වෙබ් ලිපිනය:

Saturday, February 11, 2017

චතුර්වර්ණ මතු කරන වාහන බලපත්‍ර (දෙවන කොටස)

පෙර ලිපියේ කතා කළ පරිදි විජේපාල හෙට්ටිආරච්චි හෝ සුජීව සේනසිංහ වැනි මහජන නියෝජිතයෙකු සිය බදු රහිත වාහන ආනයන බලපත්‍රය හරහා ලබන වාසිය හේතුවෙන් රජය විසින් අහිමි කර ගන්නා එක්සයිස් බදු මුදල රුපියල් 33,457,500.00කි. මීට අමතරව, වාහනයක් මිලදී ගන්නා වෙනත් අයෙකු විසින් ගෙවිය යුතු වැට් වැනි අනෙකුත් බදු මුදල්ද සැලකූ විට මෙසේ රජයට අහිමි වන මුළු බදු ආදායම මීටත් වඩා විශාල විය යුතුය.

එසේ රජයට අහිමි වන බදු ආදායමින් විශාල කොටසක් මේ මහජන නියෝජිතයකුට සෘජු ආදායමක් ලෙස ක්ෂණිකව අතට ලැබෙන අතර පක්ෂ භේදයක් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පස් වසරකට වරක් උපයන මේ මුදල අඩු වශයෙන් ලක්ෂ 300ක්වත් විය යුතුය. වාහන ආනයන උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 50,000 සිට 62,500 දක්වා වැඩි කර ගැනීමෙන් මෑතකදී මේ ආදායම් ඉපයීමේ හැකියාව 25%කින් වැඩි කර ගැනීමට පෙරද මෙවැනි බදු රහිත වාහන ආනයන බලපත්‍රයක් රුපියල් ලක්ෂ 250කට පමණ විකිණුන බව වාර්තා වී ඇති බැවින් මෙය නරක ඇස්තමේන්තුවක් නොවේ.

එසේනම්, මේ ආදායම මාසයකට රුපියල් ලක්ෂ 5ක පමණවත් ආදායමකට සමානය. මේ වරප්‍රසාදය දැනට ලබන අයෙකු සිය කැමැත්තෙන් එය අතහැර දමනු ඇත්තේ අඩු වශයෙන් එපමණ මුදලක්වත් ඔවුන්ගේ අතට ලැබෙන්නේනම් පමණි. මහජන නියෝජිතයකුට සෘජුවම ලක්ෂ 300 බැගින් දුන්නේ හෝ රුපියල් ලක්ෂ 5ක අමතර මාසික දීමනාවක් ලබා දුන්නේ වුවද රජයට ශුද්ධ වශයෙන් වෙන්නේ වාසියක් වුවත් අයවැය යෝජනාව ඒ මට්ටමට දුර දිග ගියේ නැත. මහජන විරෝධයට මුහුණ නොදී එවැනි මුදලක් ලබා ගැනීම අපහසු බව මේ මහජන නියෝජිතයෝ දනිති. පාරදෘශ්‍ය නොවන ලෙස වාහන බලපත්‍රය මුදල් කර ගැනීම ඔවුන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිතය.

අයවැය යෝජනා ගැන පැවති වැඩමුළුවකදී එජාප මන්ත්‍රීවරුන්ගෙන්ම මේ අයවැය යෝජනාවට විරුද්ධත්වය පළ වුනු බව මාධ්‍ය වල වාර්තා වී තිබුණේය. ඒ හේතුවෙන් හෝ වෙනත් හේතුවකින් අයවැයෙන් පසුව මහජන නියෝජිතයින්ගේ වාහන බලපත්‍ර අයිතිය අහිමි කිරීමට (දන්නා තරමින්) කිසිදු ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් ගැනුණේ නැත. එහෙත්, අයවැය යෝජනාව පරිදි රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අහෝසි කරමින් චක්‍රලේඛයක් නිකුත් විය.

රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ර අයිතිය නැති කිරීමට විරුද්ධව සටන් කළ කණ්ඩායම් අතරින් රජයට වැඩිම පීඩනයක් එල්ල කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. එම සංගමය ලංකාවේ රජයට වැඩිම බලපෑමක් කළ හැකි පීඩක  කණ්ඩායම වන්නට පුළුවන. මෙහිදී ඔවුන්ගේ සටන් පාඨයට තර්කානුකූල පදනමක්ද පැවති අතර ඔවුන් විමසා සිටියේ මහජන නි
යෝජිතයින් විසින් සිය වරප්‍රසාදය අහිමි කර නොගනිමින් වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ගේ වාහන ආනයන බලපත්‍ර වරප්‍රසාදය අහිමි කිරීමේ ඇති වැරැද්දයි. අවසානයේ මේ "වැරැද්ද" නිවැරදි කෙරුණු අතර එය සිදු වූයේ රජයට වාර්ෂිකව සිදුවන පාඩුව තවත් සැලකිය යුතු ලෙස වැඩි කරමින් මහජන නියෝජිතයින්ගේ මෙන්ම රජයේ සේවකයන්ගේද වාහන බලපත්‍ර වරප්‍රසාදය තව දුරටත් පුළුල් කිරීමෙනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු සිය සාමාජිකයින්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් කාටලයක් ලෙස කටයුතු කරන විශාල ඒකාධිකාරයකි. එහෙත් මෙහිදී අමතක නොකළ යුතු කරුණ වන්නේ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රජය යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා කිහිප ගුණයක් විශාල තවත් දැවැන්ත ඒකාධිකාරයක් බවයි. රජයේ වෛද්‍යවරු යනු රජයේම කොටසක් බව බැහැර කළ නොහැකි තර්කයක් වුවත් එම සංගමයේ සාමාජිකයින්ගේ සාංගමික අනන්‍යතාවය රාජ්‍ය සේවකයින් ලෙස වන ඔවුන්ගේ අනන්‍යතාවයට වඩා බොහෝ ප්‍රබලය.

මේ ඒකාධිකාර දෙක අතර වරින් වර ඇති වන ගැටුම් වලදී මහජනතාවගේ වැඩි සහයෝගය හිමි වන්නේ රජයට වීම විමසිය යුත්තකි. වඩා විශාල ඒකාධිකාරයක් සමඟ සටන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මහජන අනුකම්පාව හිමි නොවන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ ඒකාධිකාර දෙකේ ක්‍රමෝපායයන්ගේ ඇති වෙනසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බොහෝ විට අනුගමනය කරන්නේ ඔවුන්ට සහයෝගයක් ලබා ගැනීමේ වැඩිම ඉඩක් ඇති කණ්ඩායම් වුවද බැහැර කිරීමේ ප්‍රතිපත්තියකි. එයින් වෙනස්ව, රජයේ ඉහළ ස්ථරය විසින් අනුගමනය කරන්නේ "බෙදාගෙන කෑමේ" ප්‍රතිපත්තියකි.

හැන්ද අතේ ඇති මහජන නියෝජිතයින් විසින් බදු රහිත වාහන බලපත් ලබා ගනිද්දී රජයේ ඉහළ නිලධාරීන්ටද කටුවක් විසි කිරීම මඟින් මේ ක්‍රියාවට එරෙහිව නැඟෙන ප්‍රතිරෝධය අඩු කරගනී. කටුවක් කීවද මේ කටුවේ සෑහෙන්න මස් තිබේ!

අළුත් චක්‍රලේඛය අනුව මේ වරප්‍රසාදය ලබන රජයේ නිලධාරියෙකුට එක්සත් ජනපද ඩොලර් 30,000 දක්වා වටිනා වාහනයක් බදු මුදලින් 50%ක් පමණක් ගෙවා මිල දී ගත හැකිය. ඒ අනුව, මේ වර්ගයේ බලපත්‍රයක "වටිනාකම" රුපියල් ලක්ෂ 65ක් පමණ වන අතර වසරකට වාහන බලපත් 9000ක් පමණ නිකුත් කෙරී ඇති බව සැලකූ විට රජය විසින් මෙවැනි බලපත් නිකුත් කිරීම මඟින් අය කර නොගනු ලබන බදු ප්‍රමාණය රුපියල් බිලියන 60ක් පමණ වනු ඇත. බලපත් හිමිකම හේතුවෙන් වාහන වැඩි ප්‍රමාණයක් ආනයනය කෙරෙන නිසා මේ මුළු මුදලම රජයට සිදුවන අලාභයක් බව කීම නිවැරදි නොවූවත් බලපත් සඳහා ලැබෙන වරප්‍රසාද පුළුල් කිරීම හේතුවෙන් රජයට අහිමි වන බදු ආදායම තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පෙනේ.

රජයේ ඉහළ නිලධාරීන්ට දැන් හිමිවන වාහන ආනයන බලපත්‍රය පෙර ලබා දුන් බලපත්‍රයට සාපේක්ෂව "විකුණා ගන්නටම දෙන" බලපත්‍රයකි. පෙර බලපත්‍ර ක්‍රමය ය‍ටතේ සිදු වූ තමන්ගේ පාවිච්චියට වාහනයක් ගැනීම දිරිමත් කිරීමක් මේ අළුත් ක්‍රමයේ නැත. රජයේ නිලධාරීන්ගේ වාහන බලපත් සඳහා පෙර පැවති උපරිම සීමාව එක්සත් ජනපද ඩොලර් 25,000ක් වූ අතර එම සීමාවට යටත්ව වුවද 50%ක බදු සහනයක් ලැබුණේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 1000 නොඉක්මවූ වාහන සඳහා පමණි. වාහනයේ එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 2600 උපරිමය දක්වා ක්‍රමයෙන් වැඩි වෙද්දී ලැබෙන බදු සහනයද 30% දක්වා ක්‍රමයෙන් අඩු විය. අළුතෙන් ලබාදෙන බලපත් වල උපරිම වටිනාකම් සීමාව වැඩි කර ඇතුවා පමණක් නොව එන්ජින් ධාරිතාව මත වෙනසක් නොකරමින් සියළුම වාහන සඳහා 50% බදු සහනය හිමිවේ.

සාමාන්‍යයෙන් වාහනයක එන්ජින් ධාරිතාවය වැඩි වෙද්දී මිලද ඉහළ යයි. රජයේ සේවකයෙකුට අඩු මුදලකට මිලදී ගත හැක්කේ එන්ජින් ධාරිතාව අඩු වාහනයකි. පෙර පැවති ක්‍රමය යටතේ එවැන්නෙකු 50%ක බදු සහනයක් ලැබීය. යම් හෙයකින් මේ බලපත්‍රය වැඩි මුදලක් අතේ ඇති අයෙකුට විකුණුවේනම් එය යොදාගෙන වැඩි එන්ජින් ධාරිතාවයක් ඇති වැඩි මිල වාහනයක් ආනයනය කළ හැකි වුවත් එවිට ලැබෙන්නේ අඩු බදු සහනයක් බැවින් වාහන බලපත්‍රය විකිණීම එතරම් වාසිදායක කටයුත්තක් නොවූ අතර අතේ ඇති මුදලට තමන්ගේ පාවිච්චියට වාහනයක් මිලදී ගැනීම වඩා වාසිදායක විය. ඒ නිසා වාහන බලපත්‍රය යොදාගෙන වැඩි මිල වාහනයක් ගන්නට පෙළඹුණේ ඇත්තටම එවැනි වාහනයක් අවශ්‍යව සිටි, අතේ මුදල් ඇති අයෙකු පමණි.

අළුත් බලපත්‍ර ක්‍රමයෙන් ඉහත තත්ත්වය වෙනස් කර ඇත. දැන් කොයි වාහනයටත් ලැබෙන්නේ 50%ක බදු සහනයක් නිසා උපරිම සීමාව වන එක්සත් ජනපද ඩොලර් 30,000ට වඩා අඩු මිල වාහනයක් ගෙන්වීම මෝඩ වැඩකි. ඒ සඳහා අතේ සල්ලි නැත්නම් සහ එවැනි වාහනයක අවශ්‍යතාවයක් ලොකුවට නැත්නම් ලොකු වාහනයක් අවශ්‍ය කෙනෙකුට බලපත්‍රය විකිණීම වඩා වාසිදායකය. මෙය පෙර නොවූ තත්ත්වයකි. ඒ නිසා ඉදිරියේදී සිදුවනු ඇත්තේ වාහන බලපත්‍ර හිමි රජයේ සේවකයින් හෝ ඔවුන්ගේ බලපත් නියමින් හෝ අනියමින් මිලදී ගන්නා තැනැත්තන් විසින් මහජන නියෝජිතයින් විසින් කරන්නාක් මෙන් හරියටම ඩොලර් 30,000 මට්ටම ගලපමින් වාහන ආනයනය කිරීමයි. ඒ නිසා රජයට අහිමි වන බදු මුදල ඉහළ යනවාක් මෙන්ම ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් පීඩා විඳිමින් සිටින ලංකාවේ ආනයන වියදම් වැඩිවීමටද මෙය හේතුවක් වනු ඇත.

මේ බලපත් ක්‍රමය මඟින් ඇත්තටම කරන්නේ කුමක්ද?

ආදායම් විෂමතාවය වැඩි කරමින් ධුරාවලියක් අනුව සමාජය සකස් කිරීමට උදවු කරන මේ වාහන බලපත් වලින් කරන්නේ ලංකාවේ කුල භේදයක් පවත්වා ගැනීමට රුකුල් දීමකි. මෙය ගොවිගම, කරාව ආදී වශයෙන් ලංකාවේ පැවති හා තවමත් පවතින කුල භේදයට සම්බන්ධ දෙයක් නොවන අතර වඩා සමීප වන්නේ පැරණි භාරතයේ චතුර්වර්ණ කුල ක්‍රමයටය.

සමාජ ධුරාවලියේ උඩින්ම සිටින ක්ෂත්‍රියයෝ හෙවත් පාලකයෝ දැහැමින් සෙමෙන් කෙසේ වෙතත් "ධර්ම ටෝක් වලින්" පමණක් රාජ්‍ය විචාරමින් අතිරික්තයක් නොනිපදවන රටේ "නැතිරික්තය" තමන්ටම  බෙදාගනිති. එසේ පූර්ණ බදු රහිත වාහන බලපත් ලෙස සෘජු මුදල් වාසි බෙදා ගන්නේ අනාගතයේ ඉපදෙන්නට සිටින්නන්ගේ ගිණුම් වල බැරට ණය ගනිමිනි. දෙවන පෙල සිටින බමුණෝ මේ ක්‍ෂත්‍රියයන් සමඟ සහජීවනයක් පවත්වා ගනිමින් සියයට පණහේ බදු සහන ලබා ගනිති. තෙවන පෙළ සිටින වෛශ්‍යයෝ මේ ක්ෂත්‍රියකුගෙන් හෝ බමුනෙකුගෙන් හෙට්ටු කර වාහන බලපතක් මිලදීගෙන එහි උදවුවෙන් බදු පැහැර හරිමින් තමන්ටත් කිසියම් වාසියක් ලබා ගනිති. මේ සියළු බරපැන අන්තිමේදී පැටවෙන්නේ කාටද කියන එක කියන්නට අවශ්‍ය නැත. මෙසේ චතුර්වර්ණ ධුරාවලිය අනුව බෙදාගන්නා මේ වාහන යොදා ගැනෙන්නේද මහපාරේදී මෙන්ම වෙනත් බාහිර තැන් වලදීත් මේ චතුර්වර්ණ ධුරාවලිය පවත්වා ගැනීම සඳහාය.

අවසාන වශයෙන් මතක් කරන්නට තියෙන්නේ අග්ගික භාරද්වාජ සූත්‍රයේ
චතුර්වර්ණ අර්ථ දැක්වීමයි.

11 comments:

  1. සියලු වාහන බලපත්‍ර අහෝසි කල යුතුය!

    ReplyDelete
    Replies
    1. ඔය තීරණය ගත යුතු මහජන නියෝජිතයින්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට මෙහි සෘජු වාසියක් තියෙන නිසා එය සිදුවෙන්න ඉතා අඩු ඉඩකුයි තියෙන්නේ. මේ අයට පීඩනයක් එල්ල කළ හැකි වෛද්‍යවරුන් වැනි අය කියන්නේ ඔයගොල්ලෝ ගන්නවනම් අපිටත් දෙන්න කියලයි. එතරම් බලපෑමක් කළ නොහැකි ඉංජිනේරුවන් වැනි අය එවිට කියන්නේ දොස්තරලට දෙනවනම් අපිටත් දෙන්න කියලයි. සල්ලි තියෙන පර්මිට් නැති ව්‍යාපාරිකයින් වැනි අය බලා ඉන්නේ කාගේ හෝ පර්මිට් එකක් අඩුවට ගන්න. මෙවැනි වරප්‍රසාද නැති අය බලා ඉන්නේ "කවදා හරි" දොස්තර කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි වෙලා පර්මිට් එකක් ගන්න. ඒ නිසා මේවා ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. වෙනත් බොහෝ කරුණු වලදීත් පවතින තත්ත්වය එසේම තියෙන්නේ ඒ නිසයි.

      Delete
  2. Very good analysis sir!! Appreciate your effort!

    I am always wondering more exposure should be given to sinhala blogs in the country.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, සිංහල බ්ලොග් වල වටිනාකමක් තියෙනවනම් ඉල්ලුමත් අනිවාර්යයෙන්ම ඇති වෙයි.

      Delete
  3. සේවය කරණ මුවාවෙන් ඉහේ සිට දෙපතුල දක්වා සූරා කෑම. මේ මජර ක්‍රමය වෙනස් කරන්න තරම් කොන්දක් තියනවා කියලා හිතන්ඩවත් පුලුවන් එකෙක් අහලකවත්, පේන්ඩවත් නෑ...

    ReplyDelete
    Replies
    1. ලාබයක් තියෙන කොට එය නැති කර ගන්න කැමති වෙන්නේ කවුද?

      Delete
  4. ඉකොනොමට්ටගේ පොස්ට් එකකට කොමෙන්ට් කරන පලවෙනි වතාව. අපි වගේ ඉකොනොමික්ස් සිස්ටම් එක දන්නේ නැති අයට රටේ ඇත්තටම මොකද වෙන්නෙ කියල බොහොම සරලව විග්‍රහ කරල දුන්නට ස්තුතියි.

    ඇත්තටම මේක කියෙව්වට පස්සෙ පක්ෂ භේදයක් නැතිව පාර්ලිමේන්තුවට මුන් යවල අපි කරගන්නේ මුං ඉස්සරහම අපි බත් කණ හරක් වෙන එක. දේශපාලන බලය සමගින්ම උන්ට කොමිස් කුට්ටි දීමනා සමග කාර් පර්මිට්, සහ පෙන්ෂන්,

    නිදහස් අද්‍යාපනය සමග වයිද්‍ය වුර්තිකයන්ට කාර් පර්මිට් දීමනා සහ පෙන්ෂන්,

    රජයේ සියලුම සේවකයන්ට පැන්ෂන් දීමනා සහ සම-හරක් ටත් කාර් පර්මිට්.

    එතකොට මුන්ට පඩි මේ දීමනා අරව මෙව්ව ඔක්කොටම ටැක්ස් විදිහට ඔක්කොමත් ගෙවන සාමාන්‍ය ජනතාවට මොකුත්ම සහනයක් දෙන්නෙ නැත්තෙ මුන් හොඳටම දන්නවා සාමාන්‍ය ජනතාව කියන්නෙ බත් කන හරක්හෝ මරි මෝඩ ජාතියක් කියල.

    අපිට පව් බං 🙈

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ටිලාන්! ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් ඕනෑම කෙනෙක් බලන්නේ තමන්ගේ වාසිය. සමහර අය වෙනස් වන්නේ ඒ අය මුදල් නොවන වෙනත් වාසි බලාපොරොත්තු වීම නිසා පමණයි.

      Delete
  5. ඉකොනොමැට්ටෝ,

    මේක මේ රජයේ වැරැද්දක් නෙවෙයි නෙමෙයි කලින් රට කාපු අන්ත දූෂිත රාජපක්ෂ හොර කල්ලිය විසින් අටවපු උගුලක් තමයි මේ වාහන පර්මිට් මගඩිය. වත්මන් රජය ඔවුන්ගේ පව් ගෙවනවා බොරුවට.

    ඔබ දන්නවද මහින්දගේ කාලේ හාල් කිලෝව රුපියල් 250-300ට ගියා. මහින්ද ලොක්ක අගමැති සහ ඇමතිවරයෙකු වූ රාජ්‍ය තුල තමයි වී අලවි මණ්ඩලය විනාශ කලේ. දැන් වත්මන් රජය ඉතා අමාරුවෙන් හාල් මිල රු. 70-80 අගයක තියාගන්න උත්සාහ කරනවා.

    ඒ කාලෙ කරපු වැඩවල දිගුවක් තමයි මේ වෙන්නේ, මේ රජය හොරකම් කරන්නෙ නෑ නමුත් මහින්ද හිටියත් තත්වය මීටත් වඩා ඉතාම භයානක වෙනවා ඔවුන්ගේ අති විශාල දැවැන්ත හොරකම් නිසා.

    හිතන්න අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයේ මහින්ද ඉන්නකාලේ ගෑස් සිලින්ඩරය 2500ට ගිය දැන් එය 1500 ක් තවම පෙට්‍රල් මිල දැන් ඉතාම අඩුයි, මහින්ද ආවනම් මේවත් මිල අද කොහොම තියෙද ? මීටත් වඩා විශාල ලෙස වැඩි වෙලා තියෙයි.

    මහින්ද කාලේ ගත්ත ණය වල වාරික ගෙවීමට සිදුවෙන්නේ වත්මන් රනිල්- සිරිසේනගේ පාලනය තුලයි.

    කපටි මහින්ද මෙය දන්නා නිසා තමයි වසර 2ට කලින් චන්දය තිව්වේ, ඔබම හිතන්න මහින්දගේ කාලේ කල දේ වලින් රට සුකිත මුදිත වෙනවනම් මහින්ද අවුරුදු 2 ඉවර වෙලා චන්දය තිව්වනම් ඔහුට විශාල ජනවරමක් ලැබෙනවා නේද ? ඇයි ඔහු කලින් චන්දය තිව්වේ. ඉදිරියේ දුෂ්කර කාලය තුල ජන අප්ප්‍රසාදය වැඩිවෙන බව දන්නා නිසා නේද ? මේ පිළිබඳව පෝස්ට් එකක් ලියා විස්තර කරන මෙන් ඉල්ලා සිටිමි.

    මේ වන විට සිරිසේන රනිල් ඉතා දක්ෂ ලෙස රට පාලනය කරනවාඅ උනත් මේ දුෂ්කරතා බොහොමයක් පැමිණෙන්න තියනවා, මහින්දලා රට කබාසිනියා කල නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න, රට බාරදුන්නෙ බන්කොලොත් වෙලා විනාශම වෙලා තියෙද්දි.

    අපිට මේ ක්‍රමය පවත්වන්න ඕනේ නම් මේ ක තමයි ගෙවන වන්දිය. මේ අවස්ථාවේ අපි රනිල්-සිරිසේන යුවලට හැකිතරම් සහය දෙමින් රට ගොඩනැගීමට ඉඩ දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මේ අදහස් ටිකම වගේ වෙනත් තැනකත් දැක්කා. කමෙන්ට් එකට ස්තුතියි!

      Delete
  6. ඉකොනොමැට්ටා,

    ඇමරිකාවේ වාහන පර්මිට් වැනි වරප්‍රසාද නැහැ නේද? නමුත් රජයේ ඉහල තනතුරු දරන අයට නිල වාහන දෙනවා ඇතී. එමෙන්ම ඇමරිකාවේ වත්මන් සමාජ ආර්ථික දේශපාලන තත්වය ගැන විස්තරාත්මක පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?
    ට්‍රම්ප්ගේ ඇමරිකාව කඩාබිදන තරම් ජාතිවාදී රැල්ලක් ඇතිවෙලා තියෙනවා කීම නම් ඇතැම් විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාරයක් බවයි බොහෝ දෙනෙක් හිතන්නේ.

    මම හිතන විදිහට ට්‍රම්ප් කියන්නේ යම් තරමකට ආරක්ෂනවාදී ආර්තික ප්‍රතිපත්ති වලත කැමති ජාතිකවාදියෙක් විනා පට්ට සුදුජාතිවාදියෙක් නෙමේ... Trumpට මිනිස්සු ඡන්දෙ දුන්නෙත් හිලරිලා ඇතිලු ඇමරිකාවේ ඩිමොක්‍රැටික් වම (මෙය ලන්කාවේ වම හා පටලවා නොගන්න) ඇමරිකාවේ සුලු ජාතීන් මහා මර්ධනයකට අසුවෙලාය, සුදු ජාතික පිරිමින් හැර අනෙක් සියලු දෙනා පීඩාවට පත්වූවන්ය වගේ බොරු මත පතුරුවලා ඇමරිකාව බිදවන්න හදපු එකට උත්තරයක් විදිහට.

    අනෙක් අතත ඇමරිකාවේ නීති විරොධී සංක්‍රමණිකයින්ගෙන් ඇමරිකානු වැඩකරන ජනතාවට හානියක් වෙනවා. ඒක ජාතිවාදී මතයක් නොවේ, මහපොළවෙ සැබැ තත්වයයි. මේ ඔක්කොම ට්‍රම්ප්ගෙ ජයග්‍රහණයට බලපෑ හේතු.. ස්පාඤ්ඥ බස කතාකරන ජනතාව ගැන සිද්ධියත් මේ වගේම තමයි.

    බ්‍රිතාන්‍ය යුරොපා සංගමයෙන් වෙන්වන්න බලපෑ ප්‍රධාන හේතුව යුරෝපයේ සරණාගත අර්බුදය, ඇසයිලම් වේශයෙන් එන ඉස්ලාමීය ආක්‍රමණය, විශාල වශයෙන් සොරුන් මංකොල්ලකාරයින්, සමාජ විරෝධීන් සංකරමණික ප්‍රජාව තුලින් බිහිවීම ආදිය නේද? විස්තරාත්මක පෝස්ටුවක් දිය හැකිනම් ලොකු දෙයක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: