වෙබ් ලිපිනය:

Saturday, July 23, 2022

අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල


ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි. 

ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි. 

අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල්- 10.2%

මැයි- 9.7%

ජුනි- 10.9%

මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි. 

උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි. 

නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.

පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4

වෙනස - රුපියල් බිලියන 13.6

මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ. 

මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.

2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3

2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8

වෙනස - රුපියල් බිලියන 134.5

රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.

කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි. 

අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා. 

2022 ජනවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 104.8

රජයේ වියදම - රුපියල් බිලියන 259.1

හිඟය - රුපියල් බිලියන 154.3


2022 පෙබරවාරි 

රජයේ ආදායම - රුපියල් බිලියන 206.7

රජයේ වියදම - රුපියල් බිලියන 292.6

හිඟය - රුපියල් බිලියන 85.9


2022 මාර්තු 

රජයේ ආදායම - රුපියල් බිලියන 135.4

රජයේ වියදම - රුපියල් බිලියන 379.5

හිඟය - රුපියල් බිලියන 244.1


2022 අප්‍රේල් 

රජයේ ආදායම - රුපියල් බිලියන 184.2

රජයේ වියදම - රුපියල් බිලියන 224.0

හිඟය - රුපියල් බිලියන 39.8

1 comment:

  1. ඉකොනො,

    මම හිතන්නේ ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න රනිල්ට පුළුවන් වේවි කියලා තාවකාලිකව හරි, ඒත් ලංකාවේ රජයේ ආයතන, රජයේ සේවකයන් ඇතුළු විශාල මධ්‍යම පාන්තික පිරිස තවමත් රනිල්ට එතරම් පක්ෂ නෑ

    ඒ වගේම what's app හරහා ආපු මේ මැසේජ් එක ඇත්ත විය හැකියි ද?


    //Forwarded many times;


    ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ රැඳීසිටින බලවත් බටහිර රටවල් වල විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවී ඔවුන්ගේ වැරදි වැටහීම් නිවැරදි කර තිබෙනවා.

    එහිදී ලංකාවේ ජනා‍ධිපති ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි බලහත්කාරයෙන් පැහැරගෙන ඉතා අන්තනෝමතික ස්වරූපයෙන් එම ගොඩනැගිලිවලට හානිවන පරිදි රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරමින් ඒවා විනාශ කරමින් රැඳීසිටි විනාශකාරී ස්වභාවයෙන් කටයුතු කළ ඊනියා අරගලකරුවන් කියාගන්නා කඩාකප්පල්කාරී පිරිසක් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.

    විශේෂයෙන්ම එම හමුවට අමෙරිකා එ.ජ, කැනඩා, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ ප්‍රධානතම නිල නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා වුණා.

    එහිදී මුලින්ම අමෙරිකා තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ ලංකාවේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවයි.

    ඊට මනාව පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම සහ මීටත් වඩා දැඩි ලෙස බලය පාවිච්චි කරමින් දැඩිව පහරදීම් සහිතව බවය. එහිදී ඇමරිකන් තානාපතිනිය නිරුත්තර වී ඇත.

    ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය ලංකාවේ ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර රටේ ඉතාමත් වටිනා ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    එමෙන්ම ජූලි 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් බොරු හේතු කාරණා මත පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ඉන් පසුව තවත් හේතු කාරණා මත තව දුරටත් කල් දැමීමට සැලසුම් සහගතව වැඩ කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට සාධක සහිතව ඔප්පු කර පෙන්වා ඇත.

    නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

    ඒ වගේම තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ඉතාමත් අමානුෂික ආකාරයෙන් ගිනිබත් කළ අවස්ථාවේ දැන් මෙම කඩාකප්පල්කාරීන් ගැන කිඹුල් කඳුළු හෙලන කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා දැඩි ලෙස විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරියගේ මූණටම පවසා ඇත. ඉන් එම සියලුම තානාපතිවරුන් දැඩි ලෙස
    ලජ්ජාවට පත් වී ඇත.
    එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා ඇඟ බේරාගැනීමට පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවය.

    එවිට ඊට සිනාවකින් පිළිතුරු ලබා දී ඇති ආචාර්ය රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය කිසිම විදිහකින් නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව එහිදී ඔවුන්ටම තේරුම් කර දී තිබේ.

    නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ පෞද්ගලික මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ අතරම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දැඩි ලෙස අවධාරණය කර ඇති අතරම එම අදහස් සියල්ලම පිළිගත් පසු ඔවුන් ජනාධිපති ආචාර්ය රනිල් වික්‍රමසිංහ මහතාට උපරිම සහයෝගය ලබා දීමට සම්පූර්ණයෙන්ම එකඟ වී ඔහුට පූර්ණ සහය දක්වන බවට නිල වශයෙන් නිවේදන නිකුත් කර තිබෙනවා.//

    මේ කතාව ඇත්ත ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: