වෙබ් ලිපිනය:

Thursday, June 2, 2022

උද්ධමනය වැරදිද?


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු මැයි මාසයේදී ලංකාවේ උද්ධමනය 39.1%ක් වුනා. ඇතැම් අය හිතන්නේ "යථාර්තය" මීටත් වඩා නරක බවයි. ඔවුන් එසේ කියන්නේ ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන ඇතැම් භාණ්ඩ හා සේවා නිදසුන් සේ පෙන්වමිනුයි.

උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 1,493ක් වූ කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් 2022 මැයි වන විට රුපියල් 5,350 දක්වා වැඩි වෙලා. මෙය 258.34%ක මිල වැඩි වීමක්. ඒ වගේම, 2021 මැයි මාසයේදී රුපියල් 621.37ක් වූ අමු මිරිස් කිලෝග්‍රෑම් එකක් 2022 මැයි වන විට රුපියල් 1,684.19 දක්වා වැඩි වෙලා. මෙය 169.89%ක මිල වැඩි වීමක්. එහෙමනම් උද්ධමනය 39.1% කියන එක හරිද?

උද්ධමනය කියා කියන්නේ ගෑස්, අමු මිරිස් වගේ පාරිභෝගික භාණ්ඩ දෙක තුනක මිල වැඩිවීම නෙමෙයි. සමස්තයක් ලෙස ගෙදරක වියදම් ඉහළ යාම. ගෑස්, අමු මිරිස් ඉහළ යද්දී වෙනත් මොනවා හරි බඩු ගණනාවක මිල අඩු වුනොත් සමස්තයක් ලෙස ගෙදරක වියදම් වැඩි නොවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2021 මැයි මාසයේදී රුපියල් 735.09ක් වූ කවුපී කිලෝග්‍රෑමයක මිල 2022 මැයි වන විට රුපියල් 661.73 දක්වා අඩු වෙලා. මෙය 9.98%ක මිල අඩු වීමක්. ඔය විදිහට ගොඩක් බඩු වල මිල ඉහළ යන අතරේ වුවත් සමහර බඩු වල මිල පහළ යනවා. තවත් සමහර බඩු වල මිල ඉහළ ගියත් ලොකුවට ඉහළ යන්නේ නැහැ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගණනය කරන්න භාණ්ඩ හා සේවාවන් 392ක්ම උපයෝගී කර ගන්නේ ඒ නිසා.

මේ භාණ්ඩ හා සේවා සියල්ලම ඉදිරිපත් කරන්න ගියොත් ලොකු ඉඩක් යන නිසා ඒ  භාණ්ඩ හා සේවාවන් 392 කාණ්ඩ 12ක් යටතේ වර්ග කරමු. අදාළ භාණ්ඩ මිල දී ගැනීම සඳහා 2013 වසරේදී කොළඹ නාගරික ප්‍රදේශ වල නිවසක වැසියන් විසින් වැය කළ මුදල් ප්‍රමාණ පහත තිබෙනවා. වරහන් ඇතුළේ තියෙන්නේ මුළු වියදමෙන් අදාළ කාණ්ඩයට වැය කළ ප්‍රතිශතය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - රුපියල් 17,044.70 (28.2%)

මද්‍යසාර පාන සහ දුම්කොල - රුපියල්  620.31 (1.0%)

රෙදිපිළි සහ පාවහන් - රුපියල් 1,383.22 (2.3%)

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - රුපියල්  19,306.27 (32.0%)

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - රුපියල්  1,533.73 (2.5%)

සෞඛ්‍යය - රුපියල්  2,650.13 (4.4%)

ප්‍රවාහනය - රුපියල්  6,401.44 (10.6%)

සන්නිවේදනය - රුපියල් 1,993.16 (3.3%)

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - රුපියල් 785.87 (1.3%)

අධ්‍යාපනය - රුපියල් 3,538.72 (5.9%)

ආපනශාලා හා හෝටල් - රුපියල්  3,101.87 (5.1%)

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - රුපියල්  2,005.31 (3.3%)

එකතුව - රුපියල් 60,364.74 (100.0%)

උද්ධමනය කියා කියන්නේ ඔය මුළු වියදම වසරකදී වැඩි වන ප්‍රතිශතය. ඒ කියන්නේ උද්ධමනය 100% වෙන්නනම් ඔය රුපියල් 60,364.74 වසරකින් පසුව දෙගුණ විය යුතුයි. අපි හිතමු "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" පමණක් 100%කින් ඉහළ ගියා කියලා. දැන් මුළු වියදම ඉහළ යන්නේ රුපියල් 19,306.27කින් පමණයි. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 32.0%යි. ඒ කියන්නේ උද්ධමනය 32% වෙනවා මිසක් 100% වෙන්නේ නැහැ. එහෙම වෙන්නනම් එක්කෝ හැම දෙයක්ම 100% බැගින් වැඩි වෙන්න ඕනෑ. නැත්නම් එසේ වැඩි නොවන ඒවාටත් හරියන්න අනෙක් ඒවා වැඩියෙන් වැඩි වෙන්න ඕනෑ. 

පහත තියෙන්නේ 2021 මැයි හා 2022 මැයි අතර ඉහත එක් එක් කාණ්ඩය තුළ මිල වෙනස් වී ඇති ආකාරය.

ආහාර සහ මද්‍යසාර නොවන පාන වර්ග - 57.4%

මද්‍යසාර පාන සහ දුම්කොල - 18.7%

රෙදිපිළි සහ පාවහන් - 37.0%

නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන - 13.1%

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තුව - 33.8%

සෞඛ්‍යය - 21.3%

ප්‍රවාහනය - 91.5%

සන්නිවේදනය - 0.0%

විනෝදාස්වාද හා සංස්කෘතික කටයුතු - 30.6%

අධ්‍යාපනය - 14.6%

ආපනශාලා හා හෝටල් - 50.3%

වෙනත් විවිධ භාණ්ඩ හා සේවා - 40.5%

එකතුව - 39.1%

මේ අනුව පෙනෙනවා ප්‍රවාහනය වැනි ඇතැම් කාණ්ඩ වල මිල ඉහළ යාම 91.5% තරම් වුවත් සන්නිවේදනය වැනි මිල වෙනස් වුනේම නැති කාණ්ඩත් තිබෙනවා. උද්ධමනය කියන්න ඔය හැම එකකම සාමාන්‍ය අගයක්.

මේ එක් එක් කාණ්ඩය ඇතුළට ගිහින් බැලුවහමත් ඔය වගේම තත්ත්වයක් දැකිය හැකියි. උදාහරණයක් විදිහට අපි "නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන" කාණ්ඩය පරීක්ෂා කර බලමු. මේ කාණ්ඩයේ වියදම් වැඩි වීම 13.1% වුනේ කොහොමද?

ඔය කාණ්ඩය ඇතුළේ ගෙදරක මුළු වියදම් වලින් 32.0%ක් තියෙනවා. 

නිවාස කුලිය - 22.69%

නිවාස අලුත්වැඩියා හා නඩත්තු - 1.15%

ජලය - 1.06%

විදුලිය - 4.39%

LP ගෑස් - 2.19%

භූමි තෙල් - 0.31%

දර - 0.19%

එකතුව - 32.0%

මේ අනුව පෙනෙන්නේ LP ගෑස් මිල 200% ඉක්මවා වැඩි වී ඇතත් මේ කාණ්ඩයේ තිබෙන නිවාස කුලී, නිවාස අලුත්වැඩියා හා නඩත්තු, ජල හා විදුලි බිල් ගාස්තු ආදීය වැඩි වී නැති බවයි. මේ අතරින් විශාලම බරක් ඇති අයිතමය වන නිවාස කුලිය ඩොලරයේ මිල මත තීරණය වන එකක් නෙමෙයි. ජලය, විදුලිය හා ඉන්ධන ආදියේ මිල තීරණය කරන්නේ රජය විසින්. ඒ නිසා ඩොලරය ඉහළ යාම බලපාන්නේ රජය විසින් මිල වැඩි කළොත් පමණයි. ආහාර වැනි වෙනත් කාණ්ඩයක් ඇතුළට ගියත් මෙවැනි විවිධ අයිතමයන් හඳුනාගන්න පුළුවන් වෙයි.

මුල් ප්‍රශ්නයට නැවත එමු. එහෙමනම් 39.1% උද්ධමනය හරිද?

මේක තීරණය වන්නේ උද්ධමනය මනින්න අවශ්‍ය වන්නේ කුමකටද කියන එක අනුවයි. අරමුණ පවුලක වියදම් වැඩි වූ ආකාරය ගැන දැන ගැනීමනම් මේ මිනුමේ වැරැද්දක් නැහැ පමණක් නෙමෙයි මෙයින් වියදම් වැඩි වීම ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වනවා වෙන්න පුළුවන්. මොකද මේ ගණනය කිරීමේදී උපකල්පනය කරන්නේ මිල කොපමණ ඉහළ ගියත් 2013දී මිනිස්සු මිල දී ගත්ත දේවල් ඒ ප්‍රමාණ වලින්ම දැනුත් මිල දී ගන්නවා කියන එකයි. නමුත්, මිනිස්සු මිල විශාල ලෙස වැඩි වන දේවල් මිල දී ගැනීම සීමා කරනවා. ඒ නිසා, පවුලක වියදම් ඔය තරමටම වැඩි වෙන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් මහ බැංකුව වගේ ආයතනයක් උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මේ දිහා බලනවානම් ඇත්ත උද්ධමනය මීට වඩා ටිකක් වැඩියි කියා හිතන එකේ වැරැද්දක් නැහැ. මොකද විදුලි බිල්, ඉන්ධන මිල ගණන් වගේ දේවල් රජය විසින් පාලනය නොකර වෙළඳපොළ තුළ තීරණය වුනානම් ඔය සමස්ත වැඩිවීම දර්ශකයෙන් පේනවට වඩා ඉහළ අගයක් ගන්නවා. ඉදිරි මාස වලදී රජයට මේ පාලිත මිල ගණන් සංශෝධනය කරන්න සිදු වෙන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය තවත් වැඩි වීමට නියමිත බව මහ බැංකුව විසින් තේරුම් ගත යුතුයි. හැබැයි ස්ටීව් හැන්කිගේ ගණන් හැදීම ඕනෑවට වඩා වැඩි ඇස්තමේන්තුවක්. මොකද උද්ධමන දර්ශකයෙන් 22.69%ක් වන නිවාස කුලිය ඇතුළු තවත් අයිතමයන් ගණනාවක් ඩොලරයක මිල වැඩි වන අනුපාතයෙන් වැඩි වෙන්න සෛද්ධාන්තික හෝ ප්‍රායෝගික හේතුවක් නැහැ. 

9 comments:

  1. ඉකොන්,

    මම හිතන්නේ ලංකාවට ඉන්දියාවෙන් සහ ජපානයෙන් ලබා ගැනීමට දැනට සාකච්ඡා කරගෙන යන ඉදිරි ඩොලර් බිලියන 06 ලැබෙනවා සමගම ඔය කියන උද්ධමන ප්‍රශ්න වලට බොහෝ දුරට තිත තියන්න පුළුවන් වෙයි කියලා.

    Sri Lanka could get as much as 6.0 billion dollars in “bridge financing” from India and talks are underway with Japan to also get funds, ex-Central Bank Governor Indrajit Coomaraswamy who is an advisor to the government said.

    “India has agreed to give 4.5 billion dollars,” Coomaraswamy told an online forum organized by the central bank.

    “There may be 1.5 forthcoming.”

    India had agreed to provide 500 million US dollars for fuel, and another billion US dollars for essential goods.

    About 3.0 billion US dollars is expected through deferred payments under the Asian Clearing Union to India.

    Officials have said another 500 million US dollars are also under discussion for fuel.

    India has also sounded out Japan over funding for Sri Lanka during a meeting of Quad nations recently, Coomaraswamy said.

    මොකද මේකේ සම්පූර්ණ විස්තර තියෙනවා මේක ගැන හිතන්නේ මොකද කියලාත් විස්තර කරන්න.

    https://economynext.com/sri-lanka-could-get-up-to-us6-0bn-from-india-talks-with-japan-coomaraswamy-95082/

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා මේක දැක්ක නේද?

    https://www.news18.com/news/auto/sri-lanka-colombo-court-detains-russian-aeroflot-airbus-a330-plane-heres-why-5302225.html

    ප්‍රායෝගිකව සිතා බලන්න රටේ සාමාන්‍ය නීතීය වගේ නෙවෙයි මේ වගේ බරපතල කාරණා ගැන ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන මොනවා වුනත්, මේ දෙයින් වෙන්නේ රටට ලොකු අවුලක් කියලා හිතෙනවා. සිලෝන් තේ විශාල ප්‍රමාණයක් යන්නේ රැසියාවට. සංචාරකයන් විශාල ප්‍රමාණයක් එන්නේ රැසියාවෙන්. මේ වෙලාවේ රටට ඩොලර් ලැබෙන්නෙත් මේවා හරහා තමයි. ඒ වගේම, ජාත්‍යන්තරයේදි සෑමවෙලාවකම රැසියාව ශ්‍රි ලංකාව සමග පෙනි ඉන්නවා. රැසියානු තෙල් සෘජුවම ලබාගැනීමට සාකච්ඡා කෙරෙනවා. ඒ අතරේදි මේ වගේ ප්‍රශ්ණ ඇතිකරගත්තාම, ඉහත කිවු සියළුම දේවල්වලට ප්‍රශ්ණ වෙන්න පුළුවන්. රට තවත් අවුලට යන එකයි මේකෙන් වෙන්නේ.

    ඇත්තටම මීට කළින් චීන පොහොර නැවකට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් දීලා චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය විනාශ කලා. හදිසියට අත මාරුවක් ඉල්ල ගන්න තිබුණ ප්‍රධානතම රට අපිට නැති වුණා. දැන් චීනය ලංකාවේ ආණ්ඩුව සතුව පහකට ගණන් ගන්නේ නැහැ. ලංකාවට භාණ්ඩ එන්නේත් නැහැ ඉස්සර වගේ ඒ නිසා ලංකාවේ හැමදෙයක්ම ගිනි ගණන්.

    ඊට අමතරව මේ පාර රුසියානු මගීන් සිටි රුසියානු ගුවන් යානයක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ රඳවාගැනීමට තීන්දුවක් දුන්නා. රුසියානු ජාතික මගීන්ව බලහත්කාරයෙන් හෝටල් වලට හරවා යැව්වා. එය රුසියානු මගීන්ව ප්‍රාණ ඇපයට ගැනීමක් වැන්නක්. එහෙම තීන්දුවක් දුන්නේ රුසියාව හෝ එම ගුවන් සමාගම අපේ රටට කරපු කිසිදු අපරාධයකට නෙමෙයි, කොහෙවත් ඉන්න අයර්ලන්ත සමාගමක පැමිණිල්ලකටයි, මොන අදාලත්වයක් තියෙනවා ද මන්දා ඒක?

    ඉතිහාසය පුරා රටටම හදිසියේ ප්‍රශ්න ආවාම චීනය හැරුණාම ශ්‍රී ලංකාවට හිටපු ළඟම හිතවතා තමයි රුසියාව. ඉන්දියාව වගේ ශ්‍රී ලංකාවේ බලය අල්ල ගන්න අවස්ථාවෙන් උපරිම වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හිතාගෙන හිටපු රටක් නෙමෙයි. ලංකාවේ තේ වලින් වැඩියෙන්ම අපනයනය කළේ රුසියාවට. ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගෙන් බහුතරය රුසියානුවන්. ඒ විතරක් නෙමෙයි අඩු මිලට බොර තෙල් දෙන්න පවා රුසියාව සූදානම් වුණා. දැන් ඒ සියල්ලම ඉවර වෙයි. සනීපයි නේද?

    ReplyDelete
  3. මෙහිදී ඉකොනො ඔබ උද්ධමන අනුපාතිකය සහ එහි ප්‍රධාන ප්‍රශ්න (consequences) සහ අතුරු බලපෑම් ගැනත් ලංකාවේ බොහෝ දෙනෙක් විස්වාස කරන ස්ටීව් හැන්කී ගේ සාවද්‍ය ගණනය කිරීම් ගැන සඳහන් කරන කරුණු කාරණා සමග සම්පූර්ණයෙන්ම එකඟයි.

    කෙසේ නමුත් මට ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින මේ මොහොතේ 2022 ජූනි මාසයේ හතර වෙනිදා සිට ලංකාවේ ව්‍යාපාර මත අධික බද්දකුත් දාලා තියනවා. බැංකු පොලි අනුපාතත් ඉහළ දාලා. උද්ධමනය වැලැක්වීමට බැංකු පොලී අනුපාතික ඉහළ දමා පාලනය කිරීම ලොකු ගැටලුවක් වෙයි වගේ කියලා ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන බොහෝ දෙනෙක් පවසන්නේ. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීම් මොනවද ඉකොනොමැට්ටා?

    මේ තීරණය ක්‍රියාත්මක කිරීම සමග ලංකාවේ ආර්ථිකය සෑහෙන සංකෝචනය වෙයි. මේ තත්ත්වය යටතේ බැංකු කොහොම ද තැන්පතු කරුවන්ට අධික පොලී ගෙවන්නේ? අනෙක දැනට ලංකාවේ බොහෝ දෙනෙක් ණය වලින් ලීසින් ආදියෙන් ඉඩම් ගෙවල් වාහන ගැනීම විශාල වශයෙන් සීමා කරලා ලංකාවේ ලීසින් සමාගම් වල වැලුවේෂන් කරපු කට්ටිය බොහෝදෙනෙක් රැකියා විරහිත වීමසමග විශාල වශයෙන් විදේශ රැකියා සඳහා රටින් පිට යමින් සිටිනවා.

    අධික පොලී අනුපාත ගෙවීමට අධික පොළියට ණය දීම කරන්න අමාරුයි ලංකාවේ ආර්ථිකය පවතින තත්ත්වය අනුව ඒ නිසා මම හිතන්නේ මේ යන්නේ ලෙබනන් ටයිප් බැංකු කඩා වැටීමකට නෙමෙයි ද?

    සාමාන්‍යයෙන් පොතේ දැනුම පමණක් තියෙන ලංකාවේ ආර්ථික විද්‍යා පණ්ඩිතයො කට පාඩම් කරපු සිද්ධාන්තයක් තියනවා, උද්ධමනය අඩු කරන්න නම් පොලි වැඩි කරන්න ඕන කියලා. ඔය සිද්ධාන්තය හැම තත්ත්වයකටම ගැලපෙන්නේ නැ.

    මම හිතන විදිහට නම් මේ වගේ සංකෝචනය වන ආර්ථිකයකට මේ වගේ මූල්‍ය ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ.

    ආනයනික භාණ්ඩ විශේෂයෙන් ලංකාවේ සමස්ත ආනයන වලින් 80% ක් විතර ආනයනය කරන ප්‍රාග්ධන භාණ්ඩ නැවතුනාම ව්‍යාපාර ගණනාවකට අමුද්‍රව්‍ය නැත්නම් වෙනත් නිමි යෙදැවුම් සහ යන්ත්‍ර සූත්‍ර ආදිය නැත්නම් ඒවාට බඩු බනිස් වෙන එක විතරයි.

    ලංකාවේ පොලී අනුපාත විශාල වශයෙන් ඉහල දාන කොට සමාජ ජාල වල මගේ මිතුරන් වන ඇකඩමික්ස්ල හුරේ දැම්මා. ඕක දැකල මම වගෙ ආර්ථික විද්‍යාව පිළිබඳ මළ පොතේ අකුරු නොදන්න ගෝතයෙක් එතකොට කිව්ව ඕක පට්ට පේල් කියල, ඒත් එයාල කිව්ව නෑ මේක තමයි අයිඩියල්ම වැඩේ එතකොට සල්ලි බැංකුවට එනව අච්චු ගහපුව කියල . සාකච්ඡාවන් කිහිපයක් තුල ආයෙත් මම කිව්ව අමාරුවෙන් යන බිස්නස් වලට ලෝන් ගන්න බෑ , ගත්ත ඒවට පොලී ගෙවන්න බෑ , කියල . එයාලත් එතනදි ඒකනම් ඇත්ත කිව්ව.

    ඔන්න දැන් ඒ අස්සෙ තවත් බදු ගහල කොස්ට් එක තවත් වැඩිවෙනව. කැපිටල් එකත් එකතු නොවී සීමා වෙනවා ප්‍රෝෆිට් මාජින් අඩු වෙන වේගයට Tax වැඩිවෙන නිසා.

    දැන් නම් තවත් මරු. බලමු ඊලග ආර්ථික විද්‍ය පාඩම අනුව කරන්න යන දේ?

    ReplyDelete
  4. මේ දවස් වල ලංකාවේ සිටින පවුලේ අය ඥාතීන් සහ හිතමිතුරන් ලංකාවේ බදු වැඩි කිරීමෙන් වෙන ප්‍රතිඵල ගැන දැනුවත් කරන මෙන් සියලුම පාඨක සහෝදර සහෝදරියන් ගෙන් කාරුණික ඇරයුමක් කරනවා.

    මේකෙදි හදිස්සියේම අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවට ආනයනික භාණ්ඩ 200 ක විතර පනවා තිබු බද්දක් 50% සිට 200% අතර අගයකින් වැඩිවෙනවා. මෙතැනදී ඔබත් මමත් ඇතුළු ගොඩක් අයට එකපාරට ඔළුවට එන්නේ භාණ්ඩ මිල දෙගුණයක් වෙන්න යනවා කියන එක. ඇත්තම කතාව එහෙම නෙවෙයි, මෙතැනදී වෙන්නේ මේ වගේ දෙයක්.

    මෙය සරලවම තේරුම් ගැනීමට උදාහරණයක් විදියට අපි TV එකක් ගමු. එම TV එකේ පැවති මිල රු.200,000 කියලා හිතමු. (මේකට රජයෙන් අය කරපු රු.25,000 බද්දක් ඇතුලත් කියලා හිතමු. ඒ කියන්නේ 175,000 TV එකට රු.25,000 ක් බදු ගහලා TV එකේ වටිනාකම රු.200,000 යි කියල හිතමු.)

    මෙතනදි දැන් අද මධ්‍යම රාත්‍රියේ සිට TV සඳහා අය කරන බද්ද 100% කින් වැඩිකරනවා. ඒ කියන්නේ TV එකේ අලුත් මිල රු.400,000 ද ?

    කොහෙත්ම නැහැ.

    මෙතනදි බදු විතරයි ඩබල් වෙන්නේ. ඒ කියන්නේ රු.25,000 ක් තිබ්බ tax එක 100% කින් වැඩිවෙලා රු.50,000 වෙනවා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස TV එකේ අලුත්ම මිල වෙන්නේ රු. 225,000 ක් පමණ යි.

    මෙන්න මේ වගේ තමයි අනික් භාණ්ඩ හා සේවාවන් සියලුම දේවල් වලටත් අයවෙන බදු සහ මිල අතර ප්‍රස්ථාරය ඇඳෙන්නේ.

    මේ ගමන් හැබැයි ලංකාවේ මාෆියා බිස්නස්කාරයෝගෙන් පරිස්සම් වෙන්න ඕන. සාමාන්‍යයෙන් ලංකාවේ ආර්ථිකය තුල ක්‍රියාත්මක වන පරිදි ඒ කියන්නේ ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම අර බදු වැඩිවෙන list එකේ තියන භාණ්ඩ වල වටිනාකම හෙට උදේ වෙද්දී ඩබල් වෙලා තියෙයි. ලංකාවේ ගොඩක් බිස්නස්කාරයෝ කරන්නේ මිනිස්සු අසරණ වෙලා තියන වෙලාවක පුළුවන් උපරිම ලාබ ලබන්න සෑම දෙයක්ම හොඳින් හරි නරකින් හරි මොන ජාතියෙන් හරි ඔය වගේ ගල්තලාව වලින් උපරිම වශයෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම, කොටින්ම රට වටාම මිනිස්සු සිල්ලර කඩ මුදලාලි පවා කරන්නේ මේක. ඒ කියන්නේ පාන්පිටි මිල
    ජූලි මාසයේ සිට රු.10 කින් වැඩි වෙනවා කිව්වොත් අද ඉඳන් කඩවල එක්කෝ පාන් පිටි නැහැ. එහෙම නැත්තන් මේ දැන් ගිහින් පාන් පිටි ගත්තොත් එකෙ මිල රු.10 කින් වැඩිවෙලා. ඇහුවොත් කියන්නේ, "මේ දැන් අලුත් මිලට ගෙනත් බෑවේ" වගේ සුරංගනා කතා. වැඩි වෙන්නේ රු.10 ක් වගේ මුදලක් නිසා අපි වුනත් ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ බොහෝ වෙලාවට.

    හැබැයි මෙතන කතාව ඊට වඩා වෙනස් දෙයක්. හැමෝටම දැනෙන දෙයක්. ඒ කියන්නේ 200,000 ට තිබ්බට TV එක 225,000 වෙද්දී රු.25,000 ක් වැඩි වෙලා. දැනෙනවා. හැබැයි මේක අයත් වෙන්නේ මින් ඉදිරියට import කරන TV වලට මිසක් දැන් showroom වල තියන TV වලට නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ නිතරම වෙන ආකාරයට මෙව්වා වල මිලක් ගහලා නැති නිසා හෙට ඉදන් වුනත් price වැඩිවෙලා තියෙන්න පුළුවන්.

    ඒ වගේම විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන දෙයක් තමයි අර මන් උඩින් කියපු කාරනාව, මෙතන 100% කින් වැඩි වෙන්නේ බදු මිසක් භාණ්ඩයේ වටිනාකම නෙවෙයි. ඒ නිසා රු. 200,000 TV එක හෙට රු.400,000 ක් වෙලා තිබ්බොත් ඒවා මිලදී ගන්න එපා. හැමෝම කතා වෙලා වර්ජනය කරන්න. ඒ වගේ වංචා කරන මුදලාලිලා ගැන සමාජයේ ඉදිරියේ දැනුවත් කරන්න. එවැනි ආයතන ගැන සමාජය දැනුවත් කරන්න. වංචා කරන කිසිම කෙනෙක්ට ලංකාවේ තවදුරටත් රජකරන්න ඉඩ තියන්න එපා.

    ReplyDelete

  5. Buy cosmetics & beauty products online from MMPlus, the online shopping beauty store. Browse makeup, health products & more from top beauty brands, health & welless products, Mother and baby care products, skin care products in Gurgaon. For more detail visit here - https://mmplus.in/

    ReplyDelete
  6. 1. උද්ධමනය නිසා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වෙනස් වීම හැදැරීමට හා පුරෝකතනයට VAR model බහුලව භාවිතා කර ඇති ප්‍රකාශිතය පර්‍යේෂණ පත්‍රිකා දැකිය හැක. ලංකාවේ වර්තමානයේ මේ වැනි අධ්‍යානයක් කිරීමට අවශ්‍ය නම (VAR model හෝ VECM model ) මගින් එය් එතරම් සුදුසු භවක් නෑ නේද ?

    මොකද වවර්තමානයේ අතවශ්‍ය ආහාර මිල (පාරිබෝගික මිල දර්ශක ඇතුලත් පැසේ ඇති) දිනපතා වෙන්ස් වීම වලට භාජන වන බැවින් සහා මහ බැංකු දත්ත හෝ ජනලේකන හා සංඛ්‍යාන දේපාර්ත මේන්තුව මගින් ප්‍රකාශිත දත්ත ඇත්තේ මාසීකව බැවින්.


    ReplyDelete
    Replies
    1. මෙය තීරණය වෙන්නේ forecast horizon එක සහ frequency එක මතයි. මම හිතන්නේ ප්‍රස්තුත ආකෘති යොදාගන්න බැරිකමක් නැහැ.

      Delete
    2. //forecast horizon එක සහ frequency එක මතයි// ලෙස ඔබ අදහස් කරන්නේ, forecast කරන කාලය හා, එම කාලය තුල forecast කරන වාර ගනන ද ??

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: