වෙබ් ලිපිනය:

Saturday, February 19, 2022

කවුරුත් එන්නැති ආණ්ඩුවේ රස්සා


අපේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා විසින් දින දෙකකට පෙර ප්‍රාන්ත රජයේ සේවකයින් වෙනුවෙන් සහන පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මින් පසුව ප්‍රාන්ත රජයේ සේවකයින්ට සතියකට දින දෙකක් නිවසේ සිට වැඩ කළ හැකියි. මෙය වසංගත කාලයේ මෙන් තාවකාලිකව කළ වෙනසක් නෙමෙයි. අනෙක් සහන මම එකිනෙක විස්තර කරන්න යන්නේ නැහැ. ඉහත කී සහන පැකේජය සමඟම, ප්‍රාන්ත රජයේ සේවය සඳහා සුදුසුකම් සහිත සේවකයෙකු "රැගෙන එන" අයෙකුට ඩොලර් 100 සිට 500 දක්වා පාරිතෝෂික මුදලක් ලබා දෙන බවද සඳහන් කර තිබෙනවා. 

ඇමරිකාවේ වෛද්‍යවරු, විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරු, බැංකු, සමාගම් කොටස් අලෙවි කරන තැරැව්කාර සමාගම් ඇතුළු ඇතැම් පෞද්ගලික ආයතන බොහෝ විට ඔවුන්ට අළුත් පාරිභෝගිකයෙකුව හඳුන්වා දෙන අයට කිසියම් පාරිතෝෂික මුදලක් ලබා දෙනවා. මෙය කාලයක සිටම සිදුවන දෙයක්. දැන් අපේ ප්‍රාන්ත ආණ්ඩුවත් මේ වැඩේම කරන්නයි යන්නේ.

ප්‍රාන්ත ආණ්ඩුවට මේ වගේ දෙයක් කරන්න සිදු වී තිබෙන්නේ ආණ්ඩුවේ රස්සා විශාල ප්‍රමාණයක් ඇබෑර්තු වී ඇති නමුත් එම රැකියා සඳහා සුදුසුකම් ඇති අය අයදුම් නොකරන නිසයි. අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් නියම කළ අවම වැටුපක් නැහැ. ඒ නිසා, ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප වන පැයකට ඩොලර් 7.25 බැගින් ගෙවා සේවකයින් බඳවා ගත හැකියි. එහෙත්, මේ දවස් වල ඒ වැටුපට වැඩ කරන්න කාවවත් හොයා ගන්න බැහැ.

අපේ ප්‍රාන්තයේ ප්‍රාන්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පටන් ගන්නේ පැයකට ඩොලර් 13.21ක සිටයි. ප්‍රාන්ත රාජ්‍ය සේවකයෙකු සතියකට පැය 37.5ක් සේවය කළ යුතුයි. ඒ අනුව, වසරක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 25,766 සිටයි. ෆෙඩරල් රජයේ වැටුප් පටන් ගන්නේ වසරකට ඩොලර් 20,172 සිටයි. ෆෙඩරල් රජයේ සේවකයෙකු සතියකට පැය 40ක් සේවය කළ යුතුයි. මේ අනුව, පැයක වැටුප ආරම්භ වන්නේ ඩොලර් 9.67 සිටයි.

විරැකියා අනුපාතය ඉහළ මට්ටමක ඇති කාල වකවානු වලදී පැයකට ඩොලර් 13.21ක් ආකර්ශනීය වැටුපක්. එහෙත්, අපේ ප්‍රාන්තයේ විරැකියා අනුපාතය මේ වෙද්දී 2.7% තරම් පහළ මට්ටමකට බැහැලා. සුපිරි වෙළඳසැල් වල වැඩ කරන සේවකයින් වැනි අයටත් මේ දවස් වල පැයකට ඩොලර් 15ක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්. එවැනි වැටුපක් නොගෙවා පුරප්පාඩු පුරවන්න බැහැ.

ලංකාවේ වගේම ඇමරිකාවෙත් ආණ්ඩුවේ රස්සා සුරක්ෂිතයි. ලොකු වැරැද්දක් නොකළොත් දිගටම රස්සාව කරගෙන ඉන්න පුළුවන්. වැඩ නොකර අයිස් ගහන්න හෝ කන්තෝරුවේ බඩු සාක්කුවේ දාගෙන ගෙදර ගේන්න වගේ දේවල්නම් කරන්න බැහැ. වැඩ කරන කාලයට කෑම පැය හෝ පැය බාගය අයිති නැහැ. අට පහ වැඩ කරන්න තෝරා ගන්නා කෙනෙකුට තමන් කැමති වෙලාවක තමන් කැමති පැය බාගයක් කෑමට ගන්න පුළුවන්. කැමතිනම් හත හමාරට වැඩට ගිහින් පැයක් කෑමට ගන්නත් පුළුවන්. ඔය දෙකම නොකර වැඩ කරන ගමන්ම මොනවා හෝ කන්නත් පුළුවන්. දවස් හතරෙන් පැය 37.5 ආවරණය කරලා දවසක් සතියේ දවස් පහෙන් දවසක් නිවාඩු ගන්න අවශ්‍යනම් ඒකත් කරන්න පුළුවන්. විශ්‍රාම වැටුපක් එහෙමත් තියෙනවා.

හැබැයි ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සාවක් කළා කියලා ඒකෙන් අමුතු සමාජ තත්ත්වයක් ආරෝපණය වෙන්නේ හෝ සිවිල් බලයක් ලැබෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි වැටුපක් ලබා ගන්න පුළුවන් බව පෙනෙන විට ආණ්ඩුවේ රස්සා කරන අය රස්සාව අත ඇරලා වෙන රස්සාවකට යනවා. ආණ්ඩුවේ රස්සා ඇබෑර්තු වෙනවා. වැටුප් අඩු නිසා මේ ඇබෑර්තු පුරවන්න අමාරුයි. ඒ නිසා, ඉතිරි වී ඉන්න අයට වැඩ වැඩි වෙනවා. ඒ අයත් අස් වෙලා යන්න පෙළඹෙනවා. දැන් අපේ ප්‍රාන්තයේ තත්ත්වය ඔන්න ඔය වගේ. 

එහෙමයි කියලා ආණ්ඩුව සේවක වැටුප් වැඩි කරන්නේ නැහැ. අපේ ප්‍රාන්ත රජයේ වගේම ෆෙඩරල් රජයේත් සේවකයින් සියලු දෙනාම ඇතුළත් එක් වැටුප් ක්‍රමයක් තිබෙනවා. වැඩි කරනවානම් ඒ වැටුප් ක්‍රමයම සංශෝධනය කළ යුතුයි. එහෙම නැතුව පුරප්පාඩු පුරවන්න පුළුවන් රැකියා වල වැටුප් පමණක් වැඩි කරන්න බැහැ. වැටුප් ක්‍රමයම සංශෝධනය කරන්න යනවානම් වැඩිවන වියදම හොයා ගත හැකි ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ බදු වැඩි කරන්න වෙනවා. බදු වැඩි කිරීම සඳහා මහජන කැමැත්ත අවශ්‍යයි. ප්‍රාන්ත රජය හිතුමතේට බදු වැඩි කරන්නේ හෝ බදු ආදායම් ඉක්මවා වියදම් කරන්නේ නැහැ.

පසුගිය වසරේදී, වසංගතය අස්සේ වුනත්, අපේ ප්‍රාන්ත රජයේ බදු ආදායම් වලින් සියලු වියදම් වලින් පසුව යම් මුදලක් ඉතිරි වී තිබෙනවා. එම මුදල එක් අයෙකුට ඩොලර් 125 බැගින් බෙදා දීමට නියමිතයි. 

9 comments:

  1. මම මේ දන්නේ නැති කමට අහන්නේ, ඇමරිකාවට phd එකකට ආපු කෙනෙක්ට ,phd එක ඉවර කරල පාසලක වගේ උගන්න ඉල්ලුම් කරොත් ඒ වගේ පුද්ගලයෙක්ට , එවැනි තැනක තේරීමේ ඉහල හැකියාවක් තියෙනව ද? මොකද පාසලක උගන්නවා කියන්නේ විශ්වවිද්‍යාලයීය උගන්නවා වගේ අමාරු දෙයකුත් නෙමෙයි නේ. එහෙම අය ඉන්නව ද ඇමරිකාවේ ඇත්තටම

    ReplyDelete
    Replies
    1. පාසැල් ගුරුවරු අතර PhD තිබෙන අය ඕනෑ තරම් ඉන්නවා. එය ගුරුවරයෙකු වීම සඳහා අවශ්‍ය අවම අධ්‍යාපන මට්ටම නොවුණත් ගොඩක්ම දුලබ දෙයක් නෙමෙයි.

      //මොකද පාසලක උගන්නවා කියන්නේ විශ්වවිද්‍යාලයීය උගන්නවා වගේ අමාරු දෙයකුත් නෙමෙයි නේ.//

      මේක ඒ තරම්ම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ඇතැම් විට පාසැලක උගන්වන එක විශ්ව විද්‍යාලයක උගන්වන එකට වඩා අමාරු වැඩක් විය හැකියි. විශ්ව විද්‍යාලයක සිටින්නේ යම් කිසි මට්ටමක සිසුන්. පාසැල් සිසුන් ඒ තරමට සමජාතීය නැහැ. ඒ වගේම, විශ්ව විද්‍යාල පාඨමාලා විශාල ප්‍රමාණයක්ද පාසැල් වල උගන්වනවා. පාසැල් වල ඉගැන්වීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු අතර එය කල් පිරෙන විට අලුත් කළ යුතුයි. විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට එවැනි අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, ආචාර්ය උපාධියක් සම්පූර්ණ කළ පමණින් ගුරු රැකියාවක් ලබා ගත හැකි බවට සහතිකයක් නැහැ. ඒ වගේම, පාසැලක උගන්වන්න වැඩි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයක් අවශ්‍යයි කියන එකයි මගේ අදහස. ඒ නිසා සංක්‍රමණිකයෙකුට තරඟකාරී වෙන්න වඩා අසීරුයි. විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේදී ඉගැන්වීමේ හැකියාවට වඩා මුල් තැන දෙන්නේ පර්යේෂණ කිරීමේ හැකියාවට. පර්යේෂණ කිරීමේ හැකියාව ගොඩක් ඉහළනම් ඉගැන්වීමේ හැකියාව අති විශිෂ්ඨ විය යුතු නැහැ. පාසැල් වල විදේශ භාෂා ඉගැන්වීමේදීනම් සංක්‍රමණිකයන්ට වැඩි අවස්ථා තිබෙනවා.

      ඇමරිකාවේදී ගුරුවරයෙකු වන හැටි
      http://economatta.blogspot.com/2021/08/blog-post_8.html

      Delete
    2. there was a certain Mr. White who did that.

      Delete
    3. මෙහෙම දෙයක් තියෙනවා ඉකොනො, අන්ත දූෂිත පොහොට්ටු කල්ලියේ වගේම නීලකාස ටෙලිෆෝන් කම්බා හොර රැලගේ කණ්ඩායමේත් හොරු වංචාකාරයන් තක්කඩි නොවෙන හොඳ මිනිස්සු ඉතාම ටික දෙනෙක් ඉන්නවා සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ගත්තම පාලක හැකියාව අතින් ගෝඨාභය වගේම තමයි ඒත් මෑන් රට ගැන කැක්කුමක් තියෙන හොඳ සැප වාහන පාවිච්චි කරන්න කැමති උන්නතිකාමී නායකයෙක්, නමුත් සජිත් ප්‍රේමදාස වගේ කිසිම දේශපාලන දැක්මක් නැති ආර්ථික දැක්මක් නැති මොළේ කළඳක් නැති අමුම අමු මැටි ගවයෙක් මේ රටේ ජනාධිපති උනොත් යම් කිසි සුළු හැකියාවක් වත් තියෙන ගෝඨාභය ජනාධිපති උනාට හපන් වෙනවා. උඩ කියුවා වගේම පොහොට්ටුවේත් ඩලස් අලහප්පෙරුම වගේ දූෂිතයෙක් නොවුණ මිනිස්සු යම් පිරිසක් ඉන්නවා, රාජපක්ෂ කල්ලියේ හොරකම් වලට සම්බන්ධ වෙලා චරිත සවුත්තු කර ගත් විමල් වීරවංශ ගම්මන්පිල වාසුදේව වගේ අයටත් පරණ වැරදි ගැන කම්පා වෙලා නැවත වතාවක් ජීවිතේ සකස් කර ගැනීම සඳහා අවස්ථාවක් තියෙනවා, ඒ නිසා මේ ඔක්කොම ජවිපෙ එක්ක එකතුවෙලා ජාතික ජන බලවේගයේ නායකත්වය සමග ලොකු සංධානයක් ගහලා මීළඟ ඡන්දය කරන්න ඕන. එහෙම උනොත් රට ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්, එහෙම නැති උනොත් වෙන්නේ මේ රට කබලෙන් ලිපට වැටෙන එක විතරයි ඉකොනෝ. දැන් හිතන්න ඉකොනෝ ඇමරිකානු ජීවිතේ අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් විදියට වැඩ කරන්න ඔයා හිතනවාද ඔයාගෙ දැනුමෙන් රටට වැඩක් කරන්න පුළුවන් කියලා සජිත් ප්‍රේමදාස වගේ මෙලෝ රහක් නැති මැටි මීහරක් අමු ගවයෙක් වගේ මුග්ධ මිනිහෙක් එක්ක එකතු වෙලා? ඔයා වගේම ලංකාවේ සහ පිටරට ඔයාට වඩා ගොඩාක් වයසින් තරුණ වන තරුණ තරුණියන් සෑහෙන දෙනෙක් ඉන්නවා දූෂිතයන් නොවෙන හොරු නොවෙන අය දේශපාලනයට සම්බන්ධ නැති නමුත් රටට වැඩක් කරන්න ලොකු උවමනාවක් සහ හැකියාව තියෙන, මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕන නේද තවදුරටත් පක්ෂ වලට බෙදිලා ඉන්නෙ නැතුව? මේ ගැන ඔබේ තීරණ කොහොම ද?

      Delete
  2. Will US government recruite non US citizens on temporary basis if in case of a greater shortage of man power.

    ReplyDelete
    Replies
    1. This is not an unexpected situation but the result of deliberate policy actions to keep the economy afloat amidst the pandemic. In response to emerging inflation fears, Fed will soon move to tighten monetary policy and that will retard job growth in the private sector and raise unemployment rate increasing the demand for public sector jobs.

      Delete
  3. ඇමරිකානු එක්සත් ජනපදයේ බදු අය කරන්නේ ඉතාමත් අඩුවෙන් ඒත් ලංකාවේ දූෂිත රාජපක්ෂ ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු බර නිසා ගොඩක් ආයතන වලට විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් එකසේ පැහැදිලි වෙලා තියෙනවා.

    මේ බලන්න මේ පුංචි කෙටි වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ ලංකාවේ බැංකුවක කාර්යමණ්ඩලය බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කල්ලා රුපියල් 100 ක ලාබ හෙයුවොත් ඒකෙන් 80 ක් විතර දූෂිත ඒකාධිපති රාජපක්ෂ පවුලේ ආණ්ඩුව බදු වශයෙන් අය කිරීම නිසා බැංකුවේ සේවකයන් ගේ මහන්සිය වතුරේ.

    https://fb.watch/bhs3_ghWvQ/

    ඒ වගේම තමයි ලංකාවේ ආණ්ඩුව දැන් විශ්වාස කරන අධික බදු අය කිරීම විශේෂයෙන් අධිබාර බදු, අධිභාර බදු හෙවත් super gain tax එක රටට අලුත් දෙයක් නෙවෙයි. ඒක මුලින්ම ගෙනාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් කරපු යෝජනාවක් අනුව 2015 දී මුදල් ඇමති තනතුර සඳහා පත් කර තිබූ රවී කරුණානායක නමැති බැසිල් රාජපක්ෂ වගේම සිංහලත් බැරි ඉංග්‍රීසියත් බැරි ආර්ථික විද්‍යාව පිළිබඳ මළ පොතේ අකුරක් දන්නේ නැති බොරුවට ටයි කෝට් පැලඳ පිස්සු කෙළපු අමු මැටි මී ගවයා මුදල් ඇමති කාලේ.

    මම හිතන්නේ මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් නැවත වතාවක් ඔය යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරලා පසුගිය අයවැයෙන් ඒක තාවකාලිකව යැයි කියලා මුදල් ඇමති හොර බැසිලා නමැති ගෝතයා අතින් ආයෙත් දැම්මා කොරෝනා වෛරස් වසංගතය නිසා ලංකාවේ ආණ්ඩුවේ ආදායම් අධික ලෙස අඩු වෙලා බව කියමින්.

    කෙසේ නමුත් මේ සීන් එකේදී වෙන්නේ වසරකට රුපියල් බිලියන 2 කට වඩා උපයන සමාගම් හෝ පුද්ගලයන්ගෙන් දැනටමත් රජයට ගෙවන බදු වලට අමතරව තවත් 25% ක අධිභාර බද්දක් අය කිරීම. ඒ කියන්නේ බිලියන 2 ක ශුද්ධ ලාභයක් තිබුනොත්, තව මිලියන 500 ක් ගෙවන්න ඕනේ මහා භාණ්ඩාගාරයට. කොහොමද වැඩේ?

    මීට අමතරව ලංකාවේ රාජපක්ෂ කල්ලියේ දූෂිත ඒකාධිපති පවුල් පාලක පාහර ආණ්ඩුව තව අලුත් පනතක් ගෙනත් තිබුණා ඒ අධි භාර බද්ද සේවක අර්ථසාධක අරමුදලට ගහන්න. ඒ කියන්නේ ETF/EPF කියන අරමුදල යටතේ ඇති විශාල ධනයට කෙළින්න, එම අරමුදල් ඇත්තෙන්ම පොදු අරමුදලක් මිසක් සමාගමක් හෝ ව්‍යාපාරයක් නොවෙයි. එහි තියෙන්නේ පුද්ගලික අංශයේ සේවය කරන මිනිස්සු මාස් පතා විශ්‍රාම වැටුපට එකතු කරන පාරිතෝෂික මුදල් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔය වගේ එහෙම එකතු වෙලා තියෙන මුදල් මාස් පතා එකතු වෙලා ඒවා රජයේ බැඳුම්කර සහ කොටස් වෙළඳපළ වගේ දේවල් වල ආයෝජනය කරලා ඒ ලාභ ද එකතු වෙලා දැන් එහි රුපියල් ට්‍රිලියන 3ක් පමණ තිබෙනවා. එම මුදල් තොගය, මේ අරමුදල යටතේ යලිත් ආයෝජනය කරනවා ලාභයක් ඉපැයීම වෙනුවෙන්. ඉන් 80%-90% ක් ම ආයෝජන කරන්නේ රජයේ බැඳුම්කර වල. මේ විශාල අරමුදල සිය ධනය ආයෝජන කිරීම මත ඉපැයෙන වාර්ෂික අදායම රුපියල් බිලියන 250ක් 300ක් අතර ප්‍රමාණයක්. එම ලාභය මෙම අරමුදලේ සාමාජිකයන් අතර ලාභාංශ ලෙස ඔවුන්ගේ ඉතුරුම් වල ප්‍රමාණය මත බෙදා හරිනවා.

      නමුත් ලංකාවේ දූෂිත ඒකාධිපති පවුල් ආණ්ඩුව අර කලින් කියපු අලුත් පනතින් කරන්න හැදුවේ ETF, EPF අරමුදලුත් අර කලින් කිව්ව supergain tax එකට යටත් වන විදියට නීති සම්පාදනය කරන්න. එතකොට මේවායේ වාර්ෂික ආදායමත් රුපියල් බිලියන 2ට වඩා වැඩි නිසා, එහි මුලු ලාභය වන රුපියල් බිලියන 250-300 අතර මුදලින් 25% ආයෙත් රජයට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 65-75ක් අතර ප්‍රමාණයක් රජයට ගෙවන්න වෙනවා.

      මේ නිසා මේ කරපු බලු පාහර වැඩේ නිසා ලාභාංශ විදියට මිනිස්සුන්ගේ ගිණුම් වලට එකතු වෙන්න තිබුන මුදලින් 25% ක් අඩු වෙනවා. අවසානයේ පුද්ගලික අංශයේ සේවය කරන මිනිසුන්ගේ ලාභාංශයෙන් 25%ක් ඔවුන්ට අහිමි වෙනවා.

      ඒ නිසා ඉතාමත් පැහැදිලිවම මේක ඉතාමත්ම අසාධාරණ පහත් තත්ත්වයක් ලෙසයි දකින්න පුළුවන්. හේතුව තමයි රජය විසින් ක්‍රියාත්මක අතිශයින් දුර්වල මූල්‍ය ප්‍රතිපත්ති නිසා, නාස්තිය, දූෂණය හොර වැඩ අවම කර නොගෙන, ආර්ථිකව පැහැදිලිව සැළසුම් නොකල වියදම් පියවා ගැනීමට මෙම මුදල් යොදා ගැනීමයි. විශේෂයෙන් අනාගත ඡන්දයක් අරමුණු කර ගෙන කිරීමට නියමිත වැඩ ලක්ෂය, මාර්ග සංවර්ධන, ජල සම්පාදනය, විදුලි බලාගාර, අධිවේගී මාර්ග, ගොඩනැගිලි ඉදිකිරීම්, රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම ආදී විවිධ ව්‍යාපෘති සඳහා ධනය සපයා ගැනීමට ඔවුන් මෙසේ හිතු මනාපෙට බදු අය කිරීම කිසිසේත්ම සාධාරණ නෑ.

      ලංකාවේ ආර්ථිකය දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, රජයේ ආදායම අතිශයින් අඩු වෙලා. ඒ නිසා ජනතාව මත වැඩි බදු බරක් පැටවීම හැර වෙන විකල්පයක් නෑ කියලා කබරරාල කම්බා හොරා සහ රාජපක්ෂ හොර පවුල සමඟ එම සට්ටැඹියන් විලාප හඬ නගනවා. නමුත් එසේ කල යුතු වන්නෙ රජය ආයතනයක් ලෙස තමා සකසුරුවම් වීමෙන්, වියදම් කපා හැර, මූල්‍ය විනයක් හදා ගෙන, රටේ ආර්ථිකය නිවැරදි ඉලක්කයට යොමු කිරීමෙන් මිස අධික බදු බර වැඩි කරලා නෙවෙයි. නමුත් එවන් කිසිදු සාධනීය පියවරක් නොමැතිව හිතේ හැටියට වැඩ කරන, අර්බුදයක් නැතැයි සිතා කටයුතු කරන ඔවුන් ජනතාව මත අමතර බදු බර පටවා සිය දේශපාලන ඉලක්ක වෙත යෑම අපට කිසිම විදිහකින් සහය දිය නොහැකි කරුණක්.

      මේ නිසා එයට සමාජයේ විශාල පිරිසක් විසින් දැඩි විරෝධයක් සහ සමාජ පීඩනයක් එල්ල කරපු නිසා (very small acts of resistance matters, so act today) එම පණත හකුලා ගැනීමට ලංකාවේ දූෂිත ඒකාධිපති පවුල් පාලනයට සිදු වුණා. පසු ගිය යහපාලන දූෂිත රජයත් මේ අරමුදල අවභාවිත කරමින් අශිෂ්ඨ ලෙස බැඳුම්කර වංචා වලට භාවිත කළ නිසා විශාල පාඩුවක් වුණා. මේ ආණ්ඩුව ඇවිත් රජයේ සේවකයන්ට 5000ක් වැඩි කරලා පෞද්ගලික සේවකයාට තිබ්බ epf එකෙනුත් කාලකට කෙළලා ඇරියා. ඒ වගේම EPF ETF එකෙන් සේවකයන්ට ලබා දෙන පොලිය නියතයක්. හැබැයි වාර්ශික ආදායමෙන් 25% tax ගෙවන්න වුනොත් පොලි නියතය වෙනස් කරන්න ඕන අරමුදල කඩානොවැටී පවත්වාගෙන යෑමට. මේ වගේම පණ යනකම් මුදල් අච්චු ගසන කබ්රාල්ගෙ මේ අමන වැඩ නිසා රට එන්න එන්නම බලාගෙන ඉද්දිම ප්‍රපාතයට යමින් පවතී, මේකට විරුද්ධව අරගලයක් අලුතෙන් ආරම්භ කර එයත් වලකා ලිය යුතුමයි. ඒ ගැන ඔබට යෝජනාවක් ඉදිරිපත් කළ හැකි ද?

      Delete
  4. ඉකොනෝ මහත්තයා ඇමරිකාවේ රජයේ සේවකයෙක්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: