරයේ මිල රුපියල් 144.06 දක්වා ඉහළ ගියා. එසේ කිරීම නිසා, එම වසර තුළ ආනයන වෙනුවෙන් වැය කළ යුතු වූ විදේශ විණිමය මුළු ප්‍රමාණයම පහසුවෙන් උපයා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකි වුනා.

ආනයන පාලනයක් නොතිබුණු 2015 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 18,935ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,072ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,007ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,546කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 6,397කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,980කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 23,923ක්. එහෙමනම්, ලංකාවේ මිනිස්සු හැම දේම පිටරටින් ගෙන්වීම නිසා ඩොලර් හිඟ වුනා කියන කතාවේ ඇත්තක් තියෙනවද?

ඊළඟ අවුරුද්ද ගත්තත් කතාව මේ විදිහමයි. 2016 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 19,400ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,259ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 23,659ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 10,310කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,138කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,242කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 24,690ක්

ඩොලර් ආදායම් රටට එනවානම්, ඒ ඩොලර් මොන විදිහට වියදම් කළත් රටේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 2017 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 20,980ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,421ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 25,401ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,360කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,724කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,164කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,248ක්. ඔය තියෙන්නෙ ඩොලර්!

ලංකා ඉතිහාසයේ ආනයන වෙනුවෙන් වැඩිම වියදමක් ගිය වසර 2018 වසරයි. 2018 වසරේදී භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 22,233ක් වැය වුනා. සේවා ආනයන වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4,608ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 26,841ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,890කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 8,374කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 7,015කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 27,279ක්. මෙම වසර තුළ, ඩොලරයක මිල රුපියල් 152.85 සිට රුපියල් 182.75 දක්වා ඉහළ ගියා. ඒ නිසාම, ඉහළ ගිය ආනයන ඉල්ලුමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් රටට ආවා. ඩොලර් හිඟ වී ආනයන පාලනය කරන්න වුනේ නැහැ. 

යහපාලන ආණ්ඩුවේ අවසන් අවුරුද්ද වූ 2019දීත් ආනයන පාලනයක් සිදු වුනේ නැහැ. එහෙත්, පෙර වසරේ විණිමය අනුපාතය විශාල ලෙස අවප්‍රමාණය වීම ඇතුළු හේතු නිසා නිසා ස්වභාවික ලෙසම ආනයන සීමාවීමක් සිදු වුනා. 2019 වසරේදී භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 19,937ක් දක්වා අඩු වුනා. සේවා ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 4,625ක් වැය වුනා. ඒ අනුව, රටේ ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජන වියදම ඩොලර් මිලියන 24,562ක්. එම වසර තුළදී භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 11,940කුත්, සේවා අපනයන වලින් ඩොලර් මිලියන 7,474කුත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස තවත් ඩොලර් මිලියන 6,717කුත් රටට ආවා. එකතුව ඩොලර් මිලියන 26,131ක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයින් විසින් 2019 වසර තුළ ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 1,569ක් රටට ගෙනත්. මේ අවුරුද්ද තුළ ඩොලරයක මිල රුපියල් 182.75 සිට රුපියල් 181.63 දක්වා පහළ ගියා. 

පිටරටින් හැමදේම ගේන නිසා රටේ ඩොලර් හිඟ වෙනවා කියන එක පට්ටපල් බොරු කතාවක්. ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන ශ්‍රී ලාංකිකයෝ ඒ වෙනුවෙන් මුදල් උපයනවා. ඔවුන් වියදම් කරන්නේ තමන් උපයන සල්ලි. ආනයනික හෝ ආනයනික නොවන භාණ්ඩ හෝ සේවා වෙනුවෙන් සල්ලි වියදම් කරනවා කියා කියන්නේ ඒ සල්ලි මොන විදිහකින් හෝ උපයලා කියන එකයි. භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙලා කියන එකයි. එය හොඳ දෙයක් මිසක් නරක දෙයක් නෙමෙයි. ආනයනික භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැඩිපුර වියදම් කරලානම් ඒ කියන්නේ ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ විදේශ විණිමය ආදායම්ද වැඩි වෙලා කියන එකයි. එහෙමනම් වැඩි වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කිරීමේ තියෙන වැරැද්ද මොකක්ද?

ලංකාවේ ඩොලර් හිඟයට හේතුව රාජපක්ෂලා විසින් අලුතෙන් හොයාගත්, දැනටත් භාවිතයේ තිබෙන අපූරු දේශීය විසඳුමයි. මේ අපූරු දේශීය විසඳුම තුළ ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් මැවීමක් සිදු වෙනවා. මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.

සාමාන්‍යයෙන් රටක බැංකු පද්ධතිය විසින් මුදල් මැවීමක් කළත් ඒ විදිහට මවන්නේ රටේ ජාතික මුදල් මිසක් වෙන රටක මුදල් නෙමෙයි. ලංකාවේනම් රුපියල්. මහ බැංකුව පිටවූ දා සිට ලංකාවේ වාණිජ බැංකු රුපියල් මවනවා. එසේ නැත්නම් ගුණනය කරනවා. රාජපක්ෂ දශකයේ සිට, ඊට අමතරව, ලංකාවේ වානිජ බැංකු විසින් ඩොලර් ගුණනය කිරීමක්ද කරනවා. හැබැයි මේ වැඩේට ආරම්භයක් දෙන්න මහ බැංකුවක් නැහැ. මොකද ලංකාවේ මහ බැංකුවට ඩොලර් අච්චු ගහන්න බැහැ. ඇමරිකාවේ අච්චු ගහන ඩොලර් ලංකාවට නිකම්ම දෙන්නේත් නැහැ. වාණිජ බැංකු වලට ගුණනය කරන්න ඩොලර් සපයන්නේ ලංකාවේ රජයයි. අවසාන වශයෙන් නැති රුපියල් වගේම නැති ඩොලර්ද පරිභෝජනය වෙනුවෙන් වැය වෙනවා. 

ලංකාවේ වාණිජ බැංකු විසින් කරන ඩොලර් මැවීමේ ක්‍රියාවලිය ඇතුළේ රජය විසින් ණයට ගන්න එක ඩොලර් එකක් දෙක තුනක් හෝ ඩොලර් කිහිපයක් බවට පත් වෙනවා. ඒ නිසා, ණයට ගත් ඩොලර් එකට වඩා වැඩිපුර වියදම් කරන්න පුළුවන්. ප්‍රශ්නය මතු වන්නේ කවදා හෝ ගත් ණය ගෙවන්න යන වෙලාවකයි. මොකද රජයේ විදේශ ණය වලින් ඩොලර් එකක් ගෙවද්දී වෙළඳපොළේ ඩොලර් දෙක තුනක් හෝ කිහිපයක්ම හිඟ වෙනවා. ඒ නිසා, මොන විදිහෙන් හෝ මේ ණය රෝල ගහගෙන යන්නම වෙනවා. පේන විදිහට ආණ්ඩුව ගේම අත අරින්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්දියාව ගේම අතට අරන්.

19 comments:

  1. රාජපක්ෂ ගරු ජනපති
    ඔබයි අපේ රටේ අධිපති

    රාජපක්ෂවරුන්ගේ යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහලට ඔසවා තිබුණි. යහපාලන නඩය ආර්ථිකය විනාශකර දැමු පාපයට අද රට මුහුණ දී තිබේ.

    යහපාලන පාස්කු මිනීමරු හොර නඩය නැවතත් දැන් කැසකවන්නේ තවත් වටයකින් රට අරාජික කිරීමටය. එයට එරෙහිව අභිතව මුහුණ දෙන අතිගරු ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට, මුදල් ඇමතිතුමන්ට අපගේ ආචාරය.

    එරෝෂන්

    ReplyDelete
  2. මෙවැනි ලිපි මාලාවක් සිංහලෙන් ලිවීම ගැන ඔබට බොහොම ස්තුතියි. මෙවැනි වැදගත් ලිපි මාලාවක් mainstream සිංහල පාඨකයන්ට ලැබීම හොද දෙයක්. අවාසනාවකට මෙම ලිපි කියවන වැඩිදෙනෙක් ජීවත්වනේ ලංකාවෙන් පිට කියලයි මට හිතෙන්නේ.

    මෙම ලිපි මගින් ඔබ මතුකරන කරුණ (ISB හරහා ලැබෙන $ යොදා ගනිමින් RS එක market rate එකට වඩා appreciate කර තබාගනිමින් අනිත් economic indicator manipulate කිරීම) 2009 දී පමණ රජය ආරම්භ කරනවා.ඔබ හිතන විදිහට මෙය politician ලා හිතාමතා කලදෙයක් ද? නැත්නම් මුදල් අමාත්‍යංශයේ නිලදාරීන් ආරම්භ කලදෙයක් ද? අහම්බයක් ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      මේ වියුණුව ආරම්භයේ සිටම මෙහි පාඨකයින්ගෙන් 40-45% පමණ ලංකාවෙන් පිට සිටින අයයි. එහෙත්, බහුතරය ලංකාවේ සිටින අය. ඒ ප්‍රමාණය ඉතා විශාල නොවූවත්, විශාල පිරිසකට ආමන්ත්‍රණය කළ හැකි අය ඒ පිරිස අතර ඉන්නවා.

      දෙවන කරුණට ආවොත්, පළමුව, දේශපාලකයෙකු කියන්නේ කවුද කියන එක මත මෙය තීරණය වෙනවා. රාජපක්ෂ පවුල තුළ ආර්ථික විද්‍යාව සම්බන්ධ ගිණිය හැකි තරමේ දැනුමක් හෝ පුහුණුවක් තිබුණු කිසිවකු සිටියේ හෝ සිටින්නේ නැහැ. ඒ නිසා, මෙය කිසිසේත්ම ඔවුන් විසින් හිතා මතා කළ දෙයක් නෙමෙයි. ඒ වගේම, සාමාන්‍ය නිලධාරියෙකුට මෙවැනි බරපතල සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ. මගේ වර්ගීකරණය අනුව, මෙවැනි බරපතල තීරණ ගැනීමේ බලයක් තිබෙන, දේශපාලන අධිකාරිය විසින් වගකිවයුතු තනතුරු වලට පත් කරන නිලධාරීන් එක විටම නිලධාරීන් ලෙස මෙන්ම දේශපාලකයින් ලෙසද කටයුතු කරන අයයි. ඇමරිකාවේ වුවත් මේ තත්ත්වය දැකිය හැකියි. ඒ අය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන අධිකාරියට අවශ්‍ය දෙය. එහෙත්, කරන විදිහ තීරණය කරන්නේ ඔවුන් විසින්. මෙහිදී දේශපාලන අධිකාරියට ආර්ථික විද්‍යා දැනුමක් තිබුණත්, නැතත්, තීරණ ගැනීමේ බලය තිබෙන නිලධාරීන් පත් කිරීම තුළ, ඔවුන්ට වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒ වගේම, නිලධාරීන්ගේ තීරණ වල හොඳ හෝ නරක ප්‍රතිඵල වලට සෘජුව මුහුණ දෙන්න වෙන්නෙත් ඔවුන්ටයි.

      ඔබේ ප්‍රශ්නයට කෙළින්ම ආවොත්, මේ තරම් සංකීර්ණ ක්‍රියාවලියක් සැලසුම් කළ හැකි නිලධාරියෙකු මුදල් අමාත්‍යංශයේ හෝ වෙනත් තැනක සිටියා කියා මම හිතන්නේ නැහැ. ඒ තරම්ම දක්ෂ නිලධාරියෙකු සිටියේනම් බොහෝ විට මේ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිවිපාකද තේරුම් ගන්නවා. මෙය ඇත්තටම අහම්බයක්. සාර්ව-ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන අසම්පූර්ණ අවබෝධයක් ඇතිව, "මොනවා හෝ කිරීම" සඳහා හිත යොමු කරමින්, තැත්වරද ක්‍රමයට කණාපල්ලන් ගහද්දී මේ වගේ ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්.

      Delete
  3. අන්තිම වාකයයෙ තේරුම මොකක්ද? ඉන්දියාව මොකක්ද කරන්න හ්දන්නෙ?

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුව බලයට පත් වන අවස්ථාව වන විට ඩොලර් පිරමිඩය කඩා වැටිය හැකිව තිබුණේ කිසියම් අහඹු බාහිර කම්පනයකින් පමණයි. ඒ කියන්නේ, වසංගතය නොවන්නට මෙය වැඩි අපහසුවක් නැතිව තවත් කාලයක් පවත්වා ගෙන යා හැකිව තිබුණා. දැන් සිදුව ඇත්තේ පළමුව චීනය හා දෙවනුව ඉන්දියාව විසින් පිරමිඩයේ පාලනය අතට ගැනීමයි. දැන් දුරස්ථ පාලකය තිබෙන්නේ ඔවුන්ගේ අතේ. මේ අවස්ථාව වන විට ලංකාවට මෙහි පාලනය අහිමි වී තිබෙනවා. දේශපාලන හේතුවක් මත ඉන්දියාවට හෝ චීනයට ඕනෑම වෙලාවක පිරමිඩය කඩා වැටෙන්න සැලැස්විය හැකියි. විශේෂයෙන්ම ඉන්දියාවට. ඉන්දියාව මෙහිදී උපාය මාර්ගිකත්වය අතින් චීනයද පරදවා තිබෙනවා. ඇතැම් විට ඉන්දියාව පසුපස බටහිර රටවල්ද සිටිනවා විය හැකියි.

      Delete
    2. ඉන්දියාව ආර්තිකේ පාලනේ අතට ගත්ත කියන එක යම් තරමකට තේරුම් ගන්න පුලුවන්. චීනය ඒ අවස්තාව ඉන්දියාවට ගන්න දීල බල්න් හිටියෙ මොකද? සහ ඉන්දියාව දන්නව නේද ලන්කාව චපල වෙලා ආපහු චීනයට හැරුනාම ඔක්කොම වතුරෙ කියල?

      Delete
    3. මෙය විස්තරාත්මකව කතා කළ යුතු වෙනම කතාවක්. ජනවාරි අවසාන වෙද්දී ලංකාව සතු වූ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,360.6ක් පමණයි. චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 (ඩොලර් බිලියන 1.5ක් පමණ) හා IMF එකෙන් නිකම් ලැබුණු ඩොලර් මිලියන 800ක් පමණ වටිනා SDR මෙහි තිබෙනවා. ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 900ක පමණ ඉන්දියානු රුපියල්ද මෙහි තිබෙනවා කියා මම හිතනවා. (මේ ගණන් අඩු වැඩි විය හැකියි. එහෙත් ආසන්නව මේ වගේ ගණන් කියා මම හිතනවා.) ඔය කොටස් තුනෙන් එකක් හෝ නොලැබී තිබුනනම් පසුගිය මාසයේ ලංකාව බංකොලොත් වෙලා. IMF එකෙන් ලැබුණු මුදල ඉවත් කළොත් දැනට අතේ තිබෙන නිල සංචිත සියල්ල එක්කෝ චීනයේ නැත්නම් ඉන්දියාවේ සල්ලි. ඔය නූල් දෙකෙන් ඕනෑම එකක් ඕනෑම මොහොතක අදින්න පුළුවන්. හැබැයි ඉන්දියාව හෝ චීනය එහෙම කරන එකක් නැහැ.

      ලංකාව පැත්තෙන් අහම්බයක් වුවත් මේ තත්ත්වයට හේතු වූ රාජපක්ෂ දශකයේ පොන්සි ක්‍රීඩාව ඉන්දියාව හෝ චීනය විසින් හිතා මතා සැලසුම් කර ඇටවූ උගුලක් වෙන්න බැරි නෑ. ඔය වැඩේ වාසිය තනිකරම ගියේ ඔය රටවල් දෙකටයි. දැන් ලංකාවේ ආර්ථිකය එක වර දැවැන්ත කඩා වැටීමකට ලක් වුවහොත් එහි පාඩුවත් ඉන්දියාවට හා චීනයටයි. සමහර අය කියන විදිහට චීනයට හෝ ඉන්දියාවට ලංකාවේ වෙළඳපොළ එතරම් වැදගත් නැහැ. එය වැරදි අදහසක්. බිලියනපතියෙක් කවදාවත් හේතුවක් නැතිව රුපියල් සීයක් නාස්ති කරන්නේ හෝ අහිමි කර ගන්නේ නැහැ. ඔවුන් බිලියනපතියන් වී සිටින්නේම ඒ නිසා.

      ලංකාවේ ප්‍රශ්නය ලංකාවට මහා ලොකු ප්‍රශ්නයක් වුවත්, ඩොලර් බිලියන හතර පහකින් ගොඩ දැමිය හැකි ප්‍රශ්නයක්. ඔය වගේ ගාණක් චීනයට ඉන්දියාවට විතරක් නෙමෙයි බංග්ලාදේශයට වුවත් දැන් මහා ලොකු ගාණක් නෙමෙයි. කෝවිඩ් අස්සේම ශුද්ධ ණයකරුවෙක්ව සිටි ඉන්දියාවත් දැන් ශුද්ධ ණයහිමියෙක් වෙලයි ඉන්නේ. එහෙමයි කියලා කවුරුවත් අත ලෙවකන්න සල්ලි දෙන්නේ නැහැ. නමුත්, ලංකාවට කරන අපනයන දිගටම කරගෙන යන්නත්, දුන් ණය ආපසු ගන්නත් ඉන්දියාවට වගේම චීනයත් අවශ්‍යයි. ආර්ථිකය කඩා වැටුණොත් මෙය ප්‍රශ්නයක් වෙනවා.

      චීනය මුලදීම ලංකාවට යුවාන් බිලියන 10ක් දුන්නා. හැබැයි ඩොලර් දුන්නේ නැහැ. ඩොලර් දුන්නොත් ඒ ඩොලර් නැවත චීනයටම ආපසු එන්නේ නැහැ. ඒ වගේම, ලංකාවට මේ ඩොලර් නැවත ආපසු ගෙවන්න බැරි වුනොත් චීනයට පාඩුයි. මේ චීනය අමාරුවෙන් උපයාගත් ඩොලර්. හැබැයි යුවාන් දෙන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. චීනයට යුවාන් ඕනෑ තරම් අච්චු ගහගන්න පුළුවන්. ඒ වගේම, යුවාන් වලින් කළ හැක්කේ චීනයෙන්ම බඩු ගන්න එක හෝ ණය ගෙවන එක පමණයි.

      ලංකාව චීනයෙන් ආනයනය කරන්නේ අත්‍යාවශ්‍යම දේවල් නෙමෙයි. ඒ දේවල් අමාරු වෙලාවක ආනයනය නොකර ඉන්න පුළුවන් දේවල්. ණය ගෙවන්න අවශ්‍යව තිබුණේ ඩොලර් මිසක් යුවාන් නෙමෙයි. ඒ නිසා, යුවාන් බිලියන 10ක විශාල ණය පහසුකමක් චීනය විසින් ලංකාවට දීලා තිබුණත් පසුගිය දෙසැම්බර් වන තුරු ලංකාව එය ප්‍රයෝජනයට ගත්තේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ චීනය තව යුවාන් දුන්නත් වෙන්නේ ඔය ටිකමයි. චීනයට ඩොලර් වියදම් නොකර එතැනින් එහාට මේ ගේම් එක හසුරුවන්න බැහැ.

      ලංකාවට අත්‍යවශ්‍ය දේවල් ගොඩක් ගේන්නේ ඉන්දියාවෙන්. විදේශ විණිමය නැතුව හොඳටම හිර වුනානම් ලංකාවට වෙන්නේ ඉන්දියාවෙන් සාමාන්‍යයෙන් ගේන දේවල් වැඩි මිලට හෝ චීනයෙන්ම ගේන්න. චීනය ඒ මොහොත වෙනකම් බලා හිටියා. හැබැයි ඒ මොහොතේ ඉන්දියාව ක්ෂණිකව ක්‍රියාත්මක වුනා. ඉන්දියාව අත ගැහුවේ චීනයට ඔයිට වඩා දෙයක් කරන්න බැරි තැනට වැටුනට පස්සේ. කරන්න බැරි නැහැ. එහෙමනම් ඩොලර් වියදම් කරන්න වෙනවා. චීනය ඒ පියවර ගන්න සූදානම්ව හිටියේ නැහැ. ඒ අනුව, ලංකාව චීනයෙන් ලැබුණු යුවාන් වලින් අත්‍යවශ්‍ය ආනයන චීනයෙන් ගන්න තැනට තල්ලු වෙන්න කලින් ඉන්දියාව මැදිහත් වී සල්ලි දුන්නා. දැන් නූල තියෙන්නේ ඉන්දියාවේ අතේ.

      හැබැයි ඉන්දියාවට වගේම චීනයටත් ඔය විදිහට පොන්සි ක්‍රීඩාව පාලනය කළ හැක්කේ ලංකාව IMF යන තුරු පමණයි. IMF ගිය වහාම ඔවුන්ගේ පාලනය ගිලිහෙන බව ඔය රටවල් දෙකම දන්නවා. චීනය විසින් නිස්කාරනේ ඩොලර් විසි කරන්න යන්නේ නැත්තේ ඒ නිසා. මෙය ලංකාව කොයි වෙලේ හෝ IMF යන තුරු පවතින තාවකාලික තත්ත්වයක් පමණයි.

      Delete
    4. බොහොම වටින පැහැදිලි කිරීමක්.
      නමුත් ඉස්සර කරපු පොන්සි ක්‍රීඩාවට වඩා තත්වය වෙනස් නේද? දැන් ඉන්දියාව හා චීනය කරන දේ හරහ ඉස්සර කරපු කෘතිම වර්දනේ කරන්න ආන්ඩුවට අමාරුයි නේද?

      Delete
    5. ඔව්. චීනය හා ඉන්දියාව කරන්නේ පිරමිඩයට මුක්කු දෙකක් ගහගෙන ඉන්න එක පමණයි. කඩා වැටීම වැළැක්වීම මිස එය තව දුරටත් ගොඩ නැගීමක් ඔවුන් කරන්නේ නැහැ. ඒ කාලයේ තාවකාලිකව ගත් ඉහළ ආර්ථික වර්ධනය දැන් නැවත ඒ විදිහටම ගන්න බැහැ. සංඛ්‍යාලේඛණ වලින් වැසී තිබුණත් 2013 වන විටත් එය නැවතී ආර්ථිකය කඩා වැටෙමිනුයි තිබුණේ. යම් පිරිසක් අතට සල්ලි ලැබෙන්න සලස්වනවා වගේ දේවල් තවමත් කරන්න පුළුවන්. උද්ධමනය තව ටිකක් ඉහළ ගියාම ඒකත් කරන්න අමාරු වෙනවා.

      Delete
    6. ඇත්තටම ඉකොනොමැට්ටා මෙතන කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නැහැනෙ?

      ඉකොනොමැට්ටා මෙතන කියන කතන්දර;

      01. 2010 විතර ඉඳන් ලංකාවේ පොංසි ගේම් එකක් ද මොකක්ද මගුලක් කලා ලු

      02. ඒක නිසා දැන් මේ තියෙන අර්බුදය ඇවිත් ලු

      03. 2015 - 20 යහපාලන පස් වසර තුළ ජනාධිපති මෛත්‍රීපාල මාර සිරාවට රට පාලනය කරලා ඩොලර් අම්බානක් හම්බ කරලලු

      04. දැන් ආපහු 2020/21 ආයෙත් ඒ ප්‍රශ්නේ ඇවිත්

      05. දැන් ඉන්දියාව සහ චීනය ලංකාවේ අර කලින් කිව්ව පොන්සි ගේම් ද මොකක්ද මගුල නටවන නූල අතට අරන් ලු

      06. දැන් ඉන්දියාවට චීනෙට ඕන විදිහට අමුතුවෙන් ලංකාව නටවන්න පුළුවන්ලු (1987 ඉඳන් ඉන්දියාවත් 2008 විතර ඉඳන් චීනයත් ඔය මොන මගුලක් වත් නැතුව ලංකාව නටවල නෑ, දැන් තමයි නටවන්න හදන්නේ)

      07. ලංකාව උඩ දාගෙන අයි එම් එෆ් (IMF) ගිය ගමන් ක්ෂණිකව මේ ප්‍රශ්නය එක රැයින් විසඳිලා චීනෙටයි ඉන්දියාවටටි බඩු පැකට් වෙනවලු. (ref: IMF ගිය වහාම ඔවුන්ගේ පාලනය ගිලිහෙන බව ඔය රටවල් දෙකම දන්නවා. චීනය විසින් නිස්කාරනේ ඩොලර් විසි කරන්න යන්නේ නැත්තේ ඒ නිසා. මෙය ලංකාව කොයි වෙලේ හෝ IMF යන තුරු පවතින තාවකාලික තත්ත්වයක් පමණයි.)

      මොනවද මේ විහිලු කතා, හොඳට හිනා වෙන්න ශෝක්.

      මෙන්න මේ කාරණා ටිකටත් ඔය වගේ මොනව හරි කතන්දර ටිකක් ගොතල කියන්න බලන්න

      01. ලංකාව 24. 07. 2009 වෙනිදා සිට 23. 08. 2012 වෙනකම් ඇමරිකන් ඩොලර් බිලියන් 2.572 ලංකා ඉතිහාසයේ අති දැවැන්තම අයි එම් එෆ් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළේ සිටියදීම මේ ඉකොනොමැට්ටා කියන මොකක්දෝ පොංසි ගේම් එකද මොකද්ද මගුල ආරම්භ වීම (සමහර විට අයි එම් එෆ් එකේ ගේම් එකක් වෙන්න බැරි නැද්ද මේකත්? බූරුවංස මංගොම්ම්පිලලාට කිව්ව නම් කුමන්ත්‍රණ ස්ක්‍රිප්ට් එකක් ලියල දෙයි ගානට) මේ මුදලින් අනුමත වුණු ඩොලර් බිලියන් 2.572 සම්පූර්ණයෙන්ම භවිත කිරීමට මහ බැංකුවේ කබරාල කම්බ හොරා කටයුතු කළ අතර 2009 රුපියල් 106 කට තිබුණු ඇමරිකන් ඩොලර් එක 2012 අග වෙනකොට රුපියල් 124 ට වැඩි වෙලා රුපියල මස්ත බාල්දු වෙලා ගියා, 2014 වෙද්දි මේක තවත් කුජීත ලෙස 130 සීමාවට ගියා.

      https://www.imf.org/en/Countries/LKA

      https://www.imf.org/en/News/Articles/2015/09/28/04/53/socar072809a

      https://lki.lk/publication/the-international-monetary-fund-and-sri-lanka/

      02. ඊළඟට මෛත්‍රීපාල ජනාධිපති වෙලා හිටපු කාලේ 03.06.2016 වෙනිදා ඉඳන් 02.06.2020 වෙනකන් ලංකාවේ දෙවෙනි විශාලතම අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් එක ක්‍රියාත්මක වුනා, අනුමත මූල්‍ය වටිනාකම ඩොලර් බිලියන් 1.492 වුණ අතරම මෙයින් ඩොලර් බිලියන් 1.3268 පමණ මුදලක් ප්‍රයෝජනයට ගත් අතර අන්තිම හරියේදී එය අත්හිටවීමට ගොබ්බසේන ජඩපති තීරණය කළා.

      https://www.imf.org/external/pubs/ft/scr/2016/infographics/pdf/cr16150infog.pdf

      https://www.imf.org/en/News/Articles/2019/11/01/pr19390-sri-lanka-imf-executive-board-completes-6th-review-extended-arrangement-eff

      මෙතනදි මට තියෙන ප්‍රශ්නය 2015-20 කාලේ රටේ උවමනාවටත් වඩා අම්බානක් ඩොලර් ආවානම් අයි එම් එෆ් එකේ ප්‍රෝග්‍රෑම් එකකකුත් ගිහින් එයිනුත් ඩොලර් බිලියන් 1.3268 ක් ආවානම් අර උඩ කිව්ව ලක්බේ පොංසි පැපොල් සෙල්ලම නවත්ත ගන්න බැරි වුණේ ඇයි?

      Delete
    7. එතකොට සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන් 4.5 ක් විතර වාර්ෂිකව ලැබෙමින් ලෝක වෙළඳ පොලේ බොර තෙල් ගෑස් කිරිපිටි ඇතුලු හැම ආනයනික දේවල් වල මිල ඉතාමත්ම අඩුවෙන් තිබ්බ කාලේක එච්චර හොඳින් ආර්ථිකය තිබ්බ කාලයක් වෙලාත් අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් එකක ඉඳලාත් ඔය ප්ංසි ගේම් එක රිවස් කරන්න බැරි වුණේ ඇයි? අමතක වෙලා වෙන්න ඇති.

      04. දැන් එතකොට මේ දවස්වල රටේ විදේශ සංචිත ලෑල්ලට බැහැලා ආනයනික ගල් අඟුරු තෙල් ගෑස් ඇතුලු හැම දේම අම්බානට මිල ගිහින් කෙලවිලා තියෙන වෙලාවක අයි එම් එෆ් එකට ගිය ගමන් එකෙන් ලැබෙන බව කියන ඩොලර් බිලියන් 2.8 ක සොච්චම් මුදලෙන් මේ කියන මොකද්දෝ පොංසි ගේම් එක
      04. දැන් එතකොට මේ දවස්වල රටේ විදේශ සංචිත ලෑල්ලට බැහැලා ආනයනික ගල් අඟුරු තෙල් ගෑස් ඇතුලු හැම දේම අම්බානට මිල ගිහින් කෙලවිලා තියෙන වෙලාවක අයි එම් එෆ් එකට ගිය ගමන් එකෙන් ලැබෙන බව කියන ඩොලර් බිලියන් 2.8 ක සොච්චම් මුදලෙන් මේ කියන මොකද්දෝ පොංසි ගේම් එක ක්ෂණිකව රිවස් කරලා ඉන්දියාවටයි චීනේටයි ගේම දෙන්නේ කොහොමද?

      මෙන්න මේවාටත් උත්තර දෙන්න බලන්න, දැන් සමහරක් විට ඉකොනොමැට්ටා කියයි 2009-12 අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් එක බාල අඩු කුලේ ප්‍රොග්‍රෑම් එකක් හැබැයි 2016-19 එක නම් සුපිරි වෙනම එකක් කියල, අපිට දැන් හම්බ වෙන්න යන්නෙත් ඒ වගේ උසස් කුලයේ ප්‍රොග්‍රෑම් එකක් කියලා, ඒ වගේ උත්තර පවා ලැබෙන්න පුළුවන්, නැත්ද?

      අනිත් පාඨකයන්ට කියන්න තියෙන්න ඉකොනොමැට්ටලා වගේ බොර දියේ මාලු බාන ආතල් ඩයල් වල ඔය විහිළු නවත්තලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා රටේ තියෙන සැබෑ අර්බුදය 1977 සිට ඔඩු දුවා ඇති මේ මහ අවුලට ස්ථිරසාර විසඳුමක් සොයා ගැනීමට ජාතික ජන බලවේගය මූලිකත්වයෙන් පෙරමුණක් සකස් කර ගැනීම අවශ්‍ය බවයි.

      https://www.npp.lk/policies/

      https://www.npp.lk/economy-policies/

      Delete
  4. ඉකෝන් ලංකාවේ නගර වශයෙන් ආර්තිකයට දක්වන දායකත්වය පිලිබදව තොරතුරු ගන්න පුලුවන් ද? කොළඹ 10, සහ කොළඹ 7 ආර්තිකයට දක්වන දායකත්වය සංස්නදය කරන්න වගේ ,

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් ලංකාවේ ඒ මට්ටමේ සකස් කළ දත්ත නැහැ.

      Delete
  5. //මේවා ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල නැති දේවල්.//

    පොත් මොකටද
    තියරි මොටද
    පිස්සෙකු රජ වුණත් එකයි
    රජුට පිස්සු වුණත් එකයි

    ReplyDelete
  6. Mewa kiyawanna kalaya wen karana ekath aparade .eka redi sodana thanak

    ReplyDelete
    Replies
    1. අපරාදෙ උඹේ කාලෙ

      Delete
  7. ලංකාවේ වාණිජ බැංකු ඩොලර් මැව්වේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මැවීමක් කියන එකෙන් අදහස් කළේ සාමාන්‍ය මුදල් මැවීමේදී මෙන් ගුණනය වීමක්. රජය විසින් ඩොලර් එකක් ණයට අරගෙන එහි උදවුවෙන් විණිමය අනුපාතය එක තැන තියාගෙන, ඒ අතරම සල්ලි අච්චු ගහමින් රටේ උද්ධමනය වැඩි කරන විට, බැංකු පද්ධතිය හරහා තවත් අමතර ඩොලර් එකක් හෝ කිහිපයක් (අනුපාතය වැදගත් නැහැ) තැන්පතු හෝ වාණිජ ණය ලෙස නිකම්ම එනවා. එම ඩොලර් වල උදවුවෙන් රජය විසින් ඩොලර් පොම්ප නොකරම තවත් ටික කාලයක් විණිමය අනුපාතය එක තැන තියා ගන්න පුළුවන්. විණිමය අනුපාතය එක තැන තිබෙන තුරු රටට එන සල්ලි හෝ ඒ වෙනුවෙන් ගෙවන පොලිය (ශුද්ධ ලෙස) ආපහු යන්නේ නැහැ. ඒ නිසා ඩොලර් ණය ආපසු ගෙවීමේ හෝ ඒ වෙනුවෙන් පොලී ගෙවීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒවා පොත් වල සටහන් වෙනවා පමණයි. මෙහිදී රටට හෝ රටින් පිටට ඩොලර් ගලායාමක් නැතිවම විදේශ බැරකම් ඉහළ යනවා. අපි හිතමු කොටස් වෙළඳපොළේ ඩොලර් මිලියනයක් ආයෝජනය කර තිබුණා කියලා. මෙය විදේශ බැරකමක්. වසරකදී කොටස් මිල දෙගුණ වුනොත්, විනිමය අනුපාතය වෙනස් වී නැත්නම්, බැරකම ඩොලර් මිලියන දෙකක් වෙලා. වාණිජ බැංකු ඩොලර් තැන්පතු වෙනුවෙන් 5%ක පොලියක් ගෙවනවානම් ඩොලර් මිලියනය මිලියන 1.05ක් වෙනවා. මිලියන 0.05 වැඩි වෙන්නේ කිසිදු ඩොලර් ප්‍රවාහයක් නැතිව.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: