වෙබ් ලිපිනය:

Saturday, March 9, 2019

දෙකට බෙදෙන්නට යන ලොකුම සල්ලි කන්ද


දෙවසරකට පමණ පෙර ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමහර අය තවමත් දිගින් දිගටම උපුටා දක්වනවා. මේ ගැන මම මීට පෙරත් වරින් වර කතා කර තිබෙනවා. මේ සංඛ්‍යාලේඛණය අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමානයි.

ඔය සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන කාලයේ ලැයිස්තුවේ ඉහළින්ම හිටියේ බිල් ගේට්ස් වුවත්, දැන් ලෝකයේ ලොකුම ධනවතා ජෙෆ් බෙසෝස්. ඇමසන් සමාගමේ නිර්මාතෘ වන ජෙෆ්ට මේ වන විට එම සමාගමේ කොටස් මිලියන 78.8ක් පමණ අයිතියි. අද (මාර්තු 8) දිනය අවසන් වෙද්දී ඇමසන් කොටසක් විකිණුනේ ඩොලර් 1620.80 බැගිනුයි. මේ කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 127.7ක් පමණ වෙනවා. ඔහු සතු වෙනත් වත්කම්ද ඇතුළුව, අද දිනය අවසන් වන විට ජෙෆ් බෙසෝස් සතු වූ මුළු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 134.4ක්.

ප්‍රින්ස්ටන් සරසවියෙන් පරිගණක විද්‍යා හා විදුලි ඉංජිනේරු උපාධිධරයෙකු සේ පිටවීමෙන් පසුව, 1994දී ඇමසන් සමාගම ආරම්භ කරන්නට පෙර, ජෙෆ් රැකියා කිහිපයක්ම කළා. 1993 වසරේදී මැකෙන්සි ටට්ල් සමඟ විවාහ වන විට ජෙෆ් වගේම මැකෙන්සිත් සේවය කරමින් හිටියේ නිවුයෝර්ක්හි ආයෝජන කළමණාකරණ සමාගමකයි. එම වසරේදී අන්තර්ජාල පරිශීලනයේ සිදුවූ ඇදහිය නොහැකි තරම් ඉහළ වර්ධන වේගය ජෙෆ්ට ඇමසන් වැනි ව්‍යාපාරයක් අරඹන්න පෙළඹුමක් ඇති කර තිබෙනවා.

ජෙෆ් මුලින්ම ඇමසන් සමාගම පටන් ගන්නේ ඔහුගේ නිවසේ ගරාජයේ සිටයි. තමන් ඉතිරි කරගත් ඩොලර් 10,000ක මුදල් යොදවමින් 1994 ජූලි 5 වෙනිදා ජෙෆ් ඔහුගේ බිරිඳ මැකෙන්සිවත් හවුල් කර ගනිමින් මේ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඇමසන් සමාගම කියා ලිවුවත් මුලින්ම මේ සමාගම හැඳින්වුණේ ඇමසන් නමින් නෙමෙයි. කඩබ්‍රා ලෙසයි. ඇමසන් ලෙස නම වෙනස් කරන්නේ 1995දී.

මුලින්ම මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම පිණිස මුදල් ආයෝජනය කළ පිරිස අතරින් ජෙෆ්ගේ දෙමවුපියන් දෙදෙනා කැපී පෙනෙනවා. ඔවුන් විසින් මෙසේ යොදවන්නේ ඔවුන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් එකතු කරගෙන තිබූ ඩොලර් 245,573ක මුදලකුයි. අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් නොදන්නා ජෙෆ්ගේ දෙමවුපියන් තමන් ජීවිත කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් ජෙෆ්ට දෙන්නේ තමන්ගේ පුතා ගැන තිබෙන විශ්වාසය මතයි. ඒ මුදල් නැති වෙන්න 70%ක පමණ ඉඩක් ඇති බව ජෙෆ් ඔවුන්ට පැවසූ බව සඳහන්.

වසරකට පෙර මිය ගිය මගේ පියා ජීවත්ව සිටියදී රජයේ රැකියාවක් කළ අයෙක්. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් වුනේ ඔය රස්සාව පරිස්සම් කර ගැනීමයි. ඔහු බොහෝ වර ඒ බව කෙළින්ම කියා තිබෙනවා. යම් හෙයකින් කරමින් හිටපු රස්සාව නැති වුනානම් රස්සාවෙන් ඉපැයූ පමණ ආදායම් ඉපැයිය හැකි වෙනත් දෙයක් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු විශ්වාස කරන්න ඇති. ඔහු අකුරටම නීතිය පිළිපැදපු කෙනෙක්. එහෙම කළේත් රස්සාව නැති කරගන්න තිබුණු බය නිසා මිසක් යුක්තිගරුක හෝ ප්‍රතිපත්තිගරුක වූ නිසාම නෙමෙයි. නීතියට වෙට්ටු දැමිය හැකි අවස්ථා වලදී ඔහු ඒ සඳහා පැකිළුනේ නැහැ.

කුඩා කාලයේ මා ඇසුරු කළ බොහෝ වැඩිහිටියන් විශ්‍රාම වැටුප් සහිත ආණ්ඩුවේ රස්සාවක් කරන කෙනෙක් දිහා බැලුවේ ජීවිතය ජයගත් කෙනෙක් විදිහටයි. ලංකාවේ වෙනත් ගොඩක් අය වගේම මුල් කාලයේදී මගේ ඉලක්කය වුණෙත් ඔය ආකාරයේ ස්ථිර රස්සාවක්. විශ්‍රාම වැටුප් වරප්‍රසාද රහිත රැකියාවක් කර ජීවිතයේ අවසන් කාලය ගෙවන්නේ කොහොමද කියන එක ඒ කාලයේ මට විශාල ප්‍රහේලිකාවක්.

ඇමරිකාවේ ආණ්ඩුවේ රස්සා කරන අය වැඩිපුර නැහැ. වෙනත් රැකියා කරන බොහෝ දෙනෙක් විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය පමණ මුදලක් රැකියා කරන කාලයේදී ඉතිරි කර ගත යුතුයි. නිදහසේ විශ්‍රාම ගත හැක්කේ මේ විදිහට ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගෙන ඇත්නම් පමණයි. රැකියා කරන කාලයේදී සමාජ සංරක්ෂණ බදු සේ අයකරගන්නා මුදල් වලින් විශ්‍රාම වැටුපක් ලැබුණත් එය ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් නෙමෙයි.

බොහෝ ඇමරිකානුවන් රැකියා කරන කාලයේදී කිසියම් මුදලක් විශ්‍රාම වැටුප් අරමුදලකට බැර කරනවා. මෙවැනි අරමුදල් කළමනාකරණය කරන සමාගම් ඒ මුදල් මුලදී කොටස් වෙළඳපොළේත්, විශ්‍රාම වයස ආසන්න වෙද්දී බැඳුම්කර වලත් ආයෝජනය කර අවදානම හා ගලපමින් හැකි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්න උත්සාහ කරනවා. විශ්‍රාම යාමෙන් පසුව මේ විදිහට ඉතිරි කරගත් මුදල් වලින් කිසියම් මුදලක් මාස්පතා ආපසු ගැනීමෙන් රැකියා කරන කාලයේ පවත්වාගත් ජීවන තත්ත්වය ඒ විදිහටම හෝ ආසන්න මට්ටමක පවත්වා ගන්න පුළුවන්.

ඇමරිකානුවන්ගේ විශ්‍රාම ඉතිරි කිරීම් මුල් කාලයේදී කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්නේ එහි ප්‍රතිලාභ බැඳුම්කර ප්‍රතිලාභ වලට වඩා කිහිප ගුණයකින්ම වැඩි නිසයි. නමුත්, විශ්‍රාම යන්න කිට්ටුව මේ අරමුදල් කොටස් වෙළඳපොළ ආයෝජන වලම රඳවා තැබීම අවදානම අධික කටයුත්තක්. කොටස් වෙළඳපොළ කඩා වැටුණොත් එය විශ්‍රාම ජීවිතයට විශාල සේ බලපානවා.

ජෙෆ් බෙසෝස්ගේ දෙමවුපියන් තමන්ගේ විශ්‍රාම දිවිය ගෙවන්න කාලයක් තිස්සේ එකතු කරගත් අරමුදල් ජෙෆ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවීමෙන් විශාල අවදානමක් ගෙන තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ විශාල මුදල් ලාභයක් ලැබීමේ අරමුණින්ම නෙමෙයි. ජෙෆ් පටන්ගන්න යන ව්‍යාපාරයේ ස්වභාවය ගැන පමණක් නෙමෙයි අඩු වශයෙන් අන්තර්ජාලය කියන්නේ කුමක්ද කියාවත් ඔවුන් දැන සිට නැහැ. මේ අවදානම ඔවුන් විසින් ගන්නට ඇත්තේ තමන්ගේ පුතා පිළිබඳ වූ විශ්වාසය මත හෝ ඔහුගේ අභිවෘද්ධිය පිණිස දරුවා කෙරෙහි වූ ආදරය මත පදනම්ව විය යුතුයි. එසේ කිරීමෙන් අර අවදානම ඉක්මවන සතුටක් ඔවුන් ලබන්න ඇති.

වසර කිහිපයක් පුද්ගලික සමාගමක් සේ ක්‍රියාත්මක වූ ඇමසන් සමාගම 1997 මැයි 15 වෙනිදා පොදු සමාගමක් බවට පත් වෙනවා. කොටස් වෙළඳපොලේ අළෙවිකරන සමාගම් කොටස් මිලියන 3ක් එක් කොටසක් ඩොලර් 18 බැගින් අලෙවි වෙනවා.

මේ වෙද්දී ඇමසන් සමාගම විසින් කොටස් 23,858,702ක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ජෙෆ් බෙසෝස් ඇතුළු මුල් අයිතිකරුවන් අතේ කොටස් 20,858,702ක් තිබෙනවා. ඇමසන් සමාගම (හෝ වෙනත් සමාගමක්) පොදු සමාගමක් වන විට ඒ මුල් කොටසක වෙළඳපොළ වටිනාකම කුමක්ද කියා නිශ්චිතව තීරණය වෙනවා. ඒ වගේම සමාගමේම වෙළඳපොළ වටිනාකමත් දැනගන්නට ලැබෙනවා. එක් කොටසක් ඩොලර් 18ක් සේ සැලකූ විට මේ වෙද්දී සමාගමේ වටිනාකම ඩොලර් මිලියන 430ක් පමණ වුණා.

මේ වන විට නිකුත් කර තිබෙන ඇමසන් කොටස් ප්‍රමාණය මිලියන 491.2ක්. ඒ සියළු කොටස් වල වටිනාකම ඩොලර් බිලියන 796ක්. මුළු කොටස් ප්‍රමාණයෙන් 16%ක පමණ හිමිකම තවමත් තිබෙන්නේ ජෙෆ් බෙසෝස්ටයි.

ඇමසන් සමාගම පොදු සමාගමක් බවට පත් වන්නට පෙර සමාගමේ කොටස් වලින් 48.3%ක, එහෙමත් නැත්නම් කොටස් 9,885,000ක හිමිකරු වුනේ ජෙෆ් බෙසෝස්. පොදු සමාගමක් බවට පත් වීමෙන් පසුව මුල් වසර කිහිපය ඇතුළත ඇමසන් කොටසක් 1:2, 1:3 හා 1:2 ලෙස තෙවරක් විභේදනය කරනු ලැබ ඇති නිසා මේ කොටස් ප්‍රමාණය සමාන කළ හැක්කේ වත්මන් ඇමසන් කොටස් මිලියන 118.62කටයි. නමුත්, මේ වන විට ජෙෆ්ගේ ඇමසන් කොටස් හිමිකම කොටස් මිලියන 78.8කට සීමා වන නිසා ඔහු තමන් සතු වූ ඇමසන් කොටස් වලින් තුනෙන් එකක් පමණ වරින් වර විකුණා ඇති බව පැහැදිලියි.

දෙමවුපියන් කියා කිවුවත් ජෙෆ් බෙසෝස්ගේ නීත්‍යානුකූල පියා වන මිගෙල් (මයික්) බෙසෝස් ජෙෆ්ගේ ජීවවිද්‍යාත්මක පියා නෙමෙයි. ඔහුගේ ජීවවිද්‍යාත්මක පියා ටෙඩ් ජෝගන්සන්. ජෙෆ් ඉපදෙන කොට ටෙඩ් ජෝගන්සන් අවුරුදු දහනවයක ගැටවරයෙක්. ජෙෆ්ගේ මව ජැකලයින් (ජැකී) වසර 17ක පාසැල් සිසුවියක්. ජෙෆ් ඉපදෙන විට ඔවුන් විවාහ වී හිටියත් ඒ විවාහය මාස 17කට සීමා වෙනවා. කොහොම වුනත් ජෙෆ්ගේ මුල් නම ජෙෆ් ජෝගන්සන්.

ටෙඩ්ගෙන් දික්කසාද වන ජැකී ඉන්පසුව කියුබාවෙන් පැමිණි සංක්‍රමණිකයෙකු වූ මයික් බෙසෝස් සමඟ විවාහ වෙනවා. මයික් ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා බවට පත් වෙනවා. ඒ අනුව, ජෙෆ් ජෝගන්සන් ජෙෆ් බෙසෝස් වෙනවා. ටෙඩ් ජෝගන්සනුත් වෙනත් කාන්තාවක් විවාහ කරගෙන බයිසිකල් පාට් කඩයක් කරගෙන වෙනම පළාතක ජීවත් වෙනවා. ජෙෆ්ට අවුරුද්දක් පමණ කාලයේදී ජෙෆ්ගෙන් හා ජැකීගෙන් වෙන්වන ඔහුට මිය යන තුරුම අඩු වශයෙන් ජෙෆ්ව හමුවෙන්න හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් තමන්ගේ එකම දරුවා ලොකු තැනක ඉන්න බව අන්තිම කාලයේදී ඔහුට දැනගන්න ලැබී තිබෙනවා.

ජීව විද්‍යාත්මක පියා නොවුනත් ජෙෆ්ගේ සැබෑ පියා මයික් බෙසෝස්. මයික්ගේ පියා ලොකු උගත්කමක් නොතිබුණු, පොඩි සිල්ලර කඩයක් කරගෙන හිටපු ධෛර්යවන්ත කියුබානුවෙක්. මයික් කුඩා කාලයේදී ඔහුත් පියාගේ මේ කඩේ වැඩ වලට හවුල් වී තිබෙනවා. බැටිස්ටා එළවා දමා පිදෙල් කස්ත්‍රෝ කියුබාවේ බලයට පත් වන්නේ මේ කාලයේදීයි.

බැටිස්ටා කියන්නේ කියුබානු විප්ලවය සිදු වන කාලයේ කියුබානුවන් ප්‍රිය කළ නායකයෙක් නෙමෙයි. මයික් බෙසෝස්ගේ පියාත් වෙනත් බොහෝ කියුබානුවන් වගේම බැටිස්ටා එළවා කස්ත්‍රෝට බලයට එන්න උදවු කළ කෙනෙක්. එහෙත්, කස්ත්‍රෝ බලයට පැමිණි පසු බොහෝ දේවල් වෙන්නේ ඔවුන් මුලින් හිතපු විදිහට නෙමෙයි.

මුලින් කස්ත්‍රෝ මාක්ස් ලෙනින්වාදියෙක් නොවුනත් බලයට පැමිණීමෙන් පසුව ඔහු මාක්ස්වාදය වෙත නැඹුරු වෙනවා. කියුබාවේ මැතිවරණ සිතියම අකුළා දමන ඔහු මුලින්ම විදෙස් සමාගම් ජනසතු කරනවා. ඉන්පසුව දේශීය ව්‍යවසාය සියල්ලත් ජනසතු කරනවා. කියුබානු හමුදාව පැමිණ බෙසෝස් පවුල විසින් කාලයක් තිස්සේ කරගෙන ආ පොඩි සිල්ලර කඩයත් ආණ්ඩුවට ගන්නවා.

කියුබාවේ පාසැල් සියල්ල තාවකාලිකව වසා දැමෙන අතර ඒවා නැවත විවෘත වන්නේ මාක්ස්වාදය උගන්වනු පිණිස විෂය නිර්දේශ සියල්ල වෙනස් කිරීමෙන් පසුවයි. එන පොට තේරුම් ගන්නා මයික් බෙසෝස්ගේ දෙමවුපියන් ඔහුව නැවත පාසැල් නොයවා සරණාගතයෙකු සේ ඇමරිකාවට යවන්න තීරණය කරනවා. කුඩා සූට්කේසයක් පමණක් රැගෙන මයික් බෙසෝස් ගැටවරයා ඇමරිකාවට එනවා.

ඇමරිකාවට පැමිණ මුලින්ම සරණාගත කඳවුරක ජීවිතය ගෙවන මයික් ඉන්පසුව කතෝලික පල්ලියෙන් නඩත්තු කරන ළමා නිවාසයක නැවතී පාසැල් අධ්‍යාපනය අවසන් කරනවා. ඉන්පසුව ඔහු කියුබානු සරණාගතයින් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යත්වයක් ලබාගෙන සරසවියකට ඇතුළු වෙනවා. මයික් ජෙෆ්ගේ මව හා විවාහ වන්නේ මේ කාලයේදී. ජෙෆ්ව දරුකමට හදාගන්නා ඔහුට මේ පවුල නඩත්තු කරන්න රැකියාවක් අවශ්‍ය වෙනවා. උපාධිය ලබා ගන්නා මයික් තෙල් සමාගමක රැකියාවක් ලබා ගන්නවා.

මේ තොරතුරු ඉදිරිපත් කළේ ජෙෆ්ගේ මව, ජීව විද්‍යාත්මක පියා හෝ නීත්‍යානුකූල පියා ලොකු ප්‍රාග්ධනයක් එක් රැස් කරගෙන සිටි ධනවතුන් නොවූ බව පෙන්වන්නයි. ජෙෆ්ට ඔහුගේ දෙමවුපියන්ගෙන් ලැබුණු කිසියම් ප්‍රාග්ධනයක් ඇත්නම් ඒ ඔවුන් ජීවිත කාලයක් රැකියා කර විශ්‍රාම දිවිය ගෙවනු පිණිස එකතු කරගත් මුදලින් කොටසක්. එය ඇමරිකානු සම්මත අනුව විශාල මුදලක් නෙමෙයි. ඒ නිසා, දැනට ලෝකයේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ජෙෆ් බෙසෝස් බිංදුවෙන් පටන්ගත් අයෙක් කියා කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.

ජෙෆ් බෙසෝස් හා ඔහුගේ බිරිඳ මැකෙන්සි ඔවුන්ගේ සියවස් කාලක විවාහ ජීවිතය අවසන් කරමින් දික්කසාද වෙන්නට යන බව පසුගිය ජනවාරියේදී දැනුම් දුන්නා. ඇමරිකාවේදී විවාහයක් කියන්නේ නීතිමය ගිවිසුමක් මිසක් මානුෂික සම්බන්ධයක් නෙමෙයි. විවාහයට සමාන්තරව යන මානුෂික සම්බන්ධතාවයක් තිබීම (හෝ නොතිබීම) වෙනම කරුණක්. ගැහැණියක් හා පිරිමියෙකු අතර, එහෙමත් නැත්නම් සමලිංගික යුවලක් අතර අවශ්‍ය ආකාරයක ලිංගික හෝ වෙනත් මානුෂික සම්බන්ධතාවයක් පවත්වා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා විවාහ වීම ඇමරිකාවේදී අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. විවාහය කියන්නේ බොහෝ දුරට දේපොළ අයිතිය හා අදාළ ගිවිසුමක්.

විවාහක යුවලක් දික්කසාද වූ පසු සාමාන්‍යයෙන් සිදුවන්නේ දෙදෙනා සතුව ඇති මුළු වත්කම් දෙදෙනා අතර සමව බෙදී යාමයි. විවාහ වීමට පෙර එක් අයෙකු සතු වූ කිසියම් වත්කමක් ඇත්නම් එය මෙසේ බෙදී යන්නේ නැහැ. මෙහිදී විවාහයෙන් පසුව අත්පත් කරගත් වත්කම් තියෙන්නේ කාගේ නමටද කියන එක එතරම් වැදගත් වන්නේ නැහැ. සමලිංගිකයින්ගේ විවාහ වීමේ අයිතියේ පදනම වන්නේත් දේපොළ අයිතිය හා සම්බන්ධව එක්ව ජීවත්වන (ඇමරිකාවේ) ගැහැණියකට හා පිරිමියෙකුට තිබෙන නීතිමය වරප්‍රසාද සමලිංගික යුවලකටත් තිබිය යුතු වීමයි.

ඇමසන් සමාගම පටන්ගෙන තිබෙන්නේ ජෙෆ් හා මැකෙන්සි විවාහ වීමෙන් පසුවයි. ඒ නිසා, දික්කසාදයෙන් පසුව ජෙෆ් සතු ඇමසන් කොටස් බොහෝ විට ජෙෆ් හා මැකෙන්සි අතර සමසමව බෙදී යන්න ඉඩ තිබෙනවා. එසේ වුවහොත්, මැකෙන්සි ලෝකයේ ධනවත්ම කාන්තාව බවට පත් වීමට නියමිතයි. ලෝකයේ ලොකුම ධනවතා ලෙස ජෙෆ්ට හිමි තැන අහිමි වනු ඇති නමුත් තවදුරටත් ලොකුම ධනවතුන් ලැයිස්තුවෙහි ඉහළ ස්ථානයක ඉන්න ඔහුට නොහැකි වන එකක් නැහැ.

(Image: https://www.eonline.com/news/1003894/inside-jeff-bezos-mysterious-private-world-a-dating-flow-chart-that-booming-laugh-and-more-billions-than-anyone-else)

8 comments:

  1. බටහිර දෙමාපියන් දරුවන්ගෙ අනාගතය ගැන ⁣වද වෙන්නෑ කියන්නෙ මිත්‍යාවක් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔය වගේම බටහිර රටවල දරුවෝ වයස්ගත දෙමවුපියන්ට නොසලකනවාය කියා අදහසකුත් තියෙනවනේ. දෙකම නිවැරදි නැහැ.

      Delete
  2. ලංකාවේ සිස්ටම් එක දරුවන් හිර කරන්නේ උපාධිය ජොබ් එකට. ඒක කඩාගෙන ඉතා සුලුතරයක් යනවා. ඒත් ඇමරිකාවේ වගේ රටක අපි දන්නා සියලු බිලියනපතියන් වාගේ තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් ජොබ් එක පැත්තකට දාපු අය. සකර්බර්ග්, ස්ටීව් ඇපල් (ටිම් ඇපල්??)

    මැකෙන්සි නෝනා පෝසත් වෙනවා සත්තයි.

    ReplyDelete
    Replies
    1. ඇපලුත් කෑව, ඔය ඇපල් ජාති දෙක නං කාලා නෑ ගොයියෝ. මේ කියන්නෙ ස්ටිව් ජොබ්ස් සහ ටිම් කුක් ගැන වෙන්ටෑ?

      Delete
  3. අද වුණත් ගෑනිගෙ පින......?

    ReplyDelete
  4. සාධාරණයි. දෙමාපියෝ බින්දුවෙන් පටන් ගත්තට ජෙෆ්ට උදව් තිබිල. ඒ අතර මැකෙන්සි ගේ කැප කිරීම් හා මහන්සියත් තියෙන්න ඇතිනේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: