වෙබ් ලිපිනය:

Tuesday, July 26, 2022

තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව


නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.

ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.

ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.

දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා. 

එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ. 

ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ. 

කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.

වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා. 

තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.

තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.

ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි. 

"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"

විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.

ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. 

ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.

-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.

-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.

-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.

-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.

-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.

-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.

ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.

කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.

කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.

ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.

ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.

දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ. 

ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.

ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.

ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.

කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි. 

නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි. 

ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.

සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.

වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක  ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.

හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. 

ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.

දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර  ඔවුන් විකුණන්නේ කාලයයි.

වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,

ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා. 

මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.

පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.

අදාළ පැරණි ලිපි:

තෙසක්රියක ගමනක්...

https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form


ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?

https://econometta.blogspot.com/2016/06/blog-post_76.html


ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව

https://econometta.blogspot.com/2016/06/blog-post_83.html


සේවා ආර්ථිකය ගැන තවදුරටත්...

https://econometta.blogspot.com/2016/06/blog-post_42.html


ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?

https://econometta.blogspot.com/2017/01/blog-post_4.html


මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?

https://econometta.blogspot.com/2020/06/blog-post_56.html


ලංකාවට වාහන වැඩිද?

https://econometta.blogspot.com/2018/06/blog-post_50.html


#ඉකොනොමැට්ටා 

14 comments:

  1. ඉකොනොමැට්ටා ඉතාම වෙහෙස මහන්සි වී ලියා ඇති මෙම ලිපියේ පවසා ඇති කරුණු කාරණා (facts) වලට පදනම් වී ඇති කරුණු වල සත්‍ය අසත්‍යතාව ප්‍රායෝගික වශයෙන් විමසා බලමු.

    සෛද්ධාන්තිකව ඉකොනොමැට්ටා ගොඩ නගා ඇති කරුණු ගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන නමුත් මේ කාරණා ඔබට මිස් වෙලා තියෙන්නේ.

    01. ත්‍රී රෝද රථ කර්මාන්තය නොතිබුණා නම් එම තරුණයන් බෝක්කු උඩ රස්තියාදු ගහන කතාව

    මේ කතාව වර්තමානයේ ඇත්ත නෙවෙයි. මේක 1970-80 වගේ කාලවලදී අපි උපදින්න කලින් පැවති සංදර්භය තුළ ඇත්ත වෙන්න පුළුවන් ඒත් පහුගිය විසි වසරක කාලය තුල මේ කියන තරම් ලේසියෙන් එහෙම ජීවත් වෙන්න බෑ අනෙක දැන් විදේශ රැකියා සඳහා රටින් පිට යන්න පුළුවන් සහ රට පුරාම වෙහෙස මහන්සි වී වැඩ කරන්න නිෂ්පාදන කර්මාන්ත ශ්‍රමිකයින් සඳහා විශාල හිඟයක් සහ ශ්‍රම හිඟය නිසා වැසී ගිය කර්මාන්ත ඕන තරම් තියෙනවා ලංකාවේ.

    අනික අපි පුංචි කාලෙ 1990 ගණන් වල එහෙම රස්තියාදු ගහපු තරුණයින් 200 ගණන් වෙනකොට මොනවා හරි කරන්ට පුරුදු වුණා ටේලර් සාප්පු සුපර්මාකට් වගේ දේවල් නැත්නම් කොරියාවේ මැදපෙරදිග කලාපයේ මැලේසියාව වගේ මොනව හරි රටකට ජොබ් වලට ගියා

    මැදපෙරදිග රැකියා කරන අම්මලාගේ සල්ලි වලින් පාදඩ රස්තියාදුකාර පුත්තු ත්‍රීවීල් එකක් අරන් පාරේ දුරාචාරී වැඩ කරනවා
    ගොඩක් තරුණ අය මැදපෙරදිග රටවල් වල ගිහින් කෙටි කලකින් ආපහු ඇවිත්ලංකාවේ ත්‍රී වීල් එකක් අරන් ලේසියට කම්මැලි කමට ඒක තියාගෙන ඉන්නවා

    අනෙක ත්‍රී වීල් නිසා ලංකාවේ බස් වෑන් වගේ සේවා වල දියුණුව වෙනත් රටවලට සාපේක්ෂව ඇණ හිට තියෙනවා මොකද සුඛෝපභෝගී බස් වෙනුවට එම මිලට ගන්න ත්‍රී වීල් වල යන නිසා

    02. ත්‍රී වීල් කියලා කියන්නේ නිදහස් වෙළද පොළක් නෙවෙයි එක්තරා විදියක cartel එකක් හැමෝටම ගමේ හන්දියේ ත්‍රී වීල් තියාගෙන ඉන්න දෙන්නේ නැහැ සීමිත පිරිසක් චණ්ඩි ඒ හන්දිය අල්ලාගෙන ඉන්නේ

    කොටින්ම budget taxi pick me වගේ ඇප් වලින් එන ත්‍රී වීල් පවා ගහල පන්නනවා මෙහෙට එන්න තහනම් කියලා සමහර පළාත් වල චණ්ඩි ත්‍රී වීල් රියැදුරන්

    අනෙක අපට පාක් එකක තියෙන ඕන ත්‍රී වීල් එකක් තෝර ගන්න බෑ හන්දියේ කට්ටිය කියන වීල් එකේ යන්න ඕනේ අපි හොඳ තත්ත්වයේ අලුත් එකක් තෝරගන්න හැදුවට බෑ එයාලා කියන එකේ යන්න වෙනවා පරණ කබල් එකක් වුණත්

    03. තව දෙයක් ලංකාවේ පාසල් යන තරුණ කොල්ලො ගොඩක් ඉගෙනගන්නේ නැතුව ලොකු වෙලා ත්‍රී වීල් එකක් තියාගෙන ඉන්නවා කියලා ඉගෙනගන්න වත් වෙනත් කර්මාන්ත වලට යන්නේ නැතුව නාස්ති වෙන සෑහෙන පිරිසක් ඊට වඩා හොඳ අවස්ථා වලට යන්න විදේශ රැකියා වලට යන්න පුළුවන් කට්ටිය ඒ අය චණ්ඩි වගේ වලි දාගන්න පුරුදු වෙලා පස්සෙ ත්‍රී වීල් පාක් වල අයිතිය හිමි කර ගන්නවා

    04. ලැබෙන මුදල අඩු වුණත් මේ හන්දියේ ත්‍රී වීල් සංස්කෘතිය සහ මිතුරන් ඇසුර නිසා බොහෝ දෙනෙක් මේ කර්මාන්තයහැර දමා යන්නේනෑ වෙනත් ආදායම් වැඩි opportunities ආවත්

    05. ලංකාවේ ත්‍රී රෝද රියදුරන් බොහෝ දෙනෙක් වාමාංශික මතවාද දරන අය චේගුවේරා වමේ මතවාද ඔවුන් අතර බොහෝ දුරට ජනප්‍රියයි

    ඔවුන් බොහෝ දුරට ජවිපෙ සහ විරවංසලාගේ ජාතික සමාජවාදී ජාතිවාදී අදහස් දරන කට්ටිය

    කොළඹ මහමදික ආගමික ත්‍රී රෝද රථ රියදුරන් සජබ/ එජාප පැත්තට බර වැඩියි ඒත් එයාලා දක්ෂිණාංශික අදහස් දරන අය නෙවෙයි

    Contd...

    ReplyDelete
    Replies
    1. 06. ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ, කාර්මික තාක්ෂණිකශ්‍රමිකයින් අවශ්‍ය කම්හල් වාහන සර්විස් වගේ ගොඩාක් ක්ෂේත්‍ර, තේ පොල් රබර් වගා බිම් වල සේවා, කම්කරු රැකියා වලට වයස 45-50 පැන ඇති අය හැර තරුණ අය එනවා අඩුයි ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා ඇඟේ හයිය තියෙනවා නම් කට සැර වැඩි නම් පාක් එකේ බලය අත්පත් කරගෙන වීල් එකක් දාගන්න පුළුවන්

      07. ත්‍රී වීල් ව්‍යාපාරයේ opportunity cost එක විදියට ත්‍රී වීල් නිසා වැසී ගිය හෝ ආරම්භ නොකර පවතින ශ්‍රමිකයින් අවශ්‍ය කර්මාන්ත සහ ඉන්,රටේ GDP එකට වන බලපෑම් වෙනමම research එකක් කරලා හොයල බලන්න ඕන research topic එකක් විදිහට මම යෝජනා කරනවා

      ඒ නිසා මම මෙතනදි ඉකොනොමැට්ටා සමග එකඟ නෑ වගේම ලංකාවේ නූතන ගෙවුම් ශේෂ balance of payment crisis එක ගැන කියනවනම් මේ ප්‍රශ්නෙට home-grown solution සෙවීමට යාම නන්දසේන රජය කරගත්තු ලොකුම වරදයි. ප්‍රශ්නෙට මූලික හේතුව නොදන්න මිනිස්සු ඉන්න රටකට මොන home-grown solution ද?

      ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුවී ඇත්තේ රටේ ඕනතරම් ඩොලර් බිලියන ගණනක් සංචිත තිබුණත් එකපාරටම රාජපක්ෂලා ඒ සේරම ඩොලර් හොරකම් කරලා මේ ප්‍රශ්නෙ ඇතිවුණා කියලා හිතන මිනිස්සු ඉන්න මූලික ආර්ථික විද්‍යා දැනුමක් වත් නැති රටකට මොන home-grown solution ද?

      ඒ වගේම රටේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නෙ උඩින් කොහොමහරි පවතින රජය පෙරලලා බලයට එන්න බලන දේශපාලනයක් තියෙන රටක මොන home-grown sulution ද ? (ඔක්කොම එහෙමයි, රාජපක්ෂ කල්ලියත් 2019 පාස්කු කේස් එක ඉතාමත්ම පහත් විදියට භාවිතා කළා 2019 ජනපතිවරණය වෙනුවෙන් ජාතිවාදී ප්ලෑන් එකක් එක්ක පච ප්‍රචාර බේගල් සහ මඩ සමගින්).

      ඒ වගේම පහුගිය දවස් වල රටේ සැබෑම යථාර්ථය තේරුම් අරන් 2021 මැද වෙනකොටවත් IMF වැඩසටහනක් පටන් ගත්තා නම් අද තාමත් නන්දේ ජනාධිපති. අයි එම් එෆ් කොන්දේසි නිසා ලංකාවේ ආර්ථිකය ඍණ අගයක් වෙලා රටේ ව්‍යාපාර කටයුතු එහෙම හැකිලුනත් ඒවා කොවිඩ් පිට දාලා 2024 වෙනකම් ඒ කාලේ සිරිසේන කළා වගේ ෂේප් එකේ වගේ අදින්න තිබුණා.

      Delete
    2. ඔබේ දිගු ප්‍රතිචාරය පිළිබඳව ස්තුතියි!

      Delete
    3. අත්වැඩකරුවන් හිඟද?
      http://economatta.blogspot.com/2016/07/blog-post.html

      Delete
  2. ඊයේ සවස 6.50 ජාතික රුපවාහිනී ප්‍රවෘත්ති (මා හිතුවා දැන් සෘජුව ම ආණ්ඩුවේ ප්‍රවෘත්ති බලන එක හොඳය කියා) නරඹන විට ආතල්ගමේ එක් පරගලකරුවකුගේ ප්‍රකාශයක් අසන්න ලැබුණා. ඔහු මහත් ගර්වයෙන් කියා සිටියේ තමන් ෆ්ලයිට් වෙනුවට ෆයිට් තෝරා ගත් අය බවයි. ඒක හොඳ කියමනක්. මා දන්නා වෙනත් අයත් එවන් කතා කියනවා. ඒ නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ප්‍රතිඵල. ඒ ප්‍රකාශය අනුව ඔවුන්ගේ ආතල්ගම පරගලය තවදුරටත් කරගෙන යන්න ඔවුන් හිතන් ඉන්න බව මට වැටහුණා.



    එහෙත් මොහොතකින් අසන්නට ලැබුණේ වෙනත් ම කතාවක්. ජාතික රූපවාහිනිය කියා සිටියේ තම රූපවාහිනී ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුල් වී ආතල්ගැනීමට රුපවාහිනියේ වැඩ සටහන් වෙනස් කිරීමට කතා කළ ආතල්කරුවකු හෙවත් පරගලකරුවකු ඉන් මොහොතකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙන බවයි. ඔහුගේ නම ගනේෂ් අලි කියා කියවුණා.



    ඔහුට මේ අලි නමක් ලැබුණේ කෙසේ ද කියා හිතට ආවා. එහෙත් මා හිත සසළ වුණේ අර පරගලකරු කී දෙයක් මොහු අනෙක් පැත්ත හැරවීම නිසයි. පරගලකරු කියා තිබුණේ තමන් ෆ්ලයිට් වෙනුවට ෆයිට් තෝරා ගත් බවයි. අලි මා හිතන විධියට ජම්බෝ ජෙට් එකක් මගින් ෆයිට් වෙනුවෙට ෆ්ලයිට් තෝරා ගෙන. අර ගුවන් යානයේ අලිට පක්‍ෂ ව අලි කතා කී අයට මෙන් නොව මට ඇති වූයේ කණගාටුවක්. අප වෙනුවෙන් අරගල කිරීමට පාරට බැස්ස උදාරතර අලි අප අත්හැර ඩුබායි යෑමට ගුවන් යානයකට නැග ගැනීම ගැන මට ඇති වූයේ සාධාරණ බයක්. අප වෙනුවෙන් අරගල කිරීමට තවත් අය ඇති. ඒත් අලි යෑමට තැත් කිරීම මට ඉවසා දරා ගන්න බැරි වුණා.



    මට පසුව දැන ගැනීමට ලැබුණු ආකාරයට අලිගේ නම රොෂාන් අලි දනිෂ් අලි. 1991 උපත ලබා ඇති ඔහු දෙමටගොඩ පදිංචිකරුවෙක්. ඔහුගේ පියා 1980 දී ඉස්ලාම් ආගම වැළඳ ගෙන තියෙනවා. ඒ කෙසේ සිදු වූයේ ද යන්නත් ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට පෙර ඔහුගේ ආගම කුමක් වී ද යන්නත් දැන ගන්නට නැහැ. ඒ කුමක් වුවත් දනිෂ් අලි අප වෙනුවෙන් අරගල කළ අයෙක්. අප බුද්ධි අංශවලට හා අදාළ අනෙක් අයට ස්තුතිවන්ත වෙන්න ඕන අලිට ඩුබායි යෑමට ඉඩ නොදී අප වෙනුවෙන් අරගල කිරීමට ලංකාවේ ම රඳවා ගැනීම ගැන.



    අර ගුවන් යානයේ හිටි ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලි කතා කියලා. ඔය පරම්පරාවේ බසින් කියනවා නම් එලිෆන්ට් ටෝක්ස් දීලා. අලි අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තිබුණ ද කියල අහල. මා දන්නේ නැහැ වරෙන්තුවක් තිබුණ ද නැද්ද කියන එක. ඒත් අලි අප වෙනුවෙන් අරගල කරන්න තව දුරටත් ලංකාවෙ රඳව ගත්ත එක නම් අලි වැඩක්.



    අද පඬි නැට්ටන් නීති විශාරදයන් සහ තවත් නීති විශාරදයන් සහ තවත් විද්වතුන් අලි අත්අඩංගුවට ගැනීමට විරුද්ධ ව කතා කරාවි. අර ගුවන් යානයේ අලි කතා කියපු අයත් ෆ්ලයිට් එකෙන් බැහැල අලි වෙනුවෙන් ෆයිට් කරන්න රැඳුනා නම් අගය කරන්න තිබුණා. අලිගෙ මානව අයිතිවාසිකම් කඩ කිරීම ආදිය ගැන කාට කාටත් අලි කතා කියන්න පුළුවන් ලියන්න පුළුවන්. මට මතක නැති වුණා වොයිස් කට් දෙන්නත් පුළුවන්.



    ඒත් මට අලි කතාවක් නැතත් පොඩි කතාවක් කියන්න තියෙනවා. ඔය අලි ජාතික රූපවාහිනියට කඩා පැන්න වෙලාවෙ ඒක මොන ප්‍රජාතන්ත්‍රවාදය අනුව මොන මානව හිමිකමක් අනුව කළා ද කියන එක ඒ අය කිවුවෙ නැහැ. ජාතික රූපවාහිනියට කඩා පැනලා එහි වැඩ සටහන් නතර කරන්න ආතල්ගම පරගලකරුවන්ට පුළුවන් වුණෙ ව්‍යවස්ථාවෙ තියෙන ජනතා පරමාධිපත්‍යය අනුව ද? මට මතක හැටියට ඒ කඩා පැන්න අය තමන් අර ජනාධිපති කාර්යාලය ජනාධිපති මැඳුර ආදිය අල්ල ගෙන ඉන්න බවත් රූපවාහිනී නිලධාරීන්ට කිවුවා. ඇත්ත නේන්නම් හැබෑට ඔවුන් දැන් ඒ තැන්වල නැත්තෙ ඇයි?



    ReplyDelete
    Replies
    1. ජාතික රූපවාහිනියට කඩා පැනීම ගැන මාධ්‍ය සංසදයක් නම් විරෝධය පළ කරල තිබුණා. ඒත් මට අලිගෙන් අහන්න ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් රූපවාහිනිය අත්හැරලා දාල ආපසු ගියේ ඇයි? ප්‍රචාරය කරන්න වැඩ සටහන් තිබුණෙ නැද්ද? තමන් ජනතාව වෙනුවෙන් කරන අරගලය ඒ වැඩ සටහන් දැකලා ජනතාවට එපාවෙයි කියල බය වුණා ද? ඔය ජනතාව ඉන්නෙ කොහේ ද? අර ආතල්ගම විශ්වවිද්‍යාලෙ දේශන පවත්තපු අය එතැනට ආ ගිය කලාකරුවන් ගෙන්න ගන්න තිබුණා නෙ. ඇත්තට ම ඒ කලාකරුවන් දැන් දකින්නට නැත්තේ ඇයි? ආ අර දමිත ද කවුද ඉන්නෙ.



      මේ තමයි අට ලෝ දහම. අලි දන්නවද දන්නෙ නැගැ. ඔය අරගලවල ස්වභාවය තමයි නීතිය ක්‍රියාත්මක නොකරන විට අරගලකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය ඩොලරයකට මායිම් කරන්නෙ නැහැ කියන එක. රජයෙ ගොඩනැගිලි අත්පත් කර ගන්නෙ අම්ම අප්පගෙ බූදලේ කියල හිතා ගෙන. ඒක හරි ආතල්වැඩක්. එතකොට අරගලකරුවන් කරන ඕනෑම වැඩක් සාමකාමී කියල අර පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නීිතිඥයන් විද්‍යාඥයන් විශේෂඥ වෙදමහත්තුරු ආදීන් කියනවා. ආයුධ නැත්තන් සාමකාමීයි. ඒක හොඳ නිර්වචනයක්. අර කියන විධියට තග දාන්න ආයුධ ඕන නැහැ. තග දැමීම නිර්ප්‍රචණ්ඩත්වය ද? හමුදාවට පොලීසියට තර්ජනය කිරීම මෛත්‍රී කිරීමක් ද? සිරිසේන ගැන නොවෙයි මා කියන්නෙ. සාමය ප්‍රජාතන්ත්‍රවාදය ආදියත් සාපේක්‍ෂයි. වඩදිය බාදිය සමග ඒවත් වෙනස් වෙනවා.



      දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ප්‍රචණ්ඩත්වයත් වෙනස් වෙලා. එහි නිර්වචනය නැත්නම් අර්ථදැක්වීම වෙනස් වෙලා. අද පරගලයට හයියක් නැහැ. ඉන්දියාවත් රනිල්ට සුබ පතලා. බටහිර රටවල් තව ටිකක් බලන් ඉන්නවා. බලන් ඉන්න බැරුව අලි යන්න හදලා. මේ සම්පූර්ණ කතාව පදනම් කරගෙන ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ජාතික රුපවාහිනිය ඉදිරිපත් වෙනවා ද? ඒක අලිනාට්‍යයක් (අර මෙගා වර්ගයේ) වෙන්නත් බැරි නැහැ. අර කලාකරුවන්ගෙ සහාය ගන්න පුළුවන් වේවි.


      Delete
    2. @ ඩොක් නලීන් ඩි අනාථ නාථ,

      කොහොමද ලංකාවේ 2022 රෙජිම් චේන්ජ් අරගලේ නායකයන්ගේ කෙරුවාව? රටම ගිනි තියලා හෙමින් සැරේ රට පනිනවා. අරගලේ කරපු අනිත් නායකයනුත් ඔහොම තමයි, මම හිතන්නේ කපටි රනිල් උනුත් හිමින් සැරේ එකින් එකා උස්සගෙන ගිහින් අතඩංගුවට ගනීවි. විශේෂෙන්ම අන්තරේ කැඳවුම්කරු, පෙරටුගාමින් සහ අන්තිම මොහොතේ රැල්ල ගහන පැත්තට පැනලා කුමාර් කූනරත්නම් එක්ක ඩීල් එකක් දාගෙන මේ අරගලේ කලේ ජවිපෙ බව බොරුවට පම්පොරි ගහන්න ගිහින් පජාත වුනු අනුරකුමාරත් ඔය වගේ අතඩංගුවට ගන්න ඕන. නමුත් ඒක වෙන්නේ නෑ රනිල්- අනුර - රාජපක්ස - කුමාර් ඩීල් වල හැටියට ලොක්කො ටික බේරිලා පොඩි වුන් විතරයි අහු වෙන්නේ හැම පැත්තෙන්ම.. ඔබතුමන්ලාගේ සිංහල ජාති(ක)වාදී අපේ දැනුම හොයන සම්‍යක් දෘෂ්ටික දෙයියලාගේ පිහිට ලබන සෙට් එකත් එච්චර තමයි ඉතින්...

      Delete
  3. ප්‍රොෆෙසර්: ඉන්දන මිල විශාල ලෙස වැඩි කලොත් IOC සමාගම විශාල ලාභ‍යක් ලබනවද? ඒක රටට පාඩුවක්ද?

    ReplyDelete
  4. එකම ලංකට් එක දවස් 11 ක් ඇදගෙන තෙල් පෝලිමේ ඉදලා අන්තිමට ප්‍රීති කසානා ඇරෙන්න වෙන මොනවද ඉකොනෝමැට්ටාට ලැබුනේ?

    තෙල් ඕනි. මොකටද? වාහනේට. වාහනේට? ඔව් වාහනේට. ඊට අමතරව ඕනා යන්ත්‍ර උපකරණ වැඩ කරන්න. ආ ඇයි මොකක්ද? නෑ. පොදුමේ මෙහෙම ගමු. තෙල් ඕනා මොකටද, ඇන්ජින් දුවවන්න. ඇන්ජින්. යාන වාහන, යන්ත්‍ර සූත්‍ර ඔක්කොම අඩංගුයි.

    හැබැයි තෙල් විතරක් තිබ්බට මදි දුවවන්න. යන්ත්‍ර. එංජින්. ඔව්.

    බව්වා පාරක් දාලා සැපේ.

    ReplyDelete
  5. ඉකොනොමැට්ටා අයි ටී පැත්තට සම්බන්ධ වෙලා ටෙලිකොම් එහෙම අත්දැකීම් තියෙන කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ ආරාධනා fuel station එකේ තියෙන user UI එක ගැන?

    ආරාධනා - Real Time Vehicle Count එක මීට මාස තුනකට පමණ පෙර පාරිභෝගිකයන් දැඩි සේ විමසන ගැටලුව වූ තෙල් ලැබුනේ ද යන්න දැනගැනීමට මෙම මුහුණුපොතේ පිටුව තුළ ' තොග විමසුම ' ආරම්භ කළ අතර ඉන්පසු ගැටලුවලට පිළිතුරු දීමට හා ආයතනය සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය මැසෙන්ජර් පහසුකම සක්‍රීයව බාවිතා කිරීමට වෙනම කළමනාකරුවකු පත් කර පසුව ඔහුට එම පිටුවේ සදහන් හොට් ලයින් නම්බරය සක්‍රීය කර දී තවදුරටත් මහජනතාවට පෙට්‍රෝලියම් ආයතනය ගැන දැනුවත් කිරීමට හා යම් යම් විශේෂ අවස්ථා වල යම් යම් පහසුකම් ක්‍රියාත්මක වන ආකාරය වටහා දීමට කාලීනව අදාල තොරතුරු සන්නිවේදන කළ අතර ටෝකන් ක්‍රමය රජය හදුන්වා දුන් විට එහි ගැටළු අවම කිරීමට හා කඩදාසි භාවිතය අවම කිරීමට ඔන්ලයින් ටෝකන් ක්‍රමයක් සැකසු අතර ඒක සක්‍රීය කිරීමට අවසර තවම නොලද නමුත් එය ඕනෑම මොහොතක භාවිතයට ගත හැකි බව ඔවුන් පවසයි.

    පාරිභෝගිකයන් දිගින් දිගටම ' දැන් තෙල් කොපමණ ඇද්ද ? ' යන්න ගැටලුවක් වෙන විට, එයට aradhanagroup.lk වෙබ් පිටුව හරහා රියල් ටයිම් තොග දර්ශකයක් හදුන්වා දුන් පසු ඒ අනුව පෝලීමට එක් වනවාද නැද්ද යන්න තීරණය කර ගත හැකි විය.

    දැන් ' වාහන කියක් ගැහුවද ? වාහන කොච්චර ගහන්න පුලුවන්ද ? ' එම ගැටළු නිරාකරණය කිරීමට වාහන සංඛ්‍යාව රියල් ටයිම් අප්ඩේට් වන වැඩපිළිවෙළක් ඔබ වෙනුවෙන්ම aradhanagroup වෙබ් අඩවිය තුළදීම ස්ථාපනය කර ඇත. එහිදී මෝටර් රථ, ත්‍රී රෝද රථ හා යතුරු පැදි වෙන් වෙන්ව දැක්වේ.

    මීට පෙර පාරිභෝගිකයන්ට වාහනයට සැබෑවට තෙල් කොපමණ වැදුනේද යන්න ගැටලුවක් වූ අතර එය විසදීමට මධ්‍ය බිල් පද්ධතියක් 2015 වර්ෂයේදී පද්ධතියට එකතු කරන ලදී. එය සෙන්සර් මගින් ක්‍රියාත්මක අතර 100% නිවැරදි ප්‍රමාණ බලාගත හැකි මට්ටමට සකසා ඇත.

    තෙල් සම්පූර්ණයෙන් වැදී ඇද්ද යන්න ගැටලුවක් වූ විට එය දැන ගැනීමට පොම්ප මීටරය ඉලක්ක කර වෙනම කැමරා පද්ධතියක් 2014 වර්ෂයේදී හදුන්වා දී ඇත.

    එමෙන්ම ඉතිරි මුදල් සම්බන්ධ ගැටලුවක් ඇතිවන විට එයට පිළියම් ලෙස පොම්ප කරුවන්ට වෙනම කැෂියර් ලබාදී ඒවාට ඉහළින් මුදල් නෝට්ටු හඳුනා ගත හැකි මට්ටමට කැමරා පද්ධතියක් ද 2015 වර්ෂයේදී සකසා ඇත.

    ඔබට ඔබේ බිල තුළ වෙනත් වාහනයකට ලබාදුන් තෙල් ප්‍රමාණයද අන්තර්ගතද යන්න දැනගැනීමට අවශ්‍ය වූ විට එයට පොම්ප වල පැති දර්ශන ලබාගැනීමට වෙනම කැමරා පද්ධතියක් ද 2016 වර්ෂයේදී ස්ථාපනය කර ඇත.

    තවද සම්පූර්ණ කැමරා 64ක පද්ධතියක් වන මෙම පද්ධති නඩත්තුව හා පාරිභෝගිකයාට අවශ්‍ය එම තාක්ෂණික සහාය ලබාදීමට තොරතුරු තාක්ෂණ කළමනාකරුවකු පත් කර ඇති අතර අප පොම්ප ක්‍රියාකරවන මහත්වරුන්ගෙන් යම් අකටයුත්තක් වී ඇත්නම් එම පැමිණිලි විභාග කර අවශ්‍ය පිළියම් ලබාගැනීමට මානව සම්පත් කළමනාකරුවකු ද පත් කර ඇත.

    පාරිභෝගික ඔබ ඔවුන්ගේ විශාලම ශක්තියයි.

    මෙම තෙල් සීමිතව පවතින කාලයේදී පමණක් නොව ඊට පෙර සිටම ආරාධනා ගැන තැබූ විශ්වාසය නිසා ඔවුන් ඔබ වෙනුවෙන් නිරන්තරව වෙහෙසෙමින් ලබාදිය හැකි ඉහළම සේවාව ලබාදීමට උපරිමව කටයුතු කරන බව පවසන පරිදි ඉදිරියේදී පෝලිමේ යම් ස්ථානයක රදවන කැමරාවක් හරහා පෝලිම ගැන රියල් ටයිම් දත්ත ලබා ගැනීමටද අවස්ථාව සලසමින් සිටිනබව පැවසේ.

    තෙල් ඉතා සීමිතව ලැබෙන බැවින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයන්ට සමාව අයදින අතර ඔබට වඩාත් සුවපහසු සේවාවක් ලබාදීමට ආරාධනා නිතරම උත්සාහ කරන බව කියති.

    වැඩි,විස්තර මේකෙන් බලා මේ ගැන ඉකොනොමැට්ටා හිතන්නේ මොනවද සහ යෝජනා කරන අලුත් තාක්ෂණය හා සම්බන්ධ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා

    https://www.facebook.com/212735735573704/posts/pfbid0UkrS7dbSCPQfC1SRHUwxrR1KTE5DB5Cyns1tTUWAcqV3tzFbJxWi6cJ3kcBDzWful/?app=fbl

    ReplyDelete
  6. පඩි හම්බ උනාද ? මෙහෙම දිව හපාගෙන පෝස්ට් දාන්නේ බඩගින්නට බත් ටිකක් කන්නනේ කියලා හිතෙනකොට ඔබතුමා ගැන දුකත් හිතෙනවා.

    ReplyDelete
  7. ලංකාවේ 2022 අගෝස්තු මස මැද පමණ සිට ලංකාවට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සඳහන් කරයි. හිරු TV "සළකුණ" වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ 2022 අගෝස්තු මාසේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවයි.

    ‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් විදුලියට නැතුව ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා ) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්.

    ඒ වුණත් දැන් ඒ තත්වය අවිනිශ්චිතයි අපට එහෙම ලැබෙනවාද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරලා තියෙනවා, තවම ලැබෙනවාද කියලා ස්ථාවරත්වයක් නෑ.

    එතකොට එහෙම වුණාම නරකම තත්වය අපි හිතමු අපට මොකුත් හම්බවුණේ නෑ කියලා, එහෙම හම්බුණේ නැත්නම් අපට තියෙන සංචිත අපි පාවිච්චි කරලා ඉවරයි, ලබන මාසෙ මැද විතර වෙනකල් මේ දීපු සල්ලිවලින් තෙල් ටික එයි. එතකොට එතනින් එහාට කොහොමද ලබන මාසෙට තෙල් හොයාගන්නෙ කියන එක අවිනිශ්චිතයි’

    මේ ගැන ලංකාවේ රජයේ පොදු මතය පොදු ප්‍රවාහනයට විතරක් ඩීසල් දෙන බවත් ඇති තරම් කෝච්චි දුවන්න, ඇති තරම් බස් දුවන්න ඩීසල් ලබාදෙන බවත් කර්මාන්තශාලා ඔක්කොටම ඩීසල් දෙන්න බැරි නිසා නොකඩවා විදුලිය දෙන්න කටයුතු කරන බවටත් එහෙම නොකර පෞද්ගලික වාහන වලට ඉන්ධන දෙන්න ගියොත් රට බිමටම වැටෙන බවත් කියනවා. මේක බොරු ප්‍රචාරයක්ද? පැහැදිලි කළ හැකිද?

    ReplyDelete
  8. රටේ පැන නැඟී ඇති ආර්ථික අර්බූධයට එකම විසඳුම වන අයි එම් එෆ් වෙත යෑමේදී ඔබ මේ කියන රාජ්‍ය ධනවාදයම අපේක්ෂා කරන කණ්ඩායම් එරෙහි වේවි.විශේෂයෙන්ම අරගලය තුල බලවත් වි ඇති ජවිපෙ සහ පෙරටුගාමින්.මේ ගැන අදහසක් ඉදිරිපත් කරන්න.අනිත් කාරණය මම අහල තියන විදියට සිංගප්පූරුව තුල ලාභ ලබන රාජ්‍ය ආයතන විශාල වශයෙන් ක්‍රියාත්මකයි.එහි ස්වභාවය ගැන වෙනම ලිපියකින් හෝ පැහැදිලි කරන්න.

    ReplyDelete
  9. මේ දවස් වල ලංකාවේ බරපතල විදිහට දකින්න ලැබෙන ඉන්ධන අර්බුදය හමුවේ ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් ලංකාවට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් තිබේ.
    එම රුසියානු සමාගම් විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර එවා ඇති නමුත් රුසියානු යෝජනාවට ලංකා තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හිමිකරුවන් සතු නීත්‍යානුකූලභාවය නොසලකා රාජ්‍ය නිලධාරීන් වශයෙන් තමන්ට අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති නිසා මේ ක්‍රියාවලිය සිදු වීම සැක සහිත බව මාධ්‍ය වාර්තා වල මම දැක්කා

    මේ ගැන ලංකාවේ පුවත්පත් වල වාර්තා අනුව නම් ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොරතෙල් ණයට දීමට එම සමාගම් සූදානම් බව දන්වා එවා ඇත.

    මේ කෙසේ වෙතත් මෙම ඉන්ධන සදහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට වැඩි ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා සැලකිය යුතු මට්ටමකින් විශාල අඩු මුදලකට බවත් මාධ්‍ය පවසයි මේ ගැන තොරතුරු සොයා දිය හැකි ද ඉකොනොමැට්ටා?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: