වෙබ් ලිපිනය:

Wednesday, March 6, 2019

රත්තරන් වූ ගිතෙල් හා සඳුන්


පසුගිය ලිපිය සමඟ පලකළ මහින්ද විසින් තිරුපතියට තුලාභාර දෙන ඡායාරූපය කලින් දැක නැති බව කියන නයනේ විසින් එය පොටෝෂොප් පින්තූරයක්දැයි සැක පහළ කර තිබෙනවා. සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙවැනි ඡායාරූප බොහොමයක් පොටෝෂොප් කළ ඒවා.

එපමණක් නෙවෙයි බොහෝ විට ප්‍රධාන මාධ්‍ය වල දකින්න ලැබෙන්නේත් පොටෝෂොප් කළ ඡායාරූප හෝ ඔවුන්ගේ පුස්තකාල වලින් හෝ දැන්නම් අන්තර්ජාලයෙන් ගත් පැරණි ඡායාරූප මිස වාර්තා කරන සිද්ධියට අදාළ සැබෑ ඡායාරූප නෙමෙයි. ඒ නිසා, ඡායාරූපයක් පොටෝෂොප් කළ එකක් නොවන බව ස්ථිරව කියන එක ගොඩක් අසීරු වැඩක්.

සමහර අය ඇත්ත ඡායාරූප පොටෝෂොප් ඡායාරූප බව කියන්න සැබෑ ඡායාරූපය ලෙස පොටෝෂොප් කළ ඡායාරූප පෙන්වන වෙලාවලුත් තිබෙනවා. මේ ගොඩක් දේවල් වලින් තහවුරු වෙන්නේ අප දකින්නේ නිර්මිත යථාර්තයක් හෝ වෙනත් සාපේක්ෂ යථාර්තයක් මිස නිරපේක්ෂ යථාර්තයක් නොවන බවයි.

පොටෝෂොප් කළ එකක් වුවත් නැතත් මහින්ද තුලාභාර දෙන  ඡායාරූපය අපටනම් වසර ගණනකට පෙර සිටම දැක පුරුදු එකක්. එය හෝ එවැනි ඡායාරූප දෙස් විදෙස් මාධ්‍ය ගණනාවක පළ වී තිබෙනවා. ඒ වගේම, අප දන්නා තරමින් මහින්දගේ තුලාභාර කතාව කාලයක් තිස්සේම බොහෝ දෙනෙක් දැන සිටි, මාධ්‍ය වල කතා බහට ලක් වූ පුවතක්. නයනේ වැනි කෙනෙක් ඒ ගැන දැන නොසිටීම පුදුමයක්.

මහින්දගේ කාලයේ යුද්ධය අවසන් වීම නිසා බොහෝ දෙනෙක්ට මහින්ද වීරයෙක්ව සිටිනවා. තමන්ගේ වීරයින්ගේ තමන් කැමති නැති පැති නොපෙනී යාම අමුතු දෙයක් නෙමෙයි. මේ විදිහට මහින්ද හා සම්බන්ධ තවත් බොහෝ දේ ලංකාවේ සාමූහික මතකයෙන් ගිලිහෙමින් තිබෙනවා.

මහින්ද මුලින්ම ජනාධිපති සේ තේරී පත් වුනු 2005 ජනාධිපතිවරණයේදී ඔහු 50% ඉක්මවා ලබාගත්තේ ඡන්ද 28,633ක් පමණයි. මේ මැතිවරණයේදී ප්‍රභාකරන් විසින් උතුරේ ඡන්ද තහනමක් ක්‍රියාත්මක නොකළේනම් මැතිවරණ ප්‍රතිඵලය මීට වඩා වෙනස් විය හැකිව තිබුණු බව පැහැදිලි කරුණක්. මහින්දගේ 2005 මැතිවරණ ජය පසුපස වූ තීරණාත්මක සාධකය වුනේ ප්‍රභාකරන්.

ඒ වගේම, මහින්ද 2005 මැතිවරණයට ගියේ එල්ටීටීඊ සංවිධානය සමඟ සාම සාකච්ඡා කරන බව කියමින් මිස යුද්ධය හරහා උතුරේ ප්‍රශ්නය අවසන් කරන බව කියමින් නෙමෙයි. මැතිවරණ ජයෙන් පසුවත්, මහින්ද උත්සාහ කළේ ප්‍රශ්නය සාකච්ඡාවෙන් විසඳන්නයි. එය නොකළ හැකි වූයේ ප්‍රභාකරන්ගේ පැත්තෙන් සාකච්ඡා සඳහා සැබෑ උවමනාවක් නොතිබීම හේතුවෙනුයි. එක පැත්තකින් ප්‍රභාකරන් විසින් දිගින් දිගටම යුද්ධයම ඉල්ලා සිටිද්දී මාවිල්ආරු සිදුවීමෙන් පසුව රතන හිමි වැනි අය මහින්දගේ ආණ්ඩුව යුද්ධයට බලෙන් වගේ තල්ලු කළා. ප්‍රතිඵලය නරක එකක් වුනානම් එහි බර ඔවුන් වෙත වැටෙනවා.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයට ඉස්ලාම් ත්‍රස්තවාදය ප්‍රශ්නයක් වීමෙන් පසුව ත්‍රස්තවාදය සම්බන්ධ ඔවුන්ගේ ආකල්ප වෙනස්වීම, ඉන්දියාවේ ස්ථාවරය වෙනස්වීම හා මහින්ද ඇතුළු කණ්ඩායම යුද්ධයේ අවසන් අදියරේදී සෘජු ස්ථාවරයක සිටීම මත යුද්ධය අවසන් වුනා. ඒ එක්කම කාලයක් තිස්සේ ලංකාවේ මධ්‍යම රජයේ පාලනයෙන් ගිලිහී අර්ධ-ස්වාධීන ආර්ථිකයක් ලෙස පැවතුණු ප්‍රදේශ නැවත එකම ආර්ථිකයක කොටසක් බවට පත් වී රටේ දළ දේශීය නිෂ්පාදිතය වසර කිහිපයක කෙටි කාලයක් තුළ එක් වර ඉහළ ගියා. යුද්ධය අවසන් වීමේ හා එහි වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ප්‍රසාරණය වීමේ වාසිය රාජපක්ෂ ආණ්ඩුවට ලැබී මහින්ද බොහෝ දෙනෙකුගේ වීරයෙක් වුණා. දැන් ඇතැම් අයට 2005 දී මහින්ද කළ කී දේ අමතකව තිබීම පුදුමයක් නෙමෙයි.

ජනාධිපති සේ මුලින්ම පත් වීමෙන් පසුව මහින්ද විසින් මුලින්ම කළ කාර්යයක් වුනේ තිරුපතියට ගොස් තුලාභාරය ඔප්පු කිරීමයි. මහින්ද ජනාධිපති සේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වෙනිදා. ඔහු තිරුපතියට ගොස් තුලාභාර පූජාව සිදු කර තිබෙන්නේ 2005 දෙසැම්බර් 30 සිකුරාදා.

තිරුපති ගොස් තුලාභාර කරන කෙනෙකු තමන්ගේ බරට රත්තරන්ම පූජා කළ යුතු නැහැ. රත්තරන් පූජා කිරීමක් සිදුවනවානම් එය සිදුවනවා ඇත්තේ ඉතා කලාතුරකින්. රිදී, යකඩ වැනි වෙනත් ලෝහ වර්ගයක්, ධාන්‍ය හා පළතුරු වර්ග ඇතුළු ආහාර වර්ගයක් හෝ ඒ මුකුත්ම නැත්නම් තමන්ගේ බරට වතුර වුවත් එහිදී පූජා කළ හැකියි. මෑතකදී නරේන්ද්‍ර මෝදි විසින් තමන්ගේ බරට නෙළුම්මල් පූජා කර තිබුණා. තුලාභාර සඳහා අවශ්‍ය ගොඩක් දේවල් එහිදීම මුදල් ගෙවා ලබා ගත හැකියි.

තිරුපති ගමනේදී මහින්ද රාජපක්ෂ විසින් කුඩා රන් ඔටුන්නක් හා පිත්තල පහනක් තිරුපතියට පූජා කර තිබෙන අතර ඊට අමතරව තමන්ගේ බරට සමාන බරක ගිතෙල් තිරුපතියට පූජා කර තිබෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඉහත කතා කළ ඡායාරූපය ඒ අවස්ථාවේදී ගෙන තිබෙන එකක්. එම වාර්තා වල මහින්දගේ බර කොපමණදැයි වාර්තා වී නැහැ.

මහින්ද විසින් තමන්ගේ බරට රත්තරන් පූජා කළ කතාව 2015 මැතිවරණ සමයේ ප්‍රචාරය වූ බොරුවක්. ඔහු ඉහත කී රන් ඔටුන්න හැර වෙනත් රත්තරන් තිරුපතියට පූජා කර ඇති බවක් මා දන්නේ නැහැ. මේ ගමනින් පසුවත් වරින් වර මහින්ද තිරුපතියට ගොස් තිබෙනවා. ඇතැම් විට 2005ට පෙරත් මහින්ද තිරුපති යන්න ඇති.

මහින්ද වගේම රනිලුත් නිතර තිරුපති යන බව පේනවා. 2015 ජනාධිපතිවරණයෙන් පසුව, අගෝස්තු මහ මැතිවරණයට පෙර, රනිල් තිරුපතියට ගොස් තිබෙනවා. 2015 අප්‍රේල් 18 වෙනිදා ඔහු තමන්ගේ බර වූ කිලෝග්‍රෑම් 77ක ප්‍රමාණයක, රුපියල් 847,000ක් වටිනා සඳුන් තුලාභාරයක් සේ  පූජා කර තිබෙනවා. මේ රුපියල් ඉන්දියන් රුපියල් විය යුතුයි. පසුගිය ලිපිය සමඟ පළ කර තිබෙන ඡායාරූපයේ දැකිය හැකි කුට්ටිසාක්කු ඇතුළේ තිබෙන්නේ එම සඳුන් වෙන්න පුළුවන්. මේ කුට්ටිසාක්කු කියන වචනයේ සාක්කු කෑල්ල බිඳී ඇවිත් තියෙන්නේ sack යන්නෙන් බව පෙනෙන නමුත් කුට්ටි යන්නේ ප්‍රභවය කුමක්ද කියන එක පැහැදිලි නැහැ.

මාධ්‍ය වාර්තා වල තිබෙන ඉන්දියානු රුපියල් 847,000ක වටිනාකම නිවැරදිනම් රනිල් වික්‍රමසිංහ විසින් සඳුන් කිලෝ ග්‍රෑමයක් මිල දී ගෙන තිබෙන්නේ ඉන්දියානු රුපියල් 11,000 බැගින්. මේ වන විට තිරුපතියේ මයිසූර් සඳුන් විකුණන්නේ කිලෝ ග්‍රෑමයක් ඉන්දියානු රුපියල් 23,000ක මිලටයි. ඇතැම් විට පසුගිය කාලයේ මිල වැඩිවුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් පිටින් අඩුවට සඳුන් අරන් ගියා වෙන්නත් පුළුවන්.

මේ වන විට තිරුපතියේ ගිතෙල් කිලෝ ග්‍රෑමයක් විකුණන්නේ ඉන්දියානු රුපියල් 400 බැගින්. පෙනුම අනුව මහින්ද රනිල්ට වඩා බර වැඩියි කියා හිතන්න පුළුවන්. අපි මහින්දගේ බර විදිහට කිලෝ ග්‍රෑම් 90ක් දැම්මත් තුලාභාරයේ ගිතෙල් වල වටිනාකම ඉන්දියානු රුපියල් 36,000ක් පමණයි. රනිල්ගේ සඳුන් වලට වඩා ගොඩක් අඩුවෙනුයි මහින්දගේ ගිතෙල් වලට මුදල් වැය වී තිබෙන්නේ. අර කුඩා රත්තරන් ඔටුන්නටයි පිත්තල පහණටයි තව කීයක් හරි යන්න ඇති.

මහින්ද විසින් තුලාභාර පූජාව සිදුකර තිබෙන ඔහුගේ 2005 ඉන්දියානු සංචාරය පිළිබඳ තොරතුරු 2005 දෙසැම්බර් 31 "ද හින්දු" පුවත්පත වාර්තා කර තිබෙන්නේ මෙහෙමයි.

අපේ ප්‍රමුඛතාවය සාම ගිවිසුමක්- රාජපක්ෂ 

මාණ්ඩලික වාර්තාකරු විසිනි.

'අප සාකච්ඡා සඳහා කොටි සංවිධානයට ආරාධනා කර ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා.' පසුගිය සිකුරාදා ගුරුවායර්හි ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලයේදී තුලාභාර පූජාවේ යෙදෙන අතරතුර ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි.

ගුරුවායර් සිට: ජනවාර්ගික සටනින් බෙදී ඇති සිය රට තුළ සටන් විරාමයක් ඇති කර ගැනීම සිය රජයේ ක්ෂණික අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කියා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙසේ ප්‍රකාශ කළේ සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂද සමඟ ශ්‍රී ක්‍රිෂ්ණා දේවාලය වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

"අපට අවශ්‍ය සාමයයි, සියල්ලන්ටම සාමය" දේවාලය ඉදිරිපිටදී මාධ්‍යකරුවන් අමතමින් ඔහු පැවසීය.

කොටි සංවිධානය සමඟ නැවත අළුතින් සාම සාකච්ඡා ආරම්භ කරන්නේද යන පැනයට රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. "අප විසින් දැනටමත් ඔවුන්ට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබෙනවා. අප ඔවුන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් ඉන්නවා."

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් විසින් සටන් විරාම ගිවිසුමක් සඳහා කළ ආරාධනය පිළිගනු ගනු ඇත්දැයි විමසීමේදී ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ "මම එහෙම හිතනවා" යන්නයි. තිරුපති ගමන ගැන විමසීමේදී ඔහු මෙසේ පැවසීය. "අපට අවශ්‍ය සාමයයි. සියල්ලන්ටම සාමය ඉල්ලා යාඥා කරන්න මෙහි ආවේත් ඒ නිසයි."

ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය හැක්කේ උතුරු නැගෙනහිර පළාත් වල ආර්ථික සංවර්ධනය තුළින් පමණක් බව පැවසූ රාජපක්ෂ මහතා ඒ සඳහා ඉන්දියාව විශාල සහයෝගයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු පළ කළේය.

සිය ඉන්දීය සංචාරය ඉතා සාර්ථක එකක් වූ බව පැවසූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ විශාල ඉඩකඩක් පෙනෙන්නට ඇති බවද පැවසීය. රාජපක්ෂ මහතා දේවාලයේදී ගිතෙල් වලින් තුලාභාර පූජාව සිදු කළේය. ඊට අමතරව සම්ප්‍රදායික පිත්තල පහණක් හා කුඩා රන් ඔටුන්නක්ද ඔහු දේවාලයට පූජා කළේය.

(Image: https://www.cntraveller.in/story/tirumalas-tirupati-temple-may-shut-five-days-august/)

9 comments:

  1. So Mahinda did not bring 'Siyambala' at all.(only Rathana and others)

    ReplyDelete
    Replies
    1. I didn't say so. He fought a battle he was forced to when he was left with no other viable alternative. When the ball started rolling, he pushed it forward with no turning back under very challenging circumstances until the target was hit, which eventually turned into his jackpot.

      Delete
  2. මට හිතෙන්නේ තිරුපතියේ සාමිලා ඉතා රහසිගත /විශ්වාසදායක / නොබැදුනු / ගෞරවාන්විත රහස් පණිවිඩ හුවමාරුකරුවන් වශයෙන් ක්‍රියාකරනවාය කියා. කලාපයේ මුස්ලිම් නොවන සියළු බලවත් නායකයන් සමඟ ඔවුන්ට සබඳතා තියනවා, ඒයාලාට අතතියන්න කාටවත් බෑ, ඒ්කියන්නේ ඔවුන් මඟින් තොරතුරු හුවමාරුකරොත් ඒ්වා ගැන රාජ්‍යතාන්ත්‍රිකයන්ට සහ රහස්තොරතුරු කාර්යන්ශ අතට පත්වෙන්නේ නෑ. ඉස්සර වතිකානුවෙත් ඒ් වගේ අය හිටියා කියනවා නේද?

    ReplyDelete
  3. ජනතාවගෙන් ඡන්දය ඉල්ලා, එසේ ළැබෙන ඡන්දයෙන් දිනා, අන්තිමේ දී එක එක දෙයියලාට බාර ඔප්පු කරලා මුං සේරම කොකා පෙන්වන්නේ ජනතාවට ම යි.

    හැබැයි ඒ ජනතාවගෙන් අති බහුතරයක් ද ඒ වගේ ම මෝඩයින් නිසා අවුලක් නෑ!

    1.
    මී හරකයි, එළ හරකයි? - Thirupathi worshiping, yuk!
    http://rasikalogy.blogspot.com/2015/02/thirupathi-worshiping-yuk.html


    2.
    ඇයි ඉලෙක්ෂන් එකට අපි සියඹලා ගේන්න ම එපාද? - Our politicians and their foolishness
    https://rasikalogy.blogspot.com/2015/03/our-politicians-and-their.html


    .

    ReplyDelete
  4. කුට්ටි යන්නේ ප්‍රභවය දෙමළ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ, වැරදුණා දෙමළෙන් කුට්ටි කියන්නේ පැටියාටයි.
      සංස්කෘත/පාලි වචනයක් වෙන කුටි/කුටීර යන වචනය විය හැකියි නේද?

      Delete
  5. //රනිලුත් නිතර තිරුපති යන බව පේනවා.//

    ඉකොනොමැට්ටා ඔබට මතකද නංගිලා මල්ලිලාට බ්‍රේස්ලට් දෙනව, විට කන නාකින්ට චුවින්ගම් දෙනව කියල රනිල් ලොක්කා කාලයක් කිව්වා. ඊට පස්සෙ පස් දුන්න පලාතට පස්-දුන් කෝරලේ කියනව කිව්වා. තමන් මහ පැරකුම්බා වගේ රියල් පොරක් කියල පොර ටෝක් දෙන්න ගිහින් හොඳටම කිච වුණා, මේකා දන්න ආර්ථිකයකුත් නැහැ, ගොවිතැනකුත් නැහැ. පෝර මිල වැඩිකර කුඹුරැ ඉඩම් ගොඩ කරන්න ඕනා කියපු මේ බැඳුන්කර හොර තක්කඩියට දැන් නම් හොඳටම පිස්සු, එහෙම නැත්නම් ගොන්ජ කිව්ව වගේ කොකේන් ගහලා. ඒත් විල මැද හරක් ගාලේ 225න් 224ක් අන්දලා කපටිකමින් සම්මත කරගත්තු 19 නිසා මුලු රටම අකමැති වුනත් වසර 4 1/2 ක් දිගටම මූ අගමැති. ඒකටත් දැන් හදන්නනෙ වැලේ වැල් නැතුව ඉන්න ජෙප්පො ලවා 20 ගෙනත් මැදමුලන පොල් රැවුල් මහ බයි කම්බ හොරාවත් අන්දල මැරෙනකන් අගමැති වෙලා ඉන්න, එහෙම නේද? මේ කාලකණ්ණි ඒකාධිපති මලපෙරේත කැනහිලාව එලවන්න කරන්න තියෙන එකම මාර්ගය ගඩාෆිල, බැටිස්ටල, සාර්ල වගේ ආයුධ සන්නද්ධ කැරැල්ලක් මගින් පමණයි. නොදකින් මූව හෙන ගහල මැරිල යන්න ඕන.

    ReplyDelete
  6. යුද්ධ කියන ඒවා කොහොමත් ඉවර වෙනවා.. හැමදාම තියෙන ඒවා නෙවෙයි.. මහින්ද ඉවර කරපු යුද්ධයක් නෑ.. කරුමෙට වගේ යුද්ධය ඉවර වෙද්දි ජනාධිපති වෙලා හිටියේ මහින්ද. එච්චරයි !

    https://www.facebook.com/gossipsrilankanews/videos/2082225501991869/?t=0

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා තුමාට මා ඉදිරිපත් කල සැකය මත එය නිශ්ප්‍රභ කිරීමට සම්පූර්ණ ලිපියක් ලිවීම ගැන මා සතුටට පත් වෙනවා.
    මා කීවේ මා එය නොදැන සිටි බවත් පල කර ඇති ඡායාරුපය සැක කල හැකි බවත් පමණයි.
    එසේ නැතිව මහින්ද යනු එවැනි මිත්‍යා විශ්වාස රහිත දාර්ශනිකයෙකු යැයි මා කීවේ නැහැ. එසේම මේ පූජාවන් සඳහා කරන වැය පිළිබඳ මා වත්මන් පාලකයන්හට ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් පෙර පාලකයන් නොදොස් කලේද නැහැ.
    ඒ නිසා මා හට මගේ රුචිකත්වය අනුව කොටසක ගේ වැරදි පෙනෙන බව කියමින් ඔබ නගන චෝදනාවනම් මා සරලවම බැහැර කර දමනවා.

    වත්මන් තවයට සාපේක්ෂව පෙර පාලනය යහපත් බව මා කීවත් ඔවුන්ගේ සියළු අසූචි සුද්ද කිරීමට තරම් මා නිහීනයෙකු නොවෙයි.

    ලංකාවේ එවන් සුදු පාලකයන් පිළිබඳ මා අසා නැත. ඔබලා මහින්දගේ මල්ලේ සියඹලා ඇටයක් වත් නොදුටුවාට මා එසේ අන්තගාමී දැක්මක් ඇතියෙකු නොවෙයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: