වෙබ් ලිපිනය:

Thursday, December 4, 2025

ආපදාවෙන් පසු විදේශ අංශය

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි. 

අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි. 

සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි. 

අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි. 

නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්. 

ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.

සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.

සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්. 

කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. 

ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි. 

නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා. 

මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි. 

විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි. 

සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි. 

ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.

ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. 

පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි. 

11 comments:

  1. ආන්ඩුව කරන දේවල්නම් ආධාර ලැබිමට හෝ නොලැබීමට බලපෑමක් නෑ. ආරම්භයේ සිටම මේ ගංවතුරට වැඩි අවධානයක් ලැබුනෙ නෑ බටහිර මාද්‍ය වල. ජාතිවාදී රැල්ලත් එක්ක දැන් උදව් කරන්න කියල ලොකු ප්‍රෙශර් එකක් නෑ.

    ReplyDelete
  2. කාලීන සටහනක් . මේ වෙලාවෙ ඉදිරියෙදි රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් විය යුතු හැටි ගැනත් ලියන්න .

    ReplyDelete
  3. තැන තැන කරනවිට නිම නැති අරියාදු
    ඉවසා හිටිය වගෙ ඇය හිතකින් සාධු
    ඉවසල බැරිම තැන - තරහව වී මෝදු
    සොබා දහම් දිනිතිය දෙයි පහර රුදු

    මිහිමත ඉන්නෙ අප පමණක් නොවන වග
    නෙක සත්ත්වයන්ටත් පෘථිවිය උරුම වග
    ගහකොළ පවා පරිසරයේ දරුවො වග
    අමතක නොකර යමු 'මැද පිළිවෙතේ' මඟ

    ReplyDelete
  4. ඉකොන්, ඔක්තොම්බර්, සැප්තැම්බර් දෙමස තුල යම් පමණක ආර්ථිකයේ අවගමනයකට ඔබට පෙනෙන හේතු මොනවාද?

    ReplyDelete
    Replies
    1. අමුතු විශේෂ හේතුවක් නැහැ. ආර්ථික අර්බුදයෙන් පසුව ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධන විභවය තිබුණේ 3.1% මට්ටමේ. අර්බුදයෙන් පසු පළමු දෙවසර තුළ වඩා වේගයෙන් ආර්ථිකය ස්ථාවර වූ නිසා ඉහළ වර්ධන වේගයක් වාර්තා වුනත් එම වේගය දිගටම පැවතීමට විශේෂ හේතුවක් නොතිබුණු බැවින් කොහොමටත් මන්දගාමී වෙමිනුයි තිබුණේ. දිගුකාලීනව වර්ධන වේගය 3.1% මට්ටම ඉක්මවීමට හේතු වන අමුතු කිසිවක් සිදු වී තිබුණේ නැහැ. ඒ නිසා වේගය 3.1% දක්වා ක්‍රමයෙන් අඩු වෙමිනුයි තිබුණේ. ආපදාව නිසා එය ඉක්මන් වී තිබෙනවා.

      Delete
  5. අලුත් අයවැයක් ගේන්න ඕනී කියන කතාව ගැන මොකද හිතන්නේ ඉකොනො

    ReplyDelete
  6. ජනාධිපති ජාතිය අමතා කළ ප්‍රකාශයේ මොනතරම් ළදරු අවිද්‍යාත්මක ප්‍රකාශයක්ද කියලා තේරෙනවා නේද? එයාගේ කටින්ම කිව්වනේ දත්ත නැහැයි කියලා. දත්ත නැහැ විතරක් නෙමෙයි දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න අයත් ඒ වටේ නෑ. මේක දේශපාලනයක් නෙවෙයි ඒ තනතුරට ඒ මනුස්සයා ගැලපෙන්නෑ ඒ විෂය දන්න කෙනෙක්ට දැන්වත් භාර දෙන්න.😢 ආපදා කළමනාකරණය කියන්නේ තනිකරම විද්‍යාත්මක විෂයක් එළිවෙනකම් හිටගෙන හිටියයි කියලා රටට සාධාරණයක් කරන්න බෑ. මේ වෙලාවේ මුළු රටේම මතය වෙන්න ඕනේ දන්න කෙනෙකුට ඉදිරි ආපදා කළමනාකරණය සහ පසු ආපදා rehabilitation වගේ කාරණාවලට වගකීම බාර දෙන්න කියන එකයි. ජනාධිපතිකම විතරක් තියාගන්න බැරි වැඩ බාරගන්න එපා කියන එක.

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා,

    1) මෙම ආපදා අවස්ථාවේ ඔබ කොපමණ මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළාද?

    2) ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් කොපමණ මුදලක් පරිත්‍යාග කළාද?

    3) ඔබ වාසය කරන ඇමරිකාවේ රජය විසින් කොපමණ මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළාද?

    මෙම ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකිද?

    ReplyDelete
    Replies
    1. 1. මම පෞද්ගලිකව පරිත්‍යාග කරන්නේ ප්‍රචාරක වාසි බලාගෙන නෙමෙයි. ඒ නිසා, පරිත්‍යාගයක් කිරීමෙන් පසුව ඇඩ් දමන්නේ නැහැ.

      2. මම දන්නේ නැහැ. එය හොයන එකත් පහසු දෙයක් නෙමෙයි.

      3. "In response to the severe impact of Tropical Cyclone Ditwah, the United States is providing $2 million in emergency life-saving assistance for people in need in Sri Lanka. The United States will also leverage the Department of War’s strategic airlift capabilities to support U.S. government disaster response efforts." මෙම නිවේදනය අනුව ඩොලර් මිලියන දෙකක ආධාරයක් සහ වෙනත් උපකාර සිදු කර තිබෙනවා.

      Delete
    2. පසුගියදා දිවයිනට බලපෑ වර්ෂාව සහ ජලගැලීම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝට් 300 ක පමණ අලාභ හානි සිදුව ඇති බව කියැවේ.

      විශ්ව විද්‍යාලය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත.

      ඒ අනුව සිංහල බ්ලොග් කරුවන් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රසික සූරියාරච්චි මහතා රුපියල් 5,000 කින් ආධාර කොට ඇත.

      එසේම ඇමරිකාවේ වාසය කරන ඉකොනොමැට්ටා ඇමරිකන් ඩොලර් දහයකින් එනම් රුපියල් 3,000 කින් පමණ ආධාර කොට ඇත.

      ඔවුනට අපගේ ස්තුතිය පිරිනමමු.

      එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආදරය කරන ඔබටද එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ගොසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග සිදු කළ හැක.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: