වෙබ් ලිපිනය:

Sunday, July 17, 2022

ඉන්දියාව කරන්න හදන්නේ මොකක්ද?


ඉන්දියාව සමඟ කරන ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් ඉන්දියානු සංචිත බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙහි ඉලක්කය රුසියාව, ශ්‍රී ලංකාව හෝ එම රටවල් දෙකම විය හැකියි. ඉන්දියාව මේ කරන්න හදන්නේ මොකක්ද?

ඉන්දියාවට රුසියාව සමඟ කාලයක සිටම තියෙන්නේ අවාසිදායක වෙළඳ ශේෂයක්. ඉන්දියාව රුසියාවෙන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 6-7ක පමණ ආනයන සිදු කරන නමුත් රුසියාව ඉන්දියාවෙන් ආනයනය කරන්නේ එයින් බාගයක පමණ ප්‍රමාණයක් පමණයි. පසුගිය 2021 වසරේදී ඉන්දියාව රුසියාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 8.70 දක්වා ඉහළ ගියා. එහෙත්, රුසියාව ඉන්දියාවෙන් කළ ආනයන වල වටිනාකම වුනේ ඩොලර් බිලියන 3.33ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 5.37ක වෙළඳ හිඟයක්.

මේ වෙලාවේදී රුසියාව ජාත්‍යන්තර වෙළඳාමේදී සාපේක්ෂව අවාසිදායක අඩියක සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. බටහිර රටවල සම්බාධක නිසා රුසියාවට තමන්ගේ අපනයන සඳහා වූ වෙළඳපොළ දැඩි ලෙස සීමා වී තිබෙනවා. (එයින් බටහිර රටවලටද අවාසියක් වී තිබීම ප්‍රස්තුතයට අදාළ නැති වෙනම කරුණක්!) එම තත්ත්වය යටතේ රුසියාවට ඉන්දියානු වෙළඳපොළ ගොඩක් වැදගත්. ඉන්දියාව මේ හදන්නේ තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චා ගන්න වෙන්න පුළුවන්.

දැන් ඉන්දියාව කියන්නේ කුමක්ද? හරි. අපි ඕගොල්ලන්ගේ බඩු ගන්නම්. හැබැයි ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්!

වෙළඳ ශේෂය තියෙන්නේ තමන්ගේ වාසියට නිසා රුසියාවට ඉන්දියාව කියන දේ නොසලකා මග හැර යන්න බැහැ. බඩු විකුණාගන්නනම් ඉන්දියානු රුපියල් භාර ගන්න වෙනවා. මේ ඉන්දියානු රුපියල් වලින් රුසියාවට කළ හැක්කේ කුමක්ද?

ඉන්දියාවේ එක් අරමුණක් වන්නේ රුසියාවට කරන ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමයි. රුසියාව ඇතුළේ ඉන්දියානු රුපියල් ගොඩ ගැහෙද්දී රුසියාවට යම් තරමකින් හෝ ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමට අවස්ථා සලසන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඉන්දියානු රුපියල් නැවත ඉන්දියාවේම ආයෝජනය කරන්න වෙනවා. එහි ප්‍රතිඵලය ඉන්දියානු රුපියල් වලට ඉල්ලුම ඉහළ ගොස් ඉන්දියානු රුපියල ශක්තිමත් වීමයි. 

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීමත් සමඟ ගෝලීය ප්‍රාග්ධනය ඇමරිකාව වෙත ගලා එන්න පටන් අරගෙන. ඒ හරහා ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. අනෙක් අතට එයින් අදහස් වන්නේ ඩොලරයට සාපේක්ෂව අනෙක් මුදල් ඒකක පිරිහෙනවා කියන එකයි. යුරෝවක මිල මේ වෙද්දී ඩොලරයක මිල මට්ටම දක්වාම පහත වැටිලා.

මේ තත්ත්වය තුළ ඉන්දියානු රුපියලද සාපේක්ෂව පිරිහෙමින් තිබෙනවා. එය වලක්වා ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවට තමන් සතු විදේශ සංචිත විකිණීමට සිදුව තිබෙනවා. ඉන්දියාව සතු විදේශ සංචිත ප්‍රමාණය අනුව මේ සඳහා විකිණීය යුතු ඩොලර් ප්‍රමාණය සුළු ප්‍රමාණයක් වීම වෙනම කරුණක්. කොහොම වුනත් මේ ක්‍රියාවලිය තුළ සිදු වන්නේ ඉන්දියානු රුපියල් සඳහා ඉල්ලුම අඩු වීමක්. රුසියාව ඉන්දියානු රුපියල් මිල දී ගැනීමට පෙළඹවීමෙන් ඉන්දියාවට මේ බලපැම නිශේෂණය කර ගත හැකියි. එසේ නොහැකිනම් පාලනය කර ගත හැකියි.

දැන් අපි ලංකාවට එමු. රුසියාව සමඟ මෙන් නොව, ලංකාව සමඟ ඉන්දියාවට කාලයක් තිස්සේම තියෙන්නේ වාසිදායක වෙළඳ ශේෂයක්. පසුගිය වසරේදී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4.80ක ආනයන සිදු කළා. එහෙත් ඉන්දියාව ලංකාවෙන් ආනයනය කළ භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියනයකටත් අඩුයි. ඉන්දියාවේ වෙළඳ අතිරික්තය, ඒ කියන්නේ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය, ඩොලර් බිලියන 3.82ක්. 

මෙතැන තියෙන ප්‍රශ්නය රුසියාව සමඟ තිබෙන ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. මේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය දිගින් දිගටම නඩත්තු කළ හැකි තරමේ ඩොලර් සංචිත ප්‍රමාණයක් හෝ ඩොලර් ආදායමක් දැන් ලංකාවට නැහැ. ඒ නිසා, තමන්ගේ අපනයන වෙළඳපොළ කඩා වැටී අහිමි වී යාමේ අවදානමට ඉන්දියාවට මුහුණ දෙන්න වෙනවා. 

අවශ්‍යනම් ඩොලර් වලින් නොගෙවා ඉන්දියානු රුපියල් වලින් ගෙවන්න කියලා ලංකාවට කියන්න ඉන්දියාවට පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඉන්දියාවට ගෙවන්න ඉන්දියානු රුපියල් ලංකාව සතුව නැහැ. අවශ්‍ය ඉන්දියානු රුපියල් ටිකත් මොන විදිහකින් හෝ ඉන්දියාවටම දෙන්න වෙනවා. ඉන්දියානු ණය පහසුකම් යටතේ සිදු වුනෙත් ඔය වැඩේ. 

සමහර විට මේ වෙලාවේ ඉන්දියාව විසින් උත්සාහ කරන්නේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම සඳහා ඉන්දියානුවන් පෙළඹවීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට විය හැකියි. මේ හරහා සෘජුව ඉන්දියානු රජය හෝ මහ බැංකුව (සංචිත බැංකුව) මැදිහත් නොවී ඉන්දියාවට ලංකාවට උදවු කරන්නත් පුළුවන්. ලංකාවට උදවු කරනවා කියා කිවුවත් මෙහිදී සිදු වෙන්නේ ඉන්දියානු ජාතික අභිලාශ ඉටුවීමක්. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙමසකට වැඩි කාලයක් තිස්සේ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව අපි දන්නා දෙයක්. ඔය කාලය ඇතුළත ඇමරිකානු ඩොලරය අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක බොහොමයකටම සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලංකා රුපියල පසුගිය දෙමස තුළ යුරෝ, පවුම්, යෙන් ආදී මුදල් ඒකක ගණනාවකටම සාපේක්ෂව ශක්තිමත් වෙමින් තිබෙනවා. ඉන්දියානු රුපියලට සාපේක්ෂවද රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා.

පසුගිය මැයි 6 දින ශ්‍රී ලංකා රුපියල් 4.83ක් පමණ වූ ඉන්දියානු රුපියලක මිල ඉහත තත්ත්වයන් යටතේ මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 4.51 පමණ දක්වා පහත වැටී තිබෙනවා. මේ අතර මේ වන විට ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 32% පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික දැනට පවතින මට්ටම හා ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබාගෙන සිටියදී ඉන්දියානු රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම තුළ ඉන්දියානුවෙකුට මේ වෙලාවේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 56% පමණ පොලියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

ඉන්දියානු සංචිත බැංකුව මේ සඳහා පහසුකම් සැලසීමට උත්සාහ කරනවා විය හැකියි. මේ සඳහා ඉඩ සැලසීමෙන් ලංකාවට ඉන්දියාවේ සිට පෞද්ගලික ප්‍රාග්ධනය ගලා එන අතර එම ප්‍රාග්ධනයේ උදවුවෙන් ඉන්දියාවට ලංකාව සමඟ වන වාසිදායක වෙළඳ ශේෂය දිගටම පවත්වා ගත හැකි වෙනවා. සල්ලි එන්නේ ඉන්දියානු රුපියල් ලෙස මිස ඩොලර් ලෙස නොවන නිසා මේ විදිහට ලංකාවට එන ඉන්දියානු සල්ලි වලින් ඉන්දියාවෙන් ආනයන කරන්න හෝ ඉන්දියාවෙන් කලින් ගත් ණය ආපසු ගෙවන්න මිසක් වෙන වැඩක් කරන්න බැහැ. කොහොම වුනත්, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වී තියෙන්නේ කොහෙන් හෝ, මොන විදිහකින් හෝ, විදේශ විණිමය හොයා ගන්න මිසක් අස්සයාගේ දත් බලන්න නොවන නිසා ලංකාව පැත්තෙන් බැලුවහම වෙලාවේ හැටියට මෙය ලොකු උදවුවක්.

මේ වැඩේ විස්තර කරපු විදිහට සිදු වෙලා ලංකාවට ඉන්දියානු රුපියල් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා ආවොත් ලංකාවේ "දැවෙන ප්‍රශ්න" ටික තාවකාලිකව විසඳෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා රුපියලේ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉන්දියාව අතට යාමේ ඉඩකඩත් බැහැර කරන්න බැහැ. ඒක ඉතිං කොහොමටත් කොයි වෙලාවක හෝ වෙන දෙයක්. 

4 comments:

  1. සැවොම බලන්නේ තම වාසියයි ලොවේ
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ
    ගහගෙන යන විටදි වතුරක ගංගාවේ
    පිදුරු ගහෙත් එල්ලෙමු අපි පතා සුවේ!

    ReplyDelete
  2. ///ඒ එක්කම ශ්‍රී ලංකා රුපියලේ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉන්දියාව අතට යාමේ ඉඩකඩත් බැහැර කරන්න බැහැ. /// ඔව් ලංකාවවට අවශ්‍ය තෙල්, පොහොර ආදී අත්‍යවශ්‍ය දේ iඉන්දියාව හරහා ආනයනය කරන තත්වයක් පවතින්නේ. බලාගෙන ගියම ඉස්සර මොනිටරි බෝඩ් එක තිබ්බ කාලෙ ඉන්දියානු රුපියල් වලින් වැඩ කරා වගේ තත්වයක් ඇති වෙයි නේද iඉකෝ/

    ReplyDelete
    Replies
    1. ඒ දිශාවට යාමක් වගේ දෙයක් තමයි වෙන්නේ. ලංකාවේ රුපියලට මේ වෙලාවේ බාහිර වටිනාකමක් නැති තරම්. විදේශ ගනුදෙනු (ආනයන) සිදු වන්නේ විවිධ ණය ක්‍රම හරහා ඉන්දියානු රුපියලේ ශක්තිය ආරෝපණය කර ගැනීමෙන්.

      Delete
  3. එහෙම උනොත් ලංකාව තුල ඩොලර් වලට තියෙන ඉල්ලුමේත් යම් පහල යාමක් ඇති වෙයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: