වෙබ් ලිපිනය:

Monday, March 11, 2019

ලංකාවේ ෆෝර්බ්ස් බිලියනපතියන් නැද්ද?


ඊයේ ලිපියෙන් මා කතා කළේත් ජෙෆ් බෙසෝස් ගැනයි. මෙහිදී ජෙෆ් බෙසෝස් සුවිශේෂී වන්නේ ඔහු ලෝකයේ ලොකුම ධනවතාව සිටින නිසා නෙමෙයි. ඔහු ලෝකයේ ලොකුම ධනවතා වී සිටින ආකාරය නිසයි. මා පෙන්වා දෙන කරුණ හා අදාළව, ඇමරිකාවේ ලොකුම ධනවතුන් බොහෝ දෙනෙක් ජෙෆ්ගේ ගොඩට දමන්න පුළුවන්.

ලෝකයේ ජීවත්වන ධනවතුන් සේ හඳුනාගත හැකි අයගෙන් කොටසක් එසේ ධනවතුන්ව සිටින්නේ ඔවුන් ධනවතුන්ගේ දරුවන්ව ඉපදී උරුමයෙන් ධනවතුන් වූ නිසයි. ඒ ආකාරයට උපතින් විශාල ප්‍රාග්ධනයකට උරුමකම් කී අයෙකුට තෝරා ගත හැකි මාර්ග තුනක් තිබෙනවා.

කොයි තරම් විශාල ධනයක් වුවත් පරිභෝජනය කර කෙටි කලකින් විනාශ කර දැමිය හැකි නාස්තිකාර පුතුන් ඉන්නවා. යමෙක් හත්මුතු පරම්පරාවකට සෑහෙන ධනයක් එකතු කර දරුවන්ට උරුම කළත් අවුරුදු කිහිපයකින් ඒ ධනය මුළුමනින්ම විනාශ කරගෙන හිඟමනට වැටුණු අය ගැන බොහෝ දෙනෙක් අසා ඇති. පැරණි ආගමික සාහිත්‍යයේ වුවත් ඒ වගේ අය ගැන අහන්න ලැබෙනවා.

දෙවන ක්‍රමය වන්නේ ඒ ධනය නාස්ති නොකර ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ දිගටම ලබා ගැනීමයි. එසේ කරන අයෙකුට, තමන්ගේ වාසනාවට උරුම වූ ධනය එලෙසම තබා ගනිමින් දිගින් දිගටම ආදායම් ඉපදවිය හැකියි. ඒ සඳහා සුවිශේෂී දක්ෂතාවයක් හෝ මහන්සියක් අවශ්‍ය වන්නේ නැහැ.

තුන්වන ආකාරය එසේ ලැබුණු ධනය තමන්ගේ දක්ෂතාවයෙන් හා මහන්සියෙන් විශාල ලෙස වර්ධනය කර ගැනීමයි.

උරුමයෙන් විශාල ප්‍රාග්ධනයකට හිමිකම් කී ඇතැම් අයගේ දරුවන් නාස්තිකාර පුතුන් වුවත් බොහෝ දෙනෙක් එවැන්නන් නෙමෙයි. ඒ වගේම, බොහෝ විට සුවිශේෂී ව්‍යවසායකත්වයක් තිබුණු කෙනෙකුගේ දරුවකු එවැනිම ව්‍යවසායකයෙකු වෙන්නේ නැහැ. බිංදුවෙන් පටන්ගෙන ඩොලර් බිලියනපතියෙකු විය හැකි අය ඉන්නේ ජනගහණයේ මිලියනයකට එක්කෙනෙක් දෙන්නෙක් පමණයි. එවැන්නෙකුගේ දරුවෙකුත් එවැන්නෙකුම වෙන්න විශාල ඉඩක් නැහැ.

උරුමයෙන් ධනවතුන් වූ බොහෝ දෙනෙක් කරන්නේ ඒ ධනය නාස්ති නොකර ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ දිගටම ලබා ගැනීමයි. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තරම් විශාල නැහැ. ඒ නිසා, එවැන්නෙකුගේ ධනය වර්ධනය වන්නේ අඩු වේගයකින්. ඒ වගේම බොහෝ විට ධනවතෙකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ ධනය කිහිප දෙනෙකු අතර බෙදී යනවා. ඒ නිසා, උරුමයෙන් ධනවතුන් වූ අයත් ධනවතුන් ලැයිස්තුවක සිටින නමුත් ව්‍යවසායකත්වය මත ධනවතුන් වන අය ඔවුන් පසු කර ක්‍රමයෙන් ලැයිස්තුවේ උඩට එනවා.

ජෙෆ් බෙසෝස්, බිල් ගේට්ස්, ලැරී එලිසන් හෝ මාක් සකර්බර්ග් වැනි ඇමරිකන් හා ලෝක ධනවතුන් අතර ඉහළින්ම සිටින බොහෝ දෙනෙක් උපතින් විශාල ධනවතුන් වූ අය නෙමෙයි. තමන්ගේ ව්‍යවසායකත්වය මත ඉහළට පැමිණි අයයි. ඔවුන්ගේ ධනයෙන් පිළිබිඹු වන්නේ ඔවුන් විසින් ඇමරිකාවේ හා ලෝකයේ ආර්ථිකයට එකතු කර ඇති අගයයි. ඇමරිකානු ධනවාදය තුළ ව්‍යවසායකත්වය ඇති අයෙකුට තමන් විසින් ආර්ථිකයට එකතු කරන අගයට සමාන මුදලක් තමන්ගේ පෞද්ගලික ධනය සේ එක්රැස් කරගන්නට ඉඩ සැලසෙනවා.

රටක ආණ්ඩුව විසින් ආර්ථිකය පාලනය කරන තරමට ව්‍යවසායකත්වය ඇති අයෙකුට තමන් විසින් ආර්ථිකයට එකතු කරන අගය තමන් වෙත තබා ගැනීමට බාධා කෙරෙනවා. එවැනි පසුබිමක වුවත් ඇතැම් අය පොදු යහපත හෝ පරාර්ථය සලකා නව නිර්මාණ බිහි කරනවා. නව අදහස් ලෝකයට දායාද කරනවා. පැරණි සෝවියට් දේශයේ එවැනි අය සිටියා. වෙනත් රටවලත් ඉන්නවා. නමුත්, තමන්ගේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තමන්ටම නොලැබෙන පසුබිමකදී ව්‍යවසායකත්වය තිබෙන හැම කෙනෙක්ම පොදු යහපත ගැන සිතා එසේ ක්‍රියා කරන්නේ නැහැ. එය මිනිස් ස්වභාවයයි.

ඒ වගේම, ඇතැම් තත්ත්වයන් යටතේදී රටේ ආර්ථිකයට සුවිශේෂී අගය එකතු කිරීමක් නොකරන කෙනෙක් වුවත් බිංදුවෙන් පටන් ගෙන විශාල ධනවතෙක් වෙන්න පුළුවන්. හොරකම්, වංචා ආදියේ සිට ආණ්ඩුවේ හිතවතෙකු වීමෙන් ලබන අනියම් වාසි දක්වා විවිධ ක්‍රම වලින් මේ ආකාරයට ධනවත් වන අය සිටිනවා. නමුත්, එවැන්නන් නිසා රටක ආර්ථිකය ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් කරන්නේ වෙනත් කෙනෙකු සතු ධනය හෝ ධනය උපයන මාර්ග තමන් සතු කර ගැනීම පමණයි. අලුතින් ධනය නිර්මාණය කිරීමක් එහි නැහැ.

ජෙෆ් බෙසෝස්ගේ ධනය ඔහු විසින් අලුතින් නිර්මාණය කළ ධනයක් මිස වෙනත් අයෙකුගෙන් පැහැරගත් ධනයක් නෙමෙයි. ඔහු විසින් නිර්මාණය කළ වේදිකාව හරහා කලින් සිදු නොවූ ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු වුනා. දැනටත් සිදු වෙනවා. ගනුදෙනුවක් සිදු වන හැම විටකම ආර්ථිකයට අගය එකතු වීමක් සිදු වෙනවා. ඔහු නිසා වෙනත් අයගේ ධනය පැහැර ගැනීමක් සිදු වුනානම් ඒ සම්ප්‍රදායික පොත් වෙළෙන්දන් විසින් උපයන්නට නියමිතව තිබුණු ධනයෙන් කොටසකුයි. නමුත්, එය සාධනීය දෙයක්. ඇමසන් හරහා සිදු වුනේ අකාර්යක්ෂම අතරමැදියන් වෙනුවට වඩා කාර්යක්ෂම අතරමැදියෙකු ආදේශ වීමයි. ඔහුගේ වත්කම් කියා කියන්නේ එසේ කාර්යක්ෂමතාවය ඉහළ යාම නිසා ආර්ථිකයට එකතු වූ අගයයි. ධනවාදී ආර්ථිකයකට අගය එකතු කරන අයෙකුට එහි ප්‍රතිලාභ තමන් සතු කරගත හැකියි.

ලංකාවට ජෙෆ් බෙසෝස්ලා අවශ්‍යයි කියන එකෙන් මා කියන්නේ ලංකාවේ ආර්ථිකයට අගය එකතු කළ හැකි මිනිසුන් අවශ්‍ය බව මිස කෙසේ හෝ ධනය උපයන අය අවශ්‍ය බව නෙමෙයි. රටේ ටික දෙනෙකු බිංදුවෙන් පටන්ගෙන ධනවතුන් වූ පමණින්ම රට ඉදිරියට යන්නේ නැහැ. රට ඉදිරියට යන්නේ ආර්ථිකයට අගය එකතු කළ හැකි මිනිසුන් නිසා. එවැනි මිනිසුන් ඉදිරියට ගත හැක්කේ ඔවුන්ට තමන්ගේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ තමන් වෙත රඳවා ගන්න පහසුකම් සලසන තරමටයි. එය කරද්දී රටේ ආදායම් විෂමතාවය ඉහළ යන්න පුළුවන්. නමුත්, එය රටට හානිකර දෙයක් නෙමෙයි.

ලංකාවේ බොහෝ ධනවතුන් ධනවතුන්ව සිටින්නේ ඔවුන්ට උරුමයෙන් විශාල ධනයක් ලැබීම නිසයි. මේ බොහෝ දෙනෙකු වාර්ෂිකව තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ලබන ප්‍රතිලාභ අනුපාතිකය බැඳුම්කර පොලී අනුපාතිකයටත් අඩුයි. ඔවුන් බොහෝ දෙනෙක් තමන් සතු ප්‍රාග්ධනය වෙනුවෙන් ලබන දෙයක් මිස ඊට වඩා දෙයක් උපයන්නේ නැහැ. ලංකාවේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවාට වඩා රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන එක ලාබයි.

ලංකාවේ ධනවතුන් අතර පහළ සිට උඩට පැමිණි අයත් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක්ගේ ආරම්භය බැලුවොත් එහි තියෙන්නේ පැවති කවර හෝ රජයක් එක්ක සම්බන්ධ වෙමින් උඩට යාමකුයි. එහෙම නැත්නම් කැසිනෝ, ජැක්පොට්, අශ්වරේස් වගේ දෙයකින් උපයපු දෙයක්. ඒ ඇතැම් අය සතුව කිසියම් ව්‍යවසායකත්වයක්ද තිබෙනවා තමයි. නමුත්, බොහෝ ඇමරිකානු ව්‍යවසායකයින් වගේ අලුත්ම දේවල් කර උඩට පැමිණි අය දකින්න නැති තරම්. එය ලංකාවේ මිනිස්සුන්ගේ අදක්ෂතාවයක් කියා කියන්න බැහැ. බොහෝ විට සිදු  වී තිබීමට ඉඩ තිබෙන්නේ කවර හෝ හේතුවක් නිසා එවැනි ව්‍යවසායකත්වයක් ඇති අයට උඩට මතුවෙන්න අවකාශ නැති වීමයි.

ව්‍යවසායකත්වය කියන එක පැත්තකින් තබා (ඇමරිකන් ඩොලර්) බිලියනපතින් වීම ගැන බැලුවත් ලංකාවේ එවැන්නන් හෝ බිහි වී නැහැ. සතියකට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ෆෝර්බ්ස් බිලියනපති ලැයිස්තුවේ සිටින ගණනින් 2,153ක් වන බිලියනපතියන් අතර  කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ. මීට පෙර එවැන්නෙකුව සිටි එකම පුද්ගලයා මේ වන විට බන්ධනාගාරගතව සිටින රාජ් රාජරත්නම් පමණයි.

අලුත්ම ලැයිස්තුවේ සිටින බිලියනපතියන්ගෙන් 607ක්ම ඇමරිකානුවන්. ඔවුන්ගෙන් තුනෙන් දෙකක්ම උරුමයෙන් ධනවතුන් වූ අය නෙමෙයි. ඒ වගේම මේ අයගෙන් 11%ක්ම සංක්‍රමණිකයින් වීමත් කැපී පෙනෙන දෙයක්. මෙයින් කියන්නේ ඇමරිකාවේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 1.85ක් සිටිනවා කියන එකයි. ඇමරිකාව ධනවත් රටක්ව පවතින්නේ ඇමරිකානුවන් අතර ධනවතුන් වැඩි නිසයි.

රටේ ජනගහණයට සාපේක්ෂව ඇමරිකාවටත් වඩා බිලියනපතියන් සිටින රටවල් ගණනාවක්ම තිබෙනවා. උදාහරණයක් විදිහට මා ධනවාදී රටක් සේ නොසලකන සිංගප්පූරුව පෙන්වන්න පුළුවන්. මිලියන 5.87ක ජනගහණයක් ජීවත්වන කුඩා නාගරික රාජ්‍යයක් වන සිංගප්පූරුවේ බිලියනපතියන් 22ක් ඉන්නවා. එය ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.75ක්. සිංගප්පූරු ජාතිකයෙකුගේ ඒක පුද්ගල ආදායම ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායමට ආසන්න ගණනක් වෙන්න මෙයත් හේතුවක්.

සිංගප්පූරුවේ වගේම ලංකාවෙන් බාගයක තරමේවත් ජනගහණයක් නැති නවසීලන්තය, අයර්ලන්තය, ස්ව්ට්සර්ලන්තය, ස්වීඩනය, නොර්වේ, ඊශ්‍රායලය වගේ රටවල් ගණනාවක බිලියනපතියන් රැසක් ඉන්නවා. ස්විට්සර්ලන්තයේ බිලියනපතියන් ගණන 33ක්. එය ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.83ක්. ස්විට්සර්ලන්තය ඒක පුද්ගල ආදායම අනුව දෙවන තැන සිටින රටයි. ඒක පුද්ගල ආදායම අනුව තෙවන තැන සිටින නොර්වේ රාජ්‍යයේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 2.78ක් (15ක්) ඉන්නවා. අයර්ලන්තයේ මේ ගණන ජනගහණය මිලියනයකට බිලියනපතියන් 1.86ක් (9ක්). ස්වීඩනයේ ජනගහණය මිලියනයකට බිලියනපතියන් 3.28ක් (31ක්).

කුඩා දේශීය වෙළඳපොළක් ඇති රටක ජීවත් වීම බිලියනපතියෙකු වෙන්න බාධාවක් නෙමෙයි. හොංකොං වල ජනගහණය මිලියනයකට බිලියනපතියන් 9.48ක් ඉන්නවා. රටවල් ධනවත් වෙන්නේ ඒ රටවල් වල ජීවත් වන මිනිස්සු ධනවත් වීම නිසයි. නමුත්, රටක ජීවත් වන හැම පුද්ගලයෙක්ම එකවර ධනවත් වෙන්නේ නැහැ. ඒ නිසා කෘතීම ලෙස වැලැක්වූයේ නැත්නම් රටවල් ධනවත් වන විට ඒ රටවල්වල ආදායම් විෂමතාවයන් වැඩි වෙනවා. ආදායම් විෂමතා නැති කිරීම රටක ඉලක්කය කරගත් විට සිදුවන්නේ රටක ආර්ථික වර්ධනයට තිරිංග වැටෙන එකයි.

ඇමරිකාව හැරුණු විට ලෝකයේ වැඩිම බිලියනපතියන් ප්‍රමාණයක් ඉන්නේ චීනයේ, ජර්මනියේ හා ඉන්දියාවේ. මේ ගණන් පිළිවෙලින් 324ක්, 114ක් හා 106ක්. නමුත් චීනය හා ඉන්දියාව කියන්නේ ජනගහණය අනුව ලෝකයේ විශාලම රටවල් දෙක නිසා ඒ රටවල් දෙකේ ජනගහණය මිලියනයකට සිටින බිලියනපතියන් ගණන පිළිවෙලින් 0.23ක් හා 0.07ක් පමණයි. මේ රටවල් දෙකේ ඒක පුද්ගල ආදායම් පෙර කී රටවල මට්ටමේ නැත්තේ ජනගහණයට සාපේක්ෂව ඒ රටවල ධනවතුන් ප්‍රමාණය අඩු නිසයි.

වෙනත් විදිහකින් කිවුවොත් ඉන්දියාවේ බිලියනපතියන් ගණන ජනගහණය මිලියන 13.4කට එක් අයෙක් පමණයි. හැබැයි ජනගහණය මිලියන 21.44කට එක බිලියනපතියෙක්වත් නැති ලංකාවේ තත්ත්වයට වඩා ඉන්දියාවේ තත්ත්වය හොඳයි. චීනයේ තත්ත්වයනම් ගොඩක්ම හොඳයි.

වැඩිපුර සමාජවාදී චීනයද ලංකාවද කියන එක වෙනම කතා කළ යුතු කරුණක්. චීනය ලංකාව මෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. බොහෝ ධනවාදී රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වුවත් මේ දෙක දෙකක්. ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ගැටෙන අවස්ථා පවා ඕනෑ තරම් තිබෙනවා. චීනයේ බිලියනපතියන් එන්න එන්නම වැඩිවන එකෙන් පෙනෙන්නේ චීනය ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන් රටේ ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ පන්නන්නේ නැතිව ආර්ථිකය වර්ධනය කිරීමේ ඉලක්කය පසුපස හඹා යන්න පටන් ගෙන එහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිටින ආකාරයයි. චීනයේ අධ්‍යාපනය  හා සෞඛ්‍යය වැනි අංශ පවා කලක සිටම ලංකාවට වඩා නිදහස්.

ලංකාව ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ කාලයක් තිස්සෙම ඕනෑවට වඩා පන්නල තියෙන රටක්. දැන් හෝ කළ යුත්තේ ආදායම් ඉපැයීමේ ශක්‍යතාවයක් තිබෙන අයට, විශේෂයෙන්ම ආදායම් මට්ටම අතින් පහළින්ම සිටින කණ්ඩායම් වල එවැනි අයට, ආර්ථිකයට අගයක් එකතු කරමින් ධනවතුන් වෙන්න තිබෙන බාධා අවම කරන එක මිසක් ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්ක පස්සේ පන්නා රටේ ආර්ථික වර්ධනය අඩාල කරන එක නෙමෙයි.

(Image: https://www.cbsnews.com/pictures/richest-people-in-world-forbes/)

7 comments:

  1. ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැතිවීමට ප්‍රධාන හේතුව ලන්කාවට අරක්ගෙන සිටින රාජපක්ෂ හොර කල්ලියේ වහල් බයි හැතිකරය විසින් කරන අඥාන ක්‍රියා නිසයි. පසුග්ය 2005 - 2015 අන්ත දූෂිත මිනීමරු වනචර දශකය තුල ලංකාව ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණත් 2015-2019 අතර පැමිණි එජාප රජ විසින් ධම්මික පෙරේරා, හැරී ජවර්ධන, රන්ජිත් පේජ්, කෙන් බාලේන්ද්‍ර වැනි ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කර මේ වන විට ඔවුන් බිලියනපතියන් වීමට ඉතා ආසන්නයේ සිටිනවා.

    එක්සත් ජාතික පක්ෂය කොතරම් රට දවත් කිරීමට මහන්සි වුණත් ඉහත සඳහන් කළ ආර්ථික ඝාතක ක්‍රියාකරන මරාගේ කාලකණ්ණි වහල් බයි මීහරක් රැල තවත් ශ්‍රී ලංකා රටේ එමට සිටිති'යි යන කාරණය ඉතා බරපතලයි.

    පසුගිය කාලයේ මහ බයියා විසින් වශී බෝල කරකවමින්, හොරකම් කරමින් රට ආපස්සට ගෙන ගිය ආකාරය පිළිබඳව මෙය ඉතා හොඳ උදාහරණයක් බව කිව හැක.

    ලංකාවේ ෆෝර්බ්ස් බිලියනපතියන් නැද්ද? - නැත

    මේ සියල්ලට වග කිව යුතු වන්නේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මහ බයියා කියන මීහරකාගේ පාලනයේ පැවති වනචර දශකය තුල රාජපක්ෂ හැතිකරේ විසින් ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනින් හොරකම් කල දූෂිත කලු සල්ලි යොදවා මෙම හොර කල්ලි සහ ඒවා පවත්වාගෙන යන කුණුම කුණු ගොන් බයියන් තුල ඇතිකළ මර්දන්කාරී ගොන් මානසිකත්වයයි.

    මේ නිසා වත්මන් රජයට කිසිදු කලමණාකරන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට මෙම රාජපක්ෂ හොර කල්ලියේ වහලුන් ඉඩ නොදේ. රටේ තීරන ගන්නා සෑම තැනකම සිටින්නේ මහින්දගෙ මිනිස්සු.

    ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂ වලට සාපේක්ෂව, මේ අවස්ථාව වන විට, ආර්ථික ප්‍රතිපත්ති අතින් බැලුවොත් සමස්තයක් ලෙස වඩාත්ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ඉතිහාසය දිහා බැලුවත් බොහෝ විට අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරලා තිබෙන්නේ කිසියම් කාල පමාවකින් පසුව එජාපය සිටි තැනටම එන එකයි. ජවිපෙ පවා අන්තිමට කැරකිලා පැමින සිටින්නේ ඒ පාරටමයි.

    මීට පිළියමක් ලෙස අප කළ යුත්තේ දූෂිත රාජපක්ෂ හොර පවුලත් ඒ සමග බූරුවංස, මංගොංපිල, වට්ටක්ක වාසු _කා ඇතුළු උන්ගේ නලාකාර රිලා සට්ටැඹියනුත් උන්ට ගෑවුණ කිසිම හාල්පාරුවෙක්ටවත් කිසිසේත්ම නැවත බලයට ඒමට ඉඩ නොදී ඔවුන් මුළුමණින්ම විනාශ කොට 2020 තනිකර 2/3 එජාප රජයක් බලයට පත්කොට ගෙන ඉන් පසු දිගටම එජාප රජයක් 2150 පමණවත් වෙනතෙක් බලයේ තබා ගැනීමය. විසඳුම එය පමණි.

    රනිල් ඇතුළු පිරිස ක්‍රම ක්‍රමයෙන් මේ ප්‍රශ්න සියල්ල එකින් එක විසඳා ඉතා ඉක්මණින්ම රට සංවර්ධනය කරනු නිසැකය. විපක්ෂය වශයෙන් ජවිපෙ / ටී.එන්.ඒ වැනි පිරිසිදු ප්‍රවීණ බුද්ධිමතුගෙන් සමන්විත පක්ෂ පත්කොට ඒ බුද්ධිමතුගෙන් එම රාජකාරිය කරගත යුතුය.

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ

      ඇයි මේ වගේ වැදගත් බ්ලොග් අඩවියක , විශේෂයෙන්ම සාමාන්‍ය අයට තේරුම් ගත හැකි ආකාරයෙන්
      ආර්ථික විශ්ලේෂණ ඉදිරිපත් කරන තැනක , පිස්සන්ට , දේශපාලන සට්ටැබියන්ට අදහස් පල කරන්න දෙන්නේ

      Delete
  2. ඉකොනො,

    ශ්‍රී ලංකාවේ ෆෝබ්ස් බිලියනපතියන් බිහිකර ගැනීමටත් වඩා රටේ ආර්ථික සමෘද්ධිය වැඩිකරගැනීමට රාජ්‍ය මූල්‍ය පිස්කල් ආදී ප්‍රතිපත්ති වෙනස් විය යුත්තේ කෙසේදැයි පැහැදිලි කළ හැකිනම් වටිනවා. ඒ වගේම ඔබ මේ දවස්වල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 2019 සඳහා වූ ශ්‍රී ලංකාවේ අයවැය යෝජනා ගැන පෝස්ට් එකක් පලකල හැකි නම් ඉතාමත් වටිනවා.

    දැනට ශ්‍රී ලංකාවේ බලයේ සිටින එජාප රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලියේදී කැබිනට් මණ්ඩල ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කල හොත් කැබිනට් මණ්ඩලය අවසන් වන බව ශ්‍රී.ල.නි.ප. කියනවා. අනෙක් පැත්තෙන් එජාප මන්ත‍්‍රී පිරිසක් ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරවන්නේ යයි පවසමින් තවත් විකාරයක් නටනවා.

    ඉකොනො ඔබද අගය කරන/ සහය දක්වන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ ආදායම 2018 දී බිලියන 2,025 සිට 2019 දී බිලියන 2,464 දක්වා 22%කින් වැඩි වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. නමුත් 2017ට සාපේක්ෂව 2018 දී ආදායම වැඩි වුණේ 5%ක් පමණයි නම් ඊටත් වඩා දුෂ්කර වන 2019 දී ආදායම 22%කින් වැඩි වෙනවා කියන්නේ කොහොමද? මොකද ඛනිජතෙල් මිල පවා තවදුරටත් වැඩි වෙනවා කියා වත්මන් ආණ්ඩුවම පුරෝකතනය කරනවා. ඇත්තටම ආණ්ඩුවට ලැබිය හැක්කේ බිලියන 2,100 පමණ ආදායමක් පමණයි. ආදායම බොරුවට වැඩි කරලා පෙන්වන්නේ අයවැය පරතරය අඩුවෙන් පෙන්වලා ණය ගැනීම් අඩුවෙන් පෙන්වන්න බවත් මේ අයවැය එකම ණය උගුලක් බවත් විපක්ෂ පිරිස් චෝදනා කරනවා.

    ඔවුන් කියන්නේ අයවැය වාරතාවේ හැටියට ණය ලබා ගත යුත්තේ බිලියන 2,079ක්, බොරු ආදායම අඩු කරලා ඒක ණය වලට එකතු කළාම මේ වසර සඳහා ලබා ගත යුතු මුළු ණය ප්‍රමාණය බිලියන 2,443ක්, නිදහස ලැබූ දවසේ ඉඳන් 2015 වන තුරු ආණ්ඩුව ලබා ගත් සියළුම ණය තිබුණේ රු. ට්‍රිලියන 07 ක් බවත් මේ ආණ්ඩුව කාලය තුල ඒක ට්‍රිලියන 12 දක්වා වැඩි වුණ බවත් දැන් 2019 වසරේ දී පමණක් ණය ප්‍රමාණය ට්‍රිලියන 2.5කින් වැඩි වෙන බවත් පොදුජන පෙරමුණ පවසනවා.

    පොදුජන පෙරමුණේ ආර්ථික ඒකකයේ අය කියන්නේ මේ සඳහා අධි සුඛෝපභෝගී වාහන ඇතුලු අනවශ්‍යය ලෙස වාහන ගෙන්වීම යම් කාලයකට පමණ නවතා දැමීම, ප්ලාස්ටික් සෙල්ලම් බඩු සීමා කිරීම, කෘෂි බීජ මෙරට නිෂ්පාදනය කිරීමට දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් ඇතිකිරීම සහ විදේශ කෘෂි බීජ ආනයනය සීමා කිරීම, උසස් තත්වයේ නිමාවකින් යුතු ඇගලුම් ස්වදේශීය වෙළඳපොළ සදහා නිපදවීමට වැඩපිළිවෙළක් ඇති කිරීම, ඒ තුලින් වසරකට විදේශයන්ට ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයට මැටි ගඩොල් භාවිතා කිරීම, ඒ සදහා උසස් තත්වයේ මැටි ගඩොල් නිෂ්පාදනය කිරීමට රජය විසින් වැඩ පිළිවෙළක් ඇති කිරීම හා පුද්ගලික මැටි ගඩොල් කර්මාන්තය දිරිගැන්වීම, ඒ තුලින් සිමෙන්ති බ්ලොක්ගල් නිපදවීමට සිමෙන්ති සදහා විදේශයන්ට ඇදීයන මුදල් ඉතිරි කර ගැනීම, ප්‍රමිතියෙන් බාල කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකිරීමට ආනයනික භාණ්ඩ ප්‍රමිතිකරණ ජාතික ප්‍රතිපත්තියක් හදුන්වාදීම, ඒ තුලින් වසරකට විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම, කළු සල්ලි සංසරණය නැවැත්වීමට ඒකාබද්ධ ජාතික ආරක්ෂක වැඩපිළිවෙළක් ඇති කිරීම (ඇමරිකා එක්සත් ජනපදය මේ පිළිබඳව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයිලු එරට ආර්ථික සුරක්ෂිතතාවය සදහා, මේක ඇත්තක්ද?),මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මැඩලීමෙන් විදේශයන්ට ඇදීයන මුදල් නවතා ගැනීම, වාර්ෂිකව අයවැය පරතරය යම් පමණ අඩුකර ගැනීමට ඉවහල් වන බවයි. මේ ගැනත් ඔබට ලිවීමට හැකි නම් ඉතා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔතන එක එක ඒවා දාලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ආනයන සීමා කරනවා කියන එකනේ. තව දුරටත් කිව්වොත් අර හත් අවුරුදු සාපයට යන්න තමයි මේ කියන්නේ. අනික කියන ඒවත් වැඩපිළිවෙලක් ඇති කිරීම, ප්‍රතිපත්තියක් ඇති කිරීම වගේ පොදු ඒවා මිසක් නිශ්චිත නෑනේ. ලංකාවේ ඇඟලුම් දේශීය වෙළෙඳපොලට ගුණත්වය ප්‍රශ්නයක් නොවෙයි තියෙන්නේ මිල හා පිරිවැය ගැටළුවක්. මැටි ගඩොල් පාවිච්චි කරන ක්‍රමයක් NERD ආයතනයෙන් කාලෙකට ඉහතදි ආවත් ඒක ඉදිකිරීම් වේගය සම්බන්ධ ගැටළුවක් ආවා. ණය පිට ණය අරගෙන අන්තිමේදී රටේ රාජ්‍ය ණය වහන්න ඕනවට රජයේ බැංකු නමට විදේශ ණයත් අරගෙන දැන් ණය වැඩියි කියලා වැඩක් නෑනේ.

      Delete
  3. "ලංකාව ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්කය පස්සේ කාලයක් තිස්සෙම ඕනෑවට වඩා පන්නල තියෙන රටක්. දැන් හෝ කළ යුත්තේ ආදායම් ඉපැයීමේ ශක්‍යතාවයක් තිබෙන අයට, විශේෂයෙන්ම ආදායම් මට්ටම අතින් පහළින්ම සිටින කණ්ඩායම් වල එවැනි අයට, ආර්ථිකයට අගයක් එකතු කරමින් ධනවතුන් වෙන්න තිබෙන බාධා අවම කරන එක මිසක් ආදායම් විෂමතා නැති කිරීමේ ඉලක්ක පස්සේ පන්නා රටේ ආර්ථික වර්ධනය අඩාල කරන එක නෙමෙයි."

    මෙම කතාවට මම එකග වෙනවා පහල කරනා සම්පුර්ණ නම්,

    1) මුදල් තුබුන පලියට ලංකාවේ Resources නාස්ති කරන්න බැරිවෙන්න ඕන
    උදා: සල්ලි තිබුනට කැලේ කපන්න බැරිවෙන්න ඕන
    සල්ලි තිබුනට Fuel නාස්ති කරන්න බැරි වෙන්න ඕන 1L වලට 3 or 4 km ඔය විනෝද වැඩ (රේස් ) වලට Tax ගහන්න ඕන.

    2) මුදල් තුබුන පලියට ලංකාවේ නිතිය උල්ගන්ගනය කරන්න බැරි වෙන්න ඕන.
    3) මුදල් තුබුන පලියට ලංකාවේ සුළු වියපාර බංකොලොත් කරන්න බැරි වෙන්න නිතිය හැදෙන්න ඕන.
    4) මුදල් තුබුන පලියට Import/Export ලංකාවේ violate කරන්න බැරි වෙන්න ඕන.

    ReplyDelete
  4. මෙහෙම දේවල් සාකච්ඡාවට බඳුන් වීම ගැනත්, ප්‍රතිචාර ගැනත් හරි සතුටුයි!

    ඉහළ තියෙන කමෙන්ට් එකකදී දීප්ත විකී කියනවා වගේ වාරණ නොදැමීම ගැන මම නම් ඉකොනෝ එක්ක එකඟයි. එවැනි විරෝධයන් පවා අවශ්‍යයි, සාකච්ඡාවක් ප්‍රාණවත් වීමට. අනෙක එහෙම දක්වන විරෝධය ප්‍රාථමික වෙන තරමට; තාර්කික නොවෙන තරමට පෝස්ටුවේ දිදුලීම වැඩි වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම පොයින්ට් එකට ඇවිත් තිබෙනවා. අප ලියූ දෙයකට කවර හෝ පැහැදිලි තර්කානුකූල පදනමක් සහිතව විරෝධතා දක්වා ඇති හැම විටකම වගේ අප ඒ විරෝධතා වලට පිළිතුරු සපයා තිබෙනවා. මෙවැනි ප්‍රතිචාර වලින් කරුණු දෙකක් පෙනෙනවා. පළමු කරුණ අප කියවන දේ හා එකඟ නොවන අයත් අපව කියවනවා කියන එකයි. එය සතුටට කරුණක්. අප හිතන විදිහටම හිතන අය පමණක් වෙනුවෙන් ලියන එකේ තේරුමක් නැහැ. ඒ අය කොහොමටත් හිතන්නේ අප හිතන විදිහට නිසා ඔවුන්ට අප ලියන දේවල් වල අමුත්තක් නැහැ. දෙවන කරුණ අප ලියන දේ හා එකඟ නොවන අයට වුවත් මෙවැනි ප්‍රතිචාර දමනු හැර තර්කානුකූලව විරෝධයක් දැක්වීමේ හැකියාවක් නැති බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: