රටේ මුදල් සැපයුම කියන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් පමණක්ම නොවුණත්, මුදල් සැපයුමේ පදනම වන්නේ මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල්. සංචිත මුදල්, එසේත් නැත්නම් මුදල් පදනම කියා කියන්නේ මේ විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියල් වලට. ඒ රුපියල් එක්කෝ මුදල් නෝට්ටු හා කාසි ලෙස සංසරණයේ තිබෙනවා. එසේ නැත්නම් මහ බැංකුවේ ගිණුමක තිබෙනවා. සාමාන්‍යයෙන් මහ බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යන්නේ වාණිජ බැංකු සහ රජය.
මහ බැංකුව විසින් රජය සමඟ හෝ වාණිජ බැංකු සමඟ ගනුදෙනු කරද්දී ගෙවීමක් කළ යුතුනම් මහ බැංකුවේම තිබෙන අදාළ ගිණුමට ඒ ගෙවීම කරනවා. රජය හෝ වාණිජ බැංකු විසින් මහ බැංකුවට ගෙවීම් කරද්දී තමන්ගේ ගිණුම් වල තිබෙන ශේෂයන් ඒ සඳහා යොදා ගන්නවා. ඒ අතරම, වෙනත් විවිධ අවශ්‍යතා වෙනුවෙන් තමන්ට අයිති මේ ගිණුම් වල තිබෙන මුදල් ලබා ගන්නවා. අමතර රුපියල් ඇත්නම් මහ බැංකුවේ තිබෙන ගිණුමේ තැන්පත් කරනවා. ඒ නිසා, මහ බැංකුවේ ගිණුමක තිබෙන රුපියල් සහ සංසරණයේ තිබෙන රුපියල් අතර වෙනසක් නැහැ. ඔය දෙවර්ගය ඕනෑම වෙලාවක පහසුවෙන් එක ගොඩකින් අනෙක් ගොඩට යන්න පුළුවන්. කොටස් දෙකම සංචිත මුදල් ලෙස සලකන්නේ ඒ නිසා.
මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවීම් කරන්නේ රුපියල් වලින් නිසා රුපියල් සැපයුම ඉහළ යනවා. වෙළඳපොළෙන් කියා කිවුවත් ඇත්තටම මේ ගනුදෙනු කරන්නේ වාණිජ බැංකුවක් සමඟ හෝ රජය සමඟ. ඒ නිසා ක්ෂණිකවම වෙන්නේ මහ බැංකුවේම තිබෙන රජයේ හෝ වාණිජ බැංකුවක ගිණුමක ශේෂය ඉහළ යන එකයි. නමුත් පසුව ගිණුම් වල තිබෙන මේ මුදල් සංසරණයට එකතු වෙන්න පුළුවන් වගේම, වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා එසේ අලුතෙන් එකතු වන රුපියලක් නිසා රටේ මුදල් සැපයුම ඒ වගේ කිහිප ගුණයකින් ඉහළ යන්න පුළුවන්.
මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිද්දී වගේම, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් ඔය වැඩේම වෙනවා. සංචිත මුදල් වැඩි වීමට හේතු වන ප්‍රධානම කරුණු දෙක මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සහ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම. වෙළඳපොළෙන් කියා කිවුවත් ඇත්තටම මේ මිල දී ගැනීමේ ගණුදෙනු කරන්නේ වාණිජ බැංකුවක් සමඟ හෝ රජය සමඟයි. ඒ වගේම, ඩොලර් කියා පහසුවට කිවුවත්, මෙයින් අදහස් කරන්නේ ඩොලර්, යුරෝ, යෙන් වැනි ඕනෑම විදේශ මුදල් වර්ගයක්.
ඔය කොයි ක්‍රමයෙන් හෝ සංචිත මුදල් සැපයුම වැඩි වීමෙන් පසුව එය කෙටිකාලයකින් නැවත අඩු කර ගත්තේ නැත්නම්, වාණිජ බැංකු වල මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම වැඩි වෙලා උද්ධමනය ඉහළ යන්න පුළුවන්. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හෝ විදේශ සංචිත විකිණීම මගින් සංචිත මුදල් සැපයුම අඩු කරන්න පුළුවන්. මෙවැනි ගනුදෙනුවකින් පසුව මහ බැංකුව අදාළ අනෙකුත් පාර්ශ්වය විසින් මහ බැංකුවේ පවත්වා ගෙන යන ගිණුමේ ශේෂය පහත දමනවා. එවිට එම අනෙකුත් පාර්ශ්වය වන වාණිජ බැංකුවට හෝ රජයට තමන් සතු රුපියල් ගිණුමේ තැන්පත් කරලා එහි ශේෂය ඉහළ දමා ගන්න වෙන නිසා සංසරණයේ තිබෙන රුපියල් ප්‍රමාණය පහත වැටෙනවා. මුදල් සැපයුම ප්‍රසාරණය වීම නවතිනවා. උද්ධමනය පාලනය වෙනවා.
මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයේ දැකිය හැකි පරිදි, 2020 වර්ෂය ආරම්භ වන විට මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු රුපියල් ප්‍රමාණයට ආසන්නව සමාන ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා. ඉන් පසුව ආර්ථිකය කඩා වැටීම දක්වා ගත වූ කාලය තුළ මහ බැංකුව විසින් විශාල වශයෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිමින් රජයට රුපියල් සැපයුවා. ඒ වෙද්දී රජයේ රුපියල් ආදායම් අහිමි කරගෙන සිටි නිසා සහ ඊට ගැලපෙන වියදම් කප්පාදුවක් සිදු කර නොතිබුණු නිසා රජයට වෙළඳපොළෙන් අවශ්‍ය පමණ ණය ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බදු කප්පාදුවෙන් පසුව රටේ ණය තිරසාරත්වය නැති වෙලා ශ්‍රේණිගත කිරීම් පහත වැටී තිබුණු නිසා කලින් මෙන් විදේශ ණය ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. මේ තත්ත්වය හමුවේ රජයේ දැවැන්ත අයවැය හිඟය පියවීම සඳහා අවශ්‍ය වූ ණය වලින් ලොකු කොටසක් ලබා ගත්තේ මහ බැංකුව ඇතුළු බැංකු අංශයෙන්.
දෙදහස් විස්ස ආරම්භයේදී මහ බැංකුවෙන් රජය විසින් ලබා ගෙන තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 335ක් පමණයි. 2022 වර්ෂය අවසන් වන විට මේ ප්‍රමාණය රුපියල් බිලියන 3,432 දක්වා, දහ ගුණයක් ඉක්මවා, ඉහළ ගියා. මේ තරම් කෙටි කාලයකින් මේ තරම් විශාල රුපියල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙද්දී අනිවාර්යයෙන්ම රටේ මුදල් ඒකකයේ බිඳ වැටීමක් වෙනවා. නමුත් මහ බැංකුව විසින් ඒ විදිහට එළියට ගිය රුපියල් විදේශ සංචිත විකිණීම මගින් නැවත එකතු කරගත් නිසා එවැන්නක් වුනේ නැහැ. ඒ වෙනුවට සිදු වුනේ රටේ විදේශ සංචිත අවසන් වීම. විදේශ සංචිත අවසන් වෙද්දී මහ බැංකුව චීනයට, ඉන්දියාවට වගේම බංග්ලා දේශයට පවා ණය වෙමින් ලබාගත් ඩොලර් වෙළඳපොළේ විකිණීම මගින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් හොයා ගත් නිසා තවත් කාලයක් යන තුරු සංචිත මුදල් වැඩි වීම පාලනය වුනා. ඊට අමතරව මහ බැංකුව මැදිහත් වී දිගින් දිගටම ඩොලර් සැපයුම වැඩි කළ නිසා ඩොලරයක මිල ඉහළ යාමද පාලනය වුනා.
විණිමය අනුපාතය කියා කියන්නේ මුදල් ඒකක දෙකක සාපේක්ෂ වටිනාකම. මුදල් ඒකකයක වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. සංසරණයට රුපියල් වැඩි වැඩියෙන් එකතු වෙද්දී රුපියල් සුලබ වෙන නිසා ඉල්ලුම අඩු වෙලා වටිනාකම අඩු වෙනවා. ඊට අනුපාතිකව සංසරණයට ඩොලර් වැඩි වැඩි වැඩියෙන් එකතු වෙලා ඩොලර් සුලබ වීම නිසා ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලර් වටිනාකමද ඊට සමානව අඩු වුනොත් විණිමය අනුපාතයේ වෙනසක් වෙන්නේ නැහැ. දිගින් දිගටම ණයට ඩොලර් අරගෙන වෙළඳපොළේ විකුණමින් ඩොලර් සැපයුමද වැඩි කිරීම මගින් මහ බැංකුවට රුපියල් සැපයුම වැඩි කරන අතරම විණිමය අනුපාතය ස්ථාවරව තියා ගන්න පුළුවන් වුනා.
මහ බැංකුව මේ වැඩේ කළ පළමු අවස්ථාව මෙය නෙමෙයි. මීට පෙරද ඇතැම් වර්ෂ වලදී මහ බැංකුව මේ වැඩේ කළා. උදාහරණයක් විදිහට 2010 හා 2011 වර්ෂ දෙක සැලකුවොත්, රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඔය වර්ෂ දෙකක කාලය ඇතුළත ඩොලර් මිලියන 18,662 සිට ඩොලර් මිලියන 32,748 දක්වා ඩොලර් මිලියන 14,086කින් ඉහළ ගියා. නමුත් රටේ නිල විදේශ සංචිත ඉහළ ගියේ ඩොලර් මිලියන 1,392කින් පමණයි. සමස්ත විදේශ සංචිත ඉහළ යාම ඊටත් අඩුයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 960ක් පමණයි. එතකොට ඉතිරි ඩොලර් බිලියන දහතුනට වුනේ කුමක්ද?
ඔය වසර දෙක ඇතුළත විදේශ ණය ලෙස රටට ආ ඩොලර් බිලියන 14කින් 13ක්ම රුපියල් වුනා. ඒ කියන්නේ රටේ ඩොලර් ඉපැයීම් වල වැඩිවීමක් නැතිවම ඩොලර් සැපයුම එපමණකින් ඉහළ ගියා. ඒ නිසා, රුපියල් සැපයුම වැඩි වුනත්, ඒ අනුපාතයෙන්ම මෙන් ඩොලර් සැපයුමද වැඩි වූ නිසා විනිමය අනුපාතය ස්ථාවරව තිබුණා. 2009 අවසානයේදී රුපියල් 114.94ක් වූ ඩොලරය 2011 අවසන් වෙද්දී 113.90 දක්වා පහත වැටී තිබුණා.
ඔය විදිහට ඩොලරයක මිල පහත වැටෙද්දී ආනයන ලාබ වෙනවා. මේ හරහා උද්ධමනය පාලනය වෙනවා. විදේශ ණය වල රුපියල් අගය අඩු වෙන නිසා ඇත්තටම ණය වැඩි වෙද්දීත් ණය අඩු වෙනවා වගේ පේනවා. ඩොලර් වලින් බලද්දී රටේ ආර්ථිකයේ ප්‍රමාණය වගේම ඒක පුද්ගල ආදායමද සැබෑ ප්‍රමාණයට වඩා විශාල වී පේනවා. සාමාන්‍යයෙන් ගොඩක් අය බලන සාර්ව ආර්ථික දර්ශක සියල්ලම ඉතා හොඳින් තිබෙන බව පේනවා. ඒ වගේම ප්‍රායෝගිකව වුනත් මිනිස්සුන්ට තමන්ගේ ආර්ථිකය දියුණු වෙලා කියලා දැනෙනවා. හොඳින් බලන කෙනෙකුට මිසක් සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන දෙය මේ සියල්ල යටින් තියෙන්නේ ණයට ගත් විශාල ඩොලර් ප්‍රමාණය කියන එක. මේ වගේ තත්ත්වයක් දිගින් දිගටම පවත්වා ගත හැක්කේ දිගින් දිගටම විදේශ ණය ලබාගත හැකි තාක් පමණයි. එය කළ නොහැකි වූ වහාම පිරමිඩය කඩා වැටෙනවා.
ඔය කාලයේ ලංකාවේ සහ ලෝකයේ පැවති සුවිශේෂී තත්ත්වයන් නිසා පිරමිඩය යම් කාලයක් නඩත්තු කරන්න පුළුවන් වුනා. ලංකාවේ අවුරුදු 26ක සිවිල් යුද්ධයක් අවසන් වෙලා තිබුණේ. සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය ලොකු පිම්මක් පනියි කියලා රටේ සහ ලෝකයේ බොහෝ අයට සාධාරණ විශ්වාසයක් තිබුණා. ඒ නිසා ගොඩක් අය රටේ ආර්ථිකයේ තිබුණු යහපත් ප්රවණතා තේරුම් ගත්තේ යුද්ධය අවසන් වීමේ ප්‍රතිඵලයක් විදිහට. මේ ඇස් බැන්දුම නිසා, විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය මේ විදිහට පවත්වා ගෙන යනවා කියන කරුණ ගොඩක් අයට මග හැරුනා.
අනෙක් අතට ඔය කාලය තුළ ඇමරිකාවේ පොලී අනුපාතික ශුන්‍ය මට්ටම ආසන්නයටම අඩු කරලයි තිබුණේ. නමුත් ලංකාවේ කෙටිකාලීන පොලී අනුපාතික වුනත්, 9% පමණ මට්ටමකයි තිබුණේ. පොලී අනුපාතික වෙනසට සමානව ඩොලරයක මිල වසරකට 9%කින් අවප්‍රමාණය වුනානම් විදේශ ආයෝජකයෙකුට ඇමරිකාවේ ආයෝජනයකට වඩා ලංකාවේ ආයෝජනයක් ආකර්ශනය වෙන්නේ නැහැ. නමුත් ඩොලරයක මිල ස්ථාවරව තියෙනවා කියන්නේ ඇමරිකාවෙන් කිසිවක් නොලැබෙද්දී ලංකාවේ ආයෝජනය කරලා ඩොලර් වලින්ම 9%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියන එකයි. සමහර වකවානු වලදී ඩොලරයක මිල පහළටත් ගියා එවිට ප්‍රතිලාභය තවත් වැඩියි. ඔය කාලයේදී ඇමරිකාවෙන් ණය ගන්න පුළුවන් කෙනෙකුට 2%-3% වැනි අඩු පොලියකට ණය අරගෙන ලංකාවේ ආයෝජනය කරලා පහසුවෙන්ම 9%-10%ක ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්කම තිබුණා. මේ තරම්ම වාසියක් පෙනෙද්දී අවදානම නොතකා ප්රාග්ධනය ලංකාවට ගේන්න ගොඩක් අය පෙළඹුනා. ඒ නිසා ණය ගැනීම අමාරු වුනේ නැහැ.
ලංකාවේ විදේශ ණය ප්‍රමාණය 2005 අවසානයේදී වූ ඩොලර් මිලියන 11,353.8 සිට 2014 අවසානය වෙන විට ඩොලර් මිලියන 42,914.1 දක්වා ඩොලර් මිලියන 31,560.3කින් ඉහළ ගියා. නමුත් ඔය කාලයේදී රටට පෙන්නුවේ ඩොලරයක මිල ස්ථාවරව තියෙද්දී විදේශ සංචිතත් වැඩි වෙනවා කියන එක.
ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණයද 2005 අවසානයේදී වූ ඩොලර් මිලියන 2,735.0 සිට 2014 අවසානය වෙන විට ඩොලර් මිලියන 8,208.4 දක්වා ඩොලර් මිලියන 5,473.4කින් ඉහළ ගියා. ඔය 2014 අවසානයේදී පැවති විදේශ සංචිත ප්‍රමාණය අද දක්වාම වුනත් වසරක් අවසානයේදී වාර්තා වී තිබෙන වැඩිම විදේශ සංචිත ප්‍රමාණය. ඒ නිසා, අද වුනත් ඇතැම් අය ඔය සංචිත ප්‍රමාණය දෙස ඇඟිල්ල දිගු කර පෙන්වනවා. නමුත් වැදගත්ම කාරණය ඩොලර් බිලියන 5.4කින් සංචිත වැඩි වෙද්දී ඊට වඩා ඩොලර් බිලියන 26කින් විදේශ ණය වැඩි වුනා කියන එක. ඇහැට පෙනුණු සෞභාග්‍යය තනිකරම රැඳී තිබුණේ ඔය ඩොලර් බිලියන 26ක අමතර විදේශ ණය ටික මතයි.
මේ ඩොලර් බිලියන 26 ඒ දවස් වලම රුපියල් වී ආනයන ලෙස රටින් ගියා. නමුත් ඔය විදිහට ණය ලෙස රටට එන මූල්‍ය ආයෝජන තත්ත්වයන් වෙනස් වෙද්දී අනිවාර්යයෙන්ම නැවත ආපසු යනවා. විදේශ සංචිත ලෙස ඩොලර් රඳවාගත යුත්තේ ඒ නිසා. 2015දී ඇමරිකාව පොලී අනුපාතික වැඩි කරන්න පටන් ගනිද්දී රටට ආ විදේශ ප්රාග්ධනය ආපසු යන්න පටන් ගත්තා. ඊටත් කලින්ම, 2013 පමණ වන විටත්, විදේශ ණය මත පවත්වා ගත් ආර්ථික වර්ධනය පවත්වා ගන්න බැරි වෙලයි තිබුණා. විදේශ ප්රාග්ධනය ආපසු යද්දී තත්ත්වය තවත් දරුණු වුනා. නමුත් IMF යාම, ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යන්න ඉඩ දීම, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම, ISB ණය අරගෙන කලින් ගත් ණය සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු වූ පොලිය ගෙවීම වගේ දේවල් නිසා ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමක් සිදු වෙන එක වලක්වා ගන්න පුළුවන් වුනා.
කොහොම වුනත් යම් කාලයක් විදේශ ණය වල උදවුවෙන් රටේ සාර්ව ආර්ථික සාධක සියල්ල හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන් වුනා වගේම මේ වෙනුවෙන් එම කාලය තුල සංචිත වියදම් කරන්න අවශ්‍ය වුනේ නැහැ. නමුත් පසුව, 2020-2022 කාලයේදී ඔය දෙයම කරන්න උත්සාහ කරද්දී තත්වයන් වෙනස් වී තිබුණු බැවින් විදේශ ණය පහසුවෙන් ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉන්දියාවෙන්, චීනයෙන් ණය ලබාගත්තත්, එසේ ලබාගත් ඩොලර් ප්‍රමාණය ඩොලරයක මිල ස්ථාවරව තියාගන්න තරම් ප්‍රමාණවත් නොවුණු නිසා ඩොලරයක මිල ස්ථාවරව තියා ගැනීම සඳහා විදේශ සංචිත විකුණන්න වුනා.
අන්තිමට වුනේ එළුවාගේ බෙල්ලත් කපලා මුට්ටියත් බිඳින්න වුනා වගේ වැඩක්. විණිමය අනුපාතය පාලනය කිරීම මගින් පාලනය කරගෙන සිටි උද්ධමනය විණිමය අනුපාතයත් එක්කම කඩාගෙන ඉහළ ගියා.
ඒ තත්ත්වය එක්ක බලද්දී මේ වන විට විශාල ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. 2022 ජූලි මාසයේ සිට මේ දක්වාම මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම, එහිදී රටේ රුපියල් සැපයුම ඉහළ යාම පාලනය කර ගැනීම පිණිස මහ බැංකුව විසින් රජයට ලබා දී ඇති ණය ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යමින් සිටින බවත් පැහැදිලිව පේනවා. මෙය මෙසේ කළ හැකිව තිබෙන්නේ රජයේ ආදායම් ඉහළ දමාගැනීම සහ වියදම් පාලනය කර ගැනීම මගින් මහ බැංකුවේ ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් හොයාගන්න රජය සමත් වී තිබෙන නිසා. එසේ නොවන්නට විදේශ සංචිත වැඩි කරගැනීම නිසා වුවත් උද්ධමනය ඉහළ යනවා.
මේ යන වැඩ පිළිවෙළේ පැහැදිලි ප්‍රගතියක් තිබෙනවා වගේම එහි ගමනාන්තය සුබ එකක් කියන එකත් පැහැදිලිව පේනවා. නමුත් තවම ගමනාන්තයට ඇවිත් නැහැ. ඒ සඳහා තවත් වසර කිහිපයක් යයි. එම කාලය තුළ අල්ලාගෙන සිටීම සඳහා තමයි තවත් IMF වැඩ සටහනකට යා යුත්තේ.
පසුගිය සැප්තැම්බර් මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් කළොත් ඩොලර් මිලියන 3,374ක් පමණ. මේ ප්‍රමාණය මහ බැංකුවේ සංචිත මුදල් සැපයුමෙන් 57.2%ක්. ඔක්තෝබර් අවසන් වෙද්දී මේ ප්‍රතිශතය බොහෝ විට 60% ඉක්මවලා ඇති. හිටපු හැටියට විශාල ප්‍රගතියක් වුනත් මේ ගමන තවත් දුර යා යුතු ගමනක්.
මේ වෙද්දී ඉන්දියාවේ ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කියලයි මම හිතන්නේ. චීනයේ යුවාන් බිලියන 10 ආපසු ගෙවන්න තවත් වසරක් තිබෙනවා. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.5ක් පමණ. ඊට අමතරව කෝවිඩ් කාලයේ IMF එක විසින් "නිකම්" ලබා දුන්, ණයක්ම නොවන, ඩොලර් බිලියන 1.3කට ආසන්න මුදලක් තිබෙනවා. ආපසු ගෙවන තුරු ඒ වෙනුවෙන් පොලියක් ගෙවිය යුතු වුවත්, මුල් මුදල ආපසු ගෙවිය යුතු නිශ්චිත දිනයක් නැහැ. ඔය කොටස් තුන එකතු කළ විට, මේ වන විටද සංචිත මුදල් ප්‍රමාණය ඉක්මවන විදේශ සංචිත ආවරණයක් තිබෙනවා. චීන ණය ආපසු ගෙවන්න පෙර එම ප්‍රමාණයට සමාන විදේශ සංචිත ප්‍රමාණයක් එකතු කර ගැනීම මගින්, ඒ ණය ගෙවීමෙන් පසුවද අවශ්‍ය සංචිත ප්‍රමාණය ලොකු අවදානමක් නැති මට්ටමක තියාගන්න පුළුවන්.
සියල්ල අනිවාර්යයෙන්ම හොඳින් සිදු වන බව සහතිකනම්, නැවත IMF එකෙන් වුනත් ණය ගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ අවුරුද්දේ ඇති වූ ආකාරයේ බාහිර කම්පන නැවත නොඑයි කියන එක පිළිබඳව සහතිකයක් නැති නිසා තවත් යම් කාලයක් IMF උදවු ගන්න එක හොඳයි.
දළ විදේශ සංචිත හා ශුද්ධ විදේශ සංචිත වැඩි කරගැනීම ඇතුළුව විදේශ අංශය කළමනාකරණය කරගැනීම මහ බැංකුව පැත්තෙන් සිදු වූ දෙයක්. ඒ නිසා, එහි හොඳ හෝ නරක කලින් ආණ්ඩුවට හෝ මේ ආණ්ඩුවට බැර කරන එකට ලොකු පදනමක් නැහැ. නමුත් මහ බැංකුවට මේ වැඩේ මේ විදිහට කරගන්න පුළුවන් වුනේ කලින් ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් රාජ්‍යමූල්‍ය කළමණාකරනය හොඳින් සිදු කළ නිසා.
රාජ්‍යමූල්‍ය කළමණාකරනය දෙස බැලුවොත්, දැනට වුනත් ප්‍රාථමික අතිරික්තයක් මිසක් සමස්ත අයවැය අතිරික්තයක් නැහැ. පෙනෙන්න තිබෙන සමස්ත අයවැය අතිරික්තය තාවකාලික තත්ත්වයක් පමණයි. සමස්ත අයවැය අතිරික්තයක් පවතින තුරු රජයට දිගින් දිගටම වැඩි වැඩියෙන් ණය ගන්න වෙනවා. රජයට ඒ ඉලක්කය දක්වා යන්න වුනත් තවත් අවුරුදු කිහිපයක් අවශ්‍යයි.
විදේශ සංචිත වැඩි කර ගනිද්දී සංචිත මුදල් ඉහළ යාම පාලනය කරගන්නනම් මහ බැංකුව විසින් රජයට දී තිබෙන ණය අඩු කරගන්න වෙනවා. ඒ කියන්නේ රජය මහ බැංකුවෙන් ගත් ණය ආපසු ගෙවනවා කියන එක. මේ වැඩේ සාර්ථක වෙන්නේ රජයේ ආදායම් ඉහළ යාම සහ වියදම් ඒ තරමටම ඉහළ නොයාම දිගටම එලෙසම සිදු වේනම් පමණක් නිසා රජය එවැනි ඉලක්කයක් තුළ දිගටම සිටීම ඉතාම වැදගත්.

අනේ මේ ඉකොනොමැට්ටා, දැන් වත් ඔය බොරුව නැවත නැවත ලියන එක කරුණාකරලා නවත්තන්න ප්ලීස්. මේ ලිපිය කියවද්දී පේන්නේ ආර්ථික විද්‍යාවට වඩා තමන්ගේ පටු පුහු දේශපාලන මතවාදයක් ඔප්පු කරන්න සංඛ්‍යා ටිකක් අරගෙන ඒවාට කැමති අර්ථයක් දීලා තියෙන බවයි 😅
ReplyDeleteමුලින්ම 2005–2014 කාලය ගැන ඇත්ත දත්ත ටික බලමු. 2005දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ලැබුණේ පළමු වතාවටයි. ඒ වෙද්දී Fitch ශ්‍රේණිගත කිරීම BB- සහ S&P B+ මට්ටමේ තිබුණේ දේශපාලන හා ආරක්ෂක අවිනිශ්චිතතාව සහ ඉහළ අයවැය හිඟය වැනි අවදානම් නිසයි. නමුත් යුද්ධය අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ඉදිරියට යද්දී 2010 වන විට Fitch සහ S&P දෙකම B+ මට්ටමට පැමිණ තිබුණා Moody’s B1 මට්ටමට පැමිණ තිබුණා. 2011දී Fitch ශ්‍රේණිගත කිරීම තවත් ඉහළ දමා BB- කළා, S&P ඉදිරි දැක්ම Positive කළා, Moody’s ද Positive outlook එකක් ලබා දුන්නා. 2012දීත් මේ ශ්‍රේණිගත කිරීම් පවත්වාගෙන ගිය බව මහ බැංකුවේ වාර්තාවත් සඳහන් කරනවා. 2014 වන විට Fitch BB- Stable, S&P B+ Stable, Moody’s B1 Stable ලෙස පැවතුණා. මේවා Investment Grade නොවුණත්, 2005ට සාපේක්ෂව රටේ ණය ගෙවීමේ හැකියාව සහ ජාත්‍යන්තර මූල්‍ය විශ්වාසය වැඩිදියුණු වූ බව පෙන්වන සැබෑ සාක්ෂි.
ඒ විතරක් නෙවෙයි, ලෝක බැංකුවේ දත්ත අනුව 2005–2014 දශකයේ ආර්ථික වර්ධනය සාමාන්‍යයෙන් වසරකට 6–7%ක් පමණ වූ අතර 2002දී 22.7%ක් වූ දරිද්‍රතාව 2012/13 වන විට 6.7% දක්වා අඩු වුණා. ඒ කියන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසු යටිතල පහසුකම්, ප්‍රවාහන, සංචාරක සහ සේවා අංශවල වර්ධනයත් සමඟ රටේ ජන ජීවිතයට සැබෑ ආර්ථික වෙනසක් ඇතිවී තිබුණා.
දැන් මේ ඉකොනොගේ ලිපියේ බොරුවලට එමු.
මේ කියන විදියට 2005 විදේශ ණය ඩොලර් මිලියන 11,353.8යි, 2014දී ඩොලර් මිලියන 42,914.1යි කියලා ඔහුම දීලා තියෙන සංඛ්‍යා දෙක අනුව වැඩිවීම මිලියන 31,560.3 මිසක් ඔහු ලියන මිලියන 33,485.6 නෙවෙයි! මුලින්ම තමන්ගේ ගණිතයවත් හරියට කරගන්න ඕන.
ඊළඟට මුළු විදේශ ණය කියන්නේ රජයේ ණය විතරක් නෙවෙයි. මහ බැංකුවේ, වාණිජ බැංකුවල, පෞද්ගලික සමාගම්වල සහ වෙනත් අංශවල විදේශ වගකීම් සියල්ලත් එයට ඇතුළත්. 2014 මහ බැංකු දත්ත අනුව මුළු විදේශ ණයෙන් General Government කොටස මිලියන 24,051ක් පමණයි. ඉතිරි කොටස් වෙනත් අංශවලට අයත්. එහෙම තියෙද්දී මුළු ණය වැඩිවීමම රජය අරගෙන ඒවා හුදෙක් ආනයනයට පමණක්ම වියදම් කළා කියන්නේ මොන සාක්ෂියක් මතද? ණය ගත්ත ව්‍යාපෘති ලැයිස්තුවක් නැහැ, ආනයන දත්ත නැහැ, විගණන සාක්ෂි නැහැ. කටට ආවට ඔහේ කියනවා
2014දී විදේශ සංචිත වැඩිවුණේ ණය නිසා විතරක් නෙවෙයි. අපනයන, සංචාරක ආදායම්, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අනෙකුත් විදේශ මුදල් ලැබීම්ද ඊට දායක වුණා. 2014දී ගෙවුම් ශේෂයේ සමස්ත අතිරික්තය මිලියන 1,369ක් වූ බවත්, ජංගම ගිණුමේ හිඟය සංචාරක සහ ප්‍රේෂණ ආදායම් හේතුවෙන් අඩු වූ බවත් ලෝක බැංකුවේ වාර්තා පෙන්වනවා. ඒ නිසා සංචිත වැඩිවීම ණය නිසාම ඇති වූ ව්‍යාජ සෞභාග්‍යයක් කියන එකත් වැරදියි.
හැබැයි 2005–2014 කාලයේත් ණය, අයවැය හිඟය සහ බදු ආදායම් සම්බන්ධ ගැටලු තිබුණා. ඒවාත් හංගන්න ඕනේ නැහැ. නමුත් ඒවා තිබුණා කියලා ඒ දශකයේ ආර්ථික වර්ධනය, දරිද්‍රතාව අඩුවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල දියුණුව බොරුවක් වෙන්නේ නැහැ.
ලංකාවේ 2015න් පසු ණය ශ්‍රේණිගත කිරීම්වල Negative outlook, 2018දී පහත දැමීම් සහ 2019දීත් පැවති අවදානම් ගැනත් නිල වාර්තා තියෙනවා. ඒවාත් ඇත්ත. ඒ වගේම 2020–2022 කඩාවැටීම 2005–2014 ණය වැඩිවීමෙන් විතරක් පැහැදිලි කරන්න බැහැ ඒකටත් 2019 බදු කප්පාදු, COVID-19, සංචාරක ආදායම් අහිමිවීම සහ පසුව ගත් වැරදි ප්‍රතිපත්ති තීරණත් ඒකට බලපෑවා. ඒ නිසා කරුණාකරලා තමන්ගේ මතවාදයට ගැළපෙන සංඛ්‍යා ටිකක් අරගෙන අංක විජ්ජාවලින් ජනතාවගේ බුද්ධියට අපහාස කරන්න එපා. රටක ආර්ථික ඉතිහාසය කියන්නේ කැමති කෙනාට කැමති විදිහට ලියන්න පුළුවන් නවකතාවක් නෙවෙයි, මහ බැංකු වාර්තා, IMF, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ලේඛන තියෙනවා. බොරුවට ටික කාලයක් සද්දෙ දාන්න පුළුවන්, නමුත් බොරුව හැමදාම දිනන්නේ නැහැ. කාලය ගතවුණත් සාක්ෂි සහිත ඇත්ත එළියට එනවා, අවසානයේ ජයගන්නේ ඇත්තයි. ඒක තේරුම්ගන්න.
//මේ කියන විදියට 2005 විදේශ ණය ඩොලර් මිලියන 11,353.8යි, 2014දී ඩොලර් මිලියන 42,914.1යි කියලා ඔහුම දීලා තියෙන සංඛ්‍යා දෙක අනුව වැඩිවීම මිලියන 31,560.3 මිසක් ඔහු ලියන මිලියන 33,485.6 නෙවෙයි! මුලින්ම තමන්ගේ ගණිතයවත් හරියට කරගන්න ඕන.//
Deleteපළමුව, මෙය පෙන්වා දීම ගැන ස්තුතියි! ඒ ගණන අත් වැරදීමක්. නිවැරදි කළා.
//ඉතිරි කොටස් වෙනත් අංශවලට අයත්. එහෙම තියෙද්දී මුළු ණය වැඩිවීමම රජය අරගෙන ඒවා හුදෙක් ආනයනයට පමණක්ම වියදම් කළා කියන්නේ මොන සාක්ෂියක් මතද?//
මේ ලිපි හරහා පෙන්වා දෙන ප්‍රධාන කරුණ රජය ණය ගැනීමේ වැරැද්ද නෙමෙයි. විණිමය ප්‍රතිපත්තියේ වැරැද්ද. ආනයන කරන්නේ රජය නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියාගත් විට ආනයන ඉහළ යනවා. අපනයන අඩු වෙනවා.
//2014දී විදේශ සංචිත වැඩිවුණේ ණය නිසා විතරක් නෙවෙයි. අපනයන, සංචාරක ආදායම්, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අනෙකුත් විදේශ මුදල් ලැබීම්ද ඊට දායක වුණා.//
නෑ. ඔය දේවල් හරහා ජංගම ගිණුමේ ලැබීම් ඉහළ ගියත් ඊට වඩා විශාල ලෙස ආනයන ඇතුළු ජංගම ගිණුමේ ගෙවීම් ඉහළ ගියා. 2005දී ඩොලර් බිලියන 2.5ක් වූ වෙළඳ හිඟය 2014දී ඩොලර් බිලියන 8.2ක් වුනා.
//නමුත් ඒවා තිබුණා කියලා ඒ දශකයේ ආර්ථික වර්ධනය, දරිද්‍රතාව අඩුවීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල දියුණුව බොරුවක් වෙන්නේ නැහැ.//
ඒවා බොරු නෙමෙයි. නමුත් රටේ ආර්ථිකය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වුනා කියා බොහෝ දෙනෙකු විශ්වාස කරන දේ බොරුවක්. ඒ වගේම, ඔබ කියන ප්‍රවණතාවය දිගටම පවත්වා ගැනීමේ කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. එහෙම කරන්නනම් දිගින් දිගටම විණිමය අනුපාතය පාලනය කරන්න වෙනවා. එහෙම කරන්න තව තව වැඩි වැඩියෙන් ණය ගන්න වෙනවා. 2013 පමණ වන විටත් කඩා වැටීම පටන් අරගෙනයි තිබුණේ.
ඉකොනොමැට්ටා, ඔබේ විග්රහයේ බොහෝ කරුණු සමඟ මම එකඟයි. විශේෂයෙන්ම විදේශ ණය හරහා ඩොලරයේ අගය කෘත්‍රිමව පහළ මට්ටමක පවත්වාගෙන යෑමේ දිගුකාලීන අවදානම ගැන ඔබ කියන කතාව නිවැරදියි. නමුත් 2009–2014 කාලයේ සිදුවූ ආර්ථික වර්ධනය ණය මත ගොඩනැගුණු ඇස්බැන්දුමක් ලෙස පමණක් විස්තර කිරීම ගැන මට යම් ගැටලුවක් තිබෙනවා.
ReplyDeleteඅවුරුදු තිහකට ආසන්න යුද්ධයක් අවසන් වීමත් සමඟ උතුරු නැගෙනහිර පළාත්වල නිෂ්පාදනය, වෙළෙඳාම, ධීවර කර්මාන්තය සහ අනෙකුත් ආර්ථික ක්‍රියාකාරකම් නැවත ජාතික ආර්ථිකයට සම්බන්ධ වුණා. ඩයස්පෝරාව සමඟ ආර්ථික සම්බන්ධතා වර්ධනය වීමටත් අවස්ථාව ලැබුණා. මේවාත් එදා ආර්ථික වර්ධනයට දායක වූ සාධක ලෙස සැලකිය යුතු නැද්ද?
අනෙක් අතට, එම කාලයේ සිදුවූ සංවර්ධනය හුදෙක් සංඛ්‍යාලේඛනවලට සීමා වූ එකක් නෙමෙයි. ගමේ පාරවල් කොන්ක්‍රීට් වුණා, කාපට් වුණා, ඈත ගම්මාන නගර සමඟ සම්බන්ධ වුණා. විදුලිය රට පුරා ව්‍යාප්ත වුණා. ගෙදර පාපැදියක් තිබුණු මනුස්සයා යතුරුපැදියක් ගත්තා. යතුරුපැදියක් තිබුණු මනුස්සයා ත්‍රිරෝද රථයක් ගත්තා. ත්‍රිරෝද රථයක් තිබුණු මනුස්සයා කාර් එකක් ගත්තා. ගමේ ගෙවල්වලට රූපවාහිනී, ශීතකරණ සහ අනෙකුත් විදුලි උපකරණ ආවා. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ ඇස් පනාපිට පෙනෙන වෙනසක් සිදුවුණා.
ඔබ කියන ආකාරයටම, ඩොලරය අඩු අගයක පවත්වාගෙන යෑමෙන් ජනතාවට ඔවුන්ගේ සැබෑ ආදායමට සාපේක්ෂව ලාභදායී ආනයනික භාණ්ඩ පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වාසිය දිගුකාලීනව තිරසාර නොවුණත්, එදා ජනතාව එයින් සැබෑ පරිභෝජන ප්‍රතිලාභයක් ලැබූ බව ප්‍රතික්ෂේප කරන්න බැහැ.
නමුත් මගේ අදහස අනුව වඩාත් වැදගත් කාරණය එයත් නෙමෙයි. විදේශ ණය යොදාගෙන ගොඩනැගූ මාර්ග, විදුලිබල පද්ධති සහ අනෙකුත් යටිතල පහසුකම් අදත් රටේ ආර්ථිකයට සේවය කරනවා. ගමක නිෂ්පාදනයක් නගරයේ වෙළෙඳපොළට ගෙන යෑම පහසු කිරීමත්, ග්‍රාමීය ආර්ථිකය ජාතික ආර්ථිකයට සම්බන්ධ කිරීමත් සංවර්ධනයේම කොටස් නේද?
ඇත්තටම විදේශ ණය ගැනීමේ අරමුණත් රටේ අනාගත නිෂ්පාදන ධාරිතාව සහ ආර්ථික ප්රතිලාභ වැඩි කරන ආයෝජන සිදු කිරීමයි. ඒ නිසා විදේශ ණය වැඩිවීම පමණක් පෙන්වා එම කාලයේ සංවර්ධනය ඇස්බැන්දුමක් ලෙස හැඳින්වීම සාධාරණද?
මෙයින් රාජපක්ෂ පාලන කාලයේ සියලුම ව්‍යාපෘති සාධාරණීකරණය කරන්න මම උත්සාහ කරන්නේ නැහැ. ආර්ථික ප්රතිලාභ අඩු, අනවශ්‍ය හෝ අධික පිරිවැයකින් ඉදිකළ ව්‍යාපෘති තිබුණා නම් ඒවා දැඩිව විවේචනය කළ යුතුයි. දූෂණය සහ මුදල් අවභාවිතය සිදුවුණා නම් ඒවාටත් වගකීම පැවරිය යුතුයි.
නමුත් ඒ සියල්ල අතරේ රටට ඉතිරි වූ සැබෑ වත්කම් සහ ඒවායින් ලැබෙන දිගුකාලීන ප්‍රතිලාභත් ගණනය කළ යුතුයි.
2015න් පසුව යහපාලන ආණ්ඩුවට පැවරුණේ එවැනි සංවර්ධනයක් පවත්වාගෙන යන අතරම ණය සහ රාජ්‍ය මූල්‍ය අවදානම් පාලනය කිරීමේ අභියෝගයයි. එම කාලයේත් අඩුපාඩු තිබුණා. පසුව ගෝඨාභයගේ පාලනය යටතේ ගත් වැරදි ආර්ථික තීරණ සහ බාහිර කම්පන හමුවේ අර්බුදය උග්‍ර වුණා. 2022දී රනිල්ට පැවරුණේ එම අර්බුදයෙන් රට යළි ස්ථාවර කිරීමේ අභියෝගයයි.
ඒ නිසා මගේ ප්රශ්නය මෙයයි. 2005–2014 කාලයේ විදේශ ණය වැඩිවීමෙන් සංචිත වැඩිවීම අඩු කර ඉතිරි වෙනස පෙන්වනවාට අමතරව, එම ණය හරහා නිර්මාණය වූ භෞතික වත්කම්, ඒවායේ වර්තමාන ආර්ථික වටිනාකම සහ ඒවායින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභත් ගණනය නොකර එම යුගයේ සංවර්ධනය පිළිබඳ සම්පූර්ණ නිගමනයකට එන්න පුළුවන්ද?
මට නම් හිතෙන්නේ විවේචනය කළ යුත්තේ විදේශ ණය ගැනීමම නොවෙයි. ගත් ණය කොපමණ ඵලදායී ලෙස යෙදවූවාද, එයින් රටට කොපමණ ප්රතිලාභ ලැබුණාද, එම ප්රතිලාභ ණය ආපසු ගෙවීමේ පිරිවැයට සාපේක්ෂව ප්‍රමාණවත්ද කියන එකයි.
//ඒ නිසා මගේ ප්රශ්නය මෙයයි. 2005–2014 කාලයේ විදේශ ණය වැඩිවීමෙන් සංචිත වැඩිවීම අඩු කර ඉතිරි වෙනස පෙන්වනවාට අමතරව, එම ණය හරහා නිර්මාණය වූ භෞතික වත්කම්, ඒවායේ වර්තමාන ආර්ථික වටිනාකම සහ ඒවායින් ජනතාවට ලැබුණු ප්‍රතිලාභත් ගණනය නොකර එම යුගයේ සංවර්ධනය පිළිබඳ සම්පූර්ණ නිගමනයකට එන්න පුළුවන්ද?//
Deleteමේ කරුණ හා අදාළව දිගින් දිගටම ලියා තිබෙන ලිපි වලින් පෙන්වා දෙන්න උත්සාහ කරන ප්‍රධාන කරුණ ණය ගැනීමේ වැරැද්ද නෙමෙයි. විණිමය ප්‍රතිපත්තියේ වැරැද්ද. ඔය අනෙක් දේවල් ගැන ලියූ ලිපි වෙනම තිබෙනවා. උදාහරණයක් විදිහට ණය ගත් නමුත් වත්කම් හැදුණේ නැහැ කියන එක බොරුවක්. ණය වලට වඩා වත්කම් හැදුනා. ප්රශ්නය වුනේ, පළමුව, ඩොලර් ණය වෙනුවට හැදුනේ රුපියල් වත්කම් වීම. දෙවනුව, පෞද්ගලික අංශයේ වත්කම් බදු ආදායම් ලෙස රජයේ ආදායම් බවට පත් නොවීම නිසා රජයට ණය අර්බුදයකට මුහුණ දෙන්න සිදු වීම. මූලික කාරණය 2005–2014 කාලයේ සංවර්ධනයක් වුනේ නැහැ කියන එක නෙමෙයි. ඒ කාලයේ සිදු කළ පරීක්ෂණය දිගටම එක දිගට සිදු කළ නොහැකි, තිරසාර නොවන එකක් කියන එක. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි විදේශ ණය ඉහළ ගියේ. ඒ වැඩේ දිගින් දිගටම කරන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. මෙය පිරමිඩ ක්‍රමයක්. අලුතෙන් අවශ්‍ය පමණ විදේශ ණය ගන්න බැරි වූ වහාම පිරමිඩය කඩා වැටෙනවා. සිදු වුනේ ඒක. සැබෑ වත්කම් ඒ විදිහට නැති වෙන්නේ නැහැ වගේම නැති වුනෙත් නැහැ.