වෙබ් ලිපිනය:

Sunday, March 3, 2019

"මානුෂික සබඳතා" චුට්ටක් වැඩි වුනොත්...


මාස දෙකකට කලින් මා මත්පැන් ගැන කතා කරමින් ලියූ ලිපි කිහිපයක ජවිපෙ නායකයෙකු වන ලාල්කාන්ත ගැනද සඳහනක් කළා. එසේ කළේ, කතා කරන මාතෘකාවට ප්‍රවේශයක් ලෙස පමණයි. "ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ" කියා මා ඒ ලිපියේ ලිවුවා.

මා හිතන විදිහට ජවිපෙ හිතවතෙකු විය හැකි අපේ පාඨකයෙක් මෙයින් නිගමනය කර තිබුණේ මා ලාල්කාන්ත සමඟ අරෝවක් ඇති කර ගෙන ඇති බවකුයි. මට ඔහු සමග එවැනි කිසිදු පෞද්ගලික අරෝවක් තිබුණේ නැහැ. දැනටත් නැහැ.

ඔහු දමා තිබුණු ප්‍රතිචාරය පහත එලෙසම පළ කර තිබෙනවා.

"ඉකොනෝ ලාල්කාන්ත සහෝදරයා ගැන අරෝවක් ඇතිකරගත්තේ ලාල්කාන්තගේ පහත ප්‍රකාශය නිසා නේද?

'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
'

'තව කෙනෙක්ව පීඩාවට පත්වෙන්නේ නැත්නම් ඕනෑ දෙයක් අවුලක් නැහැ. කාල්මාක්ස් කියලා තියෙනවා මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා. අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද? අපි දෙන්නා බොන ගමන් පරණ කතා මතක් කරනවා කියලා හිතමු. කාටවත් මොකක්ද තියෙන ප්‍රශ්නය. හැබැයි මට පොඩි සීමාවක් තියෙනවා. මොකද දැන් කෝල් එකක් එන්න පුළුවන් හදිසි තත්ත්වයක් තියෙනවා, එන්න කියලා. අපට සමාජ වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ටිකක් නොබී ඉන්නවා නම් මම නොබී ඉන්නේ. ඒ කාලේ ඉඳන් ආර්ථික අමාරුකම් එක්ක පක්ෂයේ හැදුණ මත්පැන් නොබොන සංස්කෘතියක් තියෙනවා. තව කෙනෙක් අහන්න පුළු‍වන් නොකා නොබී ජීවත්වෙලා ඇති වැඬේ මොකක්ද කියලා. අපේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා, ඉස්කෝලේ 83 කණ්ඩායම වාර්ෂිකව සාදයක් එහෙම දානවා. එතකොට මම යනවා. උංගෙන් ඉතින් බේරෙන්න බෑ බීපං කියලා. ඉතින් චුට්ටක් බොනවා. ඒක මට බොන්න තියෙන වුවමනාවක් නෙවෙයි. ඒත් ඒක තමයි එතැන මම පවත්වන මානුෂීය සම්බන්ධයේ ස්වරූප'

ඉකොනෝට ඉහත මුල් ප්‍රකාශයෙන් රිදිලා තියෙන අන්දම මේ ටිකේම හැම පොස්ට් එකටම ලාල්කාන්ත ගැන මොකක් හරි කියන එකෙන් පේනවා. 

ඉකොනෝ වගේ සමාජශීලි නැති, හැම දේම මුදලින් මනිනා අයට නම් මිනිස් සබදතා තේරෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට අපි අකමැති දේවලුත් කරන්න වෙනවා මේ අවකාශය තුලදී. ඉකොනෝට ඕක තේරෙන්නේ නැහැ. මොකද ඔබට එහෙම ජිවිතයක් නැහැ. ඔබ කිසි ජිවිතයක් නැති මනුස්සයෙක්. මම මේක කලිනුත් මේ බ්ලොග් එකේ කොතැනක හරි කිව්වා."

මේ වන විට බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ලාල්කාන්තව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ සම්බන්ධව විමසීමේදී ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් පානය කිරීමේ තහනමක් නැති බවත්, එසේ වුවත් පක්ෂ නායකයින් මත්පැන් නොබීමේ සම්ප්‍රදායක් ඇති බවත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැති බවත්, එවැන්නක් සිදුව ඇත්නම් ඔහුට අවවාද කිරීමට බලාපොරොත්තු වන බවත් ටිල්වින් සිල්වා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ජවිපෙ සාමාජිකයින්ට මත්පැන් තහනම් කළ යුතුද, සම්ප්‍රදායක් ලෙස ජවිපෙ නායකයින් මත්පැන් පානයෙන් වැලකී සිටිය යුතුද, එසේ මත්පැන් පානය කරන ජවිපෙ නායකයින් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගත යුතුද වැනි කරුණු ජවිපෙ සාමාජිකයින් විසින් තීරණය කළ යුතු එම පක්ෂයේ අභ්‍යන්තර තීරණ. මත්පැන් සම්බන්ධව දැඩි හෝ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම එම පක්ෂයේ අයිතියක්.

කොහොම වුනත්, ලාල්කාන්ත මත්පැන් බී ඇති බවක් මීට පෙර වාර්තා වී නැතැයි ටිල්වින් සිල්වා කරන ප්‍රකාශයනම් නිවැරදි වෙන්න බැහැ. දෙමසකට පමණ පෙර ඇනෝ කෙනෙක් විසින් උපුටා දක්වා තිබෙන ඉහත පුවත්පත් සාකච්ඡාවේදී තමන් මත්පැන් පානයෙන් වැලකී සිටින සම්ප්‍රදායක නැති බව ලාල්කාන්ත විසින් සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා. ලාල්කාන්තට අනුව පක්ෂයේ මත්පැන් නොබොන සංස්කෘතියේ පදනම බොහෝ සාමාජිකයින්ට ආර්ථික අමාරුකම් තිබීමයි. ඔහු එයින් අදහස් කරන්නේ ආර්ථික අමාරුකම් නොවේනම් මත්පැන් බීමේ වෙනත් සදාචාරත්මක වරදක් නැති බව විය යුතුයි. තමන් හිඟන්නෙක් නොවන බව වැනි දෙයකුත් ඔහු වෙනත් තැනක කියා තිබුණා.

බොහෝ සමාජවාදීන් හා සමාජවාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ජවිපෙ යනු ආරම්භයේ සිටම කිසියම් මත්පැන් විරෝධයක් තිබුණු පක්ෂයක්. ලංකාවේ මත්පැන් විරෝධයට ආගමික හා සංස්කෘතික පසුබිමක් තිබෙනවා. ලංකාවේ සම්ප්‍රදායික මාක්ස්වාදී පක්ෂ මත්පැන් සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඔවුන් විසින් පසුගාමී සේ සැලකූ ලංකාවේ ආගමික හා සංස්කෘතික පුරුදු වල කොටසක් ලෙස මත්පැන් විරෝධය දුටු නිසා වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ ග්‍රාමීය පසුබිමක් තුළ ව්‍යාප්ත වූ ජවිපෙට මේ කරුණේදී පැරණි වාමාංශික පක්ෂ වලින් වෙනස් වීමේ අවශ්‍යතාවයක් ඇති වීම තේරුම් ගත හැකියි.

ජවිපෙ විසින් සමාජවාදයට දේශප්‍රේමය එකතු කළ 1988/89 කාලය ඔවුන්ගේ මත්පැන් විරෝධය කැපී පෙනුණු කාලයක්. ඒ කාලයේ ගම් වල සිටි නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයින් හා බෙදාහරින්නන් බොහෝ දෙනෙකුට ජවිපෙ/දේජව්‍යා තර්ජන හමුවේ සිය ව්‍යාපාර නවත්වා දමන්න සිදුවුණා. මේ අතින් රජයේ පොලීසි වලට අත් කරගත නොහැකි වූ ප්‍රගතියක් ඔවුන් විසින් අත්පත් කරගත්තා.

පොලීසියට අහු වූ විට අල්ලස් දී බේරී හෝ උසාවියේදී සුළු දඩයක් ගෙවා ආපසු පැමිණීමෙන් පසුව නැවත පුරුදු රස්සාව කරගෙන යන්න බාධාවක් නොතිබුණත් සහෝදරවරුන්ගෙන් ඒ විදිහට බේරෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දිගින් දිගටම මත්පැන් විකිණීමේ වන්දිය මරණය විය හැකිව තිබුණා. මෙවැනි තැනකින් මත්පැන් පානය කරන්න යාම පවා දැඩි දඬුවම් ලැබිය හැකි කටයුත්තක් වුණා. ඇතැම් ගම් වලදී නිතිපතා මත්පැන් පානය කරන අය නැවත එසේ කර අසුවුවහොත් කට කපන බවට සහෝදරවරුන් විසින් තර්ජනය කර තිබුණා. පාර අයිනට වී කසිප්පු බූලියක් හිස මත තබාගෙන හා මත්පැන් විකිණීමෙන් තමන් වරදක් කළ බවත්, නැවත එම වරද නොකරන බවත් සඳහන් බෝඩ් එකක් බෙල්ලේ එල්ලාගෙන සිටි අය ඒ දවස්වල දකින්න ලැබුණා. මේ විදිහට ගම් වල සුළු හොරකම් කළ අය හා කසිප්පු පෙරීම හා විකිණීම කළ අය එම කටයුතු වලින් වැළැක්වීම දෙවන කැරැල්ලේ මුල් කාලයේදී ජවිපෙට කිසියම් ජනප්‍රසාදයක් ලබාගැනීමට ඉවහල් වුනා.

මේ වන විට ජවිපෙ විසින් මත්පැන් පානය මානුෂික සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් කියා හිතන තැන දක්වා විපරිණාමය වී තිබෙනවා. උඩ සඳහන් කළ ඇනෝ වගේ අය හිතනවා ඇත්තේ මත්පැන් නොබොන කෙනෙක් කියන්නේ සමාජශීලී නොවන, මිනිස් සබඳතා නොතේරෙන, ජීවිතයක් නැති මනුස්සයෙක් කියලයි.

මා මත්පැනින් වැලකී සිටින කෙනෙක් නෙමෙයි. නමුත්, මත්පැන් බීම හා සමාජශීලී වීම කියන්නේ හැමවිටම එකටම යා යුතු කරුණු දෙකක් කියා මම විශ්වාස කරන්නේ නැහැ. සමාජශීලී නැති බේබද්දන් වගේම මත්පැන් නොබොන ඉතා සමාජශීලී අයත් ඉන්නවා.

පසුගිය කාලය තුළ දැකිය හැකි වූ ජවිපෙ මත්පැන් ප්‍රතිපත්තියේ විකාශනය ජවිපෙ විකාශනයේම පිළිබිඹුවක්. මේ වන විට ජවිපෙ කියන්නේ අර්ධ නාගරික පක්ෂයක්. එම පක්ෂයට මුලින් ආකර්ශනය වූ සිංහල, බෞද්ධ, ග්‍රාමීය මධ්‍යම කොටස් වල ජීවන තත්ත්වය පසුගිය දශක තුනක පමණ කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ එක්කම මේ කණ්ඩායමේ ආකල්ප වලත් විශාල වෙනසක් ඇති වී තිබෙනවා. ජවිපෙ තුළින් පිළිබිබු වන්නේ එම වෙනසයි.

අදාළ රිය අනතුර සිදු වූ වෙලාවේ ලාල්කාන්ත මත්පැන් පානය කර සිටියාද, එය අදාළ රිය අනතුරට හේතු වූවාද වැනි කරුණු අධිකරණය විසින් තීරණය කළ යුතු දේවල්. ඒ හා අදාළව නිගමන වලට එළැඹෙන්න මා හදිස්සි වන්නේ නැහැ. කොහොම වුනත්, මත්පැන් පානය කර රිය එළැවීම තවමත් දුලබ දෙයක් නෙමෙයි.

මත්පැන් පානය කර වාහන එළවා අසු වූ විට නියම කළ හැකි දඩ මුදල වසර එකහමාරකට පමණ පෙර රුපියල් 2,000ක සිට රුපියල් 25,000 දක්වා විශාල ලෙස වැඩි කළා. මෙයින් අපේක්ෂා කළේ බීමත් රියදුරන් අතින් සිදුවන අනතුරු අවම කර ගැනීමයි. රථවාහන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් ඉහළ යාමට සාපේක්ෂව රථවාහන අනතුරු පහළ යන බව සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන කරුණක්.

වැඩිහිටි පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් තනිව හෝ කණ්ඩායමක් සමඟ මත්පැන් පානය කිරීම ඔවුන්ගේ පෞද්ගලික නිදහසේ කොටසක්.

"අපි මෙතැන බෝතලයක් ගහනවා කියලා හිතමු. අපි ඉන්නේ අපේ පෞද්ගලික අවකාශයක. සද්දබද්ද නෑ. ඉතින් ඒක මානුෂීයයි නේද?"

තෙවන පාර්ශ්වයන්ට හානියක් නොකරමින් කණ්ඩායමක් එක්ව මත්පැන් පානය කිරීමේ සමාජයීය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, එසේ කරන අයෙකුගේ කට කපා දඬුවම් නොකර ඒ පෞද්ගලික නිදහසට ඉඩ දීම මානුෂිකයි. නමුත්, තෙවන පාර්ශ්වයකට හානියක් වූ වහාම තත්ත්වය වෙනස් වෙනවා. අයෙකුගේ මත්පැන් පානය තවත් අයෙකුගේ ජීවත්වීමේ නිදහසට බාධා කළ යුතු නැහැ. අයෙකුගේ මත්පැන් පානයේ මිල වෙනත් අයෙකු විසින් ගෙවිය යුතුද නැහැ.

බීමත් රියදුරන් විසින් සිදුකරන රිය අනතුරු කියන්නේ මත්පැන් පානය හේතුවෙන් තෙවන පාර්ශයන්ට හානි සිදු කරන එක් ආකාරයක් පමණයි. මත්පැන් පානයෙන් පසු ගැටුම් වලට පැටලීම, සද්ද බද්ද වැඩිවීම ආදී වෙනත් බොහෝ ආකාර වලින් තෙවන පාර්ශ්වයන්ට හානි සිදුවිය හැකියි. මත්පැන් පානය හේතුවෙන් සිදුවන රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට පොදු අරමුදල් වැය වීම මේ ගොඩට දැමීමනම් තරමක් ප්‍රශ්නකාරීයි. මත්පැන් හා දුම් පානය කරන්නන් විසින් බදු සේ ගෙවන මුදල ලංකාවේ රජයේ සෞඛ්‍ය වියදම් මුළුමනින්ම වාගේ ආවරණය කිරීම එයට හේතුවයි.

මත්පැන් පානය කරන්නන් බොහෝ විට වැඩේ පටන් ගන්නේ මානුෂීය සම්බන්ධතා පැවැත්වීමේ කොටසක් ලෙස මිස තෙවන පාර්ශ්වයන්ට හානි කිරීමේ අරමුණක් ඇතිව නෙමෙයි. නමුත්, සමහර වෙලාවට දන්නෙම නැතුව මානුෂික සම්බන්ධතාව ටිකක් වැඩි වෙනවා. තමන්ගේ රිය පැදවීමේ හැකියාව මත්පැන් නිසා දුර්වල වී තිබෙන බව ඒ වෙලාවට හිතෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය අසරණ ජීවිතයක් වෙන්න පුළුවන්. සිහිකල්පනාව යථා තත්ත්වයට පැමිණෙන විට ආපසු හැරවිය නොහැකි සේ වැරැද්ද සිදුවී අවසන්.

ජවිපෙ මුල් වී සිදු කළ රාජ්‍ය විරෝධී කැරළි දෙකකදී විශාල ජීවිත හා දේපොළ විනාශයක් සිදුවුනා. රටේ ආර්ථිකය වසර ගණනාවකින් ආපස්සට ගියා. එයට හේතු වුනේ මාක්ස්වාදයෙන් මත්වීම තුළ සිදු වූ දේශපාලන අධිනිශ්චයයි. ඒ හානි දැන් ආපසු හරවන්න බැහැ. බීමත් අයෙකුට තමන් ඉන්නේ හොඳ සිහි කල්පනාවෙන් නොවන බව තේරෙන්නේ නැහැ. ආගමික, දේශපාලනික හෝ වෙනත් මතවාදයකින් මත් වූ විටත් එය එසේමයි. වෙළඳපොළ යාන්ත්‍රණයට ඉඩ අහුරමින්, රාජ්‍ය යාන්ත්‍රනය විශාල කරමින්, ආදායම ඉක්මවා වියදම් කරමින් සුබසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාම නිසා සිදුවන හානිත් ආපසු හරවන්න අමාරුයි.

(Image: https://www.whiskytempel.de/shop/glenallachie-9y-karl-marx-200th-anniversary-ruby-port-cask-finish-limited-to-200-960.html)

3 comments:

  1. ඉකොනොමැට්ටා ඔච්චරටම ජවිපෙ සමග දැඩි වෛරයෙන් පසුවන්නේ ඇයි? සමාව දෙන්න බැරි තරමට ලාල්කාන්ත කුඩු ගහලද? මිනි මරලද? මහ බැංකුව මංකොල්ල කාළද? මහජන මුදලින් දෙමව්පියන්ගේ සොහොන හැදුවද? රාජ්‍ය දේපල අවභාවිතා කළාද? ඇමතිකම් දරද්දී නෑදෑයන්ට නිවාස දුන්නද? මීට වඩා ලොකු චෝදනා තියන දේශපාලකයින්ට අද නීතිය ක්‍රියාත්මක වෙන්න නැහැ. කප්පරක් කුණු පිරුණු අන්ත්ය දූෂිත සික්කිත රාජපක්ෂ කම්බ හොර රැලට එරෙහිව වචනයක්වත් ලියන්න බය ඉකොනොමැට්ටා ලන්කා දේශපාලන ක්ෂේත්‍රයේ සිටින වඩාත් ආදර්ශමත් වඩාත්ම විනයගරුක එකම ප්‍රගතිශීලී පක්ෂය වන ජවිපෙට එරෙහිව බොරු මඩ අවලාද නැගීම අතිශය ශෝචනීයයි, ලැජ්ජයි ඉකොනොමැට්ටා.

    ReplyDelete
  2. බීමතින් රිය පැදවීම යන කාරණය ගත්තොත් එය නීතිමය වරදක් බව ඇත්ත. මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමට ගරු කටයුතු ලාල් කාන්ත මහතාගෙන් බාධාවක් නැති නිසා අධිකරණය තීන්දුවක් ගනී. ඒක වෙනම කතාවක්. මෙහිදී පිළිගත් නායකයකු හැටියට මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුව තිබුණා නේද යන පැනය කෙනෙකුට ඇසීමට හැකි නමුත් සමස්තයක් හැටියට ගත්තොත් ඔහුගේ චරිතය ගැන රටේ අතිශය බහුතරයක් වූ මිනිස්සු තුල විශාල ප්‍රසාදයක් තියනවා. ජවිපෙ අයට මෙහෙම දෙයක් වුණු පළවෙනි වතාව. රටේ නමගිය දූෂණ වංචා කල දේශපාලන චරිත හා ඔවුන්ගේ ජඩ පුත්තු සුපිරි වාහනවලින් යමින් ගත කරන ජීවිතවල අඳුරු පැති ගැන රටම දන්නවා. ලාල් කාන්ත මහතාගේ ජීවිතයේ එවැනි අඳුරු පැති තිබුණා නම් මේ වන විට ඔහුගේ චරිතය පතුරු ගසා අවසන්. ඔහු මේ අනතුරේදී බීමත්ව සිටි බවට චෝදනා ඇතත් අනතුර සිදුවූ ආකාරය ගැන අධිකරණ තීන්දුව ලැබෙන තෙක් අපට ඒ ගැන තීන්දුවක් දෙන්න බැහැ. මේ සිද්ධිය පමණක් ගත්තොත් පෙර වැරදි කිසිවක්ම නැති නිසාත් මෙයින් ඔහුගේ දේශපාලන චරිතය විනාස වන්නේ යැයි මා සිතන්නේ නැහැ. ඔහු කිසිසේත්ම අපරාධකරුවකු නොවේ. රට වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරමින් තම ජීවිතයේ ඉතාම හොඳ කාලය අනුන්ගේ යහපත වෙනුවෙන් කැපකළ අතිශය
    විශිෂ්ට අයෙක්. ඔහුගේ දෘෂ්ටිවාදයෙහි සීමාකම් ඇතොත් ඒවා ගැන විචාරශීලීව සාකච්ඡා කිරීම බුද්ධිමතුන්ගේ කාර්යයක්. මේ සියලු කරුණු අනුව මා කියන්නේ ලාල්කාන්ත මහතාගේ ප්‍රශ්නය ඒකාංශිකව නොබලා බහුආංශිකව බැලිය යුතු බවයි. බොලද තර්කයේ අවියට වඩා මානුෂවාදී එලඹුම එහිදී ඉතා වැදගත් වෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: