වෙබ් ලිපිනය:

Saturday, April 1, 2023

හැත්තෑ හතට කලින් රාජ්‍ය ව්‍යවසාය


සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන ඔය වගේ බොරු අදහස් ලංකාවේ අති මහත් බහුතරය විසින් පිළිගන්නවා. හැත්තෑ හතේදී ලංකාව ඒ වන විට පැවති තත්ත්වයට සාපේක්ෂව තරමක් විවෘත වුනා. වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට යම් ඉඩක් ලැබුණා. නමුත් රටේ ආර්ථිකයේ සංවෘත හා සමාජවාදී ලක්ෂණ බොහොමයක් අද දක්වාම තවමත් එලෙසම තිබෙනවා. 

ධනවාදී ක්‍රමයක් කියා කියන්නේ පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීම අරමුණු කරගෙන, තරඟකාරිත්වයට මුහුණ දෙමින්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම සිදු කරන ක්‍රමයක්. මධ්‍යගත සැලසුමකට අනුව, රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම කිරීම සමාජවාදී ක්‍රමයයි. 

පළමුවැන්න මිනිස් සංස්කෘතිය දියුණු වීමේදී ස්වභාවික ලෙසම පරිණාමය වූ ක්‍රමයක්. හැමදාම දිගින් දිගටම වෙනස් වන ක්‍රමයක්. දෙවැනි ක්‍රමය මාක්ස්ගේ (සහ තවත් අයගේ) ඉගැන්වීම් මත පදනම්ව කෘතිම ලෙස ගොඩ නගන ලද "ආගමික" ක්‍රමයක්. දෙවැනි ක්‍රමය ඇතැම් රටවල පූර්ණ වශයෙන් හෝ ඊට ආසන්නව ක්‍රියාත්මක කර තිබෙන්නේ බලහත්කාරයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීම හා/හෝ පවත්වාගෙන යාම මගින් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැහැ. 

ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කවදාවත් එකට ගිහින් නැත්තේ එම ක්‍රමය පවත්වාගෙන යාමට රටක බහුතරය සාමාන්‍යයෙන් කැමති නොවන නිසයි. මෙම ප්‍රකාශයට ව්‍යතිරේඛ තිබිය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වය මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් එකට නොගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ ඇතැම් ජනප්‍රිය සමාජවාදී අදහස් එකට යනවා. එවැනි ජනප්‍රිය සමාජවාදී අදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවලද ක්‍රියාත්මක වෙනවා.

ඉහත කතාව ධනවාදයටද එක සේ වලංගුයි. හැම දෙයක්ම වෙළඳපොළට තීරණය කරන්නට ඉඩ දී රජය මුළුමනින්ම පැත්තකට වීම කිසිම රටක කවදාවත්ම සිදු වී ඇති දෙයක් නෙමෙයි. වඩාත්ම ධනවාදී රට සේ සැලකිය හැකි ඇමරිකාවේ පවා රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. එහෙත් මෙවැනි රාජ්‍ය මැදිහත්වීම් තිබෙන්නේ අවම මට්ටමකයි. ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් යටතේ, බහුතර කැමැත්ත මත, රජය වෙළඳපොළට මැදිහත් වන අවස්ථා තිබෙනවා. ඇතැම් විට එසේ මැදිහත් වන්නේ සමාජවාදී අභිලාශ පෙරදැරිවයි. ඇතැම් විට වෙනත් හේතු මතයි. 

ධනවාදයට නැඹුරු බොහොමයක් රටවල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. සමාජවාදී ක්‍රමය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ කිසියම් ආකාරයක ඒකාධිපතිත්වයක් සමඟයි. එහෙත් ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ, බොහෝ තැන් වලදී එකිනෙක ගැටෙන, වෙනම දේවල් දෙකක්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ හැමවිටම මෙන් සමාජවාදී අදහස් වලටද නියෝජනයක් ලැබෙනවා. 

ධනවාදයේ පදනම මිනිස් නිදහස හා සමානාත්මතාවයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමද එයයි. ඒ නිසාම ධනවාදියෙකුට ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීමේ තාර්කික හැකියාවක් නැහැ. මේ නිසාම, ධනවාදය තුළ සමාජවාදී අදහස් වලට තිබෙන තැන කවදාවත්ම මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. 

රටක් විවෘත හෝ සංවෘත වීම වෙනමම කතාවක්. රටක් ධනවාදී වූ පමණින්ම එය පූර්ණ වශයෙන් විවෘත රටක් වන්නේ නැහැ. ඒ වගේම, සංවෘත ආර්ථික පවත්වා ගැනීම සමාජවාදී අදහසක්ද නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය හා සංවෘත ආර්ථික ක්‍රමය එක් වී හැදෙන ජාතික සමාජවාදය තිබිය හැකි නරකම සංයෝගයයි. මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත් වීම පිළිබඳ නරකම උදාහරණ දැකිය හැක්කේ ජාතික සමාජවාදී ක්‍රමය තුළයි. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ නිදහස ලැබෙන්නත් ගොඩක් කලින්. එය ඉංග්‍රීසීන්ගේ යම් අත්හදාබැලීමක් වෙන්නත් පුළුවන්. එංගලන්තයේ වගේම ඇමරිකාවේත් ලංකාවට සමාන පරිපූර්ණ සර්වජන ඡන්ද ක්‍රමයක් ඇති වුනේ ලංකාවට පසුවයි. 

ලංකාවේ මුලින්ම ඇති වුනු දේශපාලන පක්ෂ සමාජවාදය මත පදනම් වූ දේශපාලන පක්ෂ. එම පක්ෂ වලට රට තුළ මතවාදී බලයක් තිබුණා. සැලකිය යුතු ජන බලයක්ද තිබුණා. මැතිවරණ දේශපාලනය තුළ සමාජවාදී පක්ෂයකට ප්‍රධානම දේශපාලන බලවේගය ලෙස මතු වෙන්න බැරි වුනත් සමාජවාදී පක්ෂ දිගින් දිගටම සභාග ආණ්ඩු ඇතුළේ බලවත්ව සිටියා.

එජාපය ජයගත් නමුත් බහුතර ආසන ලබා නොගත්, 1947 මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තු ආසන දහයක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන තුනක් ද ලෙනින්වාදී බොල්ෂෙවික් පක්ෂය ආසන පහක්ද ලෙස ආසන 95කින් 18ක් ලබා ගත්තා. ඉන් පසුව, 1956 මැතිවරණයේදී ආසන ගණන අනුව දෙවන විශාලතම පක්ෂය වී විපක්ෂ නායක ධුරය ලබා ගන්නේ ලංකා සමසමාජ පක්ෂය. විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය වගේ පක්ෂ ආණ්ඩුව ඇතුළේ. ඉන් පසුව 1964දී වගේම 1970දීත් මුදල් ඇමති වෙන්නේ සමසමාජ පක්ෂයේ නායක ඇන් ඇම් පෙරේරා. 

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙවරක්ම ලංකාවේ රාජ්‍ය බලය පැහැරගෙන පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයක් හදන්න උත්සාහ කළත් ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ. ඒ නිසාම, කවදාවත්ම ලංකාවේ පූර්ණ සමාජවාදී ක්‍රමයක් හැදුනේ නැහැ. නමුත් ආණ්ඩු ඇතුළේ හා ආණ්ඩුවෙන් පිටත ප්‍රබල ලෙස සමාජවාදී අදහස් නියෝජනය වීම නිසා ලංකාවේ ආර්ථික ක්‍රමය සැලකිය යුතු තරමකින් සමාජවාදී පැත්තට නැඹුරු වුනා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ සමාජවාදී විය හැකි උපරිම මට්ටමටම ලංකාව සමාජවාදී වී තිබෙනවා කිවුවොත් නිවැරදියි.

මීට කලින් කොමියුනිස්ට් ප්‍රකාශනය ගැන ලිවුවේ මේ ගැන විමසීමක් කිරීමේ පහසුවට. හැම සමාජවාදියෙක්ම ඔය ලැයිස්තුව අතට අරගෙන එයින් එකින් එක ක්‍රියාත්මක කරන්න යනවා කියන එක අදහස් නොවුනත් ඔය ලැයිස්තුවෙන් ප්‍රායෝගිකව සමාජවාදී අදහස් කියන්නේ මොනවාද කියන එක බොහෝ දුරට නිරූපණය වෙනවා. 

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් පෞද්ගලික ඉඩම් අයිතිය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න බැහැ. පුලුවන් සීමාව දක්වා ඔය වැඩේ කරලා තිබෙනවා. වතු ජනසතු කිරීමේදී වුනේ මේකයි. නමුත් ඒ වැඩෙන් වුනේ හොඳට තිබුණු වතු පාළු වෙලා, වංචා දූෂණ හොරකම් වලට පාර කැපිලා, අපනයන ආදායම් අඩු වෙලා, රජයේ ආදායම් වෙනුවට පාඩු එකතු වෙලා විශාල ආර්ථික හානියක් සිදු වුන එක පමණයි. තව අක්කර පණහේ නීතිය වගේ නීතිත් ගෙනාවා. මතක හැටියට දැනටත් ලංකාවේ ඉඩම් වලින් 77%ක් පමණ අයිති රජයටයි. පරම්පරා කීපයක් ජීවත් වුනු ඉඩම් වල සම්පූර්ණ අයිතියක් ගොඩක් අයට නැහැ. වසර කිහිපයකට පෙර මේ ඉඩම් අයිතිකරුවන්ට ලැබෙන පරිදි සංශෝධන ගේන්න හදපු අවස්ථා වලදී සමාජවාදී දේශපාලන පක්ෂ එම ප්‍රතිසංස්කරණ වලට විශාල විරෝධයක් දැක්වූවා. ඉදිරියේදී වුනත් වෙන්න ඉඩ තියෙන්නේ ඒකයි.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

මේක සමාජවාදී අදහසක් වුනත් ජනප්‍රිය අදහසක්. ඒ නිසා ලෝකයේ හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ දිගටම වගේ ක්‍රියාත්මක වී තිබෙන දෙයක්. දැන් IMF වැඩ සටහනෙන් වෙන්නෙත් මේ පැත්තට යාමක්. හැබැයි මේ කාරණයේදීනම් සමහර සමාජවාදී පක්ෂ ඉන්නේ ධනවාදය පැත්තේ. 

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත් මේ වැඩේ කරන්න බැහැ. නමුත් යම් සීමා කිරීම් කරලා තිබෙනවා. කලින් කියපු අක්කර පණහේ නීතිය වගේම ගෙවල් හතේ නීතිය වගේ නීති උදාහරණයි. කලින් සමාජවාදී ආණ්ඩු යටතේ තිබී පසුව අහෝසි වී ඇති, දැන් අලුතෙන් දමන්න යන ධන (සම්ප්‍රේෂණ) බද්දත් මේ ගොඩට දමන්න පුළුවන් එකක්.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

මේ වැඩේ ලංකාවේ සිදු වෙලා තිබුණත් ඒකට හේතුවනම් සමාජවාදී අදහස් නෙමෙයි. ඒ වගේම, වෙනත් හේතු නිසා සමාජවාදී පක්ෂ මේ වැඩේට විරුද්ධ වෙලා තිබෙනවා. මේක අද සන්දර්භයේ ඒ තරම් වැදගත් කාරණයක් නෙමෙයි.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

පෞද්ගලික අයිතිය යටතේ තිබුණු ලංකා බැංකුවේ සියලු කොටස් රාජ්‍ය අයිතියට ගන්නේත්, ෆෙඩරල් සමුපකාර බැංකුවේ කොටස් රජයට අරගෙන මහජන බැංකුව හදන්නේත් මේ මූලධර්මය අනුවයි. දැනටත් මේ බැංකු දෙක රටේ ප්‍රධානම බැංකු දෙකක්. ඒකාධිකාරය නැති වෙමින් ඇතත් මේ සමාජවාදී නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව තිබෙනවා. ඒ වගේම සියලුම රක්ෂණ සමාගම් රජයට ගෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හදන්නෙත් මේ මූලධර්මය අනුවයි. 

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

මේ දෙකම සියයට සියයක්ම වගේ කරලා තිබෙන දේවල්. ප්‍රවාහනය කෙළින්ම රජයේ තනි පාලනයට යටත් කළා. ජනමාධ්‍යත් රජයට ගත්තා. දැනටත් මෙම ජනමාධ්‍ය ආයතන පාඩු ලබමින් බදු මුදල් වලින් නඩත්තු වෙනවා.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

කලින් කියපු ටයර් සංස්ථාව ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් ගණනාවක්ම ඇති කළේ ඔය මූලධර්මය අනුව. ඒ වගේම, "පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම" කියන එක ලංකාවේ ඒ විදිහටම ක්‍රියාත්මක වුනා.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කළ හැකි සීමාව තුළ ඔය වැඩේ කරන්න උත්සාහ කරලා තිබෙනවා. හාල් පොලු මිරිස් පොලු දැම්මේ ඔය වැඩේට. 

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

මේකත් කලින් එක වගේම ප්‍රජාතන්ත්‍රවාදී නොවන මර්දනකාරී රජයකට පමණක් කළ හැකි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට කරන්න අමාරුයි. හාල් පොලු මිරිස් පොලු දැමීම තුළ ඔය ඉලක්කයත් තිබුණා.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම.

මේ වැඩේ කොහොමටත් ලංකාවේ සිදු වෙනවා. ලෝකයේ අනෙක් හැම රටකම වගේමත් සිදු වෙනවා. 

කෙටියෙන් කතාව මේකයි. සමහර සමාජවාදී ඉලක්ක වලට මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට කවදාවත්ම යන්න බැහැ. යන්න පුළුවන් ඉලක්ක හැම එකකටම වගේ ලංකාව ගිහින් තියෙනවා. දිගටම කළ හැකි වූ දේවල් දැනටත් සිදු වෙනවා. අසාර්ථක වූ දේවල් පසුව අත හැර දමා තිබෙනවා. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට අලුතෙන් කළ හැකි, කලින් අත්හදා නොබැලූ දේවල් කිසිවක්ම නැති තරම්. කළ හැකි ඕනෑම දෙයක් කලින් අසාර්ථක වූ දෙයක් නැවත අත්හදා බැලීමක් පමණයි. 

රජය විසින් ව්‍යාපාර කිරීම කාලයක් තිස්සේ අත්හදා බලා තිබෙන දෙයක්. 

සුබසාධනවාදය හා ආදායම් විෂමතා අඩු කිරීමේ උත්සාහයන් ලංකාවේ අයවැය හිඟයට දායක වී ඇතත් එය එකම හේතුව නෙමෙයි. නිදහසට පෙරද පහළ ආදායම් ස්ථර වල පිරිස් සුබසාධනය කෙරුණා. අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විශාල වියදමක් දැරුවා. එහෙත්, අයවැය තුලනය වුනා. ඇත්තටම දැන් වෙලා තියෙන්නේ සුබසාධනයද අවශ්‍ය පමණ හෝ අවශ්‍ය පරිදි සිදු නොවීමයි. 

නිදහසින් පසු සාර්ව-ආර්ථික ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවොත් අපට අයවැය හිඟය පුළුල් වීමට හේතු වූ කරුණු ගණනාවක් එකින් එක හඳුනාගත හැකියි. එසේ හඳුනාගෙන අවුරුදු 75ක් කරන්න බැරි වූ ඇතැම් දේවල් අත හැර දැමිය හැකියි. මේ මුළු කාලය තුළම කාටවත් හරියකට කරන්න බැරි වූ දේවල් පුද්ගලයින්ගේ ප්‍රශ්න නොව ක්‍රමයේ ප්‍රශ්න බව හඳුනා ගෙන අත හැර දමන්න තවත් ප්‍රමාද විය යුතු නැහැ. මේ ලැයිස්තුව තුළ පැහැදිලිව හඳුනාගත හැකි එක් දෙයක් වන්නේ රාජ්‍ය පාලනය යටතේ ඇති ව්‍යවසායයි.

බොහෝ දෙනෙකු හිතන විදිහට රාජ්‍ය අංශය මේ තරම් අකාර්යක්ෂම වී තිබෙන්නේ හැත්තෑ හතේදී ඊනියා නිදහස් ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුවයි. දේශපාලකයා හා රාජ්‍ය සේවකයා දූෂිතයෙකු වී තිබෙන්නේද එයින් පසුවයි. දේශපාලකයින් හොරුන් නොවූ බව කියන හැත්තෑ හතට පෙර යුගයේ රාජ්‍ය ව්‍යවසාය ලාබ ලැබුවාද?

පහත වගුවේ තුන්වන සහ හයවන තීරුවල තිබෙන්නේ හැත්තෑ හතට පෙර කාලයේ සමස්තයක් ලෙස ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන්හි ආදායම් හා වර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් හා එම ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ පැත්තකින්ම තිබ්බත් අවම වශයෙන් අදාළ ආයතන වල ආදායමෙන් වර්තන වියදම් හෝ ආවරණය වී නැහැ. ඒ කියන්නේ හොරකම්, දූෂණ චෝදනා නැති, ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති සමාජවාදීන් මුදල් ඇමති ධුරය දැරූ කාල වකවානු වලදීත් රාජ්‍ය ව්‍යවසාය පාඩුවට මිස ලාබයට දුවා නැහැ. රට මේ තරම් ණය වුනේ ඇයි කියන එකට එකම පිළිතුර මෙය නොවූවත් මෙය ප්‍රධානම හේතුවක්. 

දැන් මේ ඇතැම් ආයතන පෞද්ගලීකරණය කළාට පසුව ප්‍රශ්නය විසඳිලාද? පැහැදිලිවම ඔව්. ඔය ආයතන ඔය ආකාරයෙන් පාඩු ලබමින් දිගින් දිගටම නඩත්තු කළානම් රටේ ණය ගොඩ ගැසී, එම ණය ගෙවා ගන්න බැරි වී රට අර්බුදයට යන්නේ මීට වඩා ගොඩක් කලින්. 

12 comments:

  1. කාලයක් සිට මට තිබෙන ගැටළුවක්, ඒ ගැන ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි.
    ලංකාවේ මේ තරම් සමාජවාදී අදහස් ජනගත වී තිබෙන්නේ කෙසේද?
    ලංකාවේ තිබෙන ප්‍රදාන media සියල්ලම වගේ privately owned සහ සැහෙන ඉහල literacy rate එකක් තිබෙනවා.
    ජනතාවට ඔබ කරනවා වගේ factual විදිහට මේ අදහස් වල තිබෙන ගැටලුව ඉදිරිපත් නොකිරීම පුදුමයක්.
    අවසානයේදී ඔය media වල වැඩ කරන පිරිසටත් ලංකාවේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. රට තුල නිවැරදී opinions promote කිරීම ඔවුන්ටත් හොද දෙයක්. සමහර වැඩසටහන් වලට ගෙන්වන ආර්ථික දැනුමක් තියෙනවා කියල ගෙන්වන මිනුස්සුත් කියවන්නේ බොරු/misleading දේවල්ම තමයි.

    ReplyDelete
  2. හංගලා ගැහිල්ලApril 1, 2023 at 10:09 PM

    ධනවාදය ස්වාභාවිකයි, සමාජවාදය ආගමිකයි. හංගලා ගහන්න නේ හදන්නෙ හොර ගෙඩ්ඩා. ඔය දෙකම ආගමිකයි. දැනට ප්‍රසිද්ධම සාමාන්‍යකරණය වෙච්ච ආගම තමා ධනවාදය. සමාජවාදය සාමාන්‍යකරණය කලොත් එදාට ඒක තමා ස්වාභාවික.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය සාමාන්‍යකරණය කරන්න බැරි බව සහ අස්වාභාවික හා ආගමික බව 91දී බර්ලින් තාප්පය ඔප්පු කලා

      Delete
    2. එලිපිට ගහමුApril 2, 2023 at 7:37 AM

      ආත්මාර්ථකාමීත්වය ස්වාභාවික වගේම පරාර්ථකාමීත්වයත් ස්වාභාවිකයි. දෙකම මනුශ්‍ය ස්වාභාවය. නමුත් ආත්මාර්ථය සාමාන්‍යකරණය කරලා තියනකොට පරාර්ථකාමීබව සාමාන්‍යකරණය කරන්න අපහසුයි. ආත්මාර්ථකාමී වහලුන් වෙමුද, පරාර්ථකාමී නිදහස ලබමුද...

      Delete
    3. පරාර්ථකාමී නිදහස කියන්නෙ පක්ෂෙ දේශපාලන මණ්ඩලයේ නායක සහෝදරයන් නියම කරන විදිහට අපගේ ජීවිත හැඩගස්සා ගැනීමද?

      Delete
  3. ඩොලරය එක පාරම පහල වැටුනේ ඇයි ඉකොන්මැට්ටා

    ReplyDelete
  4. වර්තමාන සමාජවාදීන්ගේ උතෝපියාව නැතිනම් කේතුමතී රාජ්‍යය වන කියුබාවට දැන් සිදුවී තිබෙන දේ ගැන අර්ථකථනයක් දෙන්න ඒවගේම ජනසතුකරණයන් කල චාවේස්ගේ වෙනිසියුලාව සහ මුගාබේගේ සිම්බාබ්වේ ගැනත්

    ReplyDelete
  5. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනයේ විප්ලවයක් සිදුවෙමින් පවතිනවාද? පෞද්ගලිකකරණයට එරෙහි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ප්‍රමාණවත් තරම් සහයෝගයක් ලැබුනේ නෑ ඇත්තෙන්ම එල්ලවුනේ විරෝධයක් ඒක කිසිසේත්ම බලාපොරොත්තු වුනේ නැති තත්ත්වයක් මේකට හේතුව කුමක් වියහැකිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ දූෂිත ඒකාධිපති පවුල් පාලනය රාජපක්ෂ රෙජීම කල්ලිය විසින් ඉතා පුළුල් ලෙස සමාජ ගත කර ඇති ජාතින්ගේ ස්වයං නිර්ණය අයිතිය පිළිබඳ දැඩි ලෙස සහාය දක්වන සමාජවාදී අදහස් වලට විරුද්ධ උග්‍ර ජාතිවාදී සංවිධාන වල බලපෑම සහ රාජපක්ෂ කල්ලියේ න්‍යායාත්මක කරුණු නිර්මාණය කළ ආචාර්ය නලීන් ද සිල්වා වැනි ජාතිවාදී න්‍යායාචාර්ය වරු සමාජවාදය පට්ටපල් බොරු බයිලා බවත් කොමියුනිස්ට් අදහස් කසිකබල් බටහිර මාක්ස්වාදය ලෙස හංවඩු ගැසීම මේ නිසා ලංකාවේ සමාජවාදී කණ්ඩායම් උග්‍ර ලෙස ජාතිවාදී සංවිධාන සමගින් වෛරසහගහත ලෙස කටයුතු කරන බව පේනවා

      Delete
    2. නලින් ද සිල්වා යනු නාථ, ආසනික් හා පැණි ආදී මාතෘකා වලින් ගර්හාවට ලක්වී අද රටටම විහිළුවක් වී ඇති චරිතයකි ඔහුව අද කිසිවෙක් සීරියස් ගන්නේ නැත කෙසේවෙතත් ඔහුගේ සහ තවත් අතිබහුතරයක් ජාති(ක)වාදීන්ගේ මුල් ඇත්තේ වමේය ඔවුන් විවෘත නිදහස් වෙළඳපොළ අර්ථ ක්‍රමයට මාරාන්තික ලෙස විරෝධය දක්වති රට විකුණනවා ජාතික සම්පත් විජාතිකකරණය කරනවා වැනි බොහොමයක් සටන් පාඨවල නිර්මාපකයන් ඔවුන්ය ඔවුන්ගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ රනිල් මිසක් ආතක් පාතක් නැති සමාජවාදීන් නොවේ පෞද්ගලිකකරණයට විදේශ ආයෝජන වලට විරුද්ධව බොහෝවිට යොදාගත්තේ දේශප්‍රේමය, ජාතික සම්පත් වැනි සමාජවාදී නොවන ජාති(ක)වාදී මතවාදයන්ය අද නායයමින් තිබෙන්නේ එවැනි මතවාද වල පදනමයි සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව ලෝක මට්ටමින්ම තහවුරු වී ඇති නිසා එය ගැන කථා කිරීම ඇත්තෙන්ම අනවශ්‍යය.

      Delete
  6. රාජ්‍ය සමාගම් පිරුණු ස්වීඩනය

    Apoteket කියන්නේ ඖෂධ වෙළෙඳාම සම්බන්ධ විශාල ඒකාධිකාරයක් පවත්වා ගන්නා ස්වීඩනයේ විශාලතම රාජ්‍ය සමාගමක්. Vattenfall කියන්නේ ස්වීඩන් රජයට අයත් මහා පරිමාණ බලශක්ති සමාගමක්. මේ සමාගම ඩෙන්මාර්කය, පින්ලන්තය, නෝර්වේ, ජර්මනිය වගේ යුරෝපා රාජ්‍යයන් ගණනාවකට සේවා සපයනවා. එතකොට LKAB කියන රජයට පූර්ණ වශයෙන් අයිති සමාගම මගින් තමයි ස්වීඩනයේ පතල් කර්මාන්තයට ප්‍රධාන දායකත්වය ලබාදෙන්නේ.
    Green Cargo කියන්නේ දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනයට දායක වන රජයට අයත් සමාගමක්. SJ තමයි ස්වීඩනයේ ප්‍රධාන මගී ප්‍රවාහන දුම්රිය සේවාව. එතකොට Infranord කියන්නේ ස්වීඩනයේ සහ නෝර්වේවල බොහෝ මෙහෙයුම් සිදුකරන දුම්රිය මාර්ග නඩත්තුව සම්බන්ධව ඉන්ජිනේරු සේවා සපයන සමාගමක්. Jernhusen සමාගම මගින් තමයි ඒ රටේ දුම්රිය මාර්ග ජාලයට අයත් සියලු ගොඩනැගිලි පවත්වාගෙන යන්නේ. Svevia කියන රජයට අයත් විශාල ඉන්ජිනේරු සමාගම තමයි ස්වීඩනයේ මහා මාර්ග හා යටිතල පහසුකම් සම්බන්ධ ප්‍රධාන ආයතනය. ලංකාවේ ටෙලිකොම් එක වගේ ස්වීඩනයේ තොරතුරු හා සන්නිවේදන කටයුතු සම්බන්ධ ආයතනයක් තමයි Teracom කියන්නේ.

    ස්වීඩනය දැන් වැටිලාද?

    දැන් මේක බැලුවාම පේනවා ඒ රටේ ප්‍රවාහනය, බලශක්තිය, මහා මාර්ග, ඖෂධ වගේ රටේ සමස්ත ආර්ථිකයට තීරණාත්මක බලපෑමක් කළ හැකි සියලු මර්මස්ථාන රජය යටතේ පවතින බව. මොකද රටේ සමස්ත ආර්ථිකය රඳා පවතින මේ බලකණු ටික පුද්ගලික සමාගම්වලට ඕනෙ විදිහට නටවන්න ඔවුන් ඉඩදෙන්නේ නැහැ. එතකොට මේ බලශක්තිය, මහාමාර්ග වගේ දේවලින් නොනැවතී ඒ රටේ ප්‍රධාන මධ්‍යසාර වෙළෙන්ඳා වෙන්නෙත් රජය. රජයට අයිති Systembolaget කියන දැවැන්ත සමාගමට පමණයි ඇල්කොහොල් ප්‍රතිශතය 3.5%ට වැඩි මත්පැන් අලෙවි කිරීමට අවසරය ඇත්තේ.

    එතැනින් නොනැවතී කැසිනෝ වගේ සූදුවලින් ලැබෙන ආදායම කළමනාකරණයට පවා ඔවුන් Svenska Spel, Casino Cosmopol වැනි රාජ්‍ය සමාගම් පිහිටුවා තිබෙනවා. නව ලිබරල්වාදී ආර්ථික සංවර්ධනයේ මූලෝපාය, ‘රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වීම’ නම් ස්වීඩනය මේ රාජ්‍ය සමාගම් පවත්වාගෙන ගිහින් වැටිලාද?

    ReplyDelete
    Replies
    1. "On January 1, 2019, Sweden brought in new laws that ended the state-run online gambling company’s monopoly and opened the market to private operators."
      ල‍ංකාව වගේ ස්වීඩනය වැටෙන්නෙ නෑ මොකද කලින්ම අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන නිසා වැටිලා හොම්බ බිම ඇනගන්න කම් ඉන්නෙ නෑ ප්‍රතිසංස්කරණ කරන්න ලංකාවේ වගේ, ධනවාදී ස්වීඩනයේ ගිහින් එල්ලෙන්නෙ නැතුව ඇයි අහන්නෙ නැත්තෙ කියුබාව, වෙනිසියුලාව, සිම්බාබ්වේ වැටිලද කියලා? කෙලින්ම ඔව් කියල උත්තරේ දෙන්න තිබුනා

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: